පවතින ආර්ථික අර්බුදය හමුවේ දෙමාපියන්ට අධ්‍යාපන වියදම් දරා ගැනීමට නොහැකිව දරුවන් පාසල් හැර යෑම පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය. වතුකරය ආශ්‍රිතව එය බරපතළ සමාජ අර්බුදයක් බවට පත්ව තිබේ. මේ ලිපිය, ඒ පිළිබඳව කළ ගවේෂණයක ප්‍රතිඵලයකි.

---------------------------------

මෙවර සිරිපා වන්දනා වාරයේ ආරම්භයත් සමඟම රාමලිංගම් රමේෂ් පාසල් ගමනට සමු දුන්නේ අධ්‍යාපනය සඳහා තවත් වියදම් කරන්නට තරම් මවට ආර්ථික ශක්තියක් නොතිබීම හේතුවෙනි. රමේෂ් පවුලේ වැඩිමලා වූ අතර, ඔහුට බාල සහෝදර සහෝදරියන් පස් දෙනෙකි. රමේෂ් ගේ පියා රෝගාතුරව නිවසට කොටු වූ පසු, පවුල් බර කරට ගෙන ඇත්තේ 42 හැවිරිදි මවය. රමේෂ් පාසල් ගමන නතර කොට, සිරිපා වන්දනාකරුවන්ට 'කෝඩු පැකට්' විකුණීම ඇරඹුවේ, මව තනිව කර ගසාගෙන සිටින පවුල් බරට තම ශක්ති ප්‍රමාණයෙන් උර දීමටය. 'කෝඩු පැකට්' යනු පළමුවරට සිරිපා වන්දනාවේ පැමිණෙන ආධුනිකයන් සඳහා අවශ්‍ය ඉඳිකටු, නූල්, කුඩා සැරයටියක් ඇතුළු ආම්පන්න කට්ටලයකි. මේවා මිලට ගන්නා බොහෝ කෝඩුකාරයන් විභාගවලින් ජය පතා දෙමාපියන් විසින් සිරිපා වන්දනාවට කැටිව එන සිසු දරු දැරියන්ය!

"මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත්තා. එතනින් එහාට වියදම් කරන්න තරම් අම්මාට හයියක් නැහැ. නංගිලා මල්ලිලා පස් දෙනාගෙ පොත්පත්වලට, අනිත් දේවල්වලට ලොකු වියදමක් යනවා. මම නතර වුණේ, ඒගොල්ල කොහොමහරි ඉස්කෝලෙ යවන්න ඕන නිසා. ඉගෙනගන්න ආස වුණත් වතුකරයේ ගොඩක් ළමයින්ට පාසල් ගමන නතර කරන්න වෙලා තියෙන්නේ ආර්ථික ප්‍රශ්න නිසා තමයි..."

 

පවතින ආර්ථික අර්බුදය හමුවේ වතුකරයේ දරුවන් පාසල් හැරයෑමේ ප්‍රවණතාව දිනෙන් දින ඉහළ යමින් තිබේ. රමේෂ් අපට මුණගැසුණේ, එම අර්බුදයේ අක් මුල් සොයමින් වතුකරයේ සැරිසරද්දීය. රමේෂ්ටත් කලින් අධ්‍යාපනයට සමුදුන් පාසල් දරුවන් කිහිප දෙනෙකුම නල්ලතන්නිය වත්තේ සිටියත් ඔවුන් අප හා කතා කරන්නට මැළි වූයේ, පාසල් ගමන අතරමග නතර කිරීමේ වරද ඔවුන් වෙත පැටවී, නීතිය ඉදිරියේ වරදකරුවන් වන්නට වේයැයි පැන නැගුණ බිය හේතුවෙනි. පාසල් පැවැත්වෙන දිනයක් වුවත් පාසල් නොගොස් දරුවන් නිවෙසට වී සිටින්නේ ඇයි දැයි විමසූ විට දෙමව්පියන් පවසන්නේ ඉඳහිට පාසල් නොගියත් දරුවා පාසල් ගමනට සමු දී නොමැති බවයි.

 

තවත් රමේෂ්ලා 1,383ක්

ramsh

ඉඳහිට පාසල් යන පිරිස, පාසල් හැර ගිය පිරිස මෙන් කිහිප ගුණයකි.

