සිංහල සිනමාවේ හැම කලාත්මක චිත්‍රපටියක් වටේම ගෙතෙන්නේ එකම ජාතියේ කතාවක්.

කතාවේ ප්‍රධාන චරිත තුනක් ඉන්නවා. කෙල්ලයි, කොල්ලයි, දුෂ්ඨයයි අනිවාර්යයි.

කොහොම හරි දුෂ්ඨයා කෙල්ලව හිරකරගෙන ඉන්නවා. අන්තිමට කොල්ලා ඇවිත් දුෂ්ඨයට ගහලා කෙල්ලව අරන් යනවා. කොල්ලා මුලදී එකක් දෙකක් ගුටි කෑවට අන්තිමට කොල්ලා නැගිටලා ඔක්කොටෝම ගහනවා. කොල්ලා කවදාවත් පරදින්නේ නෑ. ඒක සිංහල සිනමාවේ හැටියක්.

හැබැයි රටේ රාළ අද කියන්න යන්නේ ඊට වැඩිය සම්භාව්‍ය චිත්‍රපටි කතාවක්. ඒක ඊට වඩා ගොඩක් වෙනස්. ඒකේ කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. එක දුෂ්ඨයයි. කෙල්ලයි. මේ Film එක තවම දුවන එකක්. දැන් කතාව යන විදිහට පෙන්නේ අන්තිමට දුෂ්ඨයා කොල්ලෝ දෙන්නටම ගහලා කෙල්ල අරන් යයි වගේ සීන් එකක්.

කතාව මුල ඉඳන් කිව්වොත් මෙහෙමයි.

රටේ රාළ කොහොමත් කියන්නේ දේශපාලන කතා නිසා මේ කතාවත් දේශපාලනිකයි.

 

මේ කතාවේ දුෂ්ඨයා රනිල්. කොල්ලෝ දෙන්නා සජිත් සහ අනුර. කෙල්ල තමයි ජනතාව. ඇත්තටම මෙතන මුලින්ම වෙන්නේ කෙල්ලගේ අවශ්‍යතාවය තේරුම් ගන්න කොල්ලෝ දෙන්නම අසමත්වීම. එතනින් තමයි දුෂ්ඨයට චාන්ස් එකක් එන්නේ.



රාජපක්ෂලාගේ දුර්දාන්ත පාලනයෙන් මේ රටේ ජනතාවට අත් වෙච්චි විනාශය කාටවත් අමුතුවෙන් කියන්න ඕනි නෑ. තෙල් පෝවිම්වලින් පටන් අරන් රටපුරා සකලවිධ පෝලිම් හැදුනා. පෝලිම්වල මිනිස්සු මැරිලා වැටුනා. අනාගත සාගතයක බය රටපුරා දැනුනා. මිනිස්සු පාරට ඇවිත් මහින්දගෙන් පටන් අරන් අවසන් රාජපක්ෂ පරපුරේ දේශපාලන පුරුක වුන නාමලුත් එලවලා දැම්මා. ඒ වෙලාවේ ජනතාවගේ අවශ්‍යතාවය වුනේ රට යථාවත් කරන එක. කන්න, අදින්න ටික හොයා ගන්න එක. බෙහෙත් ටික ගන්න එක.

 කෙල්ලගේ මේ අවශ්‍යතාවය ගැන සජිත්ටයි, අනුරටයි දෙන්නටම කිව්වා. දෙන්නම වැඩේ මඟෑරියා. දෙන්නම වැඩේට බය වුනා. මේ වෙලාවේ දුෂ්ඨයා ඇවිත් කෙල්ලගේ වගකීම බාරගත්තා. ඇත්තටම මුලදී දුෂ්ඨයාටත් ගොඩක් අමාරුවුනා. වයසත් එක්ක වෙන්න ඇති. දැනුත් ලේසි නෑ. ඒත් දුෂ්ඨයා ටික ටික රට යථාවත් කළා. කොල්ලෝ දෙන්නා දිගටම කළේ ඒකට බාල්දි පෙරලන එක. පොර ටෝක්, පම්පෝරි ගසමින් සියල්ල කඩාකප්පල් කරන එක. හැමදාම කොල්ලෝ දෙන්නා හිටියේ මහ පාරේ. එක්කෝ අරගලයක, නැත්තං උද්ඝෝෂණයක, නැත්තම් රැස්වීමක,එ හෙමවත් නෑත්තං වැඩවර්ජනය. කොල්ලෝ දෙන්නටම ඕනි වුනේ කෙල්ල අන්තිමටම අසරණ කරලා තමන් සතු කරගන්න. එහෙම උනහම කෙල්ලට එකම පිළිසරණ තමන් කියලා මේ මෝඩ කොල්ලෝ දෙන්නම හිතුවා.



