එරාන් වික්‍රමරත්න විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව DailyFT පුවත්පතේ

(24 April 2023) චෝදනාවක් කර තිබේ. එම චෝදනාව තර්කයක් ලෙස මෙලෙස දැක්විය හැකිය:

(1) පාස්කු ප්‍රහාරය පිටුපස මහමොළකරුවෙක් සිටී.
(2) මහමොළකරුවාට පාස්කු ප්‍රහාරයෙන් වාසි විය.
(3) පාස්කු ප්‍රහාරයෙන් වාසි වූයේ ගෝඨාභය රාජපක්ෂටය (ජනපතිවරණය දිනූ නිසා).
(4) එම නිසා පාස්කු ප්‍රහාරය පිටුපස සිටි මහමොළකරුවා ගෝඨාභය රාජපක්ෂ ය.

දැන් අපි එරාන්ගේ මෙම චෝදනාත්මක ප්‍රකාශය තාර්කිකව විමසා බලමු.


අසත්‍ය පදනම

මෙම චෝදනාවේ පළමු පදනම එනම් “පාස්කු ප්‍රහාරය සැලසුම් කර බෝම්බ සකස් කර ඒවා ඇඳගෙන ගොස් පුපුරුවා ගත් ඉස්ලාම්වාදී ත්‍රස්තයන්ට පරිබාහිර වෙනත් මහමොළකරුවෙකු වැනි අයෙකු ඇත” යන්න හුදෙක් ඇතැමුන්ගේ පුද්ගලික “කල්පනාවක්” පමණී. එය තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් එරාන් හෝ වෙනත් කිසිවෙකු හෝ ඉදිරිපත් කර නැත. “ලෝකයේ සියල්ල පිටුපස දෙවියෙකු සිටිනවා” යැයි ඇතැමුන් දරන පුද්ගලික මනෝවිකාරයේ  ප්‍රක්ෂේපනයක් ලෙස මෙම කල්පනාව සැලකිය හැකිය. එබැවින් එරාන්ගේ ඉහත චෝදනාව පදනමෙන්ම බිඳ වැටේ. නමුත් සංවාදය උදෙසා අපි එයට ඉඩ දී ඉදිරියට යමු.



එරාන්ගේ දෙවන පදනම චක්‍රීය අර්ථකථනයකි. “මහමොළකරුවා වාසිය ලබන්නාය; වාසිය ලබන්නා මහමොළකරුවාය” යැයි කීමෙන් කිසිදු අර්ථයක් නොලැබේ. එය හරියට “බොර්න්-අගේන්ලා සමාව ලද්දෝය; සමාව ලද්දෝ බෝර්න්-අගේන්ලාය” යැයි කීම වැනිය. එයින් කිසිදු විෂයයක් ස්වාධීනව අර්ථ නොදැක්වේ. එබැවින් එරාන්ගේ චෝදනාව මෙතනින්ද බිඳ වැටේ. නමුත් ඊටත් ඉඩ දී අපි තව ඉදිරියට යමු.




වාසිය කාටද?

එරාන් අහන ප්‍රශ්නය තමයි “පාස්කු ප්‍රහාරයෙන් වාසි වුණේ කාටද?” යන්න. එරාන්ට අනුව පාස්කු ප්‍රහාරයේ වාසිය වන්නේ “ජනපතිවරණයෙන් ජය ලැබීම” ය. එය මෙම ප්‍රශ්නය අශික්ෂිත ලෙස දේශපාලනීකරණයකි. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව එරාන් විසින් පාස්කු ප්‍රහාරයේ වාසිය “වරණ ජය”කට සමාන කරයි. එයින් අපට තේරුම් ගත හැක්කේ මිනිස් ඛේදවාචකයන් දෙස එරාන් බලන අසංවේදී ආකාරයයි. දෙවියන් අදහන අයෙකු හැටියට මෙවැනි දුෂ්ට අකටයුත්තක් වහාම දේශපාලනීකරණය කිරීම නොහොබී.



ඊනියා “වාසිය” ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් විය හැකිය. උදාහරණයක් ලෙස ජිහාඩ් කෝණයෙන් බැලූ කල පාස්කු ප්‍රහාරයේ වාසිය ලබන්නේ මේ වන විට ස්වර්ගයේ කන්‍යාවන් ගණනාවක් සමග නිදි වදින ත්‍රස්තවාදී බෝම්බකරුය. නොඑසේ නම් පාස්කු ප්‍රහාරයේ වාසිය ලැබෙන්නේ එම ප්‍රහාරයෙන් හානියට පත් පල්ලි සහ හෝටල් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට කොන්ත්‍රාත්තුව ගත් තැනැත්තාටය. නමුත් ඊනියා වාසිය යනු ඡන්දයෙන් දිනීමම යැයි සලකා අපි ඉදිරියට යමු.