කොවිඩ් වසංගතයත් ඒ ඔස්සේ ඇතිවුණු ආර්ථික අර්බුදත් වතු ජනතාවගේ ප්‍රශ්න මල්ල තවත්  බර සහ විශාල කර ඇත. වතුකරයේ බොහෝ දරුවන් පාසල් ගමනට සමු දී රැකියාවලට යොමුවීම මේ වනවිට සුවිශාල සමාජ ගැටලුවක් බවට පත්ව තිබේ. පසුගිය වසර තුළ පමණක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අතරමැද ශ්‍රේණිවලදී පාසල් හැරගිය සිසු සංඛ්‍යාව 1,383කි. නිල වශයෙන් පාසල් හැරගිය සංඛ්‍යාව එය වුවත් ආර්ථික ප්‍රශ්න හමුවේ අඛණ්ඩව පාසල් එන ශිෂ්‍ය සංඛ්‍යාව දිනෙන් දින පහත වැටෙමින් තිබේ. අතරමැදි පන්තිවලදී පාසල් හැර යන සිසුන් යළි පාසල්ගත කරන්නට වැඩපිළිවෙළක් සකස් කරමින් තිබුණත් අඛණ්ඩව පාසල් නොඑන දරුවන් පාසල් කරා ගෙන්වා ගැනීමට මෙතෙක් අධ්‍යාපන බලධාරීන්ගේ  අවධානය යොමු නොවීම සාකච්ඡාවට බඳුන් විය යුතු කාරණයකි.

 

වතු අශ්‍රිතව ජීවත් වන දරුවන් පාසල් ගමන අතරමඟ නතර කිරීමට කලක සිට බලපෑ හේතු කාරණා රැසකි. පවුලේ දරිද්‍රතාව මින් ප්‍රධානය. දෙමව්පියන් නූගත් වීම, දෙමව්පියන්  විදේශ ගතවීම හෝ වතුකරයෙන් බැහැර ප්‍රදේශවල රැකියා කිරීම නිසා දරුවන් සීයා හා ආච්චි භාරයේ හැදී වැඩීම, පාසල්වල පහසුකම් අඩු වීම ආදී තවත් කරුණු මේ සඳහා බලපෑවේය. පසුගිය වසරක කාලය තුළ වතුකරයේ දරුවන් පාසල් හැර යන ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ඉහළ යෑමට අලුතින් කාරණයක්ද එකතු විය. ඒ දරාගත නොහැකි ලෙස ප්‍රවාහන ගාස්තු ඉහළ යෑමය. මේ තත්ත්වය කොතරම් අයහපත් ලෙස වතු ආශ්‍රිත දරුවන් ගේ අධ්‍යාපනයට බලපා තිබේද යන්න සොයා බැලීමට හැටන්, මස්කෙළිය, නල්ලතන්නි ආදි ප්‍රදේශවල කළ සංචාරයකදී දක්නට ලැබුණේ පාසල් හැරගිය නම් ලැයිස්තුවට එකතු නොවූ තවත් දහස් ගණනක සිසු පිරිසක් සතියකට දිනක් හෝ දෙකක් පමණක් පාසල් යන බවයි. ඇතැම් ළමුන් පාසල් එන්නේ මාසයකට දිනක් දෙකක් පමණි. පැමිණීමේ නාම ලේඛනයේ මාසයකට වතාවක් හෝ නම සලකුණු වුවහොත් ඔහු හෝ ඇය පාසල හැරගිය අයෙකු ලෙස අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දත්තවලට ඇතුළත් නොවේ. මේ නිසා, මුළුමනින්ම පාසල් හැරගිය සංඛ්‍යාව මෙන් කිහිපගුණයක් අධ්‍යාපන කටයුතුවලින් බැහැර වී සිටින බව පැහැදිලිය. 

 

පොතක මිල දලු කිලෝ 12යි!

කාලි ගනේෂම්මා තාමත් පසුවන්නේ හතළිස් හැවිරිදි වියෙහි වුවත් ඇය වෙතින් දිස්වන්නේ ඊට වඩා  වියපත් පෙනුමකි. සිව්දරු මවක් වන ගනේෂම්මා බාලම දරුවාට උපත ලබා දී තිබෙන්නේ මෙයට දොළොස් වසකට පෙරය. මස්කෙළිය නිව් ෆොග් මෝර් කොටසේ සිරිපා කන්දට සමාන්තරව දිස්වන උස් ස්ථානයක පිහිටි ලයින් කාමරයක ජීවත් වන ඇය, අරණළු පොළොව සිපගන්නටත් පෙරාතුව දවසේ වැඩමුරය සඳහා පිටව ගොස් ආපසු එන්නේ හිරු අවරට යන වෙලාවටය. වත්තේ දලු කඩා උපයන මුදල කෑමවේල සරි කරගන්නටවත්  නොසෑහෙන නිසා ගනේෂම්මාගේ සැමියා කොළඹ කුලී රැකියාවකට පිටව ගොස් ඇත්තේ මෙයට වසරකට පෙරාතුවය. තමන් විඳි දුක් දරුවන්ට නොදෙන්නට නම් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදිය යුතු බව සක්සුදක් සේ දැන සිටියත් නිමක් නොමැතිව ඇදී එන ආර්ථික ප්‍රශ්න ගනේෂම්මාගේ ඒ සිහින බොඳ කරන්නට තරම් ප්‍රබල වී තිබේ.

 

කාලි ගනේෂම්මා

කාලි ගණේෂම්මා

"මගේ ලොකු පුතාට අවුරුදු 18යි. එයා ඕ ලෙවල් වලින් පස්සේ ගෙදර නතර වුණා. පොඩි පුතා ඉගෙන ගන්න ආසයි. සාමාන්‍ය පෙළ වැඩ නවයම පාස් වුණා. දැන් උසස් පෙළ කරනවා. බස් එක තියෙන තැනට වත්තේ ඉඳලා කිලෝ මීටර් පහක් පයින් යන්න ඕන. එතන ඉඳලා බ්‍රන්ස්වික් වත්තේ මොටින් හෑම් විදුහලට බස් ගාස්තුව දැන් රුපියල් 100 යි. යන්න එන්න රුපියල් 200ක් යනවා. පෞද්ගලික පන්තිවලට ඉස්කෝලේ ඉඳලා මස්කෙළියට යනවා නම් තවත් රුපියල් 50ක් යනවා. උසස් පෙළ පන්තිවලට මාසෙකට රුපියල් 2,800යි. දලු කිලෝවක් කැඩුවොත් ලැබෙන්නේ රුපියල් 50යි. දවසකට රුපියල් 1,000ක් හොයන්න දලු කිලෝ 20ක් කඩන්න ඕන. ඒක හරිම අමාරුයි. දලු කිලෝ 15ක් විතර තමයි දවසකට කඩන්න පුළුවන්. දැන් සී.ආර්. පොතක් රුපියල් 590යි. පොතක් ගන්න තේ දලු කිලෝ 12ක් කඩන්න ඕන. සමහර දවසට පුතාට දෙන්න සල්ලි නැහැ. එදාට එයා කිලෝ මීටර් 14ක් විතර පයින් යනවා." ගනේෂම්මා පවසන්නේ අධ්‍යාපනයේ වටිනාකම හොඳින් වැටුහුණත් පවතින ආර්ථික ගැටලු දරුවන්ගේ අධ්‍යාපනයට තිත තබන්නට තරම් ප්‍රබල බව පෙන්වාදෙමිනි.

ඉස්කෝලෙ ගිහින් එන්න දලු කිලෝ 5ක්!

Chandramogan sandya

චන්ද්‍ර මෝගන් සන්ධ්‍යා, සිය නැගණිය සමග

චන්ද්‍ර මෝගන් සන්ධ්‍යා පසුවන්නේ 16 වැයි වියෙහිය. නිව් ෆොග් මෝර් වත්තේ 11 වන වසරේ අධ්‍යාපනය ලබන ඇය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නට සූදානමින් සිටින්නීය. "මගේ පන්තියේ ළමයි 37 දෙනෙක් ඉන්නවා. පන්තියේ ළමයි පස් දෙනෙක් විතර ඉස්කෝලේ එන්නේ නැහැ. ගෙවල්වල ආර්ථික ප්‍රශ්න නිසා මොනවා හරි වැඩක් කරන්න යනවා කියලා තමයි එයාලා කියන්නේ. සතියකට දවස් එකක් දෙකක් ඉස්කෝලේ එන ළමයිනුත් ඉන්නවා. අමතර පන්තියකට යනවා නම් මස්කෙළිය නගරයට යන්න ඕන. වත්තේ ඉඳලා මස්කෙළියට බස් එකට රුපියල් 120ක් ගන්නවා. ගිහින් එන්න රුපියල් 240ක් යනවා. ටියුෂන් පන්ති ගියොත් තව ගොඩක් සල්ලි ඕන. වත්තේ වැඩ කරන අම්මට ඒක දරාගන්න බැහැ. ඒ නිසා පන්ති යන්නේ නැහැ." ඇය පැවසුවාය.

perumal gපෙරුමාල් ගනේෂන්පෙරුමාල් ගනේෂන් (58) පසුවන්නේ තරමක් අසනීප තත්ත්වයෙනි. වෙනදා මෙන් ඔහුට කඩිසරව වත්තේ වැඩ කරන්නට නොහැකිය. ඔහුගේ පුතා වන ගනේෂන් රගුරුවන්ට වයස 16කි. "පුතා ගාඩ්මෝර් දෙමළ මහා විදුහලේ ඉගෙනගෙන පහුගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගය ලිව්වා. ගණන්, ඉංග්‍රීසි දෙකම ෆේල්. ආයෙත් විභාගේ කරන්න නම් අමතර පංතිවලට යන්න ඕන. ඒවට වියදම් කරන්න සල්ලි නැහැ. ඒ නිසා පුතා දැන් වත්තේ වැඩට යනවා..." ගනේෂන් පවසන්නේ දුක්මුසු හැඟීමකිනි.

