‘‘61වියැති ජාජබ අපේක්ෂක සොයුරාගේ ඝාතකයෝ කවරහු ද...?’’ යන මැයෙන් වූ මෙම පොස්ටුව මා 2023/02/27වන දින රාත්‍රියේ මගේ මුහුණු පොතේ පළ කළේ විශේෂ හේතුවක් මත ය; අත්හදා බැලීමක් සඳහා ය.

 

jjbmc

මා අදහස් කළ පරිදි ම මගේ එම උත්සාහය ඵල දරා තිබිණ. එනම් මේ වන විට ජවිපෙට හෙවත් ජජාබ වෙත: කැමති, ආදරය කරන සහ වහල් මෙහෙවරේ යෙදන පුද්ගලයන් මා මේ මොහොතේ ජවිපෙට හෙවත් ජජාබ වෙත දක්වන ආකල්පය කෙබඳු දැයි ඔවුන්ගේ උපකල්පනය කුමක්දැයි හඳුනාගැනීම ය; එය ඔවුන් ලවා ම ප්‍රදර්ශනය කරවා ගැනීම ය.

එසේ ඔවුනොවුන්ගේ උපකල්පනය ප්‍රදර්ශනය කළ පිරිස අතර: මා දන්නා හඳුනන මිතුරු මිතුරියෝ ද, හිතවත් පුද්ගලයෝ මතු නොව සමීපව ඇසුරු කරන්නෝ ද වූහ. මා නොදන්නා අය ද, ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යන අය ද සිටියහ. ඔවුන් දක්වා තිබූ ඇතැම් ප්‍රතිචාරවලට අනුව දැන් මගේ ‘‘බොස්’’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය. ඔවුන් එසේ අදහස් දක්වන්නේ කුමන පදනමක් මත ද යන්න මා නොදනී. ඔවුන්ට අනුව එසේ වන්නට නම් මා මේ වන විට රනිල් වික්‍රමසිංහ යටතේ කුමන හෝ රැකියාවක යෙදිය යුතු ය. එසේත් නොවේ නම් අවම වශයෙන් මා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු හෝ විය යුතු ය. ජනාධිපති රනිල්වික්‍රමසිංහ මගේ ‘‘බොස්’’ ලෙස හඳුන්වන අයට අභියෝගයක් කරන්නට මම කැමැත්තෙමි. එනම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මගේ ‘‘බොස්’’ වන්නේ කෙසේදැයි ප්‍රත්‍යක්ෂ කරන ලෙස ය. මන්ද මා මේ වන තුරු කිසිදු දේශපාලන නායකයෙකු මගේ ‘‘බොස්’’ ලෙස සලකා හෝ අර්ථ ගන්වා නැත; අර්ථ ගන්වන්නට බලාපොරොත්තුවක් ද නැත.


අඳුරේ අතපතගාන්නෝ


එම පෝස්ටුවට ප්‍රතිචාර දක්වා තිබූ එක් පුද්ගලයෙක් ‘‘බික්ජ හංගන් ඇ. ට දෙකෙන් *කනවා කියන්නේ ඕකට’’ යැයි සඳහන් කර තිබිණ. ඔහු පසුගිය කාලය පුරා ම මා ජවිපෙ හෙවත් ජාජබ පිළිබඳ දැක්වු බොහෝ අදහස් සම්බන්ධයෙන් මා පිළිබද ඔහු දරන මතයේ පිහිටා අදහස් දක්වා තිබිණ. එය ඔහුගේ අයිතිය යි. ඒ පිළිබද කිසිදු ගැටලුවක් නැත. නමුත් ඔහු පවසා ඇති දේ කරමින් සිටින්නේ කවුදැයි නිවැරැදි අවබෝධයකට එන්නට ඔහුට තව කලක් ගතවන බව මගේ විශ්වාසය යි. මන්ද මේ වන විට ඔහු සහ ඔහු බඳු පුද්ගලයන්ගේ දෑස් කිසියම් පටලයකින් ආවරණය වී නොව කර ඇති බව ඔහු නොදැන සිටියාට ඔහුගේ අනෙකා එය දැන සිටින බැවිනි.


