බෙංගාල බොක්ක නැවත වරක් අප්සෙට් ය. මිනිසුන්ගේ සිත් සතන් වගේම පරිසරය ද අඳුරු ය. ශීත ය. වැසිබර ය. එහෙත්, ඒ අතරේම උණුසුමක් ද පැතිරෙනු දැනෙ යි. ඒ, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය හේතුකොට ගෙන ය.



සමහරු ඡන්දය පැවැත්විය යුතු යැයි කියති. තවත් සමහරු මේ එයට නිසි කාලය නොවේ යැයි කියති. නොයෙක් කතා බතා, වාද විවාද කෙරෙද්දී අපේක්ෂකයෝ, පාක්ෂිකයෝ ද පිරිවරාගෙන වැඩට බැස සිටිති.

යුද්ධය වගේම, ඡන්දය ද හොඳ බිස්නස් එක කි. ඡන්දයේ දිනුම් - පැරදුම් කාට ගියත් එයින් අතුරු වාසි ලබන්නෝ නම් ගොඩ යති.

 

මෙවර ඡන්දය ඉතා තීරණාත්මක යැයි හැම පක්ෂයක්ම පවසනු ඇසෙ යි. සැබැවින්ම එය සිරි ලංකාවේ දේශපාලන අනාගතය පිළිබඳ ඉඟියක් පළකරනු ඇති බැවිනි. එසේ හෙයින් මෙවර ''පුංචි ඡන්දය'' වඩාත් තීරණාත්මක වනු ඇත්තේ, මේ රටේ පව් ගෙවන පොදු ජනතාවට ය. ඉහතින් කී ආකාරයෙන්, ඡන්ද සමයේදී අතුරු වාසි ලබන පිරිස් අතරට, නැකැත්කරුවෝ නොහොත් දෛවඥයෝ ද අයත් වෙති. මේ දිනවල, ඡන්ද අපේක්ෂකයෝ එළිපිට හෝ හොර රහසේ දෛවඥ කාර්යාල වෙත යති.

 

මෑතකදී එක් පළාත් සභා අපේක්ෂකයෙක් දේශපාලන අනාවැකි කීම ගැන ප්‍රසිද්ධියක් උසුළන දෛවඥයෙක් හමුවීමට ගියේ ය. ඔහුගේ හඳහන පරීක්ෂා කළ, දෛවඥයා මෙසේ කී ය.

''මහා බ්‍රහ්මයා එක්ක තරග කළත් මේ සැරේ ඔබතුමා උඩින්ම දිනනවා. ඒක වළක්වන්න ශක්‍රයාටවත් බෑ.''

මහත් සතුටට පත් අපේක්ෂකයා, දෑත් පිරිමදිමින්, පහත් ස්වරයෙන් මෙසේ ඇසී ය.

''හැබෑ ද? මං වැඩි ඡන්ද කීයකින් විතර දිනයි ද?''

''ඒකනං මට හරියටම කියන්ඩ බෑ. ඉර, හඳ, තරු වෙනස් නොවුණට, මිනිස්සුන්ගෙ අදහස් හිටිහැටියෙ වෙනස් වෙනවනෙ.''

දෛවඥයා, කපටි සිනාවක් පා ඇඟ බේරා ගත්තේ ය.

ඊට සුළු මොහොතකට පසු, අනෙක් පිලේ අපේක්ෂකයා ද පැමිණියේ ය. දෛවඥයා ඔහුට මෙසේ පැවසී ය.

''මෙදා පාර, සක්කරයගෙ පුතා වයිමා ආවත් ඔබතුමාගේ ජයග්‍රහණය වළක්වන්න බෑ''

ඒ අපේක්ෂකයා ද ආපසු ගියේ මහත් සතුටිනි. අපේක්ෂකයන් සතුටු වන තරමට, දෛවඥයාට ලැබෙන තුටු පඬුරු ද වැඩිවෙයි.

