(ජෙරෝම්-නතාෂා කතා වස්තුව)


මෑත කාලයේ මූලධර්මවාදී මුල්ලාවරුන් පාලනය කළ සහ තවමත් පාලනය කරන රටවල් අප යහමින් විවේචනය කොට ඇත. ඊටත් කලින් කාලයක, එනම් මීට ශත වර්ෂ කිහිපයකට කලින් කාලයක ‘දණ්ඩාධිකරණ’ විශේෂයක් හරහා ඇමරිකාවේ සහ යුරෝපයේ ක්‍රිස්තියානි පල්ලිය විසින් ගෙනගිය නිදහස් අදහස් මර්දන ව්‍යාපාරයේ ඉතිහාසය ගැන සහ කුරුස යුද්ධ ඉතිහාසය ගැනත් අප විවේචනය කොට ඇත. ඒ සියලු විවේචනවලදී අපේ සහායට සිටි ශාස්තෘවරයාණන් වුණේ බුදුන් වහන්සේ ය. උන්වහන්සේගේ දේශනාවන්ගෙන්, විශේෂයෙන්, විචාරශීලී වීමට ‘කාලාම සූත්‍රයෙන්’ බුදුන් වහන්සේ පෙන්වා දෙන ලද ධර්මය, අර කී අවස්ථාවලදී අපි නිහතමානී ආඩම්බරයෙන් උද්ධෘත කොට දැක්වූයෙමු.

දැන් කාලයක සිට, එහෙව් බුදුන්ගේ නාමයෙන්, අනෙක් භක්තිකයන්ට හිරිහැර කිරීම ‘බෞද්ධ රාජකාරියක්’ වශයෙන් ගැනෙන තත්වයක් මෙරටේ ලියලන්ට පටන්ගෙන තිබේ. ඉහතින් කී ඉස්ලාම් ආගමේ නාමයෙන් හෝ ක්‍රිස්තියානි ආගමේ නාමයෙන් ලෝකයේ වෙනත් තැන්වල ඇති වුණු අගතිගාමීත්වයන් ප්‍රශ්න කිරීමේදී, බුද්ධ ධර්මයේ චිරස්ථිතිය සඳහා මර්දනීය ක්‍රියාමාර්ග කොහෙත්ම අවශ්‍ය නොකරන බව අප පෙන්වා දෙනු ලැබූයේ, ප්‍රධාන වශයෙන් එක තර්කයක් මත පදනම්වයි. එනම්, බුද්ධ ධර්මය විමුක්ති මාර්ගයක් වශයෙන් ආරක්ෂා වීමට, ඒ තුළම තිබෙන, එනම් ඒ දර්ශනය තුළම තිබෙන ඥානමය ශක්තිය සහ ජවය ඊට ප්‍රමාණවත් වන්නේය යන්නයි.

230208 monks

පුංචි ළමයෙකු ළඟ කුප්පි ලාම්පුවක් තැබීමට දෙවරක් හිතන අපි, වැඩිහිටියෙකු ළඟ ගිනි මැලයක් ගැසීමට පසුබට වන්නේ නැත. බුද්ධ ධර්මය යනු බුද්ධිමත් වැඩිහිටියෙකි. ගින්නට අත නොතියන්නැයි ළමයාට දමන විධානය/නියෝගය, වැඩිහිටියා සම්බන්ධයෙන් අවශ්‍ය නොකෙරේ. එහෙත් දැන් දැන් ලංකාවේ සමහර භික්ෂූන් වහන්සේලා කටයුතු කරන්නේ, බුද්ධ ධර්මය යනු ළමයෙකු සේ ආරක්ෂා කරගත යුතුව ඇති, බිඳෙනසුලු භාණ්ඩයක් සේ සලකාගෙන බව පෙනේ.

gaala dan


අප විසින් එළාගන්නා දැලක අපම පැටලී ඇති අමතර කතාන්තරයකුත් මේ අස්සේ තිබේ. ගලගොඩඅත්තේ ඥානසාර සහ ඩෑන් ප්‍රියසාද් වැනි නම්වාසගම් විවේචනය කරන මෙරටේ ප්‍රගතිශීලි පිරිස් සෑහෙන්න සිටිති. මෙරටේ ආගමික සහ ජාතික සහජීවනයට එවැනි පුද්ගලයන්ගේ හැසිරීම නිසා අනතුරක් වන්නේය යන උපකල්පනය ඒ විවේචන තුළ තිබේ.

