රටේ මීළඟ වසර 5 සඳහා පත්වන ජනාධිපතිවරයා කවුරුන් දැයි, සැප්තැම්බර් 22 වැනිදා අළුයම වන විට දැනගත හැකි වනු ඇත.
ජනාධිපතිවරණයෙන් දිනන ජනාධිපතිවරයා කවුරුන් වුවද ඔහුට මුහුණ දීමට සිදුවන අභියෝග රැසක් තිබේ.
ශ්‍රී ලංකාවට මෙම ජනාධිපතිවරණය සුවිශේෂි වන්නේ, ජන අරගලයකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ධුරයෙන් පළවා හැරීමෙන් පසු ජනතා ඡන්දයෙන් ජනාධිපතිවරණයෙකු තෝරා පත් කර ගන්නා පළමු ජනාධිපතිවරණය මෙය වන නිසා ය.
2022 වසරේදී ජනතාව තෙල් පොලීම්, ගෑස් පොලිම් සහ දෛනික විදුලි කප්පාදුවකට මුහුණ දුන් අතර සේවා කේෂ්ත්‍රය ද ආර්ථිකය ද දරුණු කඩා වැටීමකට ලක්විය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩගෙන ඉහළට එසවීම ඉදිරි ජනාධිපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයාට පැවරෙන ප්‍රධාන වගකීමක් වනු ඇත.
රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම උදෙසා දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම මීළඟ ජනාධිපතිවරයාට පැවරෙන තවත් ප්‍රධාන කාර්යයක් වනු ඇත.
ඇතැමුන් බිය පළ කර සිටින්නේ, දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළෙන් බැහැර වුවහොත් ඉදිරියේදී යළි තෙල් පොලිම්, ගෑස් පොලිම් හෝ විදුලි කප්පාදුවකට මුහුණ දීමට සිදුවනු ඇති බවට ය. එහි සත්‍යතාවක් තිබේද?
මීළඟට පත්වන ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදුවන සැබෑ අභියෝග සම්බන්ධයෙන්, වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සමග බීබීසී සිංහල සංවාදයක නිරත විය.
මහාචාර්යවරයා කියා සිටියේ, බංකොලොත් භාවයෙන් මිදීම, IMF වැඩසටහන ඉදිරියට ගෙන යාම, රාජ්‍ය ආදායම වැඩි කිරීම, ජීවන වියදම අඩු කිරීම, ජාත්‍යන්තරය සබඳතා පිළිබඳ අභියෝගය ජය ගැනීම මීළඟ ජනාධිපතිවරයාට පැවරෙන ප්‍රධාන අභියෝග වනු ඇති බවය.
1. බංකොලොත් භාවයෙන් මිදීම
“ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට බංකොලොත් රාජ්‍යයක ජනාධිපතිවරයෙක් පත් කරන්නේ අපි. එතකොට මේ ජනාධිපතිවරයාට තියෙන පළවෙනිම යුතු කම සහ අභියෝගය වන්නේ... කොහොමද මේ බංකොලොත් භාවයෙන් මිදෙන්නේ කියලා. ලංකාව මොන තීන්දු තීරණ ගනු ලැබුවත් ජාත්‍යන්තර වශයෙන් අපිට තියෙන ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළට ගේන්න ඕනේ. ඒ සඳහා කරන්න තියෙන මැදිහත් වීම තමා මම දකින පළමු අභියෝගය කොහොමද ලංකාව නැවත වතාවක් බංකොලොත් නැති තැනකට ගේන්නේ කියලා.” මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසීය.
2. IMF වැඩසටහන ඉදිරියට ගෙන යාම
මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසුවේ, “කැමැතිවුණාත් අකමැතිවුණත් අපිට සිද්ධ වෙනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක යන්න. ඔවුන් 2027 දක්වා ගිවිසුම දික්වෙනවා. එක තුළ එකඟතාවන් කොන්දේසි එවාට කොහොමද අනුගත වෙන්නේ. මේ තියෙන විවේචනත් එක්ක ඉදිරියට අරගෙන යන්නේ කොහොමද කියන එක තමා දෙවන අභියෝගය.
3. රජයේ ආදායම් වැඩිකර ගැනීම
“මේවන විට රජයේ ආදයම වැඩිවී ඇත්තේ සියයට 23% - 24%කි. දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 11% විතර තමා දැනට බදු ආදයම තියන්නේ. තව සියයට 4%කින් වැඩි විය යුතුයි. IMF කොන්දේසි අපි ඉටු කරපු එක ගැන ගැටළුවක් අපිට තියෙනවා.” මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
“ඔවුන් කිව්වේ ආදායම් වැඩි කරගන්න. ආදායම වැඩි කර ගන්නවා කියන්නේ ඉන්න මිනිස්සුන්ට බදු ගහන එක නෙමේ. ඉන්න මිනිස්සුන්ට බදු ගහලා අපි බිලියන 100ක් බලාපොරොත්තු වුණා. එකෙන් බිලියන 144ක් හම්බ කළා. ඉලක්කයට වඩා අපි ගිහිල්ලා තියෙනවා. එැබැයි ඒක නෙමේ අපි කරන්න තියෙන්නේ, මේ බදු පදනම පුළුල් කරන්න ඕනේ. ලංකාවේ තාම ලක්ෂ 4ක්වත් ටැක්ස් ගෙවන්නේ නැහැ.”
