'ආදරේ කියන්නෙ හැම දවසක් ම' (IN LOVE DIURNALLY) කාව්‍ය සංග්‍රහය - Kavindu Bimsara Pandikorala (මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි ගේ විචාරය)




දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ම උපත ලද්දෙකු වශයෙන් මට දැනෙන්නේ මහත් වූ සතුටක්. ඒකට හේතුව තමයි කවිඳු බිම්සර පාඬිකෝරාල කියන තරුණයා නව කවියෙක් වශයෙන් කාව්‍ය ලෝකයට දොරට වැඩීම. කවිඳු තමන්ගෙ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය දියත් කරන්නෙත් එක්තරා සුවිශේෂී මොහොතක.

PHOTO 2023 03 05 11 37 31 1

60735535ඒකට හේතුව තමයි නව පරපුරේ සුවිශේෂී කවියෙක් වන ටිම්රාන් කීර්ති තමන්ගෙ 'ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි' කියන කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලැබීම. කවිඳු නියෝජනය කරන නව පරපුර වෙනුවෙන් මෙවර රජත පුස්තක සම්මානය කවිය කියන ශානරයට දිනාගන්න ලැබීමත් වටිනා සංධිස්ථානීය මොහොතක්.

අපේ නූතන සිංහල කවියේ උපත සම්බන්ධව විවිධාකාර වූ මතිමතාන්තරයන් හඳුනාගත හැකියි. ජී.බී. සේනානායකයන් වැන්නවුන් සිදුකරන ලද මෙහෙයන්හි ප්‍රතිඵල මත තමයි නූතනය වන විට මෙම සිංහල කවිය නිර්මාණය වුණේ. 1950,60 කියන දශක වන විට ජී.බී.සේනානායක, මහගම සේකර, ගුණදාස අමරසේකර කියන ප්‍රමුඛ කවියන් තිදෙනා ඇසුරෙහි වර්ධනය වන සිංහල කවිය 70 දශකයට පිවිසෙන විට ඉතා ම ප්‍රභල කවියන් සමුදායකගෙ දායකත්වයෙන් ශෝභාමත් වෙනව. පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන් පතිරණ, බර්ටි බී. කුඩාහෙට්ටි, දයාසේන ගුණසිංහ, ධර්මසිරි රාජපක්ෂ, බුද්ධදාස ගලප්පත්ති වැනි කවියො හැත්තෑවෙ පටන්ගැන්මත් එක්ක කවියට ස්වකීය දායකත්වය සපයනව.

 

poets

රත්න ශ්‍රී විජේසිංහ - එරික් ඉලයප් ආරච්චි


ඒ වගේම 70 දශකයේ අග කවියට පැමිණුනු මහා කවියන් දෙදෙනෙකුත් විශාල ආලෝකයක් වෙමින් කවියත් සමඟ ස්වකීය ගණුදෙනුව පවත්වාගෙන යනවා. ඒ අතරින් එක් අයෙක් තමයි 1979 වර්ෂයේ 'බිය නොවන් අයියණ්ඩි' කාව්‍ය සංග්‍රහයෙන් කාව්‍යකරණයට ප්‍රවේශ වුණු, කවිඳුගෙත් ගම් පළාත වෙච්ච යක්කලමුල්ල තෙල්ලඹුර ග්‍රාමයෙන් බිහිවෙච්ච රත්න ශ්‍රී විජේසිංහ කියන කවියා. අනෙකුත් කවියා තමයි එරික් ඉලයප් ආරච්චි. 80 දශකය වන විට තවත් සුවිශේෂී කවියන් පිරිසක් ලාංකේය කාව්‍ය අවකාශයට එකතුවෙනව. මා ද උපන් හිනිඳුම ගමේ හිනිඳුම් පත්තුවේ උපන් නන්දන වීරසිංහ කියන කවියා බිහිවන්නෙත් 1984 වර්ෂයේ රචනා කරන ලද 'ගිං ගඟේ විලාපය' නමැති කාව්‍ය සංග්‍රහය හරහා.

 

90 දශකය ශක්තිමත් වීමෙහි ලා කිවියර ලාල් හෑගොඩ වැනි කවියන් දායක වන අතරවාරයේ 2000 දශකය අරඹන්නෙ ලක්ශාන්ත අතුකෝරාල කියන සම්මානනීය කවියා. ඉන්පසුව පැමිණි දෙදහස් දහය දෙදහස් විස්ස කියන අවසාන දශකය වන විට මේ මොහොතේ සම්මානයට පාත්‍ර වූ ටිම්රාන් කීර්ති නියෝජනය කරන පරම්පරාව හඳුනා ගන්න පුලුවන්. මහින්ද ප්‍රසාද් මස් ඉඹුල, නදුන් යසිත දසනායක, ඉසුරු චාමර සෝමවීර, ළහිරු කිතලගම, ළහිරු කරුණාරත්න, මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ආදී වූ කවි කිවිඳියන් බොහෝමයක් මෙම නව පරම්පරාවට අයත්. මෙකී නොකී අලුත් ම අලුත් නැවුම් ම නැවුම් කවි කිවිඳියන් ගැවසෙන අවකාශයට තමයි කවිඳු බිම්සර පාඬිකෝරාල කියන අලුත් කවියා මේ විදිහට එකතු වෙන්නෙ. අපි ඔහුව ඉතාමත් ආදරයෙන් මේ කවි සමාජයට පිළිගන්නව. කවියට වයස බලපාන්නෙ නැහැ. තරාතිරම බලපාන්නෙ නැහැ. කවියේ දියුණු බව ඇතිකරගන්න තව තවත් කවිඳු උනන්දු වුණොත් තවත් එක වැදගත් කවියෙක් යක්කලමුල්ල ප්‍රදේශයෙන් සොයා ගන්නට පුලුවන් වේවි.

