ආණ්ඩුවක් පෙරළන්නත් බැරි ඡන්දෙකට මෙච්චර බය ඇයිදැයි ආචාර්ය හර්ෂ සිල්වාගේ ප්‍රශ්න කිරීම ඇසූ කෙනෙක් බය නෙවෙයි යකෝ කැත යනුවෙන් දැක්වූ ප්‍රතික්‍රියාවට හිතවතෙකු හේතු කාරණා ඇසූ විට ලැබුණ ප්‍රතිචාරය, මෙයාලා දැන් අන්දරේටත් එහා....... යන්න ය.



හර්ෂ මේ කරන්නේ සජිත්ට කඩේ යාමකි. එක දිගට එජාප නායක රනිල් වික්‍රමසිංහ විවේචනය කළ මා, අංශක කීයක්දෝ හැරී ජනාධිපති වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටීම හෙවත් කඩේ යාම ගැන තවමත් ඉඳහිට උත්තර බැඳීමට මට සිදු වේ.

රාජ්‍ය පාලකයෙකු ලෙස රනිල් රටට සිදු කළ සේවාවන් බොහෝය. 2020 එජාපය දැඩි පසුබෑමට ලක් වූ පසුව, එජාප ප්‍රතිසංස්කරණ පිළිබඳව විවේචන කිරීමේදී, රනිල් රටට සිදු කළ සේවය ඉස්මතු කිරීමටද, වග බලා ගතිමි. සමහරුන්ට එය හෙමින් ට්‍රැක් එක මාරු කිරීමකි. මා රනිල්ට කඩේ යන්නේ රටේ ප්‍රශ්නයට එකම පිළියම නො වුණත් ආසන්න මෙන්ම කඩිනම් විසඳුම් රනිල් සතුව ඇති නිසාය.

පසුගිය සැප්තැම්බරයේ දවසක දුර කතනයෙන් මා ඇමතූ කෙනෙකු රනිල් රටට කළ සේවය පිළිබඳ මා ලියූ ලිපි ලබා දිය හැකිදැයි විමසීය. අබුකාසීම්ගේ සපත්තුව ඇතුළු ලිපි කිහිපයක් ඔහු වෙත යැවීමි. ලිපි කියැවීමෙන් පසුව මා ඇමතූ අර පාඨකයා තමන් උද්ධික ප්‍රේමරත්න බවත්, දුරකතන අංකයද ලබා දී මා වෙත තමන් යොමු කළේ චිත්‍රපට අධ්‍යක්ෂ ශිවගුරුනාදන් බව කීය. රනිල් පිළිබඳ උද්ධික දක්වන උනන්දුවට හේතුව විමසූ විට, රටේ බොහෝ දෙනා රනිල් වික්‍රමසිංහ ගැන දන්නේ ඔහු ගැන දැනගත යුතු දේ නොවේ යයි කීය. රනිල් රටට කළ යහපත් දේ අනෙක් දේශපාලනඥයන් මෙන් ප්‍රචාරය නො කිරීම අගය කළ උද්ධික මේ මිනිහා අප්‍රමාණ චරිතයක් යැයි කීය. රනිල් ගැන කළ ප්‍රකාශය සමග උද්ධිකගේ දේශපාලනය පටලා ගත යුතු නැත. මෙහිදී වැදගත් වන්නේ උද්ධික වැන්නෙක් රනිල් ගැන දැක්වූ උනන්දුව පමණකි. උද්ධික මෙන් රටේ බොහෝ දෙනෙක් රනිල් වික්‍රමසිංහ පිළිබඳ අලුතින් හදාරමින් සිටින බව මම දනිමි.

