ප්‍රතිසංස්කරණයේ උපායෙන් තොර ජාතියකගේ ජීවන පැවැත්ම උපායෙන් තොරයි - (එඩ්මන්ඩ් බර්ක්)
සමාජය සහ ඉතිහාසය එක තැනක නොරඳයි. එම සමාජය සහ ඉතිහාසය සතු ගමනක් ඇත. ඒ ගමන ඇන හිටින සෑම විටෙකම ඕනෑම සමාජයක් තුළ අසහනය පැතිර යන්නේය. ඒ අසහනය හරහා සමාජ සංවර්ධනය නිතැතින්ම බිඳ වැටෙන්නේය. අපේ රටද පත්ව ඇත්තේ එවන් අභාවාචක අත්දැකීමකටය.
වත්මන් ආර්ථීක අර්බුදයට හේතුවී ඇත්තේ දේශපාලනඥයින්ගේ සොරකම්, දූෂණ පමණක් නොවේ. සමාජ සංවර්ධනයේ ගමනට බාධා පමුණුවන ජනවාර්ගික ඛෙදීම් රටක දියුණුවට බාධා පමුණුවන්නේය. ජාති, ආගම්, කුල, පංති, ආදී වශයෙන් ඛෙදී ගිය රටක් කිසිදා දියුණු වන්නේ නැත.
මෙකී සියළුම ඛෙදීම් අප රට තුළ ඔඩු දුවා ඇත. අපේ රටේ ජනතාව ජාතීන් වශයෙන් ඛෙදී සිටිති. ඊනියා ජාතික සමගි සම්මුතින් සඳහා වූ ගීතමය ජවනිකා නිදහස් දිනයේද විකාශනය කිරීමෙන් ජාතීන් අතර විරසකය දුරු වන්නේද නැත.
ඕනෑම විටෙක ජාතිවාදී ගැටුම් ඇති කරවන දුරස්ථ පාලකය ඇත්තේ දේශපාලනඥයින්ගේ අතේය. ජනතාව සබුද්ධික නම් එවැනි උපක්‍රමවලට හසුවීමට ඉඩක් නැත. ආගම් අතරද බාහිරව සංහිඳීයාවක් පෙනෙන්නට තිබුනද ඇතුලාන්තයෙන්ම ඇත්තේ අන්‍යෝන්‍ය නෙරිස්සුම් සහගත ස්වභාවයකි. එකිනෙකා අතර පවත්නා බව විරසකය ද කොත්තු කල්පිතය හරහා දොට්ට පැන්නේය.
එබැවින් ඕනෑම අවස්ථාවක ගැටුම් ඇවිලවීමේ දුරස්ථ පාලකය සක්‍රිය කිරීමට දේශපාලනඥයින්ට හැකියාව තිබූ නමුදු දැන් ඒ දුරස්ථ පාලකයේ බැටරි බැස ඇත. මක්නිසාදයත් සාගින්නෙන් බැට කන්නා වු ආර්ථීක අර්බුදයේ කරවටක් ගිලී සිටින ජනතාවක් තුළ අර්බුද මතු කිරිම පහසු නැති බැවිනි.
එවැනි තත්ත්වයක් තුළ සියළුම ජන කොටස් බලන්නේ ජරාජිරණ ආර්ථීක ගොහොරුවෙන් ගොඩඒමටය. එහෙත් කුලය පිළිබද සමාජ පිළිලය නම් අපේ සමාජය තුළින් ඉවත් කිරීමට පහසු නැති බව පෙනී යයි. මක්නිසාදයත් අප තවමත් වැඩවසම් චින්තනයේ වහලූන් බවට පත්ව සිටින හෙයිනි.
කුලවාදයේ නිර්මාතෘවරුන්ට කුලය මිස ජාතිය හෝ ආගම වැදගත් නොවේ. කුලයෙන් උසස් යැයි සම්මත වූවන් ජාතිවාදයෙන් තොරව ආගම්වාදයෙන් තොරව එකිනෙකාද අතර ආවාහ විවාහ කර ගනු ලැබුණ ද තමන්ට වඩා පහත් කුලයක කෙනෙකුට තම දරුවන් දීග දීමට සුදානම් නැත. සති අන්ත ජාතික පුවත්වල පළවන මංගල දැන්වීම් පිටු දෙස බලන විටදී අපේ කුලවාදය දෝරේ ගලන හැටි අපූරුවට පෙනෙයි.