එහෙත් අනිත් අතට, යමෙකු කරන ප්‍රකාශයක් බුදුන්ට හෝ බුද්ධාගමට අපහාසයක් යැයි හාහෝවක් ඇති වූ ගමන්, අර ප්‍රතික්ෂේප කළ පුද්ගලයන්වම පොලිස්කාරයන් වශයෙන් සලකා, යම් හික්මවීමක් අපේ පැත්තෙන් තිබිය යුතු යැයි පෙන්වා දෙන්නේද, ඉහතින් කී ප්‍රගතිශීලි පිරිස්ම ය. එහිදී, අර කියන වැරදි/ආන්දෝලනාත්මක ප්‍රකාශය කළ පුද්ගලයා සම්බන්ධයෙන් මේ ප්‍රගතිශීලි පිරිස් නඟන තර්කය මෙවැන්නකි: “එයා (උදාහරණයක් වශයෙන්, නතාෂා) කියන දේ ඇත්ත තමයි. මමත් ඒකට එකඟයි. ඒ වුණාට, අපි ඥානසාරලා සහ ඩෑන් ප්‍රියසාද්ලාට අමුද්‍රව්‍ය සැපයිය යුතු නැහැ.”

මේ කියන්නේ කුමක්ද? අප විසින්ම මීට ඉහතදී අපුලෙන් බැහැර කළ පුද්ගලයන් පිරිසක් අවසානයේ අපේ නිදහසේ සීමාව කුමක්දැයි අපට කියාදෙන ගුරුතරු බවට අප විසින්ම පත්කරගනු ලැබ ඇති බවයි. එනම්, අප බුද්ධාගමට ‘අපහාස’ (විවේචන සහ ප්‍රශ්න කිරීම්) නොකළ යුත්තේ, අරගොල්ලන් ඇහැගහගෙන ඉන්න නිසා ය! ඒගොල්ලන් මිනිස්සුන්ව උසිගන්වන නිසා ය!

witches burn

නීති පද්ධති කියා දෙයක් නොතිබුණු කාලයේ ඥානසාරලා සහ ඩෑන් ප්‍රියසාද්ලා වැනි ඈත අතීතයක සිටි අයට මෙවැනි සමාජ භූමිකාවන් ස්වභාවයෙන්ම පැවරී තිබුණි. කුරුස යුද්ධ සංවිධානය කළ සහ ඒවාට ධනය සැපයූ ප්‍රාදේශීය බලපුළුවන්කාරයන්ගේ (රාජ්‍ය බලයට අමතරව) ඉතිහාසය කියැවූ විට මේ බව අපට අවබෝධ කරගත හැකිය. එසේම, 13 වැනි සියවසේ සිට 16 වැනි සියවස දක්වා යුරෝපයේ සහ ඇමරිකාවේ, පල්ලිය මැදිහත් වී පවත්වාගෙන ගිය ‘දණ්ඩාධිකරණ’ වෙත අන්‍ය මතධාරීන් කුදලාගෙන ඒමට සිටි ඔත්තුකාර පිරිස් ගැන ඉතිහාසයකුත් ලෝකයේ තිබේ. ඒ ‘ධර්මාධිකරණ’ මගින් ගිනිමැලයේ දමා මරණීය දණ්ඩනයට පත්කිරීම සඳහා, එක දුර්වල බොරු සාක්ෂියක් පමණක් ප්‍රමාණවත් විය. දියුණු නීති පද්ධති නොතිබුණු ඒ ඉතිහාසය අවසන්ව දැන් බොහෝ කල් ය. දැන් අපට නූතන පොලීසි, නූතන නීතිපති දෙපාර්තමේන්තු සහ නූතන අධිකරණ තිබේ. එහෙත්, අර අභ්‍යාසය වෙනත් ආකාරයන්ගෙන් තවමත් සිද්ධ වෙයි.

නිදොස් කොට නිදහස්: ඒත් ඒ, දඬුවම් විඳීමෙන් පසුවයි

 

masjhhwu

ශක්තික - ෂාෆි  - ජෙරොම්  - නතාෂා

මීට කලකට ඉහතදී, ශක්තික සත්කුමාර ලේඛකයා ලියූ කෙටිකතාවකින් බුදුදහමට නිගා වෙතැයි කියමින් එක් භික්ෂුවක් පොලීසියට කළ පැමිණිල්ලක් මත, ඒ කෙටිකතාකරුවා අත්අඩංගුවට ගෙන මාස හතරකටත් වැඩි කාලයක් හිරභාරයේ තබාගත්තේය. අවසානයේ ඔහු උසාවියෙන් නිfදාස් වී, නිදහස් විය. එනම්, ඔහු නිර්දෝෂි වුණේ, අර භික්ෂුව බලාපොරොත්තු වූ දඬුවම් ඔහුට පැමිණවීමෙන් පසුව ය. දොස්තර ෂාෆි ගැන කතාව අමුතුවෙන් කිව යුතු නැත. අද ඔහු නැවත සිය වෘත්තියට යන්නේ, මොන තරම් දඬුවමක් විඳීමෙන් පසුවද? අතුරලියේ රතන සහ විමල් වීරවංශ ඇතුළු පිරිසට කිසි දඬුවමක් නැත. මීට සති කිහිපයකට කලින්, අනාගතවක්තෘවරයෙකැයි තමන්ම කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දු නමැති ක්‍රිස්තියානි පූජකවරයා පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇති විය. එය පුස්සක් බව පසුව ඔප්පු වනු ඇත. දැන් එම චෝදනාව යටතේම, නතාෂා එදිරිසූරිය නමැති කලා කටයුත්තක නිරත තවත් තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.

දැන් මතු වන ප්‍රශ්නය මෙයයි: මේ කියන සිද්ධි සම්බන්ධයෙන් පොලීසිය කටයුතු කරන්නේ හුදෙක් කිසිවෙකු කරන පැමිණිල්ලක් මත රඳා සිටිමින්ද, එසේ නැතහොත් ඒ කියන පැමිණිල්ලේ අඩංගු යැයි කියැවෙන වරද, එම තැනැත්තාව වරදකරු කිරීමට තරම් සාධාරණ පදනමක පිහිටා අධිකරණයක් ඉදිරියේ නඩු කටයුත්තක් ගෙන යාමට තරම් ප්‍රමාණවත් යැයි සෑහීමකට පත්වීමෙන් පසුවද යන්නයි. අද ක්‍රියාත්මක වන්නේ, මේ දෙවැනුව කී පදනම නොව, පළමුව කී ලෙහෙසි පදනම යටතේ බව පෙනේ. එනම්, යම් භික්ෂුවක් හෝ ගිහියෙකු පොලීසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් අහවලා බුද්ධාගමට අපහාසයක් කර ඇතැයි පැමිණිල්ලක් කළොත්, පොලීසිය වහා ක්‍රියාත්මක වී අර කියන චූදිතයාව අත්අඩංගුවට ගන්නේය. පොලීසිය කරන මේ වැරැද්ද, අඩු වශයෙන් මහේස්ත්‍රාත්වරයා විසින්වත් නිවැරදි කළ යුතු බවට අපේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝග තිබේ. එහෙත් ඒවා පිළිපැදෙන බවක් දකින්ට නැත.

අප ඉහතින් කී, 14-16 වැනි සියවස්වල යුරෝපයේ සහ ඇමරිකාවේ ක්‍රිස්තියානි පල්ලිය ගෙන ගිය ‘ඉන්ක්විශිෂන්’ යනුවෙන් හැඳින්වෙන ආගමික දඩයම් ක්‍රමය ක්‍රියාත්මක වුණේද එලෙසින්මයි. එදා පල්ලියේ අධිකරණය, හුදෙක් ඔත්තුකරුවාගේ පැමිණිල්ලම සිය තීන්දුව සඳහා යොදාගත්තේය. අද අධිකරණය ඊට වඩා දහස් ගුණයකින් දියුණු බව ඇත්ත. එහෙත්, එම අධිකරණයෙන් නිදහස් වන විට, අදාළ අහිංසක පුද්ගලයා දඬුවම් විඳ අවසන් ය.  