 

මට මේ අවස්ථාවේ මතක් වෙනව අප ප්‍රදේශයේ ම ඉමදුව ග්‍රාමයෙන් බිහිවෙච්ච කුමාර හෙට්ටිආරච්චි කවියව. 77 ජෙ.ආර්. ගේ අලුත් දේශපාලන සංස්කෘතිය පැමිණීමත් සමඟ ලංකාවේ දේශපාලන, සංස්කෘතික දේහය එක රැයකින් පරිහානියට පත්වෙන්න පටන් ගත්තා. එලෙස මතු වූ වෙනස පදනම් කරගෙන කුමාර හෙට්ටිආරච්චි ලියන්නෙ ඉතා ම කුඩා කවියක්. ඒකෙ පේලි දෙකයි.

'ටාං ටාං ටාං - ඩෝං ඩෝං ඩෝං'

 

ටාං ටාං කිව්වම මතක් වෙන්නෙ ඝංටාරයක් රැව්දෙන ධර්මිෂ්ඨ සමාජයක්. ඒ සමාජය බිඳ වැටෙමින් ඇවිත් අතිමහත් අන්ධකාරයකට පත් වෙච්ච මොහොතක් තමයි, සමාජයක් තමයි 2021 දි කවිඳු දොරට වඩින මොහොතෙ අප ඉදිරියේ පවතින්නෙ. වැඩිහිටියන් විදිහට අපි ලැජ්ජා විය යුතු, කම්පා විය යුතු, පසුතැවිලි විය යුතු තත්ත්වයක්. කවිඳු බිම්සරලට කවි ලියන්න මීට වඩා ප්‍රජාතාන්ත්‍රික සමාජයක්, උණුසුම් සමාජයක් නිර්මාණය කිරීමට නොහැකි වීම ගැන.

 

රවීන්ද්‍රනාත් තගෝර් එක්තරා අවස්ථාවක ප්‍රකාශ කරන පරිදි නිර්මාණකරණයේ අරමුණක් වන්නෙ සොම්නස ලබාදිමයි. කවිඳු තමන්ගෙ නිර්මාණය ඇතුළෙ සොම්නසක් ලබා දෙනවද යන්න සොයා බැලීම වැදගත්. මෙහිදී කවිඳු ඉදිරිපත් කරන සුවිශේෂී කවියක් තමයි මතු දැක් වෙන කවිය.

'එකමත් එක සැන්දෑවක, ගමක'

අහවර ව කාරිය
උදලු මිටි පිරිමදින දෑත්
තුනුවේදනා මකාලනුව
තනි අකුරේ සත්කාරය සොයන
ගෙදරට ද කළමනා ගෙන
ලීවර ද රැකගනිමින

දලු කහට තැවරුණු
දබරැඟිලි හිමිකාරියෝ
ගෙන ගියා සොච්චම මිටින
ගෘහ සේවය වෙතට
රැකියාව විතැන් කරගෙන

බකයා පොල අසල
මාර්ගයේ පැමිණි අයෙක්
මාත්‍රාව අමතක ව
මහ හඬින් හඬ තලයි
'දුටුගැමුණු මගෙ පණ
එළාරට ගැහුවෙ පැන පැන'

කවිඳුගේ කවියට දේශපාලනය අදාළ වන්නේ මෙම අවස්ථාවේදී ය. තමන් ජීවත් වන යුගයේ ස්වරූපය අමතක නොකර දේශපාලනික සවිඥානිකත්වය කවිඳුගේ කවියට එකතු වන්නේ මෙම අවස්ථාවේදී ය. ජාතියෙන්, ආගමෙන් උද්දාමයට පත්කොට පාලකයන් මේ රට විනාශයට ගෙන ගිය ආකාරය මෙහිලා සිහිපත් වෙයි. එය ද, වක්‍රව නිහඬව කවිය තුළ තැන්පත් කිරීමට කවියා අවස්ථාව නිර්මාණය කරගෙන තිබේ.

'මඟ වැනුම' නම් කවියත් කවිඳු බිම්සර පාඬිකෝරාක කවියා සිය ප්‍රතිභාව පෙන්වන සුවිශේෂී තැනකි. අපේ පැරණි සංදේශ සාහිත්‍යයේ මඟ වැනුම යන්න අනිවාර්යයෙන් ම හඳුනා ගත හැකි මාතෘකාවකි. සැඳෑ, නිශා, මඟ ආදී විශාල ප්‍රමාණයක වර්ණනයන් පුරාණ සාහිත්‍යය තුළ දී හඳුනා ගත හැකි ය.  මෙහිදී සිවුපද ආකෘතියෙන් ද, භාෂා භාවිතාවෙන් ද පුරාතන සාහිත්‍යයේ වැනුම් පැවති ආකාරයට සමාන ආකෘතිකමය තත්ත්වයකින් කවිඳු මෙම පද්‍ය පන්තිය නිර්මිත ය.

මඟ වැනුම


'සාගිනි මතින් ළදරුන් මියැදෙන නිබඳ
විටදිත් කරයි කාපිරි අනුභව විළඳ
සිටිනා උගත් යට කරගෙන මැටි මැතිඳ
නොරැඳ නොරැඳ මෙපුරෙන් යාගන් සබඳ

කලින් කලට පුටු රත් කර නෙක නිරිඳු
මතයක් දරන කොඳු ඇට ඇති නම් ගිජිඳු
ධවල රථ යොදා නිදිසහතික ගෙන දුන්
යන්ට නොසිත මේ මඟ රට නුඹ වැලිදු…'



මෙහිලා අපගේ තුරුණු කවියා අපගේ ම ජීවන අඩවිය ස්වකීය කවියට පෙරා ගන්නා ආකාරය පෙනෙයි. කවියා දූතයාට ප්‍රකාශ කරන්නේ මෙය වාසයට සුදුසු අඩවියක් නොවන බවයි. උගතුන් යට කරගෙන සිටින තත්ත්වයත්, සාගින්නේ දරුවන් මියැදෙන තත්ත්වයනුත් වශයෙන් අමුතුවෙන් ලැයිස්තුව ප්‍රකාශ කළ යුතු නොවේ. මේ කියැවෙන්නේ සමකාලීන අපගේ රට සම්බන්ධවම ය. මෙහිලා උත්ප්‍රාස රසය උපරිමයෙන් දැක්වීමට කවියා සමර්ථ වී තිබේ. පුරාණ සඳේශ කාව්‍යන්හිදී අවට සිරි නරඹා යන ලෙසට කරන ආයාචනය මෙහිලා කවියා සිය උත්ප්‍රාසය ජනනය කිරීම වෙනුවෙන් භාවිතා කොට ගෙන ඇති ආකාරය මනරම් ය.

'බස් එක ම එළියකරවන
සිනහවත් මුවින් ගෙන
හතේ කනිසමට ගොඩවන
සාඅරියකි,
මල් කැකුළු දිලිසුණ

‘’පිපෙයි ඒ මල් කැකුළු
ටයි නො දැම්මට
බාටා දැම්මට
මේකත් රජයෙ රස්සාව'’
ඇස් ඇක්සිඩන්ට් වෙච්ච
දෙතුන් දවසට
සිරියටත් මාට්ටු
ටිකට් කැඩුව ඩිපෝවට ම

ස්වප්න මන්දිර බිඳ දමමින්
ක්ලච් ප්ලේට් ගියපු එක හවසක

ඇගෙන් ම සැරසුණු
සති ගණනක් පුරුදු අසුන මැද
ඇල ව ඇගෙ හිස
මතින් තවෙකුගෙ උරහිස

මෙතැන් සිට
ඉතින් කොහොම නඟිනු ද
පැතුම් පුර කඳු මාවත
ඔයිල් කඳුළකදු නොමැති වු
එංජිමක් සමඟ’

අතිශයින් ම නිර්භය ලෙස භාෂාව භාවිතා කොටගනිමින් පාදක අත්දැකීමට උචිත පරිදි භාෂා මාධ්‍ය සකස් කරගැනීමට ද කවියා කටයුතු කර ඇත. 'ක්ලච් ප්ලේට් ගියපු හවස' යන මැයෙන් පවතින කවිය හරහා ඒ බව තහවුරු වෙයි. බස් රථ රියැදුරෙකුගේ දෘෂ්ටියෙන් ප්‍රකාශිත මෙම කවියේ ඊට ම අනන්‍ය වූ අලංකාරයක් ගැබ්ව ඇත.  

මේ මොහොතේ මට මතක් වෙන්නෙ ම අපි අතරේ ජනප්‍රිය වෙලා තිබුණු උඩුගම ජයසේන අයියගෙ බස් එක. ඒ වගේ එකක් තමයි කවියා මෙහිලා සිහිපත් කරන්නේ. ඉතින්, සතතාභ්‍යාසය සමඟින් නැවත නැවතත් යෙදීම තුළින්, තව තවත් කියවීම තුළින් ඉදිරියට යාම ඔබට ඇති ජයග්‍රහණයේ මාවත යැයි යෝජනා කරමි.


hiniduma sunil senewi(මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි)
සබරගමුව විශ්වවිද්‍යාලය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image