theleaderlk 01

ඉදිරි ජනාධිපතිවරයෙන් තේරීපත්වන නව ජනාධිපතිවරයා යටතේ බදු බර අඩුවෙයි ද? ඒසේත් නැතිනම් තවත් බදු බර වැඩි වෙයිද?

රුපියල් ලක්ෂයකට වැඩි වැටුප් ලබන සෑම කෙනෙකුගේම පොකට් එකට දැනෙන ප්‍රශ්නය එයයි.

තමන් ජනපතිවරයා බවට පත්වුණොත් උපයන විට ගෙවීම් බද්ද හෙවත් (Paye Tax) කරනු ලබන සංශෝධන ජනාධිපති අපේක්ෂකයින්ගෙන් බහුතරය පැහැදිලිව දක්වා තිබේ.

ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ නිකුත් කරමින් ඔවුන් සියලු දෙනාම පාහේ අවධාරණය කර අත්තේ බදු බර අඩුකර ජීවන වියදම පහත හෙළන බවට ය.


බදු වැඩි කිරීම හේතුවෙන් මතු වූ තත්ත්වය

රුපියල් ලක්ෂයකට වැඩි මාසික අදායම් ලබන සේවකයින්ගෙන් 8% සිට 36% දක්වා උපයන විට ගෙවීම් හෙවත් Paye Tax අය කිරීමට වත්මන් රජය පියවර ගනු ලැබුවේ, වෘත්තිකයින් ඇතුළු වැටුප් ලබන සේවකයින් දැඩි අපහසුතාවට පත් කරමිනි.

රුපියල් ලක්ෂ 350,000 ඉක්මවා වැටුප් ලබන සේවකයින්ගෙන් 36%ක තරම් බදු ප්‍රතිශයක් අය කිරීම වෘත්තිකයින් රැසක් පීඩාවට පත්කළ අතර වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයෝ මේ පිළිබඳ රජයේ අවධානයට යොමු කළහ.

බොහෝ වෘත්තිකයින් රට හැරයමින් වෙනත් රටවලට සංක්‍රමණය වීමට ද මෙම තත්ත්වය හේතුවිය.

ශ්‍රී ලංකාවේ බුද්ධි ගලනය 2023 වසරේදී 300%කින් පමණ ඉහළ ගොස් ඇති බව මහබැංකු දත්ත අනාවරණය කරයි.

දේශපාලන හා ආර්ථික අර්බුද වලින් හෙම්බත් වී සිටින ශ්‍රී ලාංකීය ජනතාවට 2024 ජනවාරි 01 වැනිදා සිට වැඩි වු බදු බර ද උසුලාගෙන ජීවන අරගලය ගෙන යාමට සිදූවි තිබේ.

අලුතින් භාණ්ඩ සියයකට වැඩි ප්‍රමාණයකට වැට් එකතු වීම මෙන්ම 15% ක්ව තිබු වැට් 18% දක්වා ඉහළ යාම නිසා භාණ්ඩ හා සේවාවල මිල වැඩි වීම හමුවේ ජනතාවගේ ජීවන රටාවටද ඉන් දැඩි බලපෑමක් ඒල්ල විය.


බදු කොන්දේසි යළි සලකා බලීමට IMF එකඟතාව - රනිල් වික්‍රමසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, බදු කොන්දේසි යළි සලකා බලීමට IMF එකඟතාව ලබා ගත් බවය.

බදු ස්තර අතර පරතරය පුළුල් කිරීමටත් බදු ප්‍රතිශත සංශෝධනය කිරීමටත් රනිල් වික්‍රමසිංහ පොරොන්දු වී තිබේ.

වෘත්තිකයන්ට බද්දෙන් නිදහස් සේවා දිරි දීමනාවක් ගෙවීමටත් ඔහු පොරොන්දු දී ඇත.

මීට අමතරව ක්‍රමානූකූලව අතුරු බදු අහෝසි කිරීමටත් රනිල් වික්‍රමසිංහ යෝජනා කර ඇත.

ඔහු පොරොන්දු ලබා දී ඇත්තේ , ඉදිරි වසර දෙක තුළ මෙම කාර්ය අවසන් කර බදුගෙවන ජනතාවට සහන ලබා දෙන බවට ය.

 

වාර්ෂික බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ 12 සිට ලක්ෂ 24 දක්වා ඉහළට - අනුර කුමාර දිසානායක

අනුර කුමාර දිසානයක සඳහන් කර ඇත්තේ උපයන විට ගෙවීම් බද්ධ වෘත්තියකයින්ට අසාධාරණයක් නොවන ලෙස සංශෝධනය කරන බවට ය.

ඒ අනුව පුද්ගලයින් සඳහා වන වාර්ෂික බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ 12 සිට ලක්ෂ 24 දක්වා ඉහළ දැමීට ඔහු යෝජනා කර තිබේ.

ඒ අනුව වැටුප රුපියල් ලක්ෂ 2ක් වන අයෙකුට Paye Tax එක අදාළ නොවනු ඇත.

බදු කාණ්ඩ සහ බදු අනුපාත (Tax Brackets & Tax Rates) සංශෝනය කිරීමටත් අනුර කුමාර දිසානායක යෝජනා කර තිබේ.