මුලදී මුලදී කෙල්ල නිකං දෙන්නටම Okay වගෙත් හිටියා. ඒක නිසාම කොල්ලො දෙන්නා අතරත් තරගයක්. ට්‍රයි එක වැඩිවෙලා දැන් ඒක බලු පොරයක් ගානට වැටිලා. මෙතනදී දුෂ්ඨයත් අනාගතේ දවසක කෙල්ලගේ හිත දිනා ගන්න මහන්සිවෙලා වැඩ කළා. කොල්ලෝ දෙන්නා පිස්සු කෙලිද්දී දුෂ්ඨයා මහන්සිය වෙලා වැඩකලා.



ඇත්තටම රනිල් ඉලක්ක සහගතව වැඩ කළ බව පේනවා. බලය, දැනුම, අද්දැකීම සහ තත්වයන් හරි විදිහට මැන ගනිමින් දේශපාලනය කළා. රනිල්ගේ මූලික ටාගට් එක වුනේ රටේ ආර්ථික යථාවත් කිරීම. ඒකට රනිල්ගේ ආර්ථික උපායමාර්ගය වුනේ IMF එකට යන එක. කොල්ලෝ දෙන්නා මුල ඉදන් එකට විරුද්ධ උනත් දෙන්නටම වෙන උත්තර තිබ්බෙත් නෑ. කොල්ලෝ දෙන්නා හැදුවේ රනිල් ලව්ව IMF වැඩේ කරගෙන රනිල් එලවලා කෙල්ලව බාර ගන්න. ඒත් එයාලා ඒක රටට පෙන්නුවේ නෑ. එයාලා කළේ දිගටම රට වටිටන එක. එක පැත්තකින් වැඩ වර්ජනවලට නායකත්වය දුන්නේ එයාලගේ වෘත්තිය සමිති. තරඟයට වගේ තමන්ගේ බලවේඟ පාරට අරන් රට අකර්මන්‍ය කළා. බංකොලොත් රට තවත් බංකොලොත් කළා. ජවිපෙ සුනිල් හදුනෙත්ති කිව්වේ අපි බලයට එනකං රටට ඩොලර් එවන්න එපා කියලා. පහුගිය දවස්වල ඩොලරය ඉස්සරහා රුපියල ශක්තිමත් වෙනකොට සජිත්ට සහ අනුරට කාලා ඉන්න බැරිව හිටියේ.



ටිල්වින් පොලොවේ හැපි හැපි හිටියේ පස් කෑවේ නැතිව විතරයි. ඇත්තටම රුපියල ශක්තිමත් වෙන්නේ ණය ලැබීමෙන් විතරක් නෙවෙයි. මූල්‍ය වෙළද පොලේ මහ බැංකුව ගත්ත ක්‍රියා මාර්ගත් ඒකට බලපෑවා. රටේ ජනතාව රුපියල ශක්තිමත්ව වෙද්දී සතුටු වෙද්දී ජෙප්පන්ගේ සහ සජබුවන්ගේ මූණු හරියට කුණ්ඩ හට්ටි වගේ වුනා.



