හැම කටහඬකම ධ්වනිය සියුම්ව නිරීක්ෂණය කර බැලූ කල, එ හඬෙහි හැඩරුව, හැඩරටා, හැඩතල පෙනෙන්නට ගනී.

ඉසියුම්ව හා අති සමීපව නිරීක්ෂණය කළ විට, හැම හඬකම ඊට අනන්‍ය චරිත ලක්ෂණ ඇති බව තහවුරු වෙයි.

 

නන්දා මාලිනියන් ගායනයට පිවිසෙන්නේ ම, නාගරික දුක්බර හඬක් සමඟිනි. ඒ නාගරික පීඩිත ස්ත්‍රියගේ කටහඬ ය. කෙතරම් සංවිධිතව‍ හා ශාස්ත්‍රීයව සිය භාවිත කලා විෂය හැදෑරුව ද, ඈ කෙරෙන් නිරූපමාන වන්නේ නාගරික පීඩිත ස්ත්‍රී අධ්‍යාත්මයයි. ගැටවරී වියේදී ‘බුදු සාදු බුදු සාදු - මම සමන් වැලක් වෙන්නම්’’ කීයද්දී ද, සිනමා පසුබිම් ගැයුමෙහි ‘ගලන ගඟකි ජීවිතේ’ කියා සම්මානිත වද්දී ද, ඒ හඬෙහි වූයේ පෙරකී දුක්ඛ ලකුණ ම ය. නන්දාව, දශක හරහා යමින් ගැයුවියක ලෙස යාවත්කාලීන වුව, සංගීත පරිඥානය අත්පත්කරගත්තේ වුව අප ප්‍රවාදගත කරන නාගරික පීඩිත ස්වරය, පවත්වාගෙන යන්නට ඇය සමත් වන්නී  ය. මෙය ඇගේ  ඉතා සවිඥානක ප්‍රවේශයකැයි අපි විශ්වාස කරමු. ඇය එකී පීඩිත අධ්‍යාත්මය දරා සිටියි. අල්පේච්ඡභාවය පිළිබිඹු කෙරෙන එකී පීඩිත අධ්‍යාත්මය ඇය විසින් ඉතා සුපරිස්සමින් නඩත්තු කෙරෙයි.

 

නන්දා මාලිනිය යනු එදත් අදත් බොහෝ විට හෙටත් අප අනුදත් අපගේ මව්බසින් අප කැමතිම ගී ගයන අප කැමතිම ගැයුවිය බව පිවිසුම් මොහොතේදී ම සනිටුහන් කළ යුතු ය. ඇගේ ඇතැම් විරෝධාකල්පිත ගීත මෙන්ම සකල ප්‍රේම-විරහී ගීත අප තුළ සන්තාන ඥානනයෙහි සදානුස්මරණීය නිමැවුම් ය. එ මෙන්ම, පුද්ගලිකව, ඈ අප කෙරෙහි දක්වන ලෙංගතුකම මෙන්ම අප අමතන සහෝදරත්මක ස්වරය හැමදාම නොවෙනස්ව පැවතුණු බව ද ගෞරව සම්ප්‍රයුක්තව පැවසිය යුතු ය. ඒ අතර ම, ඇය සමාජගත කරන ප්‍රවාද පිළිබඳ ප්‍රතිවාද ගොඩනංවන්නට අප කෙරෙහි වන අයිතිය ඇය සුපුරුදු සහෝදරත්වයෙන්ම අවබෝධකරගනු ඇතැයි අපි විශ්වාස කරමු.

නන්දා මාලිනිය, කලකට පසු ඉකුත් 2023 පෙබරවාරි 03දා දිවයින පත්තරයේ සිනමා කලා අතිරේකයේ අජිත් අලහකෝන්ගේ ප්‍රශ්න කිරීමකට ලක්වන්නී ය. ‘’මේ වෙලාවේ නිහඬව ඉන්න බෑ...’ මැයෙනි. මහා කුරහන් සාටකකරුවාගේ රාජසභා සංස්කෘතික උපදේශකවරයකු වූ අති රමනීය හා ප්‍රේමනීය ගී තනු නිර්මාපක රෝහණ වීරසිංහ සංගීත නිර්මාණය කළ ග්‍රාම්‍ය පද පෙළක් රැගත් ‘සාටකකාරයන්’ ගැන කියැවෙන ඇගේ අලුත් ගීතය ‘බහුබූතයෝ කරලියට ඇවිත්’ පිළිබදව නන්දා මාලිනිය මෙසේ පවසයි.

