කොරෝනා ආසාදන පැතිරවීම වැළැක්වීමට මුළු රටම නිවාස අඩස්සියේ තබන්නට සිදු වූ මාස දෙකක පමණ කාලය අවසන්.

එසේ වුවත් වසංගත අවදානම තවදුරටත් සමාජයේ පවතිනවා.

අඩු තරමින් තව මාස 12-18 අපට කොරෝනා වෛරස ආසාදනයේ අවදානම සමග ජීවත්වන්නට සිදුවන බවයි වසංගත රෝග විශේෂඥයන් කියන්නේ.

Nalaka Gunawardhana 1COVID-19 රෝගය ඇති කරන SARS-CoV2 නම් කොරෝනා වෛරසය ගැන ලොව පුරා වෛද්‍ය විශේෂඥයන් බොහෝ දෙනා අධ්‍යයනය කරමින් සිටිනවා. තවමත් මේ වයිරසය ගැන තොරතුරු සියල්ල හෙළිදරව් කර ගෙන නැහැ.

අලුත් වන විද්‍යාත්මක දැනුමට අනුව රෝග මර්දන ක්‍රමවේදයන්ද උචිත පරිදි වෙනස් කරමින් ඉදිරියට යාමට සිදු වී තිබෙනවා. COVID-19 රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය ලබා දෙන එන්නතක් නිපදවා පුළුල්ව භාවිතයට ගැනීමට මාස 12-18 අවම වශයෙන් ගතවන බව වත්මන් වෛද්‍ය විග්‍රහයයි.

එබඳු එන්නතක් නිපදවීමට යුරෝපයේ, චීනයේ, ඉන්දියාවේ, ඇමරිකාවේ සහ කොරියාවේ වෛද්‍ය පර්යේෂක කණ්ඩායම් ගණනාවක් යුහුසුලුව ක්‍රියා කරමින් සිටිනවා.

අපේ රටේ සමහර පුවත්පත් ඉතා වගකීම් විරහිත ලෙස ක්‍රියා කරමින් මහජනයා නොමඟ යවන්නට මොනවා කීවත් (උදාහරණ: “කොරෝනා අවදානම ඉවරයි” – 2020 අප්‍රේල් 18 ලංකාදීප ප්‍රධාන පුවත් සිරස්තලය), කොරෝනා අවදානම කිසිසේත් අවසන් වී නැහැ.

වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අඩු වීමෙන් අදහස් කැරෙන්නේ රෝගය පැතිරීම යම් තරමකට පාලනය වී තිබෙන බව පමණයි.

ඇසට නොපෙනෙන, පුද්ගලයකුගේ ශරීරගත වූ විට ඉක්මනින් රෝග ලක්ෂණ නොපෙන්වන මෙම කොරෝනා වෛරස, සමාජයේ නොයෙක් තැන්වල අප නොදැනුවත්ව හමු විය හැකියි. චර්යාත්මකව ආරක්ෂිත උපක්‍රම දිගින් දිගටම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන්නේ මේ නිසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ සඳහා අවශ්‍ය මූලික මගපෙන්වීම් දැන් සති ගණනාවක සිට උද්දේශනය කරමින් සිටිනවා.

සරල පූර්වෝපායන් අනුගමනය කිරීමෙන් ආසාදනය වීමේ හෝ කෝවිඩ් -19 පැතිරීමේ අවදානම අඩු කර ගත හැකි බව ඔවුන් කියනවා.

නිතර සබන් ගා හොඳින් අත් සෝදන්න. එසේ කිරීමට නොහැකි අවස්ථාවල සනීපාරක්ෂක ද්‍රාවණයකින් (hand sanitizer) අත සෝදන්න. (අත් සේදීමේ දී තප්පර විස්සක් පමණ දෑතම හොඳින් සෝදා ගත යුතුයි)

වැලමිට භාවිතයෙන් ඔබේ කැස්ස සහ කිවිසුම් ආවරණය කරන්න.

ටිෂු කඩදාසියකින්, ඔබේ කැස්ස සහ කිවිසුම් ආවරණය කර ඒවා නිසි ලෙස බැහැර කරන්න.

ඔබේ මිතුරන්ට හා නෑදෑයින්ට අත දීමෙන් හෝ ඔවුන් සිප වැලද ගැනීමෙන් වළකින්න.

ජනයා ගැවසෙන ස්ථානවලට යාමෙන් වලකින්න (නැතහොත් එසේ යාම හැකි තාක් අවම කරන්න).

පොදු ස්ථානයක සිටින විට හෝ කතා කරන විට ඔබ සහ අනෙක් අය අතර අවම වශයෙන් මීටරයක (අඩි තුනක) දුරක් පවත්වා ගන්න.

ව්‍යාපාරික ස්ථාන, කාර්යාල සහ කර්මාන්ත ශාලා ආදියේ සාමූහිකව වැඩකරන විට මතක තබා ගත යුතු සහ අනුගමනය කළ යුතු චර්යා රටා ගණනාවක් ද නිර්දේශ කොට තිබෙනවා.

■ කිසියම් කෙනෙකු උණ, කැස්ස හෝ සෙම්ප්‍රතිෂ්‍යාව වැනි සරල රෝග ලක්ෂණ පෙන්වනවා නම්, එය මුළුමනින්ම සුව වනතුරු වැඩට නොගොස් සිටින්නැයි උපදෙස් දෙන්න. හැකි නම්, ගෙදර සිට වැඩ කිරීමට එම පුද්ගලයාට පහසුකම් සපයන්න.

■ එක් පුද්ගලයකුට වඩා වැඩි පිරිසක් විසින් පාවිච්චි කරනු ලබන දොර අගුල්, දුරකථන රීසීවර, මේස මතුපිට, ස්ටේප්ලර් යන්ත්‍ර ආදිය නිතර නිතර විෂබීජ නාශක යොදා පිරිසිදු කරන්න.

■ නිරතුරුවම ඔබේ දෑත් සබන් යොදා පිරිසිදු කරන්න. ඔබගේ මුහුණ, කට, නහය සහ ඇස් ඇල්ලීමෙන් වළකින්න. වයිරසය සාමාන්‍යයෙන් පැතිරෙන්නේ ස්පර්ශය මගිනි.

■ සෙනග ගැවසීම හැකි තරම් වළක්වන්න. රැස්වීම් තාවකාලිකව නවත්වා ඒ සඳහා ඉන්ටනෙට් හරහා සිදු කෙරෙන වීඩියෝ රැස්වීම් සහ සමූහ දුරකථන ඇමතුම් වැනි නවීන සන්නිවේදන ක්‍රම භාවිතා කරන්න.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවධාරණය කරන්නේ: “ඔබගේ සේවා ස්ථානයේ කොරෝනා වයිරසය පැතිරීම වළක්වා ගතහොත්, ඒ තුළින් ඔබගේ ආදරණීය පවුලේ සාමාජිකයින් කරාද මෙම වෛරසය පැතිරීමට ඇති ඉඩකඩ අවම කර ගත හැකිය.”

වෙළඳසල්වලදී වයිරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට ගත යුතු පියවර ගණනාවක්ද සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කරනවා:

■ ඔබ පෝලිමක සිටගෙන සිටින විට, ඔබ සහ අනෙකුත් පාරිභෝගිකයන් අතර අඩු වශයෙන් මීටර් එකක පරතරයක් තබා ගන්න.

■ වෙළඳසලට ඇතුළු පෙර, සබන් හෝ අත් සෝදන ද්‍රාවණයක් භාවිතා කර දෑත් සෝදන්න.

■ හේතුවක් නොමැතිව ඇස් සහ නාසය ඇල්ලීමෙන් වළකින්න. එසේ ඇල්ලීම වයිරසය පැතිරීමට හේතු වේ.

■ ඔබට උණ, කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව වැනි රෝග ලක්ෂණ තිබේ නම්, වෙළඳසල්වලට යාමෙන් වළකින්න.

■ වෙළඳසල්වල පෝලිමේ සිටින විට වැඩිහිටියන්ට ඉදිරියට යාමට ඉඩ දෙන්න. වයිරසය නිසා ඔවුන් අනෙක් අයට වඩා දැඩි ලෙස අසනීප වීමේ ඉඩක් තිබේ.

test 22 1තව කොපමණ කලක් පාසැල් සහ සරසවි වසා තබන්නට සිදුවේදැයි නිශ්චිත නැහැ. අපේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ආයතන අති බහුතරයක වෛරසයෙන් බේරී සිටීමේ ආරක්ෂිත උපක්‍රම අනුගමනය කිරීමට අවශ්‍ය තරම් පහසුකම් නැහැ. උදාහරණයකට වැසිකිලි, ජල සම්පාදනය සහ කිසිදු සනිපාරක්ෂක පහසුකමක් නැති පාසැල් සිය ගණනක් අපේ රටේ තිබෙනවා.

“කොරෝනා වසංගත රෝගය කියන්නේ 20-20 ක්‍රිකට් මැච් එකක් වගේ ඉක්මනින් ඉවර වෙන දෙයක් නෙමෙයි. ක්‍රිකට් උපමිතියක් යොදා ගෙනම කියනවා නම්, දින පහේ ටෙස්ට් ක්‍රිකට් තරග දුසිම් ගණනක් එක පිට එක ක්‍රීඩා කරන්නට සිදු වනවා යයි සිතීම අවශ්‍යයි.”

මෙහෙම කියන්නේ කොළඹ සරසවියේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ අංශාධිපති මහාචාර්ය මනුජ් ක්‍රිශාන්ත වීරසිංහ. වසංගතවේදය (epidemiology) පිළිබඳව පශ්චාත් උපාධි අධ්‍යයන කොට ඇති ඔහු, වර්තමාන වසංගතය මර්දනය කිරීමට අවශ්‍ය චර්යාත්මක වෙනස්කම් ගැන විශේෂ අවධානය යොමු කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ සීමිත ඕවර හෝ එක්දින ක්‍රිකට් තරගයක ක්‍රිඩා කරන උපක්‍රම සහ ටෙස්ට් ක්‍රිකට් උපක්‍රම එකිනෙකට බෙහෙවින් වෙනස් බවයි. එසේම අවිනිශ්චිත කාල පරාසයක් පුරා පැවතීමට ඉඩ තිබෙන මෙම වසංගතය සම්බන්ධයෙන් දිගු කාලීන උපක්‍රම අවශ්‍ය වෙනවා.

මේ ගැන වැඩි විස්තර ඉදිරියෙදී කතා කරමු.

[නාලක ගුණවර්ධන : ravaya.lk -May 22, 2020]

subscribeYT

නවතම පුවත්