1971 අප්‍රියල් 05වන දා, 1989 නොවැම්බර් 13වන දා, 2009 මැයි 09වන දා සහ 2022 මැයි 09වනදා යන දින හතර ලංකා ඉතිහාසයට සුවිශේෂී දින හතරකි.



මෙම දින හතර රටේ වෙසෙන එක් පාර්ශ්වයකට ‘‘රන් අකුරෙන්’’ ලිවිය යුතු ඓතිහාසික දින හතරක් වන විට තවත් පාර්ශ්වයකට ‘‘කළු අකුරෙන්’’ ලිවිය යුතු දින හතරකි. තවත් සරලව ම පවසන්නේ නම් මෙම දින හතර එක් පාර්ශ්වයක ජයග්‍රාහී දින හතරක් වන විට තවත් පාර්ශ්වයකගේ පරාජය සනිටුහන් කළ දින හතරකි.

අපි මෙය පිළිවෙළින් ම විමසා බලමු.

 

71 kae

1971 අප්‍රියල් 05වන දා යනු, ලාංකීය ජන ප්‍රජාව අතරින් යම් පිරිසක් යටත් විජිතවාදී පාලනයෙන් ඉක්බිති පවත්නා පාලන ක්‍රමයට එරෙහිව නැගීසිට එහි ඓතිහාසික සන්ධිස්තානයක් ලකුණු කළ දිනයකි.

1989 නොවැම්බර් 13වන දා යනු, 1971 වසරේ පැන නැගි අරගලයේ ම දෙවන පියවරෙහි එක් සන්ධිස්ථානයක් ලකුණු කළ දිනයකි.

 

2009 මැයි 09වන දා යනු, මහා ජාතිය යැයි කියාගන්නා ජන කොට්ඨාසයක් විසින් සුළු ජාතිකයන් යැයි හඳුන්වන ලද පිරිස: ඒ මහා ජාතිය යැයි කියාගන්නා පාලක පෙළැන්තියට එරෙහිව නැගී සිටි සටනේ සන්ධිස්ථානයක් ලකුණු කළ දිනයකි. මෙය ජනවාර්ගික අරගලයක් ලෙස ද හැඳින්වේ. කෙසේ වුව ද ඔවුන් නැගී සිටියේ ද තම ජාතියට එල්ල වන පීඩනයට එරෙහිව ය. තවත් සරලව පවසන්නේ නම් එය ද එක් පීඩිත ජන කොටසක් විසින් තමන් පීඩනයට පත්කරන ලද පිරිසකට එරෙහිව අවි එසවීමකි.

aragalas

2022 මැයි 09වනදා යනු, සමස්ත ශ්‍රී ලංකා වාසීන්ට ම මුහුණ පෑමට සිදුව තිබූ ව්‍යසනයට, පීඩනයට එරෙහිව: කිසිදු ජාති, ආගම්, දුප්පත් පොහොසත් භේදයකින් තොරව ඒ මොහොත වන විට රට පාලනය කළ පාලක ප්‍රජාවට එරෙහිව ජනතාව නැගී සිටි කාල පරිච්ඡේදයක ඓතිහාසික සන්ධිස්ථානයක් ලකුණු කළ දවසකි.

 

1971 අප්‍රියල් 05, 1989 නොවැම්බර් 13 සහ 2009 මැයි 09 යනු සුළුතර පිරිසක් විසින් බහුතර පිරිසක් වෙත එනම් පාලක පෙළන්තිය වෙත සහ එම පාලකයන්ගේ සාම්ප්‍රදායික, ආචීර්ණ කල්පිත, වැඩවසම් පාලනයට එරෙහිව දියත් කළ සටන් ත්‍රිත්වයකි. නමුත් මෙම සටන් ත්‍රිත්වය තුළ රාජ්‍යයට එරෙහිව සටන් කළ එක් පාර්ශ්වයක් තමන් විමුක්තිකාමින් හෝ විප්ලවවාදින් යැයි හැඳින් වූ අතර ම තවත් මොහොතක දී මහා ජාතිය යැයි කියාගන්නා පිරිස විසින් පීඩනයට ලක් කරන ලද සුළු ජාතිකයන් ලෙස හැඳින්වෙන පිරිස විප්ලවවාදින් හෝ විමුක්තිකාමින් ලෙස හඳුන්වන්නට අකමැත්ත පළ කළේ ය. ඒ අවස්ථාවේ දී 1971 සහ 1989 අරගලයේ පාර්ශ්වය අනෙක් පාර්ශ්වය හැඳින්වූයේ බෙදුම්වාදීන් ලෙස ය. නමුත් රාජ්‍ය පාලනය විසින් දියත් කරන ලද ම්ලේච්ඡ සංහාර මේ දෙපාර්ශ්වයට ම බලපෑවේ එකම ආකාරයකට ය.

 

යථා තත්ත්වය එසේ වුව ද 1971 සහ 1989 වකවානුවේ විමුක්තිකාමිහු ම රාජ්‍ය මර්දන බළකා අනෙකාට එරෙහි දියත් කළ සංහාරයේ දී රාජ්‍ය පාර්ශ්වය වෙත නිර්ලජ්ජිත ලෙස සහයෝගය දැක්වූහ. එනම් එක් අවස්ථාවක පැවති රාජ්‍ය පාලනයට එරෙහි පිරිස ම තවත් අවස්ථාවක දී එකී රාජ්‍ය පාලක ප්‍රජාව වෙනුවෙන් ම පෙනී සිටියහ. එකී රාජ්‍යයේ මර්දන බළ ඇණි සඳහා නිල් මහනෙල් මල් පවා පැලැන්දූහ. තම සටන්කාමි සහෝදර සහෝදරියෝ හැත්තෑ දහසක් අසු දහසක් පමණ ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ රාජ්‍ය මර්දන හස්තය බදා වැලඳගත්හ.

රටක වෙසෙන: සාමය, සමගි, සහජීවනය මෙන්ම සමානාත්මතාව අගය කරන ප්‍රජාවක් ලෙ මා ඇතුළු ඔබ සියලු දෙනා මෙම පරස්පරය කියවාගත්තේ කෙසේ ද...? ඒ සඳහා එදා පිළිතුරු නොලැබුණා සේ ම අද ද පිළිතුරු නොමැත. අනාගතයේ ද ඒ සඳහා නිශ්චිත. සාධාරණ පිළිතුරක් සපයාගත නොහැකි බව සක් සුදක් සේ පැහැදිලි ය. පසුගිය නව වන දින එය මැනවින් ප්‍රකට විය.

මෙතෙක් සටහන් කළේ 1971, 1989 සහ 2009 වසරේ සන්ධිස්ථාන පිළිබඳව ය. දැන් ම‍ඳක් 2022 වසර පිළිබඳව අවධානය යොමු කරමු.

 

lkaw


යට සඳහන් කළ පරිදි එදා ශ්‍රී ලාංකීය ප්‍රජාව ලෙස වීදියට අවතීර්ණ වූයේ සමාජවාදය බිහිකිරීම හෝ එක් ජනවර්ගයකගේ ගැටලුවක් විසඳා ගැනීම සඳහා නොවේ. ඒ මොහොතේ සමස්ත රටේ ම ජනතාවට බලපෑ පීඩනයට එරෙහිව ය. එහෙත් 2022 මැයි 09 වන දින පීඩනයට එරෙහි ජනතාවට එරෙහි පිරිසක් ද පීඩකයාගේ පැත්තේ සිටගත්හ; ඔවුහු පීඩිත ප්‍රජාවට එරෙහිව මර්දනයක් දියත් කළහ. එහි නියමුවෝ වූයේ පීඩක පාලක පෙළැන්තිය යි. පීඩකයාට එරෙහිව නැගී සිටි පීඩිත ජනතාව පෙළීම සඳහා ඉදිරිපත් වූ ම්ලේච්ඡ පිරිස ද එක් පසෙකින් ඒ මොහොතේ රට මුහුණ පා සිටි ඛේදවාචකයට වගවිය යුත්තො වූ අතර අනෙක් පසින් එම පාර්ශ්වය ද එකී ව්‍යසනයේ වින්දිතයෝ වූහ; එහෙත් ඔවුහු පීඩකයා වෙනුවෙන් පෙනී සිටියහ.  එසේ නම් මෙරට සමස්ත ජනතාව සඳහා ම ස්වෛරී භාවයක්, සුඛිත මුදිත භාවයක්, සමානාත්මතාවක් අත්පත් කර දිය හැකි ද...? ඒ සදහා එරෙහි වන්නේ ද මේ දූපතේ ම වෙසෙන පීඩිත ජනතාවගෙන්  කොටසක් ම නොවේ ද...? ඉදින් පළමුව ඊට හේතුපාදක වූ කරුණු සඳහා පිළියම් යෙදිය යුතු නොවේ ද...? එහෙත් එය කිසිවකු විසින් සිදු කරනු ලබයි ද...?



2022 අප්‍රියල් මාසයේ සිට ගෝඨාභය පලා යන තෙක් පැවති අරගලයේ දී දක්නට ලැබුණු සිද්ධි දාමය අනුව නම් එවැන්නක් සඳහා රටේ ජනතාවගෙන් බහුතරයක් වීදියට අවතීර්ණ වුව ද ඒ සඳහා නායකත්වයක් සපයන්නට තරම් කශේරුකාවක් සහිත දේශපාලන පක්ෂයක් හෝ ව්‍යාපාරයක් මෙරට නොසිටියහ. මේ වන විටද එබඳු තත්ත්වයක් තවම ස්ථාපිත වී නොමැත. එබඳු දේශපාලන ව්‍යාපාරයක් හෝ පක්ෂයක් මෙරට පැවතියේ නම් මේ වන විට රනිල් වික්‍රමසිංහ නමැති පුද්ගලයා රටේ විධායක ජනාධිපති ධුරය හොබවන්නේ නැත.

