රට ඉස්සරහා හෙට දවසේ නිර්මාණය වෙන්න පුළුවන් තත්වය ගැන දැන්මම අනතුරු ඇඟවීමක් කරලා තියන්න ඕනි. ඒක රටේ රාළගේ වගකීමක්.


දැන් ආයෙත් රට යුධ පිටියක් බවට පත්වෙමින් තියනවා. හෙට දවසේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගණනාවක් ගන්න නියමිතයි. විපක්ෂය පැත්තෙන් උද්ඝෝෂණ පෙළපාලි සංවිධානය කරමින් ඉන්නවා. වෘත්තීය සටන් සහ දේශපාලන සටන් ඒකාබද්ධ කරපු අරගලයකට ජවිපෙ ලෑස්ති වෙන බව පේනවා.

ජවිපෙ සහ සජබෙ අතර තියන දේශපාලන බලු පොරය විසින් උද්ඝෝෂණ අතරත් තරඟයක් නිර්මාණය වෙයි. ඒ මැද්දට අන්තරෙත් එක්ක පෙරටුගාමීනුත් පැන්නම සැලකිය යුතු මට්ටමකින් රට අකර්මන්‍ය කරන්න පුළුවන්.

රනිල් ඒකට මර්ධනය ගෙනෙයි.

විපක්ෂයේ මේ ක්‍රියාමාර්ග අතර ඒකාබද්ධතාවයක් නැතිවුනත් රට අකර්මන්‍ය කිරීමේ මෙහෙයුමක විපක්ෂය ඉන්නවා. විපක්ෂය මේ මෙහෙයුම දියත් කරලා තියන අවස්ථාව මොකද්ද කියලා අපි හරියට තක්සේරු කළොත් ඒක වැරදි සටනක් බව පේනවා.

රට අකර්මන්‍ය කරමින් රැල්ල පවත්වාගෙන යන්න දරන උත්සාහයක් මේක. මේ වෙලාව කියන්නේ ආයෙත් රට හුස්මක් ගන්න හදන වෙලාවක්. IMF ණය සහනයත් එක්ක රට යම් සැලසුම් සහගත ආර්ථික ප්‍රතිසංස්කරණයකට යොමුවෙමින් තියන වෙලාවක්.

ඒකේ සියලුදේ සර්ව සම්පුර්ණ නැති බව ඇත්ත. හැබැයි අද රට තිබුණ තත්වයට සාපේක්ෂව අඩියක් හරි ඉස්සරහට ඇවිත් තියනවා.

මහා ලොකු දේවල් නැතත් ජනතාවට පොඩි හරි සහනයක් හම්බ වෙලා තියනවා. පෙරේදා මධ්‍ය රාත්‍රියේ ඉන්දන මිල අඩුවීමත් එක්ක හැම ක්ෂේත්‍රයකටම ඒ සහනය ලැබුණා. බස් ගාස්තු අඩුවෙලා. ත්‍රීවීල් ගාස්තු අඩුවෙලා. පාසල් ප්‍රවාහන සේවා ගාස්තු අඩුවෙලා. ප්‍රවාහන ගාස්තු අඩුවෙලා. බඩු මිල යම් ප්‍රමාණයකට අඩුවෙලා.

ගිය සිංහල, දෙමළ අවුරුද්දට සාපේක්ෂව හිතද්දී මේ අවුරුද්දේ පොඩ්හරි ඉස්පාසුවක් හැදීගෙන එනවා.


ඒ අතරට විපක්ෂ බලවේග, විපක්ෂයේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෘත්තීය සමිති රට තවත් ව්‍යසනකාරී තැනකට තල්ලු කරන්න හදනවා. මේ වෙලාවේ වැඩවර්ජනවලට සහ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට යොමුවීම දේශපාලන වශයෙන් සියදිවි නසාගැනීමක්.

රට යන්තම් හුස්මක් ගන්න හදන වෙලාවේ රටේ බෙල්ල හිර කරලා තමනුත් Suside කරන්නයි විපක්ෂය හදන්නේ. ඒ අතින් බලද්දී මේක මරාගෙන මැරෙන ප්‍රහාරයක්.

ඒක නිසා ඉස්සෙල්ලාම කියන්න ඕනි සජබය වේවා, ජාතික ජන බලවේගය වේවා, වෙන මොකක් හරි වේවා මේ එකක්වත් ජනතාවාදී පක්ෂ නෙමෙයි.

මේ වගේ අභියෝගයක් ඉස්සරහා රටකට ඕනි ජනතාවාදී විපක්ෂයක්. ඒත් අපට හම්බ වෙලා තියෙන්නේ ජනතා ද්‍රෝහී විපක්ෂයක්. ඒක එහෙමම කියන්න ඕනි. රටට ජනතාවාදී විපක්ෂයක් ඕනි කරලා තිබුණට විපක්ෂයට මේ වෙලාවේ ඕනිවෙලා තියෙන්නේ මොකද්ද? ඇත්තටම විපක්ෂයට ඕනිවෙලා තියෙන්නේ මේ රටට ඒකාධිපතියෙක් හදලා දෙන්න.

