මුරුගේසුපිල්ලෛ කෝනේස්වරී දූෂණය කොට මරා දමා ගෙවුණු මැයි 17 වැනිදාට අවුරුදු 26කි. මරා දැමෙන විට ඇය 35 හැවිරිදි වියේ පසුවූ සිවු දරු මවකි. ඇගේ ඝාතනය පිළිබඳ, එකී වකවානුවේ ම, ම විසින් ‘’මම ලිඟුමාල වෙමි’ නමින් තරමක් ප්‍රකට වූ කවිය ලියැවිණ.



news wediwardena demala kavi book coverඑම කවියේ පාදක සටහන නොහොත් මා එහි පදනම ලෙස ගෙන තිබුණේ එකී දූෂණය හා ඝාතනය පිළිබඳ එකල කියැවුණු සහ ලියැවුණු හේතු කාරණාවන් ය. පසුව එම කවිය 2002 වසරේ ‘කඩුල්ල’ ප්‍රකාශනයක් ලෙස එළි දැක්වුණු ‘පිළිහුඩුවී’ කෘතියටත්, ඉක්බිති 2010 වසරේ ‘සූරිය’ ප්‍රකාශනයක් ලෙස එළි දැක්වුණු මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි’ කෘතියේ පසු ග්‍රන්ථයටත් එක්විය.

කෝනේස්වරී ඝාතනය හා එකී ඝාතනය සිදුකළ ආකාරය ‘සංහාරක යුද්ධයේදි, රාජ්‍ය ත්‍රස්තය පැතිරවීමේ අවියක් ලෙස ස්ත්‍රී හිංසනය හා ස්ත්‍රී දුෂණය’ යොදා ගන්නා බව තහවුරු කළ ලෝ ප්‍රකට ම්ලේච්ඡතම උදාහරණයකි. රාජ්‍ය ත්‍රස්තයේ අවියක් ලෙස යොදා ගැනෙන ස්ත්‍රී දූෂණ යුද්ධය පුරාම අඛන්ඩව සිදුවිණ.

මෙම කෝනේස්වරී සිද්ධියට අදාල බෝම්බ පිපිරවීම හා ඊට ස්ත්‍රී ලිංගේන්දයෙහි ඇති සම්භන්දය, මෙකී ස්ත්‍රී දූෂණය කෙරෙහි වන විද්‍යානුකූල සාක්ෂි විනාශ කිරීමේ උවමනාව බව පැහැදිලි නොවන්නේ ජාතිවාදය ඇඟ පුරා ඔඩු දිවූ උන්මත්තකයකුට පමණි. මෙවන් උන්මත්තකයන් වෛද්‍යවරුන් සේ වෙස්ගැන්වී රෝහළ පරිශ්‍ර පුරා මෙන්ම සමාජ මාධ්‍ය අවකාශ අරා කරක්ගසමින් සිටින්නට පවා පිළිවන.

 

koneshwary


කෝනේස්වරී ඝාතනය හා එහිදී ඇගේ ලිංගේන්ද්‍රිය පිපිරී යාම එකල ජාත්‍යන්තරයට ගිය ක්ෂමා සංවිධාන වාර්තාවේ විය. තවමත් කෝනේස්වරී සිද්ධිය පිළිබඳ වන විකිපීඩියා පිටුවේ පවා මෙම ඝාතනය හා අදාල පිපිරීම ගැන වන සඳහන එයාකාරයෙන්ම පවතී. ඉදින් මෙය ශ්‍රී ලංකා පොලිසියේ ම්ලේච්ඡතම කණ්ඩායමක් විසින් සිදුකරන ලද පාදඩම ක්‍රියාවක් බව පැහැදිලි ය.

 

පිපිරුමෙහි පදනම අත්බොම්බයක් නම්, අත් බෝම්බයක ව්‍යුහය, ‘කටර් පින්’, ‘සේෆ්ටි ලීවර්’, ‘පිපිරීමට යන කාලය’, පිළිබඳ තාක්ෂණික විකාරයක ගිල්වා සිද්ධියෙහි වන ම්ලේච්ඡත්වය තනුක කරලීමට උත්සහ කරලීම මෙකී ම්ලේච්ඡත්වය නැවත නැවතත් වර නැඟීමකි. මන්දයත් කෝනේස්වරී ඝාතනයත් එහිදී ඇගේ ස්ත්‍රී ලිංගෙන්ද්‍රීය ආශ්‍රීත ශරීරාවකාශය පිපිරී තිබීමත් විකාර තර්ක වලින් වෙනස් නොහෙන ලෙස රාජ්‍ය ත්‍රස්වාදයට අයත් ‘සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියැවී ඇති’ බැවිනි.

කෝනේස්වරීගේ පශ්චාත් මරණ පරීක්ෂය සිදු කළ වෛද්‍යවරිය වුයේ වෛද්‍ය කුමුතුණී තුරෛරත්නම් ය. කල්මු‍ණෛ මහේස්ත්‍රත්වරයා වූ ඇන්ටන් බාලසිංහම් හමුවේ පැවති  කෝනේස්වරී දූෂණ-ඝාතන මහේස්ත්‍රාත් අධිකරණ ‘නඩු විභාගයේ’දී සාක්ෂි ලබා දෙමින් ඇය මෙසේ කියා සිටියා ය. 

