බොහෝ යුවතියන් මෙන් රොෂෙල් ද යුග දිවියට එළඹුණේ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳ ගෙන ය. නමුත්, විවාහ වී වසරකුත් ගත වීමට ප්‍රථම

ඇය මැවූ සිහින බිඳ වැටුණේ ඇය ද නොසිතු අයුරිනි.

 

මේ වන විට 29 හැවිරිදි වියේ පසුවන රොෂෙල් දික්කසාද නඩුවක පැමිණිලිකාර පාර්ශවය වී අවසන් ය. තම රැකියාවෙන් උපයා ගන්නා මුදල් නීති කටයුතු සඳහා වැය කිරීමට දැන් ඇයට සිදුවී ඇත.

 

රොෂෙල් යනු, මෙම ලිපියේ කතා නායිකාවගේ සත්‍ය නාමය වෙනුවට ඇයගේ අනන්‍යතාව සුරැකීම වෙනුවෙන් අප විසින් භාවිත කරනු ලබන අන්වර්ථ නාමයකි.

 

 ශ්‍රී ලංකාවේ විවාහ වන්නන් අතර දික්කසාදවල ඉහළ යාමක්

 

ඉකුත් මාසයේ මෙරට මාධ්‍ය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ, 2020 වසරේ සිට "ශ්‍රී ලංකාවේ විවාහ වන්නන් අතර දික්කසාදවල ඉහළ යාමක්" දක්නට ලැබෙන බව ය.

 

රොෂෙල් විශ්වාස කරන පරිදි තම විවාහය දෙදරා යාමට බලපෑ ප්‍රධානතම සාධකය, තම ස්වාමි පුරුෂයා සහ ඔහුගේ මව අතර පැවති "පමණ ඉක්මවූ බැඳීම" ය. ඔවුන් වෙන්ව වෙනත් නිවසක වාසය කළ ද එය ඔවුන්ගේ පවුල් ජීවිතයට දිගින් දිගට ම බලපෑම් එල්ල කළ බව ඇගේ මතය යි.

අවස්ථා ගණනාවකදී ම රොෂෙල් තම විවාහය රැක ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරුවා ය. නමුත් ඒ සියලු ප්‍රයත්නයන් නිෂ්ඵල වූ තැන ඇයට සිදු වූයේ නීතියේ පිහිට පැතීම ය.

 

සමාජ විද්‍යාත්මකව බැලූ කල, සමාජ ව්‍යුහයේ කුඩා ම සංවිධානාත්මක ඒකකය පවුල ය. පවුල කුඩා ම සමාජ ඒකකය වුවත් එයට සමාජය තුළ හිමි වන්නේ, ඉතා වැදගත් ස්ථානයක් යන්න සමාජ විද්‍යඥයින්ගේ මතයයි. ඊට හේතුව පුද්ගලයින්ගේ කායික, මානසික, සමාජයීය හා භෞතික අවශ්‍යතා සපුරා ගැනීමට පවුල දායක වන බැවින් යැයි ඔවුහු පෙන්වා දෙති.

 

"ලංකාවේ දික්කසාදවලට හේතුවක් දරුවෝ කසාද බැන්දට පස්සෙවත් ඒ අයව අත් නොහරින කෙහෙල්මල් දරු සෙනෙහස,"

 

"ලංකාවේ දික්කසාදවලට හේතුවක් දරුවෝ කසාද බැන්දට පස්සෙවත් ඒ අයව අත් නොහරින කෙහෙල්මල් දරු සෙනෙහස," එක්තරා සමාජ මාධ්‍ය සටහනක සඳහන් විය.

 

රොෂෙල් පමණක් නොව, එවැනි ආකාරයේ අර්බුදවලට මැදි වූ තරුණ කතුන් බොහෝ දෙනෙකුගේ ගැටලු සමාජ මාධ්‍ය පිරික්සීමේදී සොයා ගැනීම අපහසු නොවේ.

 

නයෝමි [සැබෑ නම නොවේ] ද විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තම පෙම්වතා සහ ඔහුගේ මව අතර ඇති අසීමාන්තික බැඳීම නිසා උභතෝකෝටික ගැටලුවකට මැදි වී සිටින තරුණියකි.

 

 

මෙරට ඇතැම් මාධ්‍ය විසින් ද "අම්මා එක, බිරිඳ දෙක," යන සංකල්පය උත්කර්ෂයට නංවන අයුරු පසුගිය කාලය තුළ අපි දුටුවෙමු.

