රුපියල් ලක්ෂයට වඩා වැටුප් ගන්නා රාජ්‍ය සේවක සුලු පිරිසකට, වැටුපට අදාල බදු ගෙවීම කපා හරින ලෙස ඉල්ලමින් රාජ්‍ය අඩපණ කර

රාජ්‍යයට රුපියල් බිලියන ගණනකින් පාඩු සිදු කිරීමේ වුවමණාවෙන් ආරම්බ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ජන සමාජයේ බහුතරයේ විරෝධය එල්ල වී තිබු අයුරු පසුගිය සතිය තුළ පැහැදිලිව දකින්න්ට ලැබිණි. ඒ තබා රාජ්‍ය සේවය තුළමත් ඊට විරෝධයක් ඇතිව තිබිණි. බදු කපා හැරීම වෙනුවෙන් රාජ්‍යය අඩපණ කිරීමේ අසාධාරණය බොහෝ දෙනෙක් තේරුම් ගනිමින් තිබෙන බව ඒ අනුව පැහැදිලිය. රාජ්‍යය දැන් පවතින අර්බුදකාරිත්වය ගැන බහුතරයකට දැනීමක් තිබෙන බව මේ අනුව පැහැදිලිය. මෙම එක් දින වැඩ වර්ජනය නිසා දළ දේශීය නිශ්පාදනයට රුපියල් බිලියන 46 ක පාඩුවක් සිදුවූ බව මුදල් රාජ්‍ය ඇමැතිවරයා පවසා තිබිණි.

ශ්‍රි ලංකාව දැන් පවතින්නේ අඩුම තරමින් 2019 ට පෙර පැවැති තත්වයේවත් නොවේ. බංකොලොත් වූ රාජ්‍යයක් ලෙසය. බංකොලොත් භාවයෙන් මිදීමට දුෂ්කර මෙහෙයුමක නිරතව සිටින මොහොතකය. එය කාටත් පැහැදිලි තත්වයකි.

විපක්ෂය වේදිකා ගානේ ජනතාව මුහුණ දෙමින් තිබෙන අර්බුද විසඳන්නය කියමින් විසුළුකාරී, ප්‍රායෝගික නොවන, ගැලරි චූන් කරන යෝජනා කරමින් රජයට බල කරමින් කෑ ගැසුවාට ඒවා කිරීමේ පහසු හැකියාවක් රජයට මේ මොහොතේ ඇත්තටම නොමැත. පාලකයන් සුර සැප විඳිනවාය, රජයේ දේපොළ හොරකම් කරනවාය, කොමිස් ගහනවාය, දුෂණයේ වංචාවේ යෙදෙනවාය කියමින් මෙම වර්ජන ඉල්ලීම් ලබා දීම සාධාරණීයකරනය කිරීමේ ලොකු තර්කයකුත් වර්ජන සහයකයන් කරලියට ගෙන විත් ඇත. නමුත් මේවා දැනට වලංගු නැත. මේ කියන රාජ්‍ය සේවකයන්ටත් මේ චෝදනාවම එල්ල කළ හැකිය. මන්ද දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍ය සේවකයන් ඇත්තේ අතලොස්සක් බව අමුතුවෙන් කිව යුතු නැති නිසාය.


මේ වර්ජනයේ යෙදෙන වෘත්තීය සමිතිකාරයන්ම මේ වංචාවන්ට දූෂණයන්ට හවුල්ය. රාජ්‍ය ආයතන පාඩු ලබුවේ මේ අයගේ සේවයෙහි ඇති වගවීම් සහගතබවේ තරම අනුවය. නමුත් පාඩු ලබන ආයතනයෙන්ම වැටුපට අමතරව බෝනස්, වැඩ නොකර අතිකාල ලබා ගැනීම් ආදී වරප්‍රසාද සියල්ල මේ අය අරගෙන තිබේ.


