පෝලන්ත රාජ්‍ය ප්‍රධානි ෆිල්සුඩ්ස්කි හා පෝලන්ත ජනරජයේ අගමැති ඉග්නේසි පාදරෙව්ස්කි 1919 ජනවාරියේ පෝලන්ත පාර්ලිමේන්තුවට පැමිණෙමින් සේයා - විකිමීඩියා

තමන් විසින් 1926 ජූලි මස කොමින්ටර්නයේ(1)  විශේෂ කොමිසමට ඉදිරිපත් කිරීමට අවසරය ලත් කථාවේ ලඝු ලේඛිත පිටපතක් 1932 දී ට්‍රොට්ස්කිට අහම්බයෙන් හමු විය. එකී කොමිසම පිහිටුවන ලද්දේ 1926 මැයි 12 වැනිදා මාෂල් ජෝසප් ෆිල්සුඩ්ස්කි(2) ට පෝලන්තයේ බලය ඩැහැගැනීමට පහසුකම් සලසන ලද පෝලන්ත කොමියුනිස්ට් පක්ෂයේ වරද්දා ගැනීම් සමාලෝචනය කිරීම සදහා ය. 

ට්‍රොට්ස්කි මෙම කථාවට හැදින්වීමක් ලියා, ඒ දෙකම “ෆිල්සුඩ්ස්කිවාදය, ෆැසිස්ට්වාදය හා අපගේ යුගයේ ලක්ෂණ”  නමින් 1932 දී බියුලටන් ඔපසිට්සි (Biulleten Oppozitsii – වාම විරුද්ධ පාර්ශවයේ බුලටීනය) හි පළ කරන ලද්දේ ය. පහත පලවන්නේ එහි සිංහල පරිවර්තනයකි. (පරිවර්තනය Writings of Leon Trotsky (1932) වෙලුමේ 156-165 පිටු අනුව කර තිබේ.)

leon trotsky 05.31“ෆැසිස්ට්වාදය යනු හුදෙක් , මෘග බලයේ සහ පොලිස් ත්‍රස්තයේ පලිගැනීමේ ක්‍රමයක් පමණක් නොවේ. ෆැසිස්ට්වාදය යනු ධනේෂ්වර සමාජය ඇතුලත ගැබ්ව ඇති කම්කරු පංති ප්‍රජාතන්ත්‍රවාදයේ සියලුම මූලික පදනම් මුලිනුපුටා දැමීම පදනම් කර ගත්තා වූ විශේෂ ආණ්ඩු ක්‍රමයකි. 

ෆැසිස්ට්වාදයේ කර්තව්‍ය ගැබ්ව තිබෙනුයේ කොමියුනිස්ට් පෙරමුණු බලඇණිය විනාශ කිරීම පමණක් නොව, මුළුමහත් පංතිය මත බලහත්කාරයෙන් පටවනු ලබන භේදකාරී තත්ත්වයක් පවත්වා ගැනීම තුළ ය.

 මේ අරමුණ උදෙසා, කම්කරු පංතියේ අතිශයින් ම විප්ලවකාරී කොටස ශාරීරිකව විනාශ කිරීම පමණක් සෑහෙන්නේ නැත. සියලුම ස්වාධීන හා ස්වේච්ඡා සංවිධානයන් සුන්බුන් කර දැමීමත්, නිර්ධන පංති ආරක්ෂක පවුරු පදනම් බිද හෙළීමත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ වෘත්තීය සමිති විසින් ශත වර්ෂ තුන්කාලක පමණ කාලයක් තුළ අත්පත් කරගනු ලැබූ සියලුම ජයග්‍රහණ මුලිනුපුටා දැමීමත් ඒ සඳහා අවශ්‍ය වේ. මන්දයත්, අවසාන විග්‍රහයේ දී කොමියුනිස්ට් පක්ෂයම පවා පදනම් වනුයේ මෙම ජයග්‍රහණයන් මත වන හෙයිනි.

ෆැසිස්ට්වාදයේ විජයග්‍රහනයට අවශ්‍ය සියලුම කොන්දේසි සමාජ-ප්‍රජාතන්ත්‍රවාදය විසින් සූදානම් කරන ලද්දේ ය. මෙම සාධකය මඟින් ඔවුහු තමන්ගේම දේශපාලනික වූ දිය වී යෑමට භූමිය සූදානම් කරගෙන තිබෙ.

 බෲනින් ගේ හදිසි අවස්ථා නීති රීති සම්බන්ධයෙන් මෙන්ම, ඉදිරියේ එල්ල වන්නා වූ ෆැසිස්ට් ම්ලේච්ඡත්වයේ අනතුර සම්බන්ධයෙන් ද වගකීම සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන් මත පැටවීම සම්පූර්ණයෙන්ම නිවැරදි ය. 

එහෙත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ෆැසිස්ට්වාදයත් සමග අනන්‍ය කිරීම (දෙකම එකක්  ලෙස දැක්වීම) මුලුමනින්ම විකාර ගම්මැදි හෑල්ලකි.” (ට්‍රොට්ස්කි – ‘The Struggle Against Fascism in Germany’ pg:144-145 – Vital Questions for the German Proletariat – Jan. 27 1932)


ෆිල්සුඩ්ස්කිවාදය, ෆැසිස්ට්වාදය හා අපගේ යුගයේ ලක්ෂණ:

හැදින්වීම:

ෆිල්සුඩ්ස්කි, 1926 මැයි මාසයේ පෝලන්තය තුළ තම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළේය. කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට මෙම ගලවා ගැනීමේ මෙහෙයුමේ (ෆිල්සුඩ්ස්කි කුමන්ත්‍රණෙයේ) ස්වාභාවය කෙතරම් ගැටලු සහගත වී ද යත්, එය යුද්ධ නිලධාරියාගේ නැගිටීමට සහයෝගය දක්වනු පිනිස, පුද්ගලිකව වොර්ස්කි සහ අනෙක් අය මගින් නිර්ධන පන්තිය වීදි වලට කැදවාලීය.

