වංචාවට දූෂණයට තැනක් නොතැනක් නැත. අවස්ථාවක් නොඅවස්ථාවක් නැත. එයට ව්‍යසනය වුවද අවස්ථාවකි.

ඒ සඳහා වූ හොඳම නිදර්ශනය අපට හමුවන්නේ පසුගිය සුනාමි ව්‍යසනයේදීය. ශ්‍රී ලංකාවේ සුනාමි ව්‍යසනය කළමනාකරණය සඳහා ලැබුණ මුදල් එවක අගමැතිවරයා වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ තැන්පත් කරනු ලැබුයේ හෙල්පින් හම්බන්තොට නම් වු රජයේ නොවන ගිණුමකය.

කරුණු හෙළිදරව්ව හා නැගුණු විරෝධතා හමුවේ පසුව එම මුදල් රාජ්‍ය භාරයට පත් වුණත්, එකී වංචාවෙන් මහින්ද රාජපක්ෂට දඩුවම් නොලබා බේරී සිටීමට හැකිවුණේ එවක අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ කැකිල්ලේ තීන්දුවක් නිසාය. පසු කලෙක එම තීන්දුව වැරදි බවත් ජනතාවගෙන් නැවත නැවත සමාව ගන්නා බවත්, හිරේ සිටිය යුතු අයෙකු ඒ නිසා ජනාධිපතිවරයෙකු වූ බවත් සරත් නන්ද සිල්වා කීය.

 

රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර සිදුවීම:

එයත් හරියට මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර සිදුවීම වාගේය. පෞද්ගලික ඉදිකිරීමක් වූ එය ඉදිකිරීම සඳහා එවක ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මුදල් ලබාගෙන තිබුණේ ඔහු යටතේ පැවති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවෙනි.

එම රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය ගැන විගණකාධිපතිවරයාද වාර්තා නිකුත් කර, රජය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය. ගෝඨාභය රාජපක්ෂ විසින් එම සාවද්‍ය පරිහරණ මුදල් ගෙවනු ලැබුයේ ඉන්පසුය. එහෙත් ඔහු තාවකාලිකව බේරුණේ නඩුව ජනාධිපතිවරණය තෙක් ඇදගෙන ගොස් ජනාධිපතිවීමෙන් පසු ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ නඩුවක් පවත්වාගෙන යා නොහැකි ප්‍රතිපාදනය යටතේය.

 

සහන නොලැබුණ අයගේ දුක් අඳෝනා...

5000සහන ලබාදිය යුතු එහෙත් සහන නොලැබුණ අයගේ දුක් අඳෝනා අඩුවක් නැත.

දැනුත් අප රටේ ඇත්තේ මුලින් පැහැදිළි කළ ආකාරයේ කොවිඞ්-19 වසංගත ව්‍යසනයකි. මේ ව්‍යසනයේදී ජනතාව වෙනුවෙන් විවිධ සහන දෙන බව ආණ්ඩුව කීය. එම සහන ලබාදීම් අවසන් කර නැති අතර සහන ලබාදිය යුතු එහෙත් සහන නොලැබුණ අයගේ දුක් අඳෝනා අසන්නට ලැබීමේ අඩුවක් නැත.

ආණ්ඩුව නොමිලයේ ලබාදෙන දේවල් ලෙස ජනාධිපති කාර්යාලය මාර්තු 30 දින සහිතව දැනුම් දෙනු ලැබුයේ,

  •  සමෘද්ධි සහනාධාරය ලබන පවුල් හා පොරොත්තු ලේඛනයේ සිටින පවුල් 2,396,994කට,
  •  ආබාධිත දීමනාව ලබන හා පොරොත්තු ලේඛනයේ සිටින 110,791කට,
  •  වකුගඩු දීමනාව ලබන හා පොරොත්තු ලේඛනයේ සිටින 39,170කට,
  •  ගොවි විශ්‍රාම වැටුප ලබන 160,675කට හා
  •  ධීවර විශ්‍රාම වැටුප ලබන 4600කට රුපියල් 5000ක දීමනාවක් ලබාදෙන බවයි.

ජනාධිපති කාර්යාලයේ එම සංඛ්‍යා දත්ත සමඟ බැලූ විට එම මුල් අවස්ථාවේදී රුපියල් 5000ක දීමනාව ලැබිය යුතු හෝ ලැබී ඇති පිරිස 3,271,339 කි. වෙනත් විදියකට කිවහොත් එය ඒ හා සමාන පවුල් ඒකක සංඛ්‍යාවකි.

ඉන්පසු ආණ්ඩුව මෙම රුපියල් 5000ක දීමනාව ලබාදීම තවත් පුළුල් කරන බව කීය. ඒ අනුව එම වටයේදී එම දීමනාව ලබාගත හැකිවූයේ රජයේ සේවකයන් නොවන, රජයේ විශ්‍රාම වැටුප් නොලබන, පෞද්ගලික අංශයේ ස්ථීර රැකියාවක් නොකරන හා ඉහතදී සඳහන් කළ දීමනාවට සුදුසුකම් නොලැබූ අයටය.

තවදුරටත් සරලව කිවහොත් ස්වයං රැකියාවක් හෝ එදිනෙදා කුලී වැඩක් අත්උදව්වක් කරමින් ජීවිකාව කරගෙන ගිය අයටය. කුලී රථ රියදුරන්, බස් රථ සේවකයන්, රූපලාවණ්‍යාගාර ඇතුළු කොණ්ඩය සකසන ස්ථාන සේවකයන්, වඩු, මේසන් වැඩවල නිරතවන්නන් හා ඒ ආකාරයේ වෙනත් කර්මාන්තවල නිරතවන්නන් ආදීන් එයට ඇතුළත් විය.

කොටින්ම ස්ථීර මාසික වැටුපක් නොලබන ජීවනෝපාය විවිධ ආකාරයෙන් සරි කරගන්නා අය ඊට ඇතුළත් විය.

Basil Rajapaksha

මේ පිරිසට රුපියල් 5000 දීමනාව ලබාදීම ජනාධිපතිවරයා දේශපාලන යාන්ත්‍රණයක් යටතට පත් කළේය. සොයුරු බැසිල් රාජපක්ෂට ඒ සඳහා වූ කාර්ය සාධක බලකායේ සභාපතිවරයා බවට පත් කළේය. බැසිල් රාජපක්ෂ බාරකාර රජයේ කැබිනට් මණ්ඩල සාමාජිකයෙකුද නොවූ අතර විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකුද නොවීය. එමෙන්ම ඔහු ඇමෙරිකානු ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියෙකුද විය.

මේ රාජ්‍ය මුදල් පරිහරණය පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ඔහුට තිබුණ එකම සුදුසුකම වූයේ ජනාධිපතිවරයාගේ සහෝදරයෙකු වීමත්, ජනාධිපතිවරයා තේරී පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා වීමත්ය.

මහමැතිවරණය පැවැත්වීම සඳහා සියලූ බලාපොරොත්තු ඒ වන විට තබා තිබූ නිසා බැසිල් රාජපක්ෂ සිදුකළේ එය මැතිවරණ ප්‍රචාරයේ අල්ලසක් ලෙස ක්‍රියාවේ යෙදවීමය.

රාජ්‍ය මුදල් බෙදාහැරීමේ රාජ්‍ය නිලධාරී වගකීම බයිපාස් කරමින් ඒ පිළිබඳ තීන්දු ගැනීමේ කමිටුවට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයාද (පළාත් පාලන නියෝජිතයා) ඇතුළත් බව චක්‍රලේඛයෙන්ම නියම කරනු ලැබීය. රටපුරා පළාත් පාලන ආයතනවල සීයට 70ක පමණ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වීම ඊට හේතු විය.