 



‘’දැන් එන්න එන්නම රටේ තත්වෙ හොඳ නෑ. හැම පැත්තෙන්ම ප්‍රශ්න ගොඩයි. ඒ නිසා මේක තමයි හොඳම වෙලාව මේ ගීතය එළිදක්වන්න.’’

අලහකෝනු ලියවිල්ල විරෝධාකල්ප ගීතය ගැන ය. සටහන මැදදී ඔහු ‘’ගීතය සමාජ මෙහෙවරක් සඳහා ය යන්න මේ දක්වා ආ ගමනේදී ඇය සනාථ කර ඇත’’ යනුවෙන් ලියයි. ඉක්බිතිව සටහන් කරන්නේ ‘උඩඟු ලියන් ගොතා බඳිමු ගීතයේ ආරම්භක පද පෙළයි. එය ප්‍රශ්නයක ලීලාවට ගොඩනැඟුවහොත් ඔහු අසන්නේ විරෝධාකල්ප ගීත භාවිතයේ ගීතයක් ලෙස සැලකෙන ‘උඩඟු ලියන්’ ගීතය ගැන නන්දා මාලිනියගේ අදහසයි.

ඇය මෙසේ කියයි.

‘රටේ යුද්ධය නැති කාලෙක තමයි මං උඩඟු ලියන් ගීතය ගැයුවෙ. පසු කාලෙක ඒ ගීතයේ අර්ථය ජනතාවගේ හිත්වලට වැදුණා’’

 

ska

ඇය මේ කියන්නේ කවරක් ගැනදැයි අපැහැදිලි නැත. ඇය කියන්නේ ගීතයේ එන රණවිරුවන් ගැන ය. පීඩිත ජාතියක විමුක්ති අරගලයක් නට්ටං කිරීම වෙනුවෙන් පීඩකයාගේ මර්දන යන්ත්‍රය වූ ආක්‍රමණකාරී හමුදාවක් ගැන ය. කොටින්ම, රණවිරුවන් ලෙස අධිනිෂ්චය වූ ජයග්‍රාහී සිංහල හමුදාව ගැන ය.


2009 දී දෙමළ විමුක්ති කොටි සංවිධානය පරදා ‘’රණවිරුවන්’’ අත්පත් කර ගන්නා ජයග්‍රහණය 1969 තරම් ඈතක, එනම් වසර 40කට පෙර දැකීමම කවර සතුටක් ද. නන්දාවන් ‘’කුසුමක’’ අධ්‍යාත්මයට අනන්‍යව‍, කුසුමක අභිලාෂය මෙම ගීතය තුළ ගොඩනැඟුවද, ඇගේ මෙම ප්‍රකාශය ඇය උඬගු ළියක බවට පිරිහෙළනු ලැබෙනවා නොවේ ද?

 

‘’ආඬි ළිංවලින් උනන්නෙ වතුර නෙවෙයි ලේ - මෝරන තල් ගෙඩිවල තද රත අඳින්නෙ ලේ - මිරිස් කරල් මෝරන විට පාට දෙන්නෙ ලේ - නළලේ රතු තිලක වලට රත ගෙනෙන්නෙ ලේ’’’ යැයි ගැයූ නන්දා මාලිනිය, නන්දිකඩාල් කලපුව ලෙයින් පිටාර ගලන තරමේ දෙමළ ජනයාගේ මිනී, කඳු ගැසෙමින් නිමා කෙරුණු යුද්ධයක ආක්‍රමනිකයා අනියමින් වණමින් මේ සිදුකරන්නේ දකුණේ පොදු සිංහල බෞද්ධ අධිපති දෘෂ්ටිවාදයේ ප්‍රමෝදය තුළ ගිලිණු සිංහල බෞද්ධයාගේ එකී ප්‍රීනනයට ම අනන්‍යවීම නෙවේද? ඉදින් එය ස්වෝත්තමවාදී උඩඟු ලියකගේ භූමිකාවට අවතීර්ණ වීමක් නොවේ ද? ඒ කෙසේ වුව පදනම් ගීතයේ පසුබිමේ තබා නන්දා මාලිනියගේ මෙම ‘උඩඟු’ ප්‍රවාදය ඓතිහාසිකව නිවරදිද දැයි විමසා බැලීය යුතු ය.

 

අප ඉතා කුඩා කල උඩඟු ලියන් ගීතය මුලින්ම ඇසුවේ අපේ අම්මාගෙනි. ඇය ඉතා රසවත්ව එය ගැයුවා ය. රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් රණවිරුවා කවරෙක්දැයි නිශ්චිතව නොදැනුණ අතීතයක වුව, මතක මාත්‍රිකව මනසේ රැඳී තිබුණේ ඔහු 71 කැරැල්ලේ දිවි පිදූවකු බවයි. රණවිරුවා යන්න එකල වරනැඟුණේ එය අධිනිෂ්චය වී චොර වී ජුගුප්සිත වී ඇති සමකාලීන අර්ථයෙන්  නොවේ.

‘උඩඟු ලියන්’ යනු හැටේ දශකයේ අවසාන භාගයේ අමරදේව සහ ඩෝල්ටන් අල්විස් සුසංයෝගයෙන් ගුවන් විදුලිය සඳහා නිර්මිත ‘විජය ගී’ වැඩසටහන වෙනුවෙන් නන්දා මාලිනිය විසින් තැටිගත කෙරුණු ගීයකි. තැටිගත වර්ෂය ලෙස සඳහන් වන්නේ 1969යි. නව ගීත ආකෘති අත්හදා බැලීම් ලෙස ‘විජය ගී’ හරහා කලඑලි බැස ඇති මනරම් ගීත රැසකි.

 



Makhan Color for Web4 largeමඛන්ලාල් චතුර්වේදී‘උඩඟු ලියන්’ ආවේශය ඩෝල්ටනුන් තුළ ඇවිලුණේ කෙසේ ද? එ තුළ වන්නේ රවීන්ද්‍රනාත් තාගෝරයන්ගේ නොබෙලියානු රැස් වළල්ලෙන් වැසී ගිය බරපතල ඉන්දීය කවීන් අතුරින් කෙනෙකු වූ ඉන්දියානු අධ්‍යාත්මයේ නිධන්ගත, ඉන්දීය නිදහස් සටනේ ඓන්ද්‍රීය කවියකු, වූ මඛන්ලාල් චතුර්වේදීන්ගේ  ‘පුෂ්ප කී අභිලාෂා’ නම් විමුක්ති කවියේ හෙවණැල්ලයි. නිදහස් අරගලය වෙනුවෙන් සිරබත් කෑ, ඉන්දියානු ප්‍රමුඛම ගෞරව සම්මාන හා ජනතා බුහුමනට පාත්‍ර චතුර්වේදීන් වනාහී කවියෙකු, ලේඛකයකු, නාට්‍ය පෙළ රචකයකු පමණක් නොව යටත්විජිතවාදයට ඒරෙහි ජාතික අරගලයට සෘජුවම දායක වූ ‘කර්මවීර්’, ‘ප්‍රභා’ හා ‘ප්‍රතාප්’ යන ප්‍රකාශනයන්ගේ ප්‍රධාන සංස්කාරකවරයා වූ කීර්තිමත් ජනමාධ්‍යවේදියෙකි. අද ‘මඛන් නගර්’ ලෙසින් ප්‍රකට ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ කුඩා ගම්මානයක් වූ ‘බබායි’ හි උපත ලත් ‘මඛන්ලාල්’ මධ්‍ය ප්‍රදේශයට කොතරම් ආලෝකයක් වී ඇත්තේ ද යත් බෝපාල්හි පිහිට ‘ජනමාධ්‍ය හා සන්නිවේදනය’ විෂයෙහි ස්ථාපිත සරසවිය ඔහුගේ නමින් නම් කෙරුණි.  

මෙවන් විසල් චරිතයක් වූ ‘පණ්ඩිත් ජී’’ නමින් ප්‍රකට මඛන්ලාල් චතුර්වෙදීන් අති ලියැවුණු ‘පුෂ්ප කී අභිලාෂා’ දෙපෙළ බැගින් වු ස්ටන්සාවන් හයක සංක්ෂිප්තකර කවියකි. අවසන් ස්ටන්සාවේ රිද්මය නිදහස්ව තබා ඇත්තේ එහි අන්තර්ගත නිදහස පිළිබඳ අපේක්ෂාවට අවනත වන ලෙසිනි. මෙකී ‘කුසුමෙහි’ අපේක්ෂිත ධ්වනිය මව්බිමේ නිදහස වෙනුවෙන් සිදුකෙරෙන අධ්‍යාත්මික ඇවිලවීමකි. එමෙන්ම ඩෝල්ටනුන්,  1944 දී පී.බී. අල්විස් පෙරේරා විසින් ‘මලක් කතා කරයි’ මැයෙන් අනුවාදිත සිංහල කවිය ද සමීපව ඇසුරු කළ බව පෙනෙන්නට තිබේ. මන්දයත් මඛන්ලාලුන්ගේ ඔරිජිනලයේ නැති යෙදුම් හා ඇතැම් අර්ථකතන පී.බී.න්ගේ කවියෙහි වන අතර ඩෝල්ටනුන් අතින් සමතික්‍රමණය වූ ‘උඩඟු ලියන්’ කෙරෙහි මේ ලියවිලි දෙකෙහිම මූලයන් දක්නට වීම ය.

