’‘මිනිසා ජාතීන් ලෙස මේ මිහිමත වෙන්ව ජීවත්වන්නේ තම තමන්ට හිමිකමක් ඇති සීමා මායිම් සහිත භූමියකය එසේ වෙන්ව ජීවත්වුවද මේ ලෝකය ලස්සන වී ඇත්තේ එම ජාතීන් අතර සම්බන්ධතාව එකිනෙක බද්ධ කරනු ලබන, ගැට ගසනු ලබන, මනුෂ්‍යත්වයේ සියුම් සුන්දර රැහැනෙනි.”


-වෝල්ටර් බියුජ්හොට්-




පළමුකොටම මිනිස් වර්ගයා සතු විවිධ අනන්‍යතාවන් ජාතිකත්වයේ නියෝජනයන් ලෙස පෙන්නුම් කරණු ලබන ඒ ජාතික නියෝජනයන්ට අනන්‍ය වූ භාෂාව ආගම සංස්කෘතිය ආදී සන්නිවේදන මෙවලම් ඔස්සේය.  

යම්කිසි ජාතියකට අයත් භාෂාව ආගම සංස්කෘතිය ආදී එම සංස්කෘතිකත්වය මෙවලම් හරහා සිදු කෙරෙන සන්නිවේදනයන් තුළින් එම ජාතීන් සතුව පවත්නා ආත්මීය ගෞරවය විදහා දක්වයි.

 

ස්වකීය ජාතික අනන්‍යතාවන් රැක ගනිමින් ගෞරවනීය ලෙස නැගී සිටීමට අවැසි සමානාත්මතාවය නිදහස එම ජාතීන්ට නිතැනින්ම හිමිවිය යුතු අතර සමානාත්මතාව සහ නිදහස සුරැකිව පවතින්නේ ඒ ඒ ජාතීන්ට ලැබිය යුතු ගෞරවය ලැබීමෙන් මිස ඒ ගෞරවය අහිමිකිරීමෙන් නොවේ.    



එවන් ගෞරවයක් අහිමිකිරීම නිසාම හටගන්නා ගැටුම නිර්මාණය වන්නේ බහුජාතික සමාජයක් තුළදීය. ජාතීන් කිහිපයක් එකම රටක් තුළ ජීවත්වන විටදී එම ජාතීන් අතර සහජීවනය සමගිය රඳා පවතිනු ඇත්තේ එකිනෙකා කෙරෙහි පවත්නා ගෞරවය පිළිගැනීම සමානව සැලකීම යන කාරණා නිසිලෙස ස්ථාපිත වී ඇත්නම් පමණෙකි.



ශ්‍රී ලංකාවේ ද ජනවාර්ගික නොසන්සුන්තාවය තීව්ර කරණු ලබන කාරණා අතර ඒ ඒ ජාතීන්ට අයත්වූ භාෂාවන් සංස්කෘතීන් ආගම් අතර පවත්නා දුරස්ථ බව වඩාත් සමිප කළ හැක්කේ සමානාත්මතාවයෙන් යුතුව සැලකීම සහ ගෞරවනීය පිළිගැනීම යන කාරණා මතයි.



බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගේ යටත් විජිත පාලනය තුළ ජාතීන් අතර වෛරී සහගත රෝගයේ බීජයක් අංකුර ලෙස වැඩෙන්නට තරම් ජාතිවාදී හැඟීම් උද්දීපනය වූයේ නැත.  සුද්දන්ගෙන් නිදහස ලබා ගන්නට එක්සත්ව ක්‍රියා කරණු ලැබූ එකල දේශිය නායකයින් අතර සිංහල - දමිළ මුස්ලිම් බර්ගර් ආදී සියළුම නියෝජනයන් නිසා එම ජනවර්ග තුළට අයත් ජනතාවද බේදභින්න වූයේ නැත. සැබැවින්ම එකල සමස්ත ජනතාවම ජාතිවාදය කුමක්දැයි යන්න පිළිබඳ අවබෝධයක්ද තිබුනේ නැත.

නාම මාත්‍රිකව පෙර සුද්දා නිදහස ලබා දී සමුගන්නා විටදී කළුසුද්දන් අතර ජාතිවාදයේ විෂ බීජය රෝපණය කොට නික්ම ගියහ.

