මේ මැයි දිනයෙන් පසු වෘත්තීය සමිති සිය කාලය ගෙවනු ඇත්තේ කෙසේ ද?

පසුගිය කාලයේ ඔවුන් ප්‍රදර්ශනය කළ ආණ්ඩු විරෝධය සමගින් යා හැකි තව දුරක් මේ මැයි දිනයෙන් පසු ඉතිරිව තියේද? මේ මැයි දිනයෙන් පසු සමාජීය වැදගත්කමක් තිබිය හැක්කේ ආණ්ඩු විරෝධය ඔප මට්ටම් කිරීමේ සටන් පාඨවලට නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ.අ) කොන්දේසි ඉටු කිරීමට ආණ්ඩුව ගන්නා පියවර සම්බන්ධ සමාජ කතිකාවක් සමග ගොනුවන සමාජ ව්‍යාපාරයකය. මෙය එවැන්නකට ඇති අවකාශය විවරකර ගැනීමකි.

සියලු වර්ණනා සමග වුවත් ජා.මූ. අරමුදලේ සහනාධාර වැඩසටහන අපගේ ප්‍රධාන ගැටලුව වන විදේශ වෙළඳ හිඟය පියවීම සඳහා උත්තර දෙන්නක් නොවේ. එනිසා අපට සිදුවන්නේ මේ තිබෙන ඩොලර් බිලියන 56ක ණය කන්ද මත තව අලුතෙන් ණය ගොඩ ගසා ගැනීමට පමණි.

එය වෙනත් අත හරවා “දුප්පතුන් වඩා හොඳින් ඉලක්ක කෙරෙන සහ ශක්තිමත් කෙරෙන” සමාජ රක්ෂණ ජාලයක් තිබිය යුතු යැයි දැන් බලාපොරොත්තු ඇති කෙරෙන්නේය. මේ සමාජ රක්ෂණ ජාල හැදීමේ වැඩ ආරම්භ කෙරුණේ මීට මාස 08 ට පමණ පෙර පසුගිය අගෝස්තුවේ ජා.මූ. අරමුදලේ මාණ්ඩලික සේවා සාකච්ඡා අවසන් කිරීමට පෙරාතුව සිටය.

 

socs

සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් නීල් හපුහින්න මහතා ඉකුත් අගෝස්තුවේ දී මාධ්‍යයට කියුවේ සමාජ රක්ෂණය සඳහා ඔවුන්ට ඒ වනවිටත් ඉල්ලුම්පත් මිලියන 03.2 ක් ලැබුණු බවය. ඒ සංඛ්‍යාවට සමෘද්ධි, වැඩිහිටි දීමනා, ආබාධිත දීමනා ඇතුළු අනෙක් පුණ්‍යාධාර සමග අලුතින් සහනාධාර බලාපොරොත්තු වන පිරිස් ද ඇත. සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති විජේරත්න මහතාට අනුව දුප්පත්කම ගණන් හදන්නේ ඔවුන්ය. ඒ සඳහා අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථිකය, වත්කම් හා නිවාස, පවුලේ සාමාජික සංඛ්‍යාව සමග තවත් නිර්නායක 22 ක් පාදක කරගනු ලබන්නේය.

 

එකී ඉල්ලුම්පත් එකතුකර ගත් ජුලි - අගෝස්තු මාසවලින් පසුව, කලින් අවුරුද්ද හා සැසඳීමේදී ඉකුත් මාර්තු වනවිට පාරිභෝගික භාණ්ඩ මිල සියයට 49.2 කින්ද, ආහාර උද්ධමනය සියයට 42.3 කින්ද ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ මිල සියයට 54.9 කින්ද ඉහළ ගොස් ඇත (සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව). එලෙස වේගයෙන් මිල ඉහළ යාමත් සමග අවදානම් තත්ත්වයේ සිටි පවුල් ලක්ෂ කිහිපයක් දුප්පතුන් බවට පත්ව ඇත. ඒ සමග පාසල් යෑමට නොහැකිව අතරමංව ඉන්නා ළමයින් සංඛ්‍යාව දැන් සියයට 15 ක් පමණ යැයි ද ගණන් බැලෙන්නේය.