සාහිත්‍යකරුවෝ ද, ලේඛකයෝ ද දේශපාලන සත්වයෝ ය  


තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ උපකල්පනයට අනුව ‘‘ලේඛකයෙක්, සාහිත්‍යකරුවෙක් යනු සහකම්පනයක් සහිත මිනිසුන් යැයි අනෙකා සිතනවා’’ බඳු අදහසක් පළ කර තිබිණ. ඔවු... අනෙකා එසේ සිතීම සාධාරණ ය. එමෙන් ම එබඳු චරිත පසුගිය කාල සීමාවේ දී කළ කී දෑ සම්බන්ධයෙන් ආපසු හැරී බැලීමේ දී ඔවුන් එසේ නොවන බව ද ප්‍රත්‍යක්ෂ විය. ඔහුගේ අදහසට අනුව මා සාහිත්‍යකරුවෙකි; ලේඛකයෙකි. ඔවු... මා සාහිත්‍යකරුවකුද නැද්ද යන්න මට පැවසිය නොහැකි වුව ද මා ලේඛකයෙක් බව මට පැවසිය හැකි ය. එමෙන් ම මා සහකම්පනයෙන් වියුක්ත පුද්ගලයෙක් නොවන බව ද පැවසිය යුතු ය. මා එසේ නොවේ යැයි සිතන්නේ නම් හෝ පවසන්නේ නම් මගේ ලේඛන ඉතිහාසය පිරික්සා කර බලන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටිමි. මගේ දැක්ම සමාජගත කිරීමේ දී මට හැඟෙන දෑ ප්‍රකාශ කරන්නට අවැසි පුද්ගලයාගේ තරාතිරම මට අදාළ නැත. අදාළ කරගන්නේ ඔහුගේ, ඇගේ හෝ අදාළ කණ්ඩායමේ ක්‍රියාකලාපය පමණි. ඒ අනුව එදා මෙදාතුර මට සාපේක්ෂව විවේචනයට බඳුන් කළ යුතු පුද්ගලයෙක්, කණ්ඩායමක් හෝ සිද්ධියක් පැවතියේ නම් එයට එරෙහි හෝ පක්ෂ මතය පළ කරන්නට මා පසුබට වී නොමැත. නමුදු ළදරු වලිප්පුව හැදුණ අය මෙන් කලබලයෙන් අදහස් දක්වන්නට ද මා පෙලඹී නොමැත. එබැවින් මා සාහිත්‍යකරුවෙක් ද, ලේඛකයෙක් ද යන්න පසෙක ලා පුද්ගලයෙකු ලෙස මා දක්වන අදහස් උකහා ගන්නැයි ඔහුට සහ ඔහු පළ කළ අදහස් හා සමගාමී අදහස් පළ කළ අයගෙන් මම ඉල්ලා සිටිමි.


61ත් වයසක් ද...?


ලංකාවේ ප්‍රකට ලේඛිකා සොයුරියක් සහ  දක්ෂ රංගන ශිල්පි සොයුරෙක් එක හා සමාන ප්‍රතිචාර දෙකක් දක්වා තිබිණ. එනම් මගේ පොස්ටුවේ ඇති ‘‘61වියැති’’ යන්න පිළිබඳව ය. මිනිසෙකුගේ දේශපාලන ක්‍රියාකාරිත්වය සඳහා වයස අදාළ නොවන බව ඔවුන් මට වෙසෙසින් සඳහන් කළ යුතු නැත. මා ඒ ආකාරයට වයස සඳහන් කළේ ද කිසියම් හේතුවක් මත ය. එනම් ජාජපෙ හෙවත් ජාජබ වෙත වහල්සේවයේ යෙදෙන අය විසින් වයස පනහ හෝ පනස් පහ ඉක්මවා ඇති, ඒ වහලුන්ගේ අදහසට විරුද්ධ අදහස් පළ කරන පිරිස් වෙත ‘‘හම්පඩ නාකි’’ යැයි අමතන අවස්ථා මා අනන්තවත් දැක ඇත. පසුගිය දිනෙක කුමාරදාස ගිරිබාව සොයුරාට ද එසේ අමතා තිබිණ. නමුදු ඔවුන්ගේ පාර්ශ්වයේ අය එම වයස ඉක්මවු පසු ඔවුන් ‘හම්පඩ නාකි’ නොවේ.