හිඟබදු කඩිනමින් අය කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද අනුර කුමාර දිසානායක යෝජනා කර ඇත.

මීට අමතරව බදු පදනම පුළුල් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමටද ඔහු යෝජනා කර තිබේ.


පුද්ගල ආදායම් බද්ද සංශෝධනයට සජිත් ප්‍රේමදාසගෙන් යෝජනා

පුද්ගල ආදායම් බද්ද රුපියල් ලක්ෂයක බදු නිදහස් කාණ්ඩයෙන් අනතුරුව පුද්ගල ආදායම් බද්ද 1%කින් ආරම්භ වී මාසිකව රුපියල් ලක්ෂ 5ක ආදායමක් දක්වා 24%කට සීමා කරන බව සජිත් ප්‍රේමදාස යෝජනා කර තිබේ.

වඩා ඉහළ ආදයම් ලබන්නන් සඳහා දැනට ක්‍රියාත්මක බදු අනුපාතයන්ම ක්‍රියාත්මක කිරීමට සජිත් ප්‍රේමදාස යෝජනා කර ඇත.

ආයතනික ආදයම් බද්ද ද සංශෝනයට ඔහු යෝජනා කර ඇති අතර අපනයන මත ලාභ සඳහා දැනට පවතින 30%ක අනුපාතය 6% දක්වා අඩු කිරීමට ඔහු යෝජනා කර තිබේ.

පොදු ඩිජිටල් යටිතල පහසුකම් හරහා බදු එකතු කිරීම වැඩි දියුණු කිරීමෙන් පසු එකතු කළ අගයමත බද්ද (VAT) 15% දක්වා අඩු කිරීමට ද සජිත් ප්‍රේමදාස යෝජනා කර ඇත.


VAT සහ PAYE tax ක්‍රමානුකූලව සංශෝධනයට නාමල්ගෙන් යෝජනා

නාමල් රාජපක්ෂ යෝජනා කරන්නේ ජනතාව මත පටවා ඇති VAT සහ PAYE tax එක ක්‍රමානුකූලව සංශෝධනය කිරීමටයි.

එමගින් අඩුවිය හැකි අපෙක්ෂිත රාජ්‍ය ආදායම උපයා ගැනීම සඳහා රේගුව, ආදයම් බදු සහ සුරා බදු දෙපාර්තමේන්තු තුළ පවතින දෝෂ වහාම නිවැරදිකරන බවද නාමල් රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

එහෙත් මේ සඳහා කාල රාමුවක් ඔහු දක්වා නොමැත.


'වෘත්තිකයින්ට සහන ලැබෙන්න ඕනේ'
 
බීබීසී සිංහල සමග අදහස් දැක්වූ උපයන විට ගෙවීම් බද්දට යටත්වන වෘත්තිකයින් කිහිප දෙනෙකුම පැවසුවේ, තමන් බදු ගෙවිය යුතු නමුත් එය සාධාරණ බදු ප්‍රතිශතයක් විය යුතු බවය.

ගම්පහ ප්‍රදේශයේ පදිංචි සාගරික විජේවික්‍රම පැවසුවේ, භාණ්ඩ මිලෙහි අඩුවීමක් ද දක්නට නොමැති බවය.

එබැවින් ඉදිරියේ පත්වන ජනාධිපතිවරයෙකුගෙන් උපයන විට ගෙවීම් බදු ප්‍රතිශතයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව ඇය සඳහන් කළාය.

තමන්ගෙන් අයකරන බදු රජය කුමන කටයුතු සඳහා වැය කරන්නේ දැයි විනිවිදභාවයක් පැවතිය යුතු බව කැස්බෑව ප්‍රදේශයේ පදිංචි වෘත්තිකයෙකු වන නුවන් සංජය පැවසීය.

බදු ගෙවන්නන්ට මීට වඩා සහනයක් බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කළේය.

මාතර ප්‍රදේශයේ පදිංචි තරිඳු නානායක්කාර කියා සිටියේ වෘත්තිකයින්ට බදු සහනයක් ලබා නොදුන හොත් උසස් අධ්‍යාපනය ලැබූ පුද්ගලයින් රටහැර යෑම වැඩි විය හැකි බවය.

“පහළ මධ්‍යම පාන්තිකයින්ගෙ ටැක්ස් එක අඩු වෙන්න ඕනේ.බදු තියෙන්න ඕනේ. නමුත් දරාගන්න පුළුවන් ගානට තියෙන්න ඕනේ. වෘත්තිකයින්ට සහන ලැබෙන්න ඕනේ. වෘත්තිකයින් නැත්තනම් රටක් ඉස්සරහට ගෙනියන්න අමාරුයි ” ඔහු බීබීසී සිංහල වෙත පැවසීය.

(සටහන -සම්පත් දිසානායක)
Twitter,@SampathDissa

BBC සිංහල සේවය


රනිල්, සජිත්, අනුර සහ නාමල් සංසන්ධනාත්මක ලිපි : 
 

pe2024 2

worky sin

නවතම පුවත්