ජනාධිපතිවරණ උණුසුම තීව්ර කළේ රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කිරීමත් සමඟය. ජනපති රනිල් ට සහාය දෙනවාද නැතිනම්
වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද යන පණිවුඩය රටට ඉදිරිපත් කරන බව පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේද ඒ අතරවාරයේය. ඇමති මනූෂ නානයක්කාර සංවිධානය කළ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනට ඉරිදා හෝමාගමට ගිය ජනපති රනිල් කොළඹ පැමිණ පක්ෂ ක්‍රියාකාරීන් රැසක් මුණ ගැසුණහ.
සදුදා පෙරවරුවේ ජනපති රනිල් දේශපාලන කාර්යාලය වෙත පැමිණුනේ ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුව මුණ ගැසීමටය. එදින සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුව දැනුම්දීමට තිබුණු බැවින් ඒ ගැන ද කතා බහ ඇදී ආවේය.
“සර් අනෙක් පැත්තෙන් වැඩේ ඔක්කොම ලැහැස්ති කරලා තියෙන්නේ. පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජනය 20 ක් වත් නෑ. වෙනම අපේක්ෂකයෙක් දාන ඉඩ වැඩියි.” එහි සිටි පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිට කීවේය.
“එන ඕනෑම තීන්දුවක් අනුව ඉදිරියට යන්න අවශ්‍ය සැලසුම් සකස් කරන්න.” ජනපති තීන්දුව වූවේ එයය.
සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයෙන් පසු මැති ඇමතිවරු යළි රැස්වී සාකච්ඡා කළ අතර තවත් මැති ඇමතිවරු පිරිසක් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චිනත්ක කරුණාරත්න අමතන්නට වූවේ කුමක් කරන්නේදැයි විමසීමටය.
ඔහු වහාම මේ ගැන ජනපති රනිල් දැනුම්වත් කළ අතර මල් පාරේ පිහිටි තමන්ගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණෙන්නයි ඔවුනට කියන ලෙස ජනපති දැනුම් දුන්නේ දිනිත්ටය. දිනිත් චින්තක ද වහ වහා මේ පණිවුඩය මැති ඇමතිවරු හට සන්නිවේදනය කළේය.
දේශපාලන මණ්ඩලයට ගිය තවත් පිරිසක් කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල හරහා සම්බන්ධ වෙමින් මල්පාර කාර්යාලය වෙත පැමිණියේය. සාගල ගේ හා දිනිත්ගේ පණිවුඩය හරහා මැති ඇමතිවරු 70 ක පමණ පිරිසක් ජනපතිගේ දේශපාලන කාර්යාලය වෙත රැස්වූවේ එදින රාත්‍රියේය.
එහිදි පොහොට්ටු මන්ත්‍රීවරුන් යෝජනා කළේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කැදවන ලෙසය. ඒ අනුව වහාම පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ කාර්යාලය හරහා මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැදවිමේ පණිවුඩය නිකුත් විනි.
පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මුණ ගැසීමට පෙර පුරුදු පරිදි අමාත්‍ය මණ්ඩල රැස්වීම ද එදින පැවැවුනේ ජනාධිපති කාර්යාලයේදී ය.
ජනාධිපතිවරණ දේශපාලන උණුසුම අස්සේ මැතිවරණ කොමිසම මගින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත ලිපියක් යොමු වුනේ සංවර්ධන වැඩකටයුතු හා මහජන සහනාධාර නිකුත් කිරීමේ කටයුතු ජනාධිපතිවරණ කාලය තුළ අත්හිටුවන ලෙස දැනුම් දෙමිනි.
ජනපති ලේකම් සමන් ඒකනායක ඔවුන්ට කදිම පිළිතුරක් යොමු කළේය. ආර්ථික අර්බුදයක වසර කිහිපයක් සිරවී සිටි ජනතාව ඉන් මුදා ගැනීමට රජය කටයුතු කරමින් සිටින අවස්ථාවේ එය නැවැත්වීම තුළ ජනතාව යළිත් අපහසුතාවයට පත් වන බව ලේකම් ගේ පිළිතුරේ සටන් විය. ජනාධිපති ලේකම් සමන් ඒකනායක යොමු කළ දීර්ඝ ලිපියේ සාරාංශය එයය.
මේ අතර තවත් ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිසම දන්වා සිටියේ වැඩබලන පොලිස්පතිවරයෙකු නොමැති කමින් ආරක්ෂාව පිළිබඳව ගැටළු රැසක් මතුව ඇති බවය. වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හා මැතිවරණ කටයුතු බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම වෙත යොමු කිරීමට පියවර ගත් ජනපති ලේකම් සමන් ඔවුන් ඉදිරිපත් කරන කරුණු තමන්ට ද දැනුම් දෙන ලෙස ඔහු දෙපාර්ශවයටම කීවේය.
ජනපති ලේකම් සමන් ඒකනායක මැතිවරණ කොමිසමේ සභාපතිට හා අධ්යක්ෂ ජනරාල් වෙත දැනුම් දුන්නේ ආරක්ෂාවට අදාළව ඔවුනට අවශ්‍ය සියලු දේ තමන් වෙත ලිඛිතව දැනුම් දෙන ලෙසය. ඔවුන්ගේ දැනුම් දීම මත ජනපති ලේකම් සමන් ජනපති රනිල් හා සාකච්ඡා කොට මහජන ආරක්ෂක අමාත්‍යාංහය වෙත දැනුම් දුන්නේ නාම යෝජනා බාර දෙන දිනයේ මැතිවරණ කොමිසමට මෙන්ම දිස්ත්‍රික් කාර්යාල වෙත ද අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසය.
ඊට අමතරව මැතිවරණ පැමිණිලි මෙන්ම ඊට අදාළ ගැටළු නිරාකරණය කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය පොලිස් නිලධාරීන් යොමු කරන ලෙසද ජනපති ලේකම්වරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දෙමින් ලිපියක් යොමු කළ අතර එහි පිටපතක් මැතිවරණ කොමිසමට ද යොමු කළේය.
අගහරුවාදා ද ජනපති වැඩිබරක් යොමු කළේ දේශපාලන කටයුතු වෙනුවෙනි. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ද ජනපති රනිල් හා සාකච්ඡා කරන්නට වූහ. මේ අතරවාරයේ බාලදක්ෂ ව්‍යාපාරයේ සංවත්සර උත්සවයට ද ජනපති රනිල් සහභාගී වූවේය.
සවස ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අතර ඊට සහභාගී නොවන ලෙස පක්ෂයෙන් මන්ත්‍රීවරුන්ට උපදෙස් දී තිබියදී පොදුජන පෙරමුණ ද ඇතුළුව ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරු 92 ක් ඊට එක්ව සිටියහ. තවත් මන්ත්‍රීවරු පස් දෙනෙකු ඒ වන ව්ටත් විදේශ ගතව සිටි බැවින් ඔවුනට පැමිණිය නොහැකි බව කලින්ම දැනුම් දී තිබින.
බොහෝ මන්ත්‍රීවරු ජනපති හමුවේ කීවේ පොදුජන පෙරමුණේ බිම් මට්ටමේ පාක්ෂිකයන් ජනපති රනිල් වෙනුවෙන් වැඩකරන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවය. ඊට හොදම උදාහරණය අනුරාධපුර චන්ද්‍රසේන මන්ත්‍රීවරයා කැදවූ බල මණ්ඩලයේ දී පළවූ ජනතා අදහස් බවද ඔවුන් පෙන්වා දුන්නේය.
බදාදා පෙරවරුවේ ජනපති රනිල්ට දැන ගන්නට ලැබුණේ හමාස් සංවිධානයේ නායකයාව ඉරානයේදි ඝාතනය කළ පුවතය. ඔහු වහාම විමසා බැලුවේ ඒ වන විටත් ඉරානයට ගොස් සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ආරක්ෂාව පිළිබඳවය.