හඳහන හොඳ නම් අතුරා ආන්තරා නැත

එහෙත් මේ තත්වය පවා ක්‍රියාත්මක වන්නේ තවත් එක කොන්දේසියකට යටත්ව ය. එනම්, පොලීසිය එසේ හුදු පැමිණිල්ලක් මත පමණක් පිහිටා කෙනෙකු අත්අඩංගුවට ගැනීමට පෙළඹෙන්නේ, අන්‍යාගමිකයෙකු විසින් බුද්ධාගමට නිග්‍රහයක් කර ඇතැයි කියන අවස්ථාවලදී පමණි. උදාහරණයක් වශයෙන්, අල්ලා දෙවියන් වහන්සේට අහවලා නිග්‍රහ කෙළේ යැයි කියා හෝ ක්‍රිස්තුස් වහන්සේට අහවලා නිග්‍රහ කෙළේ යැයි කියා හෝ කෙනෙකු පැමිණිල්ලක් කළොත්, මෙතරම් කඩිනමින් අත්අඩංගුවට ගැනීමක් ගැන පොලීසිය යුහුසුළු වන්නේ නැත. එහිදී, සියල්ල අකුරට සොයා බලනු ලැබේ. ඇත්තෙන්ම ඒ කියන කතාවෙන් අල්ලා දෙවියන්ට/ක්‍රිස්තුස් වහන්සේට සැබවින්ම නිගාවක් විණිද, ඒ නිගාවෙන් සමාජ සමගිය නැති වීමට ඉඩක් තිබුණේද ආදී අවශේෂ කරුණු, අර පුද්ගලයාව අධිකරණයට ගෙන යාමට කලින්, පොලීසිය විසින්ම දීර්ඝ වශයෙන් විමර්ශනය කර බලනු ලැබේ. ඒ අනුව, අර කියන අන්‍යාගමික පැමිණිල්ල උඩ, චූදිතයාව අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ නැත. සිදුවුණත්, බොහෝ කල් ගතවීමෙන් පසුව ය.

 

.

අප දැන් වටහාගත යුතුව ඇති පාඩම මෙයයි: පොලීසිය අපක්ෂපාතීව සහ කාර්යක්ෂමව කටයුතු කරන්නේ නම්, (ජෙරෝම් හෝ නතාෂා වැනි) කෙනෙකු බුද්ධාගමට අපහාසයක් කළත්, ඥානසාර හෝ ඩෑන් ප්‍රියසාද් වැන්නන්ගේ මැදිහත්වීමකට ඉඩක් නොතබා, ආයතනික මට්ටමින් යුක්තිය ඉෂ්ට කළ හැකිය. එහෙත් අද ඒ පොලීසිය නමැති ආයතනය අපක්ෂපාතී නැත. බලවතෙකු අත්අඩංගුවට ගැනීමට ඇති විට පොලීසිය හඳහන් බලයි. හඳහන බලවත් නම් අත්අඩංගුවට ගැනෙන්නේ නැත. උදාහරණයක් වශයෙන්, ‘සිදුහත් කුමාරයා ආතල් පොරක්’ යැයි ප්‍රසිද්ධියේ කී දිලිත් ජයවීරට එරෙහිව අද වන තෙක් කිසි නීතිමය පියවරක් ගෙන නැත. (ඔහුගේ එම ප්‍රකාශය, නීතිමය පියවරක් ගැනීමට හේතුවක් කරගත යුතු යැයි මේ ලියුම්කරු කොහෙත්ම සිතන්නේ නැත). එහෙත්, අර ක්‍රිස්තියානි පූජකවරයා හෝ නතාෂා එදිරිසූරිය සම්බන්ධයෙන් පොලීසිය අනුගමනය කරන ප්‍රතිපත්තිය ඔහු සම්බන්ධයෙන් අනුගමනය නොවීම මගින් කියාපාන්නේ, එකිනෙකාගේ හඳහන්වල හයිය හෝ ග්‍රහයන් නීච වීම මත පමණක්ම පදනම්ව නීතිය ක්‍රියාත්මක වීම හෝ නොවීම සිද්ධ වෙන බවයි.

ඊයේ (29) රාජාංගනේ චීවරධාරියෙකු අත්අඩංගුවට ගැනුණි. මොහුව අත්අඩංගුවට ගත යුතුව තිබුණේ මීට බොහෝ කලකට ඉහතදී ය. ඔහු පාවිච්චි කරන පරුෂ වචන සහ ඔහුගේ මදාවි හැසිරීම, පැවිද්දෙකුට තබා පිරිහුණු ගිහියෙකුටවත් නොහොබී. එහෙත්, මීට කලින් නැතිව, හරියටම මේ මොහොතේම ඔහුව අත්අඩංගුවට ගැනුණේ ඇයි? නාතාෂාව හිරභාරයට ගෙන ඇති නිශ්චිත මොහොතක, “නීතිය කාටත් සමානව ක්‍රියාත්මක වන්නේය” යන කුණුහරුපය අපේ ඔළුවලට නැවත වරක් එබ්බවීමට ය.

එතකොට ඥානසාර?

