තවත් ජනපතිවරණයක් අත ළඟටම පැමිණෙමින් තිබේ. එමෙන්ම මෙම ජනපතිවරණ උණුසුම සමඟ ජනතාවගේ හැගීම් ආවේග වඩාත් තියුණු බවක් පළ කිරීම ස්වභාවික ය.
විශේෂයෙන් එක් එක් පක්ෂ මුල් කොට ගම් මට්ටමේ සිට ඉහළට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්නවුන් අතරේ පවත්නා මත භේද ඉහළ ගොස් ඔවුන් අතරේ ගැටුම් කල කෝලාහල ප්‍රවර්ධනය වීමේ හැකියාවක් මේ දිනවල වර්ධනය වෙමින් තිබේ.
මෙවන් පසුබිමක් යටතේ මේ වන විට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්නවුන් ගේ පවුලේ සාමාජිකයන් තුළ අනියත බියක් වර්ධනය වෙමින් පවතින බව ද ඉතා පැහැදිලිව නිරීක්ෂණය වෙමින් පවතී. ඔවුන් තුළ එම බිය ජනිතව ඇත්තේ එසේ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන තම පවුල් වල සාමාජිකයන් එය මුල් කොට ගත් කල කෝලාහල වලට පැටලී විපත් සිදුකර ගනු ඇතැයි යන සැකය පදනම්කර ගනිමිනි. ඔවුන්ගේ එම සැකය අසාධාරණ නොවනුයේ අප රටේ සිදුවන සෑම මැතිවරණයක් ආසන්නයේ දීම ඒ හා සම්බන්ධ ගැටුම් හා කල කෝලාහල වලින් වටිනා මිනිස් ජීවිත කිහිපයක් අහිමි වන බැවිනි. ඊට අමතර ඒවා නිසා නියත ආබාධ ඇතුළු බරපතල කායික ආපදාවන්ට ලක් වන පිරිස් ද සිටිති.
මෙම තත්ත්වය යටතේ එවන් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්නවුන් ගේ පවුලේ ඥාතීන් විසින් එම ක්‍රියාකාරීන් ගේ ජන්ම පත්‍ර ජ්‍යොතීර්වේදීන් වෙත ඉදිරිපත් කොට ඔවුන්ගේ ග්‍රහ අපල සම්බන්ධයෙන් විමසා හිඳින අවස්ථා බහුල වී තිබේ.
ඒ සම්බන්ධයෙන් පළමු කොට කිව යුත්තේ පසුගිය කාලයේ ජ්‍යොතීර්වේදීන් නමින් පෙනී සිටි විවිධ පුද්ගලයන් ජනමාධ්‍යවලින් පැවසූ අන්දමට ජ්‍යොතීර්වේදය යනු නියත හෝ පරමාදර්ශී ශාස්ත්‍රයක් නොවන බව ය. අප සියල්ලම පෙරටුව එවන් සඳහනක් කරන විට ඒවා අසන බොහෝ දෙනකුගේ මුහුණු වලින් යම් ඉච්ඡා භංගත්වයක සළකුණු සටහන් වන අයුරු අපි කොතෙකුත් දැක ඇත්තෙමු.
“කේන්ද්‍රයෙන් යමක් හරියටම කියන්න බැරි නම් ඉතින් ජ්‍යොතිෂයෙන් වැඩක් නැහැනේ”. එවන් අවස්ථාවන්හි දී සමහරකු අපේ මුහුණටම එසේ පවසා තිබේ. එවිට අප පවසනුයේ එහි වරද ඇත්තේ ලෝක ස්වභාවයේ මිස ජ්‍යොතිෂයේ නොවන බවකි. එවිට ඒ සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් වන බොහෝ දෙනා ලෝක ස්වභාවයේ පවතින එම වරද? කුමක්දැයි අපෙන් අසති. එවිට අප ගත් කටටම පවසනුයේ එම වරද නම් ලෝකයේ පැවැත්ම අනියත ස්වභාවයක් පළ කිරීම බව ය. අප එසේ පවසනුයේ අනියත ලොවක් තුළ නියත අනාවැකි පැවසිය හැකි ශාස්ත්‍රයක් මෙලොව බිහි විය නොහැකි නිසා ය.
නමුදු පසුගිය කාලයේ මාධ්‍ය මඟින් සුපිරි තරු බවට පත් ව ජ්‍යොතිෂය ජාවාරමක් කර ගත් කපටි කයිරාටිකයන් විසින් වසන් කළ ද කිසි විටෙක ජ්‍යොතිෂ අනාවැකි නියතයක් ලෙස ඉදිරිපත් නොකරන ලෙස ජ්‍යොතිෂ සිද්ධාන්ත වලම පැහැදිලිව සඳහන් වේ. ඒ සම්බන්ධයෙන් මෑත භාගයේ ජ්‍යොතිෂය පිළිබඳ ප්‍රමාණවත් හැදෑරීම් කොට තිබූ ලංකා ග්‍රහස්පුට පංචාංග ලිත් කර්තෘ එස්.ඩබ්ලිව් කස්තුරිරත්න, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය විමල් බලගල්ලේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ මහාචාර්ය ගුණපාල ධර්මසිරි වැනි විද්වතුන් ඒ සම්බන්ධයෙන් ශාස්ත්‍රීය වශයෙන් නොයෙකුත් කරුණු දක්වා තිබිණ.
එහෙත්, තමන් පළ කළ ජ්‍යොතීර්වේදී අනාවැකියක් වැරදී නොමැති බවට ජනමාධ්‍ය වලින් පුහු අඬහැර පෑ සැබෑ ජ්‍යොතීර්වේදීන් වශයෙන් පෙනී සිටි පච ගස් යට හොර සාත්තර කරුවන් පසුගිය දශක දෙක තුන තුළ සමාජ ගත කළ කෙබර කන්ද ඉහත සඳහන් ප්‍රමාණික විද්වතුන් ගේ මත යටපත් කොට බොරුව රජ කරවීමට සමත් විය. ඒ අනුව මේ වන විට සැබෑ ජ්‍යොතිෂය යටපත් ව එනමින් යුතු ව්‍යාජය පොදු සමාජ පිළිගැනීමට ලක්ව තිබේ.
ජ්‍යොතිෂය මූලික, ද්විතීයික, තෘතීය වශයෙන් විශ්ලේෂණය කළ හැක්කකි. එහෙත්, ජන්ම පත්‍ර පරීක්ෂාවක් වැනි කටයුත්තක දී භාවිතයට ගැනෙනුයේ මූලික ජ්‍යොතිෂමය කරුණු පමණකි. එහෙත් එමගින් සත්‍යය අනාවරණය කර ගත හැක. නමුත් ඒ යම් ප්‍රමාණයක් පමණි. ඊට හේතුව එම පරීක්ෂාවේදී අනාවරණය වන කරුණු සූක්ෂම පරීක්ෂාව නම් ඊට වඩා ගැඹුරු තලයේ විශ්ලේෂණයක දී තරමක් දුරට බොහෝ දුරට වෙනස් වීමට හෝ නැති නම් මුළුමනින් වෙනස් වීමට ඉඩ තිබීම ය.
ඒ සඳහා ප්‍රායෝගික නිදසුනක් ලෙස යම් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ නඩු විභාගයක් ගත හැක. මූලික මහේස්ත්‍රාත් විභාගයේ දී එම විත්තිකරු ඊට වරදකරු ලෙස පෙනී යා හැකි අතර මහාධිකරණයේ දී එම විත්තිකරු ඊට සෘජු සම්බන්ධයක් නොමැත්තකු බව තහවුරු විය හැක. ඇතැම් විට එම නඩුව අභියාචනාධිකරණයක් හමුවට යොමු කළ විට එම විත්තිකරු ඒ ඝාතන සිද්ධියට කිසිදු සබැඳියාවක් නොමැති බව තහවුරු වීමේ ද යම් අවකාශයක් තිබේ. ඉහත සඳහන් අන්දමට ජන්ම පත්‍රයක මූලික පරීක්ෂාව හා සූක්ෂම පරීක්ෂාව එවැන්නකි. මෙම ජ්‍යොතිෂය කෙතරම් ගැඹුරට විහිද යන විෂය පථයක් ද කිව හොත් එහි ගැඹුරුන් ගැඹුරට කෙරෙන පරීක්ෂාවක දී ඕනෑම සුබ තත්ත්වයකින් අසුබයක් ද ඕනෑම අසුබ තත්වයකින් සුබ තත්ත්වයක මතු කර ගැනීමේ අවකාශයක් ඇති බව ප්‍රවීණ ජ්‍යොතිෂ ආචාර්ය එස්.ඩබ්ලිව් කස්තුරිරත්න සූරීන් ලියූ හඳහන් බැලීමේ ගුරු මුෂ්ටි 01 නම් කෘතියේ සඳහන් වේ.
කුජ ග්‍රහයා
නව ග්‍රහයන් අතරේ හිඳින ශනි හෙවත් සෙනසුරු හැරුණු කොට සෙසු පාපී ග්‍රහයා කුජ හෙවත් අඟහරු ය. ක්‍රෝධය කාමය ආදී තියුණු හැඟීම් ආවේග වලටත් උණුසුම් සටන් ගැටුම් වලටත් අධිපති කුජ නව ග්‍රහයන් ගේ සෙන්පතියා ලෙස හඳුන්වනු ලැබේ. කුජගේ නෛසර්ගික වර්ණය රත් පැහැය වන අතර මිනිසාගේ රුධිර ධාතුව සම්බන්ධ ග්‍රහයා ද කුජ ලෙස මූලික ජ්‍යොතිෂ සිද්ධාන්ත වල සඳහන් ය.
එමෙන්ම යමකුගේ ලග්නාධිපති ඇතුළු සෙසු ග්‍රහ පිහිටීම් අසුබ ආකාරයෙන් පිහිටා තිබේ නම් කුජ මහ දසාව තුළ පිහිටන කුජ අතුරු දසාවකදී ඒ තැනැත්තා සටන් කල කෝලාහල ආදියෙන් පරාජයට පත් වීම් රුධිරය වැගිරීම් හිසට හානි වීම් ආදී අයහපත් තත්වයන්ට මුහුණ දෙන බව මූලික ජ්‍යොතිෂයේ සඳහන්ය.
ඒ අනුව අපගේ ජන සංස්කෘතිය තුළ ශනි “හිඟන ග්‍රහයා” ලෙස මෙන්ම කුජ “ඔලු පළන ග්‍රහයා” ලෙස දක්වා තිබේ. ඒ අනුව, ඉදිරි ජනපතිවරණය මුල් කොට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්නකුගේ ජන්ම පත්‍රයක එබඳු ග්‍රහ පිහිටීමක් දුටු පමණින් “ඔය මනුස්සයා ඕවට ගිහින් ඔලුව පලා ගන්න ඉඩ තියනවා.ඒ හින්දා මේ දවස් වල කොහෙවත් යන්නේ නැතුව ගෙදරටම වෙලා ඉන්න කියන්න” කියා ජ්‍යොතිෂ උපදෙසක් දීමට සැබෑ ජ්‍යොතිෂය පිළිබඳ මූලික දැනුමක් ඇති කිසිදු ජ්‍යොතීර්වේදියකුට නොපුළුවන. ඒ සඳහා වන පළමු හේතුව වනුයේ මෙවන් කාලයක එවන් උපදෙසක් දීම කිසිසේත් ප්‍රායෝගික නොවීම ය. දෙවැන්න යම් කේන්ද්‍රයක් මූලික පරික්ෂාවක් කිරීමෙන් එවැනි නියත අනාවැකියක් පළ කිරීමට සැබෑ ජ්‍යොතිෂ ආචාර ධර්ම වලට පවා පටහැනි වීම ය. එමෙන්ම මෙවර ජනාධිපතිවරණය මුල්කොට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්නවුන් ගේ ජන්ම පත්‍රයේ ඉහත සඳහන් ග්‍රහමය පිහිටීමක් නොමැති වුව එය ආරක්ෂිත තත්ත්වයක් සේ හඳුන්වා දීමට ද වගකීම් සහගත කිසිදු ජ්‍යොතීර්වේදියකුට නොහැකි බැවිනි.
ශ්‍රී ලංකා පොලිස් ලාංඡනය
එවන් අවස්ථාවලදී එම ජ්‍යොතීර්වේදියා කළ යුත්තේ ජන්ම පත්‍ර වල ඇති එම ග්‍රහ පිහිටීම් මත පමණක් නොපිහිටා කවර හෝ ගැටුම් අර්බුද තත්ත්වයන් හමුවේ හැගීම් ආවේග වලට නතු නොවී ඉවසිලිවන්ත හා ප්‍රඥාවන්ත ලෙස කටයුතු කිරීමෙන් ධර්මානුකූලව ආරක්ෂාව සළසා ගන්නා ආකාරය සම්බන්ධයෙන් එම දේශපාලන ක්‍රියාකාරීන් දැනුවත් කිරීම ය.
“ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී” (දහමෙහි හැසිරෙන්නා දහමින්ම රැකෙන්නේ ය.) යන වදන සෑම ගැටුමක් අර්බුදයක් දුරදිග යන විටම එම පරිශ්‍රයට පැමිණේ. ඒ පොලිස් නිලධාරීන්ගේහිස් වැසුම් පළඳනාවල සවි කොට ඇති ශ්‍රී ලංකා පොලීසිය නිල ලාංඡනයේ එම වැකිය එලෙසින්ම සඳහන් ඇති බැවිනි.
ඒ අනුව අපට අවසන් වශයෙන් කිව හැක්කේ ගැටුම් ඇති කිරීම අවම කිරීම හෝ පිටුදැකීම නව ග්‍රහයන් වෙතටම පවරනු වෙනුවට ඒ සඳහා තම ප්‍රඥාව යොදා ගන්නා ලෙසය. මක් නිසාද යත් මිනිසා ගේ ප්‍රඥාවට නව ග්‍රහයන් අවනත හා යටපත් වන බව දාර්ශනික ජ්‍යොතිෂයේ පැහැලිදිවම සඳහන් වන බැවිනි.
(හේම ශ්‍රී අමරසිංහ)
(උපුටා ගැනීම - vinivida.lk)