 

ඒ අනුව, "පවුල් සංස්ථා බිඳ දමන සමාජයේ ඔඩු දුවන ගැටලුවක් බවට පත්ව ඇති" මෙම මව-පුතු බැඳීම වටා ඇති ප්‍රශ්න සඳහා සාධනීය පිළිතුරක් සෙවීමේ අභිප්‍රායෙන් බීබීසී සිංහල, උපදේශන මනෝ විද්‍යාඥවරියක වන ආචාර්ය භාග්‍යා අබේසිංහ සමග සහ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් සමග සංවාදයක යෙදුනෙමු.

 

මේ ඒ සම්බන්ධයෙන් ලියැවෙන ලිපියකි.

 

'මේ සර්කල් එක ඇතුළේ ඉන්න ඕනේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විතරයි...'

 

මනෝවිද්‍යාව සහ උපදේශනය සම්බන්ධ කථිකාචාර්යවරියක ද වන පෞද්ගලික රෝහල් රැසක උපදේශන මනෝ විද්‍යාඥවරියක ලෙස ද සායනික කටයුතුවලට සම්බන්ධ වන ආචාර්ය භාග්‍යා අබේසිංහ මෙම සංවාදයට මුල පිරුවේ මෙලෙසිනි.

 

image3 10මේ සර්කල් එක ඇතුළේ ඉන්න ඕනේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විතරයි. දරුවෙක් තමයි ඒ සර්කල් එකට අලුතින් එකතු වෙන්නේ

 

"පුතෙක් විවාහ ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ, ඒ විවාහ ජීවිතය ඇතුළේ එයාගේ සර්කල් එකේ ඉන්න පුළුවන් තමන්ගේ බිරිඳ පමණයි. ඒ කියන්නේ, මේ සර්කල් එක ඇතුළේ ඉන්න ඕනේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විතරයි. දරුවෙක් තමයි ඒ සර්කල් එකට අලුතින් එකතු වෙන්නේ."

 

ඇය පැහැදිලි කළේ, දෙවම්පියන් ඇතුළත් විය යුත්තේ, දෙවන පිරිසට බව ය. ඉන්, මව හෝ පියා නොසලකා හැරීමක් අදහස් නොකරන බව ඇය පෙන්වා දුන්නා ය.

 

විවාහ ජීවිතයකට ඇතුළු වූ පසු තම සහකරු හෝ සහකාරිය සමග යහපත් සහසම්බන්ධතාවක් පවත්වා ගෙනයාමේ වගකීම දෙපාර්ශවයට ම පැවරෙන බව ඇය අවධාරණය කළා ය.

 

"අන්න එතැනදී පුතාලා දැන ගන්න ඕනේ, අම්මා කියන්නේ අම්මට, බිරිඳ කියන්නේ බිරිඳට. බිරිඳට අම්මා වෙන්නත් බැහැ, අම්මාට බිරිඳ වෙන්නත් බැහැ. මෙන්න මේ කියන කාරණාව තේරුම් ගන්නවා නම් සහ බිරිඳ ඉන්න ඕනේ තැන බිරිඳට දීලා, අම්මා ඉන්න ඕනේ තැන අම්මාට දුන්නා නම්, ඔය ප්‍රශ්න මුකුත් වෙන්නේ නැහැ," ඇය පැවසුවා ය.

 

මවත් පිරිමි දරුවත් අතර පවතින බැඳීම එම දරුවා වැඩිහිටි වියට පත්වීමත් සමග යම් ආකාරයකින් වෙනස් විය යුතු බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් සඳහන් කළේ ය.

 

'මගේ පුතා, මගේ පුතා, මගේ පුතා…'

 

my sonබිරිඳ කෙතරම් සමබරව සිටිය ද තම පුත්‍රයාගේ පවුල් ජීවිතයට ගැටලු ඇතිවන ලෙස කටයුතු කරන මව්වරුන් සිටින බව

 

ආචාර්ය භාග්‍යා අබේසිංහ පෙන්වා දුන්නේ, සායනවලදී තමන් ලද අත්දැකීම් අනුව, බිරිඳ කෙතරම් සමබරව සිටිය ද තම පුත්‍රයාගේ පවුල් ජීවිතයට ගැටලු ඇතිවන ලෙස කටයුතු කරන මව්වරුන් සිටින බව ය.

 

"බිරිඳ කෙතරම් සමබරව හිටියත්, අම්මලා ඉන්නවා මගේ පුතා, මගේ පුතා, මගේ පුතා කියලා කියාගෙන. ඇත්ත, පුතා තමයි, නමුත්, පුතා කසාද බැන්දට පස්සේ, පුතාගේ පවුල් ජීවිතයට ප්‍රශ්න ඇතිවෙන විදිහට ම කටයුතු කරන අම්මලත් ඉන්නවා," ඇය පැවසුවා ය.

