ගිය සතියේ අනුර කුමාර කෙලින්වීම පිළිබඳ ලිපියෙහි සමහරුන් දුටු  අඩුපාඩු බොහෝ ය.



වසර තිස් ගණනක් පුරා රාජ්‍ය අරමුදලෙන් යැපෙන, මැති ඇමති ප්‍රභූ ආරක්ෂක සේවා අවශ්‍යතාව යනු ජනතා විමුක්ති පෙරමුණේ හපන්කමක් මිස, ප්‍රභාකරන්ගේ සාපයක් නොවේ යයි කී මිතුරෙක් මේ ප්‍රභූ ආරක්ෂාව හේතුවෙන් රාජ්‍ය දීමනා සහිතව පාතාල කල්ලි දේශපාලනයට කාන්දුවීමෙන් ඇති වූ බරපතල සමාජමය අනතුර පිළිබඳ වැඩි වගකීමක් ජවිපෙය භාර ගත යුතු යයි අවධාරණය කළේය.

වර්තමාන ජනාධිපතිට ඍජු ජන වරමක් නැති බව මෙන්ම, මේ පළාත් පාලන මැතිවණයකට අවස්ථාවක් නොවේ යයි සිතන පාඨකයෙක්, විපක්ෂය කළ යුත්තේ ජනාධිපති මැතිවරණයක් ඉල්ලා සිටීම මිස, සමෘධි දීමනාවට මුවා වී ආණ්ඩුවේ වියදමින් ගමේ චන්ඩින් වූ අත කොටාගේ කසිප්පු සයිමාගේ වර්ගයේ තවත් තක්කඩින් රොත්තක් පළාත් පාලනයේ නිල පංගු කාරයන් කිරීම නොවන බව කියා සිටී.

ලංකාව වැනි ආසියාතික දිළිඳු රටවල් විපක්ෂ ක්‍රියාකාරින්ගේ ආවේග බහුල අඛණ්ඩ විරෝධතා හේතුවෙන් හිඟමනට වැටී ඇති බව රහසක් නොවේ. දේශපාලන තක්කඩිකම් මැඩ පවත්වා අනාගතයට පලදායි තිරසාර ජාතික වැඩ සටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමෙන් යෝධ හයියෙන් නැගී සිටින සිංගප්පුරුව වර්තමාන ශ්‍රී ලංකාවට අනුගම්‍ය යහපත් පූර්වාදර්ශයකි.

 

lee kwan

ලී ක්වාන් යූ

රටේ පිරිසිදු වාතාශ්‍රයටත් ජනතාව බදු  ගෙවිය යුතු යයි ලී ක්වාන් යූ දැරූ ස්ථාවරය, සිංගප්පූරු ජනතාව අදටත් ඍෂි භාෂිතයක් සේ විශ්වාස කරති. රටක් ශක්තිමත් කළ හැක්කේ ජනතාවගේ අවංක කැපවීමෙන් මිස දේශපාලන සටන් පාඨ හරහා ජන මනස අවුල් කිරීමෙන් නොවන බව යථාර්ථයක් කළ ලී ක්වාන් යූ යනු අප හඳුනා ගත යුතු නිර්ව්‍යාජ නායකත්ව මොඩලයකි. ඔහු කිසි විටෙක ජනතාව නැලවීමට, නැටවීමට ක්‍රියා කළේ නැත. ජාතිවාදි නො වීය. මිතුරු සතුරු ආකල්පයෙන් මිදී දූෂණ වංචා පිටු දැකීය. ශක්තිමත් රටක පදනම බදු ආදායම බව ලී ක්වාන් යූ ක්‍රියාවෙන් තහවුරු කළේය. ලී ක්වාන් යූට සාපේක්ෂව බදු නීතිය ක්‍රියාත්මක කළොත් බලා ගන්නවා යයි තර්ජනය කරන ජවිපෙ බංකොලොත් ලංකාවේ හෙට දවසේ පැවැත්මට දෙන විසඳුම මැතිවරණදැයි අනුර කුමාරට හුරේ දමන පුරවැසියන් ගැඹුරෙන් විමසිය යුතුවේ.

