දහසය හැවිරිදි කළුතර දැරිය පිළිබඳ සිද්ධියේ සමහර සැකකරුවන්ද, අත් අඩංගුවේය.

සිද්ධියකට ඉගිලෙන්නට ඉඩ දෙනවාද නැද්ද තීරණය වන්නේ  මාධ්‍ය විසිනි.

හැම සංසිද්ධියකම හොඳ නරක දෙකම පැටලී ඇතත් ඉස්මතු වන්නේ කුණු රසය පමණකි. ධනාත්මක සමාජ කතිකාව ඉලිප්පෙන්නේම නැත. කළුතර සිද්ධිය හරහා අප වටහාගත යුතු මෙන්ම, අපට මඟ හැරුණ දේත් එසේම අපෙන් ගිලිහී ගිය දේත් අනන්තය. සිද්ධිය ගැන ඒ  දැරියගේ මෑණියන් කළ ප්‍රකාශය විලාපයකක් මිස උත්තරයක් විත්ති වාචකයක් නොවේ. සමහරු සිද්ධිය ඇසූ සැනින් හරි අපූරුයි කියා දැක්වූ උපහාසයෙන් සිනාසී කළේ සිද්ධියේ සකල වගකීම වැඩිහිටියන්ගේ කරපිට තැබීමකි. සංවේගී ප්‍රකාශයන්  තුළ යථාර්ථයන් මතු වන්නේ කලාතුරකිනි.



අර හරි අපූරුයි කීමෙන් අප සිනාසෙන්නේ කාටද? ඇත්තම කියයි නම් ඒ අපටම නේද? මගේ නිරීක්ෂණ අනුව, වින්දිත දැරියගේ මව ඛෙහෙවින් අසරණය. ඇය තිස් පස් හැවිරිදි යයි අනුමාන කළොත් ඇය උපන් එක් දහස් නවසිය අසූ නවය යනු අප ඉහළින් සලකන, හරයාත්මක හා සංස්කෘතික වටිනාකම්, ආර්ථීක භූගෝලීය හා සමාජ විශේෂයෙන් දේශපාලනික ක්‍රියාකාරකම් හේතුවෙන් බරපතල ලෙස අපේ හර පද්ධතියෙන් ගිලිහී ගිය යුගයකි. ඒ යුගයේ සමහර ගැබ් පවා භිතියෙන් තැති ගැන්මෙන් ගබ්සා විය.



ප්‍රේමවතී මනම්පේරි නිරුවතින් ඇවිද්වා උපන් ගමෙහිදීම 1971දී හමුදා සොල්දාදුවන් කළ අපරාධයට එරෙහිව තරාතිරම නො බලා නිතිය  ක්‍රියාත්මක වුවද, 1997දී පළාත් සභා ඡන්දයක් අතර, දෙනෝ දහස් බලා සිටියදී වාරියපොල නගරයේදී කාන්තාවක නිරුවත් කොට ඇවිද්දවීමෙන් කළ අපරාධය පොලිස් පොතක හෝ නො ලියවුණේ කාන්තා ගෞරවය යටපත් කොට මැතිවරණ දේශපාලනය බලවත් වූ නිසාය. සොල්බරි ව්‍යවස්ථාවෙන් ප්‍රේමවතී මනම්පේරිට ඉටු වූ සාධාරණය වරියපොල කාන්තාවට ඉටු නොවුණේ ජනරජ ව්‍යවස්ථාව නිසාය.

යාපනේ මිරිසුවිල්හිදී නිරායුධ සිවිල් වැසියන් 8 දෙනෙකු හේනකදී ඝාතනය කළ වරදට එල්ලූම් ගස් ගිය මිනි මරුවාට ජනාධිපති සමාව හිමි විය. 1972න් මෙපිට  ශ්‍රී ලංකා ජනරජයේ  තරුණියන් තානායම් වලදී ගැහැණුකමද, තරුණයක් මිල මුදල්ද පුදා බලවතුන් පිනවා පාසල්  ගුරු පත්වීම්  ලබා ගැනීමට සිදු විය. ක්‍රිස්තු වර්ෂ 2023 වන විට තමන් වෙත පැමිණවූ සැක කරුවන්ට පෝෂණ පදාර්ථ ලබා දෙන තරමට අධිකරණයද සංවේදී විය. කළුතර දැරියගේ අම්මා අඩ සියවසක් පුරා එක දිගට මිනිස් වටිනාකම් විනාස වී ගිය සමාජය තුළ හැදී වැඩි උස් මහත්වූ තවත් චරිතයක් මිස විශාඛා විහර මහා දේවී මග නොගිය බව අප මතක තබාගත යුතු වේ.



අර වින්දිත දැරිය, ඇයගේ යෙහෙළිය මෙන්ම අනෙක් සගයන් දෙදෙනාද හැසිරුණේ ද, අර අම්මා ජීවත් වුණේද වකුටු ව විකෘතිවූ සමාජ පරාසයකය. අර දියණියත් මවත් උනුන් හඳුනා ගත්තේ වටිනාකම් විනාස කළ සමාජ ප්‍රවේගයේ හතුරන් හැටියටය. මව් සෙනෙහස අමතක කොට ඉබාගාතේ යාම අර දැරියට ආශ්වාදයක් විය. අර දියණිය තම ගෙදරට මවට පියාට අභියෝග කළ හේතුව හරි අපූරුයි කී සුදනන් තම තමන්ගෙන්ම විමසිය යුතුවේ. අසල්වාසි දැරියක, පාසල් නිල ඇඳුමෙන් අනුචිත තැනක සිටිනු දුටු වැඩිහිටියෙකු දුව මොකද මෙතන කියා විමසූ විට අන්කල්ගෙ වැඩක් බලා ගන්න යයි ප්‍රතිචාර දක්වන සමාජයක අර දියණිය හැදී වැඩී උස්මහත්වීම හේතුවෙන් අර අම්මා, හිටුවා පස් ගැසිය යුතු නැත.  



සමාජ ස්තරයට ඉහළින් ඉගිළෙන අපේ මාධ්‍ය වගකීමෙන් හැසිරේද? වින්දිත දැරිය සැකකරු සමග නිරුවතින් සිටියදී කලබලයෙන් ජනේලයෙන් පැනීමට හේතුවූ දුර කතන ඇමතුම දුන් උපකාරක පන්ති ගුරුවරයාත් ඇය සමග අනියම් ඇසුරක් පැවති බව වාර්තා කිරීමෙන් මියගිය දැරිය යළි යළි ඝාතනය කිරීමක් පමණක් නොවේ. පාලනයකින් තොරව වමෑරූ මේ  කිසිවක් අනුමාන මිස මේ වනතෙක් තහවුරු වී නැත. මේ සිදුවන්නේ අර දැරිය නොව අපේ ජාතික මාධ්‍ය වේසාකමේ යාමකි. එක සතියට දැරියන් හත් අට දෙනෙකු අපචාර කළ උපකාරක ගුරුවරුන් ගැන වාර්තා වුවද, වැඩිහිටියන්ට දරුවන් උපකාරක පන්ති යැවීමට සිදුවී ඇත්තේ නිදහස් අධ්‍යාපනය ගැන උදම් අනන රටක ගරා වැටීම ගැන සමාජය දැනුවත් කළ යුතු මාධ්‍ය මේ කරන්නේ කුමක්ද?

අර දැරිය ජනේලයෙන් පැන්නාවද තල්ලූ කළාදැයි නිවැරදිව දන්නා කෙනෙක් නැත. අධිකරණය පවා ළමා අපචාර ස්ත්‍රී දූෂණ නඩුවලදී රහස්‍ය භාවය රැකීමට වෙහෙසෙන පරිසරයක සීමා රහිතව මිනිසුන් කැමති කුණු රසය විකිණීම අපරාධයකි. අවුරුදු 18 නො පිරි දැරියන් බාල වයස්කාර ලෙස නීතිය පිළිගත් රටේ මේ සිදුවන්නේද අපයෝජනයකි. හැඟීම් සහ වයස අතරට නීතිය ඉබි යතුරු දමා තිබේ.

දහසය හැවිරිදි වීම සහ මිනිස් හැඟීම් අතර ඇත්තේ නො නිමි අරගලයකි. මෙහිදී අමෙරිකානු අත්දැකීමක් හුවා දක්වනු කැමැත්තෙමි. 12 විය ඉක්මවූ අමෙරිකානු දැරියක යහලූවන් සමග දින කිහිපයත් නිවෙසින් පිට ගත කිරීමට යයි නම් ඇයගේ මවට දිය හැකි අවවාදය පරෙස්සමින් යන්න නොවේ. අමතක නොකර කොන්ඩම් අරන් යන්නැයි සිහිපත් කිරීම පමණකි. අපට එසේ කල්පනා කළ හැකි පරිසරයක් තිබුණා නම්, කලූතර අර කෙල්ල අකාලයේ මිය යන්නේ නැත. අර අසරණ අම්මා අපවාදයට ලක් වන්නේ නැත. අපේ මාධ්‍යට මිනිස් හැසිරීම් කුණු කොට විකුණා මුදල් ඉපයීමට නොමිලේ කතන්දර ලැඛෙන්නේත් නැත. අනාචාරයත් අපරාධ වරදක් නොවන රටේ අප කළ යුත්තේ කාලයට පැවැත්මට ගැලපෙන සන්සුන් ජිවිතයකට යා දෙන  සරල වටිනාකම් හඳුන්වා දීමය.



විදේශගත දරුවන් දෙදෙනෙකු  ලංකාවේ හුදෙකලාව, ඔත්පලව සිටි මවගේ ආරක්ෂාවට මැදි වයස් පිරිමියෙකු සහ ගැහැනියක යොදවා තිබිණ. මව මියගිය  පසු අර දෙදෙනාගේ සේවය අවසන් කෙරිණ. ඒ අවස්ථාවේ පිරිමි උප්ස්ථායකයාට මියගිය තැනැත්තියගේ දියණිය නිශ්චල දේපලක් ත්‍යාග කිරීම  ගැන ඇයගේ පිරිමි සොහොයුරාට ඇති වුණේ  විමතියකි.

පිස්සුද, අපි ඌට හොඳට ගෙව්වාත් එක්ක. සොහොයුරාගේ ආවේගශීලි ප්‍රකාශය ඇසූ  සොහොයුරියට සිනා පහළ විය.

ඇයි ඔයා හිනා වෙන්නේ...

හලෝ  මේ මනුස්සයා අවුරුදු හයක් තිස්සේ අම්මාගේ ඔක්කොම ඕනැ එපාකම් ඉෂ්ඨ කරළා. අහන්න අර ගෑනිගෙන් කවුද අම්මාව අතපත ගාලා එයාගේ ජරාව අස් කරලා පිරිසිදු කළේ කියලා.

ඒකටනේ අර ගෑනිට ගෙව්වේ.....  

ඇත්ත. ඒත් ඔයා දන්නවාද අම්මා ඒ ගෑනි දකින්නවත්  කැමති වෙලා නැහැ. හිතා ගන්නවා මොනවද වුණේ කියලා. අම්මාත් ගෑනියෙක්. ඩැඩී මැරෙන කොට අම්මාට පනස් හතයි. අපි දෙන්නා යනකොට අම්මාට හැට එකයි. මේ මනුස්සයා අම්මාගේ ආරක්ෂාවට එනකොට අම්මාගේ වයස හැට තුනයි. අම්මා නැතිවුණේ වසය හැත්තෑ එකේදී. අපේ ජොබ් එක නිසා ඒ මනුස්සයාගේ කසාදෙත් අවුල් වෙලා. ඒ මිනිහාට පව්.

ඔයා කොහොමද ඕවා දන්නේ...

මම බඛෙක්ද? අර ගෑනු මනුස්සයා අම්මා ජීවත්ව ඉන්න කාලේ ඔය කතා මට වරින් වර කියලා තියෙනවා.

මං හිතුවේ අපෙන් පඩි අරන් උන් දෙන්නා පවුල් කෑවා කියාලා. ඒ සොහොයුරාගේ ප්‍රතිචාරය විය,

සමහර විට එහෙමත් වෙන්න ඇති. ඉන්පසුව ලංකාවේ ඉපිද විදේශයක ජිවත්වන ඒ දෙදෙනා යම් මොහොතක් කතා නැතිව උනුන් දෙස බලාගත් ඉරියව්වෙන් සිටියේලූ. තම අම්මාත් තවත් ගැහැනියක් යයි දියණියට සිතුණාට අප කෘතඥ විය යුතුවේ.

කලූතර අම්මාත් අවාසනාවන්ත දියණියත් අතර වයස් පරතරය අවුරුදු 19කි. වසර 16කට පෙර ඒ අම්මාගේ නව යොවුන් විය ගෙවී ගියේද මෙවන් සමාජ වටපිටාවක විය හැකිය. අම්මාගේ පාලනය ආරක්ෂාව බිඳ දැමීමට පාදක වූ සමාජ ක්‍රමය හෙට බිලි ගන්නේ මෙය කියවන කාගේ කවුද යන්න දන්නා කෙනෙක් නැත. අප ඒ අකාරුණික අභියෝගය ජය ගත යුතු මිස ප්‍රවෘත්ති විකිණීමට සූදානම් නො විය යුතුවේ. මේ ලිපියේ සඳහන්  අමෙරිකානු අත්දැකීම සහ වියපත් අම්මා පිළිබඳ කතාව හරහා අපට දෙන පණිවිඩය ඛෙහෙවින් ගැඹුරු මෙන්ම සාධනීය එකකි. ඒ කතා දෙකෙන්ම අප තේරුම් ගත යුත්තේ වයස් සහ සමාජ සම්බන්ධතා ඉක්ම ගිය අප කිසිවෙකුට පාලනය කළ නොහැකි මානුෂික හැඟීම් අපේ විශ්වාසයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ සහ අප්‍රසිද්ධියේ අභියෝග කරන බව පමණකි. අප දන්නා දේ ටිකකි. නො දන්නා දේ බොහෝය. අනුන්ගේ කිල්ලෝටවලට ඇ`ගිලි  දමා හුණු ඩිංගිති හොයන ජනමය පුරුද්දට තිත තබා ධනාත්මක යථාර්ථයට මුහුණ දිය යුතුවේ.

අර්නස්ටෝ චේ ගෙවේරා අත් අඩංගුවට ගත් බොලිවියානු හමුදා ප්‍රධානියා ගිය සතියේ මිය ගියේය. ඔහු නමින් ජෙනරාල් ගැරී ප්‍රාඩෝ සැල්මොන් ය. සැල්මෝන්ගේ පුතා සිය පියා අගය කරන්නේ මෙසේය. මගේ පියා ජීවිතයේ කළ වැදගත්ම දේ චේ ගෙවේරා අල්ලා ගැනීම නොවේ, සන්නද්ධ හමුදාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීති රීතිවලට ගරු කරන ආයතනයක් බවට පත් කිරීමට දායක වීමය. ඒ ප්‍රකාශය තුළ චේගේ පෞරුෂය හෝ විප්ලවීය ගරිල්ලා ව්‍යාපාරය හෙළා දැක තිබේද? නැත. ඔහු අගය කරන්නේ තම රටේ පැවැත්ම සහතික කිරීමට සිය පියා කළ කැපවීමය. සත්තකින්ම සැල්මෝන්ගේ පුතා කළේ තම පියා ඉතිහාසයෙන් නිදහස් කර සම්ම්ත ලෝකයේ විශිෂ්ඨයෙකු කිරීමය. ඔහු කල්පනා කළේ චේ ගෙවේරා අත් අඩංගුවට ගැනීමට පියාට හේතුවූ කාරණා මිස චේගේ පැවරුම හෝ ඒ ඝාතනය සාධාරණද යන්න නොවේ. හැම කථා වලාවකම රිදී රේඛා බොහෝ  වේ, අප තවත් දැරියක ජනේලයකින් පැන හෝ ගබ්සාවක් අතර මිය යාමට හෙට දවසේ ඉඩ නො තැබිය යුතුවේ.



chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්