theleaderlk 01

පැරාලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,000කට අධික සංඛ්‍යාවක් පැරීසියේ පැවැත්වෙන ක්‍රීඩා උළෙලට සහභාගි වනු ඇත

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වූයේ කවදා ද?

 

දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමට මද කලකට පෙර නාසි පාලනය පැවති ජර්මනියෙන් පලා ගිය යුදෙව් වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය ලුඩ්විග් ගට්මන්, 1948 වසරේදී ලන්ඩනයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් රෝදපුටු ආධාරයෙන් ගමන් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පළමු තරගය සංවිධානය කළේ ය. ඒ, ඔලිම්පික් සමාරම්භක උත්සවය පැවති ජූලි 29 වන දා ය. මෙහිදී, යුද්ධයෙන් තුවාල ලබා සිටි සෙබළුන් සහ කාන්තාවන් 16 දෙනෙක් ඉලක්කයට දුනු විදීමේ ක්‍රීඩා ඉසව්වට සහභාගි වූහ.

 

වෛද්‍ය ගට්මන් පළමුවෙන් මෙම තරගාවලිය නම් කළේ, ස්ටෝක් මැන්ඩවිල් ක්‍රීඩා උළෙල ලෙස ය. ඒ, ඔහු කොඳු ඇට පෙළේ ආබාධ සඳහා ප්‍රතිකාර කරනු ලබන එංගලන්තයේ බකිංහැම්ෂයර්හි පිහිටි ස්ටෝක් මැන්ඩවිල් රෝහල විවෘත කිරීම සිහිවීම සඳහා ය.

 

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රථම වරට පැවැත්වූයේ, 1960 වසරේදී රෝමයේදී ය.

 

පසුව ස්ටෝක් මැන්ඩවිල් ක්‍රීඩා උළෙල පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ලෙස නම් කරනු ලැබූ අතර, පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රථම වරට පැවැත්වූයේ, 1960 වසරේදී රෝමයේදී ය. ඒ සඳහා රටවල් 23ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 දෙනෙක් සහභාගි වූහ.

 

ප්‍රධාන තරග ඉසව් මොනවා ද?

 

ඔලිම්පික් උළෙලේ මෙන් ම පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ද ප්‍රේක්ෂකයින්ගේ වැඩි ම අවධානය යොමු වන්නේ, ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් වෙත ය. මෙවර සැප්තැම්බර් 7 වන දා සැසි දෙකක් යටතේ අවසන් තරග 22ක් පැවැත්වෙනු ඇත.

 

අනෙකුත් ප්‍රධාන ඉසව් අතරින් සැප්තැම්බර් 01 වන දා Vaires-sur-Marne Nautical ක්‍රීඩාංගණයේදී පැරා ඔරු පැදීමේ ඉසව්වේ අවසන් තරග පැවැත්වීමට නියමිත ය. සැප්තැම්බර් 2 වන දා රෝද පුටු රග්බි අවසන් තරගය පැවැත්වේ.

 

raggerපැරාලිම්පික් සඳහා අනන්‍ය වූ බෝචා ක්‍රීඩා ඉසව්ව 1984 වසරේදී හඳුන්වා දෙන ලදී

 

පැරාලිම්පික් උළෙලට අයත් ක්‍රීඩා මොනවා ද?

 

දෘශ්‍යාබාධිත පාපන්දු , පැරා බර ඉසිලීම, රෝද පුටු ටෙනිස් සහ පැරා දුනු විදීමේ ක්‍රීඩාව ඇතුළුව ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ පාලක මණ්ඩලය විසින් දැනට පැරාලිම්පික් ගිම්හාන ක්‍රීඩා 22ක් සඳහා අනුමැතිය ලබා දී තිබේ. පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා හඳුන්වා දී ඇති නවතම ක්‍රීඩා දෙක වන්නේ, බැඩ්මින්ටන් සහ ටයික්වොන්ඩෝ ය.

 

badmintonපැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා හඳුන්වා දී ඇති නවතම ක්‍රීඩා දෙක වන්නේ, බැඩ්මින්ටන් සහ ටයික්වොන්ඩෝ ය.

 

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා පමණක් සුවිශේෂී වූ ක්‍රීඩා තිබේ ද?