 අද මෙම කරුණ කිසිසේත්ම ඇදහිය නොහැකි වූවක් සේ පෙනී යයි. එහෙත් එම අවස්තාවෙහි, එය කොමින්ටර්න් පිලිවෙතෙහි මුල දක්වාම කිදා බැස පැවතුණකි. ගොවි ජනතාව සදහා අරගලය අදබාලයන් (epigones) විසින් නිර්ධන පංතිය සුලු ධනේශ්වරය තුළට දිය කර හැරීමේ පිලිවෙත බවට හරවනු ලැබ තිබුනි. 

චීනය තුළ ක්වොමින්ටෑනයට(3) ඇතුලු වූ කොමියුනිස්ට් පක්ෂය එහි විනයට නිහතමානී ලෙස යටත් විය. ස්ටාලින් පෙරදිග සියලුම රටවල් සදහා ‘කම්කරු-ගොවි පක්ෂයක්’ යන සටන් පාඨය මතු කළේය. සෝවියට් සමූහාණ්ඩුව තුළ ‘සුපිරි කාර්මිකකරුවන්ට’ (වාම විරුද්ධ පාර්ශවය) ට විරුද්ධව අරගලය දියත් කෙරුනේ කුලැක්වරුන්(4) හා යහපත් සම්බන්ධතා පවත්වාගෙන යෑමේ නාමයෙනි. 

‘නිර්ධනීන්ගේ හා ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රීය ඒකාධිපතිත්වය’ 

රුසියානු පක්ෂයේ නායක කවයන් තුළ නිර්ධ පන්ති ඒකාධිපතිත්වයේ සටන් පාඨයෙන් හැරී  යලි 1905 සූත්‍රය කරා ආපසු යාමට කාලය අවුත් නොමැති ද යන ප්‍රශ්නය පිලිබද ව බොහෝ දුරට විවෘත ම සාකච්ඡා පැවැතියේ ය. එනම් ‘නිර්ධනීන්ගේ හා ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රීය ඒකාධිපතිත්වය’ නම් වූ, 1917 දී සමාජ සංවර්ධන සංතතිය මගින් යල්පැන ගියා සේ සලකා ලෙනින් විසින් ඉවතලන ලද මෙම සූත්‍රය අදබාලයන් විසින් ඉහලම උපමානයක් බවට හරවා ගනු ලැබින. 
Lanin
‘ප්‍රජාතන්ත්‍රීය ඒකාධිපතිත්වයේ කෝණයෙන් කොස්ටසේවා(5), රෝසා ලක්සම්බර්ග්ගේ උරුමය යලි තක්සේරු කළේ ය. වාර්ස්කි(6), එක්තරා කාලයක් වැනි වැනී සිටීමෙන් පසුව මනුයිල්ස්කිගේ(7), ආඥාවන්ගේ රිද්මයට දෙගුන තෙගුන වූ ඇපකැප වීමකින් පාද තබන්නට විය. 

ෆිල්සුඩ්ස්කිගේ කුමන්ත්‍රණය පුපුරා ගියේ මෙබදු කොන්දේසි යටතේ ය. පෝලන්ත පක්ෂයේ මධ්‍යමකාරක සභාවට “ගොවි ජනතාවට කිසියම් අවතක්සේරු කිරීමක්” පෙන්නුම් කිරීමට මාරක බියක් පැවතියේ ය. ‘ට්‍රොට්ස්කිවාදයට’ විරුද්ධ අරගලයේ පාඩම් ඔවුන් හොදින් උගෙන සිටි බව දෙවියෝ දනිත්! ප්‍රතිගාමී ආඥාදායකත්වයේ ‘ප්‍රජාතන්ත්‍රීය ඒකාධිපතීත්වයට’ මුළුමනින්ම පාහේ සහයෝගය දක්වනු පිනිස මධ්‍යම කාරක සභාවේ මාක්ස්වාදීන් විසින් කම්කරුවෝ කැදවනු ලැබූහ. 

ෆිල්සුඩ්ස්කිගේ භාවිතය: අදබාලයන්ගේ න්‍යාය ඉක්මනින්ම නිවැරදි කරනු ලැබුනි

ෆිල්සුඩ්ස්කිගේ භාවිතය විසින් අදබාලයන්ගේ න්‍යාය ඉක්මනින්ම නිවැරදි කරනු ලැබුනි. ජූලි මුල තරම් කල් තබාම කොමින්ටර්නයට මොස්කෝවේ දී පෝලන්ත පක්ෂයේ ‘වැරැද්ද’ නිරීක්ෂණය කිරීම කෙරෙහි සැලකිලිමත් වීමට සිදු විය. 

වෝර්ස්කි, කරුණු දැක්වීම් සහ ‘ස්වයං විවේචනය’ යන මාතෘකාව යටතේ විශේෂ කොමිසමේ වාර්තාව ඉදිරිපත් කළේය. එමෙන්ම සිදුකෙරී ඇති දෙයට පූර්ණ වගකීම කැමැත්තෙන් භාර ගතහොත්, මොස්කව් අධිපතීන්ව ආරක්ෂා කර දීමේ කොන්දේසිය මත පූර්ණ සමාවක් දෙන බවට ඒ වන විටත් ඔහුට පොරොන්දුවක් දෙනු ලැබ තිබුණි! 

වෝර්ස්කි ඔහුට පුලුවන් දේ කළේය. එහෙත් තමන් කළ ‘වරදට’ පාපෝච්චාරනය කරමින් නිරවද්‍ය වීමට පොරොන්දු වන අතරෙහි දී පවා තම අභාග්‍යයේ නිධානයන් වන මූලධර්ම ප්‍රශ්න කලඑලියට ගෙන ඒමට ඔහු අසමත් විය. 

සමස්තයක් හැටියට විවාදය අතිශයින් ම අරාජික ව්‍යාකූල මෙන් ම එක්තරා දුරකට වංක වූ ද ස්වරූපයක් ගැනුනි. අවසන් වශයෙන් සලකා බලන කල්හි ඒකායන අරමුණ වූයේ රෙද්ද නොතෙමා කබාය සේදීම ය.