 

Gotabaya and Gnakka
 
එහෙත්, මැතිවරණයෙන් පසු, ඇතැම් දෛවඥයන්ට ගෙවල් දොරවල් ද අතහැර සැඟවෙන්නට වූ බැව් පසුගිය කාලයේ අපට අසන්නට ලැබුණි.

ඇතැම් අපේක්ෂකයන් සිය මැතිවරණ ව්‍යාපාරය අරඹන්නේත් නැකතට ය. ඡන්ද පොළට යන්නේත් නැකතට ය. රැස්වීම් පවත්වන්නේ රාහුකාලය මඟ හරිමිනි.

මීට කලකට ඉහත, කොළඹට නුදුරු පළාතක විසූ, උපතින්ම සමාජවාදියෙක් ලෙස ප්‍රකටව සිටි, දේශපාලනඥයෙක් මැතිවරණයකට ඉදිරිපත් විය. මාක්ස්ටත් වඩා මාක්ස්වාදී බව පෙන්වුවත්, ඔහු මිථ්‍යා විශ්වාසයන්හි එල්බ ගත්තකු බව බොහෝ දෙනාට රහසක් විය.

මැතිවරණ සමයේ දිනෙක ඔහු, රැස්වීමකට යාමට පිටත්වෙද්දී වහලයේ කොණක සිටි හූනෙක් කෑ ගැසුවේ ය. හූනු ශාස්ත්‍රය තදින්ම විශ්වාස කළ දේශපාලනඥයාට යකා වැහුණේ ය. සාලයේ මුල්ලක තිබූ තුවක්කුව අතට ගත් ඔහු, හූනාට වෙඩි තැබුවේ ය. හූනා කෙසේ වෙතත්, සිවිලිමේ කොටසකුත්, උළුකැට කීපයකුත් කැඩී බිම වැටුණි.

මෙම සිද්ධිය, විරුද්ධ පිලේ අපේක්ෂකයාට ද ආරංචි වුණි. ඔහු එය, රැස්වීම්වල කියන්නට ගත්තේ රස කරමිනි. අවසානයේ, අර අපේක්ෂකයා පරාජය වූයේ ය.

සත්‍යගරුක දෛවඥයන් ද නැත්තේ නොවේ. මේ එවැනි අයෙක් පිළිබඳ උපහාස කතාවකි. වාසි අවාසි නොතකා, ඇත්ත කියන කියන්නකු ලෙස ප්‍රකටව සිටි දෛවඥයකු හමුවට, ප්‍රාදේශීය මැතිවරණ අපේක්ෂකයෙක් ගියේ ය. ඔහුට ද අවශ්‍ය වූයේ තමා ජය ලබන්නේ ද යන්න දැන ගැනීමට ය.

වේලාපත්කඩය පරීක්ෂා කළ දෛවඥයා, කනස්සලු පෙනුමින් හිස දෙපසට වැනුවේ ය. ''ඔබතුමාගේ උපන් වෙලාව හරි නෑ. මේ පාර පරදිනවා. අපරාදෙ, දවස් දෙකකට කලින් උපන්න නං, දිනන්න තිබුණා.''

අපේක්ෂකයාගේද මුහුණ මැළවිණි.

''එතකොට, මේ පාර දිනන්නෙ කවු ද?''

''දවස් දෙකකට කලින් ඉපදුණු කෙනා දිනයි.'' දෛවඥයා ඉවත බලාගෙන කී ය.

ජ්‍යොතිශ් ශාස්ත්‍රය යනු භාෂාවකි. එය හොඳින් උගත් පුද්ගලයාට, අහසේ ග්‍රහ තරු කියවා, අනාවැකි පළ කළ හැකි ය. අපායේදී පමණක් එසේ කළ නොහැක. ඒ අපායට අහසක් නැති බැවිනි. එහෙත්, මෙලොව සිටි ජ්‍යොතිශවේදීන් (දෛවඥයන්) වැඩිපුරම සිටින්නේ ද අපායෙහිම ය.



Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - deshaya.lk)


JW

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්