වීදි ආහාර වෙළෙඳාම, ලොව පුරා ඉතා ජනප්‍රිය සංස්කෘතික ක්ෂේත්‍රයකි. ලංකාවේ ඉතා දුබල මට්ටමක පැවති එය මෑතක සිට වේගයෙන් වර්ධනය වෙමින් තිබේ.
එය ආරම්භ වූයේ, ආර්ථික අර්බුදයට මුහුණ දීගත නොහැකිව පීඩාවට පත් මධ්‍යමපාන්තිකයන්ගෙනි. මේ ලිපිය, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වීදි ආහාර සංස්කෘතිය හා එය පැනනැගුණු පසුබිම ගැන සිදු කළ අධ්‍යයනයක ප්‍රතිඵලයකි.
තැනෙක ගොජ ගොජ ගා පෙණ පිඬු නැඟෙන තෙල් තාච්චිවලට කෑම හෙළන වැඩකරුවන්ය. තවත් තැනෙක පොල්කටු අඟුරු දුමින් දැවෙන බීබිකිව්, පදමට පුලුස්සන කෑම බාස්ලාය; වීදුරු මත පොපියන ‘ෆුල්ජා සෝඩා’ය; ‘බාදම් කිරි’ය. තවත් තැනෙක මෙතෙක් ඇස නොගැටුණු අමුතුම අමුතු විජ්ජාවකි. ඒ අන් කවරක්වත් නොව, බිස්කට්ටුවක් කන තැනැත්තාගේ නැහැය සිසාරා දුම් කැරැලි පාවෙමින් අමුතු ආස්වාදයක් ජනිත කරවන ‘ස්මෝකි බයිට්’ය. වීදියේ කොතැන බැලුවත් අමුතු සිරියකි.
විදුලි මිණි පහන් යට හරි අපූරුවට මැවෙන මේ සුන්දර මනරම් ලෝකය ඇත්තේ කොළඹ අබ්දුල් හමීඩ් වීදියේය. අලුත්කඩේ අලුත් කරන කඩ පිරුණු මේ වීදියට ඇතුළු වන්නනන්ට, ලෝකයේ නෙක් පෙදෙස්වල කෑම වර්ගවල සුවඳ, ක්ෂණයකින් නැහැය විනිවිද යනු හැඟෙයි. ඒ තරමටම එය රසගුලාවකි; නවමු අත්දැකීමකි.
‘ත්‍රීවිල් රස්සාව එපා වුණා’
“මම කලින් රැකියාව විදියට කළේ ත්‍රීවීලර් හයර් කරන එක. පහුගිය කාලෙ තෙල් පෝලිම් නිසා ඒ රස්සාව එපා වුණා. දවස් ගණන් රෑ එළිවෙනකම් නිදි මරලා තෙල් බිඳක් හොයා ගත්තට පස්සේ හයර් යන්න මිනිස්සු නෑ. ත්‍රීවීල් හයර් එකක ගාන වැඩි වුණා. මිනිස්සුන්ට කන්න බොන්න නැතිකොට හයර් එකකට වියදම් කරන්නෙ කොහොමද? ඒ අය අත්‍යවශ්‍ය ගමන් හැර අනෙක් ගමන් නැවැත්තුවා. යන ගමනත් බස්වලින්, බයිසිකල්වලින් යන්න ගත්ත නිසා, හන්දියට වෙලා දවස පුරාම ඈණුම් ඇර ඇර ඉඳලා ගෙදර එන්න වුණා. කිව්ආර් කෝඩ්, පෙට්‍රල් ප්‍රශ්න මට ත්‍රීවීලර් රස්සාව එපා කළා.
ආර්ථික අර්බුදයේ කළු වලා රටම වෙළා ගනිද්දී, වීදියට බට වෙළෙන්දෝ රටේ ආහාර සංස්කෘතියට නවාංග එක්කාසු කළහ. එලෙස ගොඩනැඟුණු සංස්කෘතික පාරාදීස අතරට, අලුත්කඩේ, කිඹුලාවල, කැස්බෑව - පිළියන්දල අතුරු මඟ ආදී පෙදෙස් වීදි ආහාර සංස්කෘතියට අපූර්වත්වයක් ජනිත කළේය. ඒ ඒ පෙදෙසට අනන්‍ය ලක්ෂණ කැටි කර ගනිමින් ඇරැඹි මේ වීදි වෙළෙඳාමට යොමු වීමට ඔවුනට විවිධ හේතු කාරණා බලපා ඇත.