එරාන්ගේ ප්‍රධාන තර්කය වන්නේ ගෝඨාභය රාජපක්ෂ 2019 ජනපතිවරණයෙන් ජයගත් නිසා පාස්කු ප්‍රහාරයේ වාසිය ඔහුට ලැබුණු බවයි. එරාන් කියන්නේ පාස්කු ප්‍රහාරය නොවන්නට කතෝලිකයන් සහ ක්‍රිස්තියානුන් ගෝඨාභය රාජපක්ෂට සිය ඡන්දය නොදෙන බවයි. පාස්කු ප්‍රහාරය නිසා ඔවුන් ගෝඨාභයට ඡන්දය දුන් නිසා ගෝඨාභය ජයගත් බවයි. එම තර්කය නිවැරදිද කියා අපි ජනපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල අනුව බලමු. පහසුව සඳහා පාස්කු ප්‍රහාරය සිදු කළ මැතිවරණ කොට්ඨාසවල ප්‍රතිඵල ඍජුව බලමු. එවැනි වාසියක් ගෝඨාභයට ලැබුණා නම් එය පැහැදිලිව සහ වැඩිපුරම ලැබිය යුතු වන්නේ කතෝලික සහ ක්‍රිස්තියානු ආගමිකයන් බහුල එම කොට්ඨාසවලිනි.

උතුරු කොළඹ (කොටහේන):
සජිත් ප්‍රේමදාස 72.94% (52,983 votes)
ගෝඨාභය රාජපක්ෂ 23.38% (16,986 votes)

මීගමුව (කටුවාපිටිය):
සජිත් ප්‍රේමදාස 53.03% (44,032 votes);
ගෝඨාභය රාජපක්ෂ 38.23% (31,743 votes)

මඩකලපුව (සයන් පල්ලිය)
සජිත් ප්‍රේමදාස 78.13% (109,449 votes)
ගෝඨාභය රාජපක්ෂ 8.99% (12,594 votes)

මැද කොළඹ (හෝටලය)
සජිත් ප්‍රේමදාස 80.33% (80,076 votes)
ගෝඨාභය රාජපක්ෂ 16.39% (16,341 votes)

(මූලාශ්‍රය: ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම)


මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ඉහත ප්‍රතිඵල අනුව පෙනෙන්නේ එරාන් කියන ආකාරයේ “වාසියක්” ලැබුණා නම් ලැබී ඇත්තේ සජිත් ප්‍රේමදාසට මිස ගෝඨාභය රාජපක්ෂට නොවන බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ගෝඨාභය රාජපක්ෂට අඩුම ඡන්ද ප්‍රතිශතය ලැබී ඇත්තේ මීගමුව කොට්ඨාසයෙනි. ඒවායේ අති බහුතර පැහැදිලි “ජයග්‍රාහකයා” සජිත් ප්‍රේමදාස ය. ප්‍රහාරය එල්ල කළ ප්‍රදේශවල කතෝලික සහ ක්‍රිස්තියානු වැසියන්වත් ගෝඨාභයට වැඩිපුර ඡන්දය නොදුන්නා නම් වෙනත් ප්‍රදේශවල තත්ත්වය එයට වෙනස් විය නොහැකිය.


මහමොළකරු සජිත්?



ඒ අනුව එරාන් වික්‍රමරත්නගේ චෝදනාව සැබැවින්ම ඉලක්ක කර තිබෙන්නේ සජිත් ප්‍රේමදාසට කියා අපට පෙනේ. ආර්ථික විද්‍යාව උගත් හිටපු බැංකුකරුවෙකු වන එරාන් මෙම දත්ත පිළිබඳව දැන නොසිටියා කියා සිතිය නොහැකිය. එරාන්ගේ චෝදනාවට මෙවැනි තාර්කික පිළිතුරක් නොලැබේ යැයි ඔහු නොසිතුවා විය නොහැකිය. එරාන්ට අවශ්‍ය වන්නේ මෙම දත්ත සහ තොරතුරු මතු කිරීම විය හැකිය.


දැන් මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ මොනවාද? පළමුව එරාන්ගේ ඉහත චෝදනාව තර්කයෙන් බිඳ වැටේ. ඔහුගේ චෝදනාව පදනම් විරහිත සහ අතාර්කික බව මවිසින් සාක්ෂි සහිතව මෙයින් තාර්කිකව ඔප්පු කර තිබේ. එමෙන්ම කතෝලික සහ ක්‍රිස්තියානු ආගමිකයන්ගේ ඡන්ද පාස්කු ප්‍රහාරය නිසා කිසිදු වෙනසකට ලක් වී නොමැති බව අපට මෙයින් පෙනේ. ජනපතිවරයා තෝරා ගැනීමේදී ඔවුන් සිය සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලම එල්බ සිට ඇත. එය ඔවුන්ගේ කැමැත්තය.



කතෝලිකයන් සහ ක්‍රිස්තියානුන්ට නිග්‍රහා කිරීම

මෙහි කණගාටුවට කරුණ වන්නේ එරාන් සහ මැල්කම් වැනි වයස්ගත ආගමික පිරිමින් විසින් සිදු කරන මෙවැනි ද්වේශ සහගත ප්‍රකාශ නිසා නින්දාවට පත් වන්නේ ඔවුන්ගේ අනුගාමික කතෝලික සහ ක්‍රිස්තියානු ප්‍රජාව වීමය. “ජාතික වරණයකදී සිය ඡන්දය දෙන්නේ බෝම්බ ප්‍රහාරයක් පදනම් කරගෙන” යැයි කීමෙන් ඔවුන්ගේ බුද්ධි මට්ටම පහත් කිරීම සුදුසු නැත. තමන්ගේ සහෝදර ජනතාව එතරම් අමනයන් ලෙස අවමානයට සහ අප්‍රසාදයට ලක් කිරීම එරාන්ට තරම් නොවේ. ඔවුන් සිතන්නේ කතෝලිකයන් සහ ක්‍රිස්තියානුන් යනු බිය විසින් මෙහෙයෙවෙන “බැටළුවන්” කියාද? නොඑසේ නම් කතෝලිකයන් සහ ක්‍රිස්තියානුන් ඡන්දය දෙන්නේ මුසල්මානුන්ගෙන් පළි ගැනීමට කියාද?



එරාන් කරන්නේ කතෝලික සහ ක්‍රිස්තියානු ප්‍රජාවට නිගරු කරමින් කිසිදු පදනමක් නැති කුමන්ත්‍රණ තියරි කීම පමණී. අයිසන්හවර්ගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරනවාය කීවාට ඔහු ඒවා අමු අමුවේ උල්ලංඝනය කර තිබේ. මෙය නූතන ශිෂ්ට සම්පන්න දේශපාලනය නොවේ. ඔහුගේ තර්කයට අනුව “පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ යහපාලන ආණ්ඩුවේම කෙනෙකු විසින්” කියා කෙනෙකුට කිව හැකිය. පාස්කු ප්‍රහාරය සිදු වන විට එරාන් එම ආණ්ඩුවේ ඇමතිවරයෙකි. කොතෙකුත් අනතුරු ඇඟවීම් කළත් අවශ්‍ය පියවර ගැනීමට ඔහුද අසමත් වූ බව අපි දනිමු. ඉස්ලාම්වාදී ත්‍රස්තයන්ගේ පියා වන ඉබ්‍රාහීම් නැමැත්තා ආණ්ඩුවේ හවුල්කාර ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකි. එසේ නම් මෙය යහපාලන ආණ්ඩුවේම සැලසුමක්ද කියා අප ප්‍රශ්න කළ යුතුය.




කුමන්ත්‍රණ තියරි

එරාන්ගේ දේශපාලනික තර්කයට අනුව පාස්කු ප්‍රහාරයේ #අරමුණ වුණේ ඒ වන විට ජනතා අප්‍රසාදයට පත්ව තිබුණු යහපාලන ආණ්ඩුවට අනුකම්පාව දිනා ගැනීමද? 2018 වසරේ පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව එම අප්‍රසාදය “ප්‍රජාතාන්ත්‍රිකව” පෙන්වා තිබිණි. එම නිසා ඊළඟ ඡන්දයෙන් දිනීමට පොදුජන පෙරමුණට ප්‍රහාරයක් තබා කිසිවක් අමුතුවෙන් කිරීමට අවශ්‍යතාවයක් නොතිබිණි. පාස්කු ප්‍රහාරය එවැනි දේශපාලන සැලසුමක් නම් එහි අරමුණ විය හැක්කේ පොදුජන පෙරමුණ වෙත ගොඩනැගෙමින් තිබුණු රැල්ල බිඳ දැමීම විය නොහැකිද? එමෙන්ම එයින් බලාපොරොත්තු වූයේ රාජපක්ෂලාට ගොනු වෙමින් තිබුණු මුස්ලිම් සහාය බිඳ දැමීමද?

 

ප්‍රතිඵල දෙස බලන විට පෙනෙන්නේ මුස්ලිම් ප්‍රජාව බහුල කොට්ඨාස පැහැදිලිව සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබා දී ඇති බවයි. එරාන්ගේ චෝදනාවේ සියලු මාවත් අවසන් වෙන්නේ සජිත් ප්‍රේමදාස පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා කරවමිනි. ඔහු සැබැවින්ම එම ඡන්දය නිසා සිය නව පක්ෂය ස්ථාපිත කරගත්තා පමණක් නොව, විපක්ෂ නායකවරයා බවටද පත් විය. එය සැබැවින්ම ජයග්‍රහණයකි. වාසි පිට වාසි ලබා ඇත්තේ සජිත් කියාද එරාන් අපට කියන්නේ? මේ සියල්ල සිදු කළේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වය විනාශ කරන්නද?



අවසාන වශයෙන් එරාන්ට මා දෙන උපදේශය වන්නේ තමන්ට පටු දේශපාලන “වාසියක්” ලබා ගැනීම වෙනුවෙන් තමන්ගේ සහෝදර කතෝලික සහ ක්‍රිස්තියානු ආගමික ප්‍රජාවගේ ලේ කඳුළු ජුගුප්සාජනක ලෙස අවභාවිතා නොකර ඔවුන්ට තවත් අවමන් නොකර අවම සදාචාරය පවත්වා ගනිමින් ඔබේ දේශපාලනය කරනු මැනවි කියාය. ධර්මය ඔබට මග වේවා!



eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023 අප්‍රේල් 29

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්