මැතිවරණ සමයක් යනු යථාවත් මායාවක් අතර ජනමනස දෝලනය වන කාලයකි.
සත්‍යයත්, සත්‍ය සේ පෙනෙන අසත්‍යයත් ඡන්දදායකයා ඉදිරියේ මවන්නේ එදිනෙදා ජීවිතයේ ඔවුන් අත් විඳින ලෝකයට වඩා වෙනස්ම තලයක ඉන්ද්‍රජාලික පැවැත්මක් යැයි කීවොත් නිවැරදිය. එහිදි සමාජයක ජන මනස මෑනවීමේ ප්‍රධාන භූමිකා අතරින් ජනමාධ්‍ය ද ප්‍රධාන ස්ථානයක් අත්පත් කරගනියි.
ඒ නිසා විශේෂයෙන්ම මැතිවරණ සමයක් වැනි, තම මතවාදය ජනතාව වෙත විසරණය කිරීමේ පොර පිටියක් ගොඩනැගෙන සමයක, ජනමාධ්‍ය හැසිරෙන්නේ ඒ පොරපිටියේ මතවාදය හැසිරවීමේ තරගකරුවන් ලෙසය. මක්නිසා ද යත් ජනමාධ්‍යය යනු අපක්ෂපාති වාර්තාකරණය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පුන පුනා කීව ද, එම ආයතනය නිතරම පාහේ ක්‍රියාත්මක වන්නේ කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව නිසාය.
එම නිසා මතවාදීමය පොරපිටිය තුළ ජනමාධ්‍යයත්, දේශපාලන ගතිකයනුත් අතර ඇති සහසම්බන්ධය පිළිබඳ කරනු ලබන අධ්‍යයනයක් ලෙස, මැතිවරණ සමයේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මුද්‍රිත මාධ්‍ය වල හැසීරිමත් ඉන් ගම්‍ය වෙන දේශපාලනික යථාර්තයක් නිරාවරණය කරගැනීමට අපි පරිශ්‍රමයක් දැරුවෙමු. මෙහිදී අප විශේෂයෙන් අවධානය යොමු කළේ, මැතිවරණ සමයේ, උතුරු නැඟෙනහිර සහ වතුකරයේ ජනතාව මෙන්ම ලාංකේය සමාජය තුළ ආන්තරීකරණයට ලක් වූ සමාජ කොටස් තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා කරන අරගලයත් දකුණේ දේශපාලන හැසීරීම එම අරගලවලට දක්වන ප්‍රතිචාරයත් එකිනෙකාගේ මුද්‍රිත මාධ්‍යය හරහා පිළිඹිබු වන්නේ කොයි ආකාරයෙන් ද යන්න පිළිබඳය.
ඒ අනුව ආසන්න වශයෙන් ජූලි මස අග සතියේ සිට අගෝස්තු මස මුල් සතිය දෙක දක්වා කාලය තුළ මැතිවරණ උණුසුමත් සමඟ එම භාෂා ත්‍රිත්වයට අයත් තෝරා ගත් පුවත්පත් නියැදියක හැසිරීම කෙබඳුදැයි අප කළ නිරීක්ෂණ කිහිපයක් ඇසුරින් මෙම ලිපිය සකසා ඇත.
කොවිඩ් වසංගතය සමයේ බලහත්කාරයෙන් මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව සමාව ගැනීමට තීරණය කිරීම
කොවිඩ් වසංගතය සමයේ එම රෝගයෙන් මියගිය මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු, බලහත්කාරයෙන් ආදාහනය කිරීම පිළිබඳව, ජූලි 23 වැනිදා ආණ්ඩුව සමාව ඉල්ලීමට තීරණය කිරිම පිළිබඳ වාර්තාවක් ජූලි විසිහතර වැනිදා සිලෝන් ටුඩේ පුවත්පතේ පළමු පිටුවේ පළ වි තිබුණි.
එහි සඳහන් වූයේ, කොරෝනා වසංගත සමයේ බලහත්කාරයෙන් මළ සිරුරු ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය නිසා වෙනස් කොට සැළකීමට භාජනය වුණු විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාවගෙන් ආණ්ඩුව සමාව ඉල්ලීමට තීරණය කොට ඇති බවකි. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, සංචාරක කටයුතු අමාත්‍ය අලි සබ්‍රි සහ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් විසින් ඒකාබද්ධ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඇත. ඒ අනුව (ජුලි 23) වැනිදා කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසුවේ එම යෝජනාවට අනුමැතිය ලැබුණු බවත්, ඉදිරියේදි තමන්ගේ ආගමික අභිමතය පරිදි මළ සිරුරු ආදාහනය හෝ භුමදානය කිරීමේ නිදහස පුරවැසියාට ලැබෙන පරිදි නීති හඳුන්වා දෙන බවකි.
එදින දිනමිණ, දිවයින වැනි සිංහල පුවත්පත් හෝ සිලෝන් ටුඩේ හැර වෙනත් ඉංග්‍රිසි පුවත්පත් මේ සිදුවීම පිළිබඳව අවධානය යොමු කොට තිබුනේ නැත. එහෙත් ඊට පසු දින (ජූලි 25) මව්බිම පුවත්පතේ ඒ ක්‍රියාව පිළිබඳ සමාව ගැනීම පිළිබඳ විශ්ලේෂණාත්මක ලිපයක් පළ කොට තිබුණි. මීට සමගාමීව අප අධ්‍යයනය කළ සියලුම දෙමළ පුවත්පත්වල (තිනක්කුරල්, වීරකේසරී, තිනකරන්) පළමු පිටුවේ එම පුවත පළ වී තිබුණි.
ඊට පසු දින( ජූලි 25) තිනක්කුරල් පුවත්පතේ පළමු පිටුවේ, එම සමාව පිළිබඳ පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් පිළිබඳ වාර්තාවක් පළ වී තිබුණේය.
එම වාර්තාවේ දැක්වෙන පරිදි, කොරෝනා වැළඳී මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කොට ඇත. ජනාධිපතිවරණයේදී මුස්ලිම් ඡන්ද ඉලක්ක කර රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීම, මෙම සමාව ඉල්ලීමේ අරමුණ බවත්, ඔවුන් පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත.ලෝක සෞඛ්‍ය සංවිධානය භූමදාන කිරීම සඳහා අවසර ලබාදී තිබියදී අනවසරයෙන් ආදාහන කටයුතු සිදු කළ යුතු යැයි කීවේ කවුරුන්ද යන්න හෙළි කළ යුතු බව පවසමින් මුස්ලිම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ විරෝධය පෑ බව එම වාර්තාවේ සඳහන් වෙයි.
ආණ්ඩුව සමාව ඉල්ලීම පිළිබඳව දකුණේ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් හි පළ වුවද එම ක්‍රියාව පිළිබඳ මුස්ලිම් ප්‍රජාවේ නියෝජිතයන් වන මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් දැක්වූ ප්‍රතිචාරය, සිංහල සහ ඉංග්‍රිසි පුවත්පත් වල පළවනවා අප නිරීක්ෂණය කළේ නැත. එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ කතා කරමින් ආණ්ඩුව මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව ඉල්ලීම ප්‍රමාණවත් නොවන අතර ඒ වෙනුවෙන් වන්දි ලබා දිය යුතු බවට කරන ලද ප්‍රකාශය ද දකුණේ පුවත්පත් වාර්තා කර තිබුනේ නැත, එය ජූලි විසිපස් වැනි දා මුල් පිටුවේ අප අධ්‍යයනය කළ පුවත්පත් අතරින් වීරකේසරි පුවත්පත වාර්තා කොට තිබුණි. එහෙත් ජූලි 31 වැනිදා, සජිත් ප්‍රේමදාස ඊට දින දෙකකට ප්‍රථම (29) මොරටුව එගොඩ උයන අර්ෆත් මුස්ලිම් මහා විද්‍යලායේදී සජබ රජයක දී ආදාහනය සහ භූමදානය ගැටළුවේදි අගතියට පත් පාර්ශ්වයන්ට වන්දි ලබා දෙන බව දිනමිණ පුවත්පතේ 14 වෙනි පිටුවේ සඳහන් වී තිබුණි. එය පළ වී තිබුනේ ජනාධිපති අපේක්ෂයෙකු ගේ මැතිවරණ ව්‍යාපාරයේ වැඩසටහනක දි දුන් පොරොන්දුවක් ලෙසය. පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශයට වඩා එම අදහසම දරන මැතිවරණ පොරොන්දුවලට සිංහල පුවත්පත්වල අවකාශ ලැබෙන්නේය.
පුවත්පත් වාර්තාවලට අනුව 2021 වසරේ පෙබරවාරි මස, දැඩි සුපරීක්ෂාව යටතේ භූමදානය සිදු කිරීමට අවසර දෙන තෙක්ම සෞඛ්‍ය අමාතාංශ්‍ය ලබා දුන් විධි විධානවලට අනුව මුස්ලිම් ජාතිකයන් 276 ක් බලහත්කාරයෙන් ආදාහනය කොට තිබුණි. වෙනස් සංස්කෘතික ආගමික වටිනාකම් පිළිබඳව යන්තමින් හෝ සංවේදී නොවී, අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කළ තීරණයක් පිළිබඳ, ආණ්ඩුවක් ලෙස එම සිදුවීම සිදු වී වසර තුනකට පසු, එසේම මැතිවරණයක් ආසන්නයේ, නව යෝජනා සම්මත කර ගැනීමටත් ඒ පිළිබඳව සමාව ඉල්ලීමටත් තීරණය කරන්නේ ඇයි දැයි සබුද්ධික පුරවැසියා නැවත සිතා බැලිය යුතුය.
ජූලි 24 සිලෝන් ටුඩේ පුවත්පතේ දැක්වෙන පරිදි, හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලා ඇත්තේ “අපි එම තීරණයකට වගකිව යුතු නැති වුවත් මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව ඉල්ලීමට කැමතියි,” යන ප්‍රකාශයත් සමඟය. ඔවුනට අනුව සිදුවුණු වැරැද්දට දේශපාලකයන් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස හෝ ඔවුන්ගේ වගවීමක් ද නැත, එහෙත් ඔවුන් දැන් ඔවුන්ගේ නොවන වැරැද්දකට පවා සමාව ඉල්ලීමට තරම් සංවේදී වී ඇත, අනෙකාට ගරු කිරීමට උත්සුක වී ඇත. එහෙත් ආණ්ඩුවක් ලෙස සමාව ගැනීමට තීරණය කිරීම පිළිබඳ මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රතිචාරය අඩු තරමින් එකදු රජයේ පුවත්පතක පළ නොවීමේ තත්වයක් තුළ, සැබවින්ම ආණ්ඩුවක් ලෙස මුස්ලිම් ප්‍රජාව ඒ කාලය තුළ තමන්ගේ අයිතීන් අහිමි වීමෙන් විඳි වේදනාව පිළිබඳ සැබෑවටම සංවේදී වන්නේ ද යන කාරණය ඒ අනුව අපට තීරණය කළ හැකිය.
ජනාධිපති අපේක්ෂයන්ගේ ඡන්ද පොරොන්දු සහ සුළුතර ජනතාවගේ අපේක්ෂා
මෙරට ඕනෑම මැතිවරණයක දී සංඛ්‍යාත්මකව සුළුතර ජනයාගේ ඡන්ද ගොඩ, ජයග්‍රහණය අරඹයා සෑමවිටම තීරණාත්මක සාධකයකි. එම ජනතාවගේ මනාපය කෙසේ හෝ දිනාගන්නා අපේක්ෂකයා හෝ පක්ෂයට ඡන්දසටනින් ජයග්‍රහණය කරගැනීමේ වැඩි අවකාශයක් ලැබෙයි. එම නිසා දකුණේ සිංහල මැතිවරණ අපේක්ෂකයා, ඉතිහාසය පුරාම පීඩාවට ලක්වෙමින් සිටින, උදාහරණයක් ලෙස උතුරු නැඟෙනහිර සහ වතුකරයේ ජනයා මෙන්ම ආන්තරිකරණයට ලක් වෙන වෙනත් ජන කොටස්වල ඉල්ලීම් අරමුණු කොට ගනිමින්, විවිධ පොරොන්දු ලබා දී මොන උප්පරවැට්ටියකින් හෝ තමන්ගේ ඡන්ද ගොඩ වැඩ කර ගැනීමට යත්න දරයි.
ඒ තත්වය එසේ තිබියදී මෙවර දෙමළ දේශපාලන කරළිය වෙතින් වෙනස් සුළඟක් හමන්නට වන්නේ යැයි දකුණේ නායකයන්ට ප්‍රධාන කොටම තේරුම් යන්නට වූයේ ජූලි 22 වැනි දා, දෙමළ පොදු අපේක්ෂකයකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා දෙමළ පක්ෂ හතක් සහ තවත් සිවිල් සමාජ හතක එකතුවකින් යුතුව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුවය.
ජූලි 24 වැනිදා සිලෝන් ටුඩේ පුවත්පතේ පළමු පිටුවේ, සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිගේ ප්‍රකාශයක් සහිත පුවතක් පළවී තිබුනි. ඔහු පවසන පරිදි, එම නව දෙමළ සන්ධානය ක්‍රියාත්මක වන්නේ, කොළඹ පදනම් කරගත් දෙමළ ජනතාවගේ ගැටළු හරියාකාරව නොදන්නා දෙමළ ජනතා ජාතික සන්ධානයේ (TPNA) උතුරු පළාත් හිටපු මහ ඇමති විග්නේෂ්වරන්ගේ නායකත්වයෙනි. එම වාර්තාවට අනුව, විග්නේෂ්වරන් ජනාධිපතිධූර කාලය අවු. හය දක්වා වැඩි කර ගැනීමට සහය දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු බවත්, ඔහු වැඩ කරන්නේ රනිල් වික්‍රමසිංහගේ න්‍යාය පත්‍රයට අනුව බවද චන්දිම වැඩි දුරටත් පවසා තිබුණි. තවදුරටත් මැතිවරණය සමයන්හි දී දකුණේ සිංහල නායකන්ට රැවටෙනවා විනා, තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීමක් සිදු නොවන නිසා, ඒ පිළිබඳ විරෝධය පෑමටත්, තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ජාත්‍යන්තර අවධානය දිනාගැනීමේ අරමුණින් හෝ මැතිවරණයට දෙමළ පොදු අපේකෂකයකු ඉදිරිපත් කිරීමේ තීරණය සම්බන්ධව, සුළුතර ජනතා ඡන්ද මතින් ජයග්‍රහණය කිරීමට බලා සිටින දකුණේ දේශපාලකයාට දැනෙන කම්පනය, ඒ ඡන්ද ගොඩ මැතිවරණ සටනේදී අහිමි වී යාමේ බිය ඒ පුවතින් මනාව පිළිබඹු වෙයි.
ඒ නිසාම දකුණේ මැතිවරණ අපේක්ෂකයෝ තමන්ගේ ප්‍රතිපත්තිමය සහ දේශපාලනික වපසරියට සාපේකෂව සංඛ්‍යාත්මකව සුළුතර ජනයාගේ ඡන්ද එක්රැස් කරගැනීමට දැඩි උත්සාහයක යෙදෙති.
රනිල් වික්‍රමසිංහ අගෝස්තු මුල සතියේ උතුරේ කරන ලද සංචාරය එවැනි අරමුණක් පෙරදැරිව කළ එකකි.
අගෝස්තු 03 වැනි දින යාපනය - කිළිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ ඉතාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරණ පවිත්‍රාගාරය වීවෘත කිරීම පිළිබඳව, දිනමිණ සහ ඩේලි නිව්ස් පුවත්පත් වාර්තා කර තිබූ අතර, එම පුවත්පතේ වාර්තාවේ දැක්වෙන ආකාරයට රනිල් වික්‍රමසිංහ ආර්ථික සංවර්ධනය පිළිබඳව මිස, උතුරේ ජනතාවට සුවිශේෂි ගැටළු පිළිබඳ එතරම් අවධානය යොමු කොට තිබුනේ නැත.
රනිල් වික්‍රමසිංහ උදයන් පුවත්පතේ කාර්යමණ්ඩලය මුණගැසුණු අවස්ථාව පිළිබඳ වාර්තාවක් අගොස්තු 4 වැනිදා ඩේලි නිව්ස් පුවත්පතේ පළවි තිබුණි. වාර්ගික ගැටළුවට විසඳුමක් සෙවිය යුතු බව පිළිගන්නා නමුත් වාර්ගික ආගමික වෙනස්කම් පසෙකලා රට ගොඩනැඟීමට සියල්ලෝම එකට එකතු වීම වැදගත් බව රනිල් පැවසු බවට එහි වාර්තා කොට තිබුණි. එසේම යාපනයේ තරුණ ජනතාව අවධානය යොමු කරන්නේ රැකියා අවස්ථා සහ අනාගත ස්ථාවරත්වය පිළිබඳව බවත්, ඒ අනුව බලන විට උතුරේ සහ දකුණේ තරුණ ජනතාවට ඇත්තේ සමාන අපේක්ෂාවන් බවත් පැවසුවේය යැයි වාර්තා කොට තිබුණි. එම වාර්තාවට අනුව පළාත් සභා ශක්තිමත් කර උතුරේ ජනතාවට වැඩි අවස්ථා නිර්මාණය කළ හැකි බව ද අවධාරණය කොට තිබුණි.
රනිල් වික්‍රමසිංහගේ එම ප්‍රකාශයන්ට දැක්වූ ප්‍රතිචාර සහිත වාර්තා ඒ දිනවල දෙමළ පුවත්පත් වල පළ වි තිබුණි. අගෝස්තු 03 වැනි දා කලෛයිකදිර් පුවත්පතේ මුල් පිටුවේ, පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය පිලිබඳ විවාදය හා ජනවාර්ගික ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම පිළිබඳ රනිල් වික්‍රමසිංහගේ හදිසි උනන්දුව දෙමළ ජනයා රැවටීමට යොදනා කූට උපක්‍රමයක් බව දෙමළ ජනයා හොඳින් දන්නා බව සදහන් වි තිබුණි.
එසේම අගෝස්තු 04 වැනි දා එම පුවත්පතේම ‘රනිල්ගේ යාපනය ගමන නිෂ්ඵලයි’ යන මැයෙන් වාර්තාවක් පළ වි තිබුණු අතර එහි රනිල් වික්‍රමසිංහගේ උතුරේ සංචාරය අතරවාරයේ කරන ලද ප්‍රකාශ පිළිබඳ දැඩි විවේචනයක් අන්තර්ගතව තිබුණි.
එහි සඳහන් වූ ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනයට පැමිණ වාර්ගික ප්‍රශ්නය, යුද අපරාධ විසඳීම හෝ සංක්‍රාන්ති යුක්තිය සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ කොට නැත. ඒ වෙනුවට යාපනයේ තරුණ තරුණියන්ගේ අපේක්ෂාව රැකියා බවත් දකුණේ සහ උතුරේ තරුණ තරුණියන්ගේ අපේක්ෂා අතර වෙනසක් නැති බවත් ආර්ථික විසඳුම් රටේ අවශ්‍යතාව බවත් පෙන්වා දීමටද ඔහු අමතක නොකළ බව එහි සඳහන් වෙයි. පැහැදිලි ආර්ථික සංවර්ධනයක් නැති දේශපාලන විසඳුමක් නැති තුන්කොන් පාරාදීසයක දෙමළ ජනතාවගේ පිහිටෙන් තමන්ගේ බල සිහිනය සැබෑ කර ගැනීමට රනිල් උත්සාහ කරන බවත්, දේශපාලන විසඳුම් සහ යුක්තිය ගැන විවෘතව කතා කිරීමට නොහැකි නම්, ඔහු නැවත බලයට පැමිණියද එසේ නොකරනු ඇතැයි ද එම ලිපියේ සඳහන්ව තිබුණේය.
දකුණේ රජයේ පුවත්පත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ජයග්‍රහණය කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව දකුණේ ජනතාවට අවධාරණය කිරීමට උත්සාහ කරයි. මන්දයත් මෙවර රනිල් වික්‍රමසිංහ ඡන්ද සටනට පිවිසෙන්නේ බහුතරයක්, ඒකිය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටි, සිංහල බෞද්ධ ස්වොත්ත්මවාදය කරපින්නාගත් පොදු ජන පෙරමුණේ ජන්දාදයකයන් ගේ සහය අපෙක්ෂාවෙනි. එහිදි දෙමළ හෝ වෙනයම් සුළුතර ජනතාවගේ අවශ්‍යතා පිළිබඳ වැඩිමනත් දේ පොරොන්දු වූවහොත් ඔහුට සිංහල බෞද්ධ ඡන්ද ගොඩ අහිමී වී යනු ඇත. එම තත්වය දෙමළ ජනතාව තේරුම් ගත්බව දෙමළ පුවත්පත් හරහා නිරූපණය වෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම වසරේ ජූනි මාසයේ යාපනයේ කළ සංචාරයක දී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කරන බව සඳහන් කොට තිබුණ ද මෑත කාලයේ කිසිම පුවත්පතක එවැනි ආකාරයේ සඳහනක් පුවත්පත් වාර්තා කර නොතිබුණි. එහෙත් වරින් වර සජිත් ප්‍රේමදාස වතුකරයේ ජනතාව, මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳ මැතිවරණ වේදිකාවල සිදු කළ ප්‍රකාශයන් මුද්‍රිත මාධ්‍යය වල පළ වී තිබුණි.
මුඩු ඉඩම් භූමි,වගා භූමි බවට පත්කර, වතු කම්කරුවන් මෙන්ම රැකියා විරහිත තාරුණ්‍යයට මුඩු ඉඩම් ලබා දී කුඩා තේ වතු හිමියන් බිහි කරන බව රත්නපුරේදි සජිත් ප්‍රේමදාස පැවසූවේ යැයි ජුලි 29 වැනි දින ලංකාදීප පුවත්පතේ සඳහන් වි තිබුණි. එම පුවත පසුදින මව්බිම පුවත්පතේ ද පළ වී තිබුණි.
කොවිඩ්-19 රෝගයෙන් මිය ගිය මුස්ලිම් ප්‍රජාවගේ දේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාවෙන් සමාව ඉල්ලීම පමණක් ප්‍රමාණවත් නොවන අතර වන්දි ලබාදිය යුතු බව කියමින් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ බව ජුලි 25 වීරකේසරි පුවත්පතේ පළමු පිටුවේ සඳහන් වි තිබුණේය. සජිත් ප්‍රේමදාස කරන ලදැයි කියන මෙවැනි ප්‍රකාශ පිළිබඳ වාර්තා දෙමළ පුවත්පත්වල පළවී තිබුනේ ඉතා අවම වශයෙනි.
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමර දිසානායක, ලංකාවේ පීඩාවට පත් හෝ ආන්තරීකරණයට ලක් වූ හෝ සංඛ්‍යාත්මකව සුළුතර ජනයාගේ ඉල්ලීම් පිළිබඳ කළ ප්‍රකාශ පුවත්පත්වල වාර්තා වීම පවතින්නෙ සාපේක්ෂව ඉතාමත් අවම මට්ටමකය. උදාහරණයක් ලෙස ජූලි 24 වැනිදා සිට අගෝස්තු 06 වැනිදා දක්වා කාල සීමාව තුළ ජනමාධ්‍යවේදීයෙකු, උතුරු නැඟනහිර ජනතාව ගේ ගැටළුවක් පිළිබඳ නැඟූ ප්‍රශ්නයකට අනුර කුමාර දිසානායක දෙන ලද පිළිතුරක් ලෙස දැක්වූ කිසියම් අදහස් දැක්වීමකට අමතරව, අප අධ්‍යයනය කළ සිංහල දෙමළ ඉංග්‍රිසි එක ද පුවත්පතක ලංකාවේ දෙමළ මුස්ලිම් වතුකරයේ ජනයා පිළිබඳ ස්වයං අදහස් දැක්වීමක් පිළිබද වාර්තා නිරීක්ෂණය නොවීම විශේෂ ලක්ෂණයකි.
අගෝස්තු 06 වැනිදා ඩේලි මිරර් පුවත්පතේ සහ අගෝස්තු 08 වැනිදා ලංකාදීප පුවත්පතේ (ඉංග්‍රිසි භාෂාවෙන් පළවූ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය) පළ වූ සංවාද සටහනේ ඩේලි මිරර් පුවත්පතේ ජනමාධ්‍යවේදියා විසින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබද ඔහුගේ ප්‍රතිපත්තිය කුමක්දැයි අසන ලද ප්‍රශ්නයකට අනුර කුමාර දිසානායක පිළිතුරු ලබා දෙයි. එම සංවාද සටහනට අනුව ඔහු උතුරේ ප්‍රශ්නය විසඳීමට ව්‍යවස්ථාමය විසඳුමක් පමණක් ප්‍රමාණවත් නොවන නමුත් එම ජනතාවට ව්‍යවස්ථාමය විසඳුමක් අවශ්‍ය බව ඔහු පිළිගනියි. එසේම පොලිස් බලතල පිළිබඳ නැවත සිතා බැලීමටත්, ඉඩම් බලතල ලබා දීම සඳහා ඒ පිළිබඳ ප්‍රතිපත්ති සැකසීමට ඉඩම් කොමිසමක් ස්ථාපිත කිරීමට ඔහු එකඟ බවත් එම සටහනේ සඳහන් වී තිබුණි.
දකුණේ දේශපාලකයන්‍ගේ විවිධ දේශපාලන පොරොන්දු පිළිබඳ සිංහල දෙමළ ඉංග්‍රීසි පුවත්පත් විසින් වාර්තා කරන අතරවාරයේ දකුණේ දේශපාලකයා දිර්ඝ කාලයක් තිස්සේ, උතුරු නැඟෙනහිර ජනයා රැවටූ බව කියමින් දකුණේ දේශපාලනය වෙත තම අප්‍රසාදය පළ කෙරෙන වාර්තා දෙමළ පුවත්පත්වල පසුගිය දින කීපයේ බහුලව දක්නට ලැබුණි.
අගෝස්තු මස 04 වැනිදා කාලෙයිකදිර් පුවත්පතේ දහවැනි පිටුවේ පළවු වාර්තාවකට අනුව දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මාධ්‍ය හමුවක් අමතමින් කරන ලද ප්‍රකාශයක් වාර්තා කර තිබුණි. ඔහු සඳහන් කොට තිබුනේ, සුමන්තිරන්ගේ හා දෙමළ ජාතික සන්ධානයේ වදන් මත විශ්වාසය තබමින් දෙමළ ජනතාව ගන්නා සෑම තීරණයක්ම දැවැන්ත විනාශයකටත්, තවත් අතුරුදහන් වීමේ යුගයකටත් තුඩු දෙනු ඇති බවකි. එබැවින් ඔවුන්ගේ මතය නොසලකා හරිමින් මෙම මැතිවරණය සම්පූර්ණයෙන්ම නොසලකා හරින ලෙස ඔහු ඉල්ලා තිබේ.
රනිල්, සජිත්, අනුර උත්තමයන් නොවන බවත්, ඔවුන් දෙමළ විරෝධී ජාතිවාදින් බවත්, මැතිවරණ කාලයේදී දෙමළ ජනතාව ආකර්ෂණය කර ගැනීමට බොහෝ පොරොන්දු දෙන අතර මේ සිටින නියෝජිතයන් ද ඔවුන් පසුපස යමින් එම නියෝජිතයන් ද දෙමළ ජනතාව රවටා වරප්‍රසාද ලබා ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරියනේත්‍රන් මඩකලපුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බව අගෝස්තු 01 වැනි දා තිනක්කුරල් පුවත්පතේ 09 වැනි පිටුවේ වාර්තාවක පළ වී තිබුණි.
එසේම පසුගිය අගෝස්තු අටවැනි දින ඊළනාඩු පුවත්පතේ 15 වැනි පිටුවේ ලිපියක සඳහන් කොට තිබුණේ, දෙමළ ජනතාවට නැවත වරක් තීරණාත්මක බලවේගයක් බවට පත්වීමට අවස්ථාව ලැබී ඇති බවත්, දෙමළ ජනතාව සහාය දෙන දකුණේ අපේක්ෂකයාට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත්, අගෝස්තු මස මුල් සතියේ යාපනයට ගිය රනිල් වික්‍රමසිංහ ද එය විශ්වාස කරන බව පෙනෙනන්ට තිබෙන බවත්ය. එසේම වැඩිදුරටත් එම ලිපිය විසින් පෙන්වා දෙන්නේ, දිවයිනේ කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකු දෙමළ ජනයාගේ වාර්ගික පීඩනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා නැති අතර අඩුම තරමින් මරා දැමූ දෙමළ ජනතාව වෙනුවෙන් විවෘත උපහාරයක් හෝ සිදු නොකළ බවය. ඒ නිසාම තම බලගතු ඡන්දය භාවිතා කිරීමට පෙර දස දහස් වාරයක් දමිළ ජනයා සිතා බැලිය යුතුය යන ඉල්ලීම ද එම වාර්තාවේ ඇතුළත් විය.
ඒ අනුව විවිධ දෙමළ සහ මුස්ලිම් පක්ෂ දකුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් වෙත සහය පළ කෙරෙන විවිධ වාර්තා දෙමළ පුවත්වල පළවන අතරවාරේ, දීර්ඝ කාලයක සිට උතුරු නැඟෙනහිර ජනතාව දකුණේ දේශපාලකයන් විසින් රවටනු ලැබීම පිළිබඳ දුක් ගැනවිල්ලත්, ඒ පිළිබඳ දක්වන විරෝධයත් අප්‍රසාදයත් දෙමළ පුවත්පත්වල පිටු අතරින් මනාව ගම්‍යමාන වෙයි.