"long term interests of the country before short term popularity" - "කෙටිකාලීන ජනප්‍රියත්වයට පෙර රටේ දිගුකාලීන අවශ්‍යතා"
මේ තේමා පාඨය සඳහන් කර තිබුණේ, ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් අමාත්‍යවරයා ලෙස සිටියදී මුදල් අමාත්‍යංශයේ ඔහුගේ නිල කාමරයේ පුවරුවක.
1964-06-11 සිට 1964-12-17 දක්වා සහ 1970-05-10 සිට 1975-09-02 දක්වා අවස්ථා දෙකකදී එම්.එම්. මෙරට මුදල් ඇමති ලෙස කටයුතු කළා. 2024 ජනාධිපතිවරණයට තවත් තියෙන්නේ දින කිහිපයයි. එහෙම පසුබිමක එන්.එම්. මුදල් ඇමතිගේ තේමාව මෙවර හරි පාරට පූර්විකාව කරගන්නත් විශේෂ හේතුවක් තියෙනවා.
මෙරට ඉතිහාසයේ පැවති වෙනත් ජනාධිපතිවරණ වලට සාපේක්ෂව මෙවර පැහැදිලි වෙනසක් දකින්න ලැබෙනවා. ඒ තමයි වෙනදා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකු අතර තිබෙන තරගය, මෙවර ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනකු වටා, එනම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජවිපෙ අනුර කුමාර, සජබ සජිත් ප්‍රේමදාස අතර තුන්කොන් සටනක් බවට පත්ව තිබෙනවා.
මේ තිදෙනා අතරින් මේ කොලම ලියන මොහොත වන විට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජවිපෙ අනුර තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්වා තිබෙනවා. සජිත් තවමත් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා නැතත්, සෑම වේදිකාවකම පොරොන්දු මල්ලක් ඉදිරිපත් කරමින් සිටිනවා. හරි හරියට අනුර කුමාරත් පොරොන්දු මල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
මේ දෙදෙනාම සතු පොදු ලක්ෂණය නම් ඔවුන් මැතිවරණය ඉලක්ක කර කෙටිකාලීන ජනප්‍රියත්වය වෙනුවෙන් ඔවුන්ගේ පොරොන්දු මල්ල දිගහැර තිබීමයි. එහිදී මීට වසර දෙකකට පෙර රට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට ලක්ව තිබූ බව වගේම මේ වන විටත් රට පවතින තත්ත්වය සම්බන්ධයෙන් මඟහැරී හෝ හිතාමතා මඟහැර තියෙනවා.
නමුත් අපි අමතක කරන්න නරකයි, මෙරට ආර්ථික අර්බුදයේ පදනම කුමක්ද යන්න. එනම් සාර්ව ආර්ථිකය අස්ථාවර වීමයි. සියලු ප්‍රශ්න වලට මුල් තිබුණේ ඒ තුළයි. සියලු පාර්ශ්ව අතර සාධාරණ ලෙස ආර්ථිකය පැතිරීම බිඳ වැටුණා. රාජ්‍ය ආදායම වියදමට වඩා බරපතළ ලෙස පහත වැටුණා.
සාමාන්‍යයෙන් අපේ වගේ රටක රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 15% ක පමණවත් තිබිය යුතුයි. 1994 වන විට මෙරට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 20%ක අගයක් ගත්තා. නමුත් 2022 වන විට එම අගය 8% කට පමණ ඉතාම අහිතකර අගයක පහත වැටීමක් සිදුවුණා. අනෙක් පසින් රාජ්‍ය වියදම් ඉතාම ඉහළ අගයක් ගත්තා.
මෙහිදී ගෙවුම් ශේෂ හිඟයක් ඇතිවීම අනිවාර්යයෙන් සිදුවන්නක් වනවා. එහිදී හිඟය පියවා ගන්න දෙස් විදෙස් ණය ගන්නට සිදුවෙනවා. ඒ අනුව රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 127% ක අගයක් ගත්තා. එය 2023 වන විට 111% ක මට්ටමේ පැවතියත්, තිබිය යුතු ප්‍රශස්ත මට්ටම නම් 60% -70% ක අගයකයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගෙන එකඟතා ගිවිසුම අනුව නම් මෙරට රාජ්‍ය ණය 2027- 2032 කාල සීමාව තුළ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 95% කට ගෙනා යුතුයි.
ඒ වෙනුවෙන් වන පැහැදිලි සැළසුමක් තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය ගමන් කරනවා. නමුත් අනුර සහ සජිත් ඉන්නේ කොතනද ? එම ප්‍රතිපත්ති හා යෝජනා දෙස බැලීමේදී ඔවුන් රාජ්‍ය ආදායම් උත්පාදනය කෙරෙහි කිසිදු අවධානයක් යොමුකර ඇති බවක් පෙනෙන්නට නැත. අවම වශයෙන් බදු අඩු කිරීම් ගැන සඳහන් කළත්, අහිමි වන ආදායම් සොයා ගන්නා ආකාරය , ගැන කිසිදු සඳහනක් නෑ .
වඩාත් අවධානම් සහගත කරුණක් වන්නේ, බදු අඩුකර, ජනප්‍රිය සහන දෙන්න ඔවුන් යෝජනා කරන විට, රාජ්‍ය වියදම් අඩුකර ගන්නේ කොහොමද යන්නයි. මොකද රාජ්‍ය වියදම් අඩුකර ගැනීම හිතන තරම් පහසු නෑ. රාජ්‍ය සේවක වැටුප් සඳහා පමණක් රාජ්‍ය ආදායමින් 55%-60% ක් පමණ වැය වෙනවා. මේ ගැන විරුද්ධ පක්ෂ කොතරම් අවධානයක් යොමුකර තිබේද යන්න ප්‍රශ්නයක්. ඔවුන් මේ ගැන හිතන්න යන්නේ ආණ්ඩු බලයක් ගැනීමට පසුව නම් එයත් ප්‍රශ්නයක් බව පැවසීය යුතුයි.
මේ වන විට රනිල් වික්‍රමසිංහ පාලනය රාජ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය සේවක පිරිස් මිස අනවශ්‍ය බඳවා ගැනීම් නවත්වා තිබෙනවා. නමුත් විපක්ෂය පවසන්නේ ඔවුන් වැටුප් වැඩි කිරීම් මෙන්ම රැකියා ද ලබාදෙන බවයි.
ඒ සමඟ තවත් සහනාධාර වැඩි කරන කතා කියනවා. නමුත් ප්‍රශ්නය වන්නේ මේ අස්වැසුම, සමෘද්ධිය වැනි උත්තේජන පැකේජ හරහා අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙනවාද ? ඒ ගැන විපක්ෂය සංවේදී නැත්තේ ඇයි ? කොහොම නමුත් අස්වැසුම වැඩසටහන නම් ඊට අදාළ ප්‍රතිසමාලෝචන සිදුකරන බව සඳහන්. මේ ආකාරයට විපක්ෂය දිගින් දිගටම මෙරට අර්බුදය විසඳීමට අවශ්‍ය කෙටි, මධ්‍ය සහ දීර්ඝ කාලීන විධිමත් සැලසුමක් වෙනුවට, ජනප්‍රියවාදී මැතිවරණ පොරොන්දු මලු, පමණක් අප හමුවේ තිබෙනවා.
අනෙක් අතට කෘෂිකර්මය ආශ්‍රිතව විවිධ සහනාධාර ගැන කියවෙනවා. ඒ සඳහා ද වැය වන්නේ රාජ්‍ය ආදායම්. පර්‍යේෂණ පත්‍රිකා අධ්‍යයනය කිරීමේදී නම් පෙන්නුම් කරන්නේ, විවිධ සහනාධාර වලට වඩා ජල කළමනාකරණය විධිමත් කිරීම වඩාත් ඵලදායි වන බවයි. නමුත් ඒ ගැන අවධානය යොමුකර තිබෙන්නේ කවුද ? ජන්දදායකයන් සැප්තැම්බර් 21 ජන්දය ප්‍රකාශ කිරීමට පෙර මේ ගැන සිතිය යුතු වනවා .
ඒ විතරක් නෙවෙයි, ඇප නැතුව ණය දෙන බැංකු ගැනත් යෝජනා තිබෙනවා. මේ දේවල් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව කොතරම් සංවේදී ද යන්න ප්‍රශ්නයක්. නමුත් මේ ඊනියා ජනප්‍රියවාදී එළැඹුම් හමුවේ අර්බුදය තවත් තීව්‍ර කෙරෙනවා. නිදසුනක් ලෙස බදු අඩු කළ විට, පරිභෝජනය ඉහළ යනවා. මෙරට භාණ්ඩ හා සේවා පමණක් නොවෙයි, ආනයනික භාණ්ඩ පරිභෝජනය ද ඉහළ යනවා.
ඩොලර් සම්බන්ධ පරිභෝජනය වෙනුවෙන් වියදම් කරන්න සිද්ධ වෙන්නේද ඩොලර් වලින් බව අමතක කරන්න එපා. 2010 වසරේ පෞද්ගලික වාහන ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 3.8ක් වැය කළ අප රට, 2016 දී ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 8.3ක් වැයකර තිබෙනවා. නමුත් ඊට සාපේක්ෂව ඩොලර් ආදායම් ඉහළ නංවා ගෙන තිබෙනවාද යන්න ගැටළුවක්. එදා අප සතු විදෙස් සංචිත අවධානමක නොතිබූ නමුත්, කොරෝනා වසංගතය වැනි නොසිතූ අන්තරාවන් අපේ ආර්ථිකය කම්පනය කළ හැකි බව සහ අවධානම් ජනනය කළ හැකි බවත් සිහියේ තබා ගැනීම වැදගත්. 2020 දී ගනුලැබූ ජනප්‍රිය තීරණ 2022 දී ආර්ථික අන්තරාවක් බවට පත්වීම ඊට කදිම නිදසුනක් වනවා.
ඒ නිසා මේ ගැන බරපතල සාකච්ඡාවක් අවශ්‍යයි. දැන් වෙනකොට, IMF සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම පවා සංශෝධනය කරන බවට පුරසාරම් ඇහෙනවා. යම් ආකාරයට එකී කොන්දේසි වෙනස් කිරීමට ගියහොත් ග්‍රීසිය ලැබූ අත්දැකීමට නොවෙනස් තත්ත්වයක් ඇති විය හැකියි. මොකද මේ වන විටත් IMF සමඟ වන වැඩසටහනට අදාළ මෙරට වැඩ කොටස සම්පුර්ණ කර තිබෙන්නේ 65% ක පමණ ප්‍රමාණයක්. ඒ වගේම අපි මීට පෙර 16 වතාවක් IMF සමඟ ගිවිසුම් ගතව එම ගිවිසුම් අමු අමුවේ උල්ලංඝනය කර ඉවත්ව ගිය ඉතිහාසයකටද හිමිකම් කියනවා.
එවැනි අවධානමක් ඉස්මතුව 2024 දෙසැම්බර් මාසයට නියමිත IMF සමාලෝචනය කඩාකප්පල් වුවහොත් ඊට අදාළ වාරිකය නවතිනවා. ඒ සමඟ ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකු ණය ආධාර වාරික ද අත්හිටුවෙන අවධානම තිබෙනවා. එසමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියද නැවත ආරම්භ කරන තැනට පත්වුවහොත් රටට අත්වන ඉරණම ඉතාම ඛේදනීය වෙන බව ස්ථිරයි. යළිත් ණයවර ලිපියක් වෙනුවෙන් පවා වන පිළිගැනීම පවා අහිමි වෙමින්, බැංකු පද්ධතිය පවා අවධානමේ වැටිය හැකියි. මේ ගැන වඩාත් සවිස්තරව දත්ත සහිතව පෙන්නුම් කළ හැකි නමුත් මේ මුද්‍රිත අවකාශය සීමා සහිතයි. නමුත් මේ සීමිත ඉඩ තුළ පෙන්වාදෙන අවධානම අසීමිත බව අමතක කරන්න නරකයි.
බොහෝ වෙලාවට හැඟීම් බර මිනිස්සු වටිනා උපදෙස් අත්හැර දමන්නේ එම උපදෙස් අන් කවරදාටත් වඩා වැදගත් වන අවස්ථා වලදීයි. ඒ නිසා අපි ආයෙත් අහනවා, ආදායම් නැතුව වියදම් කරන්නේ කොහොමද ? තිබෙන ආදායම් අහිමි කරගනිමින් වියදම් ඉහළ දමාගතහොත් සිදුවන්නේ කුමක්ද ? ගෙයක්, සමුපකාරයක් පාලනය කරන ආකාරයට රටක් පාලනය කරන්න බෑ. ජයශාන්ත අයියාගේ ආධාරය මත ජීවත් වෙමින් දේශපාලනය කළාට, ඒ මත රටක් කරවන්න බෑ. මේක මිලියන 22ක ජනතාවගේ ඉරණම ගැන කාරණයක්. ඒ නිසා මේ හමුවේ හරි පාර වන්නේ වත්මන් වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම පමණයි. ආපසු හැරීමක් ගැන සිතීමත් මුග්ධකමක් වනවා.
සැඩ පහර මැද අශ්වයා මාරු කිරීම, රැඩිකල් වැඩක් වෙන්න පුළුවන්, හැබැයි වැඩි ඉඩක් තියෙන්නේ විනාශයටයි. ඒ නිසා "කෙටිකාලීන ජනප්‍රියත්වයට පෙර රටේ දිගුකාලීන අවශ්‍යතා" ගැන හිතීමත් මේ මොහොතේ ජාතික අභිලාශයක් වෙනවා .
(රවී කරුණානායක )
එජාප ජාතික ලේකම්
හිටපු මුදල් හා විදේශ අමාත්‍ය
[උපුටා ගැනීම - මොනරා පුවත්පතින් ]
සබැඳි ලිපි:
'හරි පාර' : අර්බුදය බුද්ධිමත්ව දකිමු ! - (රවී කරුණානායක)
'හරි පාර' : ඇයි අපි දුප්පත් ? - (රවී කරුණානායක)
ප්‍රශ්නය ආර්ථිකය වුණත් උත්තරය රනිල් !
'හරි පාර' : අයිස් කුට්ටියකින් වැඩක් ගමු : පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් ගොඩනගමු ! - (රවී කරුණානායක)
'හරි පාර' : අලුත් දේශපාලන සිතියමේ අපි සිටිය යුත්තේ කොතනද ? - (රවී කරුණානායක)
'හරි පාර' : ජනතාව වැල් පාලමෙන් හරි පාරට : වර්ජකයන් නිවාඩු ! - (රවී කරුණානායක)
හරි පාර : හොඳටම කරන්න ඉල්ලන විපක්ෂය සහ රටවල් 4ක කතාව ! - (රවී කරුණානායක)
හරි පාර : ආපසු හැරෙන්න බෑ ! - (රවී කරුණානායක)
ආරංචිය සුබයි : Sri Lanka Won - (රවි කරුණානායක)
වත්කම් විප්ලවය : කොළඹින් ලංකාවටම ! - (රවි කරුණානායක)
ගංවතුර ආපදාව කෙසෙල් ගෙඩියෙන් ඔබ්බට ! - (රවී කරුණානායක)
හරි පාර : කවුරුත් නොදකින ප්‍රමාදයේ පිරිවැය - (රවී කරුණානායක)