රනිල් ඒකාධිපතියෙක් කරන්න.

ඒ ගමන තහවුරු කරමින් නෙවෙයිද දැන් විපක්ෂය කටයුතු කරන්නේ. රනිල් ඒකාධිපතිත්වයකට යයි කියලා හිතනවා නම් විපක්ෂය කරන්න ඕනි ඒ ගමන වළක්වන එකයි. එහෙම නැතිව ඒ ගමනට ඕනි කරන අඩුම කුඩුම සපයන එක නෙවෙයි.

රනිල්ගේ ඉතිහාසය ඔය කවුරුත් දන්නවා. රනිල් කියනකොට ඉස්සෙල්ලාම ඔළුවට එන්නේ බටලන්ද වධකාගාරය. හරි හෝ වැරදි ඒක තමයි ඇත්ත. 88/89 රාජ්‍ය භිෂණයේ රනිල් සක්‍රීය චරිතයක්.

ඒ ඉතිහාසය දන්න අය විදිහට, ඒ ඉතිහාසය අත්වින්ඳ අය විදිහට ආයෙත් එහෙම යුගයකට පාර කපන්න අපට තියන අයිතිය මොකද්ද? ඒ අද්දැකීම තවත් පරම්පරාවට උරුම කරලා දෙන්න හීනෙන්වත් හිතන්න අපට අයිති තියනවද? තවත් පරපුරක් ඒ ඛේදවාචකයට බිලි දෙන්න ඉඩදෙන්න බෑ.

ඒ පාරේ රනිල්ට යන්න නොදී මඟ ඇහිරීම තමයි විපක්ෂයේ වගකීම. ඒක වළක්වන්න පුළුවන් විදිහකට රනිලුත් හිර කරගන්න විපක්ෂය දක්ෂ වෙන්න ඕනි. ඒකට හොඳම උත්තර කවුරුත් සර්වපාක්ෂික වැඩපිලිවෙලකට එකඟ වෙලා රට නැගිට්ටවීමයි. රනිලුත් පොදුවේ එහෙම ආරාධනාවක් කරලා තියනවා.

රට නැගිට්ටවාගන්න කවුරුත් උත්සාහ කරන ක්‍රියාවලියකදී රනිල්ට ඒකාධිපතියෙක් විදිහට මතුවෙන්න අවස්ථාවක් නෑ. එහෙම උවමනාවක් හැදෙන්නෙත් නෑ.

ඒක නොකර විපක්ෂය කරන්නේ රනිල්ගේ ඉතිහාසය ගැන නන්දොඩව දොඩව රනිල් ඒකාධිපති වියරුවකට තල්ලු කරන එකයි. ඇත්තටම ඒ තක්කඩි දේශපාලන උත්සාහ පරාජය කරන්න ඕනි.ර

ටේ රාළට දැනෙන විදිහට ඒ උත්සාහය පරාජය කරන්න දැන් අවස්ථාව ඇවිත්. ඒ වගකීම තියෙන්නේ මේ රටේ ජනතාවට. ජනතාව ඒ වෙනුවෙන් පෙරට එන්න ඕනි. මොකද විපක්ෂය නියෝජනය කරන දේශපාලන උවමනාව මේ රටේ ඡනතාවගේ දේශපාලන උවමනාව නෙවෙයි.

ජනතාවට ඕනි ආයෙත් හුස්මක් ගන්න. ආයෙත් සාමාන්‍ය ජන ජීවිතයට යන්න. ඒක නිසා විපක්ෂය ආරම්භ කරන ඔය අරගලවලට ජනතා සහය හම්බ වෙන්නේ නෑ.

ජනතා සහය නැති උද්ඝෝෂණ, වැඩවර්ජන වැඩිදුර යන්නේ නෑ. අප්‍රියෙල් තුන් වෙනිදා පටන් ගන්න වැඩවර්ජනයට සහ දැනට පටන් අරගෙන තියන උද්ඝෝෂණ ව්‍යාපාරය විපක්ෂයට පාරවළල්ලක් වෙනවා වෙනවාම තමයි.

ඒ හරහා ජවිපෙ සහ සජබෙ දැවැන්ත විනාශයකට තල්ලු වෙනවා.

රටකට ඒකාධිපතියෙක් හදන්න දායකවීම ආනන්තරිය පාප කර්මයක්. ඒකට දිට්ඨ දම්ම වේදනීය කර්ම විපාක පල දෙනවා.

රටේ රාළ කියන්නේ අප්‍රියෙල්, මැයි වෙනකොට ඒ රිසල්ට් බලාගන්න පුළුවන් වෙයි කියලයි. ...

ප්‍රවීන දේශපාලන විචාරයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන ප්‍රියන්ජිත් විතාරණ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති 'රටේ රාළ ' දේශපාලන විග්‍රහයේ සම්පුර්ණ සටහන POLITI CALL සමාජ මාධ්‍ය නාලිකාවේ පහත වීඩියෝවෙන් බලන්න

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්