 

එක් රැයින් හොරුන් අල්ලා දඬු කඳේ ගසා කොල්ල කා යටිමඩි ගැසූ ධනය රටේ යහපතට යොදා ගැනීමේ විශ්මිත ආර්ථික දැක්ම ජවිපෙය සට සට ගා කියා හමාරය. රට ගසා කෑ දූෂිතයන්ගේ ලිපිගොනු මිටි පිටින් උස්සා මාධ්‍යය හරහා පෙන්වන අනුර කුමාරලාගේ ඉන්ද්‍ර ජාලික දේශපාලනය ආසන්න වශයෙන් වසර විසි ගණනක් එක දිගට ජනතාව ප්‍රතික්ෂේප කළහ. ඒ රටේ බහුතරය හොරුන්ට කැමති නිසාද නැතහොත් ජවිපෙ  ගැන විශ්වාසයක් නැති නිසාද? මෙය පුලුල්ව සාකච්ඡා කළ යුතුවේ.  

 


21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් නීතිගත වූ ද්විත්ව පුරවැසි තහංචිය වර්තමානයේ ඩයනා ගමගේ හඹා යමින් සිටියි. රටම දන්නා පරිදි එකී නීතියට යටත් තවත් 10 දෙනෙක්වත් වර්තමාන පාර්ලිමේන්තුවෙහි සැඟවී සිටිති. ගෝඨයිම්බරලා මෙන් වංචාවට දූෂණයට එරෙහිව යෝධ ලීලාවෙන් රඟපාන, අනුර කුමාරලා  කිසි විටෙකත් තමන් සමග පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා, එකට වාඩි වී කන බොන, සිනාසෙන, කදේ වැටෙන ද්විත්ව පුරවැසි භාවය සඟවා ගත් මන්ත්‍රි සගයන් කවුදැයි රටට හෙළි නො කරති. එයින් අප තේරුම් ගත යුත්තේ ජවිපේ දූෂණ විරෝධි ආකල්පය ලී ක්වාන් යූගේ විශිෂ්ඨත්වයට සමපාත නොවන බවය. ද්විත්ව පුරවැසි භාවය සහිත මන්ත්‍රින් නො දැක්කා සේ හැසිරෙන, ජවිපෙයට කිසිදාක ලංකාව සිංගප්පූරුවේ මෙන් දූෂණ වංචා පිටුදැකිය හැකිදැයි සහ මෙවර ජවිපෙටත් දීලා බැලීමට හිත හදා ගෙන සිටින අයගෙන් විමසිය යුතුවේ.

නිදහස ලැබී හැත්තෑ පස් වරක් පුරා අප කළේ අරූට මූට බලය දෙමින් වෙන්නේ මොකක්දැයි බලා සිටීම මිස, රටේ ගමන් මග තීරණය කිරීම නොවේ. අප මේ සිටින්නේ අඩ සිය වසක් කෙකර ගෑ තවත් පක්ෂයක් පරීක්ෂා කර බලන තත්වයක නොවේ.

අද ජවිපෙ පසුවන්නේ පළාත් පාලන, පාර්ලිමේන්තු සහ ජනාධිපති යන අනාගත මැතිවරණ තුනම ජයගත් මානසිකත්වයෙනි. ඒ ආවේගයෙන් උද්දාමයෙන් රනිල් ජනාධිපති කළොත් පාර්ලිමේන්තු මන්ත්‍රින්ට ගමට යන්ඩ දෙන්නෑ කියමින් ජූලි 13 වෙනිදා පොල්දූවේදී තර්ජනය කළා සේ අනුර කුමාරලා මාර්තු 9 වෙනිදාටත් කලින් දවසක රනිල් වික්‍රමසිංහ බලයෙන් පහ කොට රටේ පාලනය අතට ගැනීමට බැරි නැත.

1971 අප්‍රේල් 6 වෙනිදාට එළිවෙන ජාමයේ රටේ අගමැතිනිය ජීවග්‍රහයෙන් අල්ලන්ට සැලසුම් කළේත්, පාර්ලිමේන්තුවට බෝම්බ ගැසුවේත් එහෙම හිතලාය. තමන් ඉන්නේ කොතැනද කරන්නේ මොනවාද යන්න තේරුම්ගත නොහැකි තරමට 1971දී නන්දසිරි විජේවීර ඔත්පල කළ ළදරු වලිප්පුවෙන් අනුර කුමාරලාත් රෝගීව සිටිති. 