සිංහල දමිළ මුස්ලිම් බර්ගර් දේශීය නායකයින් පිහිටුවාගත් ජාතික සංගම් අතර පවා තමන්ට හිමි තැන නොලැබීමෙන් දමිළ සහ මුස්ලිම් නායකයින් සිංහල නායකයින් වෙතින් ඈත්වෙමින් තම තමන්ට අයත් ජාතීන්ගේ නාමයට අනුගතව ඔවුන්ගේම සංගම් සංවිධාන පිහිටුවා ගැනීම මේ රටේ ජාතිවාදයට සහ ගැටුමට මුල පුරන සමාජයක් බිහි කිරීම සදහා පළමු වෙඩි මුරය තැබුවේය.



එය දමිළ හා මුස්ලිම් නායකයින්ගේ වරදක් නොව අපේම සිංහල නායකයින් කළ මහාම වරදකි.

සේනානායකවරු සහ බණ්ඩාරනායකවරු ඒ මහා වරදේ පංගුකාරයින් වන්නේය එසේම පැරණි වාමාංශික පක්ෂ බණ්ඩාරනායක චින්තනයට මුක්කු ගැසීම නිසා පැරණි වමද එම වරදේ පංගුකාරයින් වෙති.

නායකයින් බෙදෙන විට ජාතින්ද බෙදෙන්නේය නායකයින් එක්සත් වනවිට ජාතින්ද එක්සත් වන්නේය. ජාතීන් යනු ඒ ඒ ජාතින්ට අයත් ජනතාව වන්නේය.



සේනානායකලාට මෙන්ම බණ්ඩාරනායකලාටද සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ලා වෙන්නට උවමනාවක් තිබුනේ නැත. අද සිංගප්පූරුව ඇත්තේ කොතැනද ? ශ්‍රී ලංකාව ඇත්තේ කොතැනද?



ඉන්දියාව තුළ ජාතීන් සිය ගණනක් එකට තබාගෙන ඉන්දියානුවන් ලෙස එම ජාතින්ට නැගී සිටීමට හැකිවුවත් ශ්‍රී ලංකාවට අප ශ්‍රී ලාංකිකයින් ලෙස නැගී සිටීමට හැකිවූයේ නැත. ඒ ඇයි ?

සිංහල මහ ජාතිය දමිළ මුස්ලිම් සුළු ජාතියට සමානාත්මතාවෙන් නොසැලකීම පිළිබඳ ඉතිහාසය සේනානායක බණ්ඩාරනායක දක්වාම විහිදී ඇත.


රථවාහන අංක තහඩු වල ශ්‍රී අකුර ගැසීමේ පශ්චාත් භාගයේ අමාරුව ලේ හැලීමකින් කෙළවර විය. සිංහල රාජ්‍ය භාෂාව ලෙස සැලකීමෙන් දමිළ මිනිසුන්ට සිය භාෂාවට හිමි වූ තැන ගැන දුකක් කනගාටුවක් ඇති නොවුයේද?



අවුරුදු තිහක් ඉක්මවා ඇදීගිය යුද්ධයක් හරහා ඇතිවූ විරසකය අළුයම ගිනි මෙන් පුපුරු ගසමින් ඇත්තේය.

වර්තමානයේදී ජනාපධිතිවරයා 13 ව්‍යවස්ථාව සංශෝධය ගෙන එමින් එය ක්‍රියාවට නැගීම පිළිබඳ අදහස් දැක්වීමෙන් පසුව යළිත් සිංහල ජනතාව අතර වර්ගවාදී ගිනිපුපුරු අවුලුවාලීම සදහා ඇතැම් සිංහල බෞද්ධ බලවේග පිටපොට ගසමින් ඇත.

භික්‍ෂුන් වහන්සේලා දහස් ගණනින් පාරට බැස 13 ට විරෝධය පළකිරීම හරහා උතුරේ දමිළ ජනතාව තුළ යළිත් සිංහල බෞද්ධ සමාජය කෙරෙහි යම් සංහිඳියාවේ අපේක්ෂාවන් තිබුණේ නම් එයද බිඳ වැටුනේ යැයි කිවහොත් එය සාවද්‍ය නොවනු ඇත.



ජනවාර්ගික අර්බුදයක් නැතැයි ඇතැමුන් කීවද අපේ රටේ දමිළ ජනතාවට තමන් ශ්‍රී ලාංකිකයන් යැයි යන හැඟීම තවමත් පැලපදියම් වී නැත්තේ තම ජාතියට සහ භාෂාවට ආගමට සංස්කෘතියට සිංහල බෞද්ධ සමාජයෙන් නිසි ගෞරවයන් සැලකිල්ලක් ලැබී නැති හෙයිනි.

සිංගප්පූරුව මේසා දියුණුවක් ලබා ඇත්නම් ඒ ලී ක්වාන් යූ අනුගමනය කරණ ලද ප්‍රතිපත්තින් නිසාය.  කිසිවිටෙක ජාතිකත්වය අනුව සැලකීම පිළිකෙව් කළ ඔහු සියළු  ජාතීන් අතර සමානාත්මතාවය ප්‍රායෝගිකව ගොඩ නැගුවේය.

අද වනවිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද රනිල් වික්‍රමසිංහ වත්මන් ජනපතිගේ මතවාදයට අනුගතවී තිබේ.



13 වන ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධයෙන් මීට දශක කිහිපයකට පෙර ජ.වි.පෙ. දැරූ ස්ථාවරය  පැවතියේ විරෝධී ස්ථාවරයකය එහෙත් වර්තමානය තුළ ජ.වි.පෙ.  දරන ස්ථාවරය ඊට ප්‍රතිපක්ෂ  බව පෙනෙයි. බලය බෙදීමේ ස්ථාවරයට එරෙහි ඉන්දු ලංකා ගිවිසුමට විරෝධය දක්වමින් ජ.වි.පෙ.  එදා දැක්වූ දැවැන්ත විරෝධතාවන් සහ අද ඔවුන්ගේ ස්ථාවරය කාලයාගේ ඇවෑමෙන් කුමනාකාරයේ පරිවර්තනයකට බඳුන්වී තිබේද?  



ඉතිහාසය තුළ සිදු වූ ලේ වැකි ඛේදවාචක වලට වර්තමානය තුළ ඉඩ දිය යුතු නැත.

වත්මන් ආර්ථික අර්බුදයේ දේශපාලන ප්‍රකාශනයට ජාතිවාදය ගැට ගැසීම සඳහා ඉටුකරමින් සිටින කුමන්ත්‍රණකාරී සැළසුම් පරාජය කරමින් මෙරට හරිමගට ගැනීම සඳහා නූතනවාදී ශ්‍රී ලාංකික ලී ක්වාන් යූ කෙනෙකු ඕනෑකර තිබේ.

13 වන ව්‍යවස්ථාව සංශෝධනය දෙස බැලිය යුත්තේ ලී ක්වාන් යූ ඇසකිනි.  

රටක් හදන්නට සියළු ජාතීන් එකම ජාතියක් බවට පත්විය යුතුය.

තවමත් ආණ්ඩුවේ කන්තෝරුවකින් වැඩක් කරගන්නට එන දමිළ මිනිසෙකුට දමිළ බසින් තම අදහස් ප්‍රකාශ කරන්නට හැකියාවක් නැත්තේ සිංහල පමණක් දන්නා බොහෝ නිලධාරීන් සිටින බැවිනි.



රටේ සංවර්ධනය මානව සංවර්ධනය දෙස නිබඳවම බැලිය යුත්තේ සිංහල බෞද්ධ කණ්නාඩි දමාගෙන නොවේ. සමානාත්මතාවයේ දෑත දිගුකළ යුත්තේ දමිළ නායකයින්ට නොව දමිළ ජනතාවටය.



ඔවුන්ට දැනෙන ගෞරවයක් නිදහසක් සමානාත්මතාවයක් දෙන්නට හැකිවන දිනයක ශ්‍රී ලංකාව සුන්දර රටක් බවට පත්වනු නිසැකය. 


එවිට දමිළ ජනතාවට 13 ක් අවැසි නොවනු ඇත.


Sujeewa Photo(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image