තවත් පොසොන් පුන් පෝ දිනයක් උදාවී තිබේ.

වෙසක් පුන් පොහොය සමස්ත ලෝක වාසී බෞද්ධයන්ගේ අතිශය වැදගත් දිනය වනුයේ යම් සේ ද හුදු ශ්‍රී ලාංකේය බෞද්ධයන්ට පමණක් ආවේණික ශාසනික වශයෙන් අතිශය වැදගත් දිනය පොසොන් දිනය බව අවිවාදිත ය.පොසොන් පෝ දිනය හා සම්බන්ධ කේන්ද්‍රීය සංසිද්ධිය මේ වන විට කුඩා දරුවන් පවා ඉතා හොඳින් දන්නා මහින්දාගමනයයි. ක්‍රිස්තු පූර්ව 247 සිදු වූ බව පැවසෙන මහින්දාගමනය හා සම්බන්ධ සිදුවීමේ ඇති නාට්‍යමය ස්වරූපය නිසා එය බොහෝ දෙනකුගේ සිත් තුළට තදින් කාවැදී ඇති බව නිසැක ය.

එවක අප රට පාලනය කළ පසුව දේවානම්පිය යන උපධි නාමයෙන් හැඳින්වුණු තිස්ස රජතුමා මිහින්තලා පව්ව ආශ්‍රිත මුව වනයේ දඩයමේ යන විට මුවකු දක්නට ලැබී ඒ පසුපස ලුහුබැඳ යාමත් ඒ වන විට මිහින්තලා පර්වතය මතට සෘද්ධියෙන් වැඩම කොට සිටි මිහිඳු මා හිමියන් රජ තුමන්ට “තිස්ස තිස්ස” යන රජුගේ පුද්ගල නාමයෙන් ආමන්ත්‍රණය කොට රජතුමා විස්මයට පත් කරවීමත් ඒ මූලික සංසිද්ධියයි. එහෙත්, ඒ සම්බන්ධයෙන් මූලික සාක්ෂියක් සැපයෙන මහාවංශයේ දාහතර වන පරිච්ඡේදයේ පළමු ගාථා පාඨයේ සිට නව වන ගාථා පාඨය දක්වා එම සිදුවීම විස්තර වනුයේ ඊට තරමක් වෙනස් අයුරකිනි.

z pic3506

 

ඒ මෙසේය, නුවර වාසීන්ට ජල ක්‍රීඩා කරන ලෙස අන කරන රජතුමා හතලිස් දහසක පිරිසක් ද සමඟ මුවන් දඩයම පිණිස මිස්සක පව්වට යයි. එවිට ඒ පර්වතාගෘහිත දේවතාවා රජුට මිහිඳු හිමියන් දක්වනු පිණිස ගෝනකු ගේ රුවක් (ගෝකණ්ණ රූපා) තණ බුදිමින් හිඳින අයුරක් දක්වයි.(මෙහි දී මේ වන විට ශ්‍රී ලාංකේය ජන විඥානයේ මෙම සත්වයා ගෝනකු නොව මුවකු වශයෙන් සටහන්ව තිබීම ද අපගේ විශේෂ අවධානයට යොමු විය යුතු ය.) එම ගෝනා දුටු රජතුමා ද ප්‍රමාද වුවහොත් විද ගැනීමට නොහැකි වනු ඇතැයි සිතා දුනු දිය අදිත්ම ගෝනා දුවන්නට පටන් ගනියි. එවිටම රජතුමාද ගෝනා ලුහුබැඳීම අරඹයි. නමුදු මිහිඳු තෙරුන් සමීපයට ගිය එම ගෝනා රජතුමා මිහිඳු තෙරුන් දුටු සැනින් අතුරුදන් වූ බව වංශ කතාකරු සඳහන් කරයි. එම විස්තරයට අනුව එවිට මිහිඳු හිමියන් ද රජතුමන් තමන් වහන්සේ ඇතුළු පිරිස දැකීමෙන් බිය වෙතැයි සිතා උන් වහන්සේ පමණක් පෙනී සිට රජතුමාට “තිස්ස මෙහි එව” යනුවෙන් ආමන්ත්‍රණය කළ බවත් වංශ කතාවේ සඳහන් ය.එවිට ඒ ආමන්ත්‍රණය යක්ෂයකු විසින් කරන ලද්දකැයි රජතුමා බියපත් වන අතරේම මිහිඳු මා හිමියන් මතු දැක්වෙන ආකාරයෙන් තමන් වහන්සේ ඇතුළු පිරිස සහ වැඩම කළ අරමුණ පැහැදිලි කළ බව ද වංශ කතාකරු කියයි.

