බිඳුණු කැඩපතින් පෙනෙන අනාගතය...

නගරය කිළිටි කරන්නේ මිනිසුන්ය. ඔවුහු ඉරිමා උදයෙහි ම අවදිව, ඒ කුණු පිරිසිදු කරති. කුණු ගඳ නැති, කැත නැති නගරයක මිනිසුන් ආඩම්බරයෙන් ඇවිද යන්නේ ඒ නිසාය! එහෙත් ඒ මිනිසුන්ගේ ඔළු, මළගිය ලෝකයට

අයත් කුල බේදයේ, පන්ති බේදයේ, ආගම් බේදයේ ඉපැරණි කුණු කසළින් පිරී තිබේ. ඒවා පිරිසිදු කරන්නට, සනීපාරක්ෂක කම්කරුවන් දන්නේ නැත. පුළුපුළුවන් හැටියට එය අප ම කර ගත යුතු නොවේද? මේ එවැනි වෑයමකි.


තුන වසරේ ඉගෙනුම ලබන දියණිය, පාසල නිම වී නිවසට පැමිණියේ පුළුටු කරගත් මුහුණෙනි. මව ඒ වෙනස දුර තියාම දුටුවාය. ඒ ගැන විමසද්දී මුවින් කිසිදු වදනක් නොබිණූ දැරිය, සිය පාසල් බෑගයට අත දමා, කඩදාසි කැබලි, කැළිකසළ ගෙන පිටතට විසි කළාය. ඒ අනාගත පුරවැසියන් වීමට පුරුදු පුහුණු වන ඇගේ පුංචි යහළුවන්ගෙන් ඇය ලද කමටහන්ය!

 “සමහරදාට පංතියේ කුණු, කඩදාසි කොළ දුවගේ පුටුව යටට තල්ලු කරලා තියෙනවාලු. ටීචර් කියනවාලු ඒ කුණු බෑග් එකේ දාගෙන ගෙදර ගෙනියන්න කියලා. පංතියේ කුණු ගෙදර ගෙනින්න කියන්නේ දුවගේ තාත්තා නගර සභාවේ වැඩ කරන නිසාද? දූත් ඒ රස්සාවම කරන්න ඕන කියලද ඒ කියන්නේ?"

‘සකායමාතා පුරම්‘හි පදිංචි එම්. රංජනී ප්‍ර‍ශ්න කළාය. ඇගේ සැමියා, වව්නියාව නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවෙකි.

සකායමාතා පුරම්හි එබඳු කටුක අත්දැකීම් ලද එකම දැරිය ඇය නොවේ. එහෙත් ඒ පිළිබඳව පාසල් ගුරුවරුන්ගෙන් ප්‍ර‍ශ්න කිරීමට ඔවුන්ට හැකියාවක් නැත්තේ, කෙනෙහිලිකම් විඳිමින් හෝ ඇස් පාදා ගැනීමේ දුලබ වරම ඔවුන්ට අහිමි විය හැකි බැවිනි.

"ගුරුවරු මගේ දුවව කොන් කරනවා. කෙනෙහිලිකම් කරනවා. අනිත් ළමයි පංතියෙන් එළියට ගිහින් කෑගැහුවාම මුකුත් කියන්නේ නැතිලු. ඒත් මගේ දුව වතුර ටිකක් බොන්න එළියට ගියත් බණිනවා කියලා දුව ගෙදර ඇවිත් කියනවා. සමහර ගුරුවරුන් දුවට ඉස්කෝල ගමනත් එපා කරවනවා.” රංජනී වේදනාවෙන් පැවසුවාය. ‘ගුරුවරු කියන අයත් මෙහෙම නම්, අනිත් මිනිස්සු ගැන කවර කතාදැයි‘ ඇය අපෙන් ඇසුවේ නැත. අපි සිතින් සිතාගතිමු.
Harsha.5. 13.psd                         මේ රස්සාව මිස ජීවිතය නොවේ !


