1918 දී රසායන විද්‍යාව සඳහා ලබාදුන් නොබෙල් ත්‍යාගය සමහරවිට නොබෙල් ත්‍යාග ඉතිහාසය තුළ ලබාදුන් වඩා වැදගත්ම ත්‍යාගය විය හැකියි.

ඒ එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ මානවයා මුහුණ දුන් අභියෝගාත්මකම ප්‍රශ්නයට පිළිතුරු සොයා ගත් ෆ්‍රිට්ස් හාබර් නම් ජර්මානු විද්‍යාඥයාටය.

 

ඔහුගේ සොයා ගැනීම වර්තමානයේදී බිලියන 4ක ජනතාවකගේ ඉරණම විසඳීය. නමුත් නොබෙල් ත්‍යාග පිරිනමන අවස්ථාවේදී ඔහුගේ සමකාලීන සගයන් ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වීම ප්‍රතික්ෂේප කළ අතර තවත් නොබෙල් ත්‍යාගලාභීන් දෙදෙනකු තම ත්‍යාගයන් පවා ප්‍රතික්ෂේප කළේ ඔහුට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමේ අටියෙනි. “නිව්යෝක් ටයිම්ස්” පත්තරය ඔහු පිළිබඳ දැඩි විවේචනාත්මක ලිපියක් පළ කළේය. ඔහු විද්‍යා ඉතිහාසය තුළ එකවරම වීර සහ දුෂ්ඨ විද්‍යාඥයා විය. සමහරවිට අද අප ජීවත් වන ලෝකය මෙලෙස හැඩගැස්සූ වෙනත් තනි මිනිසෙකු සොයා ගැනීමට පවා අපහසු විය හැක.

 

කතාව……


එකල යම් කිසි පුද්ගලයකු විසින් කුරුළු වසුරු වලින් වැසී ගිය දූපතක් සොයාගතහොත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය එම දූපත තම රාජ්‍යයට ඈඳා ගැනීමටත් හමුදා යොදා ආරක්ෂා කිරීමටත් දෙවරක් සිතන්නේ නැත. 1856 දී සම්මත කෙරෙනු මෙම නීතිය එක්සත් ජනපදය තුළ තවමත් ක්‍රියාත්මක අතර එලෙස තම රාජ්‍යයට ඈදා ගත් දූපත් 10කට එක්සත් ජනපදය අදට ද උරුමකම් කියයි. ප්‍රශ්නය වන්නේ කුරුළු වසුරු වලින් වැසීගිය දූපත් මෙතරම්ම රාජ්‍යයකට අවශ්‍ය වන්නේ ඇයිද යන්නයි.

 

cb 1

කුරුළු වසුරු (ගුආනෝ) වලින් වැසී ගිය දූපතක්

 

පේරු රාජ්‍යයේ වෙරළට ඔබ්බෙන් මෙවැනි දූපත් රාශියක් දක්නට ලැබෙන අතර මිලියන ගණනක පක්ෂීන් තම ප්‍රජනන කාර්යය සඳහා මෙම දූපත්වලට එකතු වේ. දූපත අවට සාගරය මත්ස්‍ය සම්පතෙන් ආඩ්‍ය කලාපයකි. මත්ස්‍යයින් ආහාරයට ගන්නා පක්ෂීන් ටොන් ගණනක වසුරු දූපත පුරා දමයි. මෙම කලාපයේ පවතින අධික උණුසුම සහ වියළි දේශගුණික තත්ත්වය නිසා වසර දහස් ගණනක් තිස්සේ ඝනීභවනය වූ කුරුළු වසුරු මීටර 100 ගණන් උස කඳු සාදා ඇත.

 

තාක්ෂණිකව මෙසේ ඝනීභවනය වූ කුරුළු වසුරු ගුආනෝ (guano) ලෙස නම් කරන අතර 1800 මැද භාගය වන විට ගුආනෝ විකිණීම සහ මිලදී ගැනීම විශාල ව්‍යාපාරයක් විය. එකල ගුආනෝ රාත්තලක් ඩොලර් 76ක් තරම් ඉහළ අගයක් ගත් අතර ගුආනෝ රාත්තල් 4කට රත්‍රං රාත්තලක් හුවමාරු කරගැනීමට පවා හැකිවිය.