එමෙන්ම පාලකයන්ට අද පිස්සු කෙලීමේ අවස්ථාවක් නැත. වත්මන් පාලකයන් සිටින්නේ අතුරේ යන ගමනකය. රජය යළි මේ අර්බුදයන්ගෙන්, මේ බකොලොත්භාවයෙන් රට මුදවා නොගතහොත් ඔවුන්ගේ දේශපාලනයද අවසන් වෙයි. යළි ජනතාව අතරට පැමිණ තමන්ට ඡන්දයක් දෙන්නය කියා ඉල්ලීමේ හැකියාව ඇහිරෙයි. හිටපු පාලක පක්ෂය දැනටත් මේ අර්බුදයට මුහුණ දෙමින් සිටී. තවමත් ඒ බොහෝ දෙනෙකු සමාජයට මුහුණ දීමට නොහැකි අපහසුතාවයට ලක්ව තිබේ. ඇතැමුන් වෙස් මාරුකරගෙන පැමිණ තිබේ.

කෙසේ නමුත් මේ තත්වයන් කවරක් වුවත් මේ මොහොතේ රට ගොඩදැමීම සාමුහික ක්‍රියාදාමයක විය යුතුමය. ඒ වෙනුවෙන් ජනතාවත් පාලකයනුත් අවංකව කැප විය යුතුව තිබේ. නමුත් මෙවැනි අවංකභාවයක් රට ඉල්ලා සිටින මොහොතක රාජ්‍ය සේවකයාට එය මඟ හැරිය නොහැකි වගකීමකි. මේ වන විට පැහැදිලිව දකින්නට තිබෙන්නේ රාජ්‍ය සේවයේ සිහිබුද්ධියත් තිබෙන බහුතරයක් මේ තත්වය තේරුම් ගෙන කටයුතු කරන බවය. ඉහළම වැටුප් ගන්නා වෘත්තිකයන් සුළු පිරිසක් වෘත්තීය සමිති මාෆියාවත් සමඟ එක් වී මේ කරන වැඩ වර්ජන ආදිය රාජ්‍යය නැවත ගොඩනැංවීමේ කටයුත්තට බාධාවක්ව පවතින බවත් ඉතා පැහැදිලිය.

කොහොම නමුත් මෙම වැඩ වර්ජන ක්‍රියාවලියේ ඇත්ත කතා කළොත් මෙය බදු ප්‍රශ්නය හෝ රටේ ආර්ථිකයේ ඇති පීඩාකාරීත්වය මත සිදුවන්නක් නොවන බව තේරුම් ගත හැක. පසුගිය ගෝඨා පාලනය පෙරළා දැමීම වෙනුවෙන් මෙම පිරිසම සක්‍රීය වැඩ කොටසක් කළ අතර අද මෙම වැඩ වර්ජන ඉල්ලීම තුළ ඇත්තේ තමන් එදා ප්‍රතික්ෂේප කළ ආර්ථික ප්‍රතිපත්තිය නැවත ඉල්ලා සිටීමක් නිසා මෙතැන ඇත්තේ ඇත්ත වෘත්තීය ඉල්ලීමක් නොවන බව වඩාත් පැහැදිලිය.


එමෙන්ම වැඩ වර්ජනයට හවුල් වී ඇති වෘත්තීය සමිතිකාරයන් යනු විපක්ෂයේ පක්ෂ කිහිපයක් නියෝජනය කරන එහි නායකත්ව තත්වයේ පිරිසය. ඇතැමුන් මෙවර පළාත් පාලන මැතිවරණයටත් ඒ ඒ පක්ෂ වලින් නාමයෝජනා බාර දුන් පිරිසකි. ඒ අනුව මේ වෘත්තීය සටන් මුවාවෙන් කරගෙන යන්නේ තම තමන්ගේ දේශපාලන කඳවුරුවල පටු වුවමණාවන් දිනා ගැනීමේ තක්කඩි වැඩකි.