එහෙත් රටපුරා සිටින ආණ්ඩු පක්ෂයේ නොවන අනෙකුත් පක්ෂවල පළාත් පාලන නියෝජිතයන්ට එම දීමනා ලබාදීමේ ක්‍රියාවලියට සම්බන්ධවීමට ඉඩ ලැබුණාද යන්න සැක සහිතය.

 

ලියුම්කරු ජීවත්වන කොළඹ මහනගර සභා සීමාවේ අත්දැකීම !

ඊට හේතුව ලියුම්කරු ජීවත්වන කොළඹ මහනගර සභා සීමාවේ අත්දැකීම ඊට වඩා වෙනස් එකක් නිසාය. කොළඹ මහනගර සභාවේ කේවල ඡන්ද ආසන අතිබහුතරය දිනාගනු ලැබුයේ එජාපය විසින්ය. අනෙකුත් පක්ෂවලට කේවල ඡන්ද කොට්ඨාශවල ජයග්‍රහණ ලැබුණේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන්ය. ඒ නිසාම අනෙකුත් පක්ෂවලට ලැබුණේ සමානුපාතික නියෝජනයක්ය.

ලියුම්කරු ජීවත්වන්නේ උතුරු කොළඹ ආසනයේ මෝදර කේවල ඡන්ද කොට්ඨාශයට අයත් මෝදර ග්‍රාම සේවා වසමේය. මෙහි කේවල කොට්ඨාශ ජයග්‍රහණය හිමිවූයේ එජාපයටය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලූ කිසිවෙකුට සමානුපාතික නියෝජනයක් ලෙස හෝ පත්කළේ නැත. අල්ලපු ග්‍රාම සේවා වසම වන අලූත් මාවත කොට්ඨාශයේ තත්වයද එයමය.

එහෙත් රුපියල් 5000 දීමනාවට අදාල පෝරම බෙදා හැරීම, නිර්දේශ ඉදිරිපත් කිරීම ආදිය සිදුකරනු ලැබුයේ මහජන නියෝජිතයන් ලෙස තේරී පත්නොවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරාජිත අපේක්ෂකයන්ය. මේ අය පළාත් පාලන නියෝජිතයන් වන්නේ කෙසේද?

 

රස්නය නිවී යෑමට පෙර රොටිය පුච්චා ගැනීමට ...! Ramesh Pathirana

ඒ අනුව මෙය ඡන්දය ඉලක්ක කරගත් දේශපාලන ව්‍යාපෘතියක් බව පැහැදිළිය. කොවිඞ්-19 තිබුණත් ඉක්මන් ඡන්දයක් ආණ්ඩුවට වුවමනා එකී දේශපාලන ව්‍යාපෘතියේ රස්නය නිවී යෑමට පෙර රොටිය පුච්චා ගැනීම සඳහාය.

එමෙන්ම මෙය නිකන්ම දේශපාලන ව්‍යාපෘතියක් නොව දූෂිත දේශපාලන ව්‍යාපෘතියක් බව ආණ්ඩුවේම ප්‍රකාශකයන් නොදැනුවත්වම කියන ප්‍රකාශ වලින් පෙනේ. මීට දින කිහිපයකට පෙර මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍ය රමේෂ් පතිරණ කීවේ රුපියල් 5000 දීමනාව ලක්ෂ 70කට දුන් බවයි. ඔහු ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශකද නිසා අපට එය පිළිගන්නට සිදුවේ.

රුපියල් 5000 ගණනේ ලක්ෂ 70ක් යනු රුපියල් බිලියන 35ක් හෙවත් රුපියල් කෝටි 3500කි. මේ මුදල් උත්පාදනය කරගත්තේ ලැබුණ විදේශාධාරවලින්ද, රට තුළ ඇති කරන ලද කොවිඞ්-19 ගිණුමෙන්ද නැතහොත් භාණ්ඩාගාරයේ මුදල් වලින්ද යන්න දන්නේ ආණ්ඩුවේ උදවිය පමණය. ඒ ගැන ප්‍රශ්න අසන්නට දැන් පාර්ලිමේන්තුවක් නැතිය.

 

  • රටේ මුළු පවුල් සංඛ්‍යාව ලක්ෂ 55යි, ලක්ෂ 70කට ආධාර බෙදුවාලූ !

      • සම්පූර්ණ වියදම කෝටි 3500ක් !

      • මේ මුදල් කොහෙන්ද?

      • රජයේ සේවකයන් සහ පෞද්ගලික අංශයේ ස්ථීර සේවකයන්ට ආධාර දුන්නේ නැහැ

      • ලැයිස්තු හැදුවේ දේශපාලනඥයන් !

      • වංචාවක් සිදුවුණාද?

      • ප්‍රශ්න අසන්නට දැන් පාර්ලිමේන්තුවක් නැත.

රමේෂ් පතිරණ අමාත්‍යවරයා ප්‍රකාශ කරන මේ ලක්ෂ 70 යනු රටේ සිටින පවුල් ඒකක ගණනටත් වඩා වැඩි ගණනකි.

2012 වර්ෂයේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මුළු රට පුරා සිදුකරන ලද සාගතයේදී රටේ තිබුණේ මිනිසුන් පදිංචි නිවාස ඒකක 5,207,740ක් පමණය.

එම ගණන වසරකට අලූතින් නිවාස ඒකක 50,000 ක් හැදෙනවා යැයි උපකල්පනය කරමින් එහි නිලධාරියෙකු කරන ලද ගණනය කිරීම අනුව මේ වන විට රටේ තිබිය හැක්කේ දළ වශයෙන් නිවාස ඒකක 5,550,000ක් පමණය.

එම සාමාන්‍ය වශයෙන් එක් ගෘහ ඒකකයට එකක් ලෙස ලැබෙන ඉහත රුපියල් 5000 දීමනාව රටේ ගෘහ ඒකක සංඛ්‍යාවටත් වඩා තවත් ගෘහ ඒකක ලක්ෂ 15කට පමණ බෙදා දීමේ ආශ්චර්යයක් කළ හැක්කේ රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවලට පමණය.

දීමනාව නොලැබීම සඳහා සුදුසුකම් ලැබූ තවත් පවුල් ඒකක වර්ග 3ක්:

සමෘද්ධි ඇතුළු අනෙකුත් වර්ගීකරණයන්ට අයත් මුල් වටයේ රුපියල් 5000 දීමනාව ඇතුළත් වූ ලක්ෂ 32ක පවුල් සංඛ්‍යාව හැරුණු විට මේ දීමනාව නොලැබීම සඳහා සුදුසුකම් ලැබූ තවත් පවුල් ඒකක වර්ග 3ක් වේ.

එකක් රාජ්‍ය අංශයේ සේවකයන්ය. එම කාණ්ඩයේ අය ලක්ෂ 15ක් සිටින බව ජනාධිපති කාර්යාලයේ නිවේදනයේම දැක්වේ.

අනෙක් කාණ්ඩය වන රජයේ විශ්‍රාම වැටුප් ලබන පිරිසද 645,179ක් සිටින බව ජනාධිපති කාර්යාල නිවේදනයේ දැක්වේ.

ඒ අනුව තුන්වන කාණ්ඩය වන පෞද්ගලික අංශයේ ස්ථීර රැකියා කරන අය වෙත අවධානය යොමු නොකළත් සමෘද්ධි ඇතුළු රජයෙන් සහනාධාර ලබන අයගේ, රජයේ සේවකයන්ගේ හා රජයේ විශ්‍රාමිකයන්ගේ එකතුව ලක්ෂ 54ක් බව පැහැදිළිය.