ඥානසාර හිමිට එරෙහි නඩුවක් අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරයි

මේ ලිපියේ ඉතිරි කොටස වැය කෙරෙන්නේ, ගලගොඩඅත්තේ ඥානසාර කරන ලද ප්‍රකාශයක්, මේ කියන ආගමික අපහාසයට සහ සමාජ සාමයට හානියක් වන්නේද නැද්ද යන්න තීරණය කිරීම පාඨකයන්ට භාර කිරීමට ය. එසේම, එය ආගමික අපහාසයක් නම් සහ සමාජ සාමයට හානියක් විය හැකි යැයි පොලීසිය විශ්වාස කරන්නේද යන්න දැනගැනීමටයි. ඔහුගේ ප්‍රකාශය මෙසේ ය:

“අනුක්‍රමයෙන්, වෙහෙර ගොඩයාය, දැන් මුස්ලිම් ගොඩැල්ල... නේද? (ඔහු වටා සිටින අනුගාමික පිරිස ඔහුව නිවැරදි කරයි). ඔව්, පල්ලිය ගොඩැල්ල වෙලා. එතකොට කොහොමද මේක වෙන්නේ? කවුද එහෙම පල්ලියගොඩැල්ල කියලා නම තියන්න මේගොල්ලන්ට අවසර දුන්නෙ? දැන් ඕකම තමයි මාණික්කමඩුව.. මාණික්කමඩුව කියන්නේ, දීඝවාපියේ පරිවාර චෛත්‍යය. දැන් මාණික්කමඩු චෛත්‍යයට කියනවා, ඒක මායාමඩුවලු. අල්ලා දෙයියන්ගේ ලබ්බක් තියෙනවලු එතන. අල්ලෙක් කියලා එකෙක් ඇත්තෙත් නැහැ. හැබැයි උගේ ලබ්බක් තියෙනවාලු එතන. (අනුගාමික පිරිස සිනාසෙති)... ඉතිං කාටද අපි මේක කියන්නේ? ඉතිං ඒක නිසා මේ මිත්‍යාවට අපි වැට බැදිය යුතුයි. ඒ වෙනුවෙන් අපි අරගල කළ යුතුයි. පාලකයන්ට මේවා වැඩක් නැහැ. උංට පුළුවන් නම් සීගිරි ගලත් ටෙන්ඩර් දාලා, ගල් කඩලා විකුණයි. උංට පුළුවන් නම් දඹුලු ගලත් කඩලා විකුණයි. උංට තියෙන්නෙ එදා වේල මිසක මේ රට ජාතිය ගැන හැඟීමක් නැහැ. එහෙම නායකයො පාලකයො හිටියා නම් අපිට මෙහෙම වෙන්නෙ නැහැනේ. මේ හාමුදුරුවන්ට මෙහෙම පාරට බහින්න වෙන්නෙ නැහැනේ. ඒක නිසා පාලකයන් ගැන, මේ රටේ නීතිය ගැන අපිට දෙවතාවක් හිතන්න වෙනවා. පුරාවිද්‍යා නීති, අර නීති, මේ නීති ඔක්කොම සිංහලයන්ට විතරයි. ඒක නිසා අපිත් ඒ නීති අතට අරගෙන දැන් ඔබවහන්සේලාත්, මේ කොල්ලොත් ඇවිල්ලා මේවා අල්ලගන්න. “මේක අපේ. මේක අපේ. මේක අපේ කියලා අල්ලගන්න”. එතකොට එයිනේ නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අපිත් මේක අල්ලගමු. ඒකයි මං කිව්වේ නිලනොවන පොලිස්කාරයෝ වගේ උඹලත් පටන්ගනිල්ලා. කෙළවරකින් පටන්ගනිල්ලා. මොනවා හරි ප්‍රශ්නයක් එනවා නම් අපි එන්නං. පටන් අරං කොනක ඉඳං නෙලනවා කවුරු හරි එනවා නං, එච්චරයි. වෙන මේකේ විකල්පයක් නැහැ...”