 

විවාහ වන වයසේ පුතෙකු සිටින මවක යනු, බොහෝ විට මැදිවියේ පසුවන කාන්තාවක බව ඇය සඳහන් කළා ය. එවැනි කාන්තාවන්ගේ සිතුම් පැතුම් චර්යාවන් සහ වෙනස් කිරීම අපහසු බව ඇය පෙන්වා දුන්නා ය.

 

එවැනි අවස්ථාවක, තම මවගේ ස්වභාවය අවබෝධ කරගෙන ඒ අනුව පුරුෂයෙකු කටයුතු කළ යුතු බව ඇය පැහැදිලි කළා ය.

 

ඇය අවධාරණය කළේ, විවාහ දිවියට එළඹීමෙන් පසු හෝ දරුවන් ලැබුණු පසු එවැනි ගැටලුකාරී තත්ත්වයන් විසඳෙනු ඇතැයි සිතීම නිෂ්ඵල ක්‍රියාවක් බව ය.

 

තම විවාහයට ප්‍රථම එවැනි අත්දැකීම් රොෂෙල් ලබා තිබුණ ද ඒවා වර්තමානයේ තමන් සිටින තත්ත්වය දක්වා උග්‍රවනු ඇතැයි ඇය නොසිතුවා ය.

ආචාර්ය භාග්‍යා අබේසිංහ සඳහන් කළේ, තම සායනවලදී එලෙස පීඩාවට පත් වුණු කාන්තාවන් සැලකිය යුතු ගණනක් තමන්ට හමු වී ඇති බව ය.

 

විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ද සඳහන් කළේ, පුතෙකු තම මව කෙරෙහි පවතින ආදරය අඩු නොකළ යුතු බව ය. නමුත් එම ආදරය බාහිර පුද්ගලයින් සමග ජීවත් වීමට බාධාවක් නොකර ගත යුතු බව ඔහු පැවසීය

 

'ගොඩක් වෙලාවට පුතාලා තමයි වැරැද්ද කරන්නේ...'

 

දෙවම්පියන් කෙරෙහි ඇති ආදරය නොවෙනස්ව පවත්වා ගෙන යා යුතු බව ආචාර්යවරියගේ මතය යි. නමුත් අනවශ්‍ය ලෙස මව, පියා, සහෝදර සහෝදරියන් හෝ යහළුවන් තම පවුල තුළට එකතු කර ගැනීම එතරම් සුබදායී නොවන බව ඇය පැහැදිලි කළා ය.

 

"ගොඩක් වෙලාවට පුතාලා තමයි වැරැද්ද කරන්නේ. පුතා අම්මගේ හැටිත් දන්නවා බිරිඳගේ හැටිත් දන්නවා. හැබැයි, ‘නෑ... ඕක දෙන්න එකට ඉන්නකොට හරි යාවි,’ කියලා දෙන්නත් එක්ක එක ගෙදරක ඉන්නවා," ඇය තම අත්දැකීම් ඇසුරින් සඳහන් කළා ය.

 

young couple having argument conflict bad relationships angry fury woman min

"ස්වාමි පුරුෂයා සහ බිරිඳ අතර තියෙන ප්‍රශ්නය, දැන් අද හවස ඇවිළුණොත්, අද රෑට රණ්ඩු වෙලා නිදාගෙන, හෙට උදේ වෙනකොට මේ ප්‍රශ්නේ ඉවරයි. හැබැයි උදේ නැගිට්ටට පස්සේ, අම්මා පුතාට තියෙන ආදරේ හින්දා, අම්මා එතැනින් දවස පටන් ගන්න පුළුවන්. 'ඊයේ රෑ මගේ එකාට කන්නත් නැහැ, ඊයේ රෑ දෙන්න හොඳට ම රණ්ඩු වුණා,' මෙහෙමයි කියලා. ඔන්න එතකොට අම්මලාගේ ස්වභාවය එළියට එන්න පුළුවන්."

 

විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ද සඳහන් කළේ, පුතෙකු තම මව කෙරෙහි පවතින ආදරය අඩු නොකළ යුතු බව ය. නමුත් එම ආදරය බාහිර පුද්ගලයින් සමග ජීවත් වීමට බාධාවක් නොකර ගත යුතු බව ඔහු පැවසීය.