CH1672597 Children eat their daily school meal in Ratnapura District Sri Lanka

හාම්පුතුන් තම ලාභ රේට්ටු නඩත්තුකර ගැනීමට වියදම් කප්පාදු කිරීම, දිරි ගැන්වීම් හා අතිකාල අත්හිටුවීම, කම්හල් තාවකාලිකව වසා දැමීම් හා සේවා අහෝසි කිරීම් නිසාවෙන් තවත් දහස් ගණනක් අවදානම් තත්ත්වයකට පත්ව ඇත. එවගේම පෞද්ගලික නේවාසිකාගාර හා කාමරවල නවාතැන් ගන්නා අපනයන නිෂ්පාදන කර්මාන්තායතන හා නිදහස් වෙළඳ කලාපවල ශ්‍රමිකයන්ගෙන් සියයට 85 ක් 90 ක් පමණ වන සංක්‍රමණික සේවකයෝ ද අවදානම් තත්ත්වයකට තල්ලුවී සිටින්නාහ. ඒ සමග දුප්පත් ප්‍රතිශතය දැන් සියයට 35 ක් පමණ වන්නේ යැයි ගණන් බැලෙන පසුබිමක, සමාජ ආරක්ෂණය සඳහා දුප්පත්කම අර්ථ දැක්විය යුත්තේ කෙසේද යන්න වෘත්තීය සමිතිවලට ද අදාළ වන්නකි.

 

එහෙත් වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ නොපමාව රුපියල් 15,000 ක 20,000 ක වැටුප් වැඩි කිරීමකි. මේ පවතින අර්බුදයෙහි පෞද්ගලික ක්ෂේත්‍රයෙහි අඩු වැටුප්ලාභීන් සැලකීමේ දී එය අසාධාරණ නොවේ. එහෙත් හාම්පුතුන් එවැන්නකට කන් දෙන්නේ නැත. පසුගිය ආණ්ඩු මීට පෙර දෙවරක් “අයවැය සහන දීමනා” වශයෙන් සේවක වැටුප් වැඩි කරන්නට ගැසට් නිවේදන මගින් හාම්පුතුන්ට නියෝග කරන්නට වූයේ එබැවිනි. එහෙත් ජා.මූ. අරමුදලේ ප්‍රතිසංවිධාන වෙත දැඩි ලෙස බැඳ තැබෙන මේ වික්‍රමසිංහ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් නොකරනු ඇත.

එවැනි අතිශය අවාසිදායක අහිතකර සන්දර්භයක වුවත් 20 වැනි සියවස මානසිකත්වයක ඉන්නා වෘත්තීය සමිති නායකයන් වෙනත් විසඳුම් ගැන සිතන්නට උනන්දුවන්නේ නැත. මෙරට පළමු මහා වැඩ වර්ජනය ලෙස සැලකෙන හරියටම අවුරුදු 100 ට පෙර 1923 පෙබරවාරියේ දුම්රිය සේවකයන් සමග තවත් රාජ්‍ය අංශ කිහිපයක සේවකයන් වැඩ වර්ජනයට හවුල් වූයේ ජීවන වියදම වෙනුවෙන් සියයට 50 ක වැටුප් වැඩිවීමක් මුල් කරගත් ඉල්ලීම් කිහිපයක් සමගින්ය. ඔවුන් ඉල්ලූ සියයට 50 ක දෛනික වැටුප් වැඩිවීම යනු ශත 45ක වැඩි වීමකි. මැනිං ආණ්ඩුකාරයා විසින් වර්ජනයේ ඉල්ලීම් සලකා බැලීමට පත් කළ කමිටුව විසින් සියයට 20 ක, එනම් ශත 18 ක වැටුප් වැඩිවීමක් සමග ලෙඩ හා සාමාන්‍ය නිවාඩු නිර්දේශ කිරීම මත වර්ජනය සාර්ථකව නිම කෙරුණි.

 

2 4

මුල් කාලයේ වර්ජන අවස්ථාවක් – Jamhoor.org

 

එතැන් සිට වැඩිවන ජීවන වියදම වෙනුවෙන් වැඩි වැටුප් ඉල්ලීම වෘත්තීය සමිතිවල සම්මත භාවිතය බවට පත්විය. ඉතා සටන්කාමී හා ප්‍රතිපත්තිගරුක වෘත්තීය සමිති නායකයකු වූ පෑලිස් සේරසිංහ 1957 මෙහෙය වූ රාජ්‍ය සේවක වැඩවර්ජනය මෙරට වෘත්තීය සමිති ඉතිහාසයෙහි මුළු රටම අන්ධකාරයේ තබමින් අරලියගහ මන්දිරයේ ඉටිපන්දම් පත්තු කෙරුණු එකම වැඩ වර්ජනය විය. එය රුපියල් 17.50 ක විශේෂ ජීවන වියදම් දීමනාව දිනා ගනිමින් සාර්ථකව නිම විය.

