ලොව පුරා කොවිඩ් – 19 වසංගතය පැතිර යාමෙන් පසුව දැන් දැන් රටවල් තහංචි මද මද ලිහිල් කරමින් ජනතාවට එළිපහළියට යන්න

අවස්ථාව සලසමින් සිටිනවා. සෑම රටකම පාහේ  සෞඛ්‍ය අංශ සහ රජයේ බලධාරීන් නිකුත් කළ උපදෙස්, නියෝග පිළිපදිමින් නිවසටම වී සිටි බහුතර ජනතාව තුළ නොයෙකුත් බලාපොරොත්තු දැල්වෙන්නට පටන් ගෙන තිබෙනවා.

“අනේ පව්, ළමයි දිගටම ගෙදරමනේ. පාර්ක් එකට හරි මුහුදු වෙරළට හරි එක්කරගෙන යන්න ඕන”. “කාලෙකින් යාලුවො ටික මුණගැහුණේ නෑ. ක්ලබ් එකට ගිහින් හීනියට අඩියක් ගහලා කතා කර කර ඉඳලා එන්න ඇත්නම්? ” “ලොක්ඩවුන් කරාට පස්සේ අම්මා තාත්තා බලන්න යන්න බැරි වුණා. ගෙදර කාණ්ඩයත් එක්ක ගිහිල්ලා බලල එන්ඩ ඕන”. “පහුගිය කාලෙම කළේ කනවා බොනවා නිදියා ගන්නවා  විතරයි. අද හෙටවත් ජිම් එකට හරි ඇවිදින මංතීරුවක ඇවිදින්න හරි යන්න ඕන”.

සියල්ලම වාගේ අහිංසක බලාපොරොත්තු. ඒත් ඒවා කොරෝන පරාජය කිරීමේ අරමුණු සමඟ කොයිතරම් දුරට ගැටෙනවා ද? එක එක්කෙනා හිතුමතේ වැඩ කරන්නේ නැතිව, වෛරසයට එරෙහි සටනේ මෙම අවධිය ගෙවා දමන හැටි ගැන ජනතාවට පැහැදිළි උපදෙස් අවශ්‍යයි.

covid 19 lanka

ජනතාව සිය නිවෙස්වලින් පිටතට යන්නේ නම් කාර්යාලයක් හෝ වෙළඳසැලක් ඇතුලේ ගත කරනවාට වඩා එළිමහනේ සිටීම වඩාත් ආරක්ෂාකාරී බවයි විශේෂඥයන්ගේ අදහස. එකිනෙකා අතර දුරක් තබා ගැනීමට හැකිවීමත්, නැවුම් වාතයේ ආස්වාදය විඳ ගැනීමට අවස්ථාව ලැබීමත් නිසාවෙන් අවදානම අඩු වෙයි.

එහෙත් එම විශේෂඥයන්ම කියා සිටින්නේ බැහැරට යාමේදී කල්පනාවෙන් ක්‍රියාකළ යුතු බවයි. අවන්හල් ඇතුලට වෙලා එකිනෙකා හා කතා බහේ යෙදෙමින් ආහාරපාන ගැනීම, බාහිර ස්ථානවල ඇති පොදු වැසිකිළි, නාන කාමර ප්‍රයෝජනයට ගැනීම, මුහුදු වෙරළ, උද්‍යානය වැනි තැන්වල එක්රොක් වීම ආදිය ගැන ඔවුහු අනතුරු අඟවති.

කලකට පසුව නිවසින් බැහැරට යාම කොරෝන නිරෝධාන මානසික පීඩාව වළක්වා ගැනීමට උපකාරී වුවත් (බැහැරට යනවිට) ආරක්ෂාව සහ ආරක්ෂාකාරී චර්යාවන් ගැන අපේ අවධානය අඩුවීම මෙන්ම ආරක්ෂාකාරීව නොසිටින අය මුණ ගැසීමේ අවදානමක් ඇති වේ.

covid 19 lanka 1

“බැහැරට යාම සෞඛ්‍යයට වැදගත් කියලයි මම නම් හිතන්නේ. ඇතුළත කොටුවී සිටින විටදීට වඩා එළිමහනේ කොරෝනා සම්ප්‍රේෂනණය වීමේ අවදානම අඩුයි. ඒත් ඒ වගේම  අපේ අවදානම අඩුකර ගැනීමට අප කළ යුතු දේවලුත් තියෙනවා” යයි හාවඩ්  වෛද්‍ය විදුහලේ වසංගතවේදිනියක් හා සහකාර මහාචාර්යවරියක් වන ජූලියා එල්. මාකස් කියා සිටී.

රට පියවරෙන් පියවර යළි විවෘත කිරීමේදී නිවසින් පිටස්තර ලෝකයේ දක්නට ඇති  සීමා කිරීම් විවිධය; එක සමාන නැත. උදාහරණයක් ලෙස,  ජාතික උද්‍යානය වගේ තැන් තවදුරටත් වසා දමා ඇතත් ඇතැම් කුඩා උද්‍යානය විවෘතය.

මෙලෙස බලධාරීන් එකිනෙකට වෙනස් ප්‍රවේශයන් අනුගමනය කිරීම හේතුවෙන් පිටතදී අනුගමනය කළ යුතු ආරක්ෂාකාරී චර්යාවන් ගැන නිසි අවබෝධයක් නොමැතිව බොහෝ ඇමරිකානුවෝ වික්ෂිප්තව සිටිති.

distance

ඊට විශේෂඥයන් දක්වන්නේ සරල පිළිතුරකි. සමාජ දුරස්ථභාවය රැකගන්න, එය කළ නොහැකි විට මුව ආවරණයක් පළඳින්න. වඩාත්ම උචිත වන්නේ නිවැසියන් සමග පමණක් සමාජ සේවනයේ යෙදීම යයි ඔවුහු පෙන්වා දෙති.

(ඒ වෙනුවට) ඔබ මිතුරන් මුණගැසීමට අදහස් කරන්නේ නම් අවදානම වැඩිවන නමුත් ඔබට යම් පූර්වාරක්ෂක පියවර ගත හැකිය. මෙන්න ඒ පූර්වාරක්ෂක පියවර කිහිපයක්:  

රැස් වන පිරිස ඉතා කුඩා විය යුතුයි.

ආහාර පාන, හැඳි ගෑරුප්පු, භාජන හෝ බීම වර්ග එකිනෙකා සමඟ බෙදාහදා නොගත යුතුයි.

ඔබේ අත් නිරතුරුව පිරිසිදුව තබා ගත යුතුයි.

නිවසට බැහැරින් එන අය සමඟ අඩුම තරමින් අඩි හයක පරතරයක් තබා ගනිමින් සමාජ දුරස්ථභාවය රැකගත යුතුයි.

covid 19 lanka2

වර්ජිනියාවේ ටෙක් හී ඉංජිනේරු මහාචාර්ය සහ එයරසෝල විද්‍යාඥ ලින්සේ මාර් දරන්නේ මේ වගේ අදහසක්: “මම නම් හිතන්නේ කොයි අවස්ථාවක දී වුණත් ඇතුලට වඩා එළිමහනේ ගත කරන එක හොඳයි. මොකද පිටතදී තනුකරණය(dilution) ගොඩක් සිද්ධ වෙනවනේ. කෙනෙකු අඩි හයක පරතරය දිගටම තියාගන්නවා නම් අවදානම ඉතාම අඩුයි”.

මහා වසංගතය හමුවේ එළිමහනේ ගෙවන ජීවිතය එක්තරා අන්දමකට ආරක්ෂාකාරීය. මද සුළඟින් පවා වෛරසය විසිර යවමින් ඉක්මනින් තනුකරණයක් සිද්ධ වෙනවා. එහෙයින් රෝගාතුරයෙකු ළඟපාත හිටියත් සුළඟින් වෛරස විසුරුවා දමනවා. අසල සිටි අය එයට නිරාවරණය වුවත් ඒ  සුළු වෛරස ප්‍රමාණයකි. එවැන්නකින් ඇති විය හැකි හානිය අඩුයි.

covid twst

“වෛරස භාරය(load) තමයි වැදගත්. එක වයිරසයක් මගින්  කෙනෙකු රෝගාතුර කරන්න බැහැ.මොකද ශරීරයේ ප්‍රතිශක්තිකරණය පද්ධතිය මගින් වහාම එය විනාශ කර දමනු ලබනවා.

දැනට විශ්වාස කරන අන්දමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය අභිභවා යාමට නම් වෛරස සිය ගණනක සිට දහස් ගණනක SARS-CoV-2   භාරයක් තියෙන්න ඕන” යනුවෙන්  ලෙහ්මන් කොලිජියේ සහ නිව්යෝක් සිටි විශ්ව විද්‍යාලයේ උපාධිධාරී කේන්ද්‍රයේ භෞතිකඥ ඉයුජින් චඩ්නොවිස්කි පෙන්වා දෙයි.

(වෛරස) සම්ප්‍රේෂණය එළිමහනේ දි අඩු වුණාට සම්ප්‍රේෂණය සිද්ධ වෙන්න බැරිම නැහැ. එහෙත්, චීනයේ ආතුරයන් 7,300ක වැඩි පිරිසක් ඇසුරෙන්  සිදුකළ අධ්‍යයනයකින් හෙළි වුණේ  සම්ප්‍රේෂණය බාහිර ස්ථානයක දී  සිදුවී ඇත්තේ ඉන් එක් අයෙකුට පමණක් බවයි. ඒ වූහාන්වල සිට පැමිණ අයකු සමඟ එළිමහනේ කතා කරමින් පසුවූ අයකුටය.

covid 19 lanka3

“පිටතදී අවදානම අඩු වුණාට, අවදානම  බින්දුවක් නොවේ“ යනුවෙන් පවසන්නේ ගෝලීය කටයුතු සඳහා වන  යේල් ජැක්සන් ආයතනයේ කථිකාචාර්ය ෂාන් සෝලින්ය. “මං හිතන්නේ එක තැන එකිනෙකාට ළංවෙලා බොහෝ වේලාවක් ගත කරන දෙන්නෙකුට  ඇවිදයන ගමන් එකිනෙකා පසුකර යන අයට වඩා අවදානම වැඩියි.”

මෑතක සිදු කළ එක් අධ්‍යයනයකින් හෙළි වූයේ හුදු කතාකිරීමෙන්ම පවා වාතයේ විනාඩි 8 ක සිට 14 දක්වා කාලයක් රැඳී තිබිය හැකි බිඳිති දහස් ගණනක් පිටකළ හැකි බවයි.  එහෙත් මේ බිඳිති ආශ්වාස කිරීම එළිමහනේ දී අඩුයි.

කෙසේවෙතත්, එළිමහනේ උද්‍යාන බංකුවක්, ඔන්චිල්ලාවක් වැනි  වෛරසයෙන් දූෂිත වූ පෘෂ්ඨයක්  ඇල්ලීමේදී වෛරසය ආසාදනය වීමේ අවදානම ඇත. පරීක්ෂණාගාර තත්ත්වයන් යටතේ SARS-CoV-2  වෛරසයට යකඩ ප්ලාස්ටික් වැනි පෘෂ්ඨයක දින තුනක් පමණ ද කාඩ්බෝඩ් වල පැය විසිහතරක් පමණ ද රැඳී පැවතිය හැකි බව අධ්‍යයන දක්වයි.

අනික වෙනත් බොහෝ වෛරසයන්ට වඩා මේ නව වෛරස, රස්නය හා ආර්දතාවට ඔරොත්තු දීම වැඩියි.

 (thathu.com - The Economic Timesහී පළවූ  What We Know About Your Chances of Catching the Virus Outdoors යන ලිපිය ඇසුරෙනි.)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්