අසූචි හිසේ රඳවාගත් ඉස්සෝ

 

Anura JVP

මගේ දැනුමට අනුව නම් ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ සොයුරා පක්ෂයෙන් ඉවත්වන විට වයස අවුරුදු 71ක් පමණ විය. මේ වන විට පක්ෂයේ නායකත්වය දරන අනුර කුමාර දිසානායක සොයුරා ද, ප්‍රචාරක ලේකම් විජිත හේරත් ද, ලාල්කාන්ත ඇතුළු බොහෝ සොයුරන් අවුරුදු 55ට ආසන්න ය; නොඑසේ නම් මේ වන විට ද 55ය. පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා සොයුරා ද අවුරුදු හැටක ආසන්නව ඇත. එවන් වාතාවරණයක් තුළ පක්ෂයේ වහල් සට්ටැඹියන් ලෙස හැසිරෙන පිරිස් අනෙකාට ‘‘හම්පඩ නාකි’’ යැයි අමාන්ත්‍රනය කරති. මේ වහල් සට්ටැඹියන්ට පැවසිය යුත්තේ ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට හෝ අසුචි හිසෙහි රුවාගෙන සිටින ඉස්සන් සේ නොහැසිරෙන ලෙස යි. ඒ හැරුණ විට ‘‘61වියැති’’ යන්න කපා වෙන් කර දක්වන්නට අවශ්‍යතාව පවතින්නේ මට නොව වහල් සට්ටැඹියන්ට ය. පුද්ගලයෙකු පිළිබඳ විශේෂ පුවතක් සපයද්දි ඔහුගේ හෝ අනෙකාගේ වයස සදහන් කිරීම සාමාන්‍ය ක්‍රමයක් වුව ද මේ වහල් සට්ටැඹියන් එය සලකන්නේ පුද්ගලයෙකුගේ වයස සඳහන් කිරීම ඔහුට හෝ ඇයට කරන අපහාසයක් ලෙසිනි. නමුදු මේ සට්ටැඹි වහලුන් අනෙකාට නින්දා, අපහාස, පරිභව කරන්නේ ඔවුන් වයසට නොයන පුද්ගලයන් ලෙසිනි.

යට සඳහන් කළේ මගේ පෝස්ටුවට ඔවුනොවුන්ගේ උපකල්පනයට සාපේක්ෂව දැක්වූ අදහස් කිහිපයක් සඳහා වූ මගේ ප්‍රතිචාරය යි. මන්ද ඒ එක් එක් පුද්ගලයන්ට වෙනෙ වෙන ම පිළිතුරු සැපයීමට වඩා මෙය සුදුසු ය යන්න මගේ විශ්වාසය යි. මේ ඇතැම් පුද්ගලයන් පසුගිය දිනවල මගේ අදහස්වලට දැක්වු ප්‍රතිචාරවලට අනුව ඔවුන්ගේ උපකල්පනය වන්නේ මා මේ මොහොතේ සිටින්නේ ධනේශ්වර කඳවුරේ ය යන්න ය. මගේ දේශපාලන කියවීමට අනුව නම් ‘‘ධනේශ්වර කදවුර’’ යැයි සඳහන් කරන්නට තරම් වූ දේශපාලන ව්‍යාපාරයක් හෝ පක්ෂයක් ලංකාවේ තවමත් බිහි වී නොමැත. අවම වශයෙන් එබඳු කඳවුරක් හෝ තිබුණේ නම් රට මෙතරම් අගාධයට නොවැටෙන බව මගේ විශ්වාසය යි.


මගේ දේශපාලනය සහ පශ්චාත්තාපය


COLOMBO, SRI LANKA:  Sri Lankan Prime Minister Mahinda Rajapakse (C) and Secretary of the Marxist JVP,(People's Liberation Front) Tilvin Silva (R) are applauded by officials as they sign an agreement in Colombo, 08 September 2005.   Rajapakse signed a deal with the island's main Marxist party under which he agreed to drop plans to share power with Tiger rebels, but said he hoped the move will not lead to a resumption of war.  AFP PHOTO/Lakruwan WANNIARACHCHI  (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)

මෙරට ජනතාවට සර්ව ජන ඡන්ද බලය ලැබුණු දා සිට ක්‍රියාත්මක වූයේ පවුල් දේශපාලනය යි. ඒ පවුල් දේශපාලනය තව දුරටත් පවත්වාගෙන යාම සදහා ජනතා විමුක්ති පෙරමුණ ද සයෝගය දැක්වූ අවස්ථා පවතී. පක්ෂයට එම ප්‍රකාශය බැහැර කළ නොහැකි ය. පුද්ගලයෙක් වහයෙන් මට ද, ඇතැම් ජනකොටස්වලට ද ඒ වරදෙන් මිදිය නොහැකි ය. මන්ද මා මෙන් ම මෙරට ජනතාව ඇතැම් අවස්ථාවල දී ජවිපෙ ඉල්ලීමට හෝ ආරාධනයට අනුව ධනේශ්වර යැයි හඳුන්වන ආණ්ඩු පිහිටුවීමට දායක වූ බැවිනි. ඒ සැම මොහොතක ම මා ඇතුළු එම පිරිස් පක්ෂයේ ළබැඳියෝ වූහ. එහෙත් පක්ෂය පිළිබද මිතුරු ප්‍රතිවිරෝධතා දක්වන පළමු මොහොතේ ම: ප්‍රතිගාමියෝ වූහ. ජනා ද්‍රෝහියෝ වුහ; අපතයෝ වූහ.

ජවිපෙ ධනේෂ්වර පාලක පෙළැන්තිය කරළියට ගෙන ඒමේ අවස්ථාවල දී මගේ ඡන්දය ද ඒ වෙනුවෙන් භාවිත කිරීම පිළිබඳ අද මා තුළ පවතින්නේ පශ්චාත්තාපයකි. මගේ ජීවිත කාලයේ දී කිසිදු දිනක: අත ලකුණ, අලියා ලකුණ හෝ පොහොට්ටුව ලකුණ ඉදිරියේ කතිරයක් ගසා නොමැත. මා පළමුවෙන් ම ඡන්දයක් භාවිත කළේ 1982 වසරේ දෙසැම්බර් මස පැවති ජනමත විචාරණය වෙනුවෙනි. ඒ ඡන්දය ලබා දුන්නේ කළය සලකුණට ය.  ඒ එවකට පැවති ආණ්ඩුවේ කාල සීමාව දීර්ඝ කිරීමට එරෙහිව ය. දෙවනුව ඡන්දයක් භාවිත කළේ නම් ඒ, 1994 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී ය. එවර මගේ ඡන්දය දුන්නේ මල් බඳුන ලකුණට ය. එතැන් සිට බුලත් කොළය, සීනුව සහ හංසයා ලකුණට මගේ ඡන්දය භාවිත කළේ ද ඍජුවම ජවිපෙට සහ ඔවුන් සහයෝගය දැක්වූ පක්ෂ වෙතය. ඒ අන් කිසිවක් නිසා නොව ජවිපෙ වෙනුවෙන් ම ය; ඔවුන්ගේ ආරාධනය මත ය. ඉදින් ඒ සෑම වතාවක ම බලයට පත්වුයේ (නැත බලයට පත් කළේ) ධනේෂ්වර කල්ලිය ය. ඒ සඳහා මා ඇතුළු බොහෝ පිරිසක් සහයෝගය දැක්වූයේ තනි කැමැත්තට නොව මා මෙන් ම ඔවුන් ද ආදරය කළ ජවිපෙ කැමැත්තට ය. එසේ නම් රට මේ අගාධයට ඇද දැමීම සම්බන්ධයෙන් පුද්ගලිකව මා මෙන් ම පක්ෂයක් ලෙස ජවිපෙ වගකිව යුතු නොවේ ද...?


අරගලය සහ වම


‘‘ඔවු... අපි ඒක නිවැරැදි කරගන්න තමයි දැන් මේ හදන්නෙ.’’ යැයි ජවිපෙ හෙවත් ජාජබයට පක්ෂ කිසිවකු විමසන්නට පිළිවන. ඔවු... අපි එය නිවැරැදි කළ යුතු ය. ඒ පිළිබද කිසිදු විවාදයක් නැත. දැන් එළඹ තිබෙන්නේ ඊට සුදුසු ම කාලය යැයි ද කිසිවකු පැවසිය හැකි ය. නැත... මගේ අදහස නම් ඒ මොහොත දැන් මගහැරීගොස් ඇත. සැබැවින් ම නම් ජවිපෙ එය මගහැර ඇත. ඒ, පසුගිය වසරේ පැවති ජන අරගලය මගහැරීමෙනි. ‘‘නෑ නෑ ජවිපෙ හරි ජාජබ හරි ඒක අත්හැරියෙ නෑ’’ යැයි කිසිවකු පැවසිය හැකි ය. නමුදු එය රැවටීමකි. මන්ද ගාලු මුවදොර පිටියේ අරගලය පැන නැගි පළමු මොහොතේ ජවිපෙ මෙන් ම පෙරටුගාමිහු ද එය සිතා මතාම මගහැරියේ ය. අරගලයේ දිශානතිය ධනාත්මක වන මොහොතේ හෙවත් අතර මැද දී එයට මැදිහත් වූ මේ පක්ෂ දෙක තම තමන්ගේ බලය අරගලය වඩ වඩාත් තහවුරු කරන්නට පොරබැදුවේ ය. එයින් ජයග්‍රහණය හිමි වුයේ පෙරටුගාමි පක්ෂයට ය. ඒ, ‘‘වසන්ත මුදලිගේ’’ නමැති සාධකය ඔසවා තැබීමෙනි. අනතුරුව ජවිපෙ ද අරගලය අත්හැරිය නොහැකි බැවින් එහි රැඳී සිටියහ. ඔවුන්ගේ වගකීම වන්නට තිබුණේ අරගලය ආරම්භයේ සිට ම එය අගය කරමින් එයට සහයෝගය දැක්වීම ය. නමුත් ඔවුන් එසේ නොකළේ ය. අවසන අරගලයට ස්මබන්ධ වු පෙරටුගාමී පක්ෂයේ ඇතැම් පුද්ගලයන් පාවා දීමට පවා ජවිපෙ කටයුතු කළේ ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්වන්නේ මේ සියලු සිද්ධි අවසානයේ දී ය. ජවිපෙ මේ මොහොතේ ක්‍රියා කරන ආකාරයට ම අරගලය ආරම්භයේ සිට ද ක්‍රියා කළේ නම්, ඒ වෙනුවෙන් ජනතාව පෙළගැස්ස වූයේ නම් අද මෙරට දේශපාලන තත්ත්වය මීට බොහෝ සෙයින් වෙනස්වන්නට ඉඩ තිබිණ. නමත් ජවිපෙ ඊට අවශ්‍ය ඉඩ-කඩ ඇහිරී ය. දැන් ඒ පෙරහැර ගිහින් හමාර ය; අලුතෙන් පෙරහැර ආරම්භ කරන්නට තරම් වාතාවරණයක් ද නොමැත. මා යළි යළිත් පවසන්නේ ඊට වගවිය යුත්තෝ ජවිපෙ ම ය යන්න ය.