sjs

රනිල්ගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශක්තිමක් වුවද, ඔහුගේ එජාප නායකත්ව භූමිකාව ගැන මගේ එකඟතාවක් නැත. ඔහු පක්ෂය සඳහා තෝරා ගත් බොහෝ චරිත එජාපයේත් රනිල්ගේත් යහපතට හේතු නො වීය. මංගල සමරවීර, හර්ෂ සිල්වා හා ඉරාන් වික්‍රමරත්න ඊට උදාහරණ  කිහිපයකි. රනිල්, මිස්ටර් බීන්ට අන්දවා දේශපාලනික ප්‍රහාරයක් එල්ල කළ මංගල සමරවීරත් රාජපක්ෂලාගෙන් කැපුණ වහාම, ළං වුණේ රනිල්ට ය. මංගලත් රනිල් දේශපාලනයට කැඳවා ගත් හර්ෂ, ඉරාන් දෙදෙනාත් 2020දී සජිත්ට එක් වීම යනූ රනිල් තනි කැමැත්තට එජාපය සවි කළ පොට මාරු වූ ඇන මුරිච්චි එජාපයට මෙන්ම, අද වනවිට රටේ ආර්ථීකයටත්  හූනියමකි. සංධානයක් ඇටවීමේ  මුවාවෙන්  සජිත් කළ කුමන්ත්‍රණය තේරුම් ගත් රනිල් එජාපය සීසීකඩ යාම නතර කිරීමට අලියා ලකුණත් සජබයට දීමට කළ කැමැත්ත පළ කළ විට, මංගල සමරවීර අලියා ගත්තොත් රනිල් යළි ඉස්මතු වේ යයි කරුණු දක්වා එය වැළැක්වීය.

සජිත්ට අවශ්‍යව තිබුණේ මිනී හිස් කබලෙන් හෝ තරග කර එජාපය සමග රනිල් විනාස කර රටේ බලය ඇල්ලීමය. සිහි මොලේ ඇති කිසිවෙකු සජිත් මෙන් ජනාධිපතිවරණයෙන් පැරදුණ පක්ෂයක් කඩාගෙන යන්නේ නැත. එජාපය බෙදුණොත් රාජපක්ෂලා ශක්තිමත් වේ යයි අවධාරණය කළ පාඨලී චම්පිකද නිහඬ කළ මංගල මැතිවරණ දිනයටත් පෙර තරඟයෙන්ද ඉවත් වුණේ ප්‍රතිපලය දැන සිටි හෙයිනි. පළමුව ගෝඨා දෙවනුව සජිත් යන සජිත් ජලනි බල වේගයේ ආදර්ශ පාඨයට අනුව, 2020දී, රාජපක්ෂලා තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයත්, සජිත් විපක්ෂ බහුතරයත්, රනිල් සමග එජාපය බිංදුවටම වැටීමත් එක දවසක සිදුවිය.

 

ගෙවී ගිය දෙ අවුරුදු හත් මසකට පසු එළඹි වර්තමානයේ, රාජපක්ෂලා විසි වී, රටේ රනිල් පාලකයා වී, විපක්ෂයේ කාසිය දෙපැත්තේ අනුර සජිත් රූප දෙක වේගයෙන් කැරකෙනු දැකිය හැකිය. රනිල් විපක්ෂ නායකත්වය දැරූ විසි තුන් වසර තුළ විපක්ෂයේ කිසිදු කණ්ඩායමක් රනිල්ට අභියෝගයක් වුණේ නැත. ලිපිය ආරම්භයේ බය නොවෙයි කැත යනුවෙන් කෙනෙකුට දැනුණේ නිරුත්තර රටට උත්තරයක් වීමට වලි කන සජිත්ගේ කඩා වැටීමය.

 

2019දී සජිත් කල්පනා කළේ රටේ ජනාධිපතිවී රනිල්ට ෂොට් එක දෙන්නටය. ගෝඨාට පැරදුණ සජිත්, 2020දී රනිල් සිතියමෙන් මකා රාජපක්ෂලාට දිනුම ලබා දී අප්‍රමාණ සතුටක් ලැබුවාට සැක නැත. කොවිඩ් වසංගත කාලයේ රනිල් සජිත් දෙදෙනා වෙන වෙනම තේරුම් ගැනීමට ජනතාවට අවස්ථෘව උදා විය. ගෝඨා රුපියල් පන් දාහක් දෙන විට ඒ මුදල විසි පන් දාහක් කළ යුතු බවට සජිත් බල කරන විට රනිල් කීවේ ටෙස්ටින් ටෙස්ටින් කියාය. රටේ විදේශ සංචිත අඩුවන විට රනිල් කීවේ අයිඑම්එෆ් යන්න කියාය. 2021 ජූනියේදී පාර්ලිමේන්තුවට ආ රනිල් දෙස විපක්ෂ නායක සජිත් බැලුවේ අනේ උඹට වෙව්ච දෙයක් සයිස් එකෙනි.