මට දෙන ලද මිනිත්තු 10 ඇතුලත, ෆැසිස්ට්වාදයේ ඓයිතිහාසික කාර්යභාරයට සම්බන්ධිතව ෆිල්සුඩ්ස්කි කුමන්ත්‍රනය පිලිබදව තක්සේරුවක් කිරීමටත්, එමගින් පෝලන්ත පක්ෂ නායකත්වයේ ‘වරදෙහි’ මූලයන් අනාවරණය කිරීමටත් මම යත්න දැරුවෙමි. කොමිසමේ වැඩ කටයුතු ප්‍රසිද්ධ නොකෙරුනි. නමුත් මගේ කථාවට – ප්‍රසිද්ධ නොකෙරුනු කථාවට – විරුද්ධව සියලු භාෂා මගින් විවාදයක් වර්ධනය කරනු ලැබීම එයින් නොවැලැක්වුනි. 

මෙම විවාදයේ දෝංකාරය අදත් නොනැසී පවතී:

මෙම විවාදයේ දෝංකාරය අදත් නොනැසී පවතී. මගේ කතාවෙහි ලිඛිත පිටපතක් පුරාණ ලිපි අතර තිබී ලැබුන විට, එය ප්‍රසිද්ධියට පත් කිරීම විශේෂයෙන් ම වර්තමානයෙහි ජර්මනියේ සිදුවීම් වල එලිය වැටීමෙන්, අදටත් කිසියම් දේශපාලනික වැදගත් කමක් අත්පත් කර ගන්නා බව මම නිගමනය කළෙමි. ඓයිතිහාසික වර්ධනයෙහි විවිධ අදියරයන්හි දී දේශපාලන ප්‍රවනතා පරීක්ෂාවට භාජනය කළ යුතු ය. ඒවායෙහි සැබෑ අන්තර්ගතයන් ඒවායේ අභ්‍යන්තරීක ඒකමතික භාවයේ පරිමාවන් උචිත ලෙස තක්සේරු කළ හැකි වනුයේ එමගින් පමණි.

හය වසරකට ඉහත දී විශේෂ කොමිසමක් හමුවෙහි මිනිත්තු දහයක කාල සීමාවකට යටත්ව පැවැත්වුන කථාවකින් එහි අන්තර්ගත දෙයට වැඩි වූ යමක් ඔබට අපේක්ෂා කළ නොහැකි ය. යම් හෙයකින් මෙම වචන ඒවා මගින් ඇමතුනු පෝලන්ත සහෝදරවරුන් අතට පත් වුවහොත් සත්තකින්ම මේ ගැන පූර්ණ අවබෝධයක් ඇති ඔවුන්ට මා අසම්පූර්ණව පවසන දෑ සම්පූර්ණ කර ගැනීමටත්, සාවද්‍ය දෑ නිරවද්‍ය කර ගැනීමටත් පුලුවන් වනු ඇත.

ෆිල්සුඩ්ස්කිගේ කුමන්ත්‍රණය මගේ කථාවෙන් තක්සේරු කෙරුනේ ‘වැලැක්වීමේ’ (කල් තබා ප්‍රවේශම් වීමෙන්) හැකියාව තිබූ එකක් හැටියට ය. අදත් ඇතැම් අර්ථයකින් මෙම හැදින්වීම පිලිගත හැකි ය. 

පෝලන්තය තුළ විප්ලවීය අවස්ථාව, 1920 ඉතාලියේ ද, පසුව 1923 සහ 1931-32 ජර්මනියේ ද පත් වූ පරිනත අවස්ථාවට ලං නොවූ හෙයින් පෝලන්තය තුළ ෆැසිස්ට් ප්‍රතිගාමීත්වය ද එතරම් ගැඹුරක් හා තීව්‍රතාවක් අත්පත් කර නොගත්තේ ය. 
''පෝලන්තය තුළ විප්ලවීය අවස්ථාව, 1920 ඉතාලියේ ද, පසුව 1923 සහ 1931-32 ජර්මනියේ ද පත් වූ පරිනත අවස්ථාවට ලං නොවූ හෙයින් පෝලන්තය තුළ ෆැසිස්ට් ප්‍රතිගාමීත්වය ද එතරම් ගැඹුරක් හා තීව්‍රතාවක් අත්පත් කර නොගත්තේ ය.'' 
එසේම අවුරුද්දක් ගතවූ පසුවත් ෆිල්සුඩ්ස්කි තම කටයුතු පරිපූර්ණත්වයට පත් නොකළේ  කුමක් හෙයින් ද යන්නත් මෙයින් පැහැදිලි වෙයි.

''ෆිල්සුඩ්ස්කිගේ පාලනය, මුසෝලිනිගේ පාලනය මෙන් දිග් නොගැස්සෙනු ඇත යන අපේක්ෂාව''

කුමන්ත්‍රණයේ ‘වලක්වාගැනීමේ’ හැකිකමේ ස්වාභාවය පිළිබද කථාවෙන් ප්‍රකාශයට පත් කෙරුනේ ෆිල්සුඩ්ස්කිගේ පාලනය, මුසෝලිනිගේ පාලනය මෙන් දිග් නොගැස්සෙනු ඇත යන අපේක්ෂාව යි. අවාසනාවකට 1926 දී අප කිසිවකු අපේක්ෂා නොකළ ආකාරයට පාලන කාල දෙකම දිග්ගැස්සී තිබේ. 

මෙයට හේතුව රදා ඇත්තේ හුදෙක් විශයානුබද්ධ කොන්දේසි වල පමණක් නොව කොමින්ටර්නයේ පිලිවෙත් වලය. මෙම පිලිවෙත් වල මූලික වැරදි මෙම කථාවෙන් දැක්වෙන බව පාඨකයාට පෙනී යනු ඇත. සත්තකින් ම ඒවා දැක්වෙනුයේ ඉතා ප්‍රවේසම් සහගතවය. රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස එදා මට කථා කිරීමට සිදු වූයේ විනයකට යටත් ව බව මෙහි දී  සිහිපත් කළ යුතුය.  