 

ජනතාව වෙත සාමය, සමගිය, සමෘද්ධිය, රැගෙන එනවා යැයි පාරම්බාන දක්ෂිණාංශික දේශපාලන පක්ෂ සහ ව්‍යාපාර මෙන් ම රටේ සම්ස්ත ජනප්‍රජාව වෙත ම සමානාත්මතාව රැගෙන එන බවට පාරම්බාන වාමාංශික පක්ෂ සහ ව්‍යාපාර ද ජනතාවගේ අරගලය පාවා දුන්හ. පළමු අදියරේදි පැන නැගි අරගලය හුදු විනෝදකාමී රැල්ලක් ලෙස හැඳින්වූ මේ වාමාංශික පක්ෂ අරගලයට නායකත්වය සපයනවා වෙනුවට කළේ එය සමච්චලයට ලක් කිරීම ය. අවසන එහි උද්වේගකර අවස්ථාවේ දී පවා ‘‘උන්ට ඕනෙ දෙයක් කරගත්තාවෙ’’ යන අදහස පෙරදැරිව පසෙකට වී කල්මැරී ය. ඒ හැර එම ජනතා අරගලයට නායකත්වය සපයා, එය ඉදිරියට රැගෙන යන්නට උත්සාහ නොකළේ ය. අරගල භූමිය පසෙක තිබිය දී පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අත්පත් කරගැනීම සඳහා යත්න දැරී ය. මේ සියල්ල තුළින් සිදුවූයේ කුමක් ද...? පැවති පාලක පෙළැන්තිය කල් යල් බලා යළි ඒ පෙළැන්තියේ ම තවත් පාර්ශ්වයක් අතට බලය පවරා දුන්නේ එබැවිනි. යළි යළිත් පැවසිය යුත්තේ පිබිදෙමින් ආ ජන අරගලය අකර්මන්‍ය කළේ මෙරට වාමාංශික පක්ෂ එකමුතුව යන්න ය. ඔවුන් එදා මෙන් ම මෙවර ද උත්සාහ කළේ මස් රාත්තල ම තමන් සන්තක කරගැනීමට යත්න දැරිම ය. එයින් සිදුවුයේ වෙනත් පාර්ශ්වයක් විසින් බලය අත්පත් කරගනු ලැබීම ය.

 

මේ මොහොත වන විට තමන් බලවත් යැයි සිතා සිටින සියලු වාමාංශික පක්ෂ තව දුරටත් තම තමන්ගේ බලය උරගා බැලීමට යත්න දරනවා මිස අවම වශයෙන් 2022 අප්‍රියල් මැයි අරගලය වෙනුවෙන් බොහෝ කැපවීම් කළ නිර්පාක්ෂික ප්‍රජාව සමග සාකච්ඡා කිරීම පවා මගහැර ඇත. දැන් දැන් එහි අනිටු විපාක සමාජය වෙත ප්‍රසාරණය වීම ඇරඹී තිබේ. පසුගිය නව වන දින සිට මේ දක්වා සිදුවූ සහ සිදුවෙමින් පවතින ඇතැම් සිද්ධි දාම ඊට සාක්ෂි සපයයි. ඉදින් තව දුරටත් මෙරට සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාර කෙරෙහි බලාපොරොත්තු තැබිය හැකි ද...? කිසි සේත් ම නොහැකි ය. මන්ද එකී වාමාංශික ව්‍යාපාර කිසිවක් විසින් ජනතාවට විමුක්තිය උදා කර දෙන බවට පෙරමග ලකුණු දක්නට නොමැත. එසේ සිදුවන්නේ නම් මෙවර ජාතික ජනබලවේගය නමින් මැයි දින රැලියක් නොපවත්වා ජනතා විමුක්ති පෙරමුණ නමින් මැයි දින රැලියක් පැවැතිවිය නොහැකි ය. මේ සියලු වාමාංශික ව්‍යාපාර ලැගුම් ගෙන සිටින්නේ ද, ක්‍රීඩා කරන්නේ ද තම තමන්ගේ බල ව්‍යාපෘතිය උදෙසා පමණි. එහෙත් නිර්පාක්ෂික (නිර්පාක්ෂික යනු නිර්දේශපාලනික නොවේ) ජනතාව මේ පිළිබඳ අවදියෙන් සිටින බව ද පැහැදිලි ය. දැන් රොද බැඳිය යුත්තේ එවන් ප්‍රජාවක් සමග ය. එසේ නොවුන හොත් යළි මෙරට ජනතා අරගලයක් පැන නොනැගෙන බව ඒකාන්ත ය. ඒ සඳහා හොඳ ම උදාහරණය 2022 වසරේ මැයි මාසය සහ 2023 වසරේ මැයි මාසය යි.

 

අපි තව දුරටත් බෙදෙමු ද...? එසේ නොමැති නම් එක්ව සටන් කරමු ද...? තීරණය රටේ බහුතර ප්‍රජාවට බාර ය.



jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


2023/05/11  


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්