 

1652371052 RW g L


ඒ රනිල් වික්‍රමසිංහ, 2022 මැයි මාසයේ රටේ අගමැති බවට පත් කර වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදාය ඔලුවෙන් සිටුවන ලද්දේ අප්‍රේල් අරගලයද නැත. රාජපක්ෂලාද නැත. රනිල් ගැසූ ගැටයක් නිසා ද? ඒත් නැත.

වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදායත් විපක්ෂ නායක තනතුරත් විකෘති කොට, ඒ පෙරළියට පාර කැපුවේ සජිත් ප්‍රේමදාසගේ බැරිකමය. අර්බුදය ආරම්භයේම විපක්ෂයට නායකත්වය දෙමින් දෝෂාභියෝගයකින් ගෝඨා ඉවත් කළා නම් අතුකෝරාළ මන්ත්‍රිවරයා තවමත් ජීවතුන් අතරය. කාගේවත් ගෙයක් හෝ අලු ධූලි වන්නේ නැත. අරගලයක් නිර්මානය වුණේ රටේ විපක්ෂය අක්‍රියව පැවති නිසාය. ඇඩ්වර්ටයිසින් කාරයෙක්, නිරුත්තර රටට උත්තරය කියා ලියා දුන්නාට සජිත් යනු හැමදාමත් නිරුත්තර ප්‍රපංචයකි.

රට හතර ගාතයෙන් වැටී නිරුත්තරව සිටි අර්බුදයේදී විධායක ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන හයියක් සජිත්ට තිබුණා නම් අද රටේ විධායක ජනාධිපති සජිත් මිස රනිල් නොවේ. රනිල් ජනාධිපති කර ගෙදර යන්න නම් එන්න එපා යයි  ජවිපෙය, පාර්ලිමේන්තු මන්ත්‍රින්ට තර්ජනය කරද්දී සජිත් අගමැතිකම ඉල්ලා ගෝඨා ළඟ වැඳ වැටිණ. ඇත්තෙන්ම අප්‍රේල් 9 වෙනිදා සිට, ජූලි 13 වෙනිදා තෙක් පෙළ ගැසුණ අර්බුදය තුළ සජිත් අසාර්ථක වෙද්දී හුදෙකලා රනිල් පැයෙන් පැය ශක්තිමත් විය. ගෙට ගිනි තැබීම නිසා රනිල් බියට පත්ව අගමැතිකම අත් හැරියා නම් වෙස්ට් මිනිස්ටර් ක්‍රමය අනුව ඇතා පෙරහැරෙන් යා යුතුව තිබුණේ සජිත්ගේ ගෙදරට ය. එහෙත් එජාප තනි මන්ත්‍රි අගමැතිව වැඩ බලන ජනාධිපතිව පාර්ලිමේන්තු බලයෙන් ව්‍යවස්ථානුකූලව රටේ විධායක ජනාධිපති වන තෙක්ම බලා සිටි විපක්ෂ නායකයා රටට තබා තම යහපතටවත් උත්තරයක් සොයා නො ගත්  විගඩමක් බව, බය නොවේ කැත යයි කී අර පුරවැසියා තේරුම් ගත්තාට සජිත්ට කඩේ යන හර්ෂලාට තවමත් තේරිලා නැත.  

 

ඩලස් - සජිත් හවුල පැරදුණේ ඇයි?

සියල්ල අවසානයේ ව්‍යවස්ථානුකූලව, අනුප්‍රාප්තික ජනාධිපති තෝරා ගැනීමට දින නියම විය. ඒ දවසේවත් නිරුත්තර රටට උත්තරය තමන් බව සජිත් ප්‍රේමදාසට සිතුණේ නැත. එදා උත්තරයක් නැති රටට උත්තරය හැටියට සජිත් දුටුවේ රාජපක්ෂලාගේ අන්තේවාසික ඩලස් අලහප්පෙරුම ය. අදත් සජිත් නිරුත්තර රටට උත්තරය වෙන්න දඟලන්නේ ජනාධිපති හෝ මහ මැතිවරණයක් හරහා නොවේ. ගමේ හරක් කටාලා තෝරන ගම් සබා ඡන්දය හරහා ය.