ඔවුන් වීදි වෙළෙඳාමට යොමු වීමට ප්‍රධාන වශයෙන් හේතු කාරණා කිහිපයක් බලපා තිබුණි. එම පනස්දෙනාගෙන් සියයට අටක් මේ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වී ඇත්තේ කොවිඩ්වලින් පසු රැකියාව අහිමි වීම නිසාය. රැකියාවේ වේතනය දරු පවුල රැක ගනිමින් ජීවත් වීමට ප්‍රමාණවත් නොවීම, මේ වෘත්තියට පැමිණීමට හේතු ලෙස සියයට 24ක් දෙනා පැවසූහ. අහිමි වූ රැකියාවට තාවකාලික විසඳුමක් ලෙස සියයට අටක්ද, කිරීමට වෙනත් රැකියාවක් නොමැති නිසා රැකියාවක් ලෙසම මේ වෘත්තිය තෝරා ගත් පිරිස සියයට 32ක්ද වේ. වාහනයේ ලීසිං ගෙවා ගැනීම සඳහා සියයට 4ක්ද, දෛනික අමතර වියදම් සඳහා සියයට 16ක්ද, දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වැනි වෙනත් හේතු මුල් කරගෙන මේ ක්ෂේත්‍රයට පැමිණි සියයට අටක්ද වෙති.
මේ සියලු කාරණා දෙස බලන විට පැහැදිලි වන්නේ, ආර්ථික අර්බුදයේ බලපෑම නිසාවෙන් බොහෝ දෙනා මේ ක්ෂේත්‍රයට යොමුව ඇති බවකි.
ඇඟලුමෙන්- පූරියට

“මගේ මහත්තයා රජයේ ව්‍යාපාරික ආයතනයක මැනේජර්වරයෙක්. මම ඇඳුම් මහලා කීයක් හරි හොයා ගත්තා. ඒ දවස්වල ඇඳුම් මහලා විකුණන එක ලාභ වුණාට, අමුදුව්‍ය වියදම් ඒක්ක බලද්දි දැන් ඒක පාඩුයි. අපි පාරට වැටුණෙ මේ ආර්ථික අර්බුදය නිසයි. අපි පිළියන්දල පැත්තේ කුලී නිවෙසක ජීවත් වෙන්නේ. පඩිය එක තැන තිබුණට වියදම් තුන් ගුණයකින් විතර ඉහළ ගියා. ආර්ථික ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙන්න ගත්තා. ඒ නිසා මම මාස තුනකට විතර කලින් පූරි විකුණන්න කැස්බෑව - පිළියන්දල අතුරු මඟට ආවා..
“බොහෝ අය පූරි ගෙන්වන්නෙ ඉන්දියාවෙන්. ඒත් රුලංවලින් මේ පූරි හදන්නෙ මමමයි. අල මසාලා, මී කිරි, පැණි රස කියන වර්ග තුනෙන් පූරි ගන්න පුළුවන්. මසාලා ඒකක් රු.150යි. මී කිරි ඒකක් රු.130යි. ස්වීට් ඒකක් රු.100යි. මේ වෙළෙඳාමෙන් මට හොඳ ආදායමක් හොයා ගන්න පුළුවන්. සාධාරණ මිලකට අලෙවි කරන නිසා, මට හුරු වුණ පාරිභෝගිකයො පිරිසක් ඉන්නවා.” දර්ශනී ප්‍රියංගිකා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට විසඳුම් සෙවූ හැටි පැවසුවාය.
“මම දවාලට රැකියාව විදියට කරන්නේ ත්‍රීවීලර් හයර් කරන එක. හවස හයට ගෝල්ෆේස් වඩේ තට්ටුවට එනවා. මමමයි මේ කෑම හදන්නේ. පාන්දර දෙක විතර වෙනකම් ඉස්සො වඩේ, කකුළුවො, උළුඳු වඩේ සහ රොටී විකුණනවා. බෝඩිමට ගිහින් ටිකක් නිදාගෙන ආයෙ උදේට හයර් යනවා. ඕක තමයි ජීවිතේ. හරිම දුක්බරයි. එන්න එන්නම වියදම් අධිකයි. හම්බ කරන මුදල මදි ජීවත් වෙන්න. ඒකයි මේ වගේ රස්සාවල් දෙකක් කරන්න වුණේ.”
පීඩනයෙන් මතු වූ රස!
කුඩාවට වීදි කඩයක් කරන පිළියන්දල මකුළුදූවේ ලසිතා ජයකොඩි, හොට්ඩොග්, චිකන් ශවර්මා, සැන්ඩ්විච්, සබ්මැරීන් වැනි විවිධ කෑම වර්ග සහ ඉඟුරු තේ අලෙවි කරන කාන්තාවකි. ඇයට අනුව ඇය පාරට වැටුණේ පසු ගිය කල රකුසු වෙසින් පැමිණි ආර්ථික අර්බුදය නිසාය.

ඔවුන්ට අනුව බොහෝ දෙනා ආහාර මිලදී ගැනීමට පැමිණෙන්නේ පහසුව, විවිධත්වයක් ලබා ගැනීම, කාර්යබහුල ජීවන රටාවේ ආතතියෙන් මිදීම, වීදි ආහාර සංස්කෘතිය අත්විඳීම, අලුත් නම්වලින් හැඳින්වෙන විවිධ ආහාර සංස්කෘතිවල ආහාර වර්ගවල රස බැලීම, යහළුවන්, ඥාතීන් සමඟ සුහදතාව බෙදා ගැනීම, රැකියාවේ සහ ගමන් වෙහෙස නැති කර ගැනීම ආදී බහුවිධ අරමුණු වෙනුවෙනි. සහනදායී මිලකට ආහාර මිලදී ගත හැකි වීම, ආකර්ෂණීය බව, සුහදශීලි ලෙස පිළිගැන්වීම, මිලදී ගැනීමේ පහසුව, සැකසූ මොහොතේම උණු උණුවේම ආහාරයට ගත හැකි වීම වැනි විවිධ කරුණුද පාරිභෝගික ආකර්ණයට හේතු වී තිබේ. අලුත්කඩේ සහ කිඹුලාවල වීදි ආහාර වෙළෙඳුන් පවසන පරිදි සෞඛ්‍ය පරීක්ෂකවරු නොදන්වා සිය ආහාරවල සුරක්ෂිතතාව පරීක්ෂා කිරීමට පැමිණේ. එහෙත් සමහර වීදි ආහාර එසේ පරීක්ෂාවට ලක් නොවේ.

“රජයෙන් ස්ථානයක් ලබා දීමට නියමිතයි. අපේ ගම පරිශ්‍රයෙන් කොටසක් වෙන් කරන බව ප්‍රසන්න ඇමැතිතුමා අපට කිවුවා. ඒත් තවම අපට ඒ ස්ථානය ලැබුණෙ නෑ. අපේ කමිටියේ සාමාජිකයො විස්සක් ඉන්නනවා. ඒ හැමෝටම විසඳුමක් දෙන බව ඇමැතිතුමා කිව්වා.
මෙතැනට විදේශිකයෝ, නළු නිළියො, ප්‍රභූවරු, ගායක ගායිකාවො, ධනවත් හැමෝම ආවා. ඒ අප ගුණාත්මක, පිරිසුදු ආහාර ඔවුන්ට ලබා දෙනවා කියන විශ්වාසය නිසයි. ඒ විශ්වාසය ඇති වුණේ අපේ හැම ස්ථානයකම කෑම හදන විදිය පාරිභෝගිකයන්ට බලාගෙන ඉන්න පුළුවන් නිසයි. පාරිභෝගිකයාගේ අවශ්‍යතාව අනුව අපි කෑම එක හදලා දෙනවා. අපේ දියුණුවට හේතු වුණේ එයයි. ඒත් පසුගිය කාලෙ ඇතිවුණ ප්‍රශ්න නිසා මේ වන විට මෙතැනට එන පාරිභෝගික පිරිස අඩුවෙලා.
‘විධිමත් කිරීමට සහාය වෙමු’
නන්නත්තාරේ යන වීදි ආහාර සංස්කෘතියක් නොව, පාරිභෝගිකයාට සෞඛ්‍යාරක්ෂිතව ආහාර ලබා ගත හැකි ලෙස වීදි ආහාර සංස්කෘතිය ප්‍රමිතිගතව වර්ධනය කළ යුතුය. නීතිය හා සමාජභාරය වැඩසටහන් අධ්‍යක්ෂ නීතිඥ සඳුන් තුඩුගල මෙරට වීදි ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනයට ගතහැකි පියවර පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේය.

“මෙය කර්මාන්තයක් මෙන්ම සංස්කෘතියක් ලෙස අඳුනගෙන, වීදි ආහාර ආරක්ෂිතව ජනතාවට සැපයීම සම්බන්ධයෙන් ප්‍රමිති හඳුන්වා දිය යුතුයි. දැන් තියෙන්නේ තමන්ට හිතුණාම වීදියට බැහැලා ආහාර විකුණන ක්‍රමයක්. ඒත් විය යුත්තේ යම්කිසි ප්‍රදේශයක් අඳුනගෙන, ඒ සඳහා යොමු වන අයට අවශ්‍ය පුහුණුව, සහතිකයක් දීලා, මෙය විධිමත්ව කිරීමයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විධිමත් අධීක්ෂණයක් මේ සඳහා තිබිය යුතුයි. නගරසභාව; ඊට අදාළ පාලන අධිකාරිය අවශ්‍ය පහසුකම් සලකා බැලිය යුතුයි. සමස්ත ආර්ථිකයේ ප්‍රශ්නය විසඳන්නේ නැතිව වීදි ආහාර වෙළෙඳාම ගොඩදාන්න බැහැ. ඒ නිසා සමස්ත ආර්ථිකයම ගොඩ ගැනීමේ වැඩපිළිවෙළකට පැමිණිය යුතුයි.
