තිලක් සේනාසිංහ- අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම - 15 කොටස
1982 වසරේ අවසන් භාගයේ තිලක් කුමරි පුවත්පතට සම්බන්ධ වන කාලය වනවිට අපේ රටේ සිටි ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පියකු වූ විජය කුමාරතුංග සිටියේ සිරගතව ය. එවකට මෙරට පැවතියේ ජේ. ආර්. ජයවර්ධන රජය යි. විජය සිරගත කරනු ලැබුවේ 1982 නොවැම්බර් 25 වන දා ය. ඒ, විජය වෙත එල්ල කරන ලද රාජ්‍ය ද්‍රෝහී නැක්සලයිට් චෝදනාවකට ය.
විජය සහ බන්දුල පද්ම කුමාර අතර තදබල මිත්‍රත්වයක් පැවතියේය. සිරගත වීමට කලකට පෙර විජය කුමරි පුවත්පතට "දුරු රටකට ගියාදෝ" නමින් නවකතාවක් ද රචනා කළ අතර ප්‍රසිද්ධියට පත් නොවූවද විජය කුමාරතුංග විසින් ලියන ලද එකම නවකතාව ද එය විය යුතු ය. සිනමාව කෙරෙහි විශේෂ උනන්දුවක් පළ නොකළත් තිලක් ගේ සිත තුළ විජය පිළිබඳ විශේෂ ගෞරවාදරයක් තිබිණ. එයට ද එක්තරා හේතුවක් බලපෑවේය.
මීට කලකට ඉහත දී අභාවප්‍රාප්ත වූ ජයතිස්ස දිල්ලිමුණි අප රටේ සිටි ප්‍රමුඛ පෙළේ චිත්‍රපට සංස්කරණ ශිල්පියෙකි. එවකට කඳානේ පදිංචිව සිටි ඔහු වැඩිපුරම වැඩ කළ සිංහගිරි චිත්‍රපට සංස්කරණ මැදිරිය තිබුණේ වත්තල පරණ බංගලාවක ය. තිලක් පුවත්පත්වලට සම්බන්ධ වන්නටත් පෙර සිටම ජයතිස්ස දිල්ලිමුණිව හඳුනාගෙන සිටියේය. ඒ කාලයේ ජැක්සන්, සේනක, උපතිස්ස ඇතුළු මිතුරු කණ්ඩායම සමඟ තිලක් ද දිල්ලිමුණි හමුවන්නට නිතර නිතර වත්තල හෝ කඳානට යන සිරිතක් තිබිණි. ඔවුහු එහිදී සිනමාව, චිත්‍රපට සංස්කරණය, නළු නිළියන් වැනි බොහෝ දෑ ගැන කතා කළහ. දිල්ලිමුණිව ඔවුන් ඇමතුවේ "තිස්ස අයියා" යන ආදරණීය නාමයෙනි. දිල්ලිමුණි එකල ඉතා සමීපව ඇසුරු කළ අයෙකු වූයේ විජය කුමාරතුංග යි. ඔහු තිලක් ඇතුළු මේ මිතුරු කණ්ඩායමට විජය ගැන බොහෝ දේ කීවේය.
" මල්ලි ; සැබෑ විජය කියන්නේ ඔය චිත්‍රපටිවල ඉන්න කඩවසම් කොල්ලා නෙමෙයි. ඔය මනුස්සයාට ගැඹුරු දැක්මක් තියෙනවා. අහිංසක දුප්පත් මිනිස්සු ගැන ලොකු කැක්කුමක්, කැපවීමක් තියෙන කෙනෙක්. මේ රටේ ඒ වගේ මිනිස්සු හරි අඩුයි මල්ලි. නළුකම කියන දේ මිනිහගේ ඔළුවේ නෑ. ඇත්තටම විජය වැරදීමකින් නළුවෙක් වෙලා තියෙන්නේ. විජයගෙන් අපේ රටට සමාජයට ඊට වඩා විශාල සේවයක් ගන්න පුළුවන්. ඒත් හුඟ දෙනෙක් විජයව දකින්නේ බොහොම පටු විදිහට" පසුකාලීනව තිලක් කුමරි පුවත්පතට සම්බන්ධ වීමෙන් පසු විජය කුමාරතුංග හමුවී කතාබහ කරන්නට අවස්ථාව ලැබූ හැම විටකම ඔහුට සිහිපත් වූයේ ජයතිස්ස දිල්ලිමුණිව ය. ඔහු එදා විජය ගැන පළ කළ අදහස් සනාථ වන සාක්ෂි තිලක්, විජය තුළින් බොහෝ අවස්ථාවල දුටුවේ ය.
විජය සිරගත කිරීමෙන් පසු තිලක්, බන්දුල පද්ම කුමාර සමඟ විජය ගැන කතා කළේ ය.
" බන්දු අයියේ මොකක්ද අපි විජය වෙනුවෙන් කරන්නෙ ? "
" ඉන්නකො මල්ලි, මම විජය වෙනුවෙන් හොඳ වැඩක් කරන්න දැන් කතා කරලා තියෙන්නේ "
බන්දුල එසේ කීවා මිස එතැනින් එහාට තමා කරන්නට අදහස් කරගෙන සිටින්නේ කුමක්දැයි ඒ මොහොතේ තිලක්ට හෙළි කළේ නැත.
නමුත් පසුව ඔහු කියා සිටි පරිදි විජයගේ දේශපාලන දැක්ම ඉදිරියට ගෙන යාම සඳහා ඔහුගේ සිනමාව ගැන සේම දේශපාලනය ගැන ද කතා කරන අලුත්ම ආකෘතියක විකල්ප සිනමා පුවත්පතක් එළිදැක්වීම බන්දුලගේ අදහස විණි. එවකට රජයේ මාධ්‍ය මගින් විජයව නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කිරීම හා දෝෂ දර්ශනයට ලක් කිරීම හේතුවෙන් විජය වෙනුවෙන් හඬක් නැඟීම බන්දුලගේ මෙම නවතම සිනමා පුවත්පතෙහි කාර්යභාරය විය. නමුත් එහි සෙසු රංගන ශිල්පීන් ඇතුළු සිනමාව සම්බන්ධ විවිධ රස තොරතුරු ද සීමිතව ඇතුළත් කිරීමට බන්දුල අදහස් කළේ ය. පුවත්පත ජනතාව අතරට ගෙනයාම සඳහා එවැනි තොරතුරු ද අවශ්‍ය වූ බැවිනි. 1983 අප්‍රේල් මාසයේ සිත්තර ආයතනයෙන් බැහැර ප්‍රකාශනයක් ලෙස"සරසි" සිනමා පුවත්පත ඇරඹුණේ එලෙසිනි. කුමරි පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු ලෙස කටයුතු කිරීමට අමතර ව මල්ටිපැක්ස් ආයතනය මගින් නිකුත් කළ මුතුහර සඟරාවෙහි කර්තෘ මණ්ඩලයට ද සම්බන්ධව සිටි තිලක් ට සරසි පුවත්පතෙහි නියෝජ්‍ය කර්තෘ පදවිය ද බන්දුල පද්ම කුමාර විසින් භාර කරනු ලැබීය.
සරසි පුවත්පත බිහිකිරීමත් සමඟ තිලක්ට සේම බන්දුලට ද තවත් අභියෝගයකට මුහුණ දීමට සිදුවිය. එකක්, විකල්ප සිනමා පුවත්පතක් සඳහා අවශ්‍ය ලිපි ලිවීමට ලේඛකයන් සේම පාඨකයන් සොයා ගැනීම ය. එනිසා "විකල්ප" යන වදනට ප්‍රමුඛත්වයක් ලබා නොදී සිනමාවෙහි රස තොරතුරු සමග විජයගේ දේශපාලන මතවාදයන් ද එකට මුසු කළ සිනමා රසකාමීන් ගේ මනදොල සපුරාලන පුවත්පතක් ලෙස සරසි පාඨකයන් වෙත ඉදිරිපත් කිරීමට අවසානයේ බන්දුලට සිදුවිය. මේ සඳහා බන්දුල අපූරු උපක්‍රමයක් යෙදීය.
අර්නස්ට් වඩුගේ එවකට සිනමාවේ රස තොරතුරු ලිවීම සම්බන්ධයෙන් ඉතාමත් ජනප්‍රිය නාමයක් දිනාගෙන සිටි කෘතහස්ත පුවත්පත් කලාවේදියෙකි. ඔහු "සරසවිය" පුවත්පතේ දීර්ඝ කාලයක් සේවය කළ අතර ඒ හැරුණු විට ආරියරත්න කහවිට ගේ " කලා" පුවත්පතේත්, ආතර් යූ. අමරසේන ගේ "සිත්සර" පුවත්පතේත් සේවය කර එම ක්ෂේත්‍රය සම්බන්ධ බොහෝ නිපුණතාවක් ලබා සිටියේය. බන්දුල පද්ම කුමාර, සරසි පුවත්පතට වඩුගේව සම්බන්ධ කර ගත්තේ එහි විශේෂාංග කර්තෘ ලෙස ඔහුට තනතුරක් පිරිනමමිනි.
වඩුගේ ඔහුගේ සුපුරුදු රස තොරතුරු ගෙන ඒමේ ශෛලියට අනුව අතිශය සාර්ථක ලෙස සරසි පුවත්පත ගෙන යාමට හැකි විය. නමුත් බන්දුල පද්ම කුමාර මූලිකව අපේක්ෂා කළ දෙය එමගින් කළ හැකි නොවූයේ පුවත්පතක් යොදා ගෙන සිය දේශපාලන ගමන ඉදිරියට ගෙන යාමේ වුවමනාවක් විජයට නොවූ නිසා ය. ඔහුට අවශ්‍ය වූයේ සජීවී ජනතා ප්‍රතිචාරයන් බව පෙනිණ. එවක විජයගෙන් සම්මුඛ සාකච්ඡා ලබා ගැනීම සඳහා ඒ සියලු කටයුතු සම්බන්ධීකරණය කිරීම පැවරී තිබුණේ තිලක් ට ය. නමුත් ඒ වන විට විජය දේශපාලනය වෙනුවෙන් සිය ජීවිතයම කැප කර සිටි බැවින් ඔහුට කිසිදු විවේකයක් නොතිබිණි. විජයගේ ආත්මය වී තිබුණේ දේශපාලනය මිස සිනමාව නොවේ. ඔහු රිදී තිරයෙහි ඉතා ක්‍රමානුකූලව අඳින පළඳින කඩවසම් පෙම්වතා වුවද සැබෑ ජීවිතයේ දී විජය සෙරෙප්පු දෙකක් විනා සපත්තු දෙකක්වත් පැළඳුවේ නැත. ඔහුගේ ඇඳුම්වල ද කිසිදු විශේෂත්වයක් නොතිබිණි. ආහාර පාන පවා ගත්තේ ද යන එන අතරේ දී ය. ඒවා ද සාමාන්‍ය ජනතාව ගන්නා ආහාර පානම විය.
මෙලෙස අසාමාන්‍ය තරමට සාමාන්‍ය මිනිසෙකු වූ විජයව සරසි පුවත්පතේ සම්මුඛ සාකච්ඡා සඳහා තිලක් ඉතා අසීරුවෙන් දුරකථනයෙන් සම්බන්ධ කරගත්තත් "අනේ මල්ලි.අපි හෙට උදේ කතා කරමුද?",යනුවෙන් පවසන ඔහු පසුදින උදේ සිටියේ තවත් කොහේ හරි තැනක ය. එකල දැන් මෙන් ජංගම දුරකථන නොතිබූ නිසා කොහේ හෝ ඔහු සිටින තැනක් සොයා කතා කිරීමේ පහසුවක්ද නොවිණි. කොතෙක් උත්සාහ කළත් විජයව සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ කල තිලක් කළේ ඒ පිළිබඳව බන්දුල පද්ම කුමාරට පැමිණිලි කිරීම ය.
" කමක් නෑ මල්ලි එහෙනම්" ඔහු ඊට වඩා යමක් නොකීවේ ය. විජය හමුවීමෙහි තිබෙන අසීරුව බන්දුල ද ඒ වන විට දැන හිඳින්නට ඇතුවා නිසැක ය.
තිලක් සේවය කළ මල්ටිපැක්ස් ආයතනය මෙන්ම එවකට බෙහෙවින් ජනප්‍රිය ඉරිදා පුවත්පතක් වූ "දිවයින" ප්‍රකාශයට පත් කළ උපාලි පුවත්පත් සමාගම ද පිහිටියේ බ්ලූමැන්ඩල් පාරෙහි එකිනෙකට ආසන්නව ය. හරියටම කිවහොත් උපාලි පුවත්පත් සමාගම පසුකර බ්ලූමැන්ඩල් පාරේ තවත් ටිකක් ඉදිරියට ගිය කල, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ඉදිරිපස දොරටුව ආසන්නයේ පාරේ අනික් පැත්තෙහි මල්ටිපැක්ස් ආයතනය පිහිටා තිබිණි. මීට වසර ගණනාවකට ඉහත දී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ මාධ්‍යවේදියකු ව සිටි කිත්සිරි නිමල් ශාන්ත මල්ටිපැක්ස් ආයතනයේ සේවය කරමින් හිඳ 1981වසරේ දිවයින පුවත්පත ආරම්භ කිරීමත් සමඟ දිවයිනට සම්බන්ධ විය. ඔහු මල්ටිපැක්ස් ආයතනයේ සේවය කළේ එවකට එම ආයතනය මගින් ප්‍රකාශයට පත් කරන ලද "ඉරිදා" නම් වූ කුඩා ප්‍රමාණයේ පුවත්පතක කර්තෘවරයා ලෙසිනි. කිත්සිරි සමග ජයන්ත චන්ද්‍රසිරි, අනුර සොලමන්ස් වැනි වත්මන් ප්‍රවීණයෝ ද එම පුවත්පතේ ම සේවය කළහ. අනුර හොරේෂස් ද එකල කුමරි පුවත්පතෙහි බාහිර ලේඛකයෙකු ලෙස සම්බන්ධ වී කටයුතු කළ අතර දිවයින සතිපතා පුවත්පත ආරම්භ වීමත් සමඟ මේ සියලු දෙනාම දිවයිනට සම්බන්ධ වී මල්ටිපැක්ස් හෙවත් සිත්තර ආයතනයෙන් ඉවත් වී ගියහ.
දිවයින පසුකර සිත්තර කන්තෝරුව දෙසට යන විට අතරමගදී හෝටල් දෙකක් හමුවෙයි. එකක් මජීඩ් නමින් හැඳින්වූ මුස්ලිම් හෝටලයයි. අනෙක ජයන්ති නම් වන සිංහල හෝටලයකි. මේ පත්තර කන්තෝරු දෙකේම අය කන්නට බොන්නට ගියේ මේ හෝටල් දෙකට ය. ඒ නිසා නිතර ඔවු`නොවුන් හමුවීම සාමාන්‍ය දෙයක් විණි.
කිත්සිරි නිමල් ශාන්ත ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු,ගීත රචකයකු වශයෙන් මෙන්ම පුද්ගලයකු වශයෙනුත් ඉතා යහපත් මිනිස් ගුණදම්වලින් පිරුණු අයකු ලෙස බොහෝ දෙනාගේ සිත දිනාගෙන සිටියේය. ලිවීමේ දක්ෂ පුද්ගලයකු පිළිබඳව අසන්නට ලැබුණොත් කොහෙන් හෝ සොයාගෙන ඔහු ගේ ප්‍රතිභාවන් පාඨකයන් අතරට ගෙන එන අතරේ ඔහුට හෝ ඇයට අත දෙන උදාර මිනිස් ගතියක් ඔහු තුළ තිබිණි.
ජයන්ති හෝ මජිඩ් හෝටලයේදී තිලක්ට නිතර කිත්සිරි හමුවිය. ඒ හමුවීම්වලදී තිලක්, තමන්ගේ අත්දැකීම් කිත්සිරි සමග බෙදා හදා ගත්තේය. විශේෂයෙන් සිත්තර කාර්යාලයේ වැසිකිලි පිරිසිදු කළ වේළු සම්බන්ධ කතා පුවත තිලක් පවසද්දී කිත්සිරි එය අසා සිටියේ මහත් උනන්දුවකිනි. සමාජයේ සැඟවී ඇති බොහෝ දෙනා නොදකින, අඩු ආදායම්ලාභී නිවාසවල වාසය කරන්නන්ගේ ජීවිතවල ඇතුල් පැත්ත, ගැට කපන්නන්ගේ ජීවිතවල බොහෝ දෙනා නොදත් තොරතුරු ආදී සාමාන්‍ය සමාජයට අනාවරණය නොවන බොහොමයක් දෑ තිලක් ඒ වනවිට අනාවරණය කරගෙන තිබිණි. ඔහු ඒවා කිත්සිරි හමුවේ පැවසීය. ඒ, සමාජයේ කොන් වූ එබඳු ජන කොටසක ගේ සැඟවුණු අගයන් පිළිබඳව පුවත්පත් පාඨකයන් දැනුවත් කිරීමෙන් ඉටුවන සමාජමය මෙහෙවර ගැන සළකමිනි.
"උඹට බැරිද? අපිට සෙට් වෙලා ඔය වගේ ආටිකල් සීරීස් එකක් කරන්න"
කිත්සිරි තිලක්ගෙන් ඇසීය. නමුත් තිලක් ඊට කිසිදු පිළිතුරක් දුන්නේ නැත. කුමරි සහ සරසි පුවත්පත්වල කටයුතු කිරීමේදී ඔහුට මනා නිදහසක් තිබිණි. බන්දුල පද්ම කුමාර සමඟ කටයුතු කිරීම ද එක්තරා අතකින් සොඳුරු අත්දැකීමක් විය. ඒ අතර ඔහු නැති දිනවල තම සගයන් සමඟ කන්තෝරුව තුළට හොර රහසේ "බෝතලයක්"ගෙන ඒමට තිබූ හැකියාව ද තිලක් ට විශේෂ වරප්‍රසාදයක් විණි. අනෙක් අතට දිනපතා පුවත්පතකට සම්බන්ධ වී උදේට ගෙදරින් පිටවී ගොස් හැන්දෑවේ නැවත ගෙදර එන සාම්ප්‍රදායික රැකියාවක් කරන්නෙකුගේ තත්ත්වයට පත් වන්නට ද තිලක් රිසි වූයේ නැත. එසේම ඒ කාලයේ දිවයින පුවත්පතට මහත් පිළිගැනීමක් තිබිණි. රටේ නමක් දිනා සිටි මාධ්‍යවේදී කණ්ඩායමක්ද එහි සිටියහ. මේ පිරිස අතරට ගියොත් තවමත් විශාල අත්දැකීම් නැති, විසි වයස්වල පසුවන තරුණයකු වූ තමාට යන්නට වෙන්නේ දෙවෙනි පෙළට හෝ තුන් වන පෙළට බව තිලක් දැන සිටියේය. දිවයිනට සම්බන්ධ නොවී බන්දුල පද්ම කුමාර වෙතම රැඳෙන්නට තිලක්ට බලපෑ තවත් හේතුවක් වූයේ එයයි.
" උඹ බන්දුගේ පළවෙනි පෙළේ ගෝලයෙක් නේ. උඹව ඕකෙන් ඇද්දොත් බන්දු මා එක්ක තරහ වෙන්න පුළුවන්. ඒ නිසා උඹ එන්න ඕනෙ නෑ" කිත්සිරිම යළි පිළිතුරු දුනි. බන්දුල කලක් "ගීතා" සිනමා පුවත්පත සංස්කරණය කරන විට එහි නියෝජ්‍ය කර්තෘ වූයේ ද කිත්සිරි ය.
ඒ කෙසේ වුවද දිනක් ඔහු බන්දුල පද්ම කුමාර සමඟ සමාජය විනිවිද දැකීමේ තම අභිලාෂය පිළිබඳ සාකච්ඡා කළේය.
" ඉතින් මල්ලි කටුනායක වෙළඳ කලාපෙ ගැන හොයලා ලියන්නකෝ. එහෙ ගොඩක් තොරතුරු තියනවනේ"
බන්දුල පද්ම කුමාර එසැණින් පැවසීය. ඒ අනුව තිලක් "යුවතියන්ගේ අඩවිය" නමින් කුමරි පුවත්පතට ලියූ එකල කුමරියෙහි අතිශයින් ජනප්‍රිය වූ විශේෂාංගයෙහි ආරම්භය එය විය.
1978 වර්ෂයේදී මෙරට ප්‍රථම විධායක ජනාධිපති ධුරයට පත් ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා විවෘත ආර්ථිකය හඳුන්වා දීම මෙරටෙහි විශාල ආර්ථික පරිවර්තනයක ආරම්භය විය.
එහිම ප්‍රතිඵලයක් ලෙස එම වසරේදී අපේ රටේ ප්‍රථම ආයෝජන ප්‍රවර්ධන කලාපය කටුනායක ප්‍රදේශයේ පිහිටුවනු ලැබිණි.එහෙත්, එහි සේවය කරන තරුණියන් විඳින දුක ගැන විජය කුමාරතුංගයන් ප්‍රසිද්ධ වේදිකාවල දැඩි වේදනාවකින් කතා කළේ ය.
" ජුකී" යන කර්මාන්ත මහන මැෂින් අපේ රටේ වැසියන් හඳුනා ගත්තේ මෙම වෙළඳ කලාපය පිහිටුවීමෙන් පසුව ය. මේ වනවිට ඇඟලුම් කම්හල්වල ජුකී යන වෙළෙඳ නාමයෙන් යුතු කර්මාන්ත මහන මැෂින් භාවිතය ඉතාමත් අඩුවී තිබුණත් අදටත් පොදුවේ ඕනෑම කර්මාන්ත මහන මැෂිමකට පොදුවේ ජුකී යන නම සාමාන්‍ය සමාජය තුළ භාවිත වේ. එවකට නිදහස් වෙළඳ කලාපයේ සේවය කිරීම ද "ජුකී මැහීම"ලෙස හඳුන්වන ලදී.
නිදහස් වෙළඳ කලාපයට සම්බන්ධ තොරතුරු පිළිබඳව තිලක් මින් පෙර ගවේෂණයක යෙදී නොතිබූ අතර එතෙක් එය ඔහුගේ අවධානයට ලක්වී තිබුණේ ද නැත. බන්දුල පද්ම කුමාර විසින් පවසා සිටි ආකාරයට මෙම ලිපි පෙළ කෙසේ ආරම්භ කළ යුතුද යන්න තිලක් කල්පනා කරන්නට විය.
තිලක්ගේ පාසල් මිතුරකු වූ ආනන්ද ලාල් ලියනගේ සමඟ මෙම අවශ්‍යතාව මුල් වරට කී විට ඔහු කීයේ "සුමිත්‍රාගේ මල්ලී ජයරත්නව අල්ලා ගනින්. මිනිහට ඔය පැත්තේ හරියට කන්ටෑක්ට් තියනවා"යනුවෙනි. ඒ වන විට සුමිත්‍රා වීරසිංහ ආනන්දගේ පෙම්වතිය වූ අතර පසුකලෙක ඔව්හු විවාහ වූහ. ආනන්ද ලාල් ලියනගේ මියගියේ මීට වසර කිහිපයකට පෙරාතුව ය. කෙටි කලක් රෝගාතුරව සිටි සුමිත්‍රා ද පසුගිය කාලයේ මිය ගියා ය.
" ඔය පැත්තේ මගේ ගජයෙක් ඉන්නවා. ඌ ඉන්නේ කුළුණ හන්දියේ. කලාපෙ ගැන ඌ නම් ඕන තරම් තොරතුරු දන්නවා. උගේ මාර්ගයෙන් තවත් අය හොයාගන්නත් පුළුවන් වෙයි. මං උදව් කරන්නම් බොසා" තිලක් තමන්ට වඩා වැඩිමහල් නිසා දෝ ජයරත්න තිලක්ට ඇමතුවේ "බොස්" යන වදනේ දේශීය වහරක් වන බොසා යන ජනප්‍රිය වදනිනි. නැතහොත් "ලොක්කා" යනුවෙනි.
ආනන්ද ගේ කීම අනුව ජාඇල, නිවන්දම නිවසට ගොස් ජයරත්න වීරසිංහ හමු වූ පසු ඔහුගේ එම ඉදිරිපත් වීම නිසා තිලක්ගේ සිතට මහත් සතුටක් සේම සැහැල්ලුවක්ද ඇතිවිය. කුළුණ හන්දිය පිහිටියේ කටුනායක ය. ඉන්පසුව ආරම්භ වන්නේ අමන්දොළුව ගමයි. මේ සියල්ල වෙළඳ කලාපයට ආසන්න ප්‍රදේශ වේ. ඒ අනුව වෙළෙඳ කලාපයේ යුවතියන් පිළිබඳ බොහෝ තොරතුරු සොයා ගැනීම සම්බන්ධයෙන් ජයරත්නගෙන් සුවිසල් මෙහෙයක් ඉටුවිණි.
බොහෝ දිනවල කාර්යාලයෙන් වේලාසනින් පිටත්වූ තිලක් කටුනායකට යන්නට පුරුදු විය. ඇතැම් දිනවල ජයරත්න ද ඔහු සමග පැමිණෙයි. ජයරත්න විසින් හඳුන්වා දෙන ලද ඔහුගේ මිතුරෝ මෙහිදී තිලක්ට අනගි සහායක් ලබා දුන්හ. තොටලඟ, මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස් වැනි ප්‍රදේශවල තිලක් හඳුනාගෙන තිබූ අඩු ආදායම්ලාභීන්ගේ උපසංස්කෘතියත්, වෙළඳ කලාපයේ උප සංස්කෘතියත් අතර අහසට පොළොව බඳු පරස්පරතාවයක් ඇති බව තිලක් හඳුනා ගත්තේ එහි ගිය මුල් දිනවලදීම ය. එම ගමන්වල දී තිලක්ට අසීමිත සහයෝගයක් දුන් ජයරත්න ඊට පසු කලෙක මැද පෙරදිග රැකියාවක යෙදී ඉන්පසු මහා බ්‍රිතාන්‍යයට ගොස් එහි ලන්ඩන් මහ නගර කලාපයට අයත් නිව් මැල්ඩන් හි අවන් හලක් ඇරඹීය. ජනකාන්ත ගායක මිල්ටන් පෙරේරාගේ පුත් චලක චමුපති හා ඔහුගේ බිරිඳ ද එහි දී ජයරත්නගේ සමීප මිතුරු මිතුරියෝ වූහ. පසුව එම රටේදී මුණ ගැසුණු ශ්‍රී ලාංකේය යුවතියක හා විවාහ වූ ජයරත්න දෙදරු පියෙක් ද විය. ඒ අතරේ ද තිලක් හා පැවැති මිතුරු දම නොනැසී පවත්වා ගෙන යාමට ඔහු අමතක නොකළේ ය. ඉඳහිට ලංකාවට පැමිණෙන විට බොහෝ මිතුරන්ට පෙර තිලක් හමුවී නිහඬ නිසංසල වෙල් එළියක් කමතක් වැනි තැනක රුක් සෙවනක් යටට වී මත්පැන් පානය කිරීම ජයරත්න මහත් සේ ප්‍රිය කළ දෙයකි. වෙල් එළි වල බැඳ සිටින ගව මහීෂාදීන් කෙරෙහි පවා ඔහු අතිශය දයානුකම්පාවක් දැක්වීය.
" මෙහේ වැහි වලාකුළු දකින කොට මගේ නිකම්ම බඩ පිරෙනවා බොසා"
දිනක් වැසිබර දිනයක වෙල් එළියක දී ජයරත්න කී අයුරු තිලක්ට මතක ය.ඊට අමතරව එල්ලේ ශූරයකු වූ ඔහු ලංකාවට පැමිණි සෑම විටෙකම ගමේ තරුණයන් එක් රොක් කර ගනිමින් එල්ලේ ක්‍රීඩා කිරීම ද පුරුද්දක් කරගෙන සිටියේ ය. ඉන් දිනන තරුණයන්ට ඔහු තම පෞද්ගලික මුදලින් තෑගි බෝග ද ප්‍රදානය කළේ ය. මේ අතර 2008 වසරේ ඔක්තෝබර් 18 වන දා වැසිබර සැන්දෑවේ තිලක් නිවසේ විවේකීව සිටියදී ඔහුට දුරකථන ඇමතුමක් ලැබිණ.
"බොසා මට ඔයාලව බලන්න හදිසියේ එන්න හිතුණා. අනේ පොඩ්ඩකට අපේ ගෙවල් පැත්තේ එන්නකෝ" ජයරත්න කීය.
"ඒ මොකද හදිසියක්ද? තිලක් ඇසුවේ දැඩි කුතුහලයෙනි.
"මම ඉතින් කොහොමත් හදිසිකාරයනෙ බොසා. දැන් එන්නකෝ" ජයරත්න සිනාසුණි.
"අනේ ජයේ මට හෙට ඉරිදා ඔෆිස් එකේ වැඩ. මම හෙට ගිහින් අනිද්දා ගෙදර නතර වෙනවා. ඒ හින්දා හෙට හවස එන්නම්"
ජයරත්නගේ ඇරයුමේ ස්වභාවය වටහා ගත් තිලක් කීය.
"මට හෙටක් නෑ බොසා. මට තියෙන්නෙ අද විතරයි. ඒ හින්දා අදම එන්න"
එසේ කී ජයරත්න ඇමතුම විසන්ධි කළ අතර මඳ වේලාවකින් ජයරත්න, තිලක් කැඳවාගෙන යාමට එවූ ත්‍රිරෝද රථයක් ඔහුගේ නිවස ඉදිරියටම පැමිණ තිබිණ.
"ජයරත්න මාව බලෙන්ම ගෙන්නා ගන්න හදන්නේ"
එසේ තම බිරිඳට කී තිලක් එම ත්‍රිරෝද රථයෙන් ජාඇල නිවන්දම බලා පිටත් විය. ඔහු නැවත නිවසට එන විට එදින මැදියම් රැය ද ඉක්ම ගොස් තිබිණි. එම සැන්දෑවේ ජයරත්න සහ ආනන්ද සමඟ පැවැති ප්‍රිය සමාගමය එතරම් දීර්ඝ විය.
පසුදින ඉරිදා කන්තෝරුවට ගොස් පැයක් හමාරක් ගත වන විට තිලක් ගේ සමීපතම හිතවතකු වන දමිත් මැල්ලවතන්ත්‍රීගෙන් දුරකතන ඇමතුමක් ලැබිණ. ඔහු මේ වන විට "මොණරා" පුවත්පත් සමාගමේ සහකාර සාමාන්‍යාධීකාරීවරයෙකි.
"තිලක් අයියේ පහළ ගෙදර ජයරත්න අයියා නැති වුණා. මම මේ රාගම හොස්පිටල් එකේ ඉඳලා කතා කරන්නේ"
දමිත් පවසත්ම තිලක් ට සිනා පහළ විය.
"හරි හරි පිස්සු කෙලින්නේ නැතුව ජයේට දීපන්කො ෆෝන් එක. ඔය යකා ඊයෙ රෑත් මාව නන්නත්තාර කරලා ඉන්නේ" යනුවෙන් තිලක් කීයේ එය ජයරත්නගේම "ලණුවක්" වීමට තිබූ ඉඩකඩ සැලකිල්ලට ගනිමිනි.
"නෑ තිලක් අයියේ මම කියන්නේ ඇත්ත. සුමිත්‍රා අක්කත් මෙතන ඉන්නවා.මම දෙන්නද ලයින් එක" යැයි දමිත් පැවසූ සැනින් "අනේ ඔව් තිලක්. මේ දැන් අපේ මල්ලී නැති වුණා"යනුවෙන් සුමිතාගේ විලාප හඬ ඇසුණි.
ජයරත්න එලෙස ඉතාමත් අනපේක්ෂිත අයුරින් මෙලොවින් සමුගෙන ගොස් සිටියේය. ඔහුගේ අකල් මරණයට හේතුව හදිසි හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය. වසර විසි පහකට ආසන්න කාලයක් තම ජීවිතයට සිටි අතිශය සමීප සහෘදයකු ගේ හදිසි නික්ම යාම තිලක් ගේ මතක ගැබ තුළ අදටත් නිදන් වී ඇත්තේ කිසිදා නොමැකෙන සිහිවටනයක් ලෙසිනි.
ලබන සතියේ යළි හමුවෙමු.