 

guano islands mining 728x436

එකල ගුආනෝ කැණීම් කරන ආකාරය

 

guano broadhurst

එකල ගුආනෝ වෙළදාම සිදුවූ අයුරු

 

කුරුළු වසුරු මෙතරම්ම වටින්නේ ඇයි ද යන්න සොයා බැලීමට නම් අපට අපගේ මනුෂ්‍ය ශරීර අභ්‍යන්තරය පිරික්සිය යුතු වේ. මනුෂ්‍යය ශරීරයේ බරින් වැඩිපුරම ඇත්තේ ඔක්සිජන්, කාබන් සහ හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍යය වන අතර සිව්වනුව වැඩිපුරම ඇත්තේ නයිට්‍රිජන් යන මූලද්‍රව්‍යයි. නයිට්‍රජන් යනු ප්‍රෝටීනවල තැනුම් ඒකකය වන ඇමයිනෝ අම්ල වල ප්‍රධානම මූල ද්‍රව්‍ය වන අතර රුධිරයේ ඔක්සිජන් පරිවහනය කරන හිමොග්ලොබින් සහ DNA, RNA වල ප්‍රධානතම මූල ද්‍රව්‍යයි. පෘථිවිය මත ඇති සියලුම ජීවයන්ට අත්‍යවශ්‍යම සාධකයකි නයිට්‍රිජන්.

ශරීරයට අවශ්‍ය නයිට්‍රජන් අප උකහා ගන්නේ ශාකමය ආහාර ගැනීමෙන් හෝ ශාක ආහාරයට ගන්නා සතුන්ගේ මාංශ ආහාරයට ගැනීමෙනි. ශාක තමන්ට අවශ්‍ය නයිට්‍රිජන් සපුරාගන්නේ පසෙනි. ගැටළුව වන්නේ දිගින් දිගටම එකම භූමි ප්‍රදේශයක කෘෂි බෝග වගා කිරීමෙන් පසෙහි ඇති නයිට්‍රිජන් වියැකී යාමත් කෘෂි බෝගවල ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය ට අවශ්‍ය හරිතප්‍රද නිපදවීමට නොහැකි වීමෙන් වර්ධනය අඩාල වීම සහ අස්වැන්න අඩු වී යාමත්‍ ය. ගැටළුව මගහරවා ගැනීමට නයිට්‍රජන් බාහිරින් පසට එකතු කළ යුතු වේ. කුරුළු වසුරු කරලියට එන්නේ මෙතැනිනි.

ගුආනෝ 20%කටත් වඩා නයිට්‍රජන් වලින් පොහොසත්ය. වසර සිය ගණනකට පෙර “ඉන්කා” ගොවියන් ගුආනෝ වල ප්‍රයෝජනය දැනගෙන සිටියහ. පසට ගුආනෝ එකතු කිරීමෙන් කෘෂි බෝග වල වර්ධනය ඉහළ ගිය අතර වගා කිරීමට හැකිදැයි විශ්වාස කිරීමටවත් අපහසු කඳු මුදුන්වල බෝග වගා කිරීමට හැකි වූ අතර එය”ඉන්කා” අධිරාජ්‍ය ව්‍යාප්ත කිරීමට හේතු විය.

 

p0b7v863

ඉන්කා ශිෂ්ඨාචාරය

 

නයිට්‍රජන් වලින් පොහොසත් දකුණු ඇමරිකානු ගුආනෝ නිධි ලෝකයෙන් වසන් කිරීමට නොහැකි විය. 1865 වන විට ස්පාඤ්ඤය ගුආනෝ නිධි වලින් ආඩ්‍ය දූපත් පාලනය කිරීමේ අටියෙන් කලකදි ඔවුන්ගේ දකුණු ඇමෙරිකානු යටත් විජිත රාජ්‍යයන් වූ පේරු, චිලී, ඉක්වදෝරය සහ බොලීවියාව යන රටවල් සමඟ යුද්ධයකට අවතීර්ණ විය. නමුත්, ගුආනෝ වලට තිබූ අධික ඉල්ලුම නිසා 1872 වන විට නිධි ක්‍රමයෙන් ක්ෂය වුනු අතර පේරු රාජ්‍යය ගුආනෝ අපනයනය තහනම් කළේය. ලෝකයට නයිට්‍රිජන් ඉල්ලුම සැපයීමට වෙනත් ක්‍රමයක් සොයා ගැනීමට සිදුවිය.