 

malaks

ඩෝල්ටන් කෙරෙන් ‘උඩඟු ලියන්’ මතුවන්නට තවත් කාරණා ඉවහල්ව ඇති බව පෙනෙන්නට තිබේ. එන්.එම්.පෙරේරාගේ ‘කොටාරෝඩ් වළව්වේ’ රෑ ඉස්කෝලෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නට ගිය ඩෝල්ටන් යනු එන්.එම්.ගේ දේශපාලනය ආශ්වාදකර ලෙස විඳගත් තරුණ ලියන්නෙකි. එමෙන්ම හැටේ දශකය අවසානයේ පැන නැගෙමින් තිබුණ වාම රැඩිකල් ව්‍යාපාරයන්ගේ තරුණ දේශපාලන ක්‍රියාධරයන්ද සමීපව ඇසුරු කිරීම, ඩෝල්ටන්ට ඒ සමකාලීන මොහොතේ ‘උඩගු ලියන්’ ලිවීමට උත්තේජනය වූ බව එකී ඉතිහාසය විමසීමේදී මතුවන කරුණු ය. ඒ කුමක් වුවත් ගීයේ පදනම වන ‘පුෂ්ප කී අභිලාෂා’ කවිය නිදහස පිළිබඳ ඉන්දියානු දුක්ඛිත ඉතිහාසය නියෝජනය කරන්නක් බව බැහැර නොකලැකි යථාර්ථයකි.

 



අවශ්‍යයෙන්ම විජිතවාදී ඉතිහාසයේ ඉන්දු උපමහද්වීපයේ දේශපාලන චලනයන් අවබෝධකර ගැනීමකින් තොරව, සමකාලීන ශ්‍රී ලංකාව අවබෝධ කරගන්නට බැරි ය. නන්දා මාලිනියගේ ඉහත ප්‍රකාශය පවා ව්‍යුත්පන්න වනුයේ ඉංග්‍රීසි විජිතවාදය විසින් උරුම කර දෙනු ලැබූ දේශපාලන ඉරණම හරහා බව පැහැදිලි ය.

ඉංග්‍රීසී කිරීට ම්ලේච්ඡත්වයේ ඉරණමට එරෙහිව අවිච්ඡින්නව පැනනැඟි ඉන්දියානු මහා නිදහස් අරගලය ස්‍ක්‍රීයව හා අඛන්ඩව පවතිද්දී, සමකාලීන සිලෝනයේ එවන් අරගලයක් පහළ නොවුණේ  ඇයිදැයි තේරුම් ගන්නට නම් ඉංග්‍රීසින් විසින් ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව තබා ගැනුණු භූ දේශපාලන සන්දර්භය සමීපව අධ්‍යනය කළ යුතු ය. ඉන්දියානු නිදහස් සටන හා එහි සන්නද්ධ අරගලය වෙත සිලෝනුවන්ගේ අවධානය හා ආකර්ෂණය ඇති නොවීම පිණිසත්, එනයින් ඉන්‍දියානුවන් සමඟ සම්මුතිගතවීම වැලැක්වීම හරහා ඉන්දු උපමහද්වීපික කලාපයේ ඉංග්‍රීසි අධිරාජ්‍යය කළඹන සුළු සංධානයක් නිර්මාණය වීමට ඇති අවකාශය වසා දැමීමත් ඉංග්‍රීසි විජිතවාදීන්ගේ උපක්‍රමික ප්‍රවේශය විය. දෙමළ සිංහල පසමිතුරුභාවය පැන නැඟෙන අවකාශය නිර්මාණය වන්නේ එහි අතුරුඵලයක් ලෙසිනි.

