රුපියල ශක්තිමත් වී තිබේ. රනිල් විසින්ම වරක් වී පුරවන්නට නියම කළ මත්තල ගුවන් තොටට සංචාරකයන් වැල නොකැඩී එනු පෙනේ.
මාර්තුවේ බිග් මැච් ෆීවර් එක හැදුනු කොළඹ මධ්‍යම පාන්තික අරගලකරුවන් ෆුල් සොමියෙන් සිටී. ටැක්ස් ගැහුවාට ඔවුන් අතේ මුදල් හිඟයක් නම් නොපෙනේ. සිහින බොඳ වුණු පරම්පරාව රට පුරාම සංගීත සාජ්ජවල තම සිහින නැවත දකිමින් ඇත. ආතල්ලන්තය යලි සුපුෂ්පිත වී විදුලි එළියෙන් ඒකාලෝක වී අයිස්වලින් සිලි සිලි සීතල වී ඇත.
ලිප් බොක්කේ අඟුරුවල පුච්චන කොස් ඇට, ඒ අසල ගිනි තපින ගෙදර බළලාගේ අතෙන් බා ගන්නේ තමන්ගේ අත පුච්චා නොගන්නටය. දැන් මේ රටේ කවුරු කවුරුත් කරන්නේ එවැනි දෙයකි. රනිල් ලවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බා ගන්නා ලකේ පුරවැසියා යටි හිතින් ප්‍රාර්ථනා කරන්නේ වැඩි වැඩියෙන් අපට ණය ලැබේවා! ලැබේවා!! ලැබේවා!!! කියා මිසක වෙන අහවල් ඉටි ගෙඩියක් නොවේ. මෙරට බහුජනාට අවැසි වන්නේ ලාබෙට තෙල් ටිකයි ගෑස් ටිකයි කිරිපිටි ටිකයි පැය විසිහතරේම කරන්ට් එකයි පමණී.
ජනපති ගෝඨාභය ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව හැදුවේ IMF තහංචිවලට යට නොවී වඩාත් දේශීය ආර්ථික ක්‍රමයක් තුළින් ස්වයංපෝෂිත වීමටය. නමුත් රාජ්‍යය සැබැවින්ම පාලනය කරන මෙරට පිටරට ව්‍යාපාරික ප්‍රජාව සහ ඔවුන්ගේ මාසික ධන පරිත්‍යාගයෙන් යැපෙන දේශපාලන චරිතවලට අවශ්‍ය වුණේ එය වැළැක්වීමටය.
අද රනිල් වික්‍රමසිංහයන්ගේ ගුණ වයමින් තොඳොල් වෙන හර්ෂ ද සිල්වා එකල පාර්ලිමේන්තුවේ යටි ගිරියෙන් බෙරිහන් දෙමින් කඳුළු සලමින් මැරෙන්නට හැදුවේ IMF පලයන්! කියාය. ලංකාවේ ජනතාවගේ නියෝජිතයෙකුට වඩා හර්ෂ ගැලපෙන්නේ වොෂිංටනයේ IMF හී මෙරට නිත්‍ය නියෝජිතයාටය. ඔහුට දැන් කරන්නට ඉතුරුව තිබෙන්නේ රනිල්ගේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස දිව්රුම් දීම පමණී.
ඊනියා ජාතිකවාදීන් හෙවත් වසරකට වරක් ජිනීවාවලට ට්‍රිප් එකක් ගොස් කොටි ඩයස්පෝරාවට කොකා පෙන්වා එන විදෙස්ගත සිංහල බෞද්ධ සෙට් එකට දැන් රෙද්දේ මළ පහවී ඇත. ගෝඨාභයට පාඩමක් උගන්වන්නට ගොස් අන්තිමට සන්තකේට තිබුණු බීජ දෙකත් පිටරටට සින්න වෙන සීන් එකක් පැමිණ ඇත. විමල් වීරවංශ සිය ජාතිකවාදී තැටිය කොච්චර කැරකෙව්වත් පරණ ග්‍රැමෆෝනයෙන් සද්දේ එන්නේ නැත. සද්දේ ආවත් අහන්නට එකෙක් නැත. මම කිව්වා උඹට!
නැවත හැරෙන්නට බැරි දුරක් දැන් අප මේ ගමනේ පැමිණ තිබේ. හෙළ තරණය කිරීමට IMF නමැති පාලමේ හරි මැදට දැන් අප පැමිණ තිබේ. නැවත හැරී ගොස් අපේම පාලමක් තැනීම සිහිනයකි. අමන අරගලකරුවන්ට පින් සිදුවෙන්න ඒ මහඟු අවස්ථාව අපට අහිමි විය. ඒ අවදානම ගැනීමට දැන් ජනතාව සූදානම් නැත. දැන් ඉතින් පාලමේ ඉතුරු ටිකත් රනිල් පසුපසින් කරබාගෙන යාමට ජනතාව හිත හදාගෙන අවසන්ය. කොස් ඇට සුවඳය...
පාලමේ අනෙක් පැත්තේ තිබෙන්නේ නියෝ ලිබරල් පරාදීසියයි. මෙරට පිටරට ව්‍යාපාරිකයන්ට රිසිසේ බඩ පිනුම් ගසන්නට හැකි අඩු ගුරුත්ව පිට්ටනියයි. ගොවි රජුන් අති පණ්ඩිතකමට ඉල්ලූ රසායනික ක්ෂීර සාගරයයි. ජාතික ජන බලවේගයේ ලැම්බෝගිනි මනුවර්ණයා සිය මෑණියන්ගෙන් ඉල්ලා සිටි ඩිස්නිලන්තයයි. නිර්මාල් දේවසිරිගේ ව්‍යවස්ථා උල්ලංඝනයයි. කාදිනල්ගේ පොරොන්දු දේශයයි. එක්සත් ලංකාවයි. 75 වසරක සාපලත් අධිෂ්ඨානයයි. දුක් විඳින අන්තිම පැයයි. දිලිත් ජයවීරගේ ඒකායන #අරමුණ යි. යේයි!
මොන ඡන්ද තිබ්බත් මේ රාජ්‍යය පාලනය කරන්නේ මෙරට පිටරට ව්‍යාපාරිකයන්ය. අනෙකුත් සියලු බලවේග ඒ බලවේගයට යටත් වේ. ඒ බව හරියටම දන්නා මා මිත්‍ර දිලිත් ජයවීර මැතිඳුන් සිය අනාගත දේශපාලන #අරමුණ වෙනුවෙන් සිය සහචරයන් දිනාගනිමින් සිටින්නේ ඒ නිසාය. අන්ද මන්ද වී සිටින අවංක දේශප්‍රේමී බෞද්ධ සිංහල සුළුතරයට තවම ඉන්න එකම නායකයා ගෝඨාභයයි.
ධර්මය අපට මග වේවා!