 

Sir William Crookes 1906බ්‍රිතාන්‍ය රසායනඥ විලියම් කෲක්ස්බ්‍රිතාන්‍ය රසායනඥ විලියම් කෲක්ස් 1898 දී අනාවැකියක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ “වැඩිවන ජනගහනයට සාපේක්ෂව නයිට්‍රිජන් සැපයුම ඉහළ නොයෑමෙන් අවශ්‍ය තරම් ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කර ගැනීමට නොහැකි වීමෙන් වසර 30 ඇතුළත ලෝක ජනගහනය සාගින්නේ මිය යනු ඇති බවයි”. ඒත් සමඟම ඔහු ගැටළුවට විසඳුමක් ඉදිරිපත් කළේය. “ගැටළුවට විසඳුමක් ඉදිරිපත් කළ හැක්කේ රසායනඥයෙකුට පමණි. විද්‍යාගාරයක් තුල සිදුකරන පර්යේෂණයක් හරහා සාගින්න සදහටම තුරන් කිරීමට හැකි වනු ඇත” යනුවෙනි.

 

අතුරු කතාව…..



නයිට්‍රිජන් දුලබ මූලද්‍රව්‍යයක් නොවේ. එය ඉතා සුලභ මූල ද්‍රව්‍යයකි. වායුගෝලයේ 78%ක්ම ඇත්තේ නයිට්‍රජන් ය. නමුත් ස්වභාවික පරිසරය තුළ නයිට්‍රිජන් පවතින ආකාරය අනුව එය ශාක හා සතුන්ට ප්‍රයෝජනයට ගැනීම ඉතා අපහසුය. මන්දයත්, ත්‍රිත්ව බන්ධනයකින් සම්බන්ධව පවතින නයිට්‍රජන් පරමාණු දෙකක් ලෙසට ස්වභාවික පරිසරයේ පවතින නයිට්‍රජන් ඛණ්ඩනය කිරීමට විශාල ශක්තියක් (9.8 eV / electron volts) අවශ්‍ය වේ. ස්වභාවික පරිසරය තුළ නයිට්‍රජන් ඛණ්ඩනය වන ප්‍රධාන ක්‍රම දෙකකි.

අකුණු ගැසීමේ දී නිකුත් වන අධික ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් වාතයේ ඇති නයිට්‍රජන් ඛණ්ඩනය වීමෙන් අනතුරුව ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කොට නයිට්‍රජන් ඔක්සයිඩ්(NO2) සාදයි. පසුව ඒවා වළාකුළු වල ඇති ජලය සමඟ ප්‍රතික්‍රියා කොට වර්ෂාවත් සමඟ පොළොවට පතිත වේ. තවද, පස තුළ ජීවත් වන සමහර බැක්ටීරියා වර්ග නයිට්‍රජන් ඛණ්ඩනය කොට පස තුළ නයිට්‍රජන් තිර කරයි. බැක්ටීරියා මගින් නයිට්‍රජන් තිර කිරීම ඉතා මන්දගාමී වන අතර ප්‍රමාණවත් තරම් නයිට්‍රජන් නිෂ්පාදනයට අවශ්‍ය තරම් අකුණු ඇති වන්නේ නැත.


geoජෝර්ජ් හිල්ඩර්බ්‍රෑන්ඩ්1811 දී Georg Hildebrandt රසායනඥයා නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් එකතු කරමින් මුද්‍රා කරන ලද ප්ලාස්කුවක් තුළ ඇමෝනියා(NH3) නිශ්පාදනය කිරීමට උත්සාහ කළේය. එය අසාර්ථක වූ පසු ප්‍රතික්‍රියාව සිදුවීමට අවශ්‍ය වැඩි පීඩනය ලබාදීමට මීටර් 300ක් ගැඹුරු ජලයේ පරීක්ෂණ ප්ලාස්කුව රැඳවිය. නමුත් එය ද අසාර්ථක විය. වසර සියයක කාලයක් පමණ ලොව පුරා රසායනඥයින් න්‍යායිකව සත්‍ය වූත් ප්‍රායෝගිකව කළ නොහැකි වූත් ප්‍රතික්‍රියාවක් සිදු කිරීමේ අසාර්ථක උත්සාහයක නිරත විය.

1904 දී අපගේ කතානායක ෆ්‍රිට්ස් හාබර් දිගින් දිගටම අසාර්ථක වූ මෙම පර්යේෂණය පිළිබඳ අවධානය යොමු කරවීය. එකල ඔහු 36 වන වියේ පසුවූ ජර්මනියේ Karlsruhe සරසවියේ පහළ මට්ටමේ ශාස්ත්‍රඥයෙකු ලෙස සේවය කළ අයෙකු වූ අතර අවුරුදු දෙකක පිරිමි දරුවකුට පියෙකු ද විය. cliraක්ලේරා ඉමවෝර්-ෆ්‍රිට්ස් හාබර්ගේ බිරිඳබිරිඳ Clara Immerwahr රසායන විද්‍යාවට ආචාර්ය උපාධියක් ලැබූ ලොව ප්‍රථම කාන්තාවන් අතර සිටින තැනැත්තියකි.