සමනාමයං මහ රාජ ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය ජම්බුදීපා ඉධාගථා (මහ රජ අපි ශ්‍රමණයෝ වෙමු. ධර්ම රාජයයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. තොප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව ජම්බුද්වීපයේ සිට පැමිණියෙමු)

ඉහත සඳහන් කතා ප්‍රවෘත්තියට අනුව ශ්‍රී ලාංකිකයන් මුවකු ලෙස හඳුන්වන ගෝනා දේවතාවකුගේ මැවීමක් ය යන්න අද්භූතවාදී ප්‍රවෘත්තියකි. ඒ කෙසේ හෝ මිහිඳු මා හිමියන් මෙරටට වැඩම කොට සිදු කළ පළමු කාරිය වනුයේ රජතුමා අතින් සිදුවීමට ගිය සත්ව ඝාතනයක් වැලකීම බව බැලූ බැල්මටම පෙනේ. එමෙන්ම මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කොට සිදු කළ එම සමාරම්භක කාර්යය උන් වහන්සේ අප රටට යොමු කළ ඉන්දියාවේ රජ කළ ධර්මාශෝක අධිරාජ්‍යයා (ක්‍රි. පූර්ව 268-232 ) ගේ රාජ්‍ය දර්ශනයට බෙහෙවින් අනුරූප බව ඒ සම්බන්ධයෙන් කරනු ලබන විමසුම්වල දී පෙනී යයි. මෙහිදී ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පාලන ක්‍රමය බුදු දහමෙහි එන පරමාදර්ශී රාජ්‍ය පාලනය වන චක්කවත්තී රාජ්‍ය පාලනය දෙසට යොමු වන්නක් බව ද ඒ සම්බන්ධයෙන් විමසුම් කළ ඇතැමෙක් කියති.

image b7dd8dd269

 

නමුදු මෙහි දී මිහිඳු හිමියන් තමන් වහන්සේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ නියෝජිතයකු බව නොපවසා බුද්ධ ශ්‍රාවක ශ්‍රමණයන් ලෙස හඳුන්වා දීම ද සුවිශේෂත්වයකි.එය ධර්මාශෝක අධිරාජ්‍යයා ධර්ම බලය මිස තම රාජ්‍ය බලය ව්‍යාප්ත කිරීමට වෙර නොදරන ලද බවට කදිම සාක්ෂියකි. ශ්‍රී ලංකාවට බුදු සමය හඳුන්වා දීමට උපස්ථම්භක වූ ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයා සත්ව හිමිකම් පිළිබඳව කෙතරම් සංවිභාගශීලී වූයේ ද යන්න එතුමන් විසින් පිහිටුවන ලද ශිලා ලේඛන වලින් සනාථ කර ගත හැක. රාජ භෝජන උදෙසා සිය දහස් ගණන් සතුන් මරන ලද මුත්, ඒ වන විට මොණරුන් දෙදෙනෙකු හා මුවකු පමණක් මරන බවත් නමුත් මින් පසු එය ද නවතන බවත් ධර්මාශෝක අධිරාජ්‍යයා තම පළමුවන ගිරි ලිපියෙහි සඳහන් කොට තිබේ.

එමෙන්ම පෙර රජවරුන් විහාර චාරිකා නම් වන විනෝද චාරිකාවල යෙදී සතුන් දඩයමෙහි හා වෙනත් විනෝද ක්‍රීඩාවල යෙදුණු නමුත් සිය අභිෂේකයෙන් දසවෙනි වර්ෂයෙහි තමන් සංබෝධියට පැමිණ වන්දනා ගමන් හෙවත් ධර්ම යාත්‍රා යෑමේ ක්‍රමය ඇරඹූ බවත් සිය අට වන ගිරි ලිපියෙහි සඳහන් කරන ධර්මාශෝක අධිරාජ්‍යයා ධර්ම යාත්‍රාවල යෙදී ඉටු කළ කාර්යය ද සවිස්තර වශයෙන් දක්වා තිබේ. ශ්‍රමණ, බ්‍රාහ්මණාදීන් හමුවීමට යෑම, ඔවුන්ට දන් දීම, වැඩිහිටියන් හමුවී ඔවුනට පරිත්‍යාග කිරීම, ජනපද වැසියන් හමුවීම, ඔවුනට ධර්මානුශාසනා කිරීම, ධර්ම සාකච්ඡා පැවැත්වීම ඒ අතර වෙයි.සැබැවින්ම එය ඉතා ප්‍රබල සදාචාර ප්‍රවර්ධන වැඩ සටහනක් බව පැහැදිලි ය.එමෙන්ම ධර්මාශෝක අධිරාජ්‍යයාගේ එම ක්‍රියා කලාපය සමස්ත රටවැසියනට ආදර්ශයක් වූ බව ද නිසැක ය. රජු ප්‍රාණඝාතයෙන් වැළකුණු පසු ජනයා ද දඩයම් කිරීම සම්බන්ධ යම් පසුබෑමක් ඇති කර ගැනීම ස්වාභාවික ය.

00e0f0f8444934111d29cd9d3b25a6b5

 

නමුදු රාජ්‍ය පාලකයකුට සමාජයක් ආදර්ශයෙන් පමණක් යහ මඟට ගැනීමට නුපුළුවන.මක් නිසා ද ඕනෑම සමාජයක් තුළ සම සදාචාර මට්ටමක් නොමැති බැවිනි. එනිසා නීති රීති ගෙන ඒමට ද සිදු වෙයි.ආගමික අරමුණු උදෙසා සත්ව ඝාතනය ද එකල ද සිදු කෙරුණ.යාගය ඒ අතුරින් ප්‍රබල විය.ඒ අනුව රජතුමා කිසිදු ප්‍රාණියකු මරා යාග නොපැවැත්විය යුතු යයි පළමු ගිරි ලිපියෙන් අවධාරණය කොට ඇත්තේ පුද පිළිවෙත් වශයෙන් වත් සතුන් නොමැරිය යුතු බවක් පවසමිනි.අන්‍යයන් තම ආගමික හිමිකම් උදෙසා සිදු කරන සත්ව ඝාතන සම්බන්ධයෙන් මුනිවත රැකිය යුතු ය යන සම්මතයක් නූතනයේ තිබේ.එහෙත්, මිනිසුන්ට සේම සතුන්ට ද මෙලොව ජීවත් වීම පිළිබඳව ඇති ස්වාභාවික හිමිකම උල්ලංඝනය කිරීමට එරෙහිව රාජ්‍ය පාලකයා ලෙස ධර්මාශෝක අධිරාජයාගේ ඉදිරිපත් වීම කෙරෙහි අපගේ සුවිශේෂ අවධානය යොමු විය යුතු ය.රාජ්‍යයේ වෙසෙන ජනතාවට සේම සතුනට( මිග පක්ඛේසූ) ද ආරක්ෂා රැකවරණ( රක්ඛාවරණ ගුත්ති ) සැලසීම චක්‍රවර්තී රාජ ධර්මයකි.

 

සතුන් ගේ ජීවත් වීමේ හිමිකම පිළිබඳව රාජ්‍ය පාලනයෙන්ම ආදර්ශයක් ලබා දුන් රජතුමා දෙපා, සිවුපා සතුනට ද පක්‍ෂීනට හා ජලචර ප්‍රාණීන්ට ද අභය දානය කළ බව සිය දෙවන ටැම් ලිපියෙහි සඳහන් කොට ඇති අතර සතුන් නොමැරීම පිණිස වන මා ඝාත( නොමරනූ ) ආඥාව පස් වන ටැම් ලිපිය වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.එමෙන්ම ධර්මාශෝක අධිරාජ්‍යයා අභිෂේකයෙන් විසි හය වන වර්ෂයේදී ගිරවා, සැළලිහිණියා, අරුණ පක්‍ෂියා සක්වා ලිහිණියා, හංසයා, නන්දිමුඛයා, ගෝලාටයා, වවුලා, රජකිහිඹි, දණ්ඩි, අනස්ථික මත්ස්‍යයා, ඉදිබුවා, ඉත්තෑවා, ලෝනා,සිමලයා, හරකා, ඕකපිණ්ඩකයා, තිත්මුවා, සුදු කොබෙයියා ප්‍රයෝජනයට හෝ කෑමට නොගන්නා සියලු සිවුපා විවිධ වූ ප්‍රාණීන් සඳහා අභය දානය දිය යුතු බවට රාජාඥාවක් පවා නිකුත් කොට තිබේ.

 

Control disease in goats 2

ගර්භණී වූ ද පැටවුන්ට කිරි පොවන්නා වූ ද එළු දෙනුන් හා ඊරියන් නොමැරිය යුතු බවට හා හය මාසයකට වඩා අඩු වයස් වූ පැටවුන් නොමැරිය යුතු බවට සේම යුතු ප්‍රාණීන් සහිත වූ දහයියා නොදැවිය යුතු බවට නිකරුණේ හෝ සතුන් මැරීම පිණිස කැලෑ ගිනි නොතැබිය යුතු බවට විශේෂ දිනයන්හි මසුන් මැරීම හෝ විකිණීම නොකළ යුතු බවට ආදී වශයෙන් වන තවත් කරුණු රැසක් ධර්මාශෝක අධිරාජ්‍යයා ආඥාවන් ලෙස නිකුත් කොට තිබේ.මෙය හුදෙක් මර්දනකාරී පිළිවෙතකට වඩා කළමණාකාර වැඩසටහනකට සමාන වන බව පෙනෙයි. එමෙන්ම මහින්දාගමනයෙන් පසු ධර්මාශෝක අධිරාජ්‍යයා සතුන් මැරීම තහනම් කළාක් මෙන්ම අප රටේ ද සතුන් මැරීම තහනම් විය.

ආමණ්ඩගාමිණී රජතුමා (ක්‍රි.ව. 19 – 29 ) මුලින්ම මාඝාත ආඥාව පැනවූ අතර. ඉන් අනතුරුව හතරවැනි අග්බෝ, තුන්වැනි කාශ්‍යප, දෙවැනි මිහිඳු, පළවැනි සේන යන රජවරු ද මාඝාත ආඥාව කොට ඇති බව වංශ කතා මඟින් තහවුරු වේ.පළමු වැනි පරාක්‍රමබාහු රජතුමා ද ගොඩබිම හා ජලචර සතුන්ට අභයදානය දුන් අතර එම නීතියට අනුව කුඩා සතෙකු වුවද මැරීම බරපතල වරදක් විය. සතුන්ට හිරිහැර කිරීම පවා දඬුවම් ලැබිය යුතු වරදක් විය.

 

feature animal arights group review

මේ වන විට නව ගෝලීය ප්‍රවණතාවන් අතරේ මානව හිමිකම් ඉක්මවා යන පොදු සමාජමය එකඟතාවයක් මත ස්ථාපිත වූ සත්ව හිමිකම් ආරක්ෂා කිරීමේ ශීඝ්‍ර ප්‍රවර්ධනයක් දක්නට ලැබේ. මේ වන විට ඒ බලපෑම ශ්‍රී ලාංකේය ජන සමාජයට ද සම්ප්‍රේෂණය වෙමින් පවතී. අද වන විට අප රටේ නාගරික මධ්‍යම පන්තිය තුළ සත්ව හිමිකම් ප්‍රවර්ධනය පිණිස වන විවිධ ක්‍රියාමාර්ග ඉස්මතු ව පෙනෙනුයේ එබැවිනි. සමාජයීය වශයෙන් බලන විට එය එක්තරා සාධනීය තත්ත්වයක් බව සැබෑය. එහෙත්, ලොව දියුණු රටවල සත්ව හිමිකම් සම්බන්ධ නව ප්‍රවණතා සමඟ සංසන්දනය කොට බැලීමේ දී සත්ව හිමිකම් සම්බන්ධයෙන් පොසොන් පුන් පොහොය හා සම්බන්ධ උදාරතර උරුමයක් හිමි කර ගත් ශ්‍රී ලංකාව ලෝක සිතියමේ මුළුගැන්වී ඇති බව ඉතා සංවේගයෙන් යුතුව සිහිපත් කළ යුතුව තිබේ. ඒ සම්බන්ධ අප සමාජය දක්වන උදාසීනතාව කොතෙක් ද යත් සුනඛයන් සම්බන්ධ විද්‍යාත්මක අධ්‍යයනය විස්තර කෙරෙන Cynology (සුනඛවේදය) ආදී වදන් වත් මේ දක්වා ඉංග්‍රීසි, සිංහල ශබ්ද කෝෂවලට පවා ඇතුලත්ව නැත.

Screenshot 2024 06 21 at 16.34.49 1අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබසාධන සංවිධානයේ අර්ධ වාර්ෂික ප්‍රකාශය වන “අහිංසා” සඟරාවේ 2024 ජනවාරි, දෙසැම්බර් ද්විත්ව කලාපය දැන් නිකුත් වී තිබේ. එහි ඇති අනේක විධ ලිපි රචනා අතුරින් ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එච්. කේ. විමලරත්නයන් විසින් සම්පාදනය කරන ලද ලිපියක් මගේ විශේෂ අවධානයට යොමුව ඇත. ‘වන්නි හත් පත්තුවේ පැරණි ගැමියන් සත්ව හිමිකම් අතින් නූතන සමාජයටත් ඉදිරියෙන්’ යන සිරස්තලය යටතේ සම්පාදිත එම ලිපිය ගෝලීය සත්ව හිමිකම් ප්‍රවණතාවයන්ට සාපේක්ෂව ශ්‍රී ලාංකේය ජන සමාජය බෙහෙවින් පසුගාමීය යන අදහසට ප්‍රබල ප්‍රතිරෝධයක් එල්ල කරන්නකි.

 

එම ලිපියේ අන්තර්ගතය තුළින් මනාව අනාවරණය කර ගත හැක්කේ වර්තමානයට සාපේක්ෂව අතිශය සරල චාම් සේම සහනශීලී දිවි පෙවෙතක් ගත කළ කෘෂිකර්මය ජීවනෝපාය කර ගත් එම ග්‍රාමීය ජනතාව වන සතුන් සම්බන්ධයෙන් පවා මෙත් සිත් පෙරදැරිව සිතා බලා ඔවුන්ගේ යහපත තකා ක්‍රියා කළ බව ය. ඒ අනුව පොසොන් පුන් පොහොය මුල් කොට සිදු වූ මහින්දාගමනය කේන්ද්‍ර කර ගත් සත්ව කරුණාව පදනම් වූ සත්ව හිමිකම් ආකල්ප අප ජන සමාජය තුළ තවමත් මුළුමනින් නැසී වැනසී ගොස් නොමැති බවක් සාධාරණ ලෙස අනුමාන කිරීමට අපට පුළුවන.

 

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM

තිලක් සේනාසිංහ
ගවේශනාත්මක මාධ්‍යවේදී 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම- vinivida.lk)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්