ලාංකීය සාහිත්‍ය හා කලාව තුළ නිර්මාණකරුවකු ස්ථානගත කිරීම මේ මොහොත වන විට සිදුවන්නේ සම හරක් ප්‍රවීණ නිර්මාණකරුවන්, රූපවාහිනී, ගුවන් විදුලි හා මුද්‍රණ මාධ්‍යවලට රිසි පරිදි ය.

එහි දී තම පක්ෂපාති මධුපාන සගයන්ටත්, වෙනත් හිතමිතුරු නඩවලටත් මූලිකත්වය ලබා දෙන අතර මධ්‍යස්ථව සාහිත කලාවේ ප්‍රමනය උදෙසා නිර්මාණකරුවන් දිරිගන්වන්නේ ඉතා අතළොස්සකි. ඉනුත් විචාර කලාව පිටකසා ගන්නා ක්‍රවේදයට අනුගතවීම බහුතර වශයෙන් දක්නට ලැබෙන අතර පොතක් කියවා එහි උපුටනයන් හුවා දක්වමින් කරන සුබ පැතුම් පණිවුඩ සහිත ඇතැම් ලියවිලි හා ලියන්නන්, විචාරකයින් ලෙස ද දැන් දැන් බහුල ලෙස රෝපණය වීම සැබැවින් ම කනගාටුවට කරුණකි.

මතඟනා' තුළින් හමුවන්නේ සැබෑ ස්ත්‍රීත්වය ද...? - (ගංගා ශිරෝමනි අලුකීර්ති)ජයසිරි අලවත්තඒ අතරින් නිවැරදි හැදෑරීමකින් හා පොතපත පරිශීලනයෙන් කෘතියක පවත්නා සාධනීය හා නිශේධනීය කරුණු සනාථ කරමින් නිවැරදි මැදහත් විචාර සංස්කෘතියක යෙදෙන විචාරකයන් ස්වල්ප දෙනකු හෝ සිටීම නිර්මාණකරුවන්ගේ හා සාහිත්‍ය කලාවේ වාසනාවකි. එවන් මධ්‍යථ විචාරකයකු ලෙස විවාදයකින් තොරව ජයසිරි අලවත්ත කතුවරයා හැඳින්විය හැකි ය.

විචාර කෘතිවලට අමතරව විවිධ සාහිත්‍ය ශානරයන්ගෙන් යුත් නිර්මාණ ඔහු විසින් මේ වන විට පාඨක ප්‍රවට තිළිණ කර තිබේ.

 

jayasiri alawatte books

“මකරන්ද කාව්‍ය විමංසා”, “සාහිත රසවිත”, “කාව්‍යාලාප”, “සාහිත රසවිතෙන් ඔබ්බට” හා “ මම විඳි කවියක්” ලෙස කාව්‍ය විචාර කෘති ද “අරුමැසි ම කවි” හා “හිතුවක්කාර වරා මල” නම් කාව්‍ය සංග්‍රයන් ද “කළු රංජිත් සුදු මිනිසෙකි” හිසින් චරිතාපදානයක් ද “ත්‍රිමාන කියවීමක්” (මහාචාර්ය කුලතිලක කුමාරසිරි සහ දීප්ති කුමාර ගුණරත්න සමඟ), “ජිජැක් අධ්‍යයනය” (මහේෂ් හපුගොඩ සමඟ), “මගේ ලෝකයෙන් පසු ලෝකය” (මහේෂ් හපුගොඩ සමඟ) හා “මෙලන්කොලියාව” (මහේෂ් හපුගොඩ සමඟ) යන කෘති ද “අක් දහර”, “තිත් මල්” හා “ආදරණීය පළිගැනීමක්” යන ප්‍රබන්ධ කෘති ද ජයසිරි අලවත්ත නෙළූ සාහිත අස්වැන්න යි.

ඔහුගේ අභිනව ප්‍රබන්ධ කෘතිය “මතඟනා” ය. එය කවිවර ප්‍රකාශනයකි. ප්‍රබන්ධ නවකතාවක් ලෙස “මතඟනා” හි අන්තර්ගතය විමර්ශනය කිරීම මගේ මූලික අරමුණ යි.

ප්‍රබන්ධකරණයක බොහෝ චරිත සඳහා ලේඛකයා විසින් ජන්මත්වය ලබා දෙන අතර එම චරිත නීරස නොවන ලෙස පාඨකයා වෙත සම්මුඛ කිරීම කතුවරයාගේ ප්‍රතිභාව යි. “මතඟනා” හි ද පාඨකයාට චරිත කිහිපයක් ම කතුවරයා විසින් සම්මුඛ කරයි.

 

මතඟනා 01

‘රජ්ජනා පරන්තපී ගුණසේකර’ නම් තරුණියගේ රිය, දරුණු ලෙස අනතුරට ලක්වීමත්, රියදුරු අසුනේ ම ඇය මරණයට පත්වීමත් ප්‍රබන්ධයේ ප්‍රවේශක අවස්ථාව වේ. ඇය මෙම ප්‍රබන්ධයේ කතා නායිකාව ලෙස සැලකුව ද සාවද්‍ය නොවේ. ‘යහත් අභිරත ජයවර්ධන’ හැට දෙවන වියෙහි පසුවන සුප්‍රසිද්ධ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වේ. ඔහු මෙම කෘතියේ ප්‍රධාන භූමිකාව නිරූපණය කරන අනෙක් චරිතය යි. ‘ලුලිතා වග්ගිනි’ මහාචාර්යවරයාගේ බිරිඳ වන අතර ඔවුන් දෙපළගේ එක ම දරුවා ‘පත්තිකා වරිත් ජයවර්ධන’ වේ. ‘පත්තිකාගේ’ හොඳම යෙහෙළිය ලෙස ‘රජ්ජනා’ ඔවුනගේ නිවසට පැමිණීමෙන් පසු ඇයගේ මරණය දක්වා ම දිවෙන මෙම ප්‍රබන්ධය පාඨක මනස රස භාවයෙනුත්, කුතුහලයෙනුත් කියවීමට පොළොඹවමින් ගලා යයි.

‘පත්තිකා’ගේ මව යම් මානසික ව්‍යාධියකින් පෙළෙන අතර එයට හේතුව මම ඔබට නොකියමි. ඇය සිහිනයෙන් ඇවිදින නිසා ම ඇයගේ වැඩකටයුතු සිදුකරනුයේ ‘රංජනී’ විසිනි. නිවසේ අනෙකුත් වැඩකටයුතු කරන මෙහෙකාරිය ‘යසවතී’ ය. ‘පොලිස් පරීක්ෂක නලින්’, ‘කොස්තාපල් නිහාල්’, ‘කපිල’, ‘රජ්ජනා’ගේ ප්‍රේමවන්තයා වූ ‘බාරස’ හැරුණුකොට ‘නන්දි’, ‘ශාලිකා’ සහ ‘නිලානි’ ප්‍රබන්ධය රසවත් කරන අතුරු කතාවල චරිත ජීවමාන කරති. මෙහි සෑම චරිතයක් ම ප්‍රබන්ධ වෘත්තාන්තයත් සමඟ නිරවුල් ලෙස ඒ ඒ අවස්ථානුකූල ව රූපණය කිරීම සාර්ථක ය.

 

සමාජය විසින් අසම්මත යැයි වෙන්කරන ලද ඇතැම් සම්බන්ධතා කතුවරයා ලේඛනයට උචිත සංයම භාෂානයකින් රචනා කිරීම ප්‍රශස්ත ය. වර්තමානයේ ලියැවෙන ෆැන්ටසි කෘති බහුතරයක නිරුවත හා සංවාස ක්‍රියාවලිය රචනා කරනුයේ පිටකොටුවේ පත්තර ලෑලි යට සඟවා, දන්නා හඳුනන ගැණුම්කරුවන්ට පමණක් අලෙවි කරන කාමුක සඟරාවල අන්තර්ගත භාෂාවට මඳක් බාල කර ය.

 

ලේඛක ජයසිරි ‘රජ්ජනා’ හා ‘නන්දි’ අතර සිදුවන සබැඳියාව නිරූපණය කරන්නේ මෙලෙසිනි.

“ඉස්සෙල්ල ම හැන්දෑවෙ ඇළට පැන්න දවසෙ රෑ කවදාවත් නැතුව කරුවලේ ම නන්දි මගේ මුළු සරුවාංගෙ ම ඉම්බ. අවසානෙ ඒ ඉඹිල්ල ඉවර වුණේ මගේ මුළු ඇඟ ම හිරිවට්ටල. ඒක කරේ කොහොමද කියලවත් මට නිච්චියක් නෑ. මොකද මං ඒ වෙලාවෙ හිටියෙ වෙනම ම ලෝකෙක. දවසක් දෙකක් එහෙම කරපු නන්දි මට කිව්ව ඒ විදියට ම මටත් කරන්න කියල. එදා නන්දිත් කලින් දවසෙ මං වගේ ම දඟලල කෙඳිරිගාල මොකක්දෝ විකාරයක් කරා. පස්සෙ පස්සෙ අපිට ඒක නැතුව බැරි උණා.”

හුදෙක් ලිංගික සිද්ධි දාමයක් නිරූපණය නොකළ ද තත් උදෘතය තුළින් පාඨකයාට එහි ශෘංගාර රසය උපරිම වින්දනය කළ හැකි ය. එමෙන්ම කතුවරයා මේ කතිකාවට ලක්කරනුයේ ලාංකීය සමාජය පිළිකෙව් කරන සම රාගිකත්වය යි.

‘නන්දි’ ගෙන් අහිමිවන ශෘංගාර ප්‍රේමය තම මිතුරියගෙන් ‘රජ්ජනා’ ලබා ගන්නා’යුරු ලේඛනය කිරීම විශාල ප්‍රබන්ධයක සාරාංශයක් වැනි ය.

“නන්දි නැන්දගෙන් පස්සෙ පත්තිගෙන් ඒ මිහිර විඳගන්න කල් මං ඒ මිහිර වින්දෙ බෝඩිමේ දි. ඒ, ශාලිකා එක්ක. ඒක මට අහිමි උණේ මං ශාලිකා බදාගත්ත නිසා; මං අපේ ආදරේ බෙදාගන්න අකමැති උණ නිසා. ශාලිකා එයා මට තිබුණු ආදරෙන් කොටසක් නිලානිටත් දීල තිබුණ.”

 

‘රජ්ජනා’ගේ ජීවිතයේ විශාල සිදුවීම් ප්‍රමාණයක් කතුවරයා සූක්ෂම ලෙස වාක්‍ය සතරකින් ලේඛනය කරයි. එපමණක් නොව මේ සෑම අවස්ථාවක් ම පාඨක මනසෙහි චිත්‍රණය කිරීමට ඔහු භාවිත කරන බස්වහර සමත් ය. ඒ හේතුවෙන් පුද්ගලිකව ම මම මෙහි එක පිටුවකින් තවත් පිටුවකට පිවිසියේ මහත් වින්දනයකිනි. එය ඉහත අවස්ථාවල පමණක් නොව මෙහි ආරම්භයේ සිට අවසානය දක්වා ම නිරීක්ෂණය වූවකි.

 

‘රජ්ජනා’ දුටුවන් වශී කරවන රන්වන් පැහැ සමකින් දිදුළන යුවතියකි. ‘පත්තිකා’ කාල වර්ණ යෞවනියක් වුව ද ඇයගේ ශරීර හැඩය ඉතා ම ශෝබන ය. සමාජයේ පවත්නා වර්ණ භේදය කතුවරයා මින් විද්‍යමාන කරයි. අවපැහැ සමකින් යුතු යෞවනියෝ සමාජය තුළ පැහැපත් සමක් ඇති යුවතියන්ට වඩා සෑම කටයුත්තකදී ම ප්‍රතික්ෂේප වෙති. ‘පත්තිකා’ ද තම ශරීරයේ කාල වර්ණයට වෛර කරමින් කිසිඳු පුරුෂයකු හෝ මිතුරියක ද සමීපව ඇසුරු නොකරයි. ඇයගේ සිනහව මිතුරු සගයන් දකින්නේ මෙසේ ය.

“කළු ඇතිලියකට පොල් කෑල්ලක් ඇලෙව්ව වගේ”

ඒ හේතුවෙන් ම ඇය ‘රජ්ජනා’ ගේ ප්‍රේම ඇසුරට ලොල් වෙයි. ඔවුන් දෙදෙනා ද සම රාගික ප්‍රේමයෙන් උපරිම මිහිර විඳියි.

‘රජ්ජනා’ තම මිතුරියගේ පියා වන ඇයගේ වයස මෙන් තුන්ගුණයකට සිවු වසරකින් බාල මහාචාර්ය ‘යහත්’ සමඟින් ඇතිකර ගන්නා ප්‍රේමණීය ලිංගික ගනුදෙනුව ද කතුවරයා නිරූපණය කරන්නේ පෙර පරිදි ම මනා සංයමයකිනි. එය මේ සමාජය ගොළු කරන තවත් සත්‍යයකි.

 

පාඨකයාට දැනෙන, නවකතාවකට උචිත ගද්‍ය බස්වහරක් භාවිතයේ දී ජයසිරි අලවත්ත එය වඩාත් ආලෝකමත් කිරීමට විවිධ කාව්‍යාලංකාර හා ජනශ්‍රැතිය භාවිත කර තිබේ. ඉහත සඳහන් කළ පරිදි චිත්ත රූපිත බස්වහරක් නිරූපණය කරන ඔහුගේ ගද්‍ය ලේඛනය කාව්‍යාත්මක ය.

 

“වෙරළෙ ඉඳන් ඈත මුහුද දිහා බලාගෙන ඉද්දි හිතෙන්නෙ ‘හානේ...! අන්න අහසයි මූදයි යාවෙලා.. කියල. හැබැයි අපි ලෝකෙ තියෙන හොඳ ම ප්ලේන් එකක ගියත්, ලෝකෙ තියෙන හොඳ ම නැවක නැගල ගියත් එහෙම අහසයි මූදයි යා වෙච්ච තැන හොයාගන්න බැරි වෙනව.”

කතුවරයා භාවිත කරන උපමා වැකි හා පිරුළු මෙම ප්‍රබන්ධය ආලෝකමත් කරගැනීමට වඩාත් උපස්තම්භක වේ.

“කළු ඇතිලියකට පොල් කෑල්ලක් ඇලෙව්ව වගේ”
“රන් කුඹුවන් පයෝධර”
“දිගු කේශ කලාපය ගුළියක් සේ ගෙන”
“ඉදී රත්පැහැ ගැන්වූ වෙරළු කොළයක් බඳු රජ්ජනාගේ දෙතොල්”
“ජල නළයක කරාමය විවෘත කළ විට එතුළින් ජලය ගලා එන්නා සේ”
“කාන්දං කෑලි දෙකක් එකට ඇලුණ වගේ”
“ඉබ්බා දියේ දැමූ විට ඇන්නෑවේ කියන්නා සේ”
“උගුරට හොරා බෙහෙත් කන්න හදන්නෙ”

මනසින් අන්ධ වූ සාම්ප්‍රදායික අදහස් සමඟින් ජීවත්වන බහුතර ජන සමාජයට ජයසිරි අලවත්ත මරු පහරක් එල්ල කරනුයේ විචක්ෂණශීලී ලෙස ලෝකය දෙස බලන්නට ඉඟි කරමිනි. ‘රජ්ජනා’ගේ දින පොතේ ඇතැම් සටහන් ඊට කදිම සාක්ෂි සපයයි.

“මලකුයි බඹරෙකුයි එකතු වෙලා විඳින සතුට තමයි ලෝකෙ තියෙන ලොකුම සතුට කියල හිතන්නෙ සාම්ප්‍රදායික රාමුවට කෝටුවෙච්ච අය. මලක් මලකට ආදරය කරන එකයි බඹරෙක් බඹරෙකුට ආදරය කරන එකයි වල් කියල හිතන්නෙත් අර සාම්ප්‍රදායික රාමුවට කොටු වෙච්ච එවුන් ම තමයි.”

 

‘මතඟනා’ කෘතියේ නිමැවුම ද පිටු සැලසුම ද නැවුම් බවකින් යුක්ත ය. සාමාන්‍ය කෘතියක මුල සිට අවසානය දක්වා වම හා දකුණ ලෙස පිටු පිළිවෙළින් අප පරිශීලනය කළ ද මෙම ප්‍රබන්ධයේ ආරම්භයේ සිට ම දකුණු පැත්තෙ පිටු පමණක් රසවිඳි අතර එය අවසාන වූ පසු කෘතිය අනෙක් පසට හරවා නැවත දකුණු පස පිටු පෙළ ම අවසානය දක්වා පරිශීලනය කළ යුතු ය. පුද්ගලිකව එම අත්දැකීම මා ලද ප්‍රථම අවස්ථාව ද මෙය ම ය. එසේම ‘රජ්ජනා’ගේ දින පොතේ සටහන් ඇයගේ අකුරින් ම ලේඛනය කිරීම ද කෘතියේ ආකෘතියට නව්‍ය බවක් එක් කරන අතර ම එය පාඨක හදවත ආමන්ත්‍රණය කිරීමට සමත් යැයි මම විශ්වාස කරමි.

 

‘රජ්ජනා’ගේ මරණයෙන් ආරම්භ වන ප්‍රබන්ධය ඇයගේ මරණයේ අභිරහස සොයා යන ගමනේ දී හමුවන විවිධ සිද්ධි දාමයන් ද ‘පත්තිකා’ගේ මව හා ‘පත්තිකා’ මිය යාමේ අභිරහස ද සොයා ගනු ලබන්නේ පාඨකයා කිසියම් කුතුහලයකට පත්කිරීමෙනි. එතෙක් නිරූපණය වන ප්‍රබන්ධය සාර්ථක කරගැනීමට කතුවරයා භාවිත කරන චිත්ත රූපිත, කාව්‍යාත්මක බස්වහරත්, අවස්ථානුකූල උපමා, පිරුළු භාවිතයත් විශිෂ්ට ය.

සමාජය කොතරම් අසම්මත යැයි හඬ නගා ඝෝෂා කරන සබැඳියාවන් සමාජයෙන් වසන් ව ක්‍රියාත්මක කරන පුද්ගල චරිත සමාජයට ම නැවත නොබියව නිරූපණය කිරීම අගය කළ යුතු ය. ප්‍රබන්ධයාරම්භයේ සිට ම අවසානය දක්වා ම පාඨකයා එක ම ආකාරයට තම කෘතිය වෙත ආසක්ත කරගැනීමට ජයසිරි අලවත්ත කතුවරයා සමත්ව තිබේ. එය ඔහුගේ ලේඛනයේ පෘථුල බව මැනවින් විශද කරයි. එබැවින් ‘මතඟනා’ යනු ප්‍රබන්ධයක් ම නොව සිවිල් සමාජයේ අව්‍යාජ සිද්ධි නිරූපණයක් ලෙසත් සංනිදර්ශනය කළ හැකි ය. මෙවැනි සාහිත කෘති අනාගතයේ ද පාඨක සමාජය වෙත නිර්මාණය කිරීමට ජයසිරි අලවත්ත කතුවරයාට සුබාසිංසන එක් කරමි.



ashoka kulathnga(අශෝක කුලතුංග)

(උපුටා ගැනීම -  අශෝක කුලතුංග ගේ ෆේස්බුක් පිටුවෙන් )

 

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්