සිවා පරමේස්වරන් විසිනි
(හිටපු BBC ජ්‍යෙෂ්ට මාධ්‍යවේදියකු වන ලේඛකයා චෙන්නායි නුවර වාසය කරන්නෙකි)
සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා දිනට යෙදී ඇති ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පිළිබඳව අසල්වැසි රටේ ජනමාධ්‍ය ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නැත.
ඉන්දියානු මාධ්‍ය, විශේෂයෙන්ම මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය, මේ පිළිබඳව වාර්තා කර ඇති අන්දම අධ්‍යයනය කරන විට එක් කරුණක් මනා සේ පැහැදිලිව වේ. එනම්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින චීන බලපෑම නිරන්තරයෙන් වැඩිවෙමින් පවතින පසුබිමක ශ්‍රී ලංකාව ඉන්දියාවට උපායමාර්ගික වශයෙන් වැදගත්ව පවතින්නේ වුවද, මේ සම්බන්ධයෙන් වාර්තා කිරීමට සැලකිය යුතු උනන්දුවක් දක්වා නැති බවයි.
තමන් ශ්‍රී ලංකාවේ “පෞරාණික මිතුරෙක්” බවත්, රටවල් දෙකටම දැනුම්, සංස්කෘතික, ආගමික, සහ භාෂාමය ඓතිහාසික සම්බන්ධයක් ඇති බවත්, රටවල් දෙක අතර ඇති සම්බන්ධය අවුරුදු 2,500 කට එහා ගිය එකක් බවත් ඉන්දියාව පවසයි.
අදටත් “දැවැන්තම රාජ්‍යතාන්ත්‍රික අසමත් වීමක්” ලෙස හැඳින්වෙන ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කර වසර 37 ක් ගතවී ඇත. නමුත්, තමන්ගේම නිර්මාණය වන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විටින් විට පත්වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් ලවා ක්‍රියාත්මක කරවාගෙන දෙමළ ජනතාව වෙනුවෙන් බලය බෙදාහැරීම තහවුරු කිරීමට දකුණු ආසියාවේ “ලොකු අයියා” වන ඉන්දියාව අසමත් වී ඇත.
දැන්, තවත් ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත ඇත. මින් කවුරුන් ජයග්‍රහණය කළත්, අසල්වැසියන් දෙදෙනා අතර ඇති සබඳතාවය ශක්තිමත් කරගැනීම සඳහා ඉන්දියාව තමන්ගේම රාජ්‍යතාන්ත්‍රික කොන්දේසි මත නව ජනාධිපතිවරයා සමග කිට්ටුවෙන් කටයුතු කරනු ඇත.
ඉන්දියානු දෘෂ්ටි කෝණයෙන් බැලූ විට මෙම ශ්‍රී ලංකා ජනාධිපතිවරණය මෑත කාලයේදී පවත්වන සුවිශේෂී මැතිවරණයක් වේ. දෙමළ කතා කරන ජනතාවගෙන් බහුතරයකට ප්‍රසිද්ධ දෙමළ අපේක්ෂකයන් දෙදෙනකුට ඡන්දය දීමේ අවස්ථාව ඇති අතර, ඔවුන් ස්වාධීනව තරග වදින්නේ ජයග්‍රහණය කිරීමට වඩා තමන්ගේ අයිතිය සාක්ෂාත් කරගැනීමටයි.
උතුර සහ නැගෙනහිර ඡන්ද ඉලක්ක කර ගනිමින් තරග වදින පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට පොදු අපේක්ෂකයකු ලෙසින් ඉදිරිපත් වී සිටින අතර, ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් වෙනුවෙන් ඔවුන්ගේ සහාය බලාපොරොත්තු වන මයිල්වාගනම් තිලකරාජ් සිටියි.
මෙය ඉන්දීය මාධ්‍යවල අවධානයට ලක්විය යුතුව තිබිණි. එහෙත්, අවාසනාවකට මෙන් එසේ නොවූයේ, ගැඹුරු දේශපාලන යටිප්‍රවාහය සහ ඉන්දියාවට එහි ඇති වැදගත්කම පිළිබඳ අවබෝධයක් නොමැතිකම නිසාවෙනි. මේ පිලිබඳව ඉන්දියානු මාධ්‍ය තුළ දක්නට ලැබෙන සාමාන්‍ය මාධ්‍ය ආවරණය පුළුල් මුත් අක්‍රමවත් වේ. කෙසේ නමුත්, ඉන්දියානු පාඨකයාට මැතිවරණය සහ එහි වැදගත්කම අවබෝධ කරවීමට තරම් එහි ගැඹුරක් නොමැත.