 

විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණයත් සමඟ දේශපාලනික උණුසුමක් රටේ ඇති කර ආණ්ඩු විරෝධයක් රට තුළ ගොඩනගාගෙන ඒ අනුව මැතිවරණයේදී තම තමන්ගේ ඡන්ද ගොඩ, වැඩි කරගැනීමේ තුච්ඡ ක්‍රියාකාරිත්වයක් මිස මේ වැඩ වර්ජන වල වෙනත් තේරුමක් නැත. මෙම ඉල්ලීම් ලබා දීමේ හැකියාවක් රාජ්‍යට නොමැති බව මේ වර්ජකයෝත් හොඳින්ම දන්නා ඇත්තය.

එනම් මෙය දේශපාලනික සටනකි. දේශපාලන සටන් වලට දේශපාලන උත්තර දෙනවා හැර වෙන උත්තර නැත. දේශපාලනය කියන්නේ බලය පිළිබඳ සටනකි. බලයක් වෙනුවට තවත් බලයක් පාවිච්චි කර ජයග්‍රහකයා තෝරණ ක්‍රමයකි. මේ අනුව ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරගත යුතු නම් මේ දේශපාලනික ප්‍රශ්න දේශපාලනිකව බේරාගැනීමේ හැකියාව ආණ්ඩුවට තිබිය යුතුය.

සමස්තයක් ලෙස සලකා බැලු විට මේ වැඩ වර්ජන ක්‍රියාවලිය රාජ්‍යට එරෙහි රාජ්‍ය ද්‍රෝහී කටයුත්තක් ලෙස ද සැලකිය හැකිය. ඒ අනුව ඊට ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩුව කටයුතු කිරීමෙහිද වරදක් නැත.



ඒ කොහොම නමුත් මෙම අසාධාරණ වර්ජනටය සම්බන්ධයෙන් ජන සමාජයෙනුත් රාජ්‍ය සේවකයන්ගෙනුත් එල්ල වූ ප්‍රතිචාරය යහපත් වූයේ නැත. මේ නිසාම පැය කිහිපයක් තුළ මේ ක්‍රියා මාර්ගයෙන් ඉවත් වීමට වෘත්තීය සමිති මාෆියාවට තීරණය කරන්න බල කෙරී තිබිණි.



ඒ වගේම ඇතැම් විට මෙම වර්ජනයට අච්චර මෙච්චර සහභාගී වුවා යැයි ගණන් හදා පෙන්නුවත් බොහෝ රාජ්‍ය සේවකයන්ට සිදු වූයේ වෘත්තීය සමිති මාෆියාවේ බලහත්කාරයට යටවී වර්ජනයට සහභාගී වන්නටය. තමන් නියෝජනය කරන සමිතියේ ක්‍රියාමාර්ග වලට සහභාගී නොවුණහොත් තමන් වෙනුවෙන් මේ සමිති නායකයෝ පෙනී සිටින්නේ නැති වීමත්, මේ සමිති නායකයන්ට තමන්ගේ රැකියාවට වුව හානි කිරීමට හැකියාවක් තිබෙන නිසාත් අකමැත්තෙන් වුවත් මේ වැරදි, රටට ද්‍රෝහී ක්‍රියාමාර්ගයට බොහෝ අයට සහභාගී වන්නට සිදු තිබිණි.

වර්ජකයන් තමන්ගේ වර්ජනය සාධාරණීය කරණය කිරීම වෙනුවෙන් කවර කරුණක් තහවුරු කරන්න උත්සහ ගත්තත් තවදුරටත් කඩාකප්පල්කාරීත්වය තුළ කටයුතු කළත් රට මුහුණ දී තිබෙන අර්බුදය හමුවේ මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරමින් සිටින ආර්ථික ප්‍රතිසංස්කරණ හකුලුවා ලීමට සූදානම් නැති බව පෙන්වා තිබේ. ඒ පසුගිය බදාදා මෙරට බාහිර ණයහිමියන්ට විවෘත ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත් පූර්ණ විනිවිඳභාවයක් පවත්වා ගන්නා බවට තහවුරුවක් ලබා දී ඇත. එනම් දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණයන් රට යථා තත්වයට පත්වන තුරු ක්‍රියාත්මක කරන බවය.

මේ වන විට දැනගැනීමට තිබෙන තොරතුරු අනුව මාර්තු 20 වන දින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වී ශ්‍රී ලංකාව ඉල්ලා සිටි ණය සහනය අනුමත කිරීම සිදුවනු ඇති බවත් ඒ අනුව 22 වන දින පළමු ණය වාරිකය රටට ලැබීමට නියමිතය. එසේම මෙම ලිපිය මඟින් ද්වීපාර්ශවික සහ පෞද්ගලික ණය හිමියන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් රාජ්‍ය ණය අර්බුදය කඩිනමින් විසඳාගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග සාධනීයව කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා ණයහිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.



මේ වන විටත් ණය හිමියන්ගෙන් සහ ජාත්‍යන්තර මුල්‍ය ආයතන මඟින් ලැබී තිබෙන සුබවාදී ප්‍රතිචාර අනුව රටේ හෙට දවස වඩාත් යහපත් වීම ගැන සැක නැත.



බංකොළොත් භාවයට ඇද දැමු රට ඉන් ගලවා ගැනීම වෙනුවෙන් නොබියව ඉදිරිපත් වූ මේ රනිල් වික්‍රමසිංහ නම් දැවැන්ත දේශපාලන පෞර්ෂය නොවන්න රට දැන් විසාලා මහනුවර ඛේදවාචකය අත් විඳින්න වන රටකි. ඔහුගේ දේශපාලන පරිචය, ආර්ථික විශේෂඥ දැනුම, පුළුල් ජාත්‍යන්තර සබඳතා, ඉවසීම සහ අධිෂ්ඨානය විසින් අද රට මහා ඛේදවාචකයකින් ගලවාගෙන තිබෙන බව කුහකකමකින් තොරව පිළිගත යුතු ඇත්තකි.

විපක්ෂය නටන නෙයිනාඩගම් වලට ඉඩ දී, ගැලරි චූන් කරන දේශපාලන සංදර්ශන පෙන්වමින් කටයුතු කරනවා වෙනුවට ඇත්ත අර්බුදයට ඇත්ත විසඳුම් ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කර රට ගලවා ගැනීම ගැන අනාගතයේදී ලියවෙනු ඇත්තේ රට ගලවාගැනීමට එනවා යැයි සිතු දියසෙන් කුමාරයා කවුරුවත් නොදැන ඇවිත් රට ගලවා දුන් බවය.



අද රජයේ ආර්ථික ප්‍රතිපත්ති පදනම මත සිට අඛන්ඩව තවත් දශක දෙකක් ක්‍රියාත්මක කිරීමට අනාගත පාලකයන් කටයුතු කළහොත් ජනාධිපති රනිල් පෙන්වා තිබෙන 2048 සංවර්ධිත ශ්‍රී ලංකාව බිහිවීම නොවැලැක්විය හැකිය. නමුත් වර්ථමාන විපක්ෂයේ නායකාරකාදීන්ගේ පිස්සු කෙළීම් අනුව නම් පෙනෙන්නේ ජනාධිපති රනිල්ට මේ කරමින් සිටින වැඩ කොටසවත් කිරීමට ඉඩ නොදී රටම අවුල් වියවුල් කර දමා තමන්ගේ බල තන්හාව මුදුන්පත් කරගැනීමට ගන්නා මජර වෑයමකි.



