(උතුර නැඟෙනහිර සහ වතුකරයේ ජනතාව ඇතුළු ආන්තීකරණයට ලක්වු ජන කොටස්වල ඉල්ලීම් සහ අයිතිවාසිකම් පිළිබඳව මැතිවරණ සමයේ උතුරේ දකුණේ දේශපාලන වේදිකාවල මතුවන සංවාද සහ අදහස් දැක්වීම් සිංහල දෙමළ ඉංග්‍රීසි පත්තරවල පිළිඹිබු වන්නේ කෙසේද යන්න පිළිබඳව කරන අධ්‍යයනයක පස්වැනි ලිපිය.
මෙම ලිපිය සඳහා මූලිකව පාදක වන්නේ අගෝස්තු 27 වැනි දා සිට සැප්තැම්බර් 2 වැනි දා දක්වා භාෂා ත්‍රිත්වයෙන් තෝරාගත් පුවත්පත් නියැදියකි.)
සිංහල සහ ඉංග්‍රිසි පුවත්පත් වල හැසිරීම
ගෙවුනු සතියේ ජනාධිපති මැතිවරණ උණුසුම මැද, සුපුරුදු දේශපාලන කතා, මත ගැටුම්, ඡන්ද පොරොන්දු, මැතිවරණ ප්‍රචාරක වැඩසටහන් සහ මඩ ගසා ගැනීම් අතරේ සිදුවුණු වැදගත් සිදුවිම් පෙළක් වූයේ ප්‍රධාන තරගකාරී ජනාධිපති අපේක්ෂකයන් තිදෙනාම තම ප්‍රතිපත්ති ප්‍රකාශන එළි දැක්වීමයි.
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක, සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය අගෝස්තු මස 26 වැනි දා එළි දැක්වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තම ප්‍රතිපත්ති ප්‍රකාශන 29 වැනි දා ප්‍රකාශයට පත් කළෝය.
එතැන් පටන් සිංහල දෙමළ ඉංග්‍රීසි සෑම පුවත්පතක්ම එම ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වීම් පිළිබඳව මුල් පිටුවේ ද, ඡායාරූප සහිතව මැද පිටුවල ද විස්තරාත්මක පුවත් වාර්තා කර තිබුණි.
අප අධ්‍යයනය කළ සිංහල පුවත්පත්වල එම එළි දැක්වීම්, දැන්වීමක් ලෙස සහ එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගතයන් උපුටා දක්වමින් ද එළි දැක්වීමේ උත්සව වල දී අදාළ ජනාධිපති අපේක්ෂකයා හෝ එම පක්ෂයේ උඩු පෙළ දේශපාලකයන් දැක් වූ අදහස් උපුටා දැක්වමින් ද ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳ වාර්තා සකසා තිබුණි.
අරුණ, දිනමිණ, ලංකාදීප ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය. එහෙත් අප අධ්‍යයනය කළ කිසිදු සිංහල පුවත්පතක ජනාධිපති අපේක්ෂකයන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳ සන්සන්දනාත්මක හෝ විශ්ලේෂණාත්මක ලිපි කිසිවක් නිරීක්ෂණය කළේ නැත. එසේම අන්තර්ගතය පිළිබඳ විශ්ලේෂණාත්මක නොවන, හුදු වාර්තාවක් පමණක් සැපයූ සිංහල පුවත්පත් සෑම එකක්ම පාහේ ද, වැඩි වශයෙන් ආර්ථික සංවර්ධනය සම්බන්ධ කරුණු ඇතුළු සෞඛ්‍යය, අධ්‍යාපනය, විදේශ ප්‍රතිපත්තිය වැනි කාරණා පිළිබඳව වැඩි අවධානයක් යොමු කොට තිබුණු අතර, ඒ සියළු සිංහල පුවත්පත් වලට, උතුර නැගෙනහිර සහ වතුකරයේ දෙමළ ජනතාව සහ ආන්තීකරණයට ලක් වූ ජන කොටස් වල ඉල්ලීම් සහ අයිතිවාසිකම් සහතික කිරීම පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් ව ඇත්තේ කුමක් දැයි වාර්තා කිරීමට අමතක ව තිබුණි. එම ජනතාව ශ්‍රි ලාංකේය සමාජය තුළ පමණක් නොව සිංහල පුවත්පත් පිටු අතරේ ද වාටියට තල්ලු වී ඇති සෙයකි.