අර, තමන් අරහත් යැයි කියාගන්නා සමන්තභද්‍ර භික්ෂුව, දළදාව යනු ඌරු දළක් යැයි කියා දැන් සෑහෙන කලකි. ශක්තික සත්කුමාරට බලපැවැත්වූ අයි.සී.සී.පී.ආර්. නීතිය, සමන්තභද්‍ර භික්ෂුවට හෝ දිලිත් ජයවීරට එරෙහිව පාවිච්චි නොවීම ගැන, ඔවුන්ගේ ග්‍රහයන්ගේ ශක්තිය පැත්තකින් තියා කතා කළොත්, අපේ මතය මෙසේ ය: එවැනි ප්‍රශ්න කිරීම්, මොන විදිහකින්වත් ආගමික අපහාසයක් වන්නේ නැත. එවැනි අදහස් දැරීමේ සහ ප්‍රකාශ කිරීමේ නිදහස මේ රටේ තිබිය යුතුය. එසේ විය යුත්තේ, මෙය ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන නිසා පමණක්ම නොවේ. මෙය, බෞද්ධ රටක්ද වන බැවිනි. බුදුන් වහන්සේ යනු, ලෝකයේ විසූ ශ්‍රේෂ්ඨතම ප්‍රජාතන්ත්‍රවාදියෙකු වන නිසාවෙනි.

 

mw

 

මාර්ටින් වික්‍රමසිංහ ‘බව තරණය’ ලියූ අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගත යුතු බවට පත්තර සිරස්තල පොල්ගෙඩි අකුරෙන් සැරසූ කාලය මීට බොහෝ කලකට කලින් අවසන් විය යුතුව තිබුණි. එහෙත් අවාසනාවකට, දඩයම වඩාත් තීව්‍ර වී, බෞද්ධ තලේබාන් රටක් බවට ලංකාව පත්වෙමින් තිබේ. ගලගොඩඅත්තේ ඥානසාරගේ ඉහත කී ප්‍රකාශය, එතරම් කළු-සුදු වශයෙන් ගත හැකි ආගමික අපහාසයක් වශයෙන් තිබියදීත්, ඒ සම්බන්ධයෙන් මේ දක්වා අයි.සී.සී.පී.ආර්. හෝ වෙනත් කිසි නීතියක් ක්‍රියාත්මක නොවී තිබීමෙන් පෙන්නුම් කරන්නේ එයයි. මෙහිදී, බෞද්ධයන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ: ගලගොඩඅත්තේ ඥානසාර ඉහත අවස්ථාවේදී අල්ලා දෙවියන් ගැන කියන ඒ වාක්‍ය තුන තුළට, අල්ලා වෙනුවට බුදුන් යැයි යොදා ඉස්ලාම් ආගමිකයෙකු ප්‍රකාශයක් කළොත් ඔබ කටයුතු කරන්නේ කෙසේ ද?

මතක තියාගන්න: නතාෂා අත්අඩංගුවට ගැනීම, නග්න දඩයමකි. ඒ දඩයමේ යෙදෙන පොලීසිය සහ (සෘජුව හෝ වක්‍රව, මුළුමණින් හෝ අර්ධ වශයෙන්) ඊට උසිගන්වන හෝ එය යුක්තිසහගත කරන සමාජ කොටස් හොඳින් දන්නා එක දෙයක් තිබේ. එනම්, වර්තමාන ලංකාවේ සෑම පක්ෂයක්ම- ජනතා විමුක්ති පෙරමුණේ සිට පොහොට්ටුව/සජබ/එක්සත් ජාතික පක්ෂය/හෙළ උරුමය/ශ්‍රි.ල.නි.ප/හෙලිකොප්ටරය දක්වා, අනුර කුමාර දිසානායකගේ සිට මහින්ද රාජපක්ෂ/සජිත් ප්‍රේමදාස/රනිල් වික්‍රමසිංහ/චම්පික රණවක/මෛත්‍රිපාල සිරිසේන දක්වා සමස්ත ඡන්දකාමී පැළැන්තියම සිටින්නේ තමන් සමග බව ය. ඒ සහයෝගය ලබාගැනීම සඳහා ඔවුන්ට කිරීමට තිබෙන්නේ ඉතා සුළු දෙයකි: “බුද්ධාගමට අපහාස කළා” යන බෝඩ් ලෑල්ල එල්ලා ගැනීම පමණි. අර කියන ඡන්දකාමී කිසි නායකයෙකු හෝ පක්ෂයක් එවිට ඔවුන්ට විරුද්ධව කටක් අරින්නේ නැත.

ඉදිරියේදී මැතිවරණත් ඒමට නියමිත නම් සහ ඒ මැතිවරණවලින් යම් ජයක් ලබාගැනීම ගැන විශ්වාසයකුත් ඇත්නම්, අර කටවල්වලින් මේ විෂය අරභයා, රාජ්‍ය හෝ පොලිස් ‘මර්දනය’ යන වචනය නම් කොහෙත්ම පිට නොවනු ඇත.          


GaminiViyangoda(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)



Anida


JW

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්