රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රවේශයට ඇති තරඟය නිසා මෑතක වනතුරු විශ්ව විද්‍යාල විසින් තමන්ට තරම් නොවන ගෞරවයක් සමාජයෙන් ලබමින් සිටියා. මේ ආයතන වලින් ලබා දෙන අධ්‍යාපනය හෝ සමාජ මග පෙන්වීම ප්‍රශ්න නොකරමින් දෙමාපියන්ද අවධානය දුන්නේ කොහොම හරි තම දරුවාට එයින් එකක ඉඩ ප්‍රස්තාවක් ලබා ගැනීමටයි.


රජයේ පැත්තෙන් අවධානය දුන්නේ දිගින් දිගටම ඉඩ ප්‍රස්තා වැඩි කිරීම මිස මෙම ආයතන තුල වෙන්නේ මොනවාද ගුණාත්මක භාවය කොහොමද යන්න විමසීමට නෙවෙයි. සමහර මහාචාර්යවාරුන් මොන ප්‍රලාප කිවුවත් හාමුදුරුවන් කියන බණ මාධ්‍ය වලින් වගේ අසා සිටින තත්වයක් තියෙනවා. 2019-20 කාලයේ රාජ්‍යයේ අභූත ප්‍රතිපත්ති වලට විශ්ව විද්‍යාල උගතුන්ගේ ඇති හානිකර දායකත්වය තවත් උදාහරණයක්. ඊට අමතරව නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂකයින් ලෙස සටන් කාමී සිසුන් පිටුපසින් සිටින කණ්ඩායමක් ලෙසද විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගෞරවයට පාත්‍ර වූවා

ආර්ථික අර්බූදයත් ඒ නිසාම් සැමට මුහුණ දීමට සිදුවුණු නව යථාර්තය හමුවේ අපේ විශ්ව විද්‍යාල වල සැබෑ ස්වරූපය හෙළිවෙමින් පවතිනවා. බදු වලින් නිදහස ආදායම් සීමාව ලක්ෂය දක්වා පහත හෙලමින් ඊට වැඩි වැටුපක් ලබන අයගෙන් බදු ගෙවීඑම් ප්‍රතිශතය 36% ට ආසන්න වන ලෙස බදු ප්‍රතිපත්ති සංශෝධනය වන විට සමස්ත වෘත්තික ප්‍රජාවටම එය බලපෑවා.

 මෙතෙක් වක්‍ර බදු වලින් නඩත්තු වන ආණ්ඩුව තම ආදායම ටික ටික ඍජු බදු වලින් ලබා ගත යුතු යන මතයට යම් පිළිගැනීමක් තිබුනත් එම බදු සහන බෑන්ඩ් වල යම් සංශෝධන ඇති විය යුතු බවට වෘත්තිකයන්ගෙන් අදහස් ඉදිරිපත් වූවා. ඒවා සාධාරණයි.  නමුත් එම සංවාදය බදු විරෝධී සටනක් බවට පත් කර එම සටනේ නායකත්වය ගැනීමට ඍජු බදු හා වක්‍ර බදු අතර වෙනස දැන ගත යුතු හා බදු මුදලෙන් නඩත්තු කරන නිදහස් අධාපනය වෙනුවෙන් පෙනී සිටින ආචාර්වරුන් පෙළගැසීම කණගාටුවට කාරණයක්.

ඒ නිසාම මේ අයට ලැබෙන වැටුප් කොයි ආකාරයේද, එයින් රට වෙන සෙත කුමක්ද යන ප්‍රශ්න වලට අවධානය යෙදීමට සමාජයම පෙළඹුනා.

image fa85294490
ඇත්තෙන්ම ආචාර්යවරුන්ගේ බදු විරෝධී ව්‍යාපාරය තමන් ලබා ඇති කීර්ති නාමයක් පිළිබඳව අධි තක්සේරුවකින් දියත් කල එකක් බව මම හිතනවා. අවසානයේ අධ්‍යාපන උත්තර පත්‍ර බැලීමේ කාර්යයේ සුපරීක්ෂණයෙන් බැහැරවීමට ගත් තීරණය තුරුම්පුවක් නොව ජන අප්‍රසාදය තුලින් නැවත කැරකී ආ පාරා වළල්ලක් වුනා.