 

ඩොලර් හිඟය පසෙක තීබීයේවා. රටේ වැටුප් ගෙවා ගැනීමට මුදල් නැත යන්න සැබෑවක් මිස රාජපක්ෂලා රකින ධනවාදි රනිල් වික්‍රමසිංහ වාසියට කියන කතාවක් නම් නොවේ. එහෙත් පවත්නා යථාර්ථයට පිටු පා ජවිපෙ රටේ නව බදු නීතියට එරෙහිව වෙඩි පත්තු කර හමාරය. බලයට පැමිණ පැය විසි හතරක් නොව දින තිහක කාලයක් තුළ හොරුන් අල්ලා නඩු පවරා සොරා කෑ ජාතික ධනය රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා ගැනීමේ ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ක්‍රමෝපාය සුනාමියක් ගංවතුරක් කොවිඩ් වසංගතයක් වැනි අහඹුවක් නිසා අඩපන වුණොත්, දහ අට ලක්ෂයක රාජ්‍ය සේවා බලඇණිය, ලක්ෂ හය හමාරක විශ්‍රාමික ප්‍රජාව සහ විසි ලක්ෂයකට ආසන්න සමෘධිලාභීන්  සිය මාසික ගතමනාව ඉල්ලා අනුර කුමාර දිසානායකලා ගස් බඳිනු ඇත.

 

මේ අනුමානය ප්‍රතික්ෂේප කරමින් නෑ සහොදරයා අපි සුනාමි, ගංවතුර වසංගත සියල්ල ලංකා සිතියමෙන් හකුළා දමා රට මුල් දින තිහ තුළ ස්වර්ගයක් කරනවා යයි සුරල් දමා නො කීවොත් එය අනුර කුමාරට ජනතාව රැවටිය නො හැකිය.

මාසිකව රජයේ සේවක වැටුප්, විශ්‍රාම දීමනා, සමෘධි ආධාර දීමනා ලබන්නන් මාසයක් ඉවසා බලා සිටිනවා විය හැකිය. එහෙත් පාර්ලිමේන්තු පළාත් සභා ප්‍රාදේශිය සභා නියෝජිත දීමනා සඳහා මාසිකව රාජ්‍ය භාණ්ඩාගාරය වැය කළ යුතු රුපියල් කෝටි 12ක මුදල යනු සෙල්ලමක් නොවේ. මේ තත්වය තුළ ජවිපෙ ගන්නා ක්ෂණික පියවර මොනවාද? කුමන ප්‍රාතිහාර්ය පෑවත් ජවිපෙට මෙවර රට භාර දීමට හිත හදා ගෙන සිටින්නේ රාජපක්ෂලාට රැවටුණ පොහොට්ටුවෝ සහ අලියා අතහැර සජිත් පසුපස ගොස් අන්දමන්ද වූ යුඇන්පී කාරයන් අතළොස්සක් බව රහසක් නොවේ. මෙහිදී වියළි කලාපයේ හේන් ගොවියන් අතර සුලභ ලබු වැළේ පුහුල් දැයි ප්‍රචලිත ජයශ්‍රැතිය සිහිපත් කරගත යුතුව ඇත.

1971දී මෙන්ම, 1988-89දීත් ජවිපෙ තමන් නැති කරගත් දේ මෙන්ම රටේ ජනතාවට අහිමි කළ දේ බොහෝ ය. පාඨලී චම්පිකගේ තක්සේරුව අනුව, රටේ මුලු ණය බර ඩොලර් බිලියන 12කි. ජවිපෙය ගෙවුණ අඩ සියවසක් තුළ බලය ඇල්ලීමට කළ අරගල හේතුවෙන් සිදුවූ විනාසය ඩොලර් බිලියන 200කි. තමන් බලයට පත් වන තෙක් ලංකාවට ඩොලර් එවන්න එපා යයි අනුර කුමාර කරන ඉල්ලීමෙන් සිදුවන පාඩුව මුලින් කී ඩොලර් බිලියන 200ට ඇතුළත් කර නැත.