පසුගියදා ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම ගැන බොහො පිරිසක් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය අගය කරමින් කතාකරන විට ජාතික ජන බලවේගයේ ආර්ථික ඔස්තාර් සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ රුපියල කිසිසේත්ම ශක්තිමත් වී නැති බවය. ඊට වඩා විහිළු සහගත කතාව නම් රුපියල ශක්තිමත් වීමට ඇමරිකාව ඉඩ දෙන්නේ නැති බවත් එහෙම වුනොත් ඇමරිකාව මෙරටට බෝම්බ ගසනු ඇති බවත්ය. මේ රටේ බලය අල්ලනවා කියන ජාතික ජන බලවේගයේ ආර්ථික දැක්මය. මෙහි අනෙක් කතාව නම් ජාතික ජන බලවේගය බලය පිහිටුවහොත් ඔවුන් ඇමරිකාවට බයේ කිසිසේත්ම රුපියල ශක්තිමත් කිරීමට පියවර නොගනු ඇති බවය. නැතිනම් ඇමරිකාවට බෝම්බ ගසා හෝ රුපියල ශක්තිමත් කරන බවය. මෙවැනි විකාරරූපී අදහස් සහිත පක්ෂයකට රටේ පාලන බලය හිමි වුවහොත් සිදුවිය හැක්කේ කුමක්ද කියන එක 2019 න් පසු වසර දෙක තුළදී රටම අත්විඳ ඇත.

මේ අනුව පළාත් පාලන මැතිවරණයෙන් රටේ බලය ඇල්ලීමට කල්පනා කරන විපක්ෂ කණ්ඩායම් අඩුම තරමින් නගර සභාවක්වත් නිසි පාලනයකින් පවත්වාගෙන යෑමට සමත් නොවෙනු ඇත. ඒ අර්ථයෙන් මෙම මැතිවරණය තවදුරටත් කල් දැමීම රටට මේ මොහොතේ යහපත් වෙනු ඇත. විපක්ෂ මෙම මැතිවරණය ඉල්ලා සිටින්නේ කොහොමත් රටට ගමට ඇති ආදරයක් නිසා නොවේ. ආණ්ඩුව රට ගොඩනැගීමට ගන්නා ක්‍රියාමාර්ග පරාජය කිරීම වෙනුවෙනි. ඒ වෙනුවෙන් ඕනෑම ම්ලේච්ඡ ක්‍රියා මාර්ගයක් ගැනීමට වුවත් ඔවුන් සුදානම් බව වැඩවර්ජන ක්‍රියා මාර්ගයේදීද පෙන්වා දෙනු ලැබුවේ, වැඩවර්ජනය ක්‍රියාත්මක කළ රෝහල් වල නේවාසික රෝගීන්ට ආහාර පාන පවා නොදෙමින් එම රෝගින් බඩගින්නනේ මරා දමා ඒ මරණ වල වගකීම ආණ්ඩුව පිට පැටවීමේ වුවමණාව අනුවය. නමුත් ඒ තත්වය පාලනය වූයේ රෝගීන් බැලීමට ආ බාහිර පිරිස් විසින් රැගෙන ආ ආහාර පාන බෙදා හදාගැනීම නිසාය.



රනිල් රට බාරගැනීමේදී තමන්ගේ මූලික කටයුත්ත බවට ප්‍රකාශ කළේ ජනතාවගේ බඩගින්න නිවන එකය. රනිල් අනිත් වැඩ වලට අත ගැසුවේ එම ගැටළුව විසඳීමෙන් පසුවයය. රටට වගවීමක් ඇති ජනතා හිතවාදී නායකයන් සහ බල තන්හාවට මිනි මරන්න වුණත් සූදානම් අයගේත් ඇති වෙනස ඒකය. ඒ නිසා රටට තවදුරටත් අවශ්‍ය වන්නේ කවර පන්නයේ නායකයන්ද කියා ජනතාව තීරණය කළ යුතුය. මේ අනුව විපක්ෂ තමන්ගේ බල තන්හාව වෙනුවෙන් තෝරණ ක්‍රියා මාර්ග විසිනුත් ඔප්පු කරමින් සිටින්නේ රනිල් හැර වෙනත් විකල්පයක් රටට නැති බවය.

 

- ඝෝෂක

 Chatham Street journal Paper – 2023-03-19

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්