 වෙස්ට් මිනිස්ටර් ක්‍රමය අනුව, විපක්ෂ නායක සජිත් විකල්ප පාලකයා වුවද සජිත්ට රටේ ඊළඟ පාලකයා වීමට පොර බැදීමට සිදු වී  ඇත්තේ සිය ප්‍රතිවාදි  ජනාධිපති වික්‍රමසිංහ සමග නොවේ. රාජපක්ෂලා සමගද නොවේ. තමන්ම සමගය. අදවන විට සජිත් පාර්ලිමේන්තු ආසන තුනක් හිමි විපක්ෂයේ කුඩාම පක්ෂයේ ප්‍රහාරයන් හමුවේ පය පැකිළි ගාටමින් සිටියි. මේ සියල්ල සිදුවුණේ 2020දී එජාපයත් අලියා සහ රනිල් දේශපාලනයෙන් ඉවත් කිරීමට සජිත් කළ නො හොබිනාකම නිසාය. ඔහු මේ වන විට, තලතා, රෝහිණිලා, නලින් බණ්ඩාරලා, හර්ෂණ රාජකරුණාලා දුසිමක් සිටියදී පාර්ලිමේන්තුවේත් නැති හිරුනිකාලා දමිතා අබේරත්නලා, සුජීව සේනාසිංහලා කැඳවන්නේ සජබය තුළ දියාරු වෙමින් පවත්නා නායකත්වය රැක ගැනීමට මිස රට ඇල්ලීමට නොවේ.

කවුරු අකමැති වුණත් අද සිද්ධ වෙමින් පවත්නේ මියගිය මංගල හෝ හර්ෂලා, සජිත්ලා හෝ යටත් පිරිසෙයින් අනුර කුමාරලාවත් කැමති දේ නොවේ. රටට යහපත් යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ කල්පනා කරන දේ ය. සජිත්ලා අනුරලා හිතුවේ ජන වරමක් නෑ යකෝ කී සැනින් ගෝඨා මෙන් බියෙන් වෙව්ලා රනිල් මැතිවරණ පවත්වා කෙළවා ගනියි කියා ය. ඡන්ද කල් දැමුවොත් බටහිර  ලෝකය රනිල් එළවා දමනු ඇත කියාය. එහෙත් විපක්ෂයේ ඡන්ද ගුණ්ඩුව කළමනාකරණය කරන රනිල්ගේ ශෛලිය බටහිර අගය කරන බව අයිඑම්එෆ් ප්‍රති ක්‍රියාවෙන් තහවුරු වී හමාරය.

බංකොලොත් රාජ්‍ය ආයතන වලින් කෝටි ගණන් බෝනස් අතිකාල ගිලින, ලක්ෂ ගණන් මාසික ණය වාරික ගෙවන වෘත්තිකයන් අතලොස්සකට රැවටුණ විපක්ෂයේ වර්ජන තර්ජන අරගල දෙ කකුලෙන් ඔසවා තැබීමේ රනිල් සතු ශක්තිය චියෙන්නාම් අරගලය පරාජය කළ චීනාටත් දැනිලා ය. හැමදාම කඩු පොලු අතට ගෙන අතපය වීසි කළ පෙරටුගාමින්ටද රුපියලේ නැගීම බැසීම ගැන මහ බැංකුවේ ස්වාධිනත්ව පනත ගැන තර්ක කිරීමට සිදුවීම යනු සාම්ප්‍රදායික අරගල උජාරුව සේදී යාමකි.

මහා වැඩ වර්ජනය සාර්ථකද? කාටත් ඇසීමට සිදු වී ඇත. රටේ උණුසුම් කතිකාව ජන වරම හෝ මැතිවරණ නොවේ. රුපියල කෙලින් වීම ය. කලාපිය භූ දේශපාලනය තුළ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය යුතු ආකාරය තීරණය කරන්නේ අධිකරණය හෝ වීදි සටන් කරුවන් නොවේ. නිහඬ ජනතාව විසිනි. කලකට පෙර අරගල අයිතිය ජනතාවටත් අරගල මැඩ පැවැත්වීමේ අයිතිය පාලකයන්ටත් හිමි බව සතු චීනය ක්‍රියාවෙන් තහවුරු කර හමාරය. රටේ විරෝධය වැඩිවන තරමට රනිල් රාජ්‍ය තාන්තික පෞරුෂය දිගින් පළලින් උස් මහත් වෙයි. රුවන්ඩාව වෙනස් කළේ ජනප්‍රිය තීරණ හමුවේ බිය නොවූ කගාමේ ය. පල්ලි වැසුවාට රුවන්ඩාව හෝ කගාමේ වැටුණේ නැත. භික්ෂුන් සමූහයක් 15ක කුඩා කැබිනට් මණ්ඩලයකින් රට පාලනය කරන ලෙස කරන ඉල්ලීම යොමු කළ යුත්තේ ජනාධිපති වික්‍රමසිංහට නොවේ. විපක්ෂයටය. ගිය සතියේත් ජනාධිපති වික්‍රමසිංහ රට ගොඩ නැගීමට එක්වන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටියේය. හර්ෂලා මේ නටන්නේ කාගේදෝ පදයකට නිසා ආචාර්ය හර්ෂ සිල්වා දකින රටේ මිනිස්සු අන්දරේ මැරුණේ නෑ සින්දුව කියනවාමය.