එසේම ඉංග්‍රීසි පුවත්පත්වල ද සිංහල පුවත්පත්වල දක්නට තිබූ ඉහත සඳහන් ලක්ෂණය අඩු වැඩි වශයෙන් නිරීක්ෂණය කළ හැකි විය.
අගෝස්තු 27 වැනි දා ද ඩේලි මෝර්නින් සහ අගෝස්තු 30 වැනි දා ද ඩේලි මිරර් පුවත්පත්වල පිළිවෙලින් අනුරගේ ද, ඉන් අනතුරුව රනිල් සහ සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳ සවිස්තරාත්මක වාර්තා පළ වී තිබුණු නමුත් ඔවුන් තිදෙනා සංඛ්‍යාත්මකව සුළුතර ජනතාවගේ ගැටළු විසඳීම සඳහා කර ඇති යෝජනා පිළිබඳව කිසිදු සඳහන් කර තිබුනේ නැත.
නමුත් සිංහල පුවත්පත්වලට සාපේක්ෂව වැඩි වශයෙන් ඉංග්‍රීසි පුවත්පතවල, හුදු වාර්තාකිරීම්වලට අමතරව ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳව කුමනාකාර හෝ අරමුණක් වෙනුවෙන් සන්සන්දනාත්මක සහ විශ්ලේෂණාත්මක ලිපි පළ වී තිබුණි.
අගෝස්තු 29 වැනි දා ඩේලි මිරර් සහ සැප්තැම්බර් පළමුවැනිදා ද සන්ඩේ ටයිම්ස් යන පුවත්පත්වල ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය විවේචනය කරන, නිෂේධනාත්මක පක්ෂය පෙන්වා දීම සඳහා විශ්ලේෂණාත්මක ලිපි පළවී තිබුනි. ඩේලි මිරර් හි එම ලිපිය පළ වී තිබුනේ එදින පුවත්පතේ පළමු පිටුවේ ප්‍රධාන ලිපිය ලෙස වන අතර එහි මූලිකව අවධානය යොමු කොට තිබුනේ ආර්ථික කාරණාවල දෝෂ සහිත තැන් පෙන්වා දීමටය. එසේම ද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ හතරවැනි පිටුවේ දීර්ඝ ලිපියක් පළ වී තිබුනු අතර තරමක උපහාසාත්මක භාෂා විලාසයක් යොදා ගෙන තිබු එම ලිපිය තුළ සමස්තයක් ලෙස මුළු ප්‍රතිපත්ති ප්‍රකාශනයම සමච්චලයට ලක් කිරීමේ උත්සාහයක් ගෙන තිබුණි. එහෙත් සම්චච්ලයට ලක් කිරීමටවත් එම ලියුම්කරු විසින් ජාතික ජනබලවේගය විසින් උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ අරමුණින් යෝජනා කොට තිබුණු කිසිදු කරුණක් පිළිබඳ අවධානය යොමුකොට තිබුනේ නැත. එසේම එම ලිපි ද්විත්වයේම අරමුණ වි තිබුනේ, තම මාධ්‍ය ආයතනය සහය පළ කරන අපේක්ෂකයාගේ ප්‍රතිවාදියාට බැට දීම මිස, පාඨකයා දැනුවත් කරන සාධනීය විශ්ලේෂණයක් කිරීම නොවේ.
සැප්තැම්බර් පළමුවැනිදා සිලෝන් ටුඩේ හතරවැනි පිටුවේ තෝරාගත් කාරණා 14 ක් යටතේ රනිල්, අනුර සහ සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ත්‍රිත්වයම පිළිබඳව සන්සන්දනාත්මකව කරුණු දක්වා තිබුණි. එහි කාන්තාවන් සහ විවිධ ලිංගික නැමියාවන් සහිත ජනකොටස්වලට අදාළ කාරණා පිළිබඳව ද සැළකිලිමත් වී තිබුණු නමුත් රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වන උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාවගේ ඉල්ලීම් සහ අයිතිවාසිකම් පිළිබඳ කතා බහ කිරීම නොසලකා හැර තිබීම ප්‍රකට ලක්ෂණයක් වූයේය. එසේම එම වාර්තාවේ සාකච්ඡාවට බඳුන් කිරීමට තෝරාගත් කාරණා අතර ව්‍යවස්ථාව, නිතිය, ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව සාකච්ඡා කෙරෙන ශීර්ෂපාඨයක් ද දක්නට තිබුණි. මෙම ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාම කිසියම් ව්‍යවස්ථා වෙනසක් පිළිබඳව යෝජනා කොට තිබුනේ ජාතික සමඟිය යන කාරණයට අදාළවය. එහෙත් එම ශීර්ෂපාඨය යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නව ව්‍යවස්ථාවක් සම්මත වන තුරු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කරන බව පමණක් සඳහන් කර තිබුනි. අනික් දෙදෙනා ඒ පිළිබඳ දැක්වූ යෝජනා සම්බන්ධයෙන් එම ශීර්ෂ පාඨය යටතේ කිසිදු සඳහනක් නොතිබුනේය.
මෙම ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා සංඛ්‍යාත්මකව සුළුතර ජාතීන්ගේ ඉල්ලීම්වලට අදාළව තම තමන්ගේ දේශපාලනික වපසරිය තුළ විවිධ විසඳුම් යෝජනා කර තිබියදී ත්, යන්තමින් හෝ තම පුවත්පතේ අදාළ අරමුණ යටතේ එම කාරණා සාකච්ඡාවට බඳුන් නොකිරීම සිලෝන් ටුඩේ පුවත්පතේ ජනමාධ්‍යවේදීන්ට සිදුවුණු අත්වැරැද්දක් ද? නැතිනම් අරමුණු සහගතව සිදුකරන ලද නොසළකා හැරීමක් ද?
මූලිකවම දකුණේ බහුතර සිංහල ජනතාව ප්‍රතිපත්ති ප්‍රකාශන කියවමින්, ඒවා විශ්ලේෂණය කරමින් තමන් ඡන්දය දෙන අපේක්ෂකයා තෝරා ගැනීමක් සිදු කරන්නේ නැත. එසේම බොහොමයක් සිංහල බෞද්ධ ජනතාව උතුර නැඟෙනහිර හෝ වතුකරයේ ජනතාවට ජීවත්වීමේ අයිතිය සම්බන්ධ ප්‍රශ්නයක් ඇතිබව පිළිගන්නේ ද නැත. එම නිසා දකුණේ ඡන්දදායකයාට, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන යනු, ඡන්ද කාලෙට උඩ විසිවෙන තවත් එක් මල්වෙඩිල්ලක් මිස, ඔවුන්ගේ මනාපයට බලපාන තීරණාත්මක සාධකයක් නොවේ. එසේම මේ වන විට පාවෙන ඡන්ද ලෙස සැළකෙන සුළුතර පිරිසෙන් බොහෝමයක්ම තම තීරණය ගන්නේ, මැතිවරණ ව්‍යාපාරයේ අවසන් කාලයේ සුත්තරකාර අපේක්ෂකයන් දක්වන හොඳම ජිල්මාට් එක පදනම් කරගෙන හෝ එසේත් නැත්නම් අවසානයේ ඇතිවන දිනන රැල්ල මත හෝ මිස ප්‍රතිපත්ති ප්‍රකාශ කියවා විශ්ලේෂණාත්මකව හෝ තාර්කිකව සිතා බලා නොවේ. දකුණේ ජනතාව වෙනුවෙන් එම ප්‍රතිපත්ති ප්‍රකාශන ගැඹුරට කැණ විශ්ලේෂණය කිරීමේ වෙහෙස දැරීමට තරම් පුවත්පත්කලාවේදීන්ට ද ඇඟේ අමාරුවක් නැත්තේ තමන්ද ඒ ප්‍රජාවේ ඓන්ද්‍රීය නිෂ්පාදනයන් නිසා වන්නට පුළුවන.
එහෙත් ඉංග්‍රීසි පුවත්පත් කිහිපයක් මීට වඩා වෙනස් හැසිරීමක් දක්වා තිබුනි. උදාහරණයක් ලෙස අගෝස්තු 27 වැනි දා ඩේලි මිරර් පුවත්පතේ පළමු සහ දෙවන පිටුවල ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ වාර්තාවක් දක්වා තිබුණු අතර එහි අනුර කුමාර දිසානායක ජාතික සමඟිය ඇති කිරීම පිළිබඳ තම පක්ෂයේ මතය ඉදිරිපත් කිරීම වාර්තා කර තිබුණි. ඔහු එහිදි පවසා තිබුනේ අප කළ යුත්තේ ජාතික සමඟිය ඇති කිරිමට ලස්සන කතා කියමින් සිටීම නොව එය වඩාත් ප්‍රායෝගිකව සහ දේශපාලනිකව ක්‍රියාත්මක කිරීම බවය. එසේම ඒ සඳහා ඔවුන් නව ව්‍යවස්ථාවක් ගෙන එන බව ද එම වාර්තාවේ සඳහන් කොට තිබුනි. මෙම වාර්තාවේ ද ජාතික ජනබලවේගය උතුරු නැගෙනහිර සහ වතුකර ජනතාව වෙනුවෙන් කරන ලද වෙනත් යෝජනා කිසිවක් සඳහන් කොට නොතිබූ නමුත් අප අවධානය යොමු කළ යුතු ‘ජාතික ගැටළුව’ නම් කාරණාවක් මේ රටේ ඇති බව යන්තමින් හෝ සිහිපත් කොට තිබුණි.
ඩේලි මිරර් පුවත්පතේ අගෝස්තු 30 වැනි දා පළමු සහ දෙවැනි පිටුවල ජනාධිපති අපේක්ෂකයන් වන රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන වාර්තා දෙකක් පළ වී තිබුනි. රනිල්‍ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන පළ වූ වාර්තාවට අනුව, මධ්‍යම ආණ්ඩුව විසින් අත්පත් කරගත් බලය නැවත පළාත් සභාවලට ලබා දෙන බවත්, පාර්ලිමේන්තුවේ තීරණයකට යටත්ව පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ලබා දෙන බවත් සඳහන් කොට තිබුනි. එහෙත් රනිල් වික්‍රමසිංහට වඩා තරමක් ඉදිරියට ගොස්, සජිත් ප්‍රේමදාස තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නව ව්‍යවස්ථාවක් සම්මත වන තුරු 13 වැනි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කොට තිබුණ ද ඒ පිළිබඳ කිසිදු සඳහනක් ඒ වාර්තාවේ දැක්වුනේ නැත. උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් රනිල්ට සාපේක්ෂව සජිත් සෘජු විසඳුමක් ඉදිරිපත් කර තිබුණ ද ඩේලි මිරර් පුවත්පතේ ඒ පිළිබඳ යන්තමින් හෝ සඳහන් නොවුනේ රනිල්ගේ ඥාතියකුට අයත් මාධ්‍ය ආයතනයක් වන ඩේලි මිරර් පුවත්පත, කොළඹ කේන්‍ද්‍රීය ඉංග්‍රීසි කතා කරන රාජතාන්ත්‍රිකයන්, සිංහල දෙමළ විද්වතුන්ගෙන් සජිත්ගේ යෝජනා සඟවා රනිල් ගේ ප්‍රතිපත්ති පමණක් හුවා දැක්වීමට ද?
සැප්තැම්බර් පළමුවැනිදා ද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ හයවැනි පිටුවේ රනිල්, සජිත් සහ අනුර යන ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනා පිළිබඳ සාධනීය, සන්සන්දනාත්මක විශ්ලේෂණයක් සහිත වාර්තාවක් පළ කර තිබුණි. මෙහි විශේෂ ලක්ෂණය වන්නේ, එම අපේක්ෂකයන් තිදෙනාම, උතුර නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කර ඇති යෝජනා වෙන් වෙන්ව විස්තරාත්මකව සහ තරමක් විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කර තිබීමය. එම සතියේ එවැනි සාධනීය විස්තරාත්මක ලිපියක් දක්නට ලැබුනේ ද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පමණක් කිවහොත් එය නිවැරදිය.
සිංහල පුවත්පත් විසින් සඟවන හෝ මඟ හරින සමහර කාරණා ඉංග්‍රිසි පුවත්පත්වල මැනවින් මතුකරන්නේ, ඉංග්‍රීසි කියවන පාඨකයා අතර දෙමළ පාඨකයන් මෙන්න, රැල්ලට නොයන, කරුණු කාරණා තේරුම් ගනිමින් තීරණ ගන්නා පිරිසක් ද සිටින බව හඟිමින්, ඔවුන්ගේ විශ්ලේෂණාත්මක චින්තන රටාවට අනුකූල වන පරිදි වාර්තා සැපයිය යුතු නිසා වන්නට පුළුවන.
දෙමළ පුවත්පත්වල හැසිරීම
දකුණේ සිංහල ප්‍රධාන අපේක්ෂයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත්වීමත් සමඟ, සිංහල ඉංග්‍රිසි පුවත්පත් මෙන් නොව දෙමළ පුවත්පත් දැඩි උනන්දුවකින් සහ අවධානයකින් යුතුව ඒ පිළිබඳව පුවත් වාර්තා කොට තිබුණි. එම වාර්තාකරණයේ විශේෂ ලක්ෂණය වන්නේ, එම පුවත් හුදු වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් වැඩි විශ්ලේෂණාත්මක ස්වරූපයක් ගැනීමයි. සිංහල ඡන්දදායකයාට වඩා දෙමළ ඡන්දදායකයා ඔවුන්ගේ ඉල්ලීම් සහ අයිතිවාසිකම් පිළිබඳව දකුණේ දේශපාලනය තුළ මතුවන ප්‍රතිචාර පිළිබඳව සවිඥානකය. ඒ ඔවුනට සිංහල ජනතාවට මෙන් නොව තෙල් ගෑස් විදුලියට වඩා එහා ගිය අයිතීන් ප්‍රමාණයක් දිනා ගැනීමට නිරන්තරයෙන් අරගල කිරීමට සිදුව ඇති නිසාය.
එම නිසා ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳ පළවුණු වාර්තා විටෙක දෙමළ ජනතාව තුළ දැල්වෙන සුබදායි අනාගතයක් පිළිබඳ අපේක්ෂාවන් කියා පායි, විටෙක එම වාර්තා ඔවුන් තුළ ඇති ඉච්ඡා භංගත්වය පිළිබිඹු කරයි. සිංහල ජනාධිපති පෙරමුණේ ඉන්නා අපේක්ෂකයන් කිසිවකු දෙමළ ජනතාවගේ ඉල්ලීම් වලට දෙමළ ජනතාව බලපොරොත්තුවන තරමේ සාධනීය විසඳුම් ලබා දී නොමැති තත්වයක් තුළ, දෙමළ පුවත්පත් වල ඒ පිළිබඳව දක්නට ලැබුනේ එවැනි ප්‍රසාදයත් අප්‍රසාදයක් කැටි වුණු වාර්තාකරණයකි.
සාපේක්ෂව දෙමළ පුවත්පත් සෑම එකකම පාහේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වීම පිළිබඳ දැන්වීම් මෙන්ම විශ්ලේෂණාත්මක වාර්තා බහුල ලෙස පළ වි තිබුනි. මෙහිදි විශේෂයෙන් අප අවධානය යොමු කරන්නේ විශ්ලේෂණාත්මක වාර්තා වෙතය.
අගෝස්තු මස 27 වැනි දා කලෙයිමුරුසු පුවත්පතේ පළමු පිටුවේ සිරස්තලයක් මෙසේය:
“බලය බෙදීම සම්බන්ධයෙන් අනුර සහ සජිත් තරගයේ” එය තරමක උපහාසයක් ගැබ් වුණු කියමනකි. ඔවුන් සැබවින්ම බලය බෙදීමට තරග කරන්නේ අප වෙනුවෙන්ම ද? වැනි ප්‍රශ්නයක් එම සිරස්තලයේ සැඟව තිබේ. එම වාර්තාවේ බලය බෙදීම පිළිබඳ අනුර කුමාර දිසානායක ගේ ස්ථාවරයත්, සජිත් ප්‍රේමදාස ත්‍රීකුණාමලයේ රැස්වීමකදි බලය බෙදීම පිළිබඳ දැක්වූ අදහසුත් ඉතාමත් විස්තරාත්මකව දක්වා තිබුනි. එසේම එහි ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කරන ලද, දෙමළ ජනතාවට හිතැති යෝජනා පිළිවෙලින් සියල්ල සඳහන් කොට තිබුණේය. සිංහල හෝ ඉංග්‍රිසි පුවත්පතක නිරීක්ෂණය නොකළ තරමේ, ඉතාමත් විස්තරාත්මකව එම යෝජනා පිළිබඳ යමකුට පූර්ණ දැනුමක් ලබා ගත හැකි ආකාරයෙන් එම වාර්තාව සකස් කොට තිබුනි.
“දකුණේ බෞද්ධ හා සිංහල අන්තවාදීන් සමඟ ද නොගැටෙමින් - දෙමළ පාර්ශවයට ද ගැති නොවෙමින් ඔහු තම පරමාදර්ශී සැලැස්ම අතරමැදිව මුදා හැරියේය.”
‘දෙමළ ජනයාට යටත් වුණා, දෙමළ ජනයා ඉල්ලූ සියල්ල ලබාදුන්නා, දෙමළ ඊළමට රට පාවා දුන්නා,සිංහලයා පාවා දුන්නා’ යැයි චෝදනා නොලබන්නට, සිංහල ජනයාගේ කෝපයට පාත්‍ර නොවන්නට වග බලාගනිමින්, දෙමළ ජනයාගේ අපේක්ෂාවන්ට ලඟින් වත් නොයන, නමුත් දෙමළ ජනතාවට විශාල අතෘප්තියක් ද ඇති නොවන පරිදි, දෙපාර්ශවයේම ඇති පරතරයේ මැද තැනකින් ඔහුගේ සැලැස්ම ප්‍රවේශමෙන් ඉදිරිපත් කිරීමට සමත් වී තිබේ.”
එසේම අගෝස්තු 28 වැනි දා කලෙයිමුරුසු පුවත්පතේ 8 වැනි පිටුවේ ද ජාතික ජනබලවේගයේ පරස්පර විරෝධී ප්‍රතිපත්ති ගැන දෙමළ සමාජය අප්‍රසාදය පළ කෙරෙන තවත් වාර්තාවක් පළ වි තිබුණි. එම වාර්තාව තුළ දැක්වුනේ, ‘ජාතික ජනබලවේගය ජනවාර්ගික ගැටලුව විසඳීම සහ වාර්ගික සහජීවනය සම්බන්ධයෙන් ප්‍රගතිශීලී අදහස් කිහිපයක් ඉදිරිපත් කර තිබුණ ද, වසර 26 ක සිවිල් යුද්ධයේ යුද අපරාධ සහ මානව හිමිකම් චෝදනාවලට සම්බන්ධ කිසිවකුට දඬුවම් කිරීමට තම පරිපාලනය උත්සාහ නොකරන බව’ අනුර කුමාර දිසානායක විදේශ මාධ්‍යයකට පැවසීම පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කරන බවයි. එම ලිපියේ මෙසේ ද සඳහන් වී තිබුණි:
“තමන් වාමාංශිකයන් ලෙස හඳුන්වා ගන්නා මෙම ව්‍යාජ වාමාංශිකයන් තමන් බෞද්ධ සිංහල ස්වෝත්තමවාදය තුළ වැළලී ගිය ජාතිවාදීන් බව හෙළි කරන්නේත් ඔප්පු කරන්නේත් මෙම මතවාද හරහාය. බෞද්ධ-සිංහල ස්වෝත්තමවාදයේ අඳුරු අගාධය තුළ එම ජාතිය විසින් සිදු කරන ලද යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි ම්ලේච්ඡ ක්‍රියා සහ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ සත්‍යය යුද්ධයේ අවසන් අදියරේ ගැඹුරටම වැළලී ඇති බව අනුරගේ ස්ථාවරය පැහැදිලිවම පෙන්නුම් කරයි.”
අගෝස්තු 29 වැනි දායින් පසු බොහෝ විට දෙමළ පුවත්පත්වල පළ වී තිබුණේ රනිල්, අනුර සහ සජිත් යන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනාගේම ප්‍රතිපත්ති ප්‍රකාශන සන්සන්දනය කරමින් කරන ලද විශ්ලේෂණාත්මක ලිපිය.
විශේෂයෙන් සජිත් ප්‍රේමදාස ගේ සහ අනුර කුමාර දිසානායක ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ, ඔවුන් ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ තරමක සුබවාදි ලෙස දකින වාර්තා සැළකිය යුතු ප්‍රමාණයක් දෙමළ පුවත්පත්වල පළ වී තිබුණ අතරවාරේ, රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපත්ති පිළිබඳ දැඩි අප්‍රසාදය පළකෙරෙන වාර්තා ද නිරීක්ෂණය විය.
අගෝස්තු 30 වැනිදා කාලෙයිකදිර් 4 වැනි පිටුව සහ කලෙයිමුරුසු 9 වැනි පිටුවේ රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගුව පිළිබඳ තදබල දෝෂාරෝපණ එල්ල කර තිබුණි. කාලෙයිකදිර් වාර්තාවේ සිරස්තලය වූයේ ‘රනිල් තරම් ප්‍රතිපත්ති විරහිත අවස්ථාවාදියෙන් තවත් නැත’ යන්නය. එම වාර්තාවේ මුලිකව සඳහන් කොට තිබුනේ රාජ්‍ය නායකයා ලෙස වැඩ බාර ගැනීමේදි ඔහු ජනවාර්ගික ප්‍රශ්නයට මූලික තැනක් දෙන බව ප්‍රකාශ කළත් මේ වන විට ඔහුගේ දේශපාලන දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවයි.
කලෙයිමුරුසු පුවත්පතේ ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගේම ප්‍රතිපත්ති ප්‍රකාශන සන්සන්දනය කර ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහ අනුර කුමාර දිසානයකගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ ජනවාර්ගික ගැටළුව විසඳිම සම්බන්ධව යම් ප්‍රගතිශීලි ලක්ෂණ ඇති බවක් එහි සඳහන් වී තිබුණි. එහෙත් ‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පැරණි බයිලාව නැවත ගයා ඇති බවක් පෙනේ’ යැයි සඳහන් කරමින් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැඩිව විවේචනය කර තිබුනි. අතීතයේ රනිල් වික්‍රමසිංහට ජනවාර්ගික ගැටළුව විසඳීමට සැබෑ ඕනෑකමක් ඇති බව පෙන්වූ නමුත් මේ වන විට එම උවමනාවෙන් විතැන් වී ඇති බව එම වාර්තාවේ සඳහන් වෙයි. එම වාර්තාව අවසන් වී තිබුනේ මේ ආකාරයෙනි. “මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන දෙස බැලූවිට සජිත් සහ අනුර දෙමළ හිතවාදී අදහස් තරමක් පිළිගන්නා තත්වයක ගමන් කරන අතරේ රනිල් බෞද්ධ-සිංහල අන්තවාදීන් සමඟ ලිස්සා යාමට උත්සාහ කරන බවක් පෙනේ”
දකුණේ සිංහල ජනතාවට අවශ්‍ය වන්නේ තෙල් ගෑස් විදුලිය ඇති සැපවත් ජිවිතයකි, එහෙත් උතුර නැගෙනහිර සහ වතුකරයේ ජනතාව තවමත් අරගල කරන්නේ තමන්ගේ අවම මිනිස් අයිතිවාසිකම් සාක්ෂාත් කරගැනීම සඳහාය. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳව වාර්තා කළ උතුරේ දකුණේ භාෂා ත්‍රිත්වයේ පුවත්පත් කියන්නේ රටේ ප්‍රධාන ජාතීන් දෙක අතර ඇති ඒ මහා විභේදනයේ කතාන්දරයයි.
(සටහන - සුභාෂිණි චතුරිකා)
සබැඳි ලිපි :
දෙමළ ජනාධිපති අපේක්ෂක, අනුරපුර නාමල්ගේ සත්‍යක්‍රියාව සහ දකුණට මඟ හැරෙන උතුරු කතන්දර
දෙමළ ‘පොදු අපේක්ෂක,’ වතුකම්කරු පඩිය සහ නාමල්ගේ ආගමනය මුද්‍රිත පිටු අතරේ ලියැවුණු අයුරු
ආණ්ඩුවේ ඊනියා සමාව ගැනීම සහ සුපුරුදු මැතිවරණ පොරොන්දු මුද්‍රිත පිටු අතරේ ලියැවුණු අයුරු
දෙමළ මනාප පිටියේ රනිල් සජිත් පොරය