ඒ වගේම එයාලා නගපු තවත් තර්කයක් දැන් බිඳ වැටිලා ඉවරරි. එයාලා දිගටම කිව්වේ IMF විස්තීරණ ණය හම්බ වෙන්නේ නෑ. ණය ප්‍රති ව්‍යුහාගත කිරීමක් වෙන්නෙත් නෑ කියලා. චීනය මූලදී ප්‍රශ්නය මඟාරිනකොට චිනයටත් වැඩිය සතුටින් හිටියේ අනුර සහ සජිත්. දැන් චීනය අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අවශ්‍ය සහතිකය දීලා ඉවරයි. අද IMF එකත් ඒ බව Announce කළා. දැන් IMF සම්බන්ධව කතාවේ අපි ඉන්නේ අවසන් අදියරේ. මාර්තු 20 අවසන් සාකච්ඡා පටන් ගන්නවා. IMF වාර්තාවලට අනුව වැඩේ තියෙන්නේ සෑහෙන ප්‍රසස්ථ තැනක.

 IMF සහතිකය හම්බවුන ගමන් අපට ලෝක බැංකුව, ආසියානු සංවර්ධනය බැංකුව. ජැයිකා වගේම ආයතන එක්ක මූල්‍ය ගනුදෙනු පටන් ගන්න පුළුවන්. එක තවත් දුශ්කර ගමනක්. ඒ වගේම ලෝකයේ රටවල් එක්ක ද්විපාර්ශ්වික මූල්‍ය ගනුදෙනු පටන් ගන්න පුළුවන්. ආයෝජන ලංකාවට ආය ගෙන්න ගන්න පුළුවන්. ඒ එක්කම රටට සහ ජනතාවට යම් සහනයක් ලැබෙන බවත් ස්ථිරයි. අපි ඒ පාරේ සැලසුම් සහගතව ඉස්සරහට ගියොත් ඇත්තටම ලබන අවුරුද්ද වෙන්කොට රට සාමාන්‍ය තත්වයට පත් කරගන්න පුලුවන්. ඒකට ඉතින් නව ආර්ථික සැලැස්මක් ඕනි. එහෙම එකක් කළොත් ඒ මහන්සියේ වටිනාකම රනිල්ට හම්බ වෙන එක නවත්තන්න බෑ.



අපේ රටේ විපක්ෂය දිගටම හිටියේ ජනතාවගේ පැත්තේ නෙවෙයි. ජනතාව අන්දන පැත්තේ. රට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙන වෙලාවක් පක්ෂ විපක්ෂ කාගේත් වගකීම වෙන්නේ රට යථාවත් කිරීම. ඒක පුරවැසියෙක්ගේ වගකීමක්. ඇත්තටම මේ වෙලාවේ කරන්න තියන දේශපාලනයත් ඒක. හැබැයි අපේ රටේ විපක්ෂය සැලසුම් කළේ රටේ මේ බංකොලොත්කම පාවිච්චි කරගෙන බලයට එන්න. රට තව වට්ටවමින් බලය ගන්න. එයාලට බලයට එන්න නම් රට විනාශ වෙන්න ඕනි.



එයාලගේ බල උවමනාව තනිකරම ගැටගැහිලා තියෙන්නේ විනාශයත් එක්ක. රටේ බංකොලොත් බව ප්‍රකාශ කරපු දවසේ ඉඳන් විපක්ෂය දිගටම හැදුවේ රට නැතිභංගස්ථාන කරන්න. ජනතාව වෙනුවෙන්ම පොදු අරමුණකට එන්න එයාලා මොන වෙලාවකවත් ලෑස්ති වුනේ නෑ. එයාලා ඒවා දැක්කේ පාවාදීම් විදිහට. රටට අවශ්‍ය නැති ප්‍රතිසංස්කරණ විදිහට, මදි පුංචිකම් විදිහට, ඊයේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා කිව්වේ මේ තත්වය කුහක නොවී දකින්න ඕනි කියලා. මේ තත්වය සාධනීයයි කියලා. හර්ෂ එහෙම කියනකොට අද ජවිපෙ විජිත හේරත් කියලා තිබුණේ IMF ණය ගන්න කාටද බැරි කියලා.

රනිල් IMF ගියා කියලා දැන් කාටවත් රනිල්ට ඇගිල්ල දික්කරන්න බෑ. මොකද රාජපක්ෂලා බංකොලොත් කරපු රටේ රනිල්ට තිබුණ එකම උත්තරය ඒක. ඒක වැරදියි නං සජිත්ට හරි අනුරට හරි රට බාර අරගෙන හරි පාරේ යන්න තිබ්බා. කොහොම උනත් මේ තත්වයට යටතේ රනිල් ගැන ආයෙත් සමාජ සංවාදයක් ඇති වෙලා.



