තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම - 11 වන කොටස
කුරුණෑගල කාර්මික විද්‍යාලයේ වසරක පාඨමාලාව අවසන් වීම තිලක්ගේ සිතට ඇති කර තිබුණේ මහත් සැහැල්ලුවකි. ඔහු එම පාඨමාලාව හැදෑරුවේ පියාගේ වුවමනාවට ය. එය කිසිසේත් ඔහුගේ සිතැඟිවලට අනුකූල නොවිණි. එනිසාම පාඨමාලාව හදාරන කාලයේදීත් සෑම සති අන්තයකම මෙන්ම, ඉඳහිට සති මැද යෙදෙන රජයේ නිවාඩු දිනවලදීත් ඔහු නොවැරදීම කොටහේන බ්ලූමැන්ඩල් පාරේ පිහිටි සිත්තර පත්තර කන්තෝරුවට යාමට අමතක කළේ නැත. වැඩක් තිබුණත් නැතත් පත්තර කන්තෝරුවේ පත්තරකාරයන් අතර ගැවසීමෙන් පවා තිලක් මහත් ආශ්වාදයක් ලැබීය. එමෙන්ම, ඒ වන විට එහි ස්ථිර සේවයේ යෙදී සිටි ජැක්සන් ඇන්තනී ගේ වැඩිමල් සොයුරු සේනක ටයිටස් ගේ ඇසුර කෙරෙහි ද තිලක් අතිශයින් ප්‍රියමනාප විය. සේනකගෙන් අසන්නට ලැබෙන්නේ ජීවිතාවබෝධය වර්ධනය කරවන කවට කතා සහ විනෝදාත්මක ක්‍රියාවන් ය. ඔහු ගේ සෑම සරල කවටකමක් තුළම ජීවිතයට උකහා ගත හැකි වැදගත් යමක් ඇතැයි තිලක් ට හැඟිණි. ඕනෑම කෙනෙකුට අහිංසක "ලණු" දී සැම සිනා සයුරේ ගිල්ලවීමට සේනක තුළ වූයේ අසාමාන්‍ය හැකියාවකි. තිලක් ද නොයෙක් වර සේනක ගේ ඒ ලණු කා සෙස්සන් හමුවේ ඇති පදමට "බයිට්" වී තිබිණි.
දිනක් තිලක්ට පත්තර කන්තෝරුවේ කොරිඩෝවේ දී ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු සහ ගත් කතුවරයකු ව සිටි චන්ද්‍රසේන කිරිවත්තුඩුව මහතා මුණ ගැසිණි. ඒ 1979 වසරයි. ඒ වන විට කණිටු පුවත්පත් කලාවේදීන් විසින් ‘කිරි අයියා’ යන ආදරණීය නාමයෙන් හැඳින්වූ චන්ද්‍රසේන කිරිවත්තුඩුව එකල එම ආයතනය මගින් ම එළිදැක් වූ ගුණදාස ලියනගේ සූරීන්ගේ කර්තෘත්වයෙන් යුතු “සත්දින’‘ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ පදවිය හෙබවීය.
හිටපු අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවය සිදු වූයේ 1973 වසරේ අප්‍රියෙල් 13 දා ය. ඒ සතිය දෙක තුළ එම සිදුවීම සම්බන්ධ තොරතුරු ඇතුළත් සියලු සිංහල පුවත්පත් එකල තිලක් ගේ පියා විසින් මිලට ගෙන තිබිණි. ඒ වන විට ද පුවත්පත් කලාවේදියකු වීමේ සිහිනය සිත දරා සිටි තිලක්, ඩඩ්ලි සේනානායක මහතා ගේ අභාවය සම්බන්ධයෙන් පුවත්පත්වල පළවූ එම වාර්තා, ලිපි විශේෂාංග එකක් නෑර කියවමින් පුවත්පත් වාර්තා, ලිපි විශේෂාංග සම්පාදනය කරන අන්දම ගැන ස්වයං අධ්‍යයනයක් කළේය. එවකට තිලක් ගේ වයස අවුරුදු පහළොවකි. ඔහු කියවූ ඒ සියලු පුවත්පත් වාර්තා ලිපි විශේෂාංග අතුරින් චන්ද්‍රසේන කිරිවත්තුඩුව සූරීන් සැපයූ ලිපි විශේෂාංග තිලක් ගේ හදවත ඇද බැඳ ගැනීමට සමත් විය. ඔහු එම ලිපි හත් අට වතාවක් පමණ කියවූයේ මහත් ඇල්මකිනි. නමුත් ඔහු චන්ද්‍රසේන කිරිවත්තුඩුව සූරීන්ව නමින් මිස දෑසින් දැක තිබුණේවත් නැත.
චන්ද්‍රසේන කිරිවත්තුඩුව විසින් ලියන ලද ‘කිකිළිය’ සහ පැටව්’ නවකතාව තිලක් 1975 වසරේ දී කියවා තිබිණි. ඒ ඔහු උසස් පෙළ හදාරන සමයේ ය. අගනුවර මාලිගාවත්තේ නාගරික පැල්පත් කලාපයක ජීවත්ව සිටියදී මුහුදේ ගිලී මිය ගිය වරාය කම්කරුවකු ගේ බිරිඳ එම පැල්පත තුළම ජීවත් වෙමින් තම දරුවන් හදා වඩා ගැනීමට යෙදෙන උත්සාහයක් එම නවකතාවෙන් අපූරුවට පිළිබිඹු විය. එහෙත්, සියනෑවේ ගම්බද පරිසරයක හැදී වැඩුණු තිලක්ට "කිකිළිය සහ පැටව්" නවකතාවෙන් පැවැසුණු සමාජ පරිසරය "විස්මලන්තයක්' පිළිබඳ විස්තරයකට දෙවැනි නොවීය.
1979 වසරේ සිත්තර ආයතනයේ දී චන්ද්‍රසේන කිරිවත්තුඩුව සූරීන් මුල්වරට හමු වූ මොහොතේ ඔහුගේ පුවත්පත් ලේඛනවලට තමන් වහ වැටී සිටි අන්දම පවසමින් ඒ ලිපිවල සිරස්තල, ඡේද ආදිය ද කටපාඩමින් තිලක්, කිරිවත්තුඩුව මහතා ඉදිරියේ ගෙන හැර දැක්වූයේ ඉමහත් සතුටිනි.
“උඹත් මහ පිස්සෙක් නේ බං, උඹ ඕවා මතක තියාගෙන හිටියට මට නම් ඔය කිසිම දෙයක් ගැන මෙලෝ මතකයක් නෑ....”
තිලක් ගේ කේසාන්තයේ සිට පාදාන්තය තෙක් විමසුම් සහගතව බැලූ ඔහු හඬ නඟා සිනාසෙමින් කීය. එමෙන්ම ඒ මොහොතේ එතැනින් යන්නට පැමිණි එම පුවත්පත් ආයතනයේ ප්‍රධාන පිටු සැලසුම් ශිල්පියා ලෙසින් කටයුතු කළ වටරැක ප්‍රේමදාසට ද තිලක් ව දැක්වූ කිරිවත්තුඩුව සූරීන් “මේ බලපන්කෝ මේ පිස්සු යකා කියන කතා” යැයි කියමින් තිලක් උපහාසයට ලක් කර සිනාසුණි. පත්තරකාරයින් ගැන සේම සමාජය ගැන වුව එවකට මහා ලොකු අත්දැකීම් නොතිබූ තිලක් නිහඬව බලා සිටියේ තමා අතින් වැරදි දෙයක් කියවුණේ ද යන්න වටහාගත නොහැකිව ය.
ඊළඟ ක්ෂණයේ ඔහු සිනාව නවතා තිලක්ගේ උරහිස මත අත තැබුවේය.
"පරණ දේවල් අමතක නොකරන එක හොඳයි. හැබැයි රජෝ හරියට පත්තර රස්සාවේ යෙදෙන්න නම් හැම තිස්සේම අලුත් අලුත් විදියට හිතන්න වගේම අලුත් අලුත් දේවල් හොයන්නත් ඕනෙ. එහෙම නොකළොත් උඹ ගොමස්කඩ පත්තරකාරයෙක් වෙනවා. මිනිස්සු ගොමස්කඩ ඇඳුම්, ගොමස්කඩ පත්තරවලට වගේම ගොමස්කඩ පත්තරකාරයන්ටත් කැමති නෑ මල්ලී,” ඔහු කීයේ පොඩි එකෙකුට අවවාද දෙන වැඩිහිටියකුගේ ගැඹුරු ස්වරයෙනි.
ඉන් දිරි උපදවා ගත් තිලක් "කිකිළිය සහ පැටව්" නවකතාවට පසුබිම් වූ සමාජ පරිසරය පිළිබඳව කරුණු සෙවූ අන්දම ඔහුගෙන් විමසා සිටියේ ය . ඒ එවැනි සමාජ පරිසරයක් අප රටේ සැබැවින්ම තිබේද? යන්නවත් තිලක් එවකට දැන නොසිටි නිසා ය.
’‘නියම පත්තරකාරයෙකුට සමාජ තරාතිරමක් තියෙන්න බෑ. උඹට තේරුණාද ? එහෙම වුණොත් ඌට නියම පත්තරකාරයෙක් විදිහට පැවැත්මක් නෑ . ඒ හින්දා පත්තරකාරයෙක් වුණාම තමන් ගේ අරමුණ වෙනුවෙන් සමාජයේ ඕනෙම ගුබ්බෑයමක ලගින්න පුරුදු වෙයන් මල්ලී. එහෙම නැතුව මේ පත්තර කෙළිය කරන එක රේන් කෝට් එකක් ඇඳගෙන නානවා වගේ වැඩක්" චන්ද්‍රසේන කිරිවත්තුඩුව සූරීන් එදා කී ඒ වදන් පෙළ තම පත්තර කලා දිවියට තැබුණු මුල් ගල බව තිලක් අදටත් විශ්වාස කරයි.
මුලදී “සූකිරි” ළමා පත්‍රයට නවක ලේඛකයකු වශයෙන් සම්බන්ධ වූ තිලක් 1979 වසරේ කුරුණෑගල කාර්මික විද්‍යාල පාඨමාලාව නිමවූ පසු සතියකට දින දෙක තුනක් වැඩක් ඇතුව හෝ නැතුව සිත්තර නිවස පැත්තේ රස්තියාදු වීම පුරුද්දක් කොට ගත්තේය. අවසානයේ එම පුවත්පත් සමූහයේ පාලකවරයාව සිටි සුප්‍රකට කාටූන් ශිල්පී කැමිලස් පෙරේරා(ගජමෑන්) මහතා එවකට සැළසුම් කොට තිබූ යෞවනයේ චමත්කාරය තේමා කොට ගත් "සිහින" නම් නව පුවත්පතේ කර්තෘ මණ්ඩලයට තිලක් ව බඳවා ගත්තේය. ඒ රුපියල් දෙසිය හතලිහක වැටුපට ය. එවැනි වැටුපක් ගන්නා කෙනෙකුට එකල හොඳින් කා බී මාසිකව කිසියම් මුදලක් ඉතිරි කිරීමටත් හැකියාව තිබිණි. එකල බුරියානියක මිල රුපියල් දහයකි. බඩු මිල මොන තරම් අඩු මට්ටමක පැවතියේ ද යන්නට එයම කදිම උදාහරණයක් වේ.
සිහින පුවත්පතේ කර්තෘ පදවිය දරන ලද්දේ එවකට ජනප්‍රිය සංස්කෘතියේ සිනමා පුවත්පත් කලාවේදියකු වූ පී. ඩී. නවරත්නයන් ය. හැටේ දශකයේ සිනමා පුවත්පත් ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කළ ඔහු හැත්තෑව දශකයේ සිත්තර නිවසට සම්බන්ධ වී සිටියේ ය.මත්පැන් සහ දුම්වැටිලෝලියකු වීම නිසා ධනවත් බවක් පළ නොකළ පී. ඩී. නවරත්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විනෝදකාමියකු වුවද, අනුන්ගේ දුක් වේදනාවන් හමුවේ දැඩිව සසල වන බෝධිසත්ව මනසක් තිබූ අයෙකි. ඔහු ඇතැම් දිනවල තමන් ගේ දිවා ආහාරය සඳහා තිබූ මුදල පවා වීදි දරුවන්ට දුන් බව තිලක් පෞද්ගලිකවම දැන සිටියේ ය.
සිත්තර නිවසේ කොරිඩෝව දිගේ එන විට දකුණු පසින් හමුවන පළමු කාමරයෙහි සිටියේ සේනක ටයිටස් සහ සෙඩ්‍රික් පෙරේරා යි. කැමිලස් පෙරේරා මහතාගේ බාල සොහොයුරා වූ සෙඩ්‍රික් පෙරේරා එකල සිත්තර චිත්‍රකතා පත්‍රයෙහි වැඩ කටයුතු භාරව සිටියේය. සෙඩ්‍රික් සහ සේනක යන දෙදෙනාගේ මේස දෙකට මැදිව හිස් මේසයක් සහ පුටුවක් තිබිණි. සිහින පුවත්පතෙහි රැකියාව ලැබුණු පසු තිලක්ට වාඩි වෙන්නට ලැබුණේ එම අසුනෙහි ය.
තිලක් වාඩි වී සිටින තැනට මුහුණ ලා දොරක් තිබිණි. එම දොර කිසිදා වැසුණේ නැත. ඒ ආසන්නයේම වාඩිවී සිටියේ එවකට අපේ රටේ සිටි ප්‍රවීණතම චිත්‍ර ශිල්පියෙකි. ඒ බන්දුල හරිශ්චන්ද්‍රයන් ය. තිලක් ගේ මේසය අසල සිට බන්දුල හරිශ්චන්ද්‍රයන් සිටි මේසය අසලට අඩි දහයක තරම්වත් දුරක් තිබුණේ නැත. සැබවින්ම මෙය තිලක්ට විශ්වාස කිරීමටත් අපහසු තරමේ දෙයක් වී තිබිණි.
ඔහු පාසල් යන කාලයේ සෑම ඉරිදාවකම නොවරදවාම මිලදී ගත් පුවත්පතක් වූයේ සිළුමිණ ය. එකල ඉරිදා සිංහල පුවත්පත් වෙළඳ පොළට පැමිණියේ ඉරිදා දවසේම මිස දැන් මෙන් සෙනසුරාදා නොවේ. සිළුමිණෙහි අවසාන පිටුවේ නොවරදවාම බන්දුල හරිශ්චන්ද්‍රයන්ගේ සිතුවමින් පණ පෙවුණු චිත්‍රකතාවක් පළ විය. ඉරිදා උදෙන්ම ගණේමුල්ල නගරයට පැමිණෙන තිලක්, ලේක් හවුස් පත්තර නියෝජිත කාව්‍යතිලකගෙන් නොවරදවාම සිළුමිණ පත්‍රයක් මිලදී ගත්තේය. පුවත්පත අතට ගත් සැණින් ඔහු එතැනම නතර වී පුවත්පතේ අවසාන පිටුවෙහි ඇති චිත්‍රකතාව කියවයි. තිලක් නිවසට එන්නට පිටත් වන්නේ බන්දුල හරිශ්චන්ද්‍රයන්ගේ චිත්‍ර කතාව කියවා අවසන් වූ පසුව ය. එතරම් දැඩි ආශාවකින් කියවූ එම චිත්‍රකතාවන්හි සිතුවම් අඳින සුවිශිෂ්ට චිත්‍ර ශිල්පියා ඉදිරිපිට වාඩි වී පත්තර රස්සාවේ හෝඩිය කියැවීමට තමන් ට ඉඩ ලැබෙතැයි තිලක් කිසිදා නොසිතුවේය. එය කිසිසේත් විශ්වාස කළ නොහැකි සිහිනයක් සැබෑවීමකි. ඉන් තිලක් වින්දේ "අප්පුවාට රජකම ලැබුණාට" නොදෙවෙනි වූ සතුටකි. ඔහු නිවසට ගොසිනුත් මෙම පුවත දෙමාපියන්ට සැලකළේ ය.
මේ කාලය වන විට සිත්තර නිවසින් ප්‍රකාශයට පත් වූ ‘සත්දින’ පුවත්පත කිසියම් හේතුවක් මත නතර කොට තිබිණි. එහි නියෝජ්‍ය කර්තෘ පදවිය හෙබවූ චන්ද්‍රසේන කිරිවත්තුඩුව හෙවත් ‘කිරි අයියා’ ද ආයතනයෙන් ඉවත් ව ගොස් සිටියේ ය.
තිලක්ගේ පියාට අවශ්‍ය වූයේ තිලක් මෙවැනි රැකියාවක රැඳෙනු දකින්නට නොවේ. පත්තරවලට ලිව්වත් නැතත් තම එකම පුතු රජයේ රැකියාවක් කරනු දකින්නට ඔහු බලවත් කැමැත්තෙන් සිටියේය. නමුත් ආහාර දෙපාර්තමේන්තුවේ තිලක්ගේ පියා කරන ලද ගබඩා භාරකරු වෘත්තියට පවා ඒ වන විට බඳවා ගනිමින් තිබුණේ උපාධිධාරීන් ය.
"ඔය පත්තරවල රස්සාවල් කරනවා කියන්නේ අතුරේ යනවා වගේ හරි අවදානම් වැඩක්. ඕවායේ කිසිම ස්ථිර කමක් නෑ. ඒ හින්දා විශ්ව විද්‍යාලෙ මඟ ඇරපු එකේ දැන්වත් බාහිර උපාධියක් හරි කරලා ආණ්ඩුවේ රස්සාවකට යන්න බලපන්.ඒවට යන්න වයස වැඩි වෙන්න කලින් දැන්මම ඒ වැඩේ පටන් ගනින්." විශ්‍රාම ලබා නිවසේ සිටින පියා නිතර නිතර මෙසේ කියන්නට වූ පසු තිලක් බැරිම තැන පියාගේ ඒ කරදරයෙන් අත් මිදීම පිණිස කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාවක් සඳහා ලියාපදිංචි විය. දැන් ඔහුගේ මතකයට නැඟෙන අන්දමට ඒ 1983 වසරේ ය.
එම උපාධි පාඨමාලාවේ මූලික අදියර වූ කලා යෝග්‍යතා විභාගය සඳහා එකල පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙණෙහි සති අග පංති පැවැත්විණි. සති අන්ත නිවාඩුව යොදා ගනිමින් තිලක් ඒ පන්ති කිහිපයකට ද එක්විය. එහෙත්, එම අධ්‍යාපනය තුළ ඇතැම් විෂයන් සම්බන්ධයෙන් විභාගය ඉලක්ක කර ගනිමින් ලබා දෙන කොටස් පංගු වශයෙන් හිමි වන දැනුම ඔහු අපේක්ෂා කළ පරිපූර්ණ දැනුම නොවේ. එය සැබෑ අධ්‍යාපනයෙන් ලද හැකි දැනුමට ඉඳුරාම දුරස් විය. සැබැවින්ම ඔහුට අවශ්‍ය වූයේ කවුරුන් හෝ පවසන, නැති නම් පොත් පත්වල සඳහන් කරුණු මත පමණක් පදනම් වන සාම්ප්‍රදායික අධ්‍යාපනයක් නොවේ. සමාජමය කියැවීමක් මත පදනම් වූ ස්වයං අවබෝධයන් සම්භාරයකි. එබැවින් හීන් සීරුවේම එම උසස් අධ්‍යාපනය පැත්තක හෙලූ තිලක් "කිරි අයියා" ගේ උපදෙස අනුව නිවැරදි සමාජමය කියැවීමක් ඔස්සේ ලබන සැබෑ "නිදහස් අධ්‍යාපනයක්" තුළින් තම ඉදිරි ගමන් මඟ සැලසුම් කර ගැනීමට තීරණය කළේය. ඒ වනවිටත් ඔහු සිටියේ පෙරදිග සාහිත්‍යය,ඉතිහාසය හා විශේෂයෙන් බුදු දහම සම්බන්ධ ස්වයං අධ්‍යයනයක යෙදෙමිනි. බුදු දහම සම්බන්ධයෙන් වැඩිදුර හැදෑරීම පිණිස ගණේමුල්ල,හොරගොල්ලේ සිරි මහින්දාරාමයේ තිබූ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා පොත් කට්ටලය තිලක් ට මහෝපකාරී විය. වසර දහයක පමණ කාලයක් තුළ එමඟින් සූත්‍ර විනය පිළිබඳ හැදෑරීමක් කළ මුත් ගණිතමය ආකෘතියකින් යුතු අභිධර්මය කෙරෙහි ඔහු ගේ සිත තුළ එතරම් ඇල්මක් ඇති නොවිණ. එහෙත් ඒ අතරේ ද පත්තර සිහිනය ද දිනෙන් දිනම ලියලා වැඩෙන්නට විය.
පුතුගේ මේ "පත්තර පිස්සුව" මඟ හැර නොගත්තොත් ඔහුගේ ජීවිතය මතු අඳුරු විය හැකි යැයි මුල් කාලයේ දීම තිලක්ගේ පියාට දැඩිව ම සිතිණි. පියෙකු ලෙස ඔහුගේ සිතට තම පුතුගේ අනාගතය පිළිබඳව සාධාරණ වේදනාවක් දැනෙන්නට ඇත. කොතරම් අවවාද කළත් පුතුගේ තීරණය වෙනස් වන බවක් පෙනෙන්නට නොතිබූ හෙයින් වෙනත් පිළිගත හැකි අය ලවා හෝ තිලක්ට මේ අදහස ඒත්තු ගන්වන්නට ඔහුගේ පියා කල්පනා කළේය.
ම. ලි. කරුණාසේන යනු ආහාර දෙපාර්තමේන්තුවේ සේවය කළ තිලක්ගේ පියාගේ හිතවතෙකි. ඔහු පදිංචිව සිටියේ ගණේමුල්ල , කළුවල හන්දිය ආසන්නයේ පිහිටි නිවසක ය. උපාධිධාරියෙකු ද වූ කරුණාසේන මහතා එවකට කෙටි කතා පොතක් ලියා නිකුත් කර තිබිණි. ඒ කාලයේ කෙටි කතා නොව කවි පොතක් ලියා පළ කළ අයෙකු වුව ද සමාජයේ මහත් පිළිගැනීමකට ලක් වෙයි. තවත් සරලව පැවසුවහොත් ඔහු නම් මාර " පොරකි ". දැන් පොත් දහයක් ලියූවත් එදා ඒ තිබූ පිළිගැනීම ලේඛකයකුට ලද නොහැකිය.
තිලක් ගේ පියා තිලක් ව කැටුව කරුණාසේන මහතා හමුවන්නට ගියේය.
" පුතා පත්තරවල ලියන එක බොහෝම හොඳයි. නමුත් ඒක ස්ථිර රස්සාවක් නෙවෙයි. ඊට ඉස්සෙල්ලා උපාධියක් අරන් රස්සාවක් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් නිදහසේ ඕන තරම් පත්තරවල ලියන්න. ඔයාට ස්ථිර ආදායමක් වෙනම ලැබෙනවනේ "
කරුණාසේන මහතා ද තිලක්ට අවවාද දුන්නේය. නමුත් පත්තර පිස්සුව තිලක්ගේ සිතින් ඉවත් කරන්නට කරුණාසේන මහතාගේ අවවාද උපදේශ නොසෑහිනි.
එකල කොළඹ යුගයේ ප්‍රකට කවියකු වූ බිංගිරියේ සෙනරත් විජය කුමාර ද පදිංචිව සිටියේ ගණේමුල්ලේ ය. කවි මඩුවලට එවකට නැතිවම බැරි කවියකු වුවද සෙනරත් විජය කුමාර රක්ෂණ සංස්ථාවේ කළමනාකාරවරයකු ලෙස උසස් රැකියාවක නියුතු විය. ඔහු ද තිලක් ගේ පියාගේ හිතවතෙකි."රෑන ගිරව්" චිත්‍රපටයේ එන නාරද දිසාසේකරයන් ගයන"අයියල සහ අක්කලා "නම් විරිඳු ආකෘතියකින් යුතු ජනප්‍රිය ගීයේ රචකයා ද ඔහු ය. ඉතා පිළිවෙළට අඳින පළඳින විජය කුමාර මහතා මහත් අභිමානයෙන් යුතුව රැකියාවට යනු එනු තිලක්ගේ පියා ඕනෑ තරම් දැක තිබිණි. ඔහු තුළින් තම පුතුගේ අනාගතය දකින්නට තිලක්ගේ පියාට සිහිනයක් තිබෙන්නට ඇත. එනම්, ජීවන වෘත්තියක් වෙනමත්, විනෝදය පිණිස කලාව වෙනමත් තුලිත ලෙස කරගෙන යන , අඩාල කර නොගත් සාර්ථක ජීවිතයක් සහිත පුතකු දැකීමේ සිහිනයයි. ඒ සිහිනය හැම පියකුටම සාධාරණ වූවකි.
" පුතේ ඔය වැඩේ හරි යන්නෙ නෑ. ඔහොම නෙමෙයි උපාධියක් අරන් රස්සාවක් කරපන්. මං කරපු රස්සාවටත් අන්තිම කාලේ ගත්තේ විශ්ව විද්‍යාලයෙන් ආපු ළමයි. අඩු ගාණේ ඒක හරි කරන්නවත් අද උපාධියක් ඕනේ. ඒ නිසා ඔය විකාර වැඩ නවත්තලා උපාධියක් ගන්න බලපන්. ඔය පත්තරවලට ලියන ඒවා ස්ථිර රස්සාවල් නෙමෙයි. හිටපු ගමන් ඔය රස්සාවල් නැති වෙලා අවුරුදු ගණන් ගෙවල්වල තපින්න වෙනවා. පත්තරවලට ලියන එක, කවි කෙටි කතා ලියන එක ඕවා කලාවල් මිසක් රස්සාවල් නෙමෙයි. මිනිස්සු විනෝදෙට කරන දේවල් රස්සාවල් හැටියට තෝරගන්න එපා. ඒක හරි අවදානම් "
කලාකාරයා හිඟන්නෙක් යැයි ඒ කාලයේ කතාවක් තිබිණි. කලාව ව්‍යාපාරයක් කර ගතහොත් දියුණු වන්නට පුළුවන. නමුත් සැබෑ කලාකරුවා සම්බන්ධයෙන් ඉහත කියමන අදටත් නොගැළපෙන්නේ නොවේ. ජීවිතය පිළිබඳ මනා පරිචයක් ලැබ සිටි තිලක්ගේ පියා මේ සත්‍යය විනිවිද දැක තිබිණි .
මෙය මැනවින් සනාථ කරන සිද්ධියක් ඔහු තම පුතුට කීවේ එමගින්වත් පුතු පත්තර සිහිනයෙන් අවදි කරවා ගත හැකිදැයි බලන්නට ය.
කොළඹ යුගයේ කවියන් අතර එකල තවත් ප්‍රකට බැබළෙන තරුවක් වූයේ මාකඳුරේ ගුණවර්ධන ය. තිලක් ගේ පියාගේ ද හිතවතකුව සිටි, දක්ෂ හිටිවන කවියකු වූ ඔහු එකල කවි මඩුවල නිරන්තරයෙන් දැකිය හැකි වුණි.ඔහු කිහිප වරක් තම නිවසට ද පැමිණි බව තිලක්ට මතක ය. ජාතික ඇඳුම ඇඳි ගුණවර්ධන කවියා කවදාවත් පාවහන් පැළඳුවේ නැත. අත් ඔරලෝසුවක් ද නොපැළඳී ය. රාත්‍රියේ කවි මඩුවලට සහභාගි වී බොහෝ විට ඔහු අලුයම් යාමයේ ආපසු වේයන්ගොඩට පැමිණෙන්නේ දුම්රියේ නිදාගෙන ය. වේයන්ගොඩ දුම්රිය ස්ථානයට දුම්රිය ළඟා වන්නට ආසන්නයේ දී ඔහු නින්දෙන් අවදි වෙයි.
දිනක් ඔහු මෙලෙස වේයන්ගොඩින් බැස නිවසට යන්නට යන අතරේ ඔහුගේ නැෂනල් කමිස සාක්කුවේ තිබූ කුඩා තුණ්ඩු කැබැල්ලක් අතට හසු විය. ඔහු එය දිගහැර බැලුවේය.
ඔහුව හොඳින් දන්නා හඳුනන කවුරුන් හෝ කෙනෙකු කවියක් ලියා, ඔහු දුම්රියේ නිදාගෙන එන අතරේ එය කමිස සාක්කුවට දමා ඇති බව මාකඳුරේ ගුණවර්ධනට වටහා ගැනීම අසීරු වූයේ නැත.
නාඳුනන පුද්ගලයා ලියා තිබූ එම කවිය මෙසේ ය.
කටෙහි දත් ටික නැත
අතෙහි ඔරලෝසුව නැත
මිරිවැඩි සඟල නැත
අහෝ ලස්සන කවියෙකුගෙ කැත
එහෙත් මේ කිසිවකින් තිලක් තුළ වූ පත්තර කලා උන්මාදය සුව කිරීමට තිලක් ගේ පියාට නොහැකි විය.ඒ ආර්ථික අතින් බින්දුවටම වැටුණත් පත්තර රස්සාවේම එල්ලී සිටිය යුතුය යන දැඩි අදිටනේ තිලක් ඒ වන විටත් එල්බ ගෙන සිටි බැවිනි. ඒ අනුව තම අරමුණ උදෙසා ලෞකික සැප සම්පත් වුව හැර දැමීමේ මානසික පෙළඹීමක් ඒ කාලයේ තිලක් තුළ ඇති විය.
තවත් කොටසකින් නැවත හමුවෙමු.