අපමණ කෙනෙහිලිකම්


සකායමාතා පුරම් ග්‍රාමය වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියාව නගරයට නුදුරින් පිහිටි ගමකි. මෙහි පවුල් 113ක් පදිංචි වී සිටී. ඒ අතරින් බහුතරයකගේ රැකියාව නගර සභාවේ සනීපාරක්ෂක කම්කරු වෘත්තියයි. එය සමාජ සම්මතයට අනුව පහත් යැයි සැලකෙන රැකියාවකි. මෙම රැකියාවේ නිරත වන්නේ කුලහීන අය යැයි සමාජය විසින් හංවඩු ගසා තිබේ. සකායමාතා පුරමේ පදිංචි වූවන්ට සමාජයෙන් කෙනෙහිලිකම් විඳින්නට සිදු වී තිබෙන්නේ එහි ප්‍ර‍තිඵලයක් වශයෙනි. මේ අපවාදයෙන් ගැලවීමට එදිනෙදා ජීවිතයේදී ඔවුන් තම ගමෙහි නම සුසෙයිපිල්ලෙයාකුලම් යනුවෙන් පවසන බව ඈ සඳහන් කළාය.

අනුරාධපුරයේ ඉපදී හැදී වැඩුණු රංජනී, වව්නියාවේ සකායමාතා පුරම් ගම්මානයට පැමිණෙන්නේ විවාහයෙන් අනතුරුවය. 39 වෙනි වියේ පසු වන ඇගේ ජීවිතයෙන් වසර 18ක්ම ගෙවී ගියේ සකායමාතා පුරම් ගම්මානයේය.

කාලිදාසන් චිත්‍රාදේවි, මුලතිව් ප්‍රදේශයේ සිට වව්නියාවේ සකායමාතා පුරම් ගම්මානයට පැමිණෙන්නේ විවාහයත් සමගය. 56 හැවිරිදි චිත්‍රාදේවි පුතුන් තිදෙනකුගේ මවකි. වව්නියාව නගරසභාවේ රැකියා කළ ඇගේ සැමියා දැන් විශ්‍රාම ගොසිනි.

 "මගේ දරුවො තුන්දෙනාම ඉගෙන ගත්තා. අපොස උසස් පෙළත් සමත් වුණා. ඒත් මගේ දරුවන්ට හරිහමං විදියේ රස්සාවල් නැහැ. මගේ එක පුතෙකුට හොඳ රැකියාවක් ලැබුණා. ඒත් ගමේ නම කිව්වාම රස්සාවට එන දවස පස්සේ දන්වන්නම් කියලා කිව්වා. මගේ පුතාලා විවාහ වුණේ ඥාති දියණියන් එක්ක. සකායමාතා පුරම් කිව්වාම මඟුල් හොයන්න අමාරුයි." යනුවෙන් චිත්‍රාදේවි මැසිවිල නැඟුවාය. ඒ ඇගේ පවුලේ අය පමණක් මුහුණදුන් වේදනාබර අත්දැකීමක් නොවේ. මේ ගමේ ජීවත්වන අයගේ දුක් අඳෝනාවලින් අංශු මාත්‍ර‍යක් පමණි.  

එකට වැළලුණු මිනිස්කම!


සකායමාතා පුරම් ගමේ සැරිසරන විට තම නිවසේ කුඩා කඩයක් පවත්වාගෙන යන වසන්ත කුමාර් ලතා හමුවිය. ඈ දරුවන් තිදෙනකු සමඟ තනි වී සිටින්නේ ඇගේ සැමියා නගර සභාවේ සේවය කරමින් සිටියදී මිය ගිය නිසාය. වැසිකිළි වළක් ශුද්ධ කරන අවස්ථාවේ එක් අයකු සිහිසුන් වූ විට ඔහුව බේරා ගැනීමට තවත් තිදෙනෙක් වළට බැස ඇති අතර අවසානයේදී සිව්දෙනාම ජීවිතක්ෂයට පත්වී තිබේ. වසන්ත කුමාර් ලතාගේ සැමියා ඒ සිව්දෙනාගෙන් එක් අයෙකි.

Harsha.01. 13                              වසන්ත කුමාර් ලතා, සිය දියණිය සමඟ


"මගේ සැමියා නගර සභාවේ වැඩ කරපු කෙනෙක් නිසා විශ්‍රාම වැටුපක් අයිතියි. ඒත් එයා බැංකු ණයක් අරං තියෙනවා. ඒ බැංකු ණය රක්ෂණය කරලා නෙවෙයි අරං තියෙන්නේ. ඒ නිසා අපිට විශ්‍රාම වැටුප ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මම පොඩි රස්සාවකට ගියා. එතනින් මට ලැබුණේ දවසකට රු. 400යි. ඒපාර මම පුංචියට කඩයක් පටන් ගත්තා. ඒ කඩෙන් ලැබෙන ආදායමෙන් තමයි මමයි දරුවො තුන්දෙනයි නැන්දම්මයි ජීවත් වෙන්නේ. අපිට කවුරුත් උදව් කරන්නේ නැහැ. කොටින්ම කිව්වොත් වැසිකිළි වළවල් ශුද්ධ කරන අය කියලා මගේ මනුස්සයාගේ මළගෙදරටවත් කට්ටිය උදව් කළේ නැහැ." ඇය පැවසුවේ සැලෙන හඬිනි.

 ලතාගේ වැඩිමහල් දියණිය අ.පො.ස. සාමාන්‍ය පෙළ පංතියේ ඉගෙනුම ලබන අතර දෙවැනි දියණිය 6 වැනි පංතියේ ඉගෙනුම ලබන දැරියකි. ලතාගේ බාලම පුතු 1 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. පාසල් දරුවන් තිදෙනකුගේ වියපැහැදම් සුළුපටු නැත. ජීවන බර හිස මත තබා ගත් ලතා, තවදුරටත් අසරණ වී සිටින්නේ සමාජය පිළිගත් පහත් යැයි සම්මත කුලයකට ඔවුන් අයත් වන නිසා ය. ඒ නිසාම බොහෝ අයගේ උදව් උපකාර ඔවුන්ට අහිමි වී ඇති නිසා ය.


"මම දරුවො තුන්දෙනෙක් එක්ක ජීවත්වෙන්නේ නෑදෑ ගෙදරක. මම කඩේ දාගෙන ඉන්නේ එයාලාගේ ගෙදර තමයි. අඩු ගණ‍නේ මට රජයෙන් ඉඩම් කෑල්ලක් හෝ පුංචි ගෙයක් හෝ දෙනවා නම් ලොකු දෙයක්. මගේ ළමයි ලොකු වුණාම එයාලාට තැනක් තියෙන්න ඕනෑ." ලතා එවදන් මුවින් පිට කළේ වාතලයට සුසුමක් එකතු කරමිනි.


මිල ඇතත්- නොවෙනස් වෙනස්කම්


සකායමාතා පුරම් ගමේ චාරිකා කරන විට බොහෝ නිවෙසේ ගඩොලින් බැඳ වහලයට සීට් දමා තිබෙන අයුරු දිස් විය. ඇතැම් නිවෙස් වටා තාප්ප බැඳ අලංකාර ගේට්ටු දමා තිබිණි. ඉඩමේ වපසරිය කුඩා වුවත් පැල්පත් වැනි නිවෙස් දක්නට නොලැබුණු තරම්ය. අද වන විට මුළු රටේම ජනතාව පීඩාවට පත්ව ඇති ආර්ථික ගැටලු සකායමාතා පුරම් ගම්වාසින්ටද දැනෙන බව සැබෑවකි. එහෙත් ඔවුන් වැඩි වශයෙන් පීඩාවට පත්වී සිටින්නේ දරිද්‍ර‍තාව සමඟ අත්වැල් බැඳගෙන එන ජීවන ගැටලුවලින් පමණක් නොවේ. ඔවුන්ට සමාජයෙන් සිදු වෙන කෙනෙහෙලිකම්, කොන් කිරීම් නිසාම ඔවුහු පීඩාවට පත් වී සිටිති. අසරණ වී සිටිති.

"සකායමාතා පුරම් ගමේ පවුල් 113ක් ජීවත් වෙනවා. බහුරතරයක් දෙනා නගර සභාවෙ වැඩ කරන නිසා පවුල් 45කට විතරයි සමෘද්ධි හම්බවෙන්නේ." යනුවෙන් පැවසුවේ එස්. නිරෝෂණී ය. ඈ කලක් සකායමාතා පුරම් සමෘද්ධි සමිතියේ සභාපතිනිය ලෙස කටයුතු කර ඇත.  

Sakayamatapuram1                             එස්. රාමන්


මේ ගමේ පදිංචිකරුවකු වූ එස්. රාමන් අපට හමු වූයේ වව්නියාව නගරය පිරිසිදු කරමින් සිටියදීය. දරු දෙදෙනකුගේ පියකු වූ ඔහුගේ මූලික වැටුප රු: 20,000/-කි. අනෙකුත් දීමනා එකතු වූ විට යම් මුදලක් ලැබුණත් ණය ලබාගෙන ඇති නිසා අතට ලැබෙන්නේ සොච්චමකි. නගර සභාවේ සේවය කරන නිසා සමෘද්ධි දීමනා සඳහා හිමිකම් කිව නොහැකි වුවත් එස්. රාමන් සඳහන් කළේ ඔහුට ලැබෙන වැටුප ආහාර සඳහාවත් ප්‍ර‍මාණවත් නොවන බවයි.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අමතක කරන රාමන් සිය බිරිඳ හා දරුවන් සමඟ මොනවා හෝ ගිල දමා කුස පුරවා ගන්නා බව පැවසුවේ දැඩි වේදනාවකිනි. නගර සභාවේ සේවය කරන ඇතැම් සනීපාරක්ෂක කම්කරුවන් රාජකාරියට වාර්තා නොකර වෙනත් කම්කරු රැකියාවල යෙදෙන්නේ වැඩිපුර කීයක් හෝ හොයා ගැනීමටය.  


ඥාති විවාහ- එකම උත්තරය

Harsha.3. 13                               ලස්සනට ඉන්න අපිත් කැමතියි...


"මගේ ගම කිළිනොච්චිය. යුද්දෙ නිසා, ඉගෙනගෙන හැදී වැඩුණේ කොළඹ. සකායමාතා පුරම් ජීවත් වන ඥාති කෙනෙක් එක්ක විවාහ වුණාට පස්සේ තමයි මම මෙහේ පදිංචියට එන්නේ. මගේ මහත්තයාගේ තාත්තා නගර සභාවේ වැඩ කළා. මගේ මහත්තයා රෙදි සාප්පුවක කැෂියර් කෙනෙක්. එයා හොඳට ඉගෙනගත්ත කෙනෙක්. ඒත් හොඳ රැකියාවකට ගන්නේ නැහැ. අපි වගේ නෑදෑයන් අතර තමයි මේ ගමේ විවාහ කටයුතු සිද්ධ වෙන්නේ. ගමේ නම කිව්වාම පිටින් මඟුල් හොයලා විවාහ කරන්න අමාරුයි. මගේ ළමයින්ව දුර ඉස්කෝලවලට දාලා උගන්වන්න තමයි මගේ බලාපොරොත්තුව. නැතිනම් අනාගතයේදී මේ දරුවන්ටත් ප්‍ර‍ශ්න ඇති වේවි." යනුවෙන් එස්. නිරෝෂණි සඳහන් කළේ සිඟිති දරුවා ද උකුලේ හොවාගෙනය.

 "අපේ ගෙවල් ළඟ හොඳ ඉස්කෝලයක් තියෙනවා. ඒකට දොස්තරලාගේ ඉංජිනේරුවරුන්ගේ ළමයින් එනවා. ඒත් අපේ ළමයෙක් දාගන්න ගියාම ප්‍ර‍ශ්න ගොඩයි. හැබැයි ඒකට හේතුව අපේ දුප්පත්කම නෙමෙයි. අපි නගර සභාවේ කුණු එකතු කිරීම. අපි පාරවල් අතුගාලා ශුද්ධ පවිත්‍ර‍ නොකළොත් වැසිකිළි ශුද්ධ නොකළොත් ඒ දේවල් කරන්නේ කවුද? ලස්සනට ඉන්න පුළුවන්ද?

ඒත් ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. නගර සභාවේ වැඩ කරන ලොකු ලොකු අය පවා අපිව කොන් කරනවා. අපේ කුලය නිසා, අපි කරන රස්සාව නිසා සමාජයම අපිව කොන් කරනවා. එහෙම වුණාම අපිට හරි අසරණකමක් දැනෙනවා." යනුවෙන් එස්. රාමන් විස්තර කළේය.  

Harsha.012. 13                            අපි මේව නොකළොත්, කවුද කරන්නේ?


