මුතුතේවරකිත්තන් මනෝහරී ට නම්, සති අන්ත ජනාධිපතිවරණයෙන්, කවුරු දිනුවත් පලක් නැත.
දරුවන් හතර දෙනාත් මහලු මවත් බලා කියා ගෙන, තේ වත්ත කෙළවරේ ජරාවාස නිවසෙහි, තවත් වසර ගණනක් එදිනෙදා ජීවිතය එදා, අද මෙන්, හෙට ද අමාරුවෙන් ගෙවා දමන්නට ඇති බව පමණක් ඇයට 'සක් සුදක් සේ' විශ්වාසය.
මෙදා පාර ජනපතිවරණයට තරග වදින ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනකු ගෙන් සිය දහස් ගණන් වතුකර ජනතාවට හිත පුරා ඉඩම් පොරොන්දු ලැබී තිබේ. ඒ "රස මියුරු කතා - හොඳට අසා" පුරුදු බව මනෝහරී කියයි.
ලංකා ඉතිහාසය පුරා, ආන්තික ජනකොටසක්ව, අදටත් දිවිගෙවෙන, වතුකරයේ මේ අහිංසක කම්කරු ජනතාවට දේශීය මැතිවරණ සන්දර්භය තුළ පවතින ඉමහත් ශක්තිය ඔවුහු තවමත් නොදනිති. එහි තේජස ඔවුන් තවමත් හඳුනා නැත. තනි කණ්ඩායමක් ලෙස ඡන්දය පාවිච්චි කළ හොත්, ඔවුන්ට මැතිවරණ කණපිට පෙරළිය හැක. ඔවුන් එසේ කළ වාර නැත්තේ නොවේ. එහෙත්, ඒ කිසිදු විටෙක, අවම වරප්‍රසාද ලත්, පහළ මධ්‍යම පන්තිය අතරට ඒමටවත්, ඔවුන් බලාත්මක නොවීය.
වතු පාසල, කෝවිල, රජයේ වෙනත් ප්‍රජා සේවා හෝ කිසිදු ආයතනයක්, ඔවුන්ට ඔවුන්ගේ තරම කියා දුන්නේ නැත. වතුකරයේ, තේ දළු නෙලන කම්කරු ජනතාව, තව දුරටත් ආන්තික ප්‍රජාවක් ව පවත්වාගැනීමට මේ සියලු සමාජායතන වග බලා ගත්හ. සෘජුව හෝ වක්‍රව, එය එසේ සිදු විය. ඒ සියලු ගරු ආයතනවල දේශපාලන වහල් බව, මනෝහරීගේ වරිගය ගැත්තන් හා බැලයන් බවට පත් කළේය.
යටත් විජිත පාලන සමයේ කිරීට ගිවිසුමකට අනුව, මුලින්ම කෝපි වගාව පිණිසත්, දෙවනුව තේ සහ රබර් වතුවල කම්කරු සේවය පිණිසත්, මනෝහරී ප්‍රමුඛ පරම්පරාවෙන් පැවතෙන්නන් ගිවිසුම් ප්‍රකාරව මෙහි රැගෙන ඒමට බ්‍රිතාන්‍යයෝ කටයුතු කළහ. එවක් පටන්, ඒ වගා ත්‍රිත්වය අදටත් මේ කුඩා දූපතේ විදෙස් විනිම ජීවනාලියේ උල්පත්ය.
සංවර්ධනය, ඉන් ඔබ්බට එතෙක් මෙතෙක් "මොඩර්න්" වූයේ නැත. "සිස්ටම් චේන්ජ්" වූයේ ද නැත.
වසර 200ක ඉතිහායක් පුරා, වතුකර ප්‍රජාව ශ්‍රී ලාංකික සමාජයේ ආන්තික ජනකොටසක්ව වෙසෙති. 1948 ලද ඊනියා නිදහසින් පසු, ඔවුන්ට ශ්‍රී ලාංකේය පුරවැසි බව සහ ඡන්ද අයිතිය හිමි විණි. එහෙත්, ඉන්දියාව සමග ඇති කරගත් ගිවිසුමකින් පසු, තවත් 400,000 කට අධික වතු කම්කරුවන් පිරිසක්, ඉන්දියාවට 'පිටුවහල්' කෙරිණි. ඒ සමග, වතුකරයේ බොහෝ පවුල් සංස්ථා සී සීකඩ කැඩී විසිරී ගියේය. හදවත පත්ලටම වැදුණු හීයක වේදනාව ගිනි පුපුරක් මතු කළේය.
වතු කම්කරු ප්‍රජාව සිය අයිතීන් වෙනුවෙන් සටනට බටහ. ඔවුහු දිගටම සටන් කළෝය. 2003 වසරේ, පූර්ණ පුරවැසි භාවය හිමිවන තෙක් ඔවුහු සටන අත් නොහැරියහ.
එසේ පැවත එන මිලියන 1.5ක පමණ වතු කම්කරු ප්‍රජාවක් අද අප අතර වාසය කරති. එය 3.5% ක ඡන්ද දායක ප්‍රතිශතයකි. සමස්ත ප්‍රජාවෙන්, 470,000ක්, තවමත් එම වතු අශ්‍රිතව ජීවත් වෙති. වත්මන, ඔවුහු අන්ත දරිද්‍රතාවෙන් ද, මන්දපොෂනයෙන්ද පීඩිතව සිටිති. වතුකර කාන්තාවෝ වැඩි පිරිසක් රක්තහීනතාවයෙන් පෙළෙති. රට තුළ මත්පැන් භාවිතයට 'කප්' ගැසුවෝද, මේ වතුකර ජනයාය. ඔවුහු රටේ පහළම අධ්‍යාපන මට්ටම්හි පසු වෙති.
දමිළ භාෂාව පමණක් කතා කළද, ඔවුන් රටේ සෙසු වරප්‍රසාද ලත්, විශේෂයෙන්, උතුරු නැගෙනහිර දමිළ සමාජයෙන් 'කොන්' කර තිබේ. එම ආන්තික දමිළ ප්‍රජාව, අදටත්, 26 වසරක බෙදුම්වාදී යුද්ධයෙන් පීඩිතව වෙසෙති. ඔවුන්ට හිමි වූ පැහැදිලි සහනයක් නැත. සිය වාර්ගිකත්වය නිසාම, ඔවුන් ඇතැම් තැනෙක තවමත්, මැර භීෂණයට, අත්අඩංගුවට සහ සිරගතකිරීමට ලක් වෙමින් සිටිති.
මේ ආන්තික වතු කම්කරුවන් බොහෝ පිරිසක් වතුකරයේ සමාගම්වලට අයත් "ලැයින්" කාමරවල දිවි ගෙවති. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (United Nations ) විශේෂ වාර්තාකරුවකු වූ ටොමොයා ඔබොකාටා (Tomoya Obokata) 2022 දී මෙරට වතුකර ජනතාව සහභාගී කරගනිමින්, සමකාලීන වහල් බව හා ඒ හා සබැඳි ජන ජීවිතය පිලිබඳ සමීක්ෂණයක් සිදු කළේය. වතුකරයේ පුද්ගලයින් 5ත් 10ත් අතර සංඛ්‍යාවක් තවමත්, අඩි දහයෙ, දොළහෙ කාමරයක් බෙදා වෙසෙන බව එහිදී අනාවරණය විය. එද, බොහෝ විට නිදහසේ හුස්ම පොදක් ගැනීමට 'කවුළු පියන්පතක්' හෝ නොමැති කුටියකි. එවැනි නිවෙසක, මුළුතැන්ගෙයක්, පිරිසිදු ජලය හෝ විදුලිය පවා නොවන්නේය. පවුල් ගණනාවක සනීපාරක්ෂාව පිණිස ඇත්තේ එක් පොදු වැසිකිළියකි.
වතුකරයේ ක්‍රමවත් වෛද්‍ය පහසුකම් පවා නැත්තේය. වෛද්‍ය සුදුසුකම් කිසිත් නොලද්දන් විසින් අභිචාරයට වෙදකමේ යෙදෙති.
අන්ත පහත් ජීවන තත්ත්වයන් මධ්‍යයේ, ඔවුන් කරන වෙහෙසකර හා අති දුෂ්කර කම්කරු රැකියාව නිසැක වහල් බවේ ශ්‍රම අවභාවිතයක් සහ බලහත්කාරයෙන් කම්කරු වෘත්තියේ යොදා ගැනීමක් බව ඔබොකාටා සිය වාර්තාවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස්වරයාට ලිඛිතව දන්වා යැවීය.
මෑත කාලීනව, රජය, වතුකර ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් කිරීම පිණිස යම් වැඩපිළිවෙළක නිරත වනු දක්නට ලැබුණ ද, වසර ගණනක ආර්ථික අවපාතය, කොවිඩ් - 19 වසංගතය සහ ඇතැම් බලවත් වතු සමාගම්වල අධිකාරීබලය විසන් එම යහ ප්‍රයත්නවල ප්‍රගමනය අඩාල කර තිබේ.
මෙවර ජනපතිවරණය ජයග්‍රහණය කළ පසු, වතුකර ජනතාව වෙසෙන "ලැයින්" නිවාස, එම භූමියද සමග සින්නක්කරේට ඔවුන්ට ලබා දෙන බවට ජනාධිපති, රනිල් වික්‍රමසිංහ විසින් පොරොන්දුවක් ලබා දී තිබේ. ඉන් පසු, එම ජනාවාස, ගම්මාන වශයෙන් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ඔහු පවසයි.
විරුද්ධ පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පොරොන්දුව, වතු ඉඩම් කැබලි කර, අයිතිය ක්ෂුද්‍ර වත්කම් වශයෙන් එහි වෙසෙන කම්කරු ජනතාව වෙත ලබා දීමය.
හිතේ කොනෙක බලාපොරොත්තුවක් තවමත් තිබුණද, මේ අවස්ථාවේ ඇති එකම ප්‍රශ්නය, අගහිඟ කම් හේතුවෙන් සිය 16 හැවිදිරි පුත්‍රයාට අධ්‍යාපනය අහිමි වීම බව මනෝහරී පවසන්නීය. ආර්ථික අපහසුතා හේතුවෙන්, ඇගේ ලොකු පුතා, පාසල් අධ්‍යාපනයෙන් "දොට්ට" විසිවිය.
"වෘත්තීය සමිති නායකයෝ එදත් ආවා, අදත් එනවා. ඇවිත් අපට ගෙවල්, ඉඩම් දෙනව කියනවා. අපි බලාගෙන ඉන්නවා. ඒත් ඒ ඔක්කොම "කඩවුණු පොරොන්දු" විතරයි. ඒක අපි දන්නවා," යි මනෝහරී පවසන්නීය.
ඇගේ වදන් තනුවක් වැනිය. එහෙත්, ඒ තනුව යටිපෙළ අරුත් දෙන සේ සාමූහිකව වැයිය යුතුමය.
මේ 21 වැනි සෙනසුරාදා ඇයටත් ඇය නියෝජනය කරන සෙසු සියල්ලන්ටමත් ඊට හොඳම අවස්ථාව උදා වන්නේය. දේව කන්නලව්වෙන් බැහැරව, ඒ සාමූහික මිනිස් ශක්තිය ඔවුන් කෙසේ උරගා බලනු අත්දැයි ලොවම බලා සිටී.
(Aljazeera ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි).
මූලාශ්‍ර:
Photos: Sri Lanka’s tea estate workers courted by presidential candidates