 

"අපි දකිනවා සමහර වෙලාවට මේ පවුල් ජීවිතවල ගැටලු ඇති වෙනවා විවාහයෙන් පස්සේ. ඒ ස්වාමි පුරුෂයා භාර්යාවත් එක්ක අලුත් ජීවිතයක් ගත කරන්න පෙළඹෙනවාට වඩා, අර මවගේ ආදරය නිරන්තරයෙන් ලබා ගන්න, ඒ නිවසට ම වෙලා ඉන්න, සහ මවගෙන් සුළු වේලාවකට හරි වෙන්ව සිටීමට දක්වන අකමැත්ත නිසා භාර්යාව සමග හොඳ බැඳීමක් ඇති කර ගන්න නොහැකි වෙන අවස්ථා," මනෝවෛද්‍යවරයා සඳහන් කළේ ය.

 

ඔහු පැවසුවේ, එවැනි අවස්ථාවලදී යහපත් තීරණ ගැනීමට නොහැකි වන බව ත් මව දරුවන්ගේ කටයුතුවලට "ඇඟිලි ගැසීම නිසා" බිරිඳ මව "සතුරෙකු" ලෙස දකින බව ත් ය.

 

Curious mother in law secretly listening

"මවත් දුක් වෙනවා තමන්ට දරුවාගේ ආදරය අහිමි වුණා කියලා. එතකොට මවත් තමන් සමග වැඩි කාලයක් ගත කරන්න කියලා දරුවට බල කරනවා. භාර්යාව සමග ගත කරන කාලය ගැන ඊර්ෂියාසහගතව බලන්න පුළුවන්. පවුල් ජීවිතේ කටයුතුවලට අනවශ්‍ය විදිහට උපදෙස් දෙන්න යනවා. ඒ වගේ දේවල් නිසා පවුල් ඇතුළේ අවුල් ඇති වෙන්න පුළුවන්." ඔහු පැහැදිලි කළේ ය.

 

 'මොකට ද ඔය ෆෝන් එක ඇඳට අරගෙන යන්නේ?'

 

විවාහ වී දින කිහිපයකට පසු රොෂෙල් අත්විඳි තවත් සිදුවීමක් විය. ඒ, තම සැමියා රාත්‍රී නිදි යහනට පැමිණෙන විට ජංගම දුරකතනය රැගෙන ඒම ත්, එය ත් සමග වැඩි කාලයක් ගත කිරීමත් ය.

 

රොෂෙල් පවසන පරිදි තම සැමියා ඔහුගේ මව සමග දුරකතනයෙන් කතා බස් කිරීමට තෝරා ගත්තේ, තමා සමග ගත කිරීමට තිබුණු කාලය යි. එය වරක් දෙවරක් නොව, නොනවත්වා සිදුවීම ඇය කලකිරීමට පත් කරවන්නක් විය.

 

මේ හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ සන්නිවේදනය මුළුමනින් ම පාහේ බිඳ වැටීම පමණක් නොව, ඔවුන්ගේ ලිංගික ජීවිතයට ද ප්‍රබල ලෙස බලපෑම් එල්ල විය.

 

gettyimages 931804786 612x612

"දෙන්නා තමන්ගේ නිදා ගන්න ඇඳට ගියා ම, දෙන්නත් එක්ක ලිංගිකව හැසිරෙන්න ම ඕනේ නැහැ. තුරුළු වෙලා ඉන්න, කතා කරන්න, ආගිව්මන්ට් එකක් යන්න, අදහස් හුවමාරුවක් ක‍රන්න, මොනවා හරි දෙයක් ප්ලෑන් කරන්න පුළුවන්. මොකට ද ඔය ෆෝන් එක ඇඳට අරගෙන යන්නේ? එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ," ආචාර්ය භාග්‍යා අබේසිංහ පැහැදිලි කළා ය.

 

ඇය පෙන්වා දුන්නේ, යුවළක් වෙන්ව ජීවත් වීමේදී තම දෙවම්පියන් පිළිබඳව සොයා බැලිය යුතු බව ත් එය නිදි යහනට පැමිණීමට ප්‍රථම සිදු කිරීමට හැකියාවක් පවතින බව ත් ය.

 

"රෑට නිදාගන්න ඇඳට ගිහිල්ලා අම්මා එක්ක කතා කරන්න අවශ්‍යතාවක් නැහැනේ. ඊට කලින් පුතා දැනගන්න ඕනේ අම්මට කතා කරන්න. දුව දැනගන්න ඕනේ අම්මට කතා කරන්න. අම්මා ගැන හොයලා බලන්න. හදිසි කෝල් එකකදී ඇරෙන්න.ඇඳට ආවට පස්සේ ම, මම නම් කියන්නේ ෆෝන් එක පැත්තකින් තියන එක තමයි වඩා ත් ම සුදුසු," ඇය පෙන්වා දුන්නා ය.