‘’මෙම පිපිරීම නිසා ඇගේ, වම් කළවයේ සිට වම් පස ඉකිළිය ප්‍රදේශය හරහා ස්ත්‍රී යෝනි මාර්ගයද ඉරී යන පරිදි දිගු පැල්මක් සිදුවී ඇත. මා විශ්වාස කරන පරිදි මරණයට හේතුව මෙම පිපිරීම නිසා ඇතිවුණු අධික ලේ වහණයයි.’’

පිපිරීමේ ස්වභාවය නිසා වෛද්‍ය විද්‍යානුකූලව  ඝාතනයට පෙර දූෂණයට ලක්ව ඇත්දැයි ඔප්පු කරලීමට තිබූ සාක්ෂි විනාශ වී ඇති බව ඉන් පසුව කොළඹදී  ‘සිංහල විශේෂඥ වෛද්‍යවරුන්’ සිදු කළ වඩා විධිමත් වෛද්‍ය පරීක්ෂණ විසින්  පවා පැවසිණ‍.

ඝාතනයට පෙර සිදුවූ දූෂණය ඔප්පු කළ හැකිව තිබුණේ ඇසින් දුටු සාක්ෂි විමසීමෙනි. නමුත් පොලිස් තර්ජන හේතුවෙන් ඇය ජීවත් වූ  ‘එකොළහ කොළණියෙන්’ සාක්ෂි කැඳවීම විධිමත්ව සිදු කරලීමට නොහැකි විය.

මරා දැමුණු කෝනේෂවරීගේ සිරුර කල්මුණෛ මූලික රෝහලට රැගන යාමේ භාරධූර වගකීම දරන ලද්දේ ද පොලීසිය විසිනි. මෘත සිරුර රැගෙන ගියවුන් රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කරමින් බල කර සිටියේ පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව මෘත දේහය අවසන් කටයුතු සඳහා මුදා හරින ලෙසයි. පොලීසියේ තර්ජන එයාකාරයෙන් ම බාර ගැනීමට තරම් පශ්චාත් මරණ පරීක්ෂණ ක්‍රියාවලිය දීන නොවූයෙන් ඇගේ මරණයට හේතු, සාක්ෂි වශයෙන් ඉතිරි විය. නමුත් ඒ ස්ත්‍රී දූෂණයට අදාල කොටසින් තොරව ය.

 

kamunaiසෙන්ට්‍රල් කෑම්ප් පොලීසියේ තර්ජන එ් සඳහා සාක්ෂි මතවන්නට ඉඩ තිබූ ඥාතීන් ඇතුළු ගම්වාසීන් සියලු දෙනා කෙරෙහි පැතිරුණි. කොටින්ම ‘කට පුක වහගෙන’ ඉන්නා ලෙසට පොලීසිය විසින් එකිනෙකාට වෙන වෙනම තර්ජනය කෙරුණි. සියලු තර්ජන ගර්ජන හමුවේ වුව සිද්ධිය සිදුවූ ස්වභාවය පැතිරී යන බව දුටු ‘සෙන්ට්‍රල් කෑම්ප් පොලිසිය’ 1997 සැප්තැම්බර් මාසයේ ‘එකොළහ කොළණිය’  කොළනිවාසීන් පස් දෙනෙකු මරා දමා තිබුණු අතර ගෙවල් 27ක් මුළුමනින්ම පුළුස්සා දමා තිබුණි. තවත් ගෙවල් 45කට ප්‍රහාර එල්ල කර තිබුණි. අවසානයේ ගමේ ඉතිරිව සිටි ගම්වැසියන් ගම අතහැර ස්වයං සරණාගතභාවයට පත් විය.

මඩකලපුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් විසින්  ‘’යුද්ධය අවුළුවමින් සිටි’’ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනධිපතිවරියට නිල වශයෙන් මෙම සිද්ධිය ගැන ලියා ඒ පිළිබඳ කඩිනම් විභාගයක් සිදුකරන ලෙස ඉල්ලීමක් සිදු කරන ලදි. නමුත් චන්ද්‍රිකාවන්ට ඒ වන විට යුද්ධය තීව්‍ර කිරීමට අදාල බොහෝ රාජකාරී තිබිණ.

 

පොලීසිය මුලින් කීවේ කොටි සමඟ සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකට මැදි වූ කෝනේස්වරි මිය ගිය බව ය. ඉක්බිති පොලීසිය කීවේ ෂෙල් ප්‍රහාරයක ට ඇය ගොදුරු වූ බව ය. පරරාජසිංහම් දැරූ බලවත් ආයාසය නිසා කෝනේස්වරීගේ මළ සිරුර යළි ගොඩගෙන යළි වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ ද ඊට සිදුවූ දෙයක් නැතිවිය. 

 

1997 නොවැම්බර් මාසයේ කලමුණෛ උසාවයට ගිය පරරාජසිංහම් සහ එවක සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙනුවෙන් කෝනේස්වරී සිද්ධිය ලියූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එස්.එස්. සෙල්වනායගම්ට පොලීසිය විසින් තර්ජනය කෙරුණි.

pararajasingham

මඩකලපුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම්

රරාජසිංහම් සමාජය හමුවේ ප්‍රශ්න කළේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන තමා වැනි මන්ත්‍රීවරයකුට මෙසේ ප්‍රසිද්ධියේ තර්ජනය කරනවා නම් සාමාන්‍ය ගැමියන්ගේ ඉරණම කුමක්ද යන්නයි.

ප්‍රකට දෙමළ දේශපාලඥකුව සිටි එමෙන්ම රාජ්‍ය සේවකයකු හා මාධ්‍යවේදියකු ද වූ ජෝසප් පරාරාජසිංහම් ද 2005 වසරේ නත්තල දිව්‍ය පූජාවට සහභාගීවෙමින් සිටියදී රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත් වී ඝාතනයට ලක්විය.  

sadishkumarකෝනේස්වරී දූෂනයේ හා ඝාතනයේ සංසිද්ධිය, ඉතිහාසය පිළිබඳ උනන්දුවක් දක්වන තරුණ ප්‍රජාව වෙනුවෙන් එය කෙටියෙන් හෝ  සිංහලෙන් ලියා තැබිය යුතු ය යන සිතිවිල්ල පහළ වූයේ මෑතකදී හිරගෙදරින් නිදහස ලැබුණු එස්. සදීෂ්කුමාර්ගේ ‘කොහොඹ ගස සහ පවලම් ආච්චි’ නම් තවමත් නිල වශයෙන් එළිදක්වා නැති කෙටිකතා කෘතිය කියවමින් සිටිය දී ය.

කොහොඹ ගස දෙමළ ජීවිත සමඟ කෙතරම් ඓන්ද්‍රීයදැයි මෙම කෙටිකතාව විසින්  බරපතල ලෙස අප අවුළුවනු ලබයි.

කෝනේෂ්වරීගේ දූෂණ-ඝාතන සංසිද්ධිය පවා කොහොඹ ගසක ඉතිහාසය හා පැටලී තිබේ. ඝාතනයට දෙමසකට පමණ පෙර කෝනේස්වරී විසූ 'එකොළහ කොළනිය' අයත් වූ ‘සෙන්ට්‍රල් කෑම්ප්’ පොලීසියේ පිරිසක් පැමිණ ඇගේ භූමි වපසරියෙහි වූ කොහොඹ ගස බලහත්කාරයෙක් කපා ගෙන ගොස් තිබිණ.  දෙමළ ස්ත්‍රියකට එය කවරාකාර කම්පනයක් වී දැයි සිංහල ජාතිකවාදී ආත්මයන්ට හැඟනේනේ නැත.

 

ඇය මෙම කොහොඹ ගසේ අවනඩුව සෙන්ට්‍රල් කෑම්ප් පොලීසියේ ස්ථානයාධිපතිට වහා පැමිණලි කළද එය පයිසෙකටවත් මායිම් නොකෙරුණි. ඉන් පසුබට නොවූ ඈ අම්පාරෛ කලාපය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමි‍ණිලි කළා ය. වහා කොහොඹ කඳන් බාර දෙන ලෙස සෙන්ට්‍රල් කෑම්ප් පොලිසිය වෙත නියෝග කෙරුණි.  ඉනික්බිති මඩකලපුව අම්පාරෛ දිස්ත්‍රික් මායිමේ වූ සෙන්ට්‍රල් කෑම්ප් පොලීසියට අයත් ආරක්ෂක මුර කපොල්ල පසු කරන වාරයක් පාසා මෙම සිවුදරු තරුණ මාතාවට චාචිකව සහ ලිංගිකව අඩත්තේට්ටම් කිරීමට පොලිස් පාදඩයන් විසින් ක්‍රියා කෙරුණි.  ඈ සමූහ දූෂණයට ලක්වීම සහ ඝාතනයට ලක්වීම මෙම අඛන්ඩ බලහත්කාරයේ කූඨප්‍රාප්තියයි.

සදීෂ්කුමාර්ගේ කෘතියේ එනමින් ම එන කෙටිකතාවේ මෙසේ ලියැවී ඇත.

‘පවලම් ආච්චි මෙන්ම කොහොම ගස ද යුද්ධයෙන් කිහිප වතාවක් ම පීඩාවට පත් වී බරපතළ තුවාල ද ලැබුවේ ය. එහෙත් එය කිසිවෙකටත් පරාජය බාරගෙන මැලවී ගියේ නැත. ඒ වෙනුවට තවත් පුළුල්ව අතු ඉති විහිදුවමින් ඒ මාර්ගයේ යන එන සියලු දෙනාට ගෘහයක් මෙන් සෙවණ සදා දුන්නේ ය’’


Manjula wediwardhana(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත - 2023 මැයි 28)


Anida

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්