 

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ඇති ඔලිම්පික් උළෙලේ නොමැති ක්‍රීඩා ඇත්තේ දෙකක් පමණි. ඒ, ගෝල්බෝල් ක්‍රීඩා ඉසව් ද්විත්වයක් සඳහා ඔලිම්පික් හිදී සමානතා නොමැත. ඒ, ගෝල්බෝල් (goalball) සහ බෝචා (boccia) යන ක්‍රීඩා ය. ගෝල්බෝල් ක්‍රීඩාවේ නිරත වන්නේ, දෘශ්‍යාබාධිත ක්‍රීඩකයින් හෝ ක්‍රීඩිකාවන් තුන් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකකි. ගෘහස්ත වොලිබෝල් අංගනයකට සමාන විශාලත්වයෙන් යුත් ස්ථානයක එම ක්‍රීඩාව පැවැත්වේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් විනිවිද නොපෙනෙන ඇස් ආවරණ පැළඳ ක්‍රීඩා කරන අතර කණ්ඩායම් දෙක මාරුවෙන් මාරුවට පන්දුව ආරක්ෂා කිරීම සහ ප්‍රහාර එල්ල කිරීම සිදු කරයි. විරුද්ධ පාර්ශ්වයෙන් එල්ල වන ප්‍රහාර වැළැක්වීමට ඔවුන්ගේ මුළු සිරුර ම භාවිත කරයි. ලකුණු ලබා ගැනීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පන්දුව දැල තුළට යොමු කළ යුතු ය.

 

අනෙකුත් පැරාලිම්පික් ක්‍රීඩා ඉසව්වලදී මෙන් නොව, ගෝල්බෝල් තරගයක් පැවැත්වෙද්දී නරඹන්නන් නිශ්ශබ්දව සිටිය යුතු ය. එමගින් අපේක්ෂා කෙරෙන්නේ, ක්‍රීඩකයින්ට සීනු ඇතුළත් කර ඇති පන්දුවල ශබ්දය ඇසීමට ඉඩ සැලසීම ය.

 

මේ අතර, බෝචා යනු රෝද පුටු භාවිත කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා හඳුන්වා දී ඇති ක්‍රීඩාවකි. එය බෝලිං ක්‍රීඩාවට (bowling) සමාන වේ. බැඩ්මින්ටන් ක්‍රීඩා කරන අංගනයක විශාලත්වයට සමාන ගෘහස්ත ක්‍රීඩාංගණයක එම ක්‍රීඩාව පැවැත්වෙන අතර ක්ර්ලින් ක්‍රීඩාවේදී අනුගමනය කරන නීති රීතිවලට සමාන නීති රීති අනුගමනය කරයි.

 

golballගෝල්බෝල් ක්‍රීඩකයින් දෘෂ්‍යාබාධිත වන අතර ඔවුහු විනිවිද නොපෙනෙන ඇස් ආවරණ පැළඳගෙන තරග කරති.

'වර්ගීකරණය' යනු කුමක් ද?

 

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ට පවතින ආබාධයේ ස්වභාවය සහ එහි ප්‍රබලත්වය අනුව තරග සඳහා තෝරා ගැනීම සිදු කෙරේ.

 

තරගාවලියේ සාධාරණත්වය තහවුරු කිරීම සඳහා, සියලු ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වර්ගීකරණ ක්‍රියාවලියක් හරහා තෝරා ගැනීම සිදු කරයි.එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසු කාණ්ඩයකට ඇතුළත් කෙරෙන්නේ, වෛද්‍ය සහ තාක්ෂණික විශේෂඥයින්ගේ නිර්දේශ අනුව ය.

 

එබැවින් විවිධ වර්ගීකරණයන් සඳහා විවිධ පදක්කම් පිරිනමන්නේ එහෙයිනි. එය, ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් සඳහා විශේෂ වේ.

 

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ සරණාගතයින් නියෝජනය කරන කණ්ඩායමක් සිටිනවා ද?

 

ලොව පුරා සිටින විවිධ බලපෑම් මත අවතැන් වූවන් මිලියන 120කට වඩා වැඩි පිරිසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකු සහ මාර්ගෝපදේශක ධාවකයින් (guide runners) දෙදෙනෙකු 2024 පැරිස් පැරාලිම්පික් තරගාවලියට සහභාගි වනු ඇත. එය පැරාලිම්පික් උළෙලකට මෙතෙක් සහභාගි වූ විශාලතම සරණාගත ක්‍රීඩක කණ්ඩායම යි.

 

ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගෙන් සමන්විත සරණාගත‍යින් නියෝජනය කළ කණ්ඩායමක් පළමු වරට 2016 වසරේ රියෝ ද ජැනයිරෝ ක්‍රීඩා උළෙල සහභාගි වූහ. දෘශ්‍යාබාධිත කෙටි දුර ධාවක ගීයුම් ජූනියර් අටන්ගානා සමාරම්භක උත්සවයේදී කණ්ඩායමේ ධජය රැගෙන ගියේ ය. 2020 ටෝකියෝ තරගාවලියට දින කිහිපයකට පෙර ඇෆ්ගනිස්ථානයෙන් පලා ගිය, මේ වන විට යුරෝපීය පැරා-ටයිකොන්ඩෝ ශූරියක වන සකියා කුඩඩායි ද එම කණ්ඩායමට එක් විය.

 

ප්‍රකට පැරාලිම්පික් ක්‍රීඩක න්‍යාෂා හරකුර්වා පවසන්නේ, සරණාගත කණ්ඩායම ලෝකය පුරා බලාපොරොත්තුවේ පණිවිඩයක් ගෙන යාමට සහය වන බව ය.

 

"සාමාන්‍යයෙන් පැරා ක්‍රීඩාවලට ගොඩක් සල්ලි ලැබෙන්නෙ නෑ. ඔබ සරණාගතයෙක් නම් සහ ඔබ ඉන්නේ උපන් රටේ නොවේ නම් දේශීය මට්ටමින් ඔබට අවශ්‍ය සහය නොලැබෙන්න පුළුවන්," යනුවෙන් සිම්බාබ්වේ ජාතික න්‍යාෂා බීබීසී ලෝක පුවත් සේවයට පැවසීය.

 

guyamසරණාගත ක්‍රීඩක කණ්ඩායමේ ධජය දරන්නා වන ගුයාම් ජූනියර් අටන්ගානා දෘෂ්‍යාබාධිතය ක්‍රීඩකයෙකි

 

"ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව ඉදිරිපත් වෙන්නේ මෙතනදී. අපට යම් කොටසක් පමණක් ලබා දිය හැකි නමුත් සුදුසුකම් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා එම කමිටුව මගින් සහය ලබා දෙන්න පුළුවන් කියන්නේ ඇත්තට ම ධනාත්මක දෙයක්.''

 

"මෙම අවස්ථාවේදී ඔවුන්ට තමන්ගේ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කළ හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා."

 

මේ අතර, එරිත්‍රියාව, කිරිබටි සහ කොසෝවෝ යන රාජ්‍යයන් එක් තරගකරුවෙකු බැගින් සිය මංගල තරගාවලිය සඳහා මෙවර පැරාලිම්පික් තරගාවලියට එක් කර තිබේ.

මෙවර තරගාවලියේදී අවධානයට ලක්වන පැරාලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවුද?

 

කරේන් පලොමේකි - කොලොම්බියාව

 

karen2023 පැරිසියේ පැවති පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතා තරගාවලියේදී මීටර් 100 T37 කාන්තා අවසන් තරගයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමෙන් පසු කොලොම්බියාවේ කේරන් පලොමේකි ධජයක් අතැතිව ජයග්‍රහණය සමරමින්

 

කරේන් පලොමේකි 2024 පැරිස් ක්‍රීඩා උළෙලේදී කොලොම්බියාව නියෝජනය කරන දක්ෂ ක්‍රීඩිකාවකි.

 

2023 වසරේ පැරිසියේ පැවති පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ මීටර් 100 T37 කාන්තා අවසන් තරගයේදී ඇය නව ලෝක වාර්තාවක් පිහිටුවීය.

 

2024 වසරේ කෝබේහි පැවති ලෝක ශූරතාවලියේදී, කරේන් පලොමේකි මීටර් 200 සහ T38 මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගත් අතර, මීටර් 100 T38 ඉසව්වෙන් රිදී පදක්කම සහ දුර පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනා ගත්තා ය.

 

ඇය මීටර් 400 ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවූයේ දශම 59.4ක කාලයකදී තරගය අවසන් කරමිනි. මිනිත්තුවකට අඩු කාලයකදී එම ඉසව්ව අවසන් කළ එක ම තරගකාරිය වන්නේ ඇය යි.

  

ඔක්සානා මාස්ටර්ස් - පැරා පාපැදි ඉසව්ව

 

oksanaඔක්සානා මාස්ටර්ස් මෙවර පැරිස්හිදී ඇයගේ හත් වන පැරාලිම්පික් තරගාවලියට සහභාගි වෙයි

 

යුක්රේනයේ උපත ලැබූ මාස්ටර්ස්, චර්නොබිල් න්‍යෂ්ටික ව්‍යසනයේ ප්‍රතිඵලයක් ලෙස බහුවිධ ආබාධ සහිතව උපත ලැබුවා ය. ඇමෙරිකාව නියෝජනය කරන ඇය වයස අවුරුදු හතේදී දරුකමට හදා ගැනීමට භාර ගැනුණු අතර වයස අවුරුදු 14 දී ඇයගේ කකුල් දෙක ම කපා ඉවත් කර තිබිණි.

 

මාස්ටර්ස්, 2012 වසරේදී ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ඔරු පැදීමේ ඉසව්වෙන් පැරාලිම්පික් ක්‍රීඩාවට පිවිසියාය. ඇය 2014දී රට හරහා දිවීමේ තරගයෙන් පදක්කම් දෙකක් සහ 2018දී ඇගේ පළමු පැරාලිම්පික් රන් පදක්කම් දෙක දිනා ගත්තා ය.

 

 ක්ලෙයාර් ටැගාර්ට් - බෝචා

 

boochaක්ලෙයාර් ටැගාර්ට් බලාපොරොත්තු වන්නේ, 1984 වසරේ පසුව පැරාලිම්පික් තරගාවලියකදී මහා බ්‍රිතාන්‍යය වෙනුවෙන් ඒක පුද්ගල රන් පදක්කමක් දිනා ගත් පළමු කාන්තාව බවට පත්වීමට ය

 

ටැගාර්ට් මහා බ්‍රිතාන්‍යය නියෝජනය කරමින් 2016 වසරේ රියෝහි පැවති පැරාලිම්පික් තරගාවලිය නියෝජනය කළ පළමු උතුරු අයර්ලන්ත ක්‍රීඩිකාව විය.

1984 වසරේ සිට පැරාලිම්පික් තරගාවලියේදී මහා බ්‍රිතාන්‍යය වෙනුවෙන් කේවල රන් පදක්කමක් දිනාගන්නා පළමු කාන්තාව බවට පත්වීමට ඇය බලාපොරොත්තු වේ.

 

ඒ, ඇය තරග වදින BC2 තරග ඉසව්වෙනි. 19 හැවිරිදි ටැගාර්ට්ට හන්දි සහ මාංශ පේශි හැකිළීම සහ වේදනාවන් ඇති කරන ඩිස්ටෝනියාව නම් වූ ස්නායු රෝගී තත්ත්වයට ගොදුරු වී ඇති අතර ඇය පසුව පූර්ණ කාලීන රෝද පුටු භාවිත කරන්නියක් බවට පත් විය.

 

මා ලින් - මේස පන්දු

 

malinසිය පවුල සමග චීනයේ සත්වෝද්‍යානයකට ගිය අවස්ථාවකදී මා ලින්ට අතක් අහිමි විය

 

ඔස්ට්‍රේලියාව නියෝජනය කරන මා ලින් චීනයේ සත්වෝද්‍යානයක සංචාරයක යෙදී සිටියදී දුඹුරු වලසෙකු විසින් ඔහුගේ දකුණු අත සපා කන විට ඔහු පස් හැවිරිදි වියේ පසුවිය.

 

දුෂ්කරතා මධ්‍යයේ වුව ද, මා ලින් තම වම් අතින් මේස පන්දු ක්‍රීඩා කිරීමට ඉගෙන ගත් අතර චීනය වෙනුවෙන් බීජිං, ලන්ඩන් සහ රියෝහිදී රන් පදක්කම් දිනා ඇත.

 

සිමෝන් බාර්ලාම් - පැරා පිහිනුම්

 

swimmingසිමෝන් බාර්ලාම් යනු 2024 පැරිස් පැරාලිම්පික් තරගාවලියේ පැරා පිහිනුම් ඉසව්වේ අවධානයට ලක්වූ ක්‍රීඩකයෙකි

 

මිලානෝහි උපත ලැබූ 24 හැවිරිදි මෙම ඉතාලි ජාතිකයා, උකුළේ ආබාධයක් හේතුවෙන් උපතින් ම එක් කකුලක් අනෙක් කකුලට වඩා කෙටි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශල්‍ය කර්ම ගණනාවකට මුහුණ දීමට සිදු විය.

 

ඔහු වයස අවුරුදු 14දී පිහිනීම ආරම්භ කළ අතර, 2017 වසරේදී මෙක්සිකෝවේ පැවති ලෝක ශූරතාවලියේදී ජාත්‍යන්තර තරග සඳහා පිවිසියේ ය.

 

එතැන් සිට ඔහු S9 කාණ්ඩයේ ප්‍රමුඛ පෙළේ දක්ෂතා දක්වන්නෙකු බවට පත් විය. ඔහු ටෝකියෝහිදී රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

 

මෙවර පැරාලිම්පික් ගිය ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවුද ?

 

sri lankaපැරාලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙතෙක් වැඩි ම තරගකරුවන් සංඛ්‍යාවක් සහභාගි වූ තරගාවලිය මෙය යි

 

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර පැරාලිම්පික් තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වේ.

 

පැරාලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙතෙක් වැඩි ම තරගකරුවන් සංඛ්‍යාවක් සහභාගි වූ තරගාවලිය මෙය යි.

පැරිස් පැරාලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ, සමිත දුලාන් ය.

 

ඔහු 2021 වසරේදී ටෝකියෝහි පැවති පැරාලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළේ ය.

 

ඊට අමතරව, සුරේෂ් ධර්මසේන, නුවන් ඉන්දික, නවීඩ් රහීම්, ප්‍රදීප් සෝමසිරි, අනිල් ප්‍රසන්න ජයලත්, ජනනී ධනංජනා සහ පාලිත බණ්ඩාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙවර ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම නියෝජනය කරති.

 

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන ඉසව් මොනවා ද ?

 

sureshරෝද පුටු ටෙනිස් තරග ඉසව්ව සඳහා සුරේෂ් ධර්මසේන

  

මෙවර පැරාලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රෝද පුටු ටෙනිස්, පිහිනුම්, දුර පැනීම, හෙල්ලය සහ යගුලිය විසි කිරීම ඇතුළු මලල ක්‍රීඩා ඉසව් කිහිපයක් සඳහා තරග වැදීමට නියමිත ය.

ඒ අනුව, මෙවර පැරාලිම්පික් තරගාවලියේදී S9 මීටර් 400 නිදහස් ආර පිහිනුම් ඉසව්ව නියෝජනය කරමින් නවීඩ් රහීම් තරග වැදීමට නියමිත ය.

 

රෝද පුටු ටෙනිස් තරග ඉසව්ව සඳහා සුරේෂ් ධර්මසේන ද, T44 මීටර් 100 ඉසව්ව වෙනුවෙන් නුවන් ඉන්දික, T46 මීටර් 1500 ඉසව්ව නියෝජනය කරමින් ප්‍රදීප් සෝමසිරි ද තරග වැදීමට නියමිතව තිබේ.

 

මීට අමතරව, T42/63 මීටර් 100 ඉසව්වට අනිල් ප්‍රසන්න ජයලත්, F44 හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙන් සමිත දුලාන් ද, ජනනී ධනංජනා දුර පැනීමේ ඉසව්ව වෙනුවෙන් සහ පාලිත බණ්ඩාර F 42 / 63 යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් ද තරග කිරීමට නියමිත ය.

 

පැරාලිම්පික් උළෙලේ අතීත ශ්‍රී ලංකා මතක සටහන්

 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට පැරාලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කිරීමට හැකි වූයේ, 2012 වසරේ ලන්ඩනයේ පැවති තරගාවලියේදී ය.

 

එහිදී, T46 කාණ්ඩයේ පිරිමි මීටර් 400 දිවීම ඉසව්වේදි ලෝකඩ පදක්කම දිනා ගත් ප්‍රදීප් සංජය, ශ්‍රී ලංකාව වෙනුවෙන් හිමි කර ගත් පළමු පැරාලිම්පික් පදක්කම දිනා ගත්තේ ය.

 

2016 වසරේ රියෝහි පැවති පැරාලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමි විය. ඒ, දිනේෂ් ප්‍රියන්ත හේරත් F 46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්වේ 3 වන ස්ථානයට පත්වෙමිනි.

 

Dinesh Priyantha

ශ්‍රී ලංකාවට පැරාලිම්පික් ඉතිහාසයේ පළමු වරට රන් පදක්කමක් ජයග්‍රහණය කර දීමට සමත් වූයේ, මලල ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් ය. 

2021 වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවති පැරාලිම්පික් උළෙලේදී F45 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඔහු ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම ජයග්‍රහණය කර දීමට සමත් විය.

 

මීටර් 67.79ක දුරක් හෙල්ලය විසි කරමින් දිනේෂ් ප්‍රියන්ත ලෝක වාර්තාවකට ද හිමිකම් කීමට එහිදී සමත් විය.

 

එමෙන් ම, එම තරගාවලියේදී ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමිත දුලාන් F64 හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය.


(BBC සිංහල සේවය)

pe2024 2

worky sin

නවතම පුවත්