 

FP5cmKMXEAQpzEa

ගෝල්පේස් අරගලය පටන් ගත් 2022 අප්‍රේල් 09 වෙනිදාට ජනතා විමුක්ති පෙරමුණ දේශපානිකව වසර පනස් එකක් සහ දින හතරකින් වැඩිමහලුව සිටියද, රාජපක්ෂලාට එරෙහි දේශපාලන බලවේගයක් ලෙස ජවිපෙය ගැන සත පහක විශ්වාසයක් ජනතාව තුළ නොවීය. එසේම අපට රට භාර දෙන්නැයි ගෝඨාභයට බල කිරීමට තරම් ආත්ම ශක්තියක් ගිය ජූලියේත් ජවිපෙට තිබුණේ නැත. ඒ අර්ථයෙන් අදටත් ජවිපෙ යනු පපර බෑන්ඩ් කල්ලියක් පමණකි. ගෝල්පේස්  අරගලය මුදා හළ වාස්තවික ශක්තිය හෝ ජවිපෙට නො තිබුණේ අනුර කුමාරලා දේශපාලනිකව මිදිය නොහැකි මතවාදි මනෝ විකාරයෙන් කොර වී අංග විකලව සිටින නිසාය.

image bcfb5cc5d4ප්‍රින්ස් ගුණසේකර1970දී තමන්ද දායකත්වය ලබා දුන් තුනෙන් දෙකක බලයක් සහිත මැතිනියගේ පාලනයට එරෙහිව රටේ ජනතාව වෙනුවෙන් ජේ.ආර්.ජයවර්ධන සමග එක පේළියට එක්ව, ප්‍රින්ස් ගුණසේකර නම් මානව හිතවාදියා දුන් ඓතිහාසික ශක්තිමත් මතවාදි ආස්තානයට සමගාමීව අනුර කුමාරලා හැරෙන්නවත් ශක්තියක් නැත. ප්‍රින්ස් ගුණසේකර රටේ යහපත තෝරා ගැනීමේදී ජේ.ආර්.විරෝධයට වඩා ජනතා සුභ සිද්ධිය අපේක්ෂා කළේ ඇන්.ඇම්ලා, කොල්වින්ලා පාරට බැසීමට කලින්ය. අද ප්‍රින්ස් ජීවත්ව සිටියා නම්,  වර්තමාන බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කරනවා නිසැකය.

නව බදු හේතුවෙන් ලක්ෂ ගණන් මාසික ණය වාරික ගෙවාගත නො හැකිව මධ්‍යම පන්තික වෘත්තිකයන් රට හැර යාම ගැන අනේ අපොයි කියන ජවිපෙය, එක් වේලක් හෝ සපයා ගත නො හැකිව කුඩා දරුවන් සමග රටේ හඬා වැටෙන පවුල් පනස් පන් ලක්ෂයක වැඩිහිටියන්ගේ ආරක්ෂාව ගැන නො සිතන්නේ ඇයි? දෙ කෝටි විසි ලක්ෂයක් ජනතාවගේ තුනෙන් දෙකක් සේවා ලබන රජයේ අධ්‍යාපන සෞඛ්‍ය පහසුකම් පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරන ඉහත කී  වෘත්තිකයන් හෙම්බිරිස්සාවටත් පුද්ගලික ආයතන වෙත යමින් ගෙවන රුපියල් සත වලින් බද්දක් ගැනීම  අපරාධයක්ද? රට පවත්නේ ජනප්‍රිය තීරණ ගත යුතු මට්ටමක නොවේ. සජිත්ගේ බස් බෙදිල්ලත් අනුර කුමාරලාගේ ලක්ෂ ගණන් ණය වාරික ගෙවන වෘත්තිකයන්ට අනේ අපොයි කීමත් යන අන්ත දෙකම රට රැවටූ ගතානුගතික බලලෝභි නරුම දේශපාලනයට සරල උදාහරණ වේ.

 

 116358852 ef9680c8 5fb0 4b34 ad2b f9d4a9480f57

පසුගිය වර්ෂයට සමගාමීව 2023 ජනවාරියේ විදේශගත ශ්‍රී ලාංකිකයන් එවූ ප්‍රෙෂ්ණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් කෝටි 50ක් පමණ වේ. එය 68.8%ක වැඩි වීමකි. එසේම නොවැම්බරයේ අමෙරිකානු ඩොලර් මිලියන 1735ක් වූ රටේ විදේශ සංචිත ප්‍රමාණය දෙසැම්බරයේ අමෙරිකානු ඩොලර් මිලියන 1862 තෙක් ඉහළ ගොස් ඇත. රට තුළ යම් සාර්ථක ආර්ථික ක්‍රියාවලියක් ක්‍රියාත්මකව පවත්වා බවට විදේශගත ශ්‍රී ලාංකිකයන් ධනාත්මකව කල්පනා කරන බව අප තේරුම් ගත යුතුවේ.

මේ තර්කනය හමුවේ ජවිපෙය, රනිල් සමග සම්මුතික පරිවාස ආණ්ඩුවකට හිතා හදා ගෙන යම් කැප කිරිමක් කළොත් ඉතිහාසය විසින් ඔවුන් නිදොස් කොට නිදහස් නො කරන්නේද? අර වෘත්තිකයන් නිදහස් අධ්‍යාපන වරයෙන් ලබා ගත් වටිනාකමට මිලක් නියම කළ යුතු නො වේද? රජය සපයා ඇති මේ අසීරු අවස්ථෘවේ ජවිපෙ පෙනී සිටින්නේ අධි පරිභෝජනයට හුරු පුරුදු වරප්‍රසාද හිමි පන්තියක් වෙනුවෙන් නොවේද? සියල්ල නොමිලේ ලැබෙන රටේ ඔවුන් සතු ඒ සුඛෝපභෝගී තේරීමට කැමැත්තට බද්දක් නියම කළ යුතු නේද? අනුර කුමාරාට මෙහෙම නො සිතෙන්නේ රනිල්ට සජිත්ට රාජපක්ෂලාට මෙන්ම බලයට ඇති කෑදැරකම නිසා ය.  

පසුගිය ලිපිය කියවූ රසෙල් දුනුසිංහ නම් අය මට එවූ ඊමේල් ලිපියෙහි මෙසේ දැක්වේ. ''අනේ පලයන් යන්න ගොනා. තොගේ විචාරය තෝම තියාගන්. තෝ නීතිඥයෙක් වුණ පලියට සියල්ල දන්නේ නැහැ. උඹලා වාගේ මිනිස්සු තමයි මේ රට විනාස කරන්නේ..'' මා ඉහතින් සඳහන් කළ ආකාරයට ජවිපෙ දේශපාලනිකව උපන් දේශයටත් වඩා බරපතල ලෙස ස්වකීය මතවාදි දේශපාලනයට අවනතව, අංග විකලව සිටින බව තහවුරු කරන රසෙල් දුනුසිංහ යනු නො හඳුනන තුවක්කු කාර ක්‍රියාධරයෙකි?  

 

m6


පසුගිය 2020 මහ මැතිවරණයේදී, පෙහොට්ටුවට 6853693ක්, සජබට 2771984ක්, ජවිපෙට 445958ක්, ද්‍රවිඩ සංධානයට 327168ක් ශ්‍රිලනිපයට 288073 අලියාට 249435  ආදි ලෙස එක් කෝටි ගණනක ජනතාව බෙදී සිටියහ. ඒ ප්‍රතිපලය ඡන්ද කෝටියක් ලෙස සලකයි නම් 2020දී 445958කට සීමා වූ ජවිපෙය රටේ බලය ඇල්ලීමට තවත් ඡන්ද 65,00000ක්වත් උපයාගත යුතුව ඇත. නුදුරු මැතිවරණයකදී පොහොට්ටුවට තිස් පන් ලක්ෂයක්ද, එජාපයට පන් ලක්ෂයක්ද ලැබෙතැයි යන අනුමානය කළොත්, වර්තමාන පාලන කුලකයට 40%ක් ලබාගත නො හැකිය. එවිට පාලක රෙජිමයට එරෙහි  60%න් ජවිපෙය 65,00000ක් උපයා ගන්නා ආකාරය රාජපක්ෂලා සොරා ගත් ධනය එකතු කරන තරම් ලෙහෙසි නොවනු ඇත.

 

පාලකයන් කීයටවත් මේ මැතිවරණයට කැමති නො වනු ඇත. අපේක්ෂා කළ හැක්කේ ජනාධිපති මැතිවරණයක් පමණකි. එදාට රාජපක්ෂලාගේ රනිල් සමග සජිත්, අනුර කුමාර, සිරිසේන පොන්සේකා ආදීහූ තරග වදිනු ඇත. 

ඡන්ද පොළට එන් මුල් දස දෙනාට වෙඩි තබනු හැර වෙන විකල්පයක් රසෙල් දුනුසිංහලාට ඉතිරි නොවනු ඇත.  



chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )



සබැඳි ලිපිය :
ගෝඨාභය හයියෙන් අනුර කුමාරට කෙලින් වීම - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)


Anida


v


JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්