“දේශීය ආදායම් දෙපාර්තෙම්න්තුවේ පැහැර හැරපු බදු ප්‍රමාණය බිලියන 934ක් විතර. අපි ඉලක්ක කරන්නේ බිලියන 100. රේගු වේ තියෙනවා බිලියන 60 ක විතර පැහැර හැරපු බදු. අලුතින් බදු ගහනවදා? බදු පදනම පුළුල් කරනවාද කොහොමද රාජ්‍ය අදායම වැඩි කර ගන්නේ මේක තමා මම දකින අභියෝගය.”
මහාචාර්යවරයා පැවසීය.
4. ජීවන වියදම අඩු කිරීම
“ජනතාව විශාල පීඩාවක ඉන්නේ. ජීවන වියදම ගොඩක් වැඩියි. ජීවන වියදම වැඩි නිසා සියලුම පක්ෂයක්ම යෝජනා කරනවා ජීවන වියදම් දීමනාව වැඩි කරන්න.
හැබැයි ඒ රාජ්‍ය සේවයට. හැබැයි පෞද්ගලික අංශයේ විශාල ප්‍රමාණයක් ඉන්නවා සහ සමාන්‍ය ජනතාව විශාල ප්‍රමාණයක් ඉන්නවා. 2019 පස්සේ ගත්තොත් අපේ බඩු මිල 90%කින් විතර වැඩි වෙලා තියනවා. ඒකට දෙන පිළියම මොකද්ද? අපි කොහොමද අපේ ජීවන වියදම අඩු කරන්නේ.” මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සඳහන් කළේය.
5. ජාත්‍යන්තරය සබඳතා පිළිබඳ අභියෝගය
"ගොඩක් අයට අමතකයි. රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයක් තියෙනවා කියලා. පලස්තීනයේ යුද්මය වාතාරණයක් තියනවා. ඒකට වෙනත් රටවල් සම්බන්ධ වෙනවා. අපි ආයිත් සැරයක් නොබැඳි පිළිවෙතකට අපිට යන්න පුළුවන්ද? ජාත්‍යන්තරව අපි කරන ගනුදෙනුව මොනවගේද? අපි කොහොමද ජාත්‍යන්තරයත් එක්ක ගැටීමක් නැතිව රට අරන් යන්නේ කොහොමද කියලා තමා අපි හිතන්න තියෙන්නේ" ඔහු පවසයි.
6. රට වෙනස් කළ හැක්කේ කෙසේද?
මහාචාර්යවරයා පැවසුවේ, රට ගොඩනැගීම උදෙසා සෑම අපේක්ෂකයෙක්ම පාහේ ඉතා අගනා පොරොන්දු ලබා දී ඇති බවය.“විශ්වාසය තමා ගැටළුවකට තියෙන්නේ, කරන යෝජනා හොඳයි. මිනිස්සුන්ට තියෙන සැකය තමයි මේවා නිකම්ම නිකං වචන විතරද? මැනිෆෙස්ටෝස් කියලා කියන්නේ ඡන්ද පොරොන්දු විතරයි. ඕවයින් 10%ක්වත් ක්‍රියාක්මක කළොත් මේ රට වෙනස් කරන්න පුළුවන්.”
හෙතෙම වැඩිදුරටත් පැවසුවේ, ඉදිරියේ තේරීපත්වන ජනාධිපතිවරයා රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කළ යුතු බවය. “දේශපාලනය ස්ථාවර වුණොත් විතරයි ආර්ථිකය ස්ථාවර වෙන්නේ” ඔහු වැඩිදුරටත් පැවසීය.
බදුබර අඩුකර ජනතාවට සහන සැලසීම තුළින් මෙරට තුළ වාසය කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම තුළින් මෙරට වෘත්තිකයින් වෙනත් විදෙස් රටවලට සංක්‍රමණය වළක්වා ගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
7. පවතින වැඩපිළිවෙල අඩපනවුණොත් යළි අරගලයක් ඇති වෙයි ද?
මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසුවේ, තමන් එවැනි තත්ත්වයක් අපේක්ෂා නොකරන බවය.
“මම හිතන්නේ නැහැ පාලකයෝ අරගලයකට යළි ඉඩ තියයි කියලා. ඒ අරගලය වුණත් මුලින්ම විසදුම් දුන්නා නම්, මිනිස්සු පාරට එන්නෙත් නැහැ. පාලකයෝ එළවන්නෙත් නැහැ.වර්තමාන පාලකයෝ හරි අනාගතයේ පත්වන පාලකයෝ හරි මීට වඩා සංවේදී වෙයි ජනතා එකතුවීමකට.එක්මනින් විසඳුම් දෙයි. මම හිතන්නේ නැහැ මිනිස්සු කොළඹට එනතැනකට ගෙනියයි කියලා. හැබැයි එහෙම ගියොත් 2022 ට වඩා බරපතල වෙන්න පුළුවන්. මොකද හැරෙන්නේ නැති වෙයි. එහෙම වුණොත් බංගලාදේශයට වඩා නරක තැනකට රට ගෙනියන්නත් පුළුවන්.ඒක තීරණය කරන්න ඕනේ පාලකයෝ”
(BBC සිංහල සේවය)