කනගාටුදායක ලෙස අසාර්ථක වූ 1980 ජුලි වැඩ වර්ජනයෙහි ඉල්ලීම් වූයේ රුපියල් 300 ක වැටුප් වැඩි කිරීමක් සමග ජීවන වියදම් දර්ශකයෙහි වැඩිවන සෑම ඒකකයකටම රුපියල් 05කි. 2005 ආරම්භයේ දී පෞද්ගලික අංශයෙහි වැටුප් ඉල්ලීම වූයේ රුපියල් 2,500 කි. ඒ සඳහා රුපියල් 1,000 ක් අයවැය සහන දීමනාවක් වශයෙන් ලබා දීමට ආණ්ඩුව මැදිහත් විය. අනතුරුව 2016 දී රුපියල් 5,000 ක ඉල්ලීම වෙනුවෙන් රුපියල් 2,500 ක වැඩි කිරීමක් තීන්දු විය.

කනගාටුවට කරුණ නම්, ඉහළ යන ජීවන වියදමට වැටුප් වැඩි කිරීමෙන් විසඳුම් නොලැබෙන බව වෘත්තීය සමිති තවමත් තේරුම් නොගැනීමය. වැටුප් වැඩි කිරීමේ පළමු ඉල්ලීම වූ ශත 45 සිට රුපියල් 2,500 දක්වා වූ ඉල්ලීම්වලට ආර්ථික උද්ධමනය අභිබවා යා නොහැකි විය.

 

ලොකු වැටුප් වැඩි කිරීමක් ලබා ගැනීමේ නිස්සාරත්වය මෑතක වඩා හොඳින් අත් දුටුවේ ඉකුත් අවුරුද්දේ ජනවාරියේ සිට දළ වශයෙන් රුපියල් 20,000 ක පමණ මාසික වැටුප් වැඩි වීමක් ලද ගුරුවරුය. ගෑස්, පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල සියයට 300 කින් පමණ ඉහළ යාමත් ඉකුත් අගෝස්තුවේ විදුලිය ගාස්තු සියයට 70 කින් වැඩි වීමත් අනතුරුව ඒ වැඩි කිරීම මත තවත් සියයට 65 කින් පමණ නැවත ජනවාරියේ සිට විදුලිය ගාස්තු වැඩි වීමත් සමග මාළු බනිසේ සිට ප්ලේන්ටිය දක්වාත් බස් ගාස්තුවේ සිට ත්‍රීරෝද රථ ගාස්තු දක්වාත් සියල්ල අශ්ව පිම්මේ වැඩි වූ පසු කිසිදු වැටුප් වැඩි වීමක් වලංගු නොවීය.

2023 02 12 18 47 21 2769161

ජා.මූ. අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජ්‍යෝජීවා

 

දැන් වැදගත් වන්නේ වෘත්තීය සමිති විසින් තම සාමාජික ඉල්ලීම් අර්ථවත් කරන්නේ කෙසේද යන්නය. පරණ කතා අතහැර අඩු වැටුප්ලාභීන් ද සමාජ රක්ෂණයට ඇතුළු කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කිරීමේ තීන්දුවකට ඔවුන් සූදානම් වනු ඇතිද? මේ ආණ්ඩුව ජා.මූ. අරමුදලේ වාග් භාවිතය අතහැර ඔවුන්ගේ ප්‍රතිසංවිධාන සැලසුම අර්ථවත් කළහොත් සිදුවන්නේ ජා.මූ. අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජ්‍යෝජීවා ඉකුත් මාර්තු 20 වැනි දින මාධ්‍යයට ප්‍රකාශ කළ “ලොකු උනන්දුවකින් ආදායම් පදනම්වන මූල්‍ය ස්ථාවරත්වයක් නඩත්තු කළ යුතු වන්නේ දුප්පත් සහ අවදානම් තත්ත්වයේ ජනතාවගේ සුරක්ෂාව සමග මූල්‍ය කටයුතු සහ ණය දරා ගැනීමටය” යන්න නොවේ. එය ඔවුන් දුප්පතුන් සහ අවදානමට ලක්වූ ප්‍රජාව ගැන යන එන අතරවාරයේ කියන කතාවක් පමණි.

