සිය රාජාභිෂේක මංගල්‍ය අතර ලංකාවේ නවවෙනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එංගලන්තයේ තුන්වෙනි චල්ස් රජු සමග කෙරෙන සුහද සතුටු සාමීචිය මාධ්‍ය හරහා දක්නට ලැබිණ.

ලෝකයට නො ඇසුණ රනිල් චාල්ස් දෙදෙනා අතර සිදුවූ කතාබහ මා තුළ ගුලි ගැසී සිටින මාධ්‍යවේදියාට පැහැදිලිව ඇසිණ.

තුන්වෙනි චාල්ස් සිනාසෙමින් රනිල් ගෙන් මෙසේ අසයි. 

 

‘‘හලෝ රනිල්, ඔබ ඇත්තටම ලංකාවේ විධායක ජනාධිපති ද? පත් කළ ජනාධිපතිද? ඔබට රට පාලනය කිරීමට සුජාත භාවයක් හෝ ජන වරමක් තිබේද?

 

එකී සුහද විමසීම හමුවේ ලාවට සිනාසුණ ජනාධිපති වික්‍රමසිංහ මෙසේ ප්‍රතිචාර දක්වයි.

‘‘ඔබ 1977 දවසක තවත් රටකට ගමන් කරමින් සිටි ගුවන් යානය සේවා පහසුකම් ලබා ගැනීමට යම් කාලයක් ලංකාවේ නතර කිරීමට නියමිත විය. එදා ලංකාවේ නියෝජ්‍ය විදේශ ඇමතිව සිටි විසි අට හැවිරිදිව සිටි රනිල් වික්‍රමසිංහ වන මට, ඔබට හායි කියා රට වෙනුවෙන් සුහදත්වය පළ කිරිමට නියමව තිබිණ. මා ඔබ හමු විය යුතුව තිබුණේ මධ්‍යම රාත්‍රීයේය. මා නිදි මරාගෙන කටුනායකට වී ඔබ රැගත් ගුවන් යානය කටුනායකට ලඟා වන තෙක් බලා සිටියෙමි. ඔබ රැගත් ගුවන් යානය කටුනායකට පැමිණෙන අවස්ථාවේ ඔබ සිටියේ තද නින්දේය. ඔබගේ පරිවාර නිලධාරියා වේල්ස් කුමරුන්ගේ නින්දට බාධා නොකරන්නේ නම් මම වඩාත් කැමැත්තෙමි යයි ආචාරශීලීව දන්වා සිටි හෙයින් ඔබ හමු නොවී මම ආපසු  හැරී ආවෙමි.

 

ae822685 ee11 4bae a083 035d2154a721 medium16x9 JoeBarreraJr

එයින් වසර 46කට පසුව, අද මට ඔබ හමුවන්නේ මහා බ්‍රිතාන්‍යයේ තුන්වෙනි චාල්ස් රජු හැටියටය. ලංකාවේ නවවෙනි විධායක ජනාධිපති වන මා අද  74 හැවිරිදි වෙමි. 75 හැවිරිදි ඔබ බ්‍රිතාන්‍යයේ කිරීටය හිමි නාමික රජු වේ. මා, අසරණ මිනිසුන් ගැහැනුන් දරු දැරියන් සා පිසාවෙන් බඩ සයින් පෙළන, මහ මග මිනිසුන් මැරී වැටුණ ආර්ථීකයක් හිමි නන්නත්තාරවූ බංකොලොත් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව හෝ භාරකරු හෙවත් ව්‍යවස්ථානුකූලව විධායක ජනාධිපති වෙමි.

 

මා ශ්‍රී ලංකාවේ පත් කළ ජනාධිපති ද, අනුප්‍රාප්තික ජනාධිපති ද, අවජාතක ජනාධිපති ද යන්න ජනතාව තීරණය කරනු ඇත. ඒ ජනමත විචාරණයකින් මැතිවරණයකින් නොවේ. ජීවිතයේ සැබෑවටම තමන් බිලිගත් සාගින්න පීඩාව උරුම කළ ප්‍රජාතන්ත්‍රවාදයට අනුගතවය. රටේ ජනතාව තවමත් මුළුමනින්ම සුරක්ෂිත නැත. එහෙත් ඔවුන් දුවා දරුවන් වැඩිහිටියන් සමග සිය දෛනික පැවැත්ම තුළ සන්සුන් වෙමින් සිටින්නාහ. පසුගිය මාර්තුවේ මැතිවරණයක් හරහා ඔවුන් පාරට වැටීමට නියමිකව සිටියද මට ඔවුන් ඒ අවදානමෙන් බේරා ගත හැකි විය. ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඔවුන් විශ්වාසය තබන තෙක් ඔවුන්ට ඒ අවදානමෙන් අත් මිදිය නො හැකිය. හෙවත් එය ඔවුන්ගේ ඉරණම වනු ඇත.

ranil chrl

 

ඒ පිළිබඳ ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දුන් මහා බ්‍රිතාන්‍යයේ තුන්වෙනි චාල්ස් රජු ලෙස ඔබ කරදර විය යුතු නැත.

අද මගේ රටේ දරුවන් පාසල් යති. දෙමාපියන්ගේ තර්ජනයෙන් බියට පත් සරසවි ඇදුරන් විභාග උත්තර පත්‍ර පරීක්ෂා කරති. සිව් වසරකට පසුව රටේ ජනතාව සුපුරුදු ලෙස දන්සල් දෙති. මාධ්‍ය රිසි සේ නිර්ලජ්ජීව අසත්‍ය වපුරති. ජනතාව භේද කරති. මිනිසුන්ට අපහාස කරති. පාලකයාට එරෙහිව අරගල කරති. පෙළපාලි යති. විරෝධය පාති. ජනතාව මා ප්‍රතික්ෂේප කළොත් නැවත මගේ රට හිඟමනට වැටෙන හැටි දැකීමට සමහර විට 75 හැවිරිදි ඔබ හෝ 74 හැවිරිදි මා ජීවත් නො වන්නට පුළුවන. එය තීරණය කරනු ඇත්තේ මා ප්‍රතික්ෂේප කළ ප්‍රජාතන්ත්‍රවාදය හෝ වෙස්ට් මිනිස්ටර් ක්‍රමය නොවේ. ජනතාවගේ නො දන්නා කමය.

හිරු නො බසින අධිරාජ්‍යයේ මහ රජ්ජුරුවන් වන ඔබ තවමත් නින්දේ පසු වන්නේදැයි අසා ඔබව අපහසුවට පත් කිරීමට මම නො කැමැත්තෙමි. හේතුව ඔබ හැත්තෑ පස් වසරම නිදා සිටියත් ඔබට බ්‍රිතාන්‍ය කිරුළ හිමිකම පැවති හෙයිනි. බ්‍රිතාන්‍ය සාම්ප්‍රදාය අනුව, දික්කසාද ගැහැනියක සමග විවාහ වීමට තීරණය කළ අටවෙනි එඩ්වඩ්ට සිහසුන අහිමි විය. එහෙත් දික්කසාද ගැහැනියක විවාහ කර ගත්  ඔබට බ්‍රිතාන්‍යයේ තුන්වෙනි චාල්ස් රජු ලෙස ඔටුණු පැළඳීමට බාධාවක් නො වීය. හැට නව ලක්ෂයක් ජනතාව පත් කළ අටවෙනි ලංකාවේ විධායක ජනාධිපතිට තනතුර අහිමි වුණාට රටේ විපක්ෂ නායකයා වූ හෝ නොවූ මට ඔහුගේ ඇබෑර්තුව පිරවීමට රටේ බහුතර ජනතාව බාධා කළේ නැත.

 

ඇද වැටුණ රට ගොඩ ගැනීම සඳහා පාර්ලිමේන්තු බහුතරය මා තෝරා පත් කර ගැනීමේදී මාත් මගේ පක්ෂයත් ජනතාව විසින් දැඩි සේ ප්‍රතික්ෂේප කර තිබීම කිසිසේත් සලකා බැලූවේ නැත. හේතුව කතිර සෙල්ලමට වඩා ශ්‍රී ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් නිසාය. ඔබ යාවජීව බ්‍රිතාන්‍ය මහ රජු වන්නාහ. මම ඊළඟ ජනාධිපති මැතිවරණය තෙක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදි ජන රජයේ විධායක ජනාධිපත් වන්නේය.  මම ඔබට හෘදයාංගමව සුභ පතනු කැමැත්තෙමි. එසේ කී ජනාධිපති වික්‍රමසිංහ හිස පැත්තකට ඇල කර ගසා දමා තුන්වෙනි චාල්ස් රජුව මුදා හැරියේය.




chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image