වහලුන් නිර්මාණය කිරීමේ විපාක


ජවිපෙ අරගලය යළි කරළියට එන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ දා සිට ය. එය ජන අරගලයක් නොව රනිල් විරෝධි අරගලයකි. රනිල් සහ ජවිපෙ අතර සහ සබඳතා පවතිනවා යැයි දූෂමාන ආරංචි ද පැතිර යමින් පවතී. එහෙත් මා පුද්ගලිකව එය එසේ යැයි පවසන්නට තරම් ඉක්මන් නොවෙමි. මන්ද ඒ සඳහා අවැසි සාක්ෂි මා සතුව නොමැති බැවිනි. නමුදු ඔවුන් මේ මොහොතේ රඟ දක්වමින් සිටින්නේ කිසිවකුගේ හෝ පිටපතකට අනුව ලියු රංගනයක් බව නම් පැහැදිලි ය. ජවිපෙ හෙවත් ජාජබ පිළිබඳව වහල් මානසිකත්වයකින් කටයුතු කරන පිරිස මෙය අවබෝධ කරගන්නා විට තවත් ව්‍යසන කිහිපයක් ම සිදු වී හමාර වන බව සක් සුදක් සේ පැහැදිලි ය. පසුගිය දින පැවති විරෝධතාවේ දී මිය ගිය සොයුරා සහ තුවාල ලැබූ අය මෙන් ම දැනට අසාධ්‍ය තත්වයේ පසු වන සොයුරා ද එහි ගොදුරු බවට පත්වී හමාර ය.

 

‘‘ආ... ඒ කියන්නෙ ඒකට රනිල් වගකියන්න ඕනෙ නැහැ කියලද...?’’ යැයි දැන් කිසිවකු විමසිය හැකි ය. ඊට සැපයිය හැකි සරල ම සහ ඍජු ම පිළිතුර නම් එම මරණයේ මතු නොව ඒ සිද්ධියට අදාළව අනාගතයේ දී තවත් පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙක් මිය ගියහොත් එහි පළමු චුදිතයා ආණඩුවයි. ආණ්ඩුව යනු රනිල් වික්‍රමසිංහ පමණකත් නොවේ. නමුදු ඔහු ද චුදිතයෙකි. එමෙන් ම රාජ්‍යය ද චුදිත පාර්ශවයේ ය. ඒ හා සමාන නොවුණ ද ජවිපෙ හෙවත් ජාජබ ය ද මේ සම්බන්ධයෙන් යම් මට්ටමක වගවීමක් දැරිය යුතු ය. ඒ ඇයි ද යන්න පුල පුලා ලිවිය යුතු නැත. සමස්ත සිද්ධිය හොඳින් අධ්‍යනය කරන, වහලුන් නොවන අයට එය පැහැදිලි වනු ඇත.

 

අවසන් වශයෙන් ලිවිය යුත්තේ මේ වන විට ජවිපෙ හෙවත් ජාජබ ය ද රාජපක්ෂ සනුහරය සහ එක්සත් ජාතික පක්ෂය මෙන් ම වහලුන් පිරිසක් බිහි කර හමාර ය යන්න ය. වහලුන් බිහි කිරීම යනු පක්ෂයක ඉදිරිගාමිත්වයට මරු පහරකි. ජවිපෙ හෝ ජාජබ ය මෙය වටහා නොගන්නා තෙක් රටේ දේශපාලනය සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය අනුමත කරන්නට තරම් මම මූඪ හෝ අවස්ථාවාදි නොවෙමි. එහෙයින් වහලුනි... තෙපි තොපේ අවලාද නගනු. ජවිපෙ පිළිබඳ තව බොහෝ දේ ලියන්නට ඇත. එහෙත් ඒ සියල්ල ලියුව ද වහලුන් වහල් භාවයෙන් නොමිදෙනු ඇත. එබැවින් මම මගේ ස්ථාවරයේ සිට මගේ මතය ලියන්නෙමි. එය කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයෙකුට දක්වන පක්ෂපාතිත්වයක් හෝ විරුද්ධත්වයක් නොව මේ පොළොවේ පැළ වී තිබෙන මාරක දේශපාලන වෘක්ෂ පිළිබදව මගේ දැක්ම ලිවීමක් පමණි.


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/03/01  


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්