පවුලක වගකීම් දැරිය යුත්තේ පියා සහ මව ය. පවුලේ දරුවන් පෝෂණය කළ යුත්තේ ද පියා සහ මව ය.

එසේ පෝෂණය කළ දරුවන් නිසි වයසට එළඹ කුමන හෝ රැකියාවක නිරත වන්නේ නම් හෝ කිසියම් ව්‍යාපාරයක යෙදෙන්නේ නම් දෙමාපියන් ඒ සඳහා ද තමන්ට හැකි පමණින් සහය දැක්විය යුතු ය. මන් ද ඒ දරුවන් යනු රටේ සම්පත් වන බැවිනි. ඒ රටේ සම්පත් බඳු දරුවන් පිළිබඳ වගකීම දෙමාපියන් දැරිය යුතු සේ ම රටක සමස්ත ජනතාවගේ වගකීම පැවරී තිබෙන්නේ රජය සතුව ය. අදාළ රජයේ කවුරු කවදා බලය හෙබවුව ද රටේ ජනතාව රැකීම අදාළ රාජ්‍යයේ පරම වගකීමකි.

තත්ත්වය එසේ වුව ද 2019 වසරේ මුළු ලොවම වෙළාගත් කොවිඩ් වසංගතයත් සමග ඒ ඒ රාජ්‍ය පාලකයෝ තමන්ට හැකි පමණින් තම රටේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කළහ. ඒ අතර ලංකාවේ පාලකයෝ ද බල්ලන් නාවන්නට රැගෙන යන්නා සේ අසීරුවෙන් ජනතාවගේ සුබසිද්ධිය සඳහා කටයුතු කිරීම වෙනුවෙන් පොලඹවන්නට සිදුවිය. ඒ අතර ම රටේ ජනතාව වසංගතයෙන් මිය යද්දී විවිධ පැණි වර්ග ප්‍රවර්ධනය කිරීම, පිරිත් පැන් ඉසීම, කළගෙඩි ගංගාවලට අතහැරීම යනාදී මිත්‍යා දෘෂ්ටික කටයුතුවල නිරත වීම ද අපුරුවට සිදු කෙරින.

 

මේ දුෂ්කර සමයේ තෙමසක් පමණ රට වසා තැබූ බැවින් ඇතැම් ව්‍යාපාරිකයේ බංකොලොත් වූහ, රැකියාවල නිරත පිරිස් වෙත රැකියා අහිමි වූහ, විවිධ ස්වයං රැකියාවල නිරවුවන්ගේ ද ආදායම් මාර්ග අහිමි විය. විවිධ පිරිස් එබඳු ආර්ථික කඩාවැටිමකට ලක් වෙද්දි මෙරට සිටි දක්ෂ ඡායාරූප ශිල්පියෙකු, ග්‍රැෆික් නිර්මාණකරුවකු සහ ඡායාරූප ගුරුවරයෙකු ද ඉන්ද්‍රනාථ තේනුවර පුහු මාන්නය හෝ ලජ්ජාව පසෙක ලා බෝකුන්දර සහ කැස්බෑව අතර (By pass road) මාර්ගයේ අයිනක තම වටිනා බෙන්ස් කාර් රථයේ තබාගෙන පොල් රොටී සහ පෝක් කරි අලෙවි කිරීම ඇරඹූහ. ඒ ඔහුට ජීවත්වීමට අවශ්‍ය මුදල් පමණක් නොව කාර්යාල කුලිය ද (මෙම කාර්යාලය හිමි පුද්ගලයා දෙමසක කුලිය අතහැර දැමු බව එකල ඉන්ද්‍රනාථ තේනුවර පවසා තිබිණ) ගෙවිය යුතු බැවිනි. ඉන්ද්‍රනාථ ම පැවසූ පරිදි අදාළ කාලසීමාව තුළ ඔහු කිසිවකුට අතනොපා සිය ජීවිතය පවත්වාගෙන ගියේ මේ ආකාරයට මාර්ගය පසෙක තබාගෙන පොල් රොටී සහ පෝක් කරි අලෙවි කිරිමෙනි.

 

තේනුවරගේ නැගලා යන රොටී කඩේ

120926380 3378673288907541 7924651147834439157 n


ඉන්ද්‍රනාථගෙන් ඉක්බිති විවිධ වෘත්තිවල නියැළුණු විවිධ පුද්ගලයෝ මේ ආකාරයට මාර්ගය අයිනේ ආහාර ද්‍රව්‍ය හෝ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ (විශේෂයෙන් ම මුව ආවරණ විෂ බීජ නාශක) අලෙවි කර ඔවුනොවුන්ගේ ජීවන වියදම සපයාගත්හ. මා දන්නා තරමට කොවිඩ් වසංගතය පහව ගිය පසු ඉන්ද්‍රනාථ සිය සුපුරුදු වෘත්තියට ප්‍රවිෂ්ට විය. ඉන්ද්‍රනාථ ආරම්භ කළ මෙම ව්‍යාපාරය පසුව තවත් කිහිප දෙනෙක් විවිධ ස්ථානවල ඇරඹූහ. එය ද පරයාලමින් ඉන්ද්‍රනාථට වඩා තරමක වර්ධනීය මට්ටමකින් කෝට්ටේ පාර්ලිමේන්තුව ආසන්නයේ කිඹුලාවළ ප්‍රදේශයේ මාර්ගය අයිනේ (ශාරීරික ව්‍යායාම සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ වාහන නතර කර තැබීමට වෙන් කළ භූමියේ) ද කිහිප දෙනෙක් මේ ආකාරයේ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළහ. මෙම ව්‍යාපාරය හේතුවෙන් නව ආහාර සංස්කෘතියක් බිහි වූ අතර නව ව්‍යවසායක පිරිසක් ද බිහි වූහ. ඊට අමතරව ඒ ව්‍යාපාරික ස්ථානවල සේවයේ නිරත පිරිස් ද සිය පවුල් නඩත්තු කිරීම සඳහා ආදායමක් ද උපයගත්හ.

 

Kimbulawala street food

මුල් කාලයේ දෙතුන් දෙනෙකුගෙන් ඇරඹි මෙම ව්‍යාපාරය පසු කළෙක දී තවත් කිහිප දෙනෙකුගේ එකතුවෙන් වර්ධනය වී ලංකාවේ වීදි ආහාර හෙවත් street food සපයන ස්ථානයක් බවට පත්විය. මෙම ස්ථානය සවස් යාමයේ ජනාකීර්ණ පෙදෙසක් බවට පත්වුවා පමණක් නොව වෙනස් ම ආහාර සංස්කෘතියක් ද මෙහි ස්ථාපනය විය. රට බංකොලොත් භාවයට පත්වී තිබුණ ද මෙම ස්ථානයේ ව්‍යාපාර ආරම්භ කළ පිරිස රටට බරක් නොවී ස්ව උත්සාහයෙන් තම තමන්ගේ ජීවන වියදම සපයාගන්නට සමත්වූහ; ඒ ඇසුරෙන් අතුරු රැකියා හෝ ව්‍යාපාර ද වර්ධනය විය. එය: street food ව්‍යාපාරිකයා, ආහාර නිපදවන්නා, අදාළ ස්ථානයේ සේවය කරන පිරිස්, එම ව්‍යාපාරයට අදාළ අමුද්‍රව්‍ය සපයන ව්‍යාපාරිකයෝ, ඔවුන්ගේ සේවක සේවිකාවෝ යනාදි වශයෙන් දාමයක් ලෙස වර්ධනය වූහ. මේ කිසිවකු තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා වීදි නොබැස්සහ; ඔවුන් කළේ වීදියේ තබාගෙන වෙනස්ම වර්ගයේ ආහාර-පානාදිය ඒ මොහොතේ ම සකසා අලෙවි කිරීම ය. නමුත් දැන් දින කිහිපයක සිට මෙම ස්වයංරැකියාවල නියුතු පිරිස වෙත කණකොකා හැඬලීම ඇරඹි තිබේ. ඒ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ පොලිසිය විසින් අදාළ ස්ථානයෙන් ඉවත්වන්නැයි ඔවුන්ට දැනුම් දෙනු ලැබීම හේතුවෙනි. ඊයේ දවස වන විට මෙම මාතෘකාව පාර්ලිමේන්තුවේ ද සාකච්ඡාවට බදුන් විය.

පසුගිය විසිවන දින රාත්‍රී සිරස පුවත් විකාශනයෙන් මෙම පුවත ප්‍රචාරය වන මොහොතේ අදහස් දැක්වු එක් ව්‍යාපාරිකයෙක් පවසා සිටියේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එම ස්ථානයෙන් ගමන් කරන විට මාර්ගය අවහිර වී තිබු බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තාවකාලික වෙළඳසල් සියල්ල එළඹෙන 24වන දිනට ප්‍රථම ඉවත් කරගන්නැයි පොලිසිය දැන්වු බවයි. ඒ සමග ම එම ව්‍යාපාරිකයා සැකයක් ද මතු කළේ ය. එනම් මෙය බන්දුල ගුණවර්ධන මේ අසලින් යන මොහොතේ මාර්ගය අවහිර වූ නිසා ම නිකුත් කළ නියෝගයක් නොවන බවට ඔවුන් සැක කරන බවයි.

 



පොලිසිය යනු පාලකයන් විසින් කරණු ලබන ඕනැම අණක් පිළිපැදීමට සැදී පැහැදී සිටින ආයතනයකි. පොලිසිය මතු නොව සියලු ආරක්ෂක අංශ එසේ ය. ඔවුන් අදාළ අණ ක්‍රියාත්මක කිරීමේ දී අනෙකා වෙත එල්ල වන පීඩනය කෙරෙහි අවධානය යොමු නොකරයි; ඔවුන් කරන්නේ ‘‘අණ පිළිපැදිම’’ පමණි. එහෙයින් මෙහි දී ඔවුන් පසෙක තැබුව ද රට කරවන එවුන් නම් එසේ පසෙක තැබිය නොහැකි ය. මන් ද ලිපිය ආරම්භයේ පැවසු පරිදි මේ රටේ ජනතාවගේ යහ පැවැත්ම පිළිබඳ වගවීම පැවරි ඇත්තේ රට කරවන එවුන් අත ය. අදාළ ව්‍යාපාරික ස්ථාන අසවල් දවසට පෙර ඉවත් කරන්නැයි අණ නිකුත් කරන්නට උන්ට ඉතා පහසු ය. එහෙත් අදාළ ව්‍යාපාරිකයෝ සහ ඔවුන් වෙතින් යැපෙන පිරිස් වෙත ආදායම් මාර්ගයක් සකසා දෙන්නට මේ පාලකයෝ අපොහොසත් වෙති. එවුන්ට එහි බරපතළකමක් ද නොවැටහේ.

 

මේ වන විට ඉන්ධන පෝලිම්, ගැස් පෝලිම්, කිරිපිටි පෝලිම් නොතිබුණ ද: රොගීන්ට ඖෂධ නොමැත, ජාතික හැදුනුම් පත මුද්‍රණය කිරීමට අදාළ කාඩ් පත් නොමැත, වාන බලපත්‍රය මුද්‍රණය කරන කාඩ්පත් ද නොමැති බව සැල ය, එදිනෙදා ජීවන වියද ම අහස උසට ඉහළ ගොස් ඇත. එක් රැකියාවකින් සිවු දෙනෙකුගෙන් යුත් පවුලක් මතු නොව දෙදෙනෙකුට ද යැපිය නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. ඇතැම් ව්‍යාපාරික ආයතන වසා දැමේ, ඇතැම් රැකියාවල නියුතු පිරිස් අදාළ ආයතනවලින් ඉවත් කිරීමට පිඹුරුපත් සැකසේ, රාජ්‍ය ආයතන සේවක පිරිස් ද කප්පාදු කිරීමට කටයුතු සකසමින් පවතී. මෙබඳු වාතාවරණයක් යටතේ කිඹුලාවළ පිහිටි වීදි ආහාර හෙවත් street food ව්‍යාපාරික ස්ථානය අතුගා දැමීමට සැරසෙන්නේ කුමන බූරු පාලකයෙකුගේ වුවමනාවට දැයි අවධානය යොමු කළ යුතු ය.