විධායක ජනාධිපති ක්‍රමය යනු කුමක්දැයි සහ එය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි පූර්ණ අවබෝධයක් ඉන්දීය මාධ්‍යයට නොමැති අතර, ඉන්දීය මැතිවරණවල තරම් සෘජුව ක්‍රියාත්මක නොවන ඡන්ද රටාව පිළිබඳවද අවබෝධයක් නොමැත.
තවද, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පිළිබඳව මහජනතාව අතර ඇති උනන්දුව ඉතා අඩුය.
සංස්කෘතික, භූගෝලීය, ආගමික, සහ භාෂාමය වශයෙන් සමීප තමිල්නාඩු ප්‍රාන්තයේ පවා වාර්තාකරණය අවම වන අතර, ඒ නිසා, තමිල්නාඩුවේ දෙමළ ජනතාවට මැතිවරණය තේරුම් ගැනීමට නොහැකි තත්වයක් උදාකර ඇත. ඔවුන්ට ලැබෙන මාධ්‍ය නිරාවරණය එක් කරුණකට පමණක් සීමා කර ඇත. ඒ, ‘වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත තේරී පත්වේවිද?’ යන්නටයි.
නමුත්, ප්‍රමුඛ පෙළේ දෙමළ මාධ්‍ය ආයතනයක් වන ‘දිනමලර්’ දෙමළ පොදු අපේක්ෂකයා පිලිබඳවත්, දෙමළ පොදු අපේක්ෂකයාට සහය දැක්වීම සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය තුළ පවතින මතභේදය පිලිබඳවත් ලියා තිබේ.
“සුමන්තිරන් දෙමළ පොදු අපේක්ෂකයාට විරුද්ධව සිටියදී, එම පක්ෂයේම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ශිවඥානම් ශ්‍රීධරන් දෙමළ අපේක්ෂකයාට පක්ෂව සිටී. යාපනයේ දෙමළ ජනතාව පවසන්නේ මේ තත්වය නිසා ඡන්ද පදනම දෙකඩ වීමට ඉඩ ඇති බවයි.”
ඉන්දියාවේ ජාතික විකාශකයා වන ‘දූර්දර්ශන්’ සහ දිල්ලිය පදනම් කරගත් ඇතැම් ප්‍රවෘත්ති ආයතන විසින් වරින් වර වාර්තා පලකොට ඇතත්, දෙමළ කතා කරන ජනතාවගේ ඉල්ලීම්, ඔවුන්ගේ අභිලාෂයන් හා අදහස්, දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුමක්, සහ ඉන්දියාව මැදිහත් වූ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ සාකච්ඡාවට ඔවුන්ගේ වාර්තාකරණය තුළ ඉඩක් ලැබී නොමැත.
ඔවුන්ගේ වාර්තාකරණය මූලික වශයෙන්ම සීමා වී ඇත්තේ, අපේක්ෂකයන් කවුරුන්ද යන්නට සහ අපේක්ෂකයන්ගේ පසුබිම, රටේ පවතින ආර්ථික අර්බුදය, සහ නව ජනාධිපතිවරයා ඉන්දියාව සමඟ ගනුදෙනු කරන ආකාරය වැනි කරුණු කිහිපයක් විශ්ලේෂණය කිරීමටයි. නමුත්, ඉන්දියාවට වැදගත් වන ගැටළු සම්බන්ධයෙන් අපේක්ෂකයන්ගේ ස්ථාවරය පාඨකයාට පැහැදිලිව අවබෝධ කරදීම ඉන් සිදු නොවේ.
චෙන්නායි පදනම් කරගත් ‘ද හින්දු’ මැතිවරණය සංසන්දනාත්මකව වඩාත් හොඳින් වාර්තා කර ඇත. ඒ, ඔවුන්ට පූර්ණ කාලීන වාර්තාකාරියක කොළඹ සිටින බැවිනි. ඔවුන් අනුර කුමාර දිසානායක සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී ඔහු පවසන්නේ රාජ්‍ය ආරක්ෂක අංශ විසින් සිදුකරන බවට චෝදනා කෙරෙන යුද අපරාධ සම්බන්ධයෙන් ‘දඬුවම් ලබා නොදෙන’ බවයි.
කෙසේනමුත්, ඔවුන්ගේ ද්විභාෂා ප්‍රකාශනයේ ප්‍රධානම පාඨකයන් සිටින්නේ තමිල්නාඩුවේ වුවත්, ආරියනේත්‍රන් සහ තිලකරාජ් සමඟ හෝ ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු පිලිබඳව විශේෂ සම්මුඛ සාකච්ඡා පවත්වා නැත.
හිටපු ජ්‍යෙෂ්ඨ ඉන්දීය හමුදාපති, නිත්‍ය තීරු ලිපි ලේඛක, සහ ශ්‍රී ලංකාව පිලිබඳ විචාරක ලුතිනන් ජෙනරාල් අශෝක් කේ. මෙහෙතා විසින් ජනප්‍රිය ඉංග්‍රීසි වෙබ් අඩවියක් වන “ෆස්ට් පොස්ට්” හි සවිස්තරාත්මක මෙන්ම විශ්ලේෂණාත්මක ලිපියක් පල කර ඇත:
“දිවයින තුළ සහ සමුද්‍ර සන්ධිය හරහා යන දෙඅංශයෙන්ම දෙමළ දේශපාලනය සාමුද්‍රීය වෙනසකට භාජනය වී ඇත. ශ්‍රී ලංකාවේ දෙමළ කාඩ්පත ඉන්දියාවේ අභ්‍යන්තර දේශපාලනයෙන් අතුරුදහන් වී ඇත.”
“ඉන්දියාව පළමුවරට දිසානායකට දිල්ලියට ආරාධනා කර තිබුණේ පෙබරවාරි මාසයේදී වන අතර, එය, රාජ්‍යතාන්ත්‍රික බිජු බෙදාහැරීමේ දුර්ලභ ක්‍රියාවකි. එයම මාලදිවයින සහ බංග්ලාදේශය සම්බන්ධයෙන් කිරීමට එය අසමත් විය. හොඳම තත්වය යටතේ, නව දිල්ලියේ පළමු තේරීම වනු ඇත්තේ වික්‍රමසිංහ වන අතර, ඉන් පසුව, ප්‍රේමදාස සහ දිසානායකය.”
ඉන්දියාවේ වැඩියෙන්ම අලෙවි වන දිනපතා හින්දි පුවත්පත වන ‘දයිනික් ජග්‍රන්’ හි ඉදිරියෙන්ම සිටින තරගකරුවන් සිව්දෙනා පිළිබඳ විශ්ලේෂණයක් ඇත.
“වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අසීරු සටනක නිරත වී සිටී. කෙසේනමුත්, ඔහුට තවමත් ඡන්ද පරතරය අඩු කරගැනීමට සහ දෙවැනි මනාපයෙන් මැතිවරණය ජයග්‍රහණය කළ හැකිය. අනෙක් ප්‍රධාන අපේක්ෂකයා වන්නේ මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් වන අතර, ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂකයන්ට අනුව, ඔහුට මෙම මැතිවරණයේ දී අවස්ථාවක් නැත. දේශපාලන අවලම්භය ඕනෑම දිසාවකට පැද්දිය හැකිය.”
මැතිවරණයට දෙසතියකට පෙර තවත් ප්‍රමුඛ හින්දි පුවත්පතක් වන ‘දයිනික් බාස්කර්’ මැතිවරණය, අපේක්ෂකයන්, ගැටළු, සහ අනාවැකි වලට වඩා අවධානය යොමු කර තිබුණේ ජනාධිපතිවරණයෙන් පසු ඉන්දු-ලංකා සබඳතාවල අනාගතය පිළිබඳවයි.
දශක ගණනාවක් පුරා ‘ශ්‍රී ලංකාව ඔවුන්ගේ ජීවිකාව’ යැයි කියා සිටියද, දිල්ලිය පදනම් කරගත් ‘බීබීසී’ යේ දෙමළ භාෂා වෙබ් අඩවිය මැතිවරණය පිළිබඳ ප්‍රමාණවත් ලෙස වාර්තා කර නැත.
යුද්ධය අවසන් වීමත් සමග ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය අවම වූවා පමණක් නොව, පිළිගත නොහැකි තත්වයකටද පත් විය.
අනෙකුත් අසල්වැසි රටවල්වලට සාපේක්ෂව ඉන්දියානු ජාතික විකාශකයාගේ කොළඹ නියෝජනය අවමය. මීට පෙර, ශ්‍රී ලංකා වාර්තාකරු ලෙස දිගු කලක් සේවය කළ ‘ශක්තිමත් හස්තයක්’ ලෙස ගැනෙන ප්‍රවීණ මාධ්‍යවේදී සහ නිවේදක පී. කන්නන් සිටි 1985-2005 කාලය තුළ රාජ්‍ය මාධ්‍යවල නියෝජනය ප්‍රබල ලෙස පැවතුනි.
විශාලතම දෙමළ දිනපතා පුවත්පත වන ‘දිනමලර්’ හැරුණු කොට, ජාතික ඉංග්‍රීසි සහ හින්දි පුවත්පත් දෙමළ අපේක්ෂකයා සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇත. යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ ඔවුන්ගේ පූර්ණ පක්ෂග්‍රාහීභාවය හෝ අවබෝධයක් නොමැතිකම ඉන් පෙන්නුම් කරයි.
සජිත් ප්‍රේමදාසට හෝ අනුර කුමාර දිසානායකට සාපේක්ෂව නාමල් රාජපක්ෂ කෙරෙහි ඉන්දීය මාධ්‍ය දක්වන උනන්දුව පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන ධාරාවන් පිළිබඳ ගැඹුරු දැනුමක් නොමැතිකම යි. පොදුවේ ගත් කල, අවධානය යොමු වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ කෙරෙහි සහ ඔහු ජයග්‍රහණය කරයිද යන්න පිළිබඳව යි. ඊට අමතරව, දකුණු ආසියාවේ රාජවංශ දේශපාලනයේ පිළිබිඹුවක් වන මහින්ද විසින් නාමල්ව ඉදිරිපත් කිරීම කෙරෙහිද අවධානය යොමු වී ඇත.
විදේශීය ජනමාධ්‍ය සැමෙකක්ම පාහේ කරන්නාක් මෙන් බොහෝ ඉන්දියානු මාධ්‍යද අනුර කුමාර දිසානායක වාමාංශික සහ මාක්ස්වාදී-ලෙනින්වාදී අපේක්ෂකයකු ලෙස හඳුන්වමින්, ඔහුගේ ජනතා විමුක්ති පෙරමුණු අතීතය ද සඳහන් කරයි.
රනිල්ට සහ අනුරට සාපේක්ෂව ගත් කල, සජිත්ට ඉන්දීය මාධ්‍ය තුළ ලැබෙන්නේ අඩු අවධානයක් සහ නිරාවරණයකි. ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’, ‘හින්දුස්තාන් ටයිම්ස්’, සහ ‘ඉන්දියන් එක්ස්ප්‍රස්’ වැනි බොහෝ ජාතික මාධ්‍ය ආයතන කොළඹ සිට වාර්තා වන ‘ඒඑෆ්පී’ සහ ‘රොයිටර්ස්’ වැනි ආයතන වලින් ලැබෙන ප්‍රවෘත්ති පිටපත්වලින් සෑහීමට පත්වීමට වැඩි කැමැත්තක් දක්වයි.
කිසිදු ඉන්දීය මාධ්‍යයක් විසින් ඡන්ද රටාව පැහැදිලි කර නොමැති නැති අතර, ඉන්දියානු පාඨකයන්ට දන්වන්නේ ජයග්‍රාහකයකු ලෙස තේරී පත් වීමට නම් අවම වශයෙන් ප්‍රකාශිත ඡන්දවලින් 50%ක් සහ තවත් එක් ඡන්දයක් අවශ්‍ය බව පමණකි.
ඉන්දීය මාධ්‍ය තුළ ඉන්දු-ශ්‍රී ලංකා ක්‍රිකට් තරග පිළිබඳව දැඩි උනන්දුවක් පවතින අතර, ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ මැතිවරණ සම්බන්ධයෙන් ගත් විට, එය සීමා වන්නේ සහාය දැක්වීමේ භුමිකාවකට පමණි. ශ්‍රී ලංකා තේ වලට ඇති ආකර්ෂණය ඉන්දියානු රසඥයා අතර නැති වී ගොස් ඇති සේම, ශ්‍රී ලංකාවේ දේශපාලනය පිලිබඳ උනන්දුවද ඉන්දීය මාධ්‍ය අතරින් ගිලිහී ගොස් ඇත.