එහි සැබෑ අර්ථය ඇත්තේ “ඔක්ස්ෆැම්” සංවිධානය ඔවුන්ගේ නවතම විස්තර පත්‍රිකාවෙහි තබා ඇති සටහනක ය. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ ඔවුන්ගේ ණය වැඩසටහන් මගින් සිදුකරන කප්පාදුවලින් අධ්‍යාපනය, සෞඛ්‍ය හා සමාජ රක්ෂණය, ‘සමාජ වියදම් අවකාශ’ ඔස්සේ ආරක්ෂා කරන බවය.

මේවා සුබදායි පියවරය. එහෙත් ප්‍රශ්නය ඇත්තේ මේවා කෙතරම් පලදායි ද යන්න මතය” යනුවෙන් “ඔක්ස්ෆැම්” සංවිධානය ප්‍රශ්නකර ඇත. අපේ විශේෂඥයන් පවා කතා නොකරන කාරණාවක් නම්, “ජා.මූ. අරමුදලේ ‘සමාජ වියදම් අවකාශ’ විසින් 2020-2022 වසරවල රටවල් 13ක පමණ සමාජ රක්ෂණ වියදම් ඩොලර බිලියනයකින් පමණ ඉහළ දැමීමට උනන්දුකර ඇතත් මේ රටවලම මහජන වියදම් ඩොලර බිලියන 05 කින් පමණ කපා හැරීමට ඒ කාලය තුළම ඔවුන්ගේ කප්පාදු මගින් බලකර ඇත” යන කාරණාවය 

 

ජා.මූ. අරමුදලේ වාග් භාවිතය කවරක් වුවත් ඔවුන් ජනාධිපති වික්‍රමසිංහ සමගින් ඇතිකර ගත් ගිවිසුමට අනුව සමෘද්ධි සහනාධාර සමග අනෙක් සමාජ රක්ෂණ වැඩසටහන් කප්පාදු විය යුතුය. එය ජනතා විරෝධතාවලට හේතුවිය හැකි බැව් ජා.මූ. අරමුදල පවා පිළිගනු ඇත. ඔවුන්ගේ උපාය වන්නේ සමෘද්ධි සමග අනෙක් අවශේෂ සමාජ රක්ෂණ ව්‍යාපෘති එක ගොන්නට ගෙන ඒවා “කිවුආර්” කේතයක් ද සමග වඩා කාර්යක්ෂම, වඩා ශක්තිමත් තනි සමාජ රක්ෂණ ජාලයක් ලෙස ප්‍රතිසංවිධානය කරන්නේ යැයි කීමය. එය අවසන් වශයෙන් “බිලියනයක් වැඩිකර බිලියන 05 ක් කපා දමන” වර්ගයේ ප්‍රතිසංවිධානයකි. එවැනි විට, සමාජ රක්ෂණ සඳහා සුදුසුකම් ලැබීම ඉතා අසීරු කාර්යක් වන්නකි.

 

මෙවැනි කප්පාදු සමග ශීඝ්‍රයෙන් ඉහළ යන නාගරික, ග්‍රාමීය හා වැවිලිකර දුප්පතුන් සමාජ රක්ෂණයට අලුතින් ඇතුලුකර ගැනීම එතරම් පහසු නැත. එය බොහෝවිට තීන්දු වන්නේ කාරණා දෙකක් මත ය. පළමුවැන්න සමාජ රක්ෂණය සඳහා දුප්පත්කම තීන්දු කිරීමේ නව නිර්නායක වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන්නේ කෙසේ ද යන්නය. දෙවැනුව, එම නිර්නායක බාර ගැනීමට ආණ්ඩුවට බල කිරීමේදී සාම්ප්‍රදායික විරෝධතා වෙනුවට පුළුල් ජන ව්‍යාපාරයකට මුල පුරන්නේ ද නැති ද යන්න අනුවය.