 

'අම්මා එක්ක කතා කළ ත් වැරදි වෙන බිරින්දෑවරු ඉන්නවා... එතකොට වින්දිත පාර්ශවය වෙලා තියෙන්නේ පිරිමියා...'

 

උපදේශන මනෝ විද්‍යාඥවරිය සඳහන් කළේ, බිරින්දෑවරුන් විසින් ගැටලු ඇති කරනු ලබන අවස්ථා ද තම වෘත්තීය ජීවිතයේදී හමුවී ඇති බව ය.

එවැනි අවස්ථාවලදී වැඩි වශයෙන් ස්වාමි පුරුෂයා පීඩාවට පත්වන බව ඇය පෙන්වා දුන්නා ය.

 

jelous wife

"තවත් සමහර අවස්ථා තියෙනවා. ඕකේ ම අනිත් පැත්ත. අම්මගේ කිසි ම වරදක් නැහැ. ඇත්තට ම අම්මා අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න එන්නෙත් නැහැ. අම්මා ඉතින් පුතාට කතා නොකර ඉන්නේ නැහැනේ. කතා කරලා කොහොම ද කින්ද මන්ද කියලා හොයලා බලනවනේ. හැබැයි ඒක දරා ගන්න බැරි බිරින්දෑවරු ඉන්නවා," යැයි ඇය සඳහන් කළේ තම වෘත්තීය අත්දැකීම් ඇසුරෙනි. 

"එතකොට ඒ වෙලාවට පුතා අසරණ වෙනවා, අම්මා එක්ක කතා කරන්නත් ඕනේ, අම්මව බලන්නත් ඕනේ, හැබැයි අම්මා එක්ක කතා කළත් වැරදි වෙන බිරින්දෑවරු ඉන්නවා. මට එහෙම බිරින්දෑවරුත් මුණගැහිලා තියෙනවා. එතකොට වැඩිපුර ම පීඩාවට පත් වෙලා තියෙන්නේ, වින්දිත පාර්ශවය වෙලා තියෙන්නේ පිරිමියා," ඇය තව දුරටත් පැවසුවා ය.

 

ඇය සඳහන් කළේ, අවස්ථා තුනකදී මෙවැනි ගැටලු ඇති විය හැකි බව ය.

 

ඉන් එකක් ලෙස ඇය පෙන්වා දුන්නේ, මව සහ බිරිඳ සමග ඇති සම්බන්ධතාව කළමනාකරණය කර ගැනීමට ඇතැම් ස්වාමි පුරුෂයින් අපොහොසත් වීම ය.

 

අනෙක් අවස්ථාව, මවක තම ලේලියට වෙනස්කම් කිරීම ය.

 

"අම්මා පුතාට ආදරෙයි, හැබැයි ලේලිව ගණන් ගන්නේ නැහැ. ලේලිට ආදරේ නැහැ. පුතාට මාළු කෑලි දෙකක් බෙදනවා. ලේලිට මාළු හොදි ටිකක් විතරක් බෙදනවා. එහෙම නැත්නම්, කසාද බැඳපු පුතාට, සුදු පුතා, චූටි පුතා, මගේ පුතා කියලා කතා කරනවා. හැබයි බිරිඳට කතා කරන්නේ නම කියලා."

 

Relations problem, lady overhearing husband complaining on marriage to motherමෙයාගෙයි අම්මගෙයි තියෙන්නේ පුදුම කතාවක් නේ. මට හොරෙන් මොනවා ද අම්මලා පුතාලට තියෙන කතා

 

තුන්වන අවස්ථාව, "බිරින්දෑවරු හිතාගෙන ඉන්නවා, කසාද බැන්දට පස්සේ අම්මා ගැන ඔච්චර හොයන්නේ මොකට ද? මෙයා විතර ද ළමයෙකුට ඉන්නේ? මෙයාගෙයි අම්මගෙයි තියෙන්නේ පුදුම කතාවක් නේ. මට හොරෙන් මොනවා ද අම්මලා පුතාලට තියෙන කතා," ලෙස ඇය පැහැදිලි කළා ය.

 

ඇතැම් බිරින්දෑවරුන්ගේ එවැනි හැසිරීම් සඳහා ඔවුන්ගේ පෙර අත්දැකීම් බලපෑ හැකි බව ආචාර්ය භාග්‍යා අබේසිංහ පෙන්වා දුන්නා ය.

 

කුඩා කල සිට ම අවධානය යොමු කළ යුතු යි

 

මෙවැනි ගැටලු ඇති වීම වළක්වා ගැනීමට දෙවම්පියන්ට දරුවන් කුඩා කල සිට ම පියවර ගත හැකි බව ආචාර්යවරියගේ මෙන් ම මනෝ වෛද්‍යවරයාගේ ද අදහස විය.

 

විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් සඳහන් කළේ, දෙමව්පියන් සහ දරුවන් අතර පවතින බැඳීම වඩා ත් නිරෝගී විය යුතු බව ය. එම බැඳීමේ පවතින ගුණාංග අනුව ඉන් ලැබෙන ප්‍රතිඵලවල ස්වභාවය තීරණය වන බව ඔහු පැවසීය.

 

thinkstockphotos 474883666.jpg.optimalකුඩා කාලයේදී දෙවම්පියන් සහ දරුවන් අතර වෙනස් නොවන බැඳීමක් තියෙන්න ඕනේ

 

ඔහු පෙන්වා දුන්නේ, "කුඩා කාලයේදී දෙවම්පියන් සහ දරුවන් අතර වෙනස් නොවන බැඳීමක් තියෙන්න ඕනේ. නැත්නම් දරුවන් වැඩිහිටි වුණා ම බැඳීම් ගැන අවිශ්වාසයක් ඇති වෙන්න පුළුවන්," යනුවෙනි.

 

එසේ නොවන අවස්ථාවලදී දරුවෙකු වැඩිහිටි බවට පත් වූ පසු ඔහු හෝ අයට සබඳතා පිළිබඳ ගැටලු පැන නගින බව මනෝවෛද්‍යවරයා පැහැදිලි කළේ ය.

 

නමුත් මවක සහ පිරිමි දරුවෙකු අතර පවතින බැඳීම එම දරුවා නව යොවුන් වියට පත් වීමේදී යම් ආකාරයක වෙනස් වීමකට භාජනය විය යුතු බව ඔහු පැවසීය.

 

"මවත් පිරිමි දරුවත් අතර බැඳීම ළමා කාලයේදී වැදගත් වුණාට තරුණ කාලය වන විට ඒ බැඳීම්වල වෙනස්කම් ඇති වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට, පිරිමි දරුවා නව යොවුන් වයසට එනකොට ඔහු වඩා ත් ස්වාධීන වෙන්න උත්සහ ගන්නවා. ඒ උත්සහ ගන්නේ, සමාජයට ගැළපෙන සහ අත්‍යවශ්‍ය වන පෞරුෂත්ව ලක්ෂණ ඉගෙන ගන්න. අලුත් අත්දැකීම් ලබන්න උත්සහ ගන්නවා, අලුත් යහළුවෝ හොයා ගෙන යනවා, අනන්‍යතාවක් ගොඩනගා ගන්නවා, අවදානම් ගන්න පෙළඹෙනවා. මෙන්න මේ වගේ දේවල්වලදී ඔහු ස්වාධීනව වැඩ කරන්න ඉගෙන ගන්නවා," ඔහු සඳහන් කළේ ය.

ආචාර්ය භාග්‍යා අබේසිංහ ද මනෝවිද්‍යාඥවරයෙකු වන එරික් එරික්සන්ගේ ළමා සංවර්ධන අවධි ඇසුරින් ඒ පිළිබඳව පැහැදිලි කළා ය.

 

 

"අපි මනෝවිද්‍යාවේදී කතා කරනවා යහපත් දෙමව්පියකරණය. අනවශ්‍ය විදිහට දරුවාට බලපෑම් කරන්න ගිහිල්ලා, දරුවාගේ පෞරුෂයට හානි නොකර ඉන්න එකේ වගකීම තියෙන්නේ අම්මාට තාත්තාට. ඒ වගකීම දරුවා ඉපදිච්ච දවසේ ඉඳන් ම තියෙනවා. දරුවා එක එක අවධි පහු කරගෙන යනකොට, ඒ දරුවාට අවශ්‍ය කරන රැකවරණය, සහයෝගය අවබෝධයෙන් යුතුව දෙන්න ඕනේ."

 

ඇය පෙන්වා දුන්නේ, දරුවන් ඔවුන්ගේ ජීවිතයේ විවිධ අවධීන් පසුකර යාමේදී ඔවුන්ගේ පෞරුෂය ගොඩනැගෙන ආකාරයට දෙමව්පියන් කටයුතු කළ යුතු බව ය.

 

"එතැනදී මුල් ළමා විය සංවර්ධනය කියන කාල සීමාව, නව යොවුන් අවධිය කියන කාල සීමාව විශේෂයෙන් ම වැදගත් වෙනවා. මොක ද ඒ අවධීන්වලදී නිසි දැනුවත්භාවය, ඒ සහයෝගය නැති වුණාට පස්සේ තමයි අර දරුවාගේ පෞරුෂය නැති වෙලා යන්නේ. නැත්නම් හීන පෞරුෂයක් ගොඩනැගෙන්නේ. එහෙම දරුවෙකුට කසාද බැන්දත් ඊළඟට කරන්නේ මොකක් ද කියලා හිතා ගන්න බැහැ. අම්මා ද නෝන ද කියලා හිතා ගන්න බැහැ. හරි වෙලාවට හරි තීරණයක් ගන්න බැහැ," ඇය පැවසුවා ය.

 

රොෂෙල් පැවසූ පරිදි ඇගේ සැමියා ද තීරණ ගැනීමේදී දුර්වලතා පෙන්වා තිබේ. ඔහු පහසුවෙන් අන් අය පවසන දෑ අනුව තම ස්ථාවරය වෙනස් කරන පුද්ගලයකු ලෙස රොෂෙල් හඳුනා ගෙන තිබේ.

 

විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ද පෙන්වා දුන්නේ, සමාජයට ගැළපෙන පෞරුෂයක් නොමැති, සමාජ කුසලතා නොමැති පුද්ගලයෙකු විවාහ ජීවිතයට ඇතුළු වූ පසු ගැටලු ඇති විය හැකි බව ය.

 

"දරුවෙකුට සහකම්පනය කියන එක දිය යුතු ම යි," ආචාර්ය භාග්‍යා අබේසිංහ අවධාරණය කළා ය.

 

"හේතුව සහකම්පනය නැති මිනිස්සු කසාද බැන්දත්, සහකම්පනය නැති මිනිස්සු රස්සාවක් කළත්, සහකම්පනය නැති මනුස්සයෙක් පවුලක හිටියත්, එක හා සමානව දුක සහ වේදනාවක් තමයි අනෙක් වටේ ඉන්න පාර්ශවයන්ට ලැබෙන්නේ."

 

රොෂෙල් තම ස්වාමි පුරුෂයා සමග එක්ව ගත කළ කෙටි කාලය තුළ ලද "දරුණුතම" අත්දැකීම ඔහු තුළ සහකම්පනය නොමැති වීම ය.

 

මේක අපේ සංස්කෘතියේ අවුලක් ද?

 

convincing parents of love marriageනෑ... නෑ... අපි කියන කෙනා තමා බඳින්න ඕනේ. ඔය මගුල කරගත්තොත් අපි නෑ කියලා හිතන්න,' ඕනේ කියලා ඔන්න අර නොගැළපෙන කෙනෙක්ව අම්මලා තාත්තලා එකතු වෙලා කසාද බන්දලා දෙනවා

 

අප "යහපත්" සංස්කෘතියක් ඇති රටක ජීවත් වුව ද එහි ඇති ඇතැම් ලක්ෂණ දරුවන්ගේ පෞරුෂයට හානි කරන බව ආචාර්ය භාග්‍යා අබේසිංහ බීබීසී සිංහල සමග අදහස් දක්වමින් පැවසුවා ය.

 

ඇය සඳහන් කළේ, දරුවන්ට තීරණ ගැනීමේ අයිතිය පවා නොදෙන දෙමව්පියන් සිටින බව ය.

 

"පුතා හොඳට ම දන්නවා, මට ගැළපෙන්නේ මේ වගේ කෙනෙක්, මේ වගේ කෙනෙක් තමයි කසාද බඳින්න ඕනේ කියලා. හැබැයි වැරදිලාවත් ඒ කෙනාට අම්මා තාත්තා අකමැති වුණොත්, අපේ මේ සංස්කෘතිය ඇතුළේ තියෙන සමහර කාරණා නිසා, 'නෑ... නෑ... අපි කියන කෙනා තමා බඳින්න ඕනේ. ඔය මගුල කරගත්තොත් අපි නෑ කියලා හිතන්න,' ඕනේ කියලා ඔන්න අර නොගැළපෙන කෙනෙක්ව අම්මලා තාත්තලා එකතු වෙලා කසාද බන්දලා දෙනවා," ඇය පැහැදිලි කළා ය.

 

රොෂෙල්ගේ මතය වූයේ, බටහිර සමාජයේ මෙන් විවාහ වීමට ප්‍රථම, යුවළක් එකට වාසය කිරීම (living together) වැනි සංකල්ප සඳහා මෙරට තුළ ඇති තහංචිය කෙනෙකුට වඩා ත් සුදුසු සහකරුවෙකු හෝ සහකාරියක තෝරා ගැනීමට එක් අතකට අහිතකර බලපාන බව ය.

 

විසඳුමක්?

 1 21 are you considering buying a house together before you are marriedවිවාහයෙන් පසු පවුල් ජීවිතය වෙන ම ස්ථානයක ආරම්භ කිරීම

 

ප්‍රයෝගික ගැටලු නොමැති නම්, විවාහයෙන් පසු පවුල් ජීවිතය වෙන ම ස්ථානයක ආරම්භ කිරීම සුදුසු යැයි යෝජනා කරන බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ද පෙන්වා දුන්නේ ආචාර්යවරියගේ ද එම අදහසට එකඟ වෙමිනි.

 

යම් හෙයකින් විවාහය සම්බන්ධ ගැටලුවක් පවුල තුළ විසඳා ගැනීමට අපොහොසත් වේ නම්, ඒ සඳහා වෘත්තීයමය පළ පුරුද්දක් ඇති මනෝ උපදේශකවරයෙකු, මනෝ චිකිත්සකවරයෙකු, මනෝ විද්‍යාඥයෙකු හෝ මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු වීම සුදුසු බව ආචාර්ය භාග්‍යා අබේසිංහ පෙන්වා දුන්නේ ය.

 

කෙසේ වෙතත්, මනෝවෛද්‍ය රූමි රූබන් සඳහන් කළේ, දෙවම්පියන් සමග පවතින අසීමිත බැඳීම සම්බන්ධ ගැටලු "විවාහයට පෙර ම, ඇති වීමේ ලකුණු තියෙනවා නම්, විවාහය වෙනකම් සිටීමට අවශ්‍ය නැහැ, විවාහට පෙර ම පූර්ව විවාහ උපදේශනය සඳහා යොමු වෙන්න පුළුවන්," යනුවෙනි.

 

"ලේලිලාව පීඩනයට පත් ක‍රන අම්මලාගෙන් මං අහන්නේ, ඒ අම්මා කැමති ද ඒ අම්මට දුවෙක් හිටියා නම්, ඒ දුවගේ මහත්තයා ඔය වගේ හැසිරෙනවාට. තමන්ගේ දුවට ඒක වෙනවට කැමති ද? කැමති නෑනේ. එහෙනම් අර දුවටත් ඒක වෙන්න ඉඩ තියන්න එපා.

 

ඊළඟට මම බිරින්දෑවරුන්ගෙන් අහන්නේ, ඔයාට පුතෙක් හිටියා නම්, ඔයා කැමති ද ඔයාගේ ලේලි ඔය වගේ හැසිරෙනවාට?

 

පුතාලගෙන් මං අහන්නේ, අම්මට අම්මගේ තැන දීලා, බිරිඳට බිරිඳගේ තැන දීලා, හරි විදිහට මධ්‍යස්ථව, තීරණ ගන්න පුළුවන් පෞරුෂයක් තියාගෙන හිටියා නම්, මේ ප්‍රශ්න මීට වඩා වෙනස් වෙනවා නේ ද?

 

එහෙම ඇහුවට පස්සේ ගොඩක් වෙලාවට මේක සමථයකට පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා," ආචාර්යවරිය සඳහන් කළා ය.

 

"මම ඒ නිසා පොදුවේ කියන්නේ, අම්මා අම්මා ම යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ලොකු කැප කිරීමක් කරලා තමයි අම්මා කෙනෙක් වෙන්නේ. බිරිඳට ඒක දැනෙන්නේ, බිරිඳ අම්මා කෙනෙක් වෙච්ච දවසට.

 

නමුත් මම යෝජනා කරන්නේ, මට තියෙන අත්දැකීම් එක්ක, විවාහ වුණාට පස්සේ, ප්‍රශ්නයක් වෙලා, නොහොඳ වෙලා වෙන් වෙනවාට වඩා, දෙපාර්ශවයේ ම අම්මලා තාත්තාලට සලකන්න, ආදරය කරන්න, බැඳීම් තියාගන්න, නොසලකා හරින්න එපා. හැබැයි, දෙන්න වෙන ම ඉන්න එක තමයි හොඳ ම," ඇය අවසන් වශයෙන් පැවසුවා ය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්