 

හාබර් වසර 5ක් ගැටළුව සම්බන්ධයෙන් පර්යේෂණ කළ අතර ඇමෝනියා නිපදවීම සම්බන්ධයෙන් ඔහුගේ අදහස වූයේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් උත්ප්‍රේරක ද යොදාගනිමින් “ඉහළ පීඩනයකට පත් කිරීම පමණක් නොව ඉහළ උෂ්ණත්වයකට ද පත් කළ යුතු බවයි”.

මෙම ප්‍රතික්‍රියාව සිදු කිරීමට නව පර්යේෂණ උපකරණයක් සොයා ගැනීමට සිදුවිය. ඔහු මෙම උපකරණය සෑදීමට දැඩි ලෙස මහන්සි විය. එම කාලය තුළ ඔහු ජර්මනියේ විදුලි බල්බ නිෂ්පාදනය කරන ආයතනයක රාත්‍රී කාලයේ දී තාක්ෂණික උපදේශකයෙකු ලෙස ද සේවය කළේය. එහිදී ඔහුට එකල පෘථිවිය මත සොයා ගැනීමට ඉතා අපහසු දුබල මූල ද්‍රව්‍ය සමඟ වැඩ කිරීමට අවස්ථාව උදාවිය. ඔස්මියම් (Os) යනු එලෙස ඉතා දුබල මුලද්‍රව්‍යයක් වුණු අතර එදවස මුළු ලෝකයේම පිරිපහදු කරන ලද ඔස්මියම් ලෝහය තිබී ඇත්තේ කිලෝ ග්‍රෑම් 100 ක් පමණ ප්‍රමාණයකි. වාසනාවකට මෙන් ඔහු රාත්‍රියේ සේවය කළ සමාගම විදුලි බල්බ වල සූත්‍රිකාව නිර්මාණය කිරීමට ඔස්මියම් යොදා ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ කළ ආයතනයක් විය. ඔස්මියම්, හයිඩ්‍රිජන් සහ නයිට්‍රිජන් ප්‍රතික්‍රියාව සිදු කිරීමට ගැලපෙනම උත්ප්‍රේරකය වනු ඇති බවට හාබර් විශ්වාස කළේය. එහෙයින් ඔහු ඔස්මියම් යම් ප්‍රමාණයක් විද්‍යාගාරයට රැගෙන ගොස් නයිට්‍රජන් සහ හයිඩ්‍රිජන් ප්‍රතික්‍රියාව කිරීමට උත්සාහ ගත්තේය.

 

osmium crystals 56a12a6f3df78cf7726806a0

ඔස්මියම් (Os)

 

ඇමෝනියා……..! ඇමෝනියා……!



frtisෆ්‍රිට්ස් හාබර් පර්‍යේෂණ කරමින්1909 මාර්තු මාසයේ තුන්වන සතියේ දී ඔස්මියම් තහඩුව පර්යේෂණ උපකරණය තුළට දමා නයිට්‍රිජන් සහ හයිඩ්‍රජන් වායුගෝලීය පීඩන 200කටත් සෙල්සියස් අංශක 500 කටත් පත් කරවීය. ප්‍රතික්‍රියාවට භාජනය කරන ලද සම්පූර්ණ වායු මිශ්‍රණයෙන් 6% ක ප්‍රමාණයක් ඇමෝනියා බවට පරිවර්තනය වූ අතර වායු නියැදිය සිසිල් කිරීමෙන් පසු මිලි ලීටරයක ද්‍රව ඇමෝනියා බිඳුවක් බීකරයට පතිත විය. ෆ්‍රිට්ස් හාබර් උද්දාමයටත් ප්‍රීතියටත් පත් විය.


ජර්මනියේ විශාලතම රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ආයතනය වූ BASF හාබර් සොයාගත් ඇමෝනියා නිෂ්පාදන ක්‍රියාවලිය වාණිජකරණයට ලක් කළේය. වසර හතරක් ඇතුළත සමාගම Oppau වල කර්මාන්ත ශාලාවක් ඉදිකළ අතර දිනකට ඇමෝනියා ටොන් 5ක් නිෂ්පාදනය කිරීමට හැකි විය.

