අපේ ජනාධිපතිවරයා රටේ ඉතා වැඩිදෙනෙකුට රැස්සන්නේ නැත. ඔහු කට ඇරියදාට විරුද්ධවාදියෝ තමන්ගේ ලේ පයින්ට්ටෙකක්වත් පුච්චාගනිති.
"කල්දාන්න ඡන්දයක් තියෙන්න එපැයි" කියා ඔහු කී දවසේ මුළු රටම පාහේ රක්තහීනතාවයට ගොදුරු විය .
"මට දැන්නෙ මතක් වුණේ, රජයේ මුද්‍රණාලයාධිපතිනිවයි, මුදල් ලේකම්වයි හිරේ යවන්න අනුර කුමාර ජනාධිපති වෙන්න ඕන නෑ කියල " බිරිඳ මට කියා සිටියාය "මේ ජනාධිපතිම යවයිනෙ දෙන්නව හිරේ "
ඒ මෝඩ කතාවෙන් නම් මට හොඳටම කේන්ති ගියේය .
"ඔහේට මැන්ටල්ද ?" මම ඇගෙන් ඇසුවෙමි. "ඒ දෙන්නගෙ ආරක්ෂකයම ඒගොල්ලන්ව හිරේ යවයිද?"
"හලෝ, මේ අහනව, ජනාධිපති කිව්ව නේද කල්දාන්න නම් ඡන්දයක් තියෙන්න එපැයි කියල " බිරිඳ මගෙන් අසා සිටියාය . "ඒ වුණාට දැනටමත් මුදල් ලේකම් මැකෝට ඡන්දෙට සල්ලි ටිකක් දීල තියෙනව , මුද්‍රණාලයාධිපතිනිත් ඡන්ද පත්‍රිකා කොටසක් ගහල තියෙනව. එතකොට ඔහේ කියන්නෙ නැති ඡන්දෙකට වියදම් කරාට මේ ජෝඩුව හිරේ දාන්න ඕන නෑ කියලද ?"
"අම්මට සිරි ! රනිල් එහෙනම් මුදල් ලේකම්ට පිස්සු කෙළින්න ඇරපු මුදල් ඇමතිවත් හිරේ දායිනෙ" මට ඉබේටම කියවුණේය . "අඩේ! ඒත් කොහොමද හලෝ මිනිහ ඒක කරන්නෙ මිනිහමනෙ මුදල් ඇමති"
ඒ අසා බිරිඳ හිනා වුණාය.
"ඔව්නෙ, රනිල් කොච්චර හොඳ ප්‍රජාතන්ත්‍රවාදියෙක් වුණත් තමන්වම හිරේ දාගන්නෙ නැති වෙයිනෙ "ඈ කියා සිටියාය ."හැබැයි නැති ඡන්දෙකට නාමයෝජනා බාරගත්තු දිස්ත්‍රික් ලේකම්ලව නම් එයා අනිවාර්යයෙන් හිරේ දායි "
මෙහිදී අපේ පුතා තවත් කාරණයක් මතු කළේය .
"ඇයි නැති ඡන්දෙකට නාමයෝජනා බාර දීපු යූඑන්පී ලේකම් රංගෙ බණ්ඩාරගෙත් ඇඩ්‍රස් නැති වෙයි " පුතා පෙන්වා දුන්නේය. "මෑන් වැරුද්දක් විතරක් නෙවෙයිනෙ, තමන්ගෙ පක්ෂ නායකයට අපහාසෙකුත්නෙ කරල තියෙන්නෙ "
"මට නම් තේරෙන්නෙ නෑ රනිල් වගේ වැඩකාරයෙක්ට මේ රටේ මිනිස්සු මෙච්චර අකැමැති මොකද කියල " බිරිඳ කියා සිටියාය. " බලන්න මෑන් යහපාලන ආණ්ඩුව කාලෙම පළාත් සභා දින නියමයක් නැතුව කල් දැම්මා .දැන් පළාත්පාලන ඡන්දෙටත් ඒ ගේමම දුන්න . ඊයෙ පෙරේද ඉඳන් මිනිහට ඕන වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවන්නත් පුළුවන් නිසා ඒකත් සරෙන්ඩර්. ස්වාධීන කොමිෂන් සභා තියෙන්නෙ මෑන්ගෙ ඇඟිල්ල උඩ. මේ වෙද්දි ජනාධිපතිත් රනිල්, පාර්ලිමේන්තුවත් රනිල්, පළාත් සභාත් රනිල් , පළාත්පාලන ආයතනත් රනිල්, කොමිෂන් සභාත් රනිල් "
"ලංකාවෙ වන් මෑන් ෂෝ කාරයෙක් නොවෙන ජනාධිපතියෙක් ඉඳල නෑනෙ. හැබැයි ඒ කට්ටියගෙනුත් ලොකු ප්‍රේමෙ තමයි නොම්මර එක. ඒකනෙ මිනිහ මළාම රටම රතිඤ්ඤා පත්තු කරෙත්" මම බිරිඳට කියා සිටියෙමි . "හැබැයි මිනිහගෙ කාලෙත් පළාත් සභා, පළාත්පාලන ඡන්ද තිබ්බනෙ ඕයි "
"ඒකනෙ, ඒකනෙ" බිරිඳ වහා කියා සිටියාය ."දැන් මේක කෙළින්ම ඒකාධිපති රටක් වේගෙනයි යන්නෙ "
ඒ කතාව අපේ පුතාට ඇල්ලුවේ නැත.
"මොනවද අම්මෙ ඔයා මේ කියන්නෙ?" පුතා නොරිස්සුමෙන් කියා සිටියේය . "තේරුමක් නැති කතාවක්නෙ ඕක "
"ආ! එ හෙනම් ඔයා කියන්නෙ මේක ඒකාධිපති රටක් වෙන ලකුණක් නෑ කියලද ?"
"කවුද අම්මෙ එහෙම කිව්වෙ ?"පුතා ඇසුවේය ."මේක ඒකාධිපති රටක් වේගෙන යන්නෙ නෑ . දැනටමත් මේක ඒකාධිපති රටක් තමයි "(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )