ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය පණවා තිබෙන කාලය තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බව

පොලිස් කාන්තා හා ළමා අපචාර කාර්යාංශය පවසයි.

කොරෝනාවෛරසය පැතිරීම වැළැක්වීමට ශ්‍රී ලංකාව තුළ වරින් වර දීර්ඝ කාලයක් පවතින සේ ඇඳිරි නීතිය පණවනු ලබන අතර, මෙම කාලය තුළ අපයෝජකයන් සහ වින්දිතයන් එක ම නිවසක කොටු වීම තුළ ළමා අපයෝජන පැමිණිලි සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පැවසීය.

කෙසේ නමුත්, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසන්නේ, ඇඳිරි නීතිය තවමත් බලපැවැත්වෙන හෙයින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අදාළ සියලු දත්ත මේ මොහොතේ ලබා දිය නොහැකි බවය.

 

"මගේ මුහුණ ලේ විලක්"

වත්තල පදිංචි නිසංසලා නිරන්තරයෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් පීඩා විඳින දෙදරු මවකි. නිතර අඬ දබරින් පිරිණු ඇයගේ නිවහන "මිහිපිට අපායක්" ලෙස ඇය හැඳින්වීය. සුළු දෙයටත් කිපෙන සිය සැමියා නිසංසලාට මෙන් ම ඇයගේ මවට ද නිතර පහර දෙන බව ඇය බීබීසී සිංහල සේවයට සිය අත්දැකීම් විස්තර කරමින් පැවසුවාය.

"මම මීට කලිනුත් සැමියාට එරෙහිව පොලිසි ගිහින් තිබෙනවා. එයා වැඩට යන කාලයේදී මට හිංසා කරන්න තියෙන කාලය අඩුයි. හැබැයි දැන් අපි ඔක්කොම ගෙදර ඉන්න නිසා මට සෑහෙන වධ දෙනවා."

"හැම පොඩි දේට ම තරහ ගන්න එයා මගේ මුහුණ ලේ විලක් වෙනකම් ගහනවා. ඒ වගේ ම මගේ අම්මටත් ගහනවා. මගේ ළමයි එයාව දැක්ක ම වෙව්ලනවා. බැරි ම තැන පොලිසියට පැමිණිලි කළා. හැබැයි දවසෙන් ඇප අරන් එයා ආයේ ගෙදර ආවා," ඇය පැවසීය.

 

නීතිමය රැකවරණය කුමක් ද?

2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ලක්වන්නන්ට නීතිමය රැකවරණය සලසයි.

Domestic Violence

ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් කාන්තා අයිතීන්වලින් ඔබ්බට ගිය විශාල වපසරියක් එම පනත මගින් ආවරණය කර තිබේ. ළමා හිංසනය සම්බන්ධයෙන් ද නීතිමය ආවරණයක් මෙම පනතෙන් ලබා දී තිබේ.

පීඩාවට පත් තැනැත්තා හා පීඩා කරන තැනැත්තා අතර ඇති පෞද්ගලික සම්බන්ධතාවෙන් පැන නගින නිවසේ පරිසරය තුළදී හෝ පිටදී සිදු කරන දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධ ඇතුළත් මිනී මැරීම, සිය පණ හානිකර ගැනීමට අනුබල දීම, ගබ්සාව, පහරදීම්,තුවාල කිරීම්, ලිංගිකත්වය හා සම්බන්ධ වැරද්දක් සිදුකිරීම හා උද්වේගශිලි බැන වැදීම ඇතුළු තවත් වැරදි කීපයක් ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස පනතේ අර්ථ දක්වා ඇත.

කායික, ලිංගික මෙන් ම මානසික වශයෙන් සිදුවන හිංසනයන් ද මෙම පනතේ සඳහන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට අයත් වේ.

මෙම නීතිමය සහන කාන්තා, පුරුෂ දෙපාර්ශවයට ම මෙන් ම ළමුන්ට සහ ඕනෑ ම වැඩිහිටියෙකුට ද ලබා ගත හැකිය.

එමෙන්ම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් තැනැත්තාට පහත සඳහන් ඕනෑ ම පාර්ශවයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු විය හැකිය:

    # සැමියා, බිරිඳ, වෙන්වීමට පෙර සිටි සැමියා හෝ බිරිඳ, සහවාසයේ යෙදෙන සහකරු හෝ සහකාරිය

    # පියා, මව, සීයා, මිත්තණිය, බාප්පා, පුංචි, මහප්පා, ලොකු අම්මා, නැන්දා, මාමා, පුතා, දුව, මුණුබුරා, මිණිබිරිය, පූර්ණ අර්ධ හෝ සුළු සහෝදර සහෝදරියන්, සුළු මව හෝ පියා ඇතුළු ඥාතීන්.

"ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වුණ කෙනෙක් උසාවියට යන්න කලින් පොලිසියේ පැමිණිල්ලක් දාන එක වැදගත්. ඊට පස්සේ මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් මගින් සහනයක් ලබා ගන්න පුළුවන්," නීතීඥ ප්‍රියංකා හේරත් පැවසුවාය.

"2005 ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත යටතේ අතුරු ආරක්ෂක ආඥාවක් හෝ ආරක්ෂක ආඥාවක් ලබා ගන්න පුළුවන්. එයින් වින්දිතයා සිටින නිවසට සහ වෙනයම් ස්ථානයකට ඇතුළුවීම හෝ පසුපස ගමන් කිරීම වැනි බොහෝ දේවල් වළක්වන්න පුළුවන්. මෙය ඉක්මන් සහනයක් ලබා දෙන තාවකාලික නියෝගයක්."

"ඉන් පසු උසාවිය අදාළ පාර්ශවයන්ට ඇහුම්ක දී ස්ථීර සහන ඇතුළත් පරිපූරක ආඥාවක් නිකුත් කරන්නත් පුළුවන්. මහේස්ත්‍රාත් උසාවියේ තීන්දුවෙන් අදාළ පාර්ශය අතෘප්තිමත් නම් මහාධිකරණයට අභියාචනා කිරීමේ හැකියාව තිබෙනවා," නීතීඥවරිය තවදුරටත් පැවසුවාය.

Domestic sex Violence

2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනතට 2018 දී ඉදිරිපත් කළ සංශෝධන අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය. ඒ අනුව, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන වැඩිහිටියන් හෝ දරුවන්‍ වෙනුවෙන් නීතිමය ක්‍රියාමර්ග ගත හැකි පුද්ගල කාණ්ඩ සංඛ්‍යාව වැඩි කිරීම, පැමිණිලි ගොනු කිරීමේ ක්‍ර‍මවේදය ලිහිල් කිරීම, වින්දිතයාගේ රැකවරණය තහවුරු කිරීම, පසුවිපරම් කිරීමේ දැනට පවතින ක්‍රමවේදය සංශෝධනය කිරීම, තාවකාලික ආරක්ෂණ නියෝග කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම වැනි විධිවිධාන සැලසීම සිදු කර තිබේ.

 

"මානසික හිරිහැර"

"මගේ නෝනාට පුදුම කේන්තියක් යන්නේ. අපිට ටිකක් ලොකු දරුවෝ දෙන්නෙක් ඉන්නවා. නෝනාට කේන්ති ගියා ම ඒ දෙන්නටත් හොඳට ම ගහනවා. මට ගිරිය පුප්පන් කෑ ගහනවා, බඩු පොළොවේ ගහනවා. ඇඳිරි නීතිය කාලයේ එයාගේ මේ ගතිය දෙගුණ තෙගුණ වෙලා," මහනුවර පදිංචි නාලක පැවසීය.

"මිනිස්සු මට උපදෙස් දෙන්නේ රණ්ඩු කරලා නෝනට ගහන්න කියලා. නමුත් මම ඒ තත්ත්වයට වැටෙන්න කැමති නැහැ. හැබැයි යම් සංවිධානයකින් උපදෙසක් ගන්න උත්සහ කරන්න පුළුවන්," ඔහු පැවසීය.

 

ළමා හිංසන:muditha

ඇඳිරි නීතිය පවතින කාලය ඇතුළත ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් වාර්තා වීම 33%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පැවසීය.

"ළමා හිංසනය කරන්නේ බොහෝ වෙලාවට ඔවුන් දන්න හඳුනන අය, භාරකරුවන් හෝ නෑදෑයින්. දරුවෝ කියන්නේ අපි රැක බලා ගත යුතු පිරිසක්. තමන්ගේ දරුවෝ ගැන වගේ ම අවට දරුවෝ ගැනත් අපි මේ වෙලාවේ අවධානයෙන් ඉන්න ඕනේ," ඔහු පැවසුවේය.

heart broken

 

පැමිණිලි කරන්න අංක දෙකක් : 1923 හා 1929

මෙවැනි සිදුවීමක් ගැන ඕනෑ ම අවස්ථාවක 1923 හා 1929 යන අංකවලට කතා කර පැමිණිලි කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දන්වා සිටී.

මෙම දුරකතන ඔස්සේ සම්බන්ධ වන පුද්ගලයන්ට හදිසි අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දක්වනවා පමණක් නොව, ඔවුන්ගේ දිගුකාලීන සුරැකුම සහ පුනරුත්ථාපනය උදෙසා උචිත සේවාවන් වෙත සම්බන්ධ කිරීමට ද ක්‍රියා කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

 

"හැම රැයක ම හිරිහැර"

කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයක පදිංචි සුභානි ද නිරන්තරයෙන් සිය සැමියාගේ හිරිහැරවලට ලක්වන්නියකි. මාස දහයක් වයසැති දරුවෙකුගේ මවක වන ඇයට සිය සැමියාගෙන් දැඩි ලෙස හිරිහැර සිදුවන බව පැවසීය.

"මේ ඇඳිරි නීතිය කාලේ අපිට එක ගෙදර දිගට ම ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. එයා කොහොමත් මගේ අකමැත්තෙන් තමයි හැම දේ ම කරන්නේ. දැන් ඒක ඉවසන්න බැරි තරම් වැඩි වෙලා. හැම රැයක ම මට ගහනවා ලිංගික හිරිහැර සිදුකරනවා. මට ජීවිතේ කලකිරිලා ඉන්නේ. මමත් මනුස්සයෙක්."

"දරුවා එක්ක ගත කරලා සෑහෙන මහන්සියකින් ඉන්න මට හැම දා ම මේ හිරිහැර නිසා මානසික පීඩනයක ඉන්නේ. මට කොරෝනාවෛරසයක් ගැන කිසි දෙයක ගාණක් නැහැ. ඊට වඩා දුකක මම ඉන්නේ" ඇය පැවසුවාය.

 

'අපි කැමති නැහැ'

'ඇතුළත ගිනි පිටතට දෙන්න එපා', 'දෙන්නගේ අඬ දබර බත ඉදෙනකම් පමණයි' වැනි සමාජයේ පැතිරී ඇති මත එහි නිවැරදි තේරුමෙන් බැහැරව, තමාට රිසි සේ අර්ථකථනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් තම ගෘහය තුළ සිදුවන හිංසා ඉවසා දරා ගැනීමට පුරුදු වී සිටිති.

තමන්ට සිදුවන අඩන්තේට්ටම් පිළිබඳ කාන්තා, පුරුෂ බොහෝ දෙනෙකුගෙන් බීබීසී සිංහල සේවය විමසීම සිදු කළ ද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නීතිය හෝ වෙනත් සංවිධානයක පිහිට පැතීමට කැමැත්තක් නොදක්වති.

දරුවන් නිසා හෝ සමාජයෙන් හෝ අපයෝජකයන්ගෙන් එල්ල වන තර්ජන, අපවාදවලට බියෙන් වෙනයම් පිහිටක් පැතීමට ඔවුහු මැලිවෙති.

"තමන්ට හිංසාවක් සිදුවෙනව නම් ඉවසා සිටින්න ඕනේ කියලා දෙයක් නැහැ. එහෙම ඉවසන එකෙන් වෙන්නේ හානිය වැඩි වෙන එක. දරුවන්ට සහ තමන්ට කවදාවත් නිවැරදි කරන්න බැරි තරමේ මානසික හානි සිදු වීම. සමහර අවස්ථාවල පූර්ණ ආබාධිත තත්ත්වයට වගේ ම මරණය පවා සිදු වෙන්න පුළුවන්," නීතීඥ ප්‍රියංකා හේරත් පැවසුවාය.

"තමන්ට සිදුවන ආසාධාරණයට එරෙහි වෙලා දරුවන්ට ආදර්ශයක් දෙන්න. නැත්නම් ඔවුන් අනාගතයේදී තම සහකරුවන්ට සලකන්නෙත් ඔය විදිහටමයි. නීතියේ හෝ යම් සංවිධානයක පිහිට පතනවා කියන්නේ දෙමාපියන් හෝ පවුල වෙන් කිරීම නෙමෙයි, ඕනෑ ම ජීවියෙකුට නිදහසේ, සතුටින් ජීවත් වෙන්න තිබෙන පරිසරය ඇති කිරීමයි," ඇය තවදුරටත් පැවසීය.