ඇත්තටම එයින් උසස් අධ්‍යාපනයට හොඳක් සිද්ධ වුන්න කියලා මම හිතනවා. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ඇත දැකීම් ඇතුව දැන් එයින් බාහිරව සිටියත් එහි අභිවෘද්ධිය පතනය කරන කෙනෙක් හැටියට මම හිතන්නේ අපට අලුතින් හිතන්න වාතාවරනයක් ඇතිවෙලා තියනවා කියලා.

ඔක්කොටම කලින් අපේ විශ්ව විද්‍යාල වල යථාර්තය තේරුම් ගනිමු.



වරප්‍රසාද මිස වගවීමක් නැති අපේ විශ්ව විද්‍යාල

 


ඇත්තටම අපේ විශ්ව විද්‍යාල පද්ධතිය මෙතෙක් වගවීමක් නොමැතිව වරපරසාද ලබා ගන්නා කණ්ඩායමක නවාතැනක් කිවුවොත් එය තරමක සාහසික ප්‍රකාශයක්. නමුත් එය නොකියා බැහැ. මේ අතරට පද්ධතියේ සිටින අතලොස්සක් විශිෂ්ටයින් අයිති වන්නේ නැති බවත් කියන්න ඕනී..

 

ලෝකයේ වෙනත් රාජ්‍ය විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයින් විසින් අධ්‍යාපනයේ මුළු වියදමින් යම් කොටසක් ගෙවන නිසා ඔවුන් ආකර්ෂණය කර ගැනීමට විශ්ව විද්‍යාල වලට ලොකු උත්සාහයක් දරන්න වෙනවා. රජයෙන් ලැබෙන ප්‍රතිපාදනයන මුළු වියදමෙන් 50% ට අඩු වැඩි වෙන්න පුළුවන් නමුත් ඒ ප්‍රතිපාදන ලබා ගැනීමට වසරක් පාසා විශ්ව විද්‍යාල වලට යම් යම් දත්ත ඉදිරිපත් කිරීමට වෙනවා.

මම ඔහායෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ උපායමාර්ගික විශ්ලේෂකයෙක් ලෙස යෙදුනු අනූ වැනි දශකයේ අවසාන කාලයේ එම විශ්ව විද්‍යාලයට අයදුම් කල ප්‍රතිශතයෙන් කීයක් බඳවා ගත්තද , බදවා ගත කී දෙනෙකු රැදුනාද, අවසානයේ ඒ අයගෙන් කුමන ප්‍රතිශතයක් නිසි කලට උපාධිය ලබා ගත්තද යන්න ප්‍රාන්ත රජයට ලබා දිය යුතු අවම දත්ත පමණයි. ඊට අමතරව ප්‍රාන්ත රජයෙන් ලැබුණු සෑම ඩොලරයකටම පර්යේෂණ ගවේෂණ සඳහා මහා ආණ්ඩුවෙන් හා වෙනත් ප්‍රභව වලින් ලබා ගත් ආදයමට වටිනා කමක් දීමට දීමට වෙනම අභියෝගතා සල්ලි මල්ලක් හෝ Challenge fund එකක් වැනි උපක්‍රමද භාවිතා වුනා.

අපේ එහෙම නෙවෙයි. වර්ෂයක් පාසා වැස්සත් පෑවුවත් ශිෂ්‍යයින් ටික දොරකඩටම ගෙනත් දෙනවා. ගෙනත් දුන්නට පස්සේ කී දෙනෙක් හැලෙනවාද අහනීන් නැහැ. ඇත්තටම වාර්තා නොවුනාට පලවන වසරේ ලිය පදිංචි වුනත් නොපෙනී සිටින්නේ ශිෂ්‍යයන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටිනවා.

 

univercitys

අරුම පුදුම සැබටිකල් නිවාඩු ප්‍රතිපත්ති



මේ කෙසේ වුවත් ආචාර්ය වරයෙක් වසර හතක සේවයෙන් පසු පූර්ණ වේතනය සහ ගුවන් ගමන් වියදම් සහිතව සැබටිකල් නිවාඩුවක් ලබා ගැනීමට සුදුසුකම් ලබනවා. 1989 පල වූ එම අදාළ චක්‍ර ලේඛනයේ ආචාර්යවරයාගේ වගකීම පිළිබඳව කිසිම සඳහනක් නැහැ. පසු කාලීන චක්‍ර ලේඛන වලිනුත් එම පහසු කම තව පහසු කර ගැනීම මිස වගකීමක් පිළිබඳ සඳහනක් නැහැ. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ අර්ථ කථනයට අනුව:

“විශ්‍රාමික නිවාඩුවක් [හෝ සැබටිකල් නිවාඩුවක්] යනු පීඨ සාමාජිකයාගේ ශාස්ත්‍රීය ජයග්‍රහණ ඉහළ නංවන හෝ විශ්ව විද්‍යාලයේ කීර්තිය ඉහළ නංවන හෝ වෙනත් ආකාරයකින් ප්‍රතිලාභ ගෙන දෙන පර්යේෂණ හෝ වෙනත් ක්‍රියාකාරකම්වල නියැලීම සඳහා නිවාඩුවකි.”

එවැනි වරප්‍රසාදයක් ලබා ගැනීම සඳහා වගකිවයුතු විශ්ව විද්‍යාල වල ආචාර්ය වරුන්ට සෑහෙන්න කරුණු කාරණා ඉදිරිපත් කරන්න වෙනවා. අපේ අරුම පුදුම රටේ සැබටිකල් ලැබිය හැකි පුද්ගලයින් කාණ්ඩයට රෙජිස්ට්‍රාර්, බර්සර්, හා පරිපාලනයේ සහකාර ලේකම් වරු යන විවිධ අය අයත් වෙනවා. හැඳි ඇත්තෝ බෙදාගෙන ඇත.

වෙනසක ආරම්භය

 

grade 123
(අ) උපාධි අභිලාෂි සැමට සේවය කරන උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක්


පවතින කොමිෂන් සභා යනු නිර්වචනයෙන්ම සැදී පැහැදී ඇත්තේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය හා ඒවායින් වරප්‍රසාද ලබන අයට සේවය කිරීමටයි. ලෝකයේ කොහෙවත් නැති සැබටිකල් නිවාඩු ප්‍රතිපත්තිය ජීවමාන් උදාහරණයකි.

 ඇත්තටම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන නමම ප්‍රශ්නයකි. මේවා ප්‍රතිපාදන සභා ලෙස නම් කිරීමට හේතුව මීට පෙර එක් එක් විශ්ව විද්‍යාලයට ලැබෙන මුදල් ප්‍රමාණය තීරනය වූයේ ඇමතිවරයාගේ අභිමතය හා එක් එක් විශ්ව විද්‍යාල ප්‍රධානියාගේ ලොබීයින් දස්කම් අනුව නිසාය. ප්‍රතිපාදන බෙදා හැරීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් ලෙස ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පළමු වරට පිහිටුවන ලද්දේ 1978 ය. ඒ වන විට රාජ්‍ය පද්ධතිය ඇර වෙනත් උසස් අධ්‍යාපන විකල්ප ගැන සිතීමට අවශ්‍ය නොවීය

 

ඇත්තටම එදත් අදත් කොමිෂන සභා තනතුරු දැරූ දරන සමහර පුද්ගලයින් තම සීමාව තුල ඉතා හොඳ සේවයක කළා හෝ කරමින් සිටිනවා. 2000-2004 කාලය තුල මටද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග කිට්ටුවෙන් වැඩ කිරීමෙන් එය වැටහුනා. ප්‍රශ්නය පුද්ගලයින් නොවේ කොමිෂන් සබාවේ මෙහෙවරයි. එහි සංයුතියයි. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙන් තෝරා ගැනුණු සාමාජිකයින් පිරිසකට තම කණ්ඩායමේ අභිලාෂයන්ට සේවය නොකර සිටීම අමාරු වෙනවා.

කොමිෂන් සභාව යාවත්කාලීන කිරීමට නම් එයට රාජ්‍ය පුද්ගලික භේදයක් නොමැතිව උපාධි ප්‍රධානයේ යෙදෙන ආයතාන් වලටද සාධාරණ නියෝජනයක් ලැබිය යුතුයි. ඊට අමතරව සාමාජිකයින්ගෙන් තුනෙන් එකක් හෝ හෝ අඩක් උපාධි ධාරීන්ගේ දැනුම සේවය ලබා ගන්නා රාජ්‍ය ආයතාන් නියෝජනය කරමින් රාජ්‍ය සේවා කොමිසම, ව්‍යාපාර හා රාජ්‍ය හෝ ස්වාධීන පර්යේෂණ ආයතන නියෝජනය විය යුතුයි.



(ආ) උසස් අධ්‍යාපන ප්‍රතිපාදන වඩා ඵලදායීව බෙදා හැරීම සඳහා උසස් අධ්‍යාපන අරමුදලක්.


මා කලින් ලිපියකින් පෙන්වා දුන් පරිදි දැනට පවතින තත්වය අනුව රජයෙන් කෙරෙන්නේ වයස 19-24 අතර වයස් කාණ්ඩයෙන් 8%කට පමණ තෝරා ගෙන එම එක උපාධි අපේක්ෂයෙකු වෙනුවෙන් වසරකර රුපියල් 500,000 වියදම් කර ඉතිරි 92% ට ඔහේ යන්නට ඉඩ හැරීමයි.

ඊට අමතරව උසස් අධ්‍යාපනයට පුද්ගලික දායකත්වය වලක්වමින් නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් කෙරෙන සටන් වලින් සිදු වී ඇත්තේ 2000 සිට සිට හෝ ඊට පෙර සිට පාසැල අධ්‍යාපනයට සාපේක්ෂව උසස් අධ්‍යාපනයට කරන වියදම වැඩි වීමය. ඒ නිසා දැනට පාසැල් දරුවකුට වසරකට කෙරෙන සාමාන්‍ය වියදම රුපියල් 35,000 ක් පමණි.

13

 

 සාමාන්‍ය සම්මුතිය සියලු දෙනාට නිදහස් පාසල් අධ්‍යාපනයක් ලබා දී දෙවනුව උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීමය. අපේ රටේ සිදුවී ඇත්තේ විකෘතියකි. එම විකෘතියේ ප්‍රතිපලයක් ලෙස ගුරුවරුන්ගේ පඩි ගෙවනවාට අමතරව දෙයක් කිරීමට රජයට හැකියාවක් නැහැ. අමතරව කෙරෙන වියදම පාසැල් සංවර්ධන සමිති වල හයිය අනුව තීරණය වෙනවා. උසස් අධ්‍යාපනයයෙන් පුද්ගලික ආයෝජන නැවත්වීමේ සටන් නිසා පාසල් අධ්‍යාපනය පුද්ගලීකරණය වීම දෛවයේ සරදමකි.

ඊට අමතරව නොමිලයේ උපාධි ලබා විදෙස් ගතවන උපාධිධාරීන් ගැන සංඛ්‍යා ලේඛන නැත. මගේම ඥාති මිත්‍රයන්ගේ දරුවන් අතුරෙන් වෛද්‍ය උපාධිය හා සීමාවාසික පුහුණුව ලැබූ සැණකින් හා නොවැඩි කලකින් විදෙස් ගත වූ අය මම දනිමි. මේ අයගෙන් පමණක් නොව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සෑම කෙනෙකුගේම වියදමෙන් කොටසක් ගාස්තු ලෙස හෝ නැවත ගෙවිය යුතු ණයක් ලෙස ලබා ගනිමින් ඊ ළඟ පරම්පරාවට යමක් ඉතුර කර දෙන අධ්යප්පන් අරමුදලක් හරහා අධ්‍යාපන ප්‍රතිපාදන සාධාරණව බෙදී යා යුතුය.

නිදහස් අධ්‍යාපන නාමයෙන් විශ්ව විද්‍යාල ප්‍රජාව අරගල කරන්නේ තමන් හා තමන් වෙත එන 30,000 ක් පම පිරිස වෙනුවෙන් වසරකට අවුරුදු 18 සම්පූර්ණ කරන දුවා දරුවන් සඳහා නොවන බව සක්සුදක්සේ පැහැදිලිය. දන්වතවශ්‍ය ප්‍රතිසංස්කරණ වාල්ට එක් වෙමින් සැබෑ බුද්ධිමතුන් ලෙස ක්‍රියා කිරීම විශ්ව විද්‍යාල ප්‍රජාවේ වගකීමයි.

Sujataha123

 

 

 

 

 

 (ආචාර්ය සුජාතා ගමගේ)
සම සම්බන්ධීකාරක
ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්