ආගමේ නාමයෙන් තව තවත් බෙදීම

එස්. නිරෝෂණී දකින ආකාරයට සකායමාතා පුරම් ග්‍රාමයේ ජනතාව එකම කුලයකට අයත් වුවත් ඔවුන් අතරත් බෙදීමක් ඇත. බෙදීම සිදු වී තිබෙන්නේ ආගමික වශයෙනි. දෙමළ - හින්දු, දෙමළ - රෝමානු කතෝලික, දෙමළ - ක්‍රිස්තියානි, දෙමළ - කතෝලික නොවන ආගම් (පෙන්තකොස්ත, බයිබල්) ආදී වශයෙන් ගම්වාසිහු බෙදී සිටිති. එහෙත් ඔවුන් අයත් වන්නේ එකම කුලයකටය. වව්නියාව නගරයට ආසන්නව පිහිටි දමිළ ගම්මානයක් වන සකායමාතා පුරම් හී හින්දු ආගම අදහන්නේ පවුල් 13ක් පමණ යැයි කිවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. පවුල් 75ක් පමණ අදහන්නේ ක්‍රිස්තියානි ආගම ය. චිත්‍රාදේවි, එම්. රංජනී, එස්. නිරෝෂණී ක්‍රිස්තියානු භක්තිකයෝ වෙති. වසන්ත කුමාර් ලතාගේ පවුල අදහන්නේ හින්දු ආගම ය.    

 "අපේ පරම්පරාවේ මුල් කට්ටියගේ ඉඳලා අදහන්නේ ක්‍රිස්තියානි ආගම. ඒනිසා අපිත් ක්‍රිස්තියානි ආගම අදහනවා. හැබැයි අපි දන්නවා රෝමානු කතෝලික පල්ලිය කිට්ටුව ඉන්න, ඒ පල්ලියට යන අය අපිව ගණන් ගන්නේ නැහැ කියලා. සකායමාතා පුරම් අපි ජීවත් වන පැත්තේ අය ඒ පල්ලියට ගියාම අපේ අය පිටිපස්සට වෙලා ඉන්න ඕනෑ." යනුවෙන් එස්. නිරෝෂණි සඳහන් කළාය. දේවස්ථානය තුළ මෙම බෙදීම ඇති වී තිබෙන්නේ දෙවියන්වහන්සේගේ නියමය අනුව නොවේ. දේවස්ථානය වෙත පැමිණෙන භක්තිකයන් අතර ය. යුදෙව්වන් ඇසුරු නොකරන, සමාජයෙන් කොන් වී සිටි සමරිතානු ජාතියට අයත් කාන්තාවකගෙන් යේසුස් වහන්සේ වතුර ඉල්ලාගෙන බිව් බව යොහාන් 4:1- 42 හි සඳහන් වී තිබේ. සමාජය කොන් කළ අයට යේසුස් වහන්සේ එසේ සලකන විට, උන්වහන්සේ අදහන අය මිනිසුන් කොන් කර තැබීම කොතෙක් දුරට ගෝචර දැයි සිතා බැලීම වටී. 


සකායමාතා පුරම් පිහිටි ශ්‍රී දුර්ගා අම්මාන් කෝවිල් කමිටුවේ භාණ්ඩාගාරික වන එස්. සුරේඛා පැවසුවේ අන්‍ය ආගම්කරණය නිසා සකායමාතා පුරම් හින්දු පවුල් අඩු වී ඇති බව ය.

"එක් එක් ආගම්වලින් ඇවිත් සමහර පවුල්වලට බඩු දීලා, සල්ලි දීලා හින්දු ආගමේ අයව ඒ ආගම්වලට හරවා ගන්නවා. ඒක ලොකු ප්‍ර‍ශ්නයක්." ඈ සඳහන් කළාය.

හින්දු භක්තිකයන් අන්‍ය ආගම්වලට ඇදී යන්නේ දුප්පත්කම නිසාමද? ලාභ ප්‍රයෝජන නිසාද? එසේත් නැතිනම් කෝවිලෙන්, රෝමානු කතෝලික පල්ලියෙන් ඔවුන්ට නොලැබෙන පිළිගැනීම හා ගරුත්වය එකී ආගම් තුළින් ඔවුන්ට හමු වන නිසාද? මෙය ගැඹුරින් විවරණය කළ යුතු වෙනම පැතිකඩකි.