PUSPA POST

මේ අතර, කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා පසුගිය දිනක සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ, "වෙනදාට අපේ අංශයට රෝගීන් 250 ක් ආවත් ඊයේ දවස පුරා අනතුරුවලට ලක්වූවන් 66 යි පැමිණියේ. නේවාසිකව ප්‍රතිකාර ලැබුවෙත් 20 යි. ඒ ඔක්කොට ම වඩා ප්‍රශ්නෙ ඇදිරි නීතිය අස්සේ ගෙදර ඉන්න බිරින්දෑවරුන්ට ස්වාමිවරුන් පහර දීලා එන එකයි. ඒ කියන්නෙ පවුල් ජීවිත ගත කරන්න පුරුද්දක් නැහැ වගේ මේ අයට අනේ මන්දා…. සතුටින් ඉන්න තියෙන කාලය විනාශ කර ගන්න වෙන මහන්සියක්..," යනුවෙනි.

 

උපකාර කළ හැකි වෙනත් ආයතන තිබේ ද?

රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන බොහොමයක් කාන්තා හිංසන, ලිංගික අඩන්තේට්ටම්, ළමා අපචාර, ගෘහස්ථ හිංසනවලට ලක් වූවන්ට උපකාර කිරීමට බැදී සිටිති.

    # කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයන්ට ලක් වූවන්ට සහන සැපයීමට 1938 නම් ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

    # 'කාන්තා පිහිට (WIN)' නම් රාජ්‍ය නොවන සංවිධානය කාන්තා අයිතීන් පිළිබඳ දැනුවත් කරන අතර, නොමිලේ නීති උපදෙස් සහ සේවා ලබා දීමට ද කටයුතු කරයි. මෙම සංවිධානය 011 4718585 නම් ක්ෂණික දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ කර ගත හැකිය.

    # ශ්‍රී ලංකාවේ රෝහල් 72 ක් තුළ 'මිතුරු පියස' මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන අතර, මෙමගින් ලිංගිකත්වය මත පදනම් වූ හිංසනය වළක්වාලීම පිළිබඳ මාර්ගෝපදේශන සහ 'සතුටු පවුල' සංකල්පය හඳුන්වාදීම සිදු කෙරෙන බව ස්ත්‍රී/පුරුෂ සමාජභාවය පිලිබඳ ජාතික වැඩසටහන් කළමණාකාරිණි විශේෂඥ වෛද්‍ය නේතාංජලී මාපිටිගම පැවසීය.

හිංසනයන්ට ගොදුරු වූ මානසික ව්‍යාකුල තත්ත්වයන්ට ලක් වූ ඕනෑ ම කෙනකුට මිතුරු පියස මධ්‍යස්ථාන මගින් සේවා සපයන අතර, මේ සඳහා විශේෂ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් පුහුණු කර ඇති අතර ඊට විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම හෙද නිළධාරිනියකගේ ද සේවය සපයනු ලබන බව ඇය තවදුරටත් පැවසුවාය.

   #  ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානයද කොරෝනාවෛරසය පැතිරී යාමත් සමග විවිධ මානසික හිංසනයන්ට සහ ව්‍යාකූලත්වයට ගොදුරු වූවන්ට සහන සැලසීමට විශේෂ දුරකතන අංක කීපයක් හඳුන්වා දී තිබේ. +94 11 2 682535 යන දුරකථන අංකය ඔවුන් සම්බන්ධ කර ගත හැකිය.

    # වයස අවුරුදු දහ අටට අඩු දරුවන්ට නිවස තුළ සිදුවන හිංසන, අයුතු සැලකීම් සම්බන්ධයෙන් 1929 දුරකථන අංකය ඔස්සේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් උපකාර ලබා ගැනීමේ අවස්ථාව ඇත.

    # නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම මුල්‍යමය හැකියාව නොමැති පුද්ගලයන් සඳහා නීති ආධාර කොමිසම මගින් නොමිලේ නීති උපදෙස් ලබාගැනීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ දුරකථන අංකය:011 2433618.

    # මානසික සෞඛ්‍ය ආයතනය අංගොඩ ක්ෂණික දුරකතන අංකය 1926

    # ශ්‍රී ලංකා පොලිසිය ක්ෂණික දුරකතන අංකය 119

(ඉහත සඳහන් ගෘහස්ථ හිංසනයට ලක්වූවන්ගේ රහස්‍යභාවය සුරැකීම වෙනුවෙන් සත්‍ය නම් වෙනුවට අනුවර්ත නම් යොදා තිබේ.)

(දැහැමි රණවීර - බීබීසී සිංහල සේවය)

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්