"මගෙ පළවෙනි දුව ලැබෙනකොට මම හිටියෙ රට. ඒකත් ලංකාවේ මැනේජ්මන්ට් එකක් [ආයතනයක්]. [මට ලංකාවට] එන්න දුන්නෙ නෑ.

මාස නවයකින් මම දරුව අතට ගත්තේ... ඒ අසරණ හැඟීම කියන්න වචන නෑ," ජනක ප්‍රසන්න කුරුප්පු මා හා පවසයි.

ජනක මේ අදහස පළකළේ, 'පීතෘ නිවාඩුව' සම්බන්ධයෙන් අප පියවරුන්ගෙන් අදහස් විමසූ අවස්ථාවක දී ය. මව්වරුන්ට මාතෘ නිවාඩුවක් ලැබෙන්නා සේම, පියවරුන්ට ද 'අඩුම මාස තුනක්වත්' නිවාඩු ලැබිය යුතු ය යන්න ඔහුගේ මතය වෙයි.

අතීතයේ දී දරුවන් හදා වඩා ගැනීම සම්බන්ධයෙන් වැඩි බරක් පැටවුණේ මව මත ය. පියා රැකියාවෙහි යෙදුනු අතර මව ඥාතීන්ගේ ද උපකාර ඇතිව දරුවන් සම්බන්ධ වැඩි වැඩ කොටස ඉටු කළා ය.

නමුත් වර්තමානය වන විට ලෝකය වෙනස්වෙමින් තිබේ. මව්වරු දැන් රැකියාවන්හි නිරතවෙන අතර, අලුත් පියවරු ද මව්වරු තරමටම දරුවන්ගේ වැඩකටයුතු සඳහා සක්‍රීයව සහභාගී වෙති. නමුත් ශ්‍රී ලංකා නීතිය වත්මන් ලෝකයට ගැලපෙන ලෙස යාවත්කාලීන නොවීම හේතුවෙන් මේ පියවරු අසාධාරණයකට මුහුනදෙති.

ශ්‍රී ලංකාවේ කම්කරු හා සේවා නියුක්ති නීති තුළ මාතෘ නිවාඩු සඳහා ප්‍රතිපාදන ඇතත්, පීතෘත්ව නිවාඩු සඳහා ප්‍රතිපාදන නැත. ආයතන සංග්‍රහයට අනුව රජයේ නිලධරයෙකුගේ භාර්යාවට දරුවෙකු ඉපදුනුකල අදාළ නිලධාරියාට තෙදිනක කෙටි පීතෘත්ව නිවාඩුවක් ලැබෙයි.

නමුත් පීතෘ නිවාඩුවක අවශ්‍යතාව කුමක් ද? එහි වැදගත්කම කුමක් ද?

දරු උපතක් සඳහා නිවාඩු ලබාදීමේ අරමුණ කුමක් ද?

යුනිසෙෆ් සංවිධානයට අනුව, දරුවෙකුගේ දිවියේ මුල් වසරවල දී පවුලකට සහයෝගය සැපයීමෙහි ලා මාතෘ හා පීතෘ නිවාඩු පිළිබඳ ප්‍රතිපත්ති ඉතා වැදගත් කාර්යයභාරයක් ඉටුකරයි.

මාතෘ නිවාඩුව මඟින්, මව්වරුන්ට ඔවුන්ගේ ගර්භනීත්වයෙන් හා දරු උපතෙන් පසු සුවපත්වීම සඳහා ඉඩ සලසන අතර දරුවා හා බැඳීමක් ගොඩනගා ගැනීමට ඉඩකඩ සලසයි. එසේම, වැටුප් සහිත නිවාඩු ලබාදීම හා ඔවුන්ගේ රැකියාව සුරක්ෂිත කිරීම හරහා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය පවත්වාගැනීමටත්, රැකියා වෙළඳපොළ සමග ඇති බැඳීම පවත්වාගැනීමටත් අවස්ථාව ලැබෙයි.

පීතෘ නිවාඩු ලබාදීම හරහා, දෙමාපිය යුවළ අතර දරුවාගේ කටයුතු වඩාත් සාධාරණ ලෙස බෙදීම ප්‍රවර්ධනය කළ හැකි අතර, පියවරුන්ට ඔවුන්ගේ දරුවන් සමග බැඳීමක් ගොඩනගා ගැනීමට ද උපකාරී වේ.

පිතෘ නිවාඩුව වැදගත්වන්නේ ඇයි?

පීතෘ නිවාඩුවක් ලබාදීම මඟින්, දරුවාගේ ප්‍රථමික රැකබලාගන්නා වන භූමිකාවෙහි කටයුතු කිරීමට පියවරුන්ට අවස්ථාව සැලසෙන අතර අදාළ භූමිකාවේ විශේෂ අභියෝගයන් හඳුනාගැනීමට හා අගය කිරීමට ඔවුන්ට හැකි වේ.

ශාරීරික අපහසුකම් ද ඇතිව නව අභියෝගයකට මුහුණ පා සිටින මව මත පැටවී ඇති පීඩනය අඩු කිරීමට ද එය උපකාරී වේ. මවගේ හා දරුවාගේ ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ද එය හේතුවෙයි.

එසේම, දිවියේ මුල් සමයේ දී පියවරුන් දරුවාගේ කටයුතු සඳහා දක්වන සහභාගීත්වය, දරුවාගේ බුද්ධි ඵලය (IQ), මානසික සහ ශාරීරික සෞඛ්‍යය, අනාගත වෘත්තීය සාර්ථකත්වය සහ සතුට කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනබව විද්‍යාත්මක පර්යේෂණ මඟින් පෙන්වා දී තිබේ.

පීතෘ නිවාඩුව කුමනාකාරයෙන් වැදගත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන, කොළඹ විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය හේමන්ත සේනානායකගෙන් අදහස් විමසීමු.

"දරුවෙකු ප්‍රසූත කරලා මුල් දවස්වල, ඉතාමත්ම ලොකු පීඩනයක් [තියෙනවා] අම්මට. ඒ පවුලේ හැමෝටම, විශේෂයෙන්ම මවට ලොකු පීඩනයක්. ඉතින් ඒ මවට සහයෝගයට උදව්වට කවුරුහරි ඉන්න එක ඒ මවට ලොකු හයියක්. ඒ කියන්නේ, අපි දන්නවා අර මානසික අතින් වුණත් ඩිප්‍රෙෂන් - මානසික අවපාතය - ඒවා ඇතිවෙන්න පුළුවන් ඒ මුල් දවස්වල, මොකද එච්චර ලොකු පීඩනයක් ඒ මවට," මහාචාර්ය සේනානායක මෙහිදී බොහෝදෙනා නොසලකන පැත්තක් ද අප වෙත ගෙනහැර පෑවේ ය.

පීතෘ නිවාඩුවක් ලබාදීම සම්බන්ධයෙන් අප සමාජ මාධ්‍ය හරහා සිදුකළ විමසීමක දී, මව්වරුන් විසින් මෙම අදහස අනුමත කරමින් අදහස් පළකර තිබුණි.

"පළවෙනි පාර බබාට අවශ්‍ය නොවුණාට හාපුරා කියලා මවක් වෙන බිරිඳට ඒ වෙලාවෙදි සැමියාගේ සහය අත්‍යවශ්‍ය යි. අම්මා තාත්තා කවුරු හිටියත් තමන්ගෙ දරුවගෙ තාත්තා එතන ඉන්න එකෙන් ලැබෙන ශක්තිය ලැබෙන්නේ නෑ," මවක් වන වෛද්‍ය අනුපමා වර්ණසූරිය එහිදී පැවසුවා ය.

faher 1

එසේම, ශ්‍රී ලාංකික මවුන්ගෙන් 43%ක් පමණම සිසේරියන් සැත්කම් මඟින් දරුවන් බිහිකරන වග ද විශේෂඥ වෛද්‍ය හේමන්ත සේනානායක සිහිපත් කළේ ය.

"සිසේරියන් සැත්කමක් කළාම මවට ඒකෙ කැක්කුම එහෙම වැඩියිනේ. ඉතින් මවට අවශ්‍ය කරන උදව්ව අනිවාර්යයෙන්ම වැඩිවෙනවා. ඉතින් එතන දීත්, ලංකාවේ පියාට ලැබෙන නිවාඩුව වැදගත් වෙනවා.

"බබෙක් හම්බවෙලා දවස් දෙකකින් තාත්තා කෙනෙක්ට නැවත වැඩට යන්න සිද්ධවෙනවා කියන එක ගත්තොතින්, මම හිතන්නේ එයාගේ ඵලදායීතාවටත් ඒක බලපායි. මොකද, ගෙදර බබාලා හුඟක් වෙලාවට රෑ එළිවෙනකල් ඇහැරිලා, ඒකට උදව් කරලා, වැඩ කරන එක - සමහර අය පුද්ගලිකවවත් මුහුණදීපු දේවල් මේවා. ඉතින් කෙලින්ම වැඩට යනවා කියන එකත් ලොකු අභියෝගයක්," මහාචාර්යවරයා අදහස් දැක්වීය.

එවැනි කාරණා සැලකූකල, පීතෘ නිවාඩුව ලබාදීම යනු අප විසින් සලකා බැලිය යුත්තකැ යි ඔහු ප්‍රකාශ කරයි.

මාතෘ නිවාඩුව දීර්ඝ කිරීම හරහා "අපි රටක් හැටියට හුඟක් ඉදිරියට ආවා,"යි ද සඳහන් කරන මහාචාර්යවරයා, පීතෘ නිවාඩුවක් ලෙස දෙසතියක හෝ නිවාඩුවක් අනුමත කෙරෙන්නේ නම් යහපතැ යි සිය අදහස් පැවසීය.

දරුවෙකු ඉපදුණු විගස මවගේ පපුව මත තබා සමට-සම ස්පර්ශය ලබාදීම 'bonding' හෙවත් මව හා දරුවා අතර බැඳීම වැඩි කිරීමට දායක වෙයි. මෙයම පියා හා දරුවා අතර ද ඇතිකළ හැකිබවට දැන් සාක්ෂි තිබේ.

"අම්මත් එක්ක ඉක්මන් සමට-සම සම්බන්ධයක් තිබුණොතින්, ඒකෙදි බොන්ඩින් එක වැඩිවෙනවා, මව්කිරි දීම වැඩිවෙනවා, හිතකර සාධක වැඩිවෙනවා කියලා [දත්ත ගොඩක්] තියෙනවා. ඒක නිසා තමයි දැන් අපි ඩිලිවරි එකක් කරනකොට, බබාව ඩිලිවර් කරන්නේ කෙලින්ම අර ස්කින් ටු ස්කින් තියනවා අම්මගෙ බඩ උඩ හරි පපුව උඩ හරි...

"එතකොට දැන් මේකෙදි තාත්තගෙ සමට-සම ස්පර්ශය ගැන දත්ත නැහැ. හැබැයි ඒ තියෙන පොඩි දත්ත ටිකෙන් කියන්නෙ, තාත්තත් එක්ක ස්කින් ටු ස්කින් - ඒ කියන්නේ හුඟ වෙලාවක් නොවෙන්න පුළුවන් - මිනිත්තු කීපයකට හරි හමේ ගෑවිලා, හමට-හම, ස්කින් ටු ස්කින් තියාගෙන ඉන්නවා නම් ඒ තාත්තත් එක්ක බොන්ඩින් එක වැඩිවෙනවා කියලා පෙන්නවා. නමුත් එච්චරම රීසර්ච් සිදුකරලා නෑ ඒ ගැන," මහාචාර්ය සේනානායක වැඩි දුරටත් සඳහන් කළේ ය.

නීතිමය පසුබිම

ප්‍රසූත නිවාඩු ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින මූලික පනත් දෙකකි. එනම්, 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනත හා 1939 අංක 32 දරන ප්‍රසූතිකාධාර ආඥා පනත යි. මේවා මාතෘ නිවාඩු ලබාගැනීමේ දී බලපැවැත්වෙයි.

ශ්‍රී ලංකාවේ ආයතන සංග්‍රහයට අනුව, වැඩ කරන දින තුනක පීතෘත්ව නිවාඩුවක් ගැනීමේ අවසරය ශ්‍රී ලාංකික පියවරුන්ට ලබා දී තිබේ.

කම්කරු නීතිය පිළිබඳ විශේෂඥයෙකු වන, කොළඹ විශ්වවිද්‍යාලයයේ නීති පීඨයේ මහාචාර්ය ඒ. සර්වේස්වරන්ගෙන් අපි මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීමු.

"පීතෘ නිවාඩුව [නීතියෙන්] දෙනවා ආණ්ඩුවේ රැකියා කරන අයට. පුද්ගලික අංශයේ වැඩ කරන අයට මේ පීතෘ නිවාඩු දෙන්න ඕනේ කියලා අපේ රටේ පනත් මුකුත් නෑ. නමුත්, මේක දෙන්න වෙනවා - අපි කියමු, කෙනෙක් වැඩට ගන්න වෙලාවේ එයාට දෙනවා පත්වීම් ලිපිය. මේ පත්වීමේ ලිපියේ දාලා තියෙනවා නම් මෙහෙම [පීතෘ නිවාඩු] දෙනවා කියලා, අනිවාර්යයෙන් දෙන්න ඕන," මහාචාර්ය සර්වේස්වරන් අප හා පවසයි.

එසේ නොමැති නම්, "වෘත්තීය සංගම්වලට සාකච්ඡා කරලා සාමූහික ගිවිසුමකට යන්න පුළුවන්... එහෙම ගිවිසුමකට යනවා නම්, ඒ ගිවිසුමේ දාලා තියෙනවා නම් පීතෘ නිවාඩු මෙච්චර දවස් දෙනවා කියල, ඒක දෙන්න වෙයි," මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.

"අනිත් එක, යම් ආයතනයක ප්‍රැක්ටිස් එකේ තියෙනවා නම් 'පීතෘ නිවාඩු දෙනවා' කියලා, දෙන්න වෙයි. නැත්නම් දෙන්න අවශ්‍ය නෑ. [මේ සම්බන්ධ] පනත් මොකවත් නෑ."

කෙසේ නමුත්, ශ්‍රී ලංකාවේ ඇතැම් පෞද්ගලික ආයතන සාධාරණත්වය හා අන්තර්කරණය තහවුරු කිරීමේ උත්සාහයක් ලෙස, සති කීපයක සිට මාස කීපයක් දක්වා වන පීතෘ නිවාඩුවක් ලබාදෙයි.

පීතෘ නිවාඩුව ලබාදීම සම්බන්ධයෙන් ඔහුගේ අදහස විමසූකල, කම්කරු නීතිය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්යවරයා ප්‍රකාශ කළේ මෙවැනි කාරණාවන්හි දී අප සේවක හා සේවායෝජක යන දෙපාර්ශවයම සළකා බැලිය යුතුබවකි.

"මෙතන තියෙන ගැටලුව මේක යි; ශ්‍රී ලංකාවේ සාමාන්‍ය කම්කරු කටයුතු සම්බන්ධ පනත යටතේ, අපි සාමාන්‍යයෙන් නිවාඩු වැඩියෙන්ම තියෙන රටක් ශ්‍රී ලංකාව. අපි හැම පෝයටම නිවාඩු දෙනවා. හින්දු ආගමේ අයට උත්සවයක් තියෙන දවසෙ නිවාඩු දෙනවා ඔක්කොටම. ඉස්ලාමීය ආගමේ අයට දෙන්න තියෙන නිවාඩු ඔක්කොටම දෙනවා. ක්‍රිස්තියානි, බෞද්ධ අයට [විතරක්] දෙන්න තියෙන නිවාඩු ඔක්කොටම දෙනවා. ඒ විදියට අපේ රටේ නිවාඩු වැඩියෙන් තියෙනවා. ඒක එක ප්‍රශ්නයක්.

"තව ප්‍රශ්නයක් තියෙනවා... උදාහරණයක් විදියට, සාප්පු හා කාර්යාල සේවක පනත යටතේ කලින් තිබුණේ, පළමු ළමයි දෙන්නට විතරයි දවස් 84 ලැබුණේ. ළමයි දෙන්නට වඩා වැඩි නම් දවස් 42 යි දුන්නේ. පස්සේ, 2018 දී සංශෝධනය ආවාට පස්සේ ඒවා බලන්නේ නෑ. ළමයි කීදෙනෙක් ද කියලා මුකුත් බලන්නේ නැතුව ඔක්කොටම වැඩ කරන දවස් 84 දෙන්න වෙනවා. වැඩකරන දවස් 84 නම්, නිවාඩු ඔක්කොම ගත්තොත් 100ට වැඩිය දවස් එනවා."

father 2

මේ කාලය තුළ ගෙවිය යුතු වැටුප් ආදිය සේවායෝජක සමාගම විසින් ගෙවිය යුතුවීම, ආයතන අතින් ගත්කල ගැටලුවක්බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

"අපි වෙන වෙන රටවල්, සංවර්ධිත රටවල් ගත්තොත්, ඒ රටවල සමාජ ආරක්ෂණ වැඩසටහන් තියෙනවා, ඒවායින් ගෙවනවා. නැත්නම් ආණ්ඩුව බාගයක් ගෙවනවා. අපේ රටේ එවැනි සමාජ ආරක්ෂණ වැඩසටහන් මොකවත් නෑ, අනිත් එක ආණ්ඩුව මුකුත් ගෙවන්නෙ නෑ. ඒ නිසා සේවායෝජකයා තමයි මේ කාලයෙ වැටුප් ගෙවන්න ඕනේ.

"ඒ වගේම, මේ [සේවකයා] මාතෘ නිවාඩුවේ ඉන්න කාලය සඳහා තාවකාලිකව [සේවකයෙක්] ගන්න ඕනේ. එයාටත් වැටුප් ගෙවන්න ඕනේ. ඒ විදියෙ බර වැඩියෙන්ම තියෙන්නෙ සේවායෝජකයා මත... එතකොට නිවාඩු වැඩියෙන්ම තියෙන රටකුත් ශ්‍රී ලංකාව. [සේවායෝජකයාට] බර වැඩියෙන් වැටෙන රටකුත් ශ්‍රී ලංකාව... එතකොට පීතෘ නිවාඩුව තියෙනවා නම් ඒකට ගෙවන්න වෙන්නෙත් සේවායෝජකයාට," ඔහු ප්‍රකාශ කරයි.

"ඒ නිසා මම හිතන්නේ, සමාජ ආරක්ෂණ වැඩසටහන් තියෙනවා නම්, [හෝ] ආණ්ඩුව ගෙවනවා නම් කමක් නෑ... නමුත් මේ විදියට යනවා නම් අපේ රටේ ඉන්වෙස්ට්මන්ට්ස්වලට හොඳ නෑ. පස්සෙ ඉන්වෙස්ටර්ස්ලා අපේ රටට එන්නේ නෑ. ඒගොල්ලො වෙන වෙන රටවලට යනවා," ඔහු මෙහි ප්‍රයෝගික ගැටලුවක් පෙන්වා දුන්නේ ය.

"ඉතින් [පීතෘ නිවාඩුව] දෙනවා නම් හොඳ යි තමයි. නමුත් ප්‍රශ්නෙ එන්නේ, මේ වගේ ගැටලු තියෙන නිසා අපි තීරණයක් ගන්නවා නම් ඔක්කොම කිරලා තමයි ගන්න ඕන. එක පැත්තක් විතරක් බලලා [මෙහෙම තීරණ] ගන්න බැහැ."

පීතෘ නිවාඩුව ලබාදෙන රටවල්

යුරෝපා සංගමයේ නීති පද්ධතියට අනුව පියවරුන්ට අවම වශයෙන් සති දෙකක පීතෘ නිවාඩුවක් ලබාගැනීමේ අයිතිය තහවුරුකර තිබේ.

එහි ඇතැම් රාජ්‍යයන් දැනටමත් වැටුප් සහිත පීතෘ නිවාඩු ලබාදෙන අතර, වැටුප් සහිත පිතෘ නිවාඩුවක් රහිත ජර්මනිය 2024 සිට එවැන්නක් ක්‍රියාත්මක කිරීමට නීති සම්පාදනයකර තිබේ.

යුරෝපා සංගමයට අයත්වන රටවල් සංඛ්‍යාව 27කි.

ඊට අමතරව ජපානය, දකුණු කොරියාව, බ්‍රසීලය, කොංගෝව, උස්බෙකිස්ථානය, තජිකිස්ථානය, මොංගෝලියාව ආදී රටවල් ද, ඇතැම් අප්‍රිකානු රටවල් හා සියලුම ස්කැන්ඩිනේවියානු රටවල් ද වැටුප් සහිත පීතෘ නිවාඩු ලබාදෙයි.

මීට අමතරව, වැටුප් රහිත පීතෘ නිවාඩු ගැනීමේ ඉඩකඩ ඇතැම් රටවල් විසින් සපයා ඇත.

පියවරුන්ගේ අදහස්

පීතෘ නිවාඩුවක් ලබාදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලාංකික පියවරුන්ගෙන් අදහස් විමසූකල, ඊට පිළිතුරු දුන් බොහෝදෙනා එවැනි නිවාඩුවක් ලබාදීමට පක්ෂව අදහස් පළකළහ.

ඊට රාජ්‍ය සේවයේ මෙන්ම, පෞද්ගලික අංශයේ සේවයේ නියැලෙන තරුණ පියවරුන් ද අදහස් පළකර තිබුණි.

faher 3

father 4

ඊට අමතරව, මවුවරු ද දරු උපත්වලින් පසු ඔවුහු ලද අත්දැකීම් සමග අදහස් බෙදාගෙන තිබුණහ.

father 5
(අමන්දා අබේසූරිය)

බීබීසී සිංහල



JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්