අඩු වැටුප් ලබන ශ්‍රමිකයන් සඳහා වැටුප් වැඩි කිරීම් ඉල්ලනවා වෙනුවට ප්‍රතිපත්තිමය වශයෙන් සමාජ රක්ෂණය සඳහා සුදුසුකම තීන්දු කළ යුත්තේ මාසික ආදායම අනුව මිස, රැකියාවක් කරන්නේ ද නැතිද යන්න මත නොවේ යැයි කීමට වෘත්තීය සමිති සූදානම් විය යුතුව ඇත. එහිදී මතුවන මූලික ගැටලුව වන්නේ ආදායම් සීමාව තීන්දු කළ යුත්තේ කෙසේද යන්න ය. එය සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් විසඳා තිබෙන්නකි.

 

image560x340cropped

ඔවුන්ගේ ආසන්නම 2019 වර්ෂයේ “ගෘහයික ආදායම් හා වියදම් සමීක්ෂණයට” අනුව සිව් දෙනකුගෙන් යුත් පවුලකට අවම අවශ්‍යතා සමග නගරයේ ජීවත් වීමට මසකට රුපියල් 95,392 ක් අවශ්‍ය විය. ගමේ ජීවත් වීමට රුපියල් 57,652 ක් ද වැවිලිකරයේ ජීවත් වන්නට රුපියල් 38,519 ක් ද අවශ්‍ය විය. ජාතික වශයෙන් එය රුපියල් 63,130 කි. එබැවින් අවුරුදු 04 ට පසු 2023 දී දුප්පත්කම ජාතික වශයෙන් තීන්දු විය යුත්තේ අවම රුපියල් 70,000 ක මාසික ආදායමක් අනිවාර්ය වන්නේ යැයි පිළිගනිමින්ය.

 

ඔවුන්ගේම ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නේ නම්, වෘත්තීය සමිති ආණ්ඩුවට කිව යුත්තේ සමාජ රක්ෂණ ප්‍රතිලාභ අවශ්‍ය වන්නේ මුදලින් නොවන බවය. එය ඔවුන්ගේ රුපියල් 20,000 ක ඉල්ලීම සඳහා සහනාධාර මිලකට ගණන් හදන අත්‍යාවශ්‍ය භාණ්ඩ මල්ලක් ලෙස දෙසතියකට වරක් ලබා දිය යුතු යැයි ඉල්ලා සිටින්නේ නම් වඩා ප්‍රඥාගෝචරය.

 

මේ ඉල්ලීම් වත්මන් වෘත්තීය සමිතිවලට පමණක් දිනා ගත හැකි ඉල්ලීම් නොවේ. ඒ ඉල්ලීම් සඳහා ඔවුන් උතුරේ සිට දකුණ දක්වා ධීවර, කෘෂි, ප්‍රවාහන හා අවිධිමත් ක්ෂේත්‍රවල සියලු ජනකොටස් දිනා ගත යුතු වන්නේය. එවගේම එම ඉල්ලීම් සමාජ සාධාරණත්වයක් සමගින් අර්බුදයට විසඳුම් කතා කරන සමාජ කතිකාවකට මුල පිරීමක් ද විය යුතුව ඇත. ඒ වෙනුවෙන් සියල්ලන් ගොනු කෙරෙන සමාජ ව්‍යාපාරයක් ගැන සිතීමෙන් මෙපිට ඔවුන්ට විසඳුම් සෙවිය නොහැකි බැව් අවධාරණය කළ යුත්තකි.

අවිධිමත් ක්ෂේත්‍රවල දෛනික ආදායම් සොයනවුන්ගේ සිට විධිමත් ක්ෂේත්‍රයෙහි අඩු වැටුප්ලාභීන් දක්වා සියල්ලන් හසුව ඉන්නා අපගේ ප්‍රධානම අර්බුදයේ කේන්ද්‍රීය සාධකය වන විදේශ විනිමය අර්බුදයට පිළියම් නොමැති ජා.මූ. අරමුදලේ කොන්දේසි වෙනුවට සමාජ සංවර්ධනයක් සඳහාවන ජාතික සැලසුමක් ගැන සමාජ කතිකාවකට මේ මැයි දිනයෙන් පසු වෘත්තීය සමිති මුල පුරන්නේ නම්, එය මේ සමාජය වෙනුවෙන් ඔවුන්ට කළ හැකි වැදගත්ම සද්කාර්ය වනු ඇත.


kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම - විමසුම lankadeepa.lk)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්