අවශ්‍ය නම් විශේෂ ගුවන් යානාවක් යවා ඔහුව මෙරටට ගෙන්වා ගන්නා ලෙස ද ජනපති රනිල් උපදෙස් දුන්නේ ලේකම් සමන් ඒකනායකට ය. කථානායකවරයා වහාම මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සුදානම් කළ සමන් ඒකනායක බ්‍රහස්පතින්දා වන විට කථානායක මහින්ද යාපා අබේවර්ධන ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබුනි.
එදින දහවල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ජනපති මුණ ගැසුණේ වෝටර්ස් එජ් හෝටලයේදී ය. හමාස් නායක ඝාතනය සමඟ මැද පෙරදිග ඇතිවිය හැකි අර්බුදයන් ගැන සිහිපත් කල ජනපති රනිල් මෙරට ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට කමිටු 3 ක් ද පත් කළේය.
බ්‍රහස්පතින්දා පෙරවරුවේ මැති ඇමතිවරු පිරිසක් ජනපති රනිල් මුණ ගැසීමට පැමිණියේ ජනාධිපතිවරණ කටයුතු ගැන සාකච්ඡා කිරීමටය. මෙහිදි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් ජනපති රනිල් දැනුම්වත් කළේ මේ දිනවල සමාජ මාධ්‍යයේ යන තොරතුරක් ගැනය.
එනම් සජිත් හා නාමල් මාධ්‍ය හිමිකරුවෙකුගේ නිවසේ මුණ ගැසී සාකච්ඡා කළ කාරණයක් ගැනය.
“අපිටත් ජුලි මුල සතියේ වගේ මේ ගැන දැන ගන්න ලැබුණා. ඒත් මේ කාරණය ඇත්ත කියලා අපි නම් විශ්වාස කළේ නෑ. නමුත් දැන් වෙන දේවල් එක්ක මේ කතාව ඇත්ත කියලා අපිටත් හිතෙනවා.” පොහොට්ටු මන්ත්‍රීනි රාජිකා කීවාය.
“සජිත් මේ සාකච්ඡාවට ගිහින් තියෙනවා කියන්නේ ජී.එල් එක්ක. එතනදිත් මුල ඉදන් හිටපු කබිර්ලා, හර්ෂලා, ඉරාන්ලා වගේ අය අමතක කරලා.” මන්ත්‍රී වජිර ද කතාවට එකතුවූවේ එලෙස කියමිනි.
“සජිත් ජනාධිපති - නාමල් විපක්ෂ නායක කියන එකඟතාවය තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ කාරණා නිසා ධම්මික පෙරේරා පොහොට්ටුවේ අපේක්ෂකයා වෙන්න බෑ කියනවා කියලත් ආරංචියි.” මන්ත්‍රී දොළවත්ත කීවේ ඔහුට ලද තොරතුරකි.
“රනිල් රාජපක්ෂ ලේබලය ගලවලා සජිත් රාජපක්ෂ ලේබලය වැදිලා තියෙනවා. මමත් කාලයක් තිස්සේ බැලුවා විපක්ෂ නායකතුමා රාජපක්ෂ කියන නම කියනවා දැන් ටිකක් අඩු මොකද කියලා. බලන කොට එයා සජිත් රාජපක්ෂ වෙලානේ.” මහාචාර්ය ආශු මාරසිංහ ද කියද්දී සැවොම කොක් හැඩලූහ.
“මේ කතාව ඇත්ත ද නැත්තද කියා නාමල් මන්ත්රීතුමාම කියන්න ඕනේ.” ශෙහාන් සේමසිංහ කීවේ සිනහසෙමිනි.
සියලු කතා අසා සිටි ජනපති රනිල් “ හැමෝම හොදට වැඩ කරපු නිසා තමයි අපි මේ තැනට ආවේ. එදා ජේ.ආර් එක්ක ගාමිණි, ලලිත් ප්‍රේමදාස වගේ අය හිටියා වගේ කාංචන ශෙහාන් රමේෂ් වගේ හොද තරුණ සෙට් එකක් මගෙත් එක්කත් ඉන්නවා.” යැයි කීවේ සිනහසෙමිනි.
ජනපති රනිල් සති අන්තයේ යාපනය, මඩකලපුව හා ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත වූවේය.
සටහන :
(ලසන්ත වීරකුලසුරිය)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී