ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය යළි ආරම්භ කොට අද වන විට වසර 25ක් ගත වී ඇති අතර,
නිසි පිළිවෙතට අනුව භික්ෂුණීභාවය ලැබූ 8000ක් භික්ෂුණීහු මෙරට ආරාමවල වෙසෙති. එහෙත් මෙරට භික්ෂුණී ශාසනයක් ඇතැයි රජය පිළිගන්නේ නැත. එපමණක්ද නොවේ, එම භික්ෂුණීන්ට සාමාන්‍ය පුරවැසියන්ට හිමි අයිතිවාසිකම් ලබා දීමට වත් රජය සූදානම් නැත! මෙයට හේතු වී ඇත්තේ, මෙරට ස්ථාපිත භික්ෂු පාර්ශ්ව 31ක් අතුරින් 29ක්ම භික්ෂුණී ශාසනය පිළිගෙන තිබියදී, සියම් නිකායේ මල්වතු හා අස්ගිරි යන පාර්ශ්ව දෙක පමණක් එය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමය.
උපසම්පදාව සඳහා සීමාමාලකය වෙත වැඩම කරන භික්ෂුණීන් වහස්සේලා...
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසුව, දේවානම්පියතිස්ස රජුගේ මෙහෙසිය වූ අනුලා බිසවගේ ඉල්ලීම පරිදි, ඉන්දියාවේ සිට මෙරටට වැඩම කළ සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කළේ, රාජ්‍ය අනුග්‍රහය සහිතව භික්ෂු ශාසනයේ පැවැත්මට සමාන්තරවය.
එතැන් පටන් වසර 800ක් ගතව, එනම් 1998 වසර වන තුරු ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය යළි ස්ථාපනය කරලීම කෙරෙහි උනන්දුවක් හෝ උත්සාහයක් නොවුණි. ඒ ‘පරසතුරු උවදුරුවලට මුහුණ දීමට භික්ෂුණීන්ට හැකියාවක් නැත‘ යන උපකල්පනය නිසා පමණක් නොව, භික්ෂුණී ශාසනය ස්ථාපනය කරලීම උදෙසා අනුරාධපුර යුගයෙන් පසු ඇති වූ කිසිදු රජයක අනුග්‍රහයක් නොලැබුණු නිසා බව කීම අසාධාරණ නොවේ.
මන්දයත්, මහනුවර රාජධානි සමය වන විට පරිහානියට පත්ව ගණින්නාන්සේලාගේ බලයට නතුව පැවති මෙරට භික්ෂු ශාසනය යළි උපසම්පදාව සහිතව පිහිටුවීමට වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයාණන්වහන්සේට හැකි වූයේ, එසමයෙහි රාජ්‍යත්වය හෙබවූ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය ඒ සඳහා හිමි වීම නිසාය. නමුත් අවාසනාවට කරුණ නම් භික්ෂු ශාසනයට සමාන්තරව මෙරට ස්ථාපනය වූ භික්ෂුණී ශාසනය නගා සිටුවීමට සඳහා රාජ්‍ය අනුග්‍රහය නොලැබීම නොව, කාන්තාවට බුදුරදුන් හිමි කර දුන් සමාන ශාසනික විමුක්තිය උදා කර ගැනීම සඳහා කාන්තාව වෙත රාජ්‍යය විසින් එල්ල කරන්නා වූ විරෝධයයි.
යටත් විජිත සමයේ මෙරට ඇති වූ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ ආශ්වාදය ලැබ මෙරට කාන්තාවන්ද බෞද්ධ ඉගැන්වීම්වල සඳහන් විමුක්ති මාර්ගයේ ගමන් කිරීම සඳහා පැවිදි වීමට උත්සහ දැරූ අතර එය ක්‍රිස්තියානි ආභාසය ද සහිතව දස සිල් මාතා ව්‍යාපාරයෙන් සීමා විය.