“කොවිඩ් ආවත්, ආර්ථික අර්බුදයක් ආවත් මේ වගේ සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ අයගේ රැකියා තමයි අහිමි වෙන්නෙ. ඒත් මේ වෙද්දි අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන තැනක් ඉෂ්ට කරන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ අයයි. ඒ අය අඳුනගෙන ආර්ථිකය තුළ ඔවුන්ගේ අභිවෘද්ධිය, ආරක්ෂාව සැලසෙන්නේ කොහොමද කියා සොයා බලලා, සැලසුම්වලට ඒවා ඇතුළත් කළ යුතුයි. මේ අයට වන හානිය පිළිබඳ රජය කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. රජයේ මූලික ආර්ථික සැලසුම්වල සුළු හා මධ්‍ය පරිමාණ අවිධිමත් ක්ෂේත්‍රයේ වෙළෙඳාම් කරන අය ආර්ථිකයේ ප්‍රධාන කොටසක් ලෙස සලකලා ගනුදෙනු කළ යුතුයි.”
පසුගිය කාලය තුළ වීදි ආහාර වෙළෙඳාම වර්ධනය වීමට බලපෑ ආර්ථික කාරණා මොනවාද? එය කෙතරම් දුරට වර්ධනය වීමේ හැකියාවක් පවතීද? කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අජිත් දිසානායක ඒ ගැන මෙසේ අදහස් දැක්වීය.

‘කාන්තා ව්‍යවසායකයන්ට ශක්තියක්’
වීදි ආහාර සංස්කෘතියක් ගොඩනැඟීමට බලපෑ සමාජ ගැටලු පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී - පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා ආචාර්ය අනූෂා වීරසිංහ මෙබඳු අදහසක් පළ කළාය.

වීදියට බැස අලුත් ආහාර සංස්කෘතියක් ගොඩනැඟුවේ ඔවුන්ය. ඒ ආර්ථික අර්බුදයේ අනිටු ප්‍රතිඵලයක් ලෙසිනි. එහෙත් ඒ සංස්කෘතිය මේ වන විට ශ්‍රී ලාංකේය සමාජය වර්ණවත් කරමින් ඇත. ඒ වර්ණවත් සිතුවම බොඳ වීමට ඉඩ නොහැර, ප්‍රමිතිගත සීමාවක් වෙත ඔවුන් රැගෙන යෑම, බලධාරීන්ගේ වගකීමය.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ඡායාරූප-
චමෝද් දෙව්මිණ
(උපදේශකත්වය හා අනුග්‍රහය ඉන්ටර්නිවුස් ආයතනයෙනි)
'ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා' වෙනත් ලිපි :
12- සෙසු ප්‍රදේශවලට වඩා දස ගුණයක් වතුකරයේ දරුවෝ පාසල් හැර යති! - (ගයාන් යද්දෙහිගේ)
11- ශාසනික හා රාජ්‍ය පුරුෂාධිපත්‍යයෙන් යටපත් කළ ලාංකීය භික්ෂුණී අනන්‍යතාව -(ගයත්‍රි නවරත්න)
08-නව ලොවකට පාර සොයන නොච්චිකුලමේ තෙළිඟු වංශිකයෝ -(මංගලනාත් ලියනආරච්චි)
07- උදුරා දැමුණු ජීවිත අතරින් ඇසෙන මේරිඅම්මාගේ කතාව - (විකුම් ජිතේන්ද්‍ර)
06- මුල් අදින්නට පොළොවක් සොයන වතුකරයෙන් පිටමංවූවෝ - (සඳරැසී සුදුසිංහ)
05- සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව : අකමැති සිරුරකින් නිදහස් වීමේ අරගලය! - (ටිරන් කුමාර බංගගමආරච්චි)
04- දොස්තර කෙනෙකුත් ඉංජිනේරුවෙකුත් හැදූ තෙළිඟු පරපුරේ හෙට දවස - (ලක්මාල් කේ. බදුගේ)
03- ආර්ථික යුද්ධයෙන් බැටකන නැගෙනහිර යුද වැන්දඹුවෝ
02- ආබාධිත ළමා සොල්දාදුවන්ගේ නොනිමි ජීවන අරගලය! - (වසන්ත චන්ද්‍රපාල)
01- එමලියනා, ෂෙරීන් සහ දිනිති! - මව්බසත් අමතක වී යන කැෆර්වරුන්ගේ කලදවස - (හර්ෂා සුගතදාස)