 

ඊයේ පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් හර්ෂද සිල්වා මන්ත්‍රිවරයා නැගූ පැනයකට පිළිතුරු සපයමින් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග සහ බන්ධුල ගුණවර්ධන යන අමාත්‍යවරු අදහස් දක්වමින් පවසා සිටියේ අදාළ ව්‍යාපාරික ස්ථානය ඉවත් කිරීම සඳහා තවමත් තීරණය කර නොමැති බවයි. එහෙත් එම ස්ථානයේ වාහන නැවතු පිරිස් සහ ඒ අවට ස්ථිර ව්‍යාපාර පවත්වාගෙන යන පිරිස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බව පැවසුහ.

 

.

ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු ය. ඇතැම් දිනවල එම ස්ථානයේ දැඩි ලෙස නොව මඳ වාහන තද බදයක් පවතී. එමෙන් ම ආහාර මිලදී ගැනීමට පැමිණෙන පිරිස් එම මාර්ගය අයිනේ පිහිටි නිවාසවලට ඇතුළු වීමට හෝ නිවාසවලින් පිටවීමට නොහැකි වන සේ ඔවුන්ගේ වාහන නවතා තබයි. එහි දී එම නිවස හිමි පිරිස් අපහසුතාවට පත්වන බව සැබැවකි. ඒ සම්බන්ධයෙන් ඔවුන් පැමිණිලි කිරීම ද අසාධාරණ යැයි පැවසිය නොහැකි ය. නමුදු මේ සියල්ලට විසඳුම අදාළ ව්‍යාපාරික ස්ථාන ඉවත් කීරිම නොවේ.

 

එම මාර්ගයේ පිහිටි ස්ථිර ගොඩනැගිලිවල පවත්වාගෙන යන අහාරපාන වෙළඳසල් හිමියෝ ගොඩනැගිල්ලට කුලියක් ගෙවති, රජයට බදු ගෙවති, විදුලි බිල් සහ ජල බිල් ද ගෙවති. එබැවින් ඔවුන්ට වීදි වෙළෙන්දන් මෙන් අහාර අවම මිලකට අලෙවි කළ නොහැකි ය. වීදි වෙළෙඳ ප්‍රජාවට ද වැඩි වෙළඳාමක් කළ යුතු නම් ස්ථිර අලෙවිසල්වලට වඩා අඩු මුදලකට ඔවුන්ගේ වෙළඳ භාණ්ඩ අලෙවි කළ යුතු ය. මේ සියලු කරුණ සත්‍ය බව සැබැවි. එසේ වුව ද මේ කරුණු පිළිබඳ පමණක් සලකා බලා එම වෙළඳසල් අදාළ ස්ථානයෙන් ඉවත් කිරීම සාධාරණ නොවේ. පාලකයන් කළ යුත්තේ ඊට නිසි වැඩපිළිවෙළක් යෙදීම ය. එමෙන් ම එම වෙළඳ ප්‍රජාව පිළිබද කිසියම් තිරණයකට එළඹෙන්නේ නම් පාලකයන් පමණක් තනි තනිව සාකච්ඡා කර හිතුවක්කාර තීරණ නොගෙන අදාළ පාර්ශ්වයේ ද සහභාගිත්වයෙන් සාකච්ඡා කර කිසියම් තීරණයකට එළඹිය යුතු ය.

 

ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පැවසුවේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මහාමාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වන බවයි. එම සාකච්ඡාවට අදාළ ස්ථානයේ වෙළඳ ප්‍රජාව සම්බන්ධ කරගන්වාද නැද්ද යන්න ප්‍රකාශ නොකළේ ය. නිසි ආකාරයට නම් අදාළ සාකච්ඡාව සඳහා එම ව්‍යාපාරික ප්‍රජාව ද නියෝජනය විය යුතු ය. අමාත්‍යවරයා අදහස් කළේ පළමුව නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මහාමාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් සමග සාකච්ඡා කර ඒ නිගමනවලින් පසු අදාළ වෙළඳ ප්‍රජාව සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන බව නම් එහි වරදක් දැකිය නොහැකි ය. නමුත් එබඳු පැහැදිලි අදහසක් දක්නට නොලැබිණ.