කුලයට වඩා- චර්යාව

Harsha.4. 13                           අයිලේශ්වර් කුරුක්කල්තුමා


"සකායමාතා පුරමේ ගමේ කුල ප්‍ර‍ශ්නයක් තියෙනවා. මේ ගමේ ඉන්නේ කුලහීන අය කියලා සමාජයේ කොන් කිරීමක් තියෙනවා. ඒ වුණාට අපේ කෝවිලට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. දෙවියන් වඳින්න, පිහිට ලබන්න ඕනෑ කෙනෙකුට එන්න පුළුවන්. කෝවිලේ කිසිම බෙදීමක් නැහැ. අපි හැමෝටම එක වගේ සලකනවා. හැබැයි සකායමාතා පුරම් ජීවත් වන අයව සමාජයෙන් කොන් කරන්නේ කුලය මුල් කරගෙනම නෙමෙයි. තවත් හේතු ඕනෑ තරම් තියෙනවා. මේ පැත්තේ ගොඩාක් පිරිමි, තරුණ ළමයි මත්ද්‍ර‍ව්‍ය පාවිච්චි කරනවා. මත්පැන් පානය කරලා රණ්ඩු කරනවා. කෑගහනවා. ඒ වගේම තමයි මේ ගමේ සමහරුන්ගේ හැසිරීම හොඳ මදි. කවුරු හරි කතා කළාම සැරපරුෂ විදිහට කතා කරනවා. රණ්ඩුවට යනවා. ඒ වගේ හැසිරීම් රටාවකට කවුරුත් කැමති නැහැ. සමහර ළමයි නරක වචන කියනවා. එතකොට ඒ ළමයින් ආශ්‍ර‍ය කරලා අනිත් ළමයිනුත් නරක වචන ඉගෙන ගනීවී කියලා දෙමව්පියන් හිතනවා. ඒ නිසයි මම කිව්වේ මේ ගමේ අය කොන් වෙන්නේ කුලය නිසා විතරක් නොවෙයි කියලා." යනුවෙන් සකායමාතා පුරම් ශ්‍රී දුර්ගා අම්මාන් කෝවිලේ ප්‍ර‍ධාන පූජක, අයිලේශ්වර් කුරුක්කල්තුමා පැහැදිලි කළේය.

අයිලේශ්වර් කුරුක්කල්තුමා විස්තර කළ ආකාරයට ඔවුන්ගේ චර්යා රටා තුළින් ප්‍ර‍චණ්ඩත්වය පළ වන බවක් කියවේ. එහෙත් ඔවුන් කෙරෙන් එසේ පළ වෙන්නේ පරම්පරා ගණනාවක් පීඩාවට පත්වෙමින්, පෙළෙමින්, තැළෙමින් මිරිකී ගිය ආත්මවලින් බුර බුරා නැඟෙන කැකෑරෙන වේදනාව විය නොහැකි යැයි කිව නොහැක්කේ කාටද?        


Harsha 2023

 

 

 

 
(හර්ෂා සුගතදාස)  
-නිදහස් මාධ්‍යවේදිනී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


ඡායාරූප- කනපතිපිල්ලෙයි කුමනන්
(උපදේශනය සහ අනුග්‍රාහක දායකත්වය ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා ආයතනයෙනි.)

'ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා' වෙනත් ලිපි :

08-නව ලොවකට පාර සොයන නොච්චිකුලමේ තෙළිඟු වංශිකයෝ -(මංගලනාත් ලියනආරච්චි)


07- උදුරා දැමුණු ජීවිත අතරින් ඇසෙන මේරිඅම්මාගේ කතාව - (විකුම් ජිතේන්ද්‍ර)

06- මුල් අදින්නට පොළොවක් සොයන වතුකරයෙන් පිටමංවූවෝ - (සඳරැසී සුදුසිංහ)

05- සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව : අකමැති සිරුරකින් නිදහස් වීමේ අරගලය! - (ටිරන් කුමාර බංගගමආරච්චි)

04- දොස්තර කෙනෙකුත් ඉංජිනේරුවෙකුත් හැදූ තෙළිඟු පරපුරේ හෙට දවස - (ලක්මාල් කේ. බදුගේ)

03- ආර්ථික යුද්ධයෙන් බැටකන නැගෙනහිර යුද වැන්දඹුවෝ

02- ආබාධිත ළමා සොල්දාදුවන්ගේ නොනිමි ජීවන අරගලය! - (වසන්ත චන්ද්‍රපාල)

01- එමලියනා, ෂෙරීන් සහ දිනිති! - මව්බසත් අමතක වී යන කැෆර්වරුන්ගේ කලදවස - (හර්ෂා සුගතදාස)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්