 

ලොව පුරා මිනිසුන් වාතයෙන් පාන් නිෂ්පාදනය කරන හැටි කතා විය. කාර්මිකව විශාල වශයෙන් නිෂ්පාදනය කළ පොහොර සමගින් ගොවියන්ට එකම භූමි ප්‍රමාණයකින් හතර ගුණයක අස්වැන්නක් ලබා ගැනීමට හැකි විය. ප්‍රතිඵලය ලෙස ලෝක ජනගහනය හතර ගුණයකින් වැඩි විය. හාබර්ගේ සොයා ගැනීම වෙනුවෙන් ඔබ ඔබගේ ජීවිතයෙන් ණයගැතිය. ලෝක ජනගහනයෙන් අඩකට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන්නේ හාබර් විසින් සොයාගත් ක්‍රියාවලිය හරහා සාදාගත් පොහොර භාවිතයෙනි. ඔබගේ ශරීරය තුළ ඇති නයිට්‍රිජන් වලින් 50% ක ප්‍රමාණයක් ලැබී ඇත්තේය “හාබර් ක්‍රියාවලිය” නිසාවෙනි.

 

මෙම නව සොයා ගැනීම ෆ්‍රිට්ස් හාබර් පොහොසත් මිනිසකු බවට පත් කරවීය. ඔහුට උසස්වීමක් ලැබුණි. භෞත රසායනය සඳහා බර්ලින් හි ගොඩනැගූ “කයිසර් විල්හෙම්” ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂක ද විය. ඔහුගේ සමකාලීන විද්‍යාඥයන් වූ මැක්ස් ප්ලැන්ක්, මැක්ස් බෝර්න් සහ ඇල්බට් අයින්ස්ටයින් ෆ්‍රිට්ස් හාබර් ගේ මිත්‍රයන් බවට පත්විය. 1914 ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ ප්‍රථම බිරිඳගෙන් වෙන් වූ දවසේ රාත්‍රිය ගත කළේ හාබර්ගේ නිවසේය. මෙතරම් සම්භාවනාවට පාත්‍ර වූ ෆ්‍රිට්ස් හාබර් නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී තම මිතුරන්ගේ අප්‍රසාදයට පත් වූයේ ඇයි?.

ඒ සියල්ල සිදු වන්නේ පළමු ලෝක යුද්ධයත් සමගින්ය.

 

ai

ෆ්‍රිට්ස් හාබර්(වම) ඇල්බට් අයින්ස්ටයින්(දකුණ)

 

ෆ්‍රිට්ස් හාබර්ගේ අඳුරු අර්ධය…….


පළමු ලෝක යුද්ධය ආරම්භයත් සමඟ හාබර් යුධ සේවයට ස්වෙච්ඡාවෙන් එක්විය. සාමවාදී හා යුද්ධය හෙළා දකින ලද අයින්ස්ටයින් මෙන් නොව හාබර් දේශප්‍රේමියකු විය. ඔහුට ඔහුගේ දැනුමෙන් තම රටට සේවය කිරීමට අවශ්‍ය විය. යුද්ධයේ මාස කීපයක් යනවිට ජර්මානු හමුදාවන්ට වෙඩි බෙහෙත් සහ පුපුරන ද්‍රව්‍ය හිඟයකට මුහුණ දෙන්නට සිදු විය. ඇමෝනියම් නයිට්‍රේට් (NH4NO3) පස සරු කරන පොහොරක් වන අතරම බිහිසුණු පුපුරන ද්‍රව්‍යයක් ද වේ.

2020 වර්ෂයේ ලෙබනනයේ බීරූට් අග නගරයේ සිදු වූ බිහිසුණු පිපිරීමට හේතු වූයේ ද ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 3000ක් පුපුරා යාමයි. පිපිරීමේ ශබ්දය කිලෝමීටර් සිය ගණනක් ඈතට ඇසුණු අතර අනතුරින් අවම වශයෙන් පුද්ගලයන් 217 දෙනෙකු මිය ගිය අතර දහසකට වැඩි දෙනා තුවාල ලැබීය. රික්ටර් පරිමාණයේ 3.3 කෘතිම භූමිකම්පාවක් ද ඇතිවිය. මෙය පොහොර ආශ්‍රිතව ලෝකයේ සිදු වූ පිපිරීම් වලින් එකක් පමණි.

හාබර් ක්‍රියාවලිය යොදා ගනිමින් පොහොර නිෂ්පාදනය කළ Oppau නිෂ්පාදනාගාරය ද 1921 දී පුපුරා ගියේය.

 

beirutee

2020 වර්ෂයේ ලෙබනනයේ බීරූට් අගනුවර බිහිසුණු පිපිරීම

 

හේතුව….