පසුගියදා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කුලවාදය පිළිබඳව අදහස් දක්වමින් කළ ප්‍රකාශයන් සැබැවින්ම අගය කළ යුතුය. ඒ අතින් රාජපකෂ පාර්ශ්වයට වඩා රනිල් වික්‍රමසිංහ ප්‍රගතිශිලිය. ලාංකීය ධනේශ්වරයේ උග්‍ර ලිබරල් ධනවාදය නියෝජනය කරනු ලබන ජනපති වික්‍රමසිංහයන්ට වැඩවසම් සමාජ ලක්ෂණ වලින් බැහැරව සුපිරි ධනවාදී ක්‍රමය වෙත මහා පිම්මක් පැනීමේ ඕනෑකම ඇතත් ඔහු තවමත් රාජ්‍ය බලයේ වැඩ වසම් ගොත්‍රීකවාදී චින්තනයේ ප්‍රාණ ඇපකරුවෙකු බවට පත්ව ඇත.
වැඩවසම් ක්‍රමයේ නෂ්ටාවශේෂ මුළුමනින්ම මිහිදන් කිරීම සඳහා වු ලිබරල් නිදහස් චින්තනයෙන් යුක්ත නුතනවාදි සමාජ පෙළ ගැස්මක් සඳහා දේශපාලන කතිකාවතක් හරහා ප්‍රායෝගික එළැඹුමකට පැමිණීමේ කාලය එළැඹ ඇත. උතුරේ ජන වාර්ගික යුද්ධය අවුරුදු 30 ඉක්මවා වර්ධනය වීමට මූල බීජය වූයේ කුල පීඩනයයි. කුල පීඩනයේ ප්‍රතිඑලයක් වශයෙන් සෙල්ලකිලිලාගේ මතුවීම හරහා ඇරැඹි කුල පීඩනයේ පිපුරුම අවසානයේදී ප්‍රභාකරන් නම් වූ ත්‍රස්ත නායකත්වය තුළින් ලාංකීය සමාජයට කළ ව්‍යසනය අති මහත්ය.
1971 කැරැල්ලට ද යම් තරමකට උතුරේ කුල පීඩනය ඉවහල් වූ බවද සත්‍යයකි. උතුරේත්, දකුණේත් කැරලි දෙකට වඩාත්ම බලපෑවේ කුල පීඩනය හරහා තරුණ පරපුර විඳි දැඩි පීඩනයයි. මෙම තත්ත්වය තේරුම් ගෙන ඇති බව වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රකාශයෙන් පෙන්නුම් කර ඇති අතර ඔහුට ඓතිහාසික කාර්ය භාරයක් පැවරී ඇත. එනම් රාජ්‍ය නිලධාරින් හා අත්වැල් බැඳගත් කුලවාදයෙන් සමාජ සංවර්ධනය මුදා ගැනීමය. එහෙත් ඔහුට රාජපක්ෂ ග්‍රහණයෙන් මිදීමට ඔහුගේ නූතනවාදි එළැඹුමෙන් බල කිරීමේ තත්ත්වය මත එම දේශපාලනික පෑහීම ඉඩ ලබා දේවිදැයි යන්න ප්‍රහෙලිකාවකි.
අද ලෝකයේ බොහෝ රටවල් දියුණුවට පත්ව ඇති නූතනවාදී ධනේශ්වර සමාජ රටාවට අනුගතවිමෙනි. එවන් රටවල්වලට එසේ හැකිවී ඇත්තේ මුළුමනින්ම වැඩවසම් ක්‍රමයේ නෂ්ටාවශේෂ වැළලීමෙනි. රාජ්‍ය නිලධාරිවාදය හා සම්බන්ධ කුල ගෝත්‍රවාදය මුලිනුපුටා නොදමන්නේ නම් නූතනවාදී කවදාවත් ගොඩ දැමීමට හැකියාවක් නොලැඛෙන අතර එය කළ හැක්කේ නවීකරණය පිළිගන්නා නූතනවාදි නිදහස් ලිබරල් චින්තනයෙන් යුත් නව නායකයකුට පමණි.
''කුලවාදය'' ප්‍රතික්ෂේප කිරිමේ ධනාත්මක අදහස් ප්‍රකාශ කිරීමට වත්මන් ජනපතිට හැකි වුවද ඔහුට එය ප්‍රායෝගික යථාර්ථයක් කිරීම සඳහා මුළුමනින්ම පරිපුර්ණ සමාජ පරිවර්තනයක් කිරීම වෙනුවෙන් පෙරට ආ යුතුය. එහෙත් රාජපක්ෂලාගේ දම්වැලෙන් ඔහු බැඳ දමා ඇති බව පෙනෙයි. ඔහු එම දම්වැල් කඩාගෙන නිදහස් වී ස්වාධීන චින්තකයකු වූදාට ඔහුට සමාජය වෙනස් කිරීමට හැකි වනු ඇත.
(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.