 

මේ සියලු කරුණු කාරණා අතර,  ලංකාවේ පක්ෂ දේශපාලනයේ පැවැත්මද සාරාංශ කළ යුතුවේ. ලංකාවේ පළවෙනි දේශපාලන පක්ෂය එජාපය නොවේ. 1935 බිහිවූ සමසමාජ පක්ෂයයි. සමසමාජයට පසුව බිහි වූ කිසිදු විකල්ප දේශපාලන පක්ෂයකට තනිව මේ රටේ බලය ලබා ගත නොහැකි විය. 1946  බිහිවූ එක්සත් ජාතික පක්ෂයෙන් 1951දී කැඩී ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිළිකරු වෙමින් සමසමාජය ඇතුළු බොහෝ පක්ෂ එජාපයට එරෙහිව දේශපාලනය කර සිය ජාම බේරා ගත්හ. වාමවාදි පක්ෂ මේ රටේ බලයට පත් හැම ආණ්ඩුවකටම බාධා කළහ. එජාපය ශ්‍රීලනිපය වටා රටේ ජනතාව බෙදුණා මිස, ප්‍රජාතන්ත්‍රවාදි සමාජය කිසි අවස්ථාවක වාමාංශික බලවේග පිළිබඳ විශ්වාසය  තැබුවේ නැත. ඊට හොඳම උදාහරණය ශ්‍රී ලංකා මහජන පක්ෂයයි. බලයට පත් වූ චන්ද්‍රිකා පෙනී සිටියේ ශ්‍රීලනිපය හැටියටය. 2015දී ශ්‍රීලනිපය අහිමි වූ මහින්ද පොහොට්ටුව අටවා ගත් නමුත් 2020දී ශ්‍රීලනිපය සමග අත්වැල් බැඳ ගත්තේ එජාප-ශ්‍රීලනිප වියුක්ත තුන්වෙනි බලවේගයකට රටේ ඉඩක් නැති බැවිනි. 2010 සහ 2015 ජනාධිපති මැතිවරණ දෙකේදී පොන්සේකලා සිරිසේනලා මහින්දට මුහුණ දුන්නේ එජාපයට මුවා වෙලා හෙවත් අතේ එල්ලීලාය.

 

මේ ඓතිහාසික කියවීම තේරුම් නො ගන්නා තාක් සජිත් ප්‍රේමදාසට රටට තියා තමන්ටවත් උත්තරයක් විය නො හැක්කේය. තනි රනිල් රටේ විධායක ජනාධිපති වීම යනු මෙනෙහි කළ හැකි ප්‍රාතිහාර්යක් මිස කිසි විටෙක අනුගම්‍ය පූර්වාදර්ශයක් වන්නේ නැත. රනිල් පළමුව ජනාධිපති මැතිවරණය කැඳවා තමන් අවශ්‍යදැයි ජනතාව ගෙන් ඍජුව විමසනු මිස වර්ජන තර්ජන හමුවේ දන නො ගසනු ඇත. ඊළඟ එළඹෙන ජනාධිපති මැතිවරණයේදී හිත හදාගෙන රටේ අගමැතිවත් වීමට උත්සාහ කරනු හැර සජිත් ප්‍රේමදාසට වෙන උත්තරයක් නැත. හේතුව නිරුත්තර රටට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවැරදි උත්තරය තෝරා දී ඇති නිසා ය.


chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )


Anida



 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්