මෙවැනි දැවැන්ත පිපිරීමකට හේතුව වන්නේ නයිට්‍රිජන් ය. ත්‍රිත්ව බන්ධනයක් සහිත නයිට්‍රජන් අණුවක් බිඳ හෙළීමට විශාල ශක්තියක් අවශ්‍ය වේ. එලෙසම, නයිට්‍රජන් පරමාණු දෙකක් එකට සම්බන්ධ වී නයිට්‍රජන් අණුවක් නිර්මාණය වීමේදී විශාල ශක්තියක් පිට කරයි. වෙඩිබෙහෙත් , TNT, නයිට්‍රෝග්ලිසරින්, ඇමෝනියම් නයිට්රේට්, යන සියළුම රසායනික සංයෝග පිපිරීමකදී ත්‍රිත්ව බන්ධන නයිට්‍රජන් අණු සාදන අතර එය විශාල ශක්තියක් පිට කිරීමට හේතු වේ.

 

42878863 2169645376623479 2060521228954763264 n

1921 ඔපෞ කර්මාන්තශාලාවේ පිපිරීම

 

හාබර් ඔහුගේ සොයා ගැනීම පොහොර සඳහා ඇමෝනියා නිෂ්පාදනය කිරීම වෙනුවට පුපුරන ද්‍රව්‍ය සඳහා නයිට්‍රේට් නිෂ්පාදනය දක්වා පරිවර්තනය කළේය. එකල ඔහුගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විශ්වාස කළේ එවැනි පරිවර්තනයක් සිදු කළ නොහැකි බවයි. නමුත් හාබර් අප්‍රතිහත ධෛර්යයෙන් වැඩ කළ අතර අවසානයේ හාබර්ගේ රසායනික ක්‍රියාවලිය ජර්මානු යුධ යාන්ත්‍රණයේ හදවත විය.

 

වාතයෙන් පාන් නිෂ්පාදනය කිරීම වෙනුවට බෝම්බ නිෂ්පාදනය කිරීම ආරම්භ වුණි.

එතැනින් නොනැවතුණු ඔහු විශ්වාස කළේ රසායනික විද්‍යාවට මීට වඩා දායකත්වයක් යුද්ධයට සැපයීය හැකි බවයි. 1914 දෙසැම්බර් මාසයේදී ඔහු රසායනික අවි අත්හදා බැලීමකට සහභාගි වුණ ද අවසාන ප්‍රතිඵලය පිළිබඳව ඔහු සතුටට පත් නොවීය. ඔහු සිතුවේ ඔහුට මීට වඩා හොඳින් මෙය කළ හැකි බවයි. අඩු සාන්ද්‍රනයකදී මරණයට පත් කළ හැකි සාමාන්‍ය වායුගෝලයට වඩා බරින් වැඩි විෂ වායුවක් නිපදවීමට ඔහු වැඩකටයුතු සිදු කළ අතර එවැනි විෂ වායුවක් සතුරු යුධ අගල් තුළ පිරී යනු ඇත.

1899 දී සම්මත කෙරුණු හේග් සම්මුතියට අනුව යුද්ධයකදී රසායනික අවි භාවිතා කිරීම තහනම් කර තිබුණ ද බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනිය රහසින් රසායනික අවි අත්හදා බැලීම් වල නිරතවිය.

හාබර් ඔහුගේ පර්යේෂණ ඒකකය රසායනික අවි පිළිබඳ පර්යේෂණ කිරීමේ සහ අත්හදා බැලීමේ විද්‍යාගාරයක් බවට පරිවර්තනය කරවීය. මාස කිහිපයක උත්සාහයකින් පසු ඔහු ක්ලෝරීන් වායුව සොයාගත්තේය. ඔහුගේ පර්යේෂණ ඒකකයේ සේවය කළ ඔටෝ හාන් මෙම අලුත සොයාගත් රසායනික අවිය පිළිබඳ අප්‍රසාදය ප්‍රකාශ කළ ද හාබර් ප්‍රකාශ කළේ, “මෙවැනි ක්‍රම මගින් යුද්ධය ඉක්මනින් ඉවර කර ගැනීමට හැකි වුවහොත් ජීවිත විශාල සංඛ්‍යාවක් ආරක්ෂා කර කර ගැනීමට හැකි වනු ඇති” බවයි.

 

අප්‍රේල් මස 22 වැනිදා හවස 06:00 ට සුළං අත මිත්‍ර පාර්ශවීය යුද අගල් දෙසට හැමීමට පටන් ගැනීමත් සමඟ ජර්මානු හමුදා, ගෑස් සිලින්ඩර 5000ක් භාවිතා කරමින් ක්ලෝරීන් වායුව ටෝන් 168 මුදාහැරීය. සම්පූර්ණ යුධ භූමියම වසා ගනිමින් ක්ලෝරීන් වායුව පැතිරී ගියේය. සාමාන්‍ය වායුගෝලයට වඩා 2.5 ගුණයකින් ක්ලෝරීන් වායුව බරින් වැඩි නිසා මිත්‍ර පාර්ශවීය හමුදා යුධ අගල් ක්ලෝරීන් වායුවෙන් ගිලී ගියේය. ක්ලෝරීන් වායුව ආශ්වාස කළ සෙබළුන්ගේ පෙනහළු වල ශ්ලේෂ්මල ආස්තරය ඉදිමී ගිය අතර පෙනහළු ශ්ලේෂ්මල තරලයෙන් පිරී ගියේය. ප්‍රථම වතාවට වියලි බිම් කඩක් මත සෙබළුන් දියේ ගිලී මිය ගියහ.

ww1

ජර්මානු සෙබළුන් ප්‍රථම ගෑස් ප්‍රහාරය දියත් කරමින්

 

මෙම ප්‍රථම ප්‍රහාරයෙන් මිත්‍ර පාර්ශවීය හමුදා භටයින් 5000 මරුමුවට පත්විය. හාබර් කපිතාන් නිලයට උසස් කෙරුණි. සතියකට පසු ඔහු නැවතත් ඔහුගේ බර්ලින්හි පිහිටි නිවස වෙත පැමිණියේය. මැයි 1 දා තම නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයකින් පසුව හාබර් නිදාගැනීමට ගියේය. වසර ගණනක ආතතිගත පවුල් ජීවිතයෙන් හෙම්බත් වී සිටි ඔහුගේ බිරිඳ ක්ලාරා එදින රාත්‍රියේ තම පපුවට වෙඩි තබා ගනිමින් සිය දිවි නසා ගත්තාය. කිසිවක් සිදු නොවූ පරිදි ෆ්‍රිට්ස් හාබර් පසුදා උදෑසන දුම්රියට ගොඩවූයේ රුසියානු හමුදාවන්ට එරෙහිව කරන ගෑස් ප්‍රහාරයක් මෙහෙයවීමටය.

 

gas attack

ක්ලෝරීන් වායුව යුධ භූමිය වසා ගනිමින්

 

සමහරු පවසන්නේ ඇයගේ සියදිවි නසා ගැනීමට හේතුව වන්නේ තම ස්වාමිපුරුෂයාගේ සිත තුළ රසායනික අවි පිළිබඳ තිබූ දැඩි ආශාව නිසා බවයි. ඇයගේ සියදිවි නසා ගැනීමට හේතුව අද වනතුරුත් කිසිවකුත් නිශ්චිතවම නොදන්නා නමුත් ෆ්‍රිට්ස් සමඟ ගෙවූ අතෘප්තිමත් හා ආතතිගත පවුල් ජීවිතය පිළිබඳව සඳහන් කරමින් ඇය තම මිතුරියකට ලිපි ලියා තිබුණාය.

බිරිඳගේ සියදිවි නසා ගැනීමෙන් පසු හාබර් යුධ සමය තුළ තම මුළු ජීවිතයම රසායනික අවි, ගෑස් මුහුණු ආවරණ හා පළිබෝධනාශක පිළිබඳ පර්යේෂණ කිරීමට යෙදවීය. 1917 වන විට ඔහුගේ අයතනය විද්‍යාඥයින් 150ක්ද ඇතුළුව සේවකයින් 1500 කින් සමන්විත විය. එය රසායනික අවි පිලිබඳ කුඩා මෑන්හැට්න් ව්‍යාපෘතියක් විය.

පළමු ලෝක යුද්ධයේදී රසායනික අවි ප්‍රහාර මගින් සෙබළුන් 100,000ක් මියගොස් තිබුණි. ජර්මනිය යටත් වීමෙන් පසු හාබර් ගේ ව්‍යාපෘතිය නතර වුණු අතර ඔහු උපයා ගත් සියළුම ධනය අධි උද්ධමනය තත්ත්වය නිසා විනාශයට පත්විය. පසුව ඔහු මුහුදු ජලයෙන් රත්‍රං වෙන්කර ගැනීමේ ව්‍යාපෘතියක් දියත් කළ ද එය නිරර්ථක උත්සාහයක් විය.

1933 දී නාසි පාලනය බලයට පැමිණීමෙන් පසු සියලුම යුදෙව් විද්‍යාඥයින් ඇතුළු සිවිල් සේවකයින් සේවයෙන් පහ කිරීමේ නීති පැනවීය. හාබර් යුදෙව්වෙකු වුවද තම ආගම ඇදහූවේ නැත. යුධ සේවය ඔහුව එම නීතියෙන් නිදහස් කළද, ආයතනයේ සේවය කළ අනෙකුත් යුදෙව් විද්‍යාඥයින් සමඟම ඔහුද සේවයෙන් ඉල්ලා අස්විය.

ඉන් වසරකට පසු ස්විට්සර්ලන්තයේ බාසල් නුවර හෝටල් කාමරයක් තුළ ෆ්‍රිට්ස් හාබර් හෘදයාබාධයක් හේතුවෙන් මිය ගියේය.

පළමු ලෝක යුද්ධය අවසන් වූ කාලයේම හාබර්ගේ පර්යේෂණායතනය සයනයිඩ් පදනම් කරගත් කෘමි නාශකයක් නිපදවූ අතර එය ඉතා අඩු ගන්ධ සංවේදී තාවයකින් යුක්ත වූ නිසා හඳුනාගැනීමේ පහසුවට හා අධික විෂ සහිත වායුවක් වූ මෙම වායුව පිළිබඳ අවදානම දැනුම් දීමට දුර්ගන්ධයක් සහිත රසායනික ද්‍රව්‍යයක් එයට එකතු කරන ලදී. මෙම විෂ වායුව කුප්‍රකට සයික්ලෝන් බී (Zyklon B) නමින් හැඳින්විය.

හාබර් ගේ මියයාමෙන් දශකයට පසු මෙම වායුවේ වු දුර්ඝන්ධය ලබාදෙන රසායනික කොටස ඉවත් කරන ලෙස නාසින් විසින් එකල සිටි රසායනඥයින් ට දැනුම් දෙන ලදී. හාබර්ගේ පර්යේෂණායතනය වැඩිදියුණු කරන ලද දුර්ගන්ධය ලබාදෙන කොටස ඉවත් කරන ලද මෙම විෂ වායුව නාසින් විසින් දෙවැනි ලෝක යුධ සමයේදී යුදෙව් සමූල ඝාතනය උදෙසා භාවිතා කරන ලද ප්‍රධානම විෂ වායුව විය.

 

ce

සයික්ලෝන් බී විෂ වායුව

 

කතාවේ අවසානය…..


අවසානයේදී කෙනෙකුට හාබර් යනු දුෂ්ඨයෙකු ලෙසත්, තවත් අයෙකුට හාබර් යනු ලෝක ජනගහනයෙන් අඩකට අවශ්‍යය ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක් සොයාගත් වීරයෙකු ලෙසත් හැඳින්විය හැක.

 

පසුගිය ශතවර්ෂ කීපයේදී විද්‍යාව සහ තාක්ෂණය මානවයාගේ අභිවෘද්ධිය උදෙසා මහත් වූ සේවයක් සැපයූ අතරම එයම මිනිසාගේ විනාශයටද පාර කැපීය. ලෝකයේ යහපත උදෙසා පමණක් විද්‍යාව භාවිතා කරන මෙන් විද්‍යාඥයන්ගෙන් අපට ඉල්ලීමක් කළ හැක. නමුත්, විද්‍යාවෙන් සොයා ගන්නා ඕනෑම “දෙයක්” දෙපැත්ත කැපෙන ආයුධයක් මෙන් ලෝකයේ යහපතට මෙන්ම අයහපතටද යොදා ගත හැක. යමෙකුගේ පර්යේෂණයක අවසාන ප්‍රතිඵලය කුමක් වනු ඇත්ද හෝ පසු කලෙක එය කුමන අරමුණක් ඉෂ්ට කරගැනීමට භාවිතා කරනු ඇතිද යන්න කලින් කිව හැකි නොවේ.

 

ඇමෝනියම් නයිට්‍රේට් එකවරම පස සාරවත් කරන වැඩි අස්වැන්න ලබාදෙන පොහොරක් වන අතරම මහත් වූ විනාශයක් කළ හැකි පුපුරන ද්‍රව්‍යයක් ද වේ.

ඉතිං…….

ෆ්‍රිට්ස් හාබර්, වීරයෙක්ද?
නැතිනම් දුෂ්ඨයෙක්ද?
තීරණය ඔබ සතුයි.

Veritasium ඇසුරෙන්………….


(උපුටා ගැනීම - carbonnews.lk)


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්