ඇත්තටම IMF වැඩේ සාර්ථක උනොත් මේ යන වීදි සටන්, වැඩවර්ජන සියල්ල ලත් තැනම ලොප් වෙනවා. අද පටන් ගන්න හිටිය අඛණ්ඩ වැඩවර්ජනය නැවතිලා. ඒක 15 දාට කල් ගිහිල්ලා. අද සජබය පාර්ලිමේන්තුවේ කරන්න හිටපු උද්ඝෝෂණය නැවතිලා. ලංකා බැංකු සේවක සංගමය රට වට්ටන්න බෑ කියලා වැඩවර්ජනයෙන් අයින් වෙලා. දැන් රට වට්ටන මනසින් ජනතාව වේගයෙන් ඈත්වෙමින් ඉන්නවා.

 

එකම ආකෘතියේ සටන් හැමදාම කරන්න බෑ. මෙතනදී විපක්ෂයට වැරදුණ තැනක් තියනවා. රට නැවත යථාවත් කිරීමේ ක්‍රියාන්විතයේ හවුල්කරුවෝවීම කිසිසේත් රටේ අපකීර්තියට පත්වෙන වැඩක් නෙවෙයි. ඒක කළේ රනිල් එක්කද නැත්තං වෙන කවුරු හරි එක්කද කියලා ප්‍රශ්නයක් එන්නේ නෑ. වෙන්න ඕනි රට යථාවත්වීම විතරයි. ඒක මේ වමේ කියන බක පණ්ඩිතයින්ටත් තේරුම් ගන්න බැරි එකයි ප්‍රශ්නේ. එයාලා මේ පැහැර හැරියේ ජනතාව ඉල්ලන ජනතාවගේ බලාපොරොත්තුව. ඒ කියන්නේ රටේ රාළ කියන කෙල්ලගේ උවමනාව.

ඒවාට පයින් ගහලා කෙල්ලගේ ආදරය බලාපොරොත්තු වෙන එක හරිද? සමහරවිට කොල්ලන්ගේ පැත්තේ ඉන්න වැඩවසම් ඥාති මිත්‍රාදීන්ට ඒවා හරි ඇති. ඒත් ඒක කෙල්ලගේ පැත්තෙන් බැලුවම වැරදියි. ඒ කියන්නේ ජනතාවගේ පැත්තෙන්. ඇත්තටම ඒක ජනතාවට මළ පනින වැඩක්.

 

එතනදී රනිල් මොනතරම් දුෂ්ඨයා උනත්, ද්‍රෝහියා උනත්, කොයිතරම් කපටියා උනත්, එහෙම හංවඩුක් රනිල්ට ගහලා තිබුණත් අන්තිමට ජනතා අභිලාෂයන් වෙනුවෙන් හිටගෙන ඉන්නේ රනිල් විතරයි. ඒ කියන්නේ ආපහු රනිල් දිහා ජනතාවගේ බැල්ම වැඩි වෙන එක නවත්තන්න බෑ. මේ බැල්ම ඇල්මක් වෙන්න බැරි නෑ. ඇල්ම ආදරයක් බවට පත් වෙන්නත් වැඩි වෙලාවක් යන්නේ නෑ.

 

කෙල්ල රනිල්ට මනාපය වෙන්නත් බැරි නෑ. මොකද ආදරය කියන්නේ අමුතු දෙයක්. ඒක හිත් අස්සේ රහසින් ලියලලා පස්සේ තමයි ප්‍රකාශ වෙන්නේ. බහ දෙන්නත් තව සෑහෙන කල් තිරනවා. මේ යන විදිහට ගියොත් රටේ රාළ කියන්නේ පොඩියට හරි රනිල් ගැන ප්‍රේමයක් ජනතාවගේ සිත් සතන් ඇතුලේ හෙමින් හෙමින් රහසේම වර්ධනය වෙන්න ඉඩක් හැදෙනවා කියලයි.

හරි එහෙනම් ගිහින් එන්නම්

ජයවේවා.
මීට

Priyanjith Vitharanaරටේ රාළ
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 

 


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්