පෝලිෂ් සෝෂලිස්ට් පාටි:

ෆිල්සුඩ්ස්කිවාදයට සම්බන්ධිතව පී.පී.එස්(8) (පෝලිෂ් සෝෂලිස්ට් පාටි) සංවිධානයේ ආරම්භක රාජකාරිය විසින් ‘සමාජ ෆැසිස්ට්වාදය’ (Social Fascism) පිලිබද න්‍යායටම එක්තරා දුරකට අපූර්ව සහයෝගයක් දෙනු ලැබුනු බව කෙනෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ය. 

ධනේශ්වරයේ ප්‍රජාතන්ත්‍රික හා ෆැසිස්ට්වාදී ආයතන අතර පරස්පර විරෝධය ඉස්මතු කරවීම මගින් පසුකාලීන වසරවලදී, මෙහි කළ යුතු වූ අවශ්‍ය නිරවද්‍ය කිරීම් ද සපුරාලීය. මෙම පරස්පර විරෝධයන් අතර වෙනස පරමයක් හැටියට සලකුවොත් ඕනෑම කෙනෙකු අනිවාර්යයෙන් ම අවස්ථාවාදයේ මාවතට හැරෙනු ඇත. මෙය ඔප්පු කෙරෙන සාධක තවදුරටත් අවශ්‍ය වන්නවුන් කළ යුත්තේ හුදෙක් ජර්මනිය දෙස දෙනෙත් හෙලීම ය.


Trotsky along with members of the Left Opposition 1927             ට්‍රොට්ස්කි වාම විරුද්ධ පාර්ශවයේ සාමාජිකයන් සමග (1927)සේයා – bolshevik.info වෙබ් අඩවියෙන්

පෝලන්ත ප්‍රශ්නය ගැන (ජූලි 1926) :

මම, ඊයේ සහ  අද සැසි වාරයන්හි දී යලි යලිත් ඉස්මතු වුනු, පොදු වැදගත්කමක් ඇති ප්‍රශ්න දෙකක් පමණක් සාකච්ඡාවට භාජනය කරනු කැමැත්තෙමි.

පළමු ප්‍රශ්නය නම් ෆිල්සුඩ්ස්කිවාදය යනු කුමක් ද? එය ෆැසිස්ට්වාදයට සම්බන්ධිත කෙසේ ද? යන්න යි.

දෙවන ප්‍රශ්නය නම් පෝලන්ත කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කළ වරදෙහි මූලයන් මොනවාද? යන්නයි. මෙහි දී ‘මූලයන්’ යන්නෙන් මා අදහස් කරන්නේ පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට සම්බන්ධව නොව, යුගයේ කොන්දේසි හා බැදී පවතින වෛශයීක දෑ ය; එහෙත් එමගින් මම කිසිසේත් ම පුද්ගල වගකීම ඌණනය නොකරමි.

පළමුවන ප්‍රශ්නය: ෆිල්සුඩ්ස්කිවාදය හා ෆැසිස්ට්වාදය


මෙම ප්‍රවාහයන් දෙකටම පොදු ලක්ෂණ තිබෙන බවට සැකයක් නැත. ඒවායේ හදිසි භටකායන් වෙන කොතැනකින් හෝ බදවා ගනු ලැබෙනවාට වඩා බදවා ගනු ලැබෙනුයේ සුළු ධනේශ්වරයෙනි. ෆිල්සුඩ්ස්කිත් මුසෝලිනිත් යන දෙදෙනාම පාර්ලිමේන්තුවට පරිබාහිර, නග්න ලෙස ප්‍රචන්ඩ වූ ක්‍රම මගින් ක්‍රියාත්මක වූහ. ඒ දෙදෙනා ම යත්න දැරුවේ ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමට නොව ආරක්ෂා කිරීමට ය. 

සුළු ධනේශ්වරය නැගිටුවා ගැනීමේ හේතුවෙන්, බලයට ආ පසුව මහ ධනේශ්වරයත් සමග විවෘතවම ගැටෙන්නට ඒ දෙදෙනාටම සිදු විය. මෙහි දී නිතැතින් ම ඓයිතිහාසික සාමාන්‍යයීකරණයක් සිතට නැගේ; ජැකොබින්වාදය(9), ධනේශ්වරයේ වැඩවසම් සතුරන් හා ගනුදෙනු බේරුම් කිරීමේ ප්ලේබියන්(10) මාර්ගයකැයි මාර්ක්ස් කළ හදුන්වා දීම සිහිපත් කර ගැනුමට කෙනෙකුට බල කෙරේ. ඒ ධනේශ්වරයේ නැගීම පිලිබද කාල පරිච්ඡේදයෙහි ය.

 දැන්, ධනේශ්වර සමාජයේ පරිහානිය පිලිබද කාල පරිච්ඡේදයෙහි ධනේශ්වරයට යලි වතාවක් තම ප්‍රශ්න විසදා ගනු වස් ‘ප්ලේබියානු’ ක්‍රම අවශ්‍යව පවතින බව පැවසිය යුතුය. එම ක්‍රම තව දුරටත් ප්‍රගතිශීලී නොවන අතර පරිපූර්ණයෙන්ම ප්‍රතිගාමී වෙයි. මේ අර්ථයෙන් ගත් කල්හි ෆැසිස්ට්වාදය තුළ ජාකොබින්වාදයේ ප්‍රතිගාමී විකට රූපයක් ගැබ් වෙයි.

ධනේශ්වරයට තමන් නැගී එන කාලපරිච්ඡේදයේ තම වර්ධනයට සහ ආධිපත්‍යයට නිලධාරි තාන්ත්‍රික-වැඩවසම් රාජ්‍යයේ සීමාවන් තුළ පදනමක් තහවුරු කර ගැන්මට නුපුලුවන් විය. නව ධනේශවර රාජ්‍යයේ විකසිත වීම සහතික කරනු පිනිස පැරණි සමාජය සමග ජැකොබියානු ක්‍රමයට ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවය පැන නැගුනි. 

පරිහානියට යන ධනේශ්වර ක්‍රමය තමන්ගේම නිර්මාණ වන විධික්‍රම හා උපක්‍රම එනම් පාර්ලිමේන්තුවාදී රාජ්‍ය ආදී වූ ක්‍රම මගින් තවදුරටත් තම බලය පවත්වා ගැනීමට අපහොහොසත් වෙයි. එයට ආත්මාරක්ෂක ආයුධයක් හැටියට, අඩු ගණනේ අතිශයින්ම තීරණාත්මක අවස්ථාවල, ෆැසිස්ට්වාදය අවශ්‍ය වෙයි.  

ධනේශ්වරයට තම ප්‍රශ්න විසදා ගැනුමට ‘ප්ලීබියානු’ උපක්‍රම නොරිසි වෙයි. ධනේශ්වර සමාජයේ වර්ධනයට ලෙයින් මාවතක් විවෘත කළ ජැකොබින්වාදය කෙරෙහි එය අතිශයින් ම වෛරී ආකල්පයක් දැරී ය. නැගී එන ධනේශ්වරයට ජැකොබින්වරු සමීපස්ථ වූ පරිමානයට වඩා බෙහෙවින්, පරිහානියට යන ධනේශ්වරයට ෆැසිසිට්වාදය සමීපස්ථ වෙයි. 

එහෙත් ස්ථාපිත ධනේශ්වරය ප්‍රශ්න විසදාගනු වස් ෆැසිස්ට්වාදී ක්‍රම වලට ද කැමැත්තක් නොදක්වයි. ඒ ධනේශ්වර ක්‍රමයේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක වුවත් එහි හදිසි කම්පනයන් හා කැරලිකාරී කැළඹීම් වල අනතුරක් ද ගැබ්ව පවතින හෙයිනි. 

ෆැසිස්ට්වාදයත්, ධනේශ්වරයේ සම්ප්‍රදායික පක්ෂත් අතර පවතින සතුරුකමෙහි උල්පත මෙය වෙයි.

ෆිල්සුඩ්ස්කිවාදය : සුලු ධනේශ්වර ව්‍යාපාරයක් වන බවට විවාදයක් නැත

ෆිල්සුඩ්ස්කිවාදය, එහි මූලයන් ගෙන් ද, එහි පෙලඹීම් වලින් ද, එය මතු කරන සටන් පාඨ වලින්ද සුලු ධනේශ්වර ව්‍යාපාරයක් වන බවට විවාදයක් නැත. තමන් කුමන මාවතක් ගන්නේදැයි ෆිල්සුඩ්ස්කි කල් තබා දන සිටියේ ද යන්න සැක කළාට කම් නැත. ඔහු වෙසෙසින් බුද්ධි සම්පන්න ද නොවූ හෙයිනි.

 ඔහුගේ ක්‍රියා කලාපයෙන් පෙනී යන්නේ ඔහු අවිශිෂ්ඨ පුද්ගලයෙකු වූ බව ය. (වාලෙකි(11): ‘ඔබ වරදක් කරයි’) එහෙත් මොනම ආකාරයකින්මත් මගේ අරමුණ ෆිල්සුඩ්ස්කිගේ චරිත ලක්ෂණ ගෙන හැර දැක්වීම නොවේ; මම නොදනිමි, ඇතැම් විට ඔහුට අනෙක් අය දුටුවාට වඩා දුරදිග පෙනෙන්නට ඇත. කෙසේ වෙතත් අවශ්‍ය දේ ඔහු නොදැන සිටියත් පෙනෙන හැටියට, ඔහු සත්තකින්ම තමන්ට මඟ හැරීමට අවශ්‍ය දේ නම් දැන සිටියේය. 

එය නම්, අන් සියල්ලටමත් වඩා වැඩ කරන මහ ජනතාවගේ විප්ලවීය ව්‍යාපාරයකි. ඔහුට නොවැටහෙන දෙයක් වී නම් ඒ, අනෙක් අය, ඇතැම්විට ඉංග්‍රීසි ජාතික තානාපති පවා, ඔහු වෙනුවෙන් කල්පනා කිරීමය. කෙසේ වෙතත් ෆිල්සුඩ්ස්කි නායකත්වය දුන් ව්‍යාපාරය, එහි මූලයන්, පෙලඹීම් හා සටන්පාඨ වලින් සුලුධනේශ්වර ද, එසේ ම පරිහානියට හා විනාශයට යන ධනේශ්වර සමාජය පෙළන ප්‍රශ්න විසදීමෙහි ප්ලීබියානු ක්‍රමයක් ද වූ නමුත්, ඉක්මනින් ම මහ ධනේශ්වරය හා පොදු පදනමක් සොයා ගති. මෙහි ඉතාලියානු ෆැසිස්ට්වාදය හා ඍජු සමාන්තරයක් පවතී.

''පාර්ලිමේන්තුවාදයට එතරම් වැදගත්කමක් අත්පත් කර දුන් සුලු ධනේශ්වරය ම එය බරක් හැටියට සලකමින් පාර්ලිමේන්තුවාදී නොවන මාවත් වලින් ගැලවීමක් සොයයි. ෆිල්සුඩ්ස්කිවාදය සුලු ධනේශ්වරයේ ගැටලු වලට පාර්ලිමේන්තුවාදී නොවන මාවතක් සෙවීමේ ප්‍රයත්නයකි. ''

සුලු ධනේශ්වරය ඉතාම දීප්තිමත් ලෙස ක්‍රියාත්මක වන ක්ෂේත්‍රය වනාහී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යයි මෙහි දී වාර්ස්කි කියා සිටියේ ය. එසේ වෙතත්, සැම විටම ද සියලුම කොන්දේසි යටතේ ද එය එසේ නොවේ. දීප්තිය නැතිව ගොස් ප්‍රභාව ක්ෂය වී, එය තව තවත් තමන්ගේ දුර්වලතා පෙන්නුම් කිරීමට ද පටන් ගත හැකිය. 

මහ ධනේශ්වරය ම තමන් යනඑනමං නොමැතිව සිටින හෙයින් පාර්ලිමෙන්තුවාදී ක්ෂේත්‍රය ම මෙම යනඑනමං නොමැති කමත්, සමස්තයක් හැටියට ධනේශ්වර සමාජයේ පරිහානියත්, පිලිඹිබු කරන්නට පටන් ගනී. 

පාර්ලිමේන්තුවාදයට එතරම් වැදගත්කමක් අත්පත් කර දුන් සුලු ධනේශ්වරය ම එය බරක් හැටියට සලකමින් පාර්ලිමේන්තුවාදී නොවන මාවත් වලින් ගැලවීමක් සොයයි. ෆිල්සුඩ්ස්කිවාදය සුලු ධනේශ්වරයේ ගැටලු වලට පාර්ලිමේන්තුවාදී නොවන මාවතක් සෙවීමේ ප්‍රයත්නයකි. 

එහෙත් මෙම කරුණ තුළම මහ ධනේශ්වරයට යටත් වීමේ අනිවාර්යතාව රදා පවතී. සුළු ධනේශ්වරය, පාර්ලිමේන්තුවේ දී ඉඩම් හිමියා, ධනපතියා, සහ බැංකුකරුවා හමුවෙහි ‘තොග’ පදනමක පිහිටා යලි යලිත් තම බංකොලොත්කම පෙන්නුම් කරයි නම්, තම ගැටලුවට පාර්ලිමේන්තු ක්‍රමයට පරිබාහිර වූ විසදුවක් සෙවීමට යත්න දැරීමේ දී, තමන් බලය අල්ලා ගන්නා මොහොතෙහි තම සාමාජයීය වඳ බව පරිසමාප්ත වශයෙන් අනාවරණය කරයි. 

මුලින් ම කෙනෙකු තුළ පහල වන ධාරණාව නම් අසිපත අතට ගත් සුලුධනේශ්වරය, ධනේශ්වර රාජ්‍යයට විරුද්ධ ව ක්‍රියාත්මක වන බව ය. එහෙත් එම කැරැල්ල නිමාවට පත් වනුයේ, ලේ වැකි මාවතෙහි ගමන් කිරීමේ දී තමන් අත්පත් කර ගත් බලය තම ප්‍රධානීන් මගින් මහ ධනේශ්වරය අතට පත් කිරීමෙනි. පෝලන්තයේ සිදු වුයේ එය යි. එයම මධ්‍යම කාරක සභාවට වටහා ගත නොහැකි විය.

කම්මුල ඉදිමුණ මිනිසෙකු දත උගුලුවා දැමීමට අකමැති වන සේ, මහ ධනේශ්වරය මෙම විධික්‍රමයට අකමැති වෙයි. ධනේශ්වර සමාජයේ නම්බුකාර කොටස් ෆිල්සුඩ්ස්කි දත් දොස්තරගේ සේවයන් නිරීක්ෂණය කළේ වෛරයෙනි. එහෙත් අවසානයේ දී ඔවුහු සත්තකින්ම ප්‍රතිරෝධය පෑමේ තර්ජන ද හෙට්ටු කිරීම් හා කරච්චල් කිරීමේ ද සහිත ව අනිවාර්යතාවට යටත් වූහ. 


''අරුමයකි! ඊයේ සුලු ධනේශ්වරයේ සුරුවම අද ප්‍රාග්ධනයේ පොලිස් භටයා බවට පරිවර්තනය ව ඇත! ''

අරුමයකි! ඊයේ සුලු ධනේශ්වරයේ සුරුවම අද ප්‍රාග්ධනයේ පොලිස් භටයා බවට පරිවර්තනය ව ඇත! සිදුවීම් දාමයෙහි සිනමාත්මක වේගය එනම්, පරිබාහිර වශයෙන් විප්ලවවාදී සටන්පාඨ, තාක්ෂණය, කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ප්‍රහාරයෙන් දේපල හිමියන් ආරක්ෂා කිරීමේ ප්‍රතිවිප්ලවවාදී පිලිවෙතක් බවට පරිවර්තනය වීමේ තැති ගන්වන සුලු වේගය පුදුමාකාරය. 

එහෙත් ෆිල්සුඩ්ස්කිවාදයේ පරිනාමය මුලුමනින්ම නීතියට අනුකූලය. වේගය ගැන සදහන් කළහොත්, එය අදියර පැන ඒමෙන් කාලය පිළිබද අවශ්‍යතාව ප්‍රහීන කළ සිවිල් යුද්ධයේ ප්‍රතිඵලය වෙයි.

ෆිල්සුඩ්ස්කිවාදය ‘වාම ෆැසිස්ට්වාදී’ ද? නැතහොත් ‘වාම විරෝධී’ ද? මෙසේ අනන්‍යතාව සොයා යෑමේන් පලක් වේ යයි මම නොසිතමි. ෆැසිස්ට්වාදයේ ‘වාමවාදය’ කුපිත වූ සුලු දේපල හිමියාගේ මංමුලාව අවදි කරවීමේ හා පෝෂණය කරවීමේ අවශ්‍යතාවයෙන් පැන නගී. 

විවිධ රටවල, විවිධ කොන්දේසි යටතේ ‘වාමවාදයේ’ විවිධ පරිමානයේ බෙහෙත් වේල් මගින්, මෙය විවිධාකාරයෙන් සිදු කෙරේ. එහෙත් සාරය වශයෙන් ගත් කල්හි ෆිල්සුඩ්ස්කිවාදය සාමාන්‍යයෙන් ෆැසිස්ට්වාදය කරන අයුරින් ප්‍රතිවිප්ලවවාදී කාර්යභාරයන් ඉෂ්ට කරයි. 

මෙය වනාහී පාර්ලිමේන්තු විරෝධී වූත් සියල්ලටම වඩා නිර්ධන පන්ති විරෝධී වූත් ප්‍රතිවිප්ලවයකි. පරිහානියට යන ධනේශ්වරය, එහි උදව්වෙන් – තාවකාලික වූ හෝ ජයග්‍රහණයකින් තොර ව ම නොවේ – තම මූලික බලතල ආරක්ෂා කොට පවත්වා ගෙන යාමට යත්න දරයි.

ෆැසිස්ට්වාදය, ජැකොබින්වාදයේ විකට රූපයක් !

මම ෆැසිස්ට්වාදය, ජැකොබින්වාදයේ විකට රූපයකැ යි පැවසුවෙමි. නිෂ්පාදන බලවේග විනාශ කරමින්, සමාජයේ සංස්කෘතික මට්ටම පහත හෙලන නූතන ධනේශ්වර ක්‍රමය, සෑම ක්ෂේත්‍රයක ම මානව වර්ගයාගේ ශක්තිය වර්ධනය කළ යොවුන් ධනේශ්වර ක්‍රමයට සම්බන්ධිතව පවතින අයුරින් ම ෆැසිස්ට්වාදය ජැකොබින්වාදයට සබ්මන්ධිතව පවතී. 

සත්තකින් ම ෆැසිස්ට්වාදය හා ජැකොබින්වාදය අතර සසැදීම සාමාන්‍යයෙන් ඕනෑ ම පුලුල් ඓතිහාසික සැසදීමක් සේ ම නීත්‍යානුකකූල වනුයේ යම් යම් නිශ්චිත සීමාවන් තුළ හා එක්තරා නිශ්චිත දෘෂ්ටිකෝණයකින් පමණි. එහි යුක්ති සහගත සීමාවන්ගෙන් ඔබ්බට මෙම සැසදීම් විස්තීර්ණ කිරීමට දරන ප්‍රයත්නය ව්‍යාජ නිගමනයන් පිලිබද අනතුර ගැබ් කර ගනී. 

එහෙත් එම සීමාවන් ඇතුලත එයින් යමක් පැහැදිලි කෙරේ. ධනේශ්වර සමාජයේ අග්‍රයන් ට, සමාජය වැඩවසම්වාදයෙන් පිරිසිදු කර ගත නොහැකි විය. ඒ සදහා සුලුධනේශ්වරයේ අවශ්‍යතා, ආසාවන් හා මංමුලාවන් මෙහෙයවා ගත යුතු විය.

 ධනේශ්වර සමාජයේ අග්‍රවූවන්ට ප්‍රතිපක්ෂ අරගලය මගින් සුලුධනේශ්වරය මෙම වැඩ කරා ගෙන ගියද අවසාන විග්‍රහයේ දී එය සේවය කළේත් ඔවුන්ට ම මිස අනෙකෙකුට නම් නොවේ. එසේම ෆැසිස්ට්වාදීහු ද, පාලක කවයන්ට සහ නිල රාජ්‍ය යන්ත්‍රයන්ට විරුද්ධ අරගලයේ දී හෝ පාර්ශවීය අරගලයේ දී සුලුධනේශ්වර මහජන මතයත් තමන්ගේ ම සන්නද්ධ හමුදා ඒකකයනුත් බලමුලු ගන්වා ගනී. 

ධනේශ්වර සමාජයට ක්ෂණික විප්ලවීය තර්ජනය වඩාත් බලගතු වූ පමණට, තාවකාලිකව විප්ලවය අපේක්ෂා කරන සුලුධනේශ්වරයේ මංමුලාව වඩාත් තියුණු වූ පමණට ෆැසිස්ට්වාදයට තම බලමුලු ගන්වා ගැනීම පහසු වෙයි.

පෝලන්තය තුළ මෙම බලමුලු ගන්වා ගැනීම සදහා කොන්දේසි අපූරු ද සංකීර්ණ ද විය: ඒවා නිර්මාණය කෙරුනේ ආර්ථික හා දේශපාලනික යනඑනමං නොමැති කමිනුත් විප්ලවයට පැවැති අවකාශය අදුරු වීමෙනුත්, එයට සම්බන්ධිත ‘මුස්කෝවාදී’ (Muscovite) අනතුරෙනුත් ය.

මෙහි සිටින එක් පෝලන්ත ජාතික සහෝදරයෙක් – ඔහු ලෙසින්ස්කි යයි මම සිතමි – සැබෑ ෆැසිස්ට්වාදීන් සැග වී සිටින්නේ ෆිල්සුඩ්ස්කි කදවුරෙහි නොව, ජාතික ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ කදවුරෙහි යයි ගම්‍ය වන පරිද්දෙන් අදහස් ඵල කළේය.

 එනම්, නිදර්ශන වශයෙන් පැවසුවොත් එක් වාරයක් නොව, බොහෝ වාර ගණනක් සමූල ඝාතන ක්‍රියාත්මක කළ වර්ගවාදී කල්ලි වල ආධාරය ලබන මහ ධනේශ්වරයේ පක්ෂය තුළයි. තත්ත්වය මෙය ද? ජාතික ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ආධාරක හමුදා සෑහෙතොත් ඒ හුදෙක් එදිනෙදා කටයුතු සදහා ය. 

පාර්ලිමේන්තුවාදයට, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කිරීම සදහා..

එහෙත් පාර්ලිමේන්තුවාදයට, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කිරීම සදහා ජාතියේ පුලුල් කොටස් සියල්ලන්ට ම වඩා නිර්ධනීන් නැගිටුවා ගැනීමට – රාජ්‍ය බලය මිලිටරි හස්තයක් බවට හරවා ගැනීමට නම් ඒ සදහා ධනපතීන් ගේ හා ඉඩම් හිමියන්ගේ පක්ෂය නොසෑහේ. නගරයේ හා ගම්බද සුලුධනේශ්වරය සේ ම නිර්ධනීන්ගේ පසුගාමී කොටස් ද බලමුලු ගන්වා ගැනීමට, යමකු අතෙහි සුලුධනේශ්වර සමාජවාදයෙහි මෙන්ම විප්ලවීය ජාතික විමුක්ති ව්‍යාපාරයෙහි ද සම්ප්‍රදායන් බදු දේශපාලනික මූලාශ්‍රයන් තිබීම අවශ්‍ය වෙයි.

 ජාතික ප්‍රජාතන්ත්‍රවාදීන් අත එවැන්නක සලකුණකුදු නොවීය. කිසියම් කාල පරිච්ඡේදයකට පී.පී.එස්. සංවිධානය ද තමන්ට ගැට ගසා ගත් යුද්ධ නිලධාරී ෆිල්සුඩ්ස්කි විසින් පමණක්ම පෝලන්තයේ සුලුධනේශ්වරය බලමුලු ගන්වා ගැනීම සපුරා ගත හැකි වුයේ එහෙයිනි. එහෙත් බලය දිනා ගැනීමෙන් අනතුරුව ස්වාධීනව එය හසුරුවාලීමට සුලුධනේශ්වරය අපොහොසත් වෙයි. 

නිර්ධන පන්තියේ පීඩනය යටතේ එය අත්හැර දැමීමට හෝ නිර්ධන පංතිය බලය අල්ලා ගැනීමට අපොහොසත් වේ නම් මහ ධනේශ්වරයට බලය පවරා දීමට හෝ සුලුධනේශ්වරයට සිද්ධ වෙයි. එසේ පවරා දෙනු ලැබෙන එම බලය තවදුරටත් පවත්නේ විසිර ගිය එකක් සේ නොව නව සංකේන්ද්‍රිත රූපාකාරයකිනි.

පෝලන්තය තුළ සුලුධනේශ්වර සමාජවාදයේ සහ ජාතිකවාදයේ මිත්‍යාවන් ගැඹුරු වූ පමණට හා ආර්ථික හා පාර්ලිමේන්තුවාදී දූර්ඝයන් පිළිබද කොන්දේසි තුළ ඔවුන් බලමුලු ගන්වා ගැනීම කලබලකාරී වූ පමණටත් මෙම ව්‍යාපාරයේ ජයග්‍රාහී නායකයා තමන්ට ඔටුනු පලදවන ලෙස යදිමින් මහ ධනේශ්වරය ඉදිරියේ දනින් වැටීම ද, වඩාත් නිර්ලජ්ජිත ද නරුම හා ක්ෂණික ද වන්නේ ය. පෝලන්ත සිදුවීම් වල පවතින සිනමාත්මක වේගය වටහා ගැනීමේ යතුර ද මෙය වෙයි.

Benito Mussolini                                        බෙනිටෝ මුසෝලිනි

මුසෝලිනිගේ ලොකු, එසේම කල් අල්ලා සිටින ජයග්‍රහනය එසේ අත්පත් කර ගත හැකි වූ යේ 1920 සැප්තැම්බරයේ විප්ලවය ධනේශ්වර සමාජයේ සියලුම මුක්කු හා බැමි ලිහිල් කළ ද නිමාවක් කරා නොගෙන යන ලද බැවිනි. විප්ලවය බැස යෑමේ ද සුලුධනේශ්වරයේ අසන්තුෂ්ටියේ ද නිර්ධනීන්ගේ විඩාපත් බවෙහි ද පදනම මත මුසෝලිනි තම සැලැස්ම ඇද එය ක්‍රියාවට දැමීය.

පෝලන්තය තුළ කටයුතු එතරම් දුර නොගියේ ය. ආණ්ඩුව දුර්ගයකට සපැමිණ සිටිය ද ඍජුව විප්ලවීය වූ අවස්ථාවක්, සටනට පිවිසීමට ජනතාව තුළ පවතින සූදානමෙහි අර්ථයෙන්, තවමත් නොපැවතුනි. විප්ලවීය අවස්ථාව මග එමින් තිබුනි. එහෙයින් ෆිල්සුඩ්ස්කිගේ කුමන්ත්‍රණය, ඔහුගේ මුලු ‘‘ෆැසිස්ට්වාදය’’ සේ ම, (විප්ලවය) වලක්වාලීමේ අරමුණැති, එනම් අනතුරු වැලැක්වීමේ ප්‍රතිවිප්ලවයක් සේ පෙනී යයි. 

ෆිල්සුඩ්ස්කිගේ ආණ්ඩුවට ඉතාලියානු ෆැසිස්ට්වාදයට තරම් දිගුකාලීන පැවැත්මකට පවතින අවස්ථා අඩු යයි මට සිතෙනුයේ එහෙයිනි. මුසෝලිනි ඒ වන විටත් අභ්‍යන්තරයෙන් බිදී ගිය විප්ලවයේ ද ඉන් අනතුරුව නිර්ධන පන්තිය අතර ඇති වූ අනිවාර්ය පරිහානියේ ද වාසිය ඩැහැ ගත්තේ ය. අනෙක් අතට ෆිල්සුඩ්ස්කි එලඹෙමින් පැවැති විප්ලවයක් අතරමග නතර කරමින් එහි නවමු මුහුන් වලින් එක්තරා පරිමානයකට තමන් ඉස්මතු වෙමින්, තමන් පසුපස ආ ජනතාව නරුම ලෙස වංචාවට ගොදුරු කළේ ය. ෆිල්සුඩ්ස්කිවාදය විප්ලවීය උද්ගතය පිළිබද රළ වේගයේ සිදුවීමක් විනා පරිහානිය පිලිබදව වූවක් නොවේය යන බලාපොරොත්තුවට මෙයින් අවකාශ පෑදේ.


Bundesarchiv Bild 183 B0527 0001 293 Warschau Empfang Goebbels bei Marschall Pilsudski 768x524                      1934 ජූනි 15, වර්සෝ හි දී ෆිල්සුඩ්ස්කි විසින් නාසි ජර්මනියේ ප්‍රචාරක අමාත්‍ය ජෝසෆ් ගොබෙල්ස් පිළිගැනීම  (සේයා – විකිපීඩියා)
දෙවන ප්‍රශ්නය – පෝලන්ත පක්ෂයේ නායකයන් සිදු කළ වරදෙහි වෛශයික මූලයන්

මා මතු කරන දෙවන ප්‍රශ්නය පෝලන්ත පක්ෂයේ නායකයන් සිදු කළ වරදෙහි වෛශයික මූලයන් හා සම්බන්ධ ය. අපේක්ෂාවන්ගෙන් මෙන්ම මිත්‍යාවන්ගෙන් ද සමන්විත සුලුධනේශ්වරයේ පීඩනය, මැයි කුමන්ත්‍රණය පිලිබද දින වල දැඩි ලෙස බල පැවැත්වී ය. මෙම අදියරෙහි දී පක්ෂය මහජනයා දිනා ගෙන මුලු ව්‍යාපාරය ම සැබැවින් ම විප්ලවීය වූ මාවතකට යොමු කරