වහලක් ගහනවා යැයි කී විට අපේ සිහියට එන්නේ ගෙදරක වහලක් ගහනවා යන්නයි.

ඒ සාමාන්‍ය සමාජයට ය.

එහෙත් ඇඩ්වර්ටයිසිං ලෝකයේ "වහලක් ගහනවා" යනු වෙනත් තේරුමක් දෙන්නකි.

ඒ ඓතිහාසික කතාවේ උපත සිදුවුයේ මෙසේය.

ජයන්ත හා කෝලිත යනු සහෝදරයෝ ය.

දෙදෙනාම ආර්ට් ඩිරෙක්ටර්ස්ලා ය.

දෙන්නාම වැඩ කළේ එකම ඒජන්සියක ය.

ඕනෑම ඒජන්සියක ආර්ට් ඩිරෙක්ටර්ස්ලාට වෙනම මාර්කට් එකක් තිබේ.

හිටි අඩියේම කෝලිත අතුරුදන් විය.

සතියකින් පමණ ඔහු ගැන ආරංචියක් නැත.

ඔන්න දිනක් කෝලිත ගැන ආරංචියක් ලැබිණ.

එයින් කියැවුණේ කෝලිත ගෙදර වහල ගහන බවයි.

තම සහෝදරයා ගෙයි වහල ගහන බව ජයන්ත දැනගත්තේත් එවිටය.

" යකෝ මූ මටත් නොකියා ගෙයක් හදනවාද...? "

එසේ සිතූ ජයන්ත තම සොහොයුරා බලන්නට ගියේය.

ඒ යන විට දොර ජනෙල් වසා ගෙන කෝලිත බරටම වැඩය.

ඔහුට ප්‍රයිවෙට් ජොබ් එකක් සෙට් වී ඇත.

ගෙයි වහල ගහනවා යැයි බොරුවක් ගොතා සුමාන ගානක් තිස්සේ ඔහු සිදුකර ඇත්තේ එයයි.

එදා පටන් කවුරු කොයි ඒජන්සියේ සිට ප්‍රයිවෙට් වැඩක් කළත් එය හැඳින්වූයේ 'වහලක් ගගනවා' යනුවෙනි.

කෝලිත- ජයන්ත දෙසොහොයුරන් විසින් මෙරට දැන්වීම් ක්ෂෙත්‍රයට එකතු කළ අනියම් අර්ථයක් ගෙනදුන් විශිෂ්ට පද යුගලය එයයි.

 ප්‍රයිවෙට් වැඩ කිරීම හෙවත් වහලවල් ගැසීම
දැන්වීම් ආයතනවල සේවකයින්ට තහනම් වූවකි.

එසේ වුවත්  කොම්පැණියේ ලොක්කා ගේ ආශිර්වාදයෙන් වහලක් ගසන්නට වාසනාව ලැබූ ඇඩ්වර්ටයිසිංකාරයන් ද මේ රටේ සිට ඇත.

ඇන්ටන් තානාපති ඉන් එක් අයෙකි.

කතාව මේකය.

දිවංගත ගාමිණි දිසානායක මහතා රෙජී කන්දප්පා මහතාගේ හිතවතෙකි.

ගාමිණි දිසානායක මහතා ඔහුගේ දේශපාලන කැම්පේන් කර දෙන්න යැයි කන්දප්පා ගෙන් ඉල්ලා සිටියේය.

කන්දප්පා මහතා එය ග්‍රාන්ට් එක ඇතුලේ කරන්න කැමති වූයේ නැත.

ඔහු ඒ වෙනුවට කළේ තමන් ළඟ සිටි හොඳම වැඩ්ඩෙකු වූ ඇන්ටන් තානාපති ගාමිණී දිසානායක වෙත නිදහස් කිරීමයි.

ජොබ් එක අවසානයේ ඇන්ටාට හොඳ ගාණක් ගාමිණී දිසානායක මහතා ගෙන් ලැබුණි.

මාසය අන්තිමට පඩියත් ලැබුණි.

බොස්ගේ ආශිර්වාදය ඇතිව වහලවල් ගගන්නට ලැබෙන්නේ පෙර පින් කළ උදවියටය.

කෙසේ වෙතත් වහල ගැසීම ලාංකීය දැන්වීම් කලාවට හඳුන්වාදීමට දායක වූ ජයන්ත ගේ සේවාව නිම වන්නේ ද වහලක් ගසන්නට ‍යෑමෙනි.

ජයන්ත නිවාඩු දිනයක දී ඔහුගේ කොම්පියුටරය විවෘත කිරීමේදී ඔහු ගැසූ වහලක් මාට්ටු විය.

එදිනම ජයන්ත ගේ සේවය අවසන් කෙරිණි.

ඇඩ්ඩාට හිතෙන අන්දමට ඒජන්සි ඇතුලේ වහලවල් ගසා නැත්තේ රෙජී කන්දප්පා, අර්වින් වීරක්කොඩි, රනිල් ද සිල්වා, දිලිත් ජයවීර, වරුණි ප්‍රනාන්දු වැනි ඒජන්සි අයිතිකරුවන් පමණි.

' වහලක් ගැසීම ' ඒජන්සිගත කෙරුණේ මීට දශක ගණනාවකට පෙරදීය.

ඊට මූලික වූ කෝලිත හා ජයන්තව නොදුටු පිරිස් පවා මුඛ පරම්පරාගතව පැවත
එන ' වහල ගැසීම 'යන යෙදුම අදටත් භාවිතා කිරීම සුවිශේෂය.

එදවස බුදු රජාණන් වහන්සේ කිසා ගෝතමියට දේශනා කළේ කිසිවකුත් නොමල ගෙයකින් අබ මිටක් රැගෙන එන ලෙසයි.

අද උන් වහන්සේ හිටියා නම් දේශනා කරනු ඇත්තේ කිසිදා වහලක් නොගැසූ ඇඩ්වර්ටයිසිංකාරයකුගේ ගෙදරකින් අබ මිටක් රැගෙන එන ලෙසයි.

මේ දෙකම කවදාවත්ම කළ නොහැකි දේවල් ය.


(ඇඩ්ඩා විසින් ලියන ලදි)



ඇඩ්වර්ටයිසිං ලෝකය වෙනත් ලිපි :

 

ඇඩ්වර්ටයිසිං ලෝකය (6) : අධිකාරි මං කංකුං දේවී...!  


ඇඩ්වර්ටයිසිං ලෝකය (5) :මහා කලු සිංහලයා


ඇඩ්වර්ටයිසිං ලෝකය (4) : පොල් ගහේ කතාව


ඇඩ්වර්ටයිසිං ලෝකය (3) : රොබට් vs රොබට්


ඇඩ්වර්ටයිසිං ලෝකය (2) : ලබු ගුණේ


ඇඩ්වර්ටයිසිං ලෝකය (1) : කන්දප්පාට කුණුහරුප වරුසාවක්!

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්