දෙවන වටයේදී ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම රුපියල් 5000 දීමනාව ලබාදෙන්නට කීවේ ඉහත පෙන්වාදුන් කිසිදු වර්ගීකරණයකට අයත් නොවන පෞද්ගලික අංශයේද ස්ථීර සේවකයන් නොවන පිරිසටය.

ඒ අනුව ඉහත වර්ගීකරණයන්ට අයත් නැති පෞද්ගලික අංශයේ ස්ථීර සේවකයන්ද නොවන පවුල් ලක්ෂ 38කට මෙම දීමනාව ලබාදී තිබේද? රමේෂ් පතිරණ ඇමතිවරයා කියන පරිදි පවුල් ලක්ෂ 70ක් සපිරෙන්නේ ඒ ආකාරයට බැවිනි.

එම දීමනාවට හිමිකම් නොලබන බව කියූ රජයේ සේවකයන් ලක්ෂ 15, විශ්‍රාමිකයන් ලක්ෂ 6 2/1 හා පෞද්ගලික අංශයේ පවුල් ඒකක සංඛ්‍යාව දළ වශයෙන් ලක්ෂ 20ක් ලෙස ගත්තත් (පෞද්ගලික අංශයේ ලක්ෂ 35ක පමණ සේවක පිරිසක් සිටී.) රටේ පවුල් ඒකක එක්කෝටි දස ලක්ෂයක් පමණ දළ වශයෙන් සිටිය යුතුය.

එය කෙසේවත් විය නොහැකිය. ඒ නිසාම මෙම මහමැතිවරණය ඉලක්ක කරගත් කොවිඞ්-19 රුපියල් 5000 ව්‍යාපෘතිය දූෂිත බව අමුතුවෙන් කිව යුතු නැත.

500 covidමෙහිදී සිහිවන්නේ හම්බන්තොට වරාය ව්‍යාපෘතියේදී ඉඩම් පවරාගත් ජනතාවට වන්දි ගෙවීමේදී සිදුවූ අක්‍රමිකතාව ය.''

මෙහිදී සිහිවන්නේ හම්බන්තොට වරාය ව්‍යාපෘතියේදී ඉඩම් පවරාගත් ජනතාවට වන්දි ගෙවීමේදී සිදුවූ අක්‍රමිකතාව ය. එක් අවස්ථාවක ඉඩම් අහිමිවූවන් කීවේ ඔවුන්ට හිමි වන්දි සම්පූර්ණ වශයෙන් ගෙවා නැති බවය.

ඒ වනවිටත් ඉඩම් පවරාගත් අයගෙන් වන්දි ලැබී තිබුණේ අඩකට පමණය. එහෙත් ලියුම්කරු කළ සොයා බැලීමකදී හෙළි වූයේ ඉඩම් පවරාගත් අයගේ ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි පිරිසකට එම දුක්ගැනවිල්ල මතුවන අවස්ථාව වන විටත් හම්බන්තොට මහජන බැංකු ශාඛාවට වරාය අධිකාරියෙන් බැර කරන මුදල්වලින් වන්දි ගෙවා ඇති බවය.

හම්බන්තොට මහජන බැංකු ශාඛාව එම මුදල්  ගෙවා තිබුණේ මුදල් සමඟ ලැබෙන නම් ලැයිස්තුවක සඳහන් පුද්ගලයන්ටය. එසේ රුපියල් මිලියන ගණනක වන්දි ලබාගෙන තිබුණේ සැබෑ ඉඩම් අහිමිවූවන් නොවේය.

මේ රුපියල් 5000 දීමනාවටත් දේශපාලන ලැයිස්තුවලදී හා ඊට පෙර සිදුවී ඇත්තේ ඒ දේම බව පැහැදිළිය.

(ලසන්ත රුහුණගේ : උපුටා ගැනීම -  anidda.lk  01/05/2020 )

subscribeYT

නවතම පුවත්