 

‘ඒකීය රාජ්‍යය’ උඩඟුභාවය හා සිංහල-බෞද්ධ දෙමුහුන් අනන්‍යතාව පහළ වන්නේ විජිතවාදී උවමනාව තුළ බව තේරුම්කර ගන්නට නම් ඉතිහාස සාක්ෂරතාව අත්පත් කර ගත යුතු ය. බෙදාවෙන් කර පාලනය කිරීමේ උපක්‍රමික මූලධර්මයට අනුව විජිතවාදීන් බෙදන ලද්දේ දෙමළා හා සිංහලයා නොවේ. ඉන්දියාව හා ලංකාවයි. උතුරේ දෙමළ පුරවැසියා හරහා ඉන්දියානු නිදහස් අරගලය හා ඒකාබද්ධ වීමට කිසියම් ම හෝ අවකාශයක් සිලෝනුවන් තුළ තිබියේ වී නම් එය වසා දමන්නට ඉංග්‍රීසි පාලකයන්ට හැකි විය. ‘කුසුමක අභිලාෂය’ නම් කවිය පැන නැඟී තිබුණේ  එවන් ඓතිහාසික සංදර්භයක ය. මෙකී ඉතිහාස සන්දර්භයෙන් මුළුමනින්ම වියුක්ත කොට යුධෝන්මාදී ‘සිංහල-‌බෞද්ධ’ පසුතලයක තබා ‘උඩඟුලියන්’ කියවාගත නොහැක්කේ එබැවිනි.

 

මඛන්ලාල් චතුර්වේදී ගේ ‘කුසුමක අභිලාෂය’ මිනිස් නිදහස පිළිබඳ අභිලාෂය ම වරනඟන්නක් මිස එය නිදහස් විමුක්ති අරගලයක් බර අවි යොදා පොඩිපට්ටම් කරන්නට පීඩකයාගේ මර්ධන යන්ත්‍රය වුණු ආක්‍රමණික හමුදාවක සොල්දාදුවන් අරභයා පවසන්නක් නොවන බව අඩසියවසකට වඩා පැරණි ගීතයකට මිලිටරි අර්ථයක් දෙන නන්දාවන්ට අමතක වන්නේ ඇයි?

 

‘කුසුමෙක අභිලාෂය’ කවිය මෙන්ම එහිම දිගුවක් වන ‘උඩඟුලියන්’ ගීතයේ වචන වර නඟන්නේ පීඩිතභාවයට එරෙහිව සටන් වැද මව්බිම වෙනුවෙන් ජීවත පරිත්‍යාග කිරීමේ උදාරත්වය පිළිබඳවයි. කොටින්ම එය නිදහස පිළිබඳ ප්‍රාර්ථනය පෙරදැරිකරගත්  ස්වයං ජීවන පරිත්‍යාගයේ උදාරත්වය පිළිබඳ සමාජ ඥානනය අවුළුවන්නකි.

 

image 64ba3379ef 

 

නන්දාවන් ‘ආඬි ළිං වලින්’ ගීතයේදී දෙමළ ස්ත්‍රීයකට අනන්‍ය වන්නා සේ ම, එකී සන්දන්භය තුළදී ම, “උඬඟු ලියන්’ ගීතය හරහා ද සැබැවින්ම නම් අනන්‍ය විය යුතු වන්නේ දෙමළ නිජ බිම වෙනුවෙන් දිවි පුදන රණවිරුවා හෙවත් මහවිරුවන් වෙනුවෙනි. සිංහල බෞද්ධ අධිපතිවාදය තුළ එය කිව නොහැක්කක් නම් නිශ්ශබ්ද සිටිය හැකි වුව නන්දාවන් සිංහල බෞද්ධ මනස ප්‍රමෝදයට පත් කළ හැකි දෘෂ්ටිවාදයට අනන්‍යව ‘උඩඟු ලියන්’ ගීතය හරහා ආක්‍රමණික සිංහල සොල්දාදුවා පෙරමුණට ගනියි.

 

එය ‘මලක අභිලාෂය’ හා කිසිසේත්ම කියවා ගන්නට නොහැකි අර්ථයක් පමණක් නොව, එසේ කීම නිසා නන්දාවන් සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයටම අනන්‍යවූ එමෙන්ම දෙමළ සාංහාරයට සෘජුවම වගකිව යුතු ‘උඩඟු’ සිංහල කලාකරුවන් අතරට වැටෙයි.


ඩෝල්ටන් අල්විස් ඒ් මහා අපරාධයේ හවුල්කරුවකු වන්නේ නැත. මන්දයත් නන්දා මාලිනිය රණවිරුවන් යන්න සිංහල සොල්දාදුවා බවට පිරිහෙලමින් ‘කුසුමක අභිලාෂය’ සිංහල අනන්‍යතාව වෙත ගෙන එන්නට ප්‍රවාද ගොඩ නැගුව ද, ඩෝල්ටනුන්ගේ අති රමනීය පරිකල්පනය තවමත් පීඩකයාට එරෙහි පීඩිතයන්ගේ ඕනෑම අරගලයක් සඳහා විවෘතව පවතින බැවිනි.


Manjula wediwardhana(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත - 2023 පෙබරවාරි 19)



Anida



 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්