මෙම ලියුම්කරු කිසිදු දිනක අදාළ ස්ථානයෙන් කිසිදු ආහාර වර්ගයක් පරිභෝජනය කර නොමැත. නමුදු එම ස්ථානයෙන් ගමන් කරන විට දකින දසුනෙන් යමක් වටහාගෙන ඇත. එනම් අදාළ ස්ථානයේ ව්‍යාපාරික ප්‍රජාව යනු ද ජීවත් විම සඳහා දුෂ්කර කාර්යයක නියැළෙන පිරිසක් බවයි. ඔවුන් එසේ කරන්නේ කෝටි ගණන් වටිනා වාහන මිලදී ගැනීමේ හෝ ලක්සිරි නිවාස මිලදී ගැනීමේ අටියෙන් නොවේ. බංකොලෙත්භාවයේ අඩියට ම වැටී තිබෙන රටක කිසිවෙකුට බරක් නොවි ජීවත් වීම සදහා කරන අරගලයක් පමණි. ඉදින් රටක පාලකයෝ කළ යුත්තේ රටේ බර යම් පමණකට හෝ සැහැල්ලු කරන එම ප්‍රජාව ද අගාධයට ඇද දැමීම නොව ඔවුන්ගේ ව්‍යාපාරය දියුණු කළ හැකි මාර්ග සැකසීම ය; ඒවායේ සේවයේ නියුතු වුවන් හට වැඩි පහසුකම් සැපයිය හැකි වැඩපිළිවෙළක් සැකසීම ය. එසේ නොවන හොත් හෙට දිනයේ තවත් පිරිසක් ආදායම් රහිත, රැකියා විරහිත පිරිසක් බවට පත්වීම වැළකිය නොහැකි ය.

 

5909901662119320

මේ සඳහා එක් උදාහරණයක් ලෙස අලුත්කඩේ පිහිටි වීදි ආහාර අලෙවිසල් සංකීර්ණය වෙත අවධානය යොමු කළ හැකි ය. මෙම ස්ථානයේ ද විශාල අලෙවිසල් ප්‍රමාණයක් පිහිටුවා ඇති අතර එමගින් යැපෙන පිරිස ද අතිමහත් ය. ඔවුන් කිඹුලාවල පිහිටි ස්ථානයට වඩා කිසියම් පිළිවෙළකට එම ව්‍යාපාරය පවත්වාගෙන යන බව දක්නට හැකි ය. ඒ සඳහා ඔවුන් රජයට කිසියම් මුදලක් ගෙවන බව ද පවසයි. එසේනම් රජයේ අදාළ නිලධාරින් සහ අදාළ දේශපාලකයෝ කළ යුත්තේ මේ සම්බන්ධයෙන් හිතුවක්කාර හෝ මුග්ධ තීරණ නොගෙන කිඹුලාවළ වීදි ආහාර අලෙවි මධ්‍යස්ථානය වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම ය. ඒ සඳහා ඔවුන්ට අවකාශ සලසා දීම ය. එබඳු ඥානාන්විත තීරණයක් නොගෙන අසවල් දිනයට පෙර අදාළ වෙළඳ ප්‍රජාවට එම ස්ථානයෙන් ඉවත්වන්නැයි නියෝග කිරීම රටක පාලකයන් නොකළ යුතු දෙයකි. මන්ද හෙට දිනයේ අදාළ වෙළඳ ප්‍රජාව වටා බැඳී තිබෙන ජීවනෝපා දාමය බිඳී ගියහොත් තවත් දහස් ගණනක් ආදායම් රහිත පිරිසට එකතු වීම අනිවාර්ය සිද්ධියකි.


 (කිඹුලාවල) වසරකට පෙර....




(අලුත්කඩේ) මාස දෙකකට පෙර...






jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/02/22



JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්