මෙකී කතිකාවන්හි ප්‍රතිඵලයක් ලෙස එවකට සිටි දසසිල් මාතාවන් අතරින් උපරිම සුදුසුකම් සැපිරූ 32 දෙනෙකු තෝරාගෙන ඔවුන්ව සාමණේර ශීලයේ පිහිටුවා, කලුන්දෑව භික්ෂුණී අධ්‍යාපන පීඨයේ 08 මසක නේවාසික ධර්ම විනය පුහුණුවක් ලබා දීමෙන් අනතුරුව ඔවුන් අතරින් තෝරාගත් 20 දෙනෙකු 1998 පෙබරවාරි 15 සහ 21 යන දිනයන්හිදී දඹදිව බුද්ධගයාවේදී උපසම්පදාව ලැබූහ. ඒ, චීන භික්ෂුණීන්ගෙන් සහ ශ්‍රී ලංකාවෙන් වැඩම කළ උභතෝ සංඝයාගේ සහභාගිත්වයෙනි.
ඉන් අනතුරුව මෙරටට වැඩම කළ උපසම්පදාලාභී භික්ෂුණීන් වහන්සේලා සහ තවත් ධර්මධර විනයධර ත්‍රෛනිකායික භික්ෂු මහා සංඝයා වහන්සේලා 200කගේ පමණ සහභාගීත්වයෙන් යුතුව 1998 මැදින් පුර පසළොස්වක දිනයේදී කළුන්දෑව භික්ෂුණී අධ්‍යාපන පීඨයෙන් පුහුණුව ලැබූ තවත් සාමණේර භික්ෂුණීන් 22 දෙනෙකු උභතෝ සංඝයා ඉදිරියේදී රන්ගිරි දඹුලු විහාර සීමා මාලකයේදී උපසම්පදා ශීලයේ පිහිටුවමින් මෙරට භික්ෂුණී පර්ෂදය දෙවන වරට ස්ථාපනය කළේය.

- පූජ්‍ය ආචාර්ය දානියගම ආනන්ද ස්වාමීන්වහන්සේ (රන්ගිරි දඹුලු විහාර පාර්ශ්වය)
එසේ ඇරඹි භික්ෂුණී උපසම්පදාව වාර්ෂිකව නිසි ක්‍රමවේදයක් ඔස්සේ සුදුසුකම් සැපිරූ සහ නිසි පුහුණුව සම්පුර්ණ කරන ලද සාමණේර භික්ෂුණීන්, පුහුණු පාඨමාලාව අවසානයේ පැවැත්වෙන විභාගයෙන් ලකුණු ලබාගන්නා පිළිවෙළ අනුව ජ්‍යෙෂ්ඨත්වය හිමි වන ආකාරයට සලකමින් සීමාමාලකයේදී උභතෝ සංඝයා ඉදිරියේදී ථෙරවාද සම්ප්‍රදායට අනුකුලව උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලබයි. වර්තමානය වන විට රන්ගිරි දඹුලු විහාරයට අමතරව හොරණ දෙකඳුවල භික්ෂුණී ආරාමය, සහ තවත් විහාර කිහිපයක් ආශ්‍රිතව මෙම වාර්ෂික උපසම්පදා කර්මය සිදු කරනු ලැබේ.
කොමසාරිස්වරයාගේ නියෝගය
වර්ෂ 2004 පමණ වන තෙක් භික්ෂුණීවහන්සේලා වෙත කිසිදු බාධාවකින් තොරව සිය දෛනික කටයුතු සිදු කරලීමට හැකි වුවත් 2005 වසරේ සිට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා වෙත යවන ලද ලිපියක් හරහා භික්ෂුණීන් වහන්සේලාට ඔවුන්ගේ ‘භික්ෂුණිය‘ යන හැඳින්වීමෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම නවත්වන ලෙස නියෝග කරයි.
එයට හේතුව ලෙස ඔහු විසින් දක්වන්නේ අස්ගිරි සහ මල්වතු විහාර පාර්ශවයන් මෙම භික්ෂුණීන්වහන්සේලගේ භික්ෂුණීභාවය හෝ උපසම්පදාව පිළිනොගන්නා බැවින් එකී පාර්ශ්වයන්ගේ අවසරයකින් තොරව මෙරට භික්ෂුණී උපසම්පදාව බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුවට පිළිගැනීම කළ නොහැකි බවයි. භික්ෂුණීන්වහන්සේලා සම්බන්ධයෙන් කිසිදු ලේඛනයක් හෝ තොරතුරක් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සතු නොවන බවද එහිදී ප්‍රකාශ කෙරිණි.
අයිතිවාසිකම් රැසක් අහිමි කිරීම
මේ ආකාරයට ශිෂ්ට රාජ්‍යයක ජීවත්වීමට පුද්ගලයා වෙත රජය විසින් ලබා දෙන අනන්‍යතා සහතිකය අහිමි කරලීම යනු එකී පුද්ගලයාගේ සමස්ත ජීවිතයේම ඉදිරි පැවැත්ම අනාරක්ෂිත කරලීමකි. ජාතික හැඳුනුම්පත නොමැති වීම නිසා භික්ෂුණීන්වහන්සේලාට සිය දෛනික ජීවිතයේදී අසීරුතාවයන් රැසකට මුහුණ පෑමට සිදුව ඇත.
ජාතික මට්ටමේ විභාග සඳහා පෙනී සිටීමේදී ජාතික හැඳුනුම්පත අනිවාර්ය තත්ත්වයකි. නමුත් 2004 වසරෙන් පසුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව වෙත යවන ලද ලිපිය මගින් භික්ෂුණීභාවය සඳහන් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම තහනම් කරලීම නිසා උසස්පෙළ සහ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාග සඳහා පෙනී සිටීමට භික්ෂුණීන්වහන්සේලට නොහැකි වී තිබේ. ඔවුන්ට තම උසස් අධ්‍යාපනය වෙනුවෙන් තමන් ලැබූ උපසම්පදා ශීලය පසෙක තබා, දස සිල් මාතා යන හැඳින්වීම ඔස්සේ එතැන් පටන් ඔවුන්ගේ අනන්‍යතාව වෙනස් කර ගැනීමට සිදුව ඇත.

-සමස්ත ලංකා භික්ෂුණී ශාසන බල මණ්ඩලයේ ලේඛකාධිකාරී කොත්මලේ සිරි සුමේධා භික්ෂුණීන්වහන්සේ
බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව සහ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්, සියලුම පුරවැසියන්ට අයිති නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ අත් විඳීම භික්ෂුනීන්ට අහිමි කරන්නට කටයුතු කර ඇත්තේ ඔවුන් කාන්තාවන් වීම නිසාය. බුදුන් වහන්සේ විසින් අසූ මහා ශ්‍රාවකයන් පත් කරන ලද අවස්ථාවේ පිරිමි භික්ෂුන්ට පමණක් එම අවස්ථාව ලබා නොදී භික්ෂුණීන් අතරින්ද අසූ මහා ශ්‍රාවිකාවන් පත් කරන ලද්දේ භික්ෂු භික්ෂුණි දෙපාර්ශ්වයටම සමාන අවස්ථා පිරිනැමීමටය. නමුත් බුදු රදුන් වදාළ ධර්මය පාරිශුද්ධ ලෙසම අනුගමනය කරනවායැයි කියන ථෙරවාද මහනායක හිමිවරුන් සමාන අවස්ථා තබා මූලික අවශ්‍යතා ඉටු කරගැනීමට පවා භික්ෂුණීන්ට වැට කඩුළු බැඳීම අවාසනාවන්ත තත්ත්වයකි.

- පොතුහැර සමන්තභද්‍රිකා භික්ෂුණීන්වහන්සේ
පුද්ගලයෙකුගේ අනන්‍යතාව තහවුරු කරන ප්‍රධාන ලේඛනය අහිමි කරලීම නිසා භික්ෂුණීන්ට විදේශ ගමන් බලපත්‍රය සකස් කරගැනීමට නොහැකි වී තිබේ. දඹදිව බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කරගැනීමේ ආගමික වුවමනාව සාකෂාත් කර ගැනීමේ අවස්ථාව පවා එමගින් භික්ෂුණියට අහිමි කර තිබේ.
“මගේ හැඳුනුම්පත 2004ට කලින් හදපු එකක් නිසා ඒකෙ භික්ෂුණී කියන තත්ත්වය තියෙනවා. මගේ අයිඩින්ටි කාඩ් එක දැන් මැකිලා ගිහිල්ලා, මම පාස්පෝට් එක හදාගෙන තිබුණ නිසා මගේ අවශ්‍යතා සඳහා හැඳුනුම්පත විදියට ඉදිරිපත් කරන්නේ පාස්පෝට් එක. නමුත් ලබන අවුරුද්ද වෙනකොට මගේ පාස්පෝට් එක අලුත් කරන්න ඕනේ. එතැනදී මට මගේ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරන්න වෙනවා. එතනදි මට මොකක් කරන්න වෙයිද දන්නේ නෑ. පාස්පෝට් එකත් හදා ගන්නේ නැතුව ඉන්නයි වෙන්නේ.” කොත්මලේ සිරි සුමේධා භික්ෂුණිය පැවසුවාය.
ජාතික හැඳුනුම්පත නොමැතිවීම ප්‍රජාතන්ත්‍රවාදී රජයක පුරවැසියාගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන වැදගත්ම අවස්ථාවක් වන ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අහිමි කිරීමට හේතු වේ. මැතිවරණවලදී ඡන්ද භාවිතය සඳහා භික්ෂුණීන් වෙනුවෙන් වෙනම හැඳුනුම්පතක් ලබා දෙන ලෙසට මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2020 මැතිවරණයේදී යෝජනා කළද ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පමණක් තනිව තීරණය කළ නොහැක්කක් බව මැතිවරණ නිරීක්ෂක ආයතන පෙන්වා දෙයි.
වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ භික්ෂුණීන්වහන්සේලා 8000කට අධික ප්‍රමාණයක් සිටියද එකී භික්ෂුණීන් අතුරින් ජාතික හැඳුනුම්පත හිමිව පවතින්නේ 350කට ආසන්න පිරිසකට පමණි. එනම් ඉතිරි 7650කට ආසන්න භික්ෂුණීන් පිරිසකට තම ප්‍රජාතන්ත්‍රීය භාවිතය භුක්ති විඳීම අහිමි කර ඇත්තේ ශ්‍රී ලංකා “ප්‍රජාතාන්ත්‍රික” සමාජවාදී ජනරජය විසින්ම ය.

-නීතිවේදී ශාස්ත්‍රපති පූජ්‍ය බැරගම පියරතන ස්වාමීන්වහන්සේ
එකම නිකායක- වෙනස් තර්ක
සියම් නිකායේ පාර්ශවයක් වන රන්ගිරි දඹුලු පාර්ශ්වයේ ආශිර්වාදය හා අනුග්‍රහය ඇතිව ආරම්භ කළ මෙම භික්ෂුණි ශාසනය පිළිගැනීම සියම් නිකායේම තවත් පාර්ශ්වයන් දෙකක් වන මල්වතු සහ අස්ගිරි යන පාර්ශ්ව ද්විත්වය ප්‍රතික්ෂේප කරන්නේ එකී උපසම්පදාව සම්බන්ධයෙන් වන තාක්ෂණික ගැටලු පිළිබඳ සාවද්‍ය මත ඉදිරිපත් කරමිනි.
ඉන් පළමු කොටම ඉදිරිපත් වන විරෝධාකල්පය වන්නේ මෙම භික්ෂුණීන් උපසම්පදාව ලබන ලද්දේ මහායාන සම්ප්‍රදාය අනුගමනය කරන භික්ෂුණීන් වෙතින් බවත්, ශ්‍රී ලංකාව ථේරවාද සම්ප්‍රදාය අනුගමනය කරන ශාසනයක් පවතින රටක් බැවින් එකී මහායාන භික්ෂුණීන් වෙතින් ලද උපසම්පදාව මෙරටදී පිළිගැනීමට නොහැකි බවයි. ලංකාවේ වර්තමාන භික්ෂුණී ශාසනය පිහිටුවා ඇත්තේ උභතෝ සංඝයාගෙනි. එනම් භික්ෂු භික්ෂුණී දෙපාර්ශ්වයේම සහභාගීත්වයෙනි.

“ශ්‍රී ලංකාව, තායිලන්තය, නේපාලය, චීනය යන රටවල්වල භික්ෂුණීන්වහන්සේලා කණ්ඩායම් එම අවස්ථාවේ උපසම්පදාව ලබා ගැනීමට සහභාගී වී සිටියා. අපි ලංකාවේ ඉඳන් ථේරවාද සම්ප්‍රදායට අදාළ අපේ සිවුරු පිරිකර සියල්ල රැගෙන ගොස් තිබුණේ. කාර්ම වාක්‍ය කීමෙන් පසු අපි අප රැගෙන ගිය සිවුරු පිරිකර පොරවගත්තා. මහායාන සම්ප්‍රදාය තිබෙන රටවල සිට පැමිණි අය සිදු කළ වතාවත් අපේ කණ්ඩායම සිදු කළේ නෑ. අපි උපසම්පදා වුණේ ලංකාවේ තියෙන ථේරවාද ක්‍රමයටයි. මේ උපසම්පදාව ප්‍රතික්ෂේප කරන අය අපි එදා උපසම්පදා වූ ආකාරය දුටුවානම් සමහරවිට ඔවුන් අපි මහායාන යයි කියන චෝදනාව එල්ල නොකරාවි”
ඉහත කී විරෝධාකල්පය පිළිබඳ අදහස් දක්වන ආචාර්ය දානියගම ආනන්ද ස්වාමින්වහන්සේ මෙසේද පැවසූහ. “ථේරවාද සම්ප්‍රදායට අනුව භික්ෂූන් රුක්ෂ මූල ගත විය යුතුය, පිණ්ඩපාතයෙන් පමණක් යැපිය යුතුයි, ඒ වගේම ඔවුන් දැරිය යුත්තේ පාංශුකුල සිවුරු පමණයි, ඔවුන් අසනීපයකදී ඖෂධ ලෙස භාවිත කළ යුත්තේ කොළ පොතු සහ ගව මුත්‍රා පමණයි. නමුත් ලංකාවේ මොන භික්ෂුවද ඔය කියන ථෙරවාද සම්ප්‍රදාය අනුගමනය කරන්නේ?”
එසේම විනය පිටකයට අනුව යම් යමෙකුට භික්ෂුවකගේ හෝ භික්ෂුණියකගේ උපසම්පදාවට විරුද්ධ විය හැක්කේ සංඝයා රැස්ව උපසම්පදා විනය කර්මය සිදු කරන අවස්ථාවේදී පමණකි. එකී කටයුත්තේ යම් ධර්ම හෝ විනය ගැටලුවක් පවතීනම් ඒ සම්බන්ධයෙන් විරුද්ධත්වය එම අවස්ථාවේදීම ප්‍රකාශ කළ යුතු වේ. උපසම්පදාව සිදු කරන මොහොතේ සීමා මාලකයේ රැස්ව සිටින උභතෝ සංඝයාගෙන් එවැනි විරෝධයක් පවතීද යන්න තෙවරක්ම විමසනු ලැබේ. එසේ විරෝධයක් නොදක්වන්නේ නම් උපසම්පදාව ලබා දුන් බව ප්‍රකාශ කරයි.
විහාර හා දේවාල ගම් පනතේ සීමා
භික්ෂුණී පර්ෂදය සඳහා රජය වෙතින් එල්ල වන විරෝධය සහ නොසලකා හැරීම උග්‍ර වීමට බලපෑ ඇති තවත් කාරණයක් වන්නේ 1931 අංක 19 දරන බෞද්ධ විහාර හා දේවාල ගම් පනත තුළ භික්ෂුණීන් සම්බන්ධයෙන් ප්‍රතිපාදන අඩංගු නොවීමයි. යටත් විජිත සමයේ බෞද්ධ විහාරයන්හි දේපළ සහ ඒවායේ ක්‍රියාකාරිත්වය නියාමනය කරනු වස් බ්‍රිතාන්‍ය පාලනය විසින් පැනවූ මෙම නීතිය තුළ භික්ෂුන් සහ දසසිල් මාතාවන් යන දෙපිරිස පමණක් අඩංගු කොට ඇත්තේ එම කාල සීමාව වන විට මෙරට භික්ෂුණී පර්ෂදයක් නොපැවතීම නිසාය.
නමුත් 1998න් පසු වසර 25ක් මුළුල්ලේ අඛණ්ඩව පවත්වාගෙන එන භික්ෂුණී ශාසනය පිළිබඳව මෙම පනතට ප්‍රතිපාදන අඩංගු කරමින් පවතින නීතිය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය මතුව ඇත. විශේෂයෙන්ම මෙම පනත තුළ භික්ෂුණීන් වැඩ වාසය කරන විහාර සහ ආරාම පිළිබඳ තොරතුරු බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරලීම නිසා එකී පනත හරහා අනෙකුත් ආගමික ස්ථාන රජයෙන් ලබන ප්‍රතිලාභ සහ බදු සහනයන් හිමිකම් අහිමි වේ.

මානව හිමිකම් කොමිසමේ තීරණය

ත්‍රෛනිකායන්ට අයත් මෙරට ස්ථාපිතව පවතින භික්ෂු පාර්ශවයන් 31 අතුරින් සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි යන පාර්ශ්ව ද්විත්වය පමණක් දක්වන විරෝධය සලකමින් සහ අනෙකුත් පාර්ශව 29ක එකඟතාවය නොසලකා හරිමින් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සිදු කර ඇත්තේ අත්තනෝමතික ක්‍රියාවක් බව පැහැදිලිය.
මීට එරෙහිව කරුණු දක්වමින් වගඋත්තරකරුවන් පෙන්වා දුන්නේ 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනතේ භික්ෂුණීන් පිළිබඳව ප්‍රතිපාදන අඩංගු නොවන අතර රජය නිලධාරීන් ලෙස තමන් මහනායක ස්වාමින්වහසේගේ උපදෙස් අනුව ක්‍රියා කළ යුතු බැවින් මේ සම්බන්ධව පවත්නා නීතිරීති හා රෙගුලාසි වෙනස් කිරීමට හෝ ඊට අලුතින් යමක් එක් කිරීමට තමන්ට බලයක් නොමැති බවයි.
දෙපාර්ශවයේම කරුණු සලකා බැලු කොමිසම දන්වා සිටියේ වගඋත්තරකරුවන් විසින් ඒකපාර්ශවීය තීරණ ගැනීම මගින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12 (1),12(2) සහ 14 (1) (ඉ) ව්‍යවස්ථාවන් උල්ලංඝනය කර ඇති බවයි. එසේම 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් අඥා පනතින් සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ටහ්වේ 09 වන ව්‍යවස්ථාවේ මගින් බුදු දහම ආරක්ෂා කරලීමට වග උත්තරකරුවන් වෙත පවරා ඇති වගකීම ඔවුන් නිසි ලෙස සිදු කර නොමැති බවයි.
එසේම ශ්‍රී ලංකා කාන්තා ප්‍රඥප්තියේ 14 වන වගන්තියට අනුව රජය විසින් සමාජීය හා සංස්කෘතික ප්‍රලේඛනයන් හා භාවිතයේදී පිරිමි හා කාන්තා ලෙස වෙනස්කමකට භාජනය කර සලකනු ලැබීමට හේතු වන සියලුම කාරණාවන් ඉවත් කළ යුතුය යන්නද අවධාරණය කරමින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාව හරහා තහවුරු කර ඇති බුදු දහම පෝෂණය කිරීමේ ආරක්ෂා කිරීමේ හා එහි උන්නතියට කටයුතු කිරීමේ වගකීම යටතේ වගඋත්තරකරුවන් විසින් අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කර ඒ සඳහා සුදුසු ගිහි පැවදි විද්වත් සභාවක් පත් කර ගනිමින් ඒ මගින් ගැටලු විසදීමට අවශ්‍ය පියවර ගත යුතු බවට නිර්දේශ නිකුත් කරන ලදි. නමුත් කනගාටුවට කරුණ නම් එකී නිර්දේශය ලබා දී දැන් වසර 8කට ආසන්න කාලයක් ගතව ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් වගඋත්තරකාර පාර්ශ්වය ගෙන නොතිබීමයි.

මේ සම්බන්ධයෙන් වර්තමානය වනවිට රන්ගිරි දඹුලු විහාර පාර්ශවයේ මැදිහත්වීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග වෙමින් පවතින අතර එහිදී ඔවුන් ඉල්ලා සිටින්නේ ආගමික කරුණු පසෙක තබා පුරවැසියෙකු ලෙස හිමි විය යුතු මූලික අයිතවාසිකම් භුක්ති විඳීමට අගතියට පත් පාර්ශ්වයට ඉඩ ලබා දෙන ලෙසයි.
අධිෂ්ඨානශීලී දෑසින් යුතුව සිය අදහස් දැක්වීම අවසානයේ කොත්මලේ සිරි සුමේධා භික්ෂුණීන්වහන්සේ මෙසේ පැවසූහ.
“භික්ෂුණී ශාසනය නැවත පිහිටුවීම බුද්ධාගමේ පරිහානියට හේතු වෙනවා කියා ඇතැම් පාර්ශ්ව පැවසුවත් 1998 සිට වසර 25ක් අපි භික්ෂුණී ශාසනය රැකගෙන ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ වගේම භික්ෂුණී ශාසනය බුදුදහමේ වර්ධනයට මිසක් පරිහානියට කිසිම දෙයක් මේ දක්වා කර නෑ. අපිට අපේ අයිතිවාසිකම් ඉල්ලා පාරට බහින්න අකැපයි. නමුත් ඒ සම්බන්ධයෙන් අපි මේ රටේ තියෙන ඉහළම අධිකරණයෙන් යුක්තිය ඉල්ලා සිටිනවා.”
“1998දී රංගිරි දඹුල්ලෙන් පටන් ගත්ත මේ පියවර අද වෙනකොට ලංකාව පුරාම පැතිරිලා තියෙනවා. මේකට මුලින් විරුද්ධ වෙච්ච දසසිල් මාතාවන් අද වෙනකොට වැඩි වැඩියෙන් උපසම්පදාව ලබන්න ඉදිරිපත් වෙනවා. ඒ වගේම රාමඥ්ඥ නිකාය අද වෙනකොට මේ භික්ෂුණී උපසම්පදාව පිළිඅරගෙන තියෙනවා. කිහිප දෙනෙකුගේ පුරුෂාධිපති බමුණු මත පිළිඅරගෙන රජය විසින් භික්ෂුණීන්ට කර ඇත්තේ බලවත් ආසාධාරණයක්. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වරද නිවැරදි කර භික්ෂුණියට හිමි විය යුතු සමාන සැලකීම ලබාදේ යැයි අපි විශ්වාස කරනවා.“

thiwankanawarathna1995@gmail.
(උපදේශනය සහ අනුග්‍රහය ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා ආයතනයෙනි)
'ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා' වෙනත් ලිපි :
10- සංහිඳියාවේ අත්වලින් ගිලිහුණු උතුරේ ගෘහ මූලික කාන්තාවෝ -(මෙලනි මානෙල් පෙරේරා)
08-නව ලොවකට පාර සොයන නොච්චිකුලමේ තෙළිඟු වංශිකයෝ -(මංගලනාත් ලියනආරච්චි)
07- උදුරා දැමුණු ජීවිත අතරින් ඇසෙන මේරිඅම්මාගේ කතාව - (විකුම් ජිතේන්ද්‍ර)
06- මුල් අදින්නට පොළොවක් සොයන වතුකරයෙන් පිටමංවූවෝ - (සඳරැසී සුදුසිංහ)
05- සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව : අකමැති සිරුරකින් නිදහස් වීමේ අරගලය! - (ටිරන් කුමාර බංගගමආරච්චි)
04- දොස්තර කෙනෙකුත් ඉංජිනේරුවෙකුත් හැදූ තෙළිඟු පරපුරේ හෙට දවස - (ලක්මාල් කේ. බදුගේ)
03- ආර්ථික යුද්ධයෙන් බැටකන නැගෙනහිර යුද වැන්දඹුවෝ
02- ආබාධිත ළමා සොල්දාදුවන්ගේ නොනිමි ජීවන අරගලය! - (වසන්ත චන්ද්‍රපාල)
01- එමලියනා, ෂෙරීන් සහ දිනිති! - මව්බසත් අමතක වී යන කැෆර්වරුන්ගේ කලදවස - (හර්ෂා සුගතදාස)