 

Palanayandi Mogan

විශ්‍රාමික විදුහල්පති පලනියණ්ඩි මෝහන්

විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වන පලනියණ්ඩි මෝහන් (62) මහතා දිගු කලක් මේ දරුවන්ගේ ඉරණම වෙනස් කිරීමට වෙර දැරූවෙකි. "වතු පාසල්වල දරුවෝ බොහෝ දෙනෙක් සතියේ දින පහම පාසල් එන්නේ නැහැ. වතු ආශ්‍රිතව තියෙන ගොඩක් පාසල්වල තියෙන්නේ ප්‍රාථමික අංශය විතරයි. එතනින් එහා පන්තිවල අධ්‍යාපනය ලබන දරුවන් බස් එකේ ඉස්කෝලේ යන්න ඕන. කොවිඩ් සමයේ ආසන ගණනට මගීන් ගෙනගිය නිසා බස් ගාස්තු වැඩි කළා. ඊට පස්සේ ඩීසල් වැඩි වුණාම බස් ගාස්තු තවත් ඉහළ ගියා. මේ නිසා අද බස් එකේ එක හෝල්ට් එකක් යන්න රුපියල් 28ක් අය කරනවා. වතුකරයේ දරුවෝ පහේ පන්තිය දක්වා පාසල් එනවා. මොකද වත්තේ පාසලට යනකොට බස් වියදමක් නැහැ. එතනින් එහා පන්තිවලදී තමයි ළමයි ඉස්කෝලේ ගමන නතර කරන්නේ. හයේ පන්තියට විතර ආවම දරුවන්ට පවුලේ ආර්ථික තත්ත්වය ගැන අවබෝධයක් එනවා. යොවුන් වයසේදී දරුවන් තුළ නොයෙක් ආශාවන් ඇති වෙනවා. මේවා ඉටුකර ගන්න නම් මුදල් අවශ්‍යයයි. ගෙදරින් ඒවට මුදල් නොලැබෙන කොට මේ ළමයි කුලියක් කරලා හරි ඒ මුදල හොයා ගන්න පෙළඹෙනවා. මේ විදිහට තමයි එයාලගේ පාසල් ගමන හමාර වෙන්නේ."

වැඩි දෙනෙක් එන්නෙ බඩගින්නේ

Suppiya PrabakaranRUM 8574

විදුහල්පති සුප්පයියා ප්‍රභාකරන්

සාමිමලේ ඕලටන් විදුහලේ විදුහල්පති සුප්පයියා ප්‍රභාකරන් මහතා මෙසේ පැවසුවේය: "මේ වනවිට අභ්‍යාස පොත්වල වගේම පෑන්, පැන්සල් ඇතුළු උපකරණ මිල කිහිප ගුණයකින් ඉහළ ගිහින්. අනෙක් පැත්තෙන් ප්‍රවාහන ගාස්තු වැඩි වෙලා. වතු පවුල්වල දෙමව්පියන්ට මේ අමතර මුදල් කොහෙත්ම දරාගන්න බැහැ. පාසල් නිල ඇඳුමක් ගන්න රුපියල් 1,500ක් 2,000ක් වැය කරන්න වෙනවා. ගොඩක් වෙලාවට පවුලේ ආර්ථික ප්‍රශ්න නිසා පාසල් ගමන අතරමග නතර කරන්නේ පිරිමි ළමයි. එක පවුලක ළමයි හතර දෙනෙක් හිටියොත් ඒ හතර දෙනාම පාසල් යවන්න දෙමව්පියන්ට ආර්ථික හයියක් නැහැ. සමහර ළමයින් ඉස්කෝලේ ඇවිත් දවල්ට නිරාහාරව ඉන්නවා. දරුවට කෑම එකක් දෙන්න අම්මලා තාත්තලාට ආර්ථික හැකියාවක් නැහැ. පංතියේ අනෙක් ළමයි කෑම කනකොට මේ දරුවෝ පංතියෙන් එළියට යනවා. මෙහෙම දිගින් දිගටම  වුණාම එයාලා පාසල් ගමනට ආයුබෝවන් කියනවා."

Thawa Manohari

පාඨශාලාචාරිනී තවා මනෝහරී

"දරුවන්ට විතරක් නෙවෙයි ගුරුවරුන්ටත් මේ බස් ගාස්තුව දරාගෙන පාසල් යන්න බැහැ." යැයි පැවසුවේ, නිව් ගාඩ්මෝර් විදුහලේ ආචාර්යවරියක වන තවා මනෝහරී මහත්මියයි. "මට පාසලට යන්න එන්න දවසකට රුපියල් 200ක් වැය වෙනවා. මටත් වඩා දුර ඉඳලා එන ගුරුවරු ඉන්නවා. ගන්න පඩියෙන් තුනෙන් එකක් විතර බස්වලට යනවා. බස් එක මිස් වුණොත් වීල් එකට රුපියල් 1,000ක් දෙන්න වෙනවා. ආර්ථික ප්‍රශ්න නිසා වතුකම්කරු පවුල් බොහොමයක මව විදේශ ගතවෙලා. තාත්තලා රස්සාවල් හොයාගෙන කොළඹ යනවා. එහෙම වුණාම දරුවෝ හැදී වැඩෙන්නේ මවගේ හෝ පියාගේ වයසක දෙමව්පියන් එක්කයි. ඒ අය කියන දෙයක් දරුවෝ අහන්නේ නැහැ. මේ නිසා පාසල් ගමන අත්හැරලා රස්තියාදු ගහන ළමයි සෑහෙන පිරිසක් ඉන්නවා. අපේ පාසලෙන් පසුගිය වතාවේ සාමාන්‍ය පෙළ විභාගයට ළමයි 47 දෙනෙක් ඉල්ලුම් කළා. නමුත් විභාගයට පෙනී සිටියේ 37 දෙනයි. ළමයි අතරමැදි පංතිවලදී  පාසල් හැර යෑම ඉහළ ගොස් තිබෙන බව තහවුරු කර ගන්න තිබෙන හොඳම සාක්කියක් මේක... "

වතු පාසලක අධ්‍යාපනය ලැබ විශ්වවිද්‍යාලයට පිවිස, වර්තමානයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තු‍මේන්තුවේ මහචාර්යවරයෙකු ලෙස කටයුතු කරන විජේ සන්දිරන් මහතා මේ ගැටලුව පිළිබඳව ඉතා වැදගත් නිරීක්ෂණ බොහෝ ගණනක් පෙන්වා දුන්නේය.

ගැටලුව, පෙනෙනවාට වඩා බරපතළයි

prof Sandiran 1 1

මහචාර්ය විජේ සන්දිරන්

 

"වතුකරයේ පාසල් නොයන ළමුන් සංඛ්‍යාව නිසියාකාරව ගණනය කළොත් ස්ථිරවම  එය ඉතා වැඩි අගයක් ගන්නවා. කවුරුවත් මේ ප්‍රශ්නය පිළිබඳව අවංකව සොයා බලන්නේ නැහැ. නගරයේ පාසලක ගුරුවරු හිඟ නම් ඉන්න ගුරුවරු උගන්වන්නේ නැත්නම් ඒ ගැන මොනතරම් කතා කරනවාද? එහෙත් වතුකරයේ දරුවන් පාසල් හැරයෑමේ ප්‍රවණතාව ඉහළ යෑම පිළිබඳව සැලකිය යුතු අවධානයක් යොමුව නැහැ. මේ වනවිට වතුකරයේ ජනතාව දැඩි ආර්ථික පීඩනයකින් පෙළෙනවා. මේ නිසාම  දරුවන් ගෙන් 60%ක් විතරම පාසලට එන්නේ  උදේට කෑමක් නැතුවයි.

"වතුකරයේ ජනතාවගේ ජීවන වියදම සම්බන්ධයෙන් අපි ගවේෂණයක් කළා. සාමාන්‍යයෙන් හතර දෙනෙක් ඉන්න පවුලකට මාසයක් ජීවත් වෙන්න රුපියල් 83,000ක් විතර අවශ්‍ය වෙනවා. කෑමට විතරක් රුපියල් 56,000ක වියදමක් මේ අයට වැය වෙනවා. වතු ජනතාව පඩියෙන් 70 %ක් විතරම වැය කරන්නේ කෑමට. ඔවුන් ගේ දෛනික වැටුප රුපියල් 1,000 යි කියලා කිව්වට ඒ මුදල ලැබෙන්නේ නැහැ. වතු කම්කරුවෙක් මාසෙකට වැටුප විදිහට ලබා ගන්නේ රුපියල් 21,000-24,000ත් අතර මුදලක්. පවුලේ දෙන්නෙක් වැඩ කළොත් පවුලකට මාසෙකට උපරිම ලැබෙන්නේ රුපියල් 48,000යි. පාසල් දරුවන්ගේ පොත්පත්වල මිල අද ඉතා ඉහළයි. අනිත් පැත්තෙන් බස් ගාස්තු ගොඩක් වැඩියි. කෑමවලට වියදම් කළාට පස්සේ  දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්න වතු ප්‍රජාවට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

 

RUM 8501

''කෑමට වැය කළාම අධ්‍යාපනයට මුදල් නැහැ''

 

"වතු පාසල් ගොඩක් පවත්වාගෙන යන්නේ ප්‍රාථමික පාසල් විදිහටයි. මේ පාසල් ගෙවල් ළඟ තියෙන නිසා ළමයින්ට බස් ගාස්තුවක් වැය නොකර පාසල් යන්න පුළුවන්. හය ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ දක්වා උගන්වන පාසලකට යනවා නම් අවම වශයෙන් කිලෝ මීටර් හය හතක දුරක් යා යුතුයි. කිලෝ මීටර් දෙකක දුරක් බස් එකේ ගිහින් එන්න ළමයෙකුට රුපියල් 100ක් ඕන. මේ වියදම් දරාගන්න බැරිව දරුවෝ පාසල් ගමන අත්හරිනවා. වතුවල සේවය සඳහා කම්කරුවන්ගේ අඩුවක් දක්නට ලැබෙනවා. ඒ අඩුව පුරවගන්න නම් අධ්‍යාපනය අඩු දරුවන් අවශ්‍යයි. වතු කළමනාකාරිත්වය විසින් සැලසුම්සහගතව වතු කම්කරු පවුල්වල දරුවන් අධ්‍යාපනයෙන් ඈත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවාද කියන සැකයත් පහසුවෙන් බැහැර කළ නොහැකි කාරණයක්." මහාචාර්යවරයා පැහැදිලි කළේය.

 

පසුගිය ජනවාරි සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ නුවරඑළිය හා හැටන් අධ්‍යාපන කලාප දෙකේ පාසල් හැරගිය ශිෂ්‍ය සංඛ්‍යාව 1,336කි. ඒ නුවරඑළිය කලාපයේ  553 ක් හා හැටන් කලාපයේ 783ක් ලෙසිනි.

 

RUM 8540

වතුකරය ආශ්‍රිත පාසල් හැරයෑම සෙසු ප්‍රදේශවලට වඩා දස ගුණයකි

නුවරඑළිය දිස්ත්‍රික්කයට සාපේක්ෂව මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල එම කාලය තුළ පාසල් හැර ගිය  ළමුන්ගේ සංඛ්‍යාව පවතින්නේ ඊට වඩා බෙහෙවින් පහළ අගයකය. මහනුවර එම සංඛ්‍යාව 131කි. මාතලේ 42කි. මෙම දත්ත අනුව පැහැදිලි වන්නේ උඩරට වතුකරය ආශ්‍රිත පාසල්වල දරුවන් පාසල් හැරයෑමේ ප්‍රවණතාව සෙසු ප්‍රදේශවලට වඩා දස ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් වතුකරයේ පාසැල් දරුවන් අතරින් 7%ක් පාසල් ගමනට සමුදී තිබෙන බව ජත්‍යන්තර රතු කුරුස සංවිධානය මෙරට තුළ මෑතක සිදු කළ සමීක්ෂණයකින්ද අනාවරණය වී තිබේ.  

පාසල්ගත කළ 50%ක් නැවත හැර ගිහින්

මධ්‍යම පළාත්  අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා මේ සම්බන්ධව මෙසේ පැවසුවේය. "කොවිඩ් වසංගතය එන්න කලින් නුවරඑළියේ කළ අවසාන සමීක්ෂණයේදී පාසැල් හැරගිය බාල වයස්කාර දරුවන් 995ක් පිළිබඳ තොරතුරු හෙළි වුණා. මේ අතර සිංහල ළමයි හිටියේ 50 දෙනෙක් පමණයි. අනිත් සියලුම ළමයි වතුකරයේ දරුවෝ. මේ ළමයි මල්මාලා දලා, පොත්පත් දීලා නැවත පාසැල් ගත කළා. නමුත් එතනින් 50%ක් පමණ පාසැල් ගමන ආයෙත් අත්හැරියා. වැඩිම පිරිසක් පාසැල් හැර යන්නේ පහේ පන්තියෙන් පසුවයි. දරිද්‍රතාව වැඩි නිසා ළමයි රැකියා කරන්න පෙළඹෙන බව නිරීක්ෂණය වී තිබෙනවා. කොවිඩ් නිසා පාසැල් දීර්ඝ කාලයක් වසා දමා තිබුණා. පාසැල් වසා දමා තිබූ කාලයේ  වතුකරයේ ගොඩක් ළමුන් අධ්‍යාපන වැඩවල නිරත වුණේ නැහැ. නැවත පාසැල් විවෘත කළත් ඒ අය පාසැල් එනවද කියන එක ප්‍රශ්නයක්. මේ වන විට අධ්‍යාපන කොට්ඨාස මට්ටමින් අපි පාසැල් නොඑන ළමුන් පිළිබඳ දත්ත රැස් කරමින් ඉන්නවා. ප්‍රවාහන ගාස්තු ඉහළ යෑමත් පාසල් පොත් උපකරණ මිල වැඩි වීමත් දරුවන්ගේ පාසල් ගමනට අයහපත් ලෙස බලපා තිබෙනවා. අතරමැදි පංතිවලදී පාසල් හැරයන සිසුන් යළි පාසල් ගත කිරීම පිණිස සෑම පාසලක්ම කේන්ද්‍ර කර ගනිමින් අනිවාර්ය අධ්‍යාපන කමිටු ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රදේශය අතහැර ගිය දරුවෙකු හැර අනෙක් ළමයින් හඳුනා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

'ආහාර වේලක් ලබාදෙන්න කටයුතු කරනවා'

NUWARAELIYA GA Nandana 1 1නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩනුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාද මේ සම්බන්ධව අප සමග අදහස් පළ කළේය. "කොවිඩ්වලින් පස්සේ නුවරඑළියේ වතුකරය ආශ්‍රිත පාසැල්වල සිසු පැමිණීම සමස්තයක් ලෙස අඩු වී තිබෙනවා. දරුවන්ට ඉස්කෝලේ යන්න  බස් ගාස්තුව දෙන එකත් දැන් දෙමව්පියන්ට ලොකු ප්‍රශ්නයක්. ආර්ථික ප්‍රශ්න නිසා මව්වරු විදේශ රැකියාවලට වැඩි වශයෙන් යොමු වන තත්ත්වයක් පේනවා. සමහර පවුල් වල අම්මා, තාත්තා දෙන්නම රට රැකියාවලට ගිහින් නිසා දරුවෝ ඉන්නේ මිත්තණියත් එක්ක. ඒ අය දරුවෝ පාසැල් යවන්න එතරම් උනන්දු නැහැ. තවත් පවුල්වල අම්මා රට ගිහිල්ලා නිසා දරුවෝ තාත්තා එක්ක ඉන්නවා. වතුකරයේ ගොඩක් පිරිමි මත්පැන් පානය කරනවා. දරුවා  පාසැල් ගියත් එකයි නැතත් එකයි කියලා හිතන තාත්තලාත් ඉන්නවා. දරිද්‍රතාව හේතුවෙන් ඇතිවන ප්‍රශ්න මුල්කර ගෙන ළමයින් පාසැල් ගමන අත්හරින තත්ත්වයක් පේනවා. ඒකට පිළියමක් ලෙස පාසැලේදී ළමයින්ට ආහාර වේලක් ලබාදීම සඳහා අවශ්‍යය කටයුතු මේවන විට ක්‍රියාත්මක කරමින් තිබෙනවා. "

'නියම දත්ත එළියට එන්නෙ නැහැ'

asajsqwjwජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෝභනා දේවි රාජේන්ද්‍රන්පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෝභනා දේවි රාජේන්ද්‍රන් මහත්මිය මෙම ගැටලුවේ තවත් පැති කෙරෙහි අවධාරණය කරයි. "පාසැල් ගමන අතරමග නතර කළ පිරිස සම්බන්ධව නියම දත්ත එළියට එන්නේ නැහැ. ළමයා පාසැල හැරගියා කියලා වාර්තා වෙන්නේ එයාගේ නම නාම ලේඛනයෙන් ඉවත් කළාමයි. සමහර ළමයි සතියකට දවසක් විතර ඉස්කෝලේ එනවා. ඒ ළමයි පාසැල හැරගිය දරුවෝ විදිහට සලකන්න බැහැ. ඒත්  ඒ අය අධ්‍යාපන කටයුතු කරන්නේ නැහැ. ප්‍රධාන පාසල්වල ළමයින්ව දෙමව්පියෝ මැදිහත් වෙලා යවනවා. ඒත් වතු පාසල්වල දරුවෝ ගැන එහෙම හොයනවා අඩුයි. සමහර ළමයි පාසැල් යන අතරතුර හවස් කාලේ වතුවල වැඩ කරනවා. අතට කීයක් හරි ලැබෙනකොට ඉස්කෝලේ යන එක නතර කරලා දවසම වැඩ කරන්න යනවා. නිසි අධ්‍යාපනයක් ලබන්න නම් ළමයා දින පහම පාසැල් යන්න ඕන. සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග ලියන්න පාසැලට පැමිණි දින ගණන බැලුවට අනෙක් පංතිවලදී ඒ ගැන සොයා බැලීමක් සිදුවන්නේ නැහැ.

 

මෙම වසර තුළ මේ දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පාසැල් නොයන දරුවන් සම්බන්ධ පැමිණිලි ලැබී ඇත්තේ 16ක් පමණක් බව තොරතුරු පනත යටතේ කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි. පාසැල් වයසේ දරුවන් මෙහෙකාර සේවයේ යොදවන බවට පැමිණිලි 163ක් ගතවූ මාස 09 තුළ ලැබුණු බවද එම අධිකාරිය පවසයි. ලංකාවේ ගර්භණීතාවට පත්වන සමස්ත කාන්තාවන් ගෙන් 4.4%ක් ළමුන් බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එම අගය 5% ක් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය කුමාරි තෝරදෙණිය මහත්මිය පවසයි. ළමුන් පාසැල් නොයෑමත් ළමා ශ්‍රමිකයින් සහ ළමා මව්වරු බිහිවීමත් අතර පැහැදිලි සම්බන්ධයක් පවතින බව ඇය පෙන්වා දෙයි.

චක්‍රලේඛ සහ යථාර්ථය

RUM 8507

පාසැල් යන වයසේ පසුවන, එහෙත් පාසැල් නොයන දරුවන් පාසල්ගත කිරීම අනිවාර්ය කරමින්  1939 අධ්‍යාපන ආඥා පනතේ 39 වැනි වගන්තිය ප්‍රකාරව 1997 නොවැම්බර් 18 දින 1997 අංක 1 දරන අනිවාර්ය අධ්‍යාපන නියෝග චක්‍ර ලේඛනය නිකුත් කර තිබේ. අවුරුදු 05ට නොඅඩු 16ට නොවැඩි සෑම ළමයෙකුගේම දෙමව්පියන් විසින් ඒ ළමයාගේ අධ්‍යාපනය සඳහා වෙනත් අයුරකින් ප්‍රමාණවත් හා සුදුසු විධිවිධාන සලස්වා ඇත්නම් මිස, නිතිපතා පාසලකට පැමිණ අධ්‍යාපනය ලැබීමට කටයුුතු සලසා දිය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය යළිත් 2015 දී චක්‍ර ලේඛනයක් නිකුත් කර තිබෙන අතර එහිදී ළමුන් පාසල්ගත කිරීම සඳහා වැඩි වගකීම පැවරී ඇත්තේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ටය. 

 

එහෙත් මෙම ගැටලුව හුදු චක්‍රලේඛවලින් හෝ නිලධාරී මට්ටමින් විසඳිය හැකි එකක් නොවන බවත්, රාජ්‍ය මට්ටමින් කඩිනම්, එමෙන්ම පුළුල් වැඩපිළිවෙළක් ඒ සඳහා අවශ්‍ය වන බවත් මෙම ගවේෂණයේදී හෙළිදරව් වූ කරුණු අනුව පැහැදිලිය. මෙම ගැටලුව පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සහිත මහාචාර්ය විජේ සන්දරන් වැනි විද්වතුන්ගේ සහාය ඒ සඳහා ලබා ගත යුතුය. අර්බුදය තවදුටත් උත්සන්න වීම වැළැක්වීමේ පියවරක් ලෙස, බස්ගාස්තු දරාගත නොහැකිව පාසල් හැරයන හෝ අවාරයට පාසල් යන දරුවන් සඳහා නිදහස් ගමන් බලපත්‍ර ලබා දීමට රජයට වහාම පියවර ගත නොහැකි ද?

 

(සටහන- ගයාන් යද්දෙහිගේ)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ඡායාරූප- රුවන් හර්ෂනාත්

(උපදේශනය සහ අනුග්‍රහය ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා ආයතනයෙනි)



'ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා' වෙනත් ලිපි :

11- ශාසනික හා රාජ්‍ය පුරුෂාධිපත්‍යයෙන් යටපත් කළ ලාංකීය භික්ෂුණී අනන්‍යතාව -(ගයත්‍රි නවරත්න)

 
09- මිනිස්කම ඉල්ලා කෑගසන සකායමාතා පුරම් - (හර්ෂා සුගතදාස)


08-නව ලොවකට පාර සොයන නොච්චිකුලමේ තෙළිඟු වංශිකයෝ -(මංගලනාත් ලියනආරච්චි)

07- උදුරා දැමුණු ජීවිත අතරින් ඇසෙන මේරිඅම්මාගේ කතාව - (විකුම් ජිතේන්ද්‍ර)

06- මුල් අදින්නට පොළොවක් සොයන වතුකරයෙන් පිටමංවූවෝ - (සඳරැසී සුදුසිංහ)

05- සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව : අකමැති සිරුරකින් නිදහස් වීමේ අරගලය! - (ටිරන් කුමාර බංගගමආරච්චි)

04- දොස්තර කෙනෙකුත් ඉංජිනේරුවෙකුත් හැදූ තෙළිඟු පරපුරේ හෙට දවස - (ලක්මාල් කේ. බදුගේ)

03- ආර්ථික යුද්ධයෙන් බැටකන නැගෙනහිර යුද වැන්දඹුවෝ

02- ආබාධිත ළමා සොල්දාදුවන්ගේ නොනිමි ජීවන අරගලය! - (වසන්ත චන්ද්‍රපාල)

01- එමලියනා, ෂෙරීන් සහ දිනිති! - මව්බසත් අමතක වී යන කැෆර්වරුන්ගේ කලදවස - (හර්ෂා සුගතදාස)

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්