ලෝකයේ ඕනෑම රටක ඕනෑම ආයතනයක අඩුම ජනප්‍රිය ස්ථානය වන්නේ ගිණුම් අංශයයි.

එයිනුත් ජනප්‍රියත්වයේ හීනම තැනක සිටින තැනැත්තා ගණකාධිකාරිවරයා ය.

ඔවුන් හිනාවෙන්නේ අඩුවෙනි.

ඇත්තම කිව්වොත් හිනා වෙන්නෙ නැති තරම් ය.

අද හිනා වුණොත් හෙට අප ලෝන් එකක් ඉල්ලා ගෙන ඒවි යැයි සමහර විට ඔවුන් හිතනවා ඇත.

මේ කතා කරන්නේත් ගණකාධිකාරිවරයකු ගැන ය.

අපි නිකමට ඔහුට " රොමා" යැයි කියමු.

 

රොමා ගැන කතන්දර බොහෝමයකි.

 

ඒවා ඇත්ත වෙන්නත් පුළුවන.

බොරු වෙන්නත් පුළුවන.

මේ රොමා ගේ කාඩ් පෙළයි.

සීක්‍රට් සැන්ටා යනු නත්තල් සමයට ඒජන්සිවල ජනප්‍රිය අංගයකි.

 

Visuel blog VDB 0

මෙහිදී සිදුවන්නේ ඒජන්සියේ වැඩ කරන සියලු දෙනාගේ නම් පුංචි පෙට්ටියකට දමා එක් එක්කෙනා ළඟට ගොස් නමක් තෝරාගැනීමට දෙයි.

තමන්ට ලැබුනු නම අයත් කෙනාට නත්තල් තෑග්ගක් ලබාදීමේ මඟුලට සීක්‍රට් සැන්ටා යැයි කියනු ලැබේ.

මේ තෑග්ග දෙන්නේ දෙසැම්බර් අග පැවැත්වෙන නත්තල් පාටියේදී ය.

 

ඒජන්සි කල්චර් එක හැදෙන්නේ මෙවැනි ගොංපාට් සමූහයකිනි.

 

එක් නත්තලකදී ස්ටුඩියෝ එකේ ශෙහාන් ගේ සීක්‍රට් සැන්ටා වූයේ රොමා ය.

රොමාගෙන් ශෙහාන් ට ලැබුනේ ඔහුගේ බැංකු පොතට දැමූ රුපියල් 100/- ක රිසිට් පතකි.

තෑග්ග පරීක්ෂා කළ ශෙහාන් රොමා ගෙන් මෙසේ ඇසීය.

" මේක පඩියෙන් කපන්නේ නෑ නේද? "

මේ කතාව ගණකාධිකාරිවරුන් පිළිබද හරස්කඩක් වැනිය.

රොමාට මැස්ඩා වර්ගයේ අලුත්ම කාර් එකක් කොම්පැණියෙන් ලැබුනි.

ටික දිනකට පසු කතාවක් පැතිර ගියේ රොමා මැස්ඩා එකේ පැට්‍රල් ටැංකියට කොන්ඩි පට්ටමක් සවි කර ඉබ්බෙක් දමා ඇති බවයි.

රොමාගේ රථාචාරියා වූ ධර්මේ බැන බැන ගියේ මං හොරෙක් කියලනේ මේ රටටම කියන්නේ යැයි කියමිනි.

ධර්මේ යනු එහෙව් ගඩ්ඩෙකු බවද මෙහිදී සිහිපත් කළ යුතුය.

ඉස්සර උදේ පාන්දරම ධර්මේ ‍රොමාගේ ගෙදරට යයි.

 

Italian bakery banner

ඒ ගියවිට රොමා රුපියල් 5.00 ක් හා සිලි සිලි බෑග් එකක් ධර්මේ අතට දී පාන් ගෙඩියක් ගෙන එන ලෙස පවසයි.

ඒ කාලේ පාන් ගෙඩියක් රුපියල් 4.50 කි.

රොමා ඉතුරු සත 50 ඉල්ලන්නේ  නැත.

ඒ නිසා ධර්මේ ඉතුරු දෙන්නේත් නැත.

දවස් 9 පුරාම රුපියල් 5.00 ක් හා සිලි සිලි බෑග් එක ලබාදීම සිදු වෙයි.

10 වැනි දවස උදා වෙයි.

එදාට ධර්මේ අතට ලැබෙන්නේ සිලි සිලි බෑග් එක පමනි.

ධර්මයා දවස් 9 ක් තිස්සේ මාටියා ගැසූ රුපියල් 4.50 දී දසවැනි දවසේදී පාන් ගෙඩිය රැගෙන එයි.

ධර්මයා ඇවිත් අපට මේ කතාව කියන්නේ ද රොමාට පස් පඩංගුවේ බනිමිනි.

 

ගනුදෙනු යන වචනයේ රොමා දන්නේ ගනු විතරය.

දෙනු ඔහු අසා නැත.

 

වරක් අප නිර්මාණ කණ්ඩායමට විශේෂ බෝනස් මුදලක් හිමිවිය.

එය දුන්නේ සිකුරාදා දිනයක ය.

අප කණ්ඩායමේ එක් සාමාජිකයකු එදා පැමිණ තිබුනේ නැත.

සඳුදා ඔහු බෝනස් එක ගන්න ගිය විට " විශේෂ " කෑල්ල කැපී නිකං බෝනස් එක පමණක් ලබා දී තිබුණි.

ඒ රොමා ගේ හැටිය.

රොමා ගේ ස්ටාෆ් එකේ වැඩ කළ එක ගිණුම් සහකරුවකු වැඩට එන්නේ කොණ්ඩය අයන් කරගෙන ය.

එබැවින් අප ඔහුව හැඳින්වූයේ
" අයන් මෑන්" නමිනි.

අයන් මෑන් කාර්යාලයේ එක් තරුණියකට ට්‍රයි කළේය.

ඒ වෙනුවෙන් ඔහු ගුරුකම් ද කළේය.

එම ගුරුකමක් සදහා ගැරඬි හැවක් අවශ්‍ය විය.

එය සපයාදීම බාර වුණේ කාර්යාලයේ පියන් කෙනෙකු වූ උවේස් ටය.

උවේස් ගේ කටින් මේක එළියට පැන්නේ ‍ය.

මේ කතාව රොමා ගේ කණට ද ගියේය.

රොමා බය වූයේ අයන් මෑන් රොමාට ගුරුකමක් කරන්න හදනවා කියායි.

තව පොඩ්ඩෙන් අයන් මැන් ගේ ජොබ් එකට දෙවියන්ගේම පිහිටය.

 

bonus pay

වරක් ඇඩ්ඩාට විශේෂ බෝනස් මුදලක් හිමි විය.

" සඳුදාට එන්න ..මං ඔයාගේ බෝනස් එක ගණන් හදපු හැටි කියලා දෙන්නං...."

රොමා එහෙම කිව්වේ ය.

එහෙත් ඒ සඳුදා පමණක් නොව තව සඳුදාවල් ගණනාවක් යනතුරු රොමා ගේ ඇහැ ගැහෙන්නට ඇඩ්ඩා ගියේ නැත.

එහෙම ගියා නං බෝනස් එක ගණන් කරද්දී පොඩ්ඩක් වැරදිලා කියා ආපහු කීයක් හරි කපා ගන්නට ඉඩ තිබුණි.

රොමා යනු එහෙව් බඩුවකි.


(ඇඩ්ඩා විසින් ලියන ලදි)


ඇඩ්වර්ටයිසිං ලෝකය වෙනත් ලිපි :

ඇඩ්වර්ටයිසිං ලෝකය (10) : මහින්ද අයියා

ඇඩ්වර්ටයිසිං ලෝකය (9) : උඹ කතා නැත්තේ මොකද අද උමා

ඇඩ්වර්ටයිසිං ලෝකය (8) : පුතා මම රොසන්

ඇඩ්වර්ටයිසිං ලෝකය (7) : වහල ගැසීම

ඇඩ්වර්ටයිසිං ලෝකය (6) : අධිකාරි මං කංකුං දේවී...!

ඇඩ්වර්ටයිසිං ලෝකය (5) :මහා කලු සිංහලයා

ඇඩ්වර්ටයිසිං ලෝකය (4) : පොල් ගහේ කතාව

ඇඩ්වර්ටයිසිං ලෝකය (3) : රොබට් vs රොබට්

ඇඩ්වර්ටයිසිං ලෝකය (2) : ලබු ගුණේ

ඇඩ්වර්ටයිසිං ලෝකය (1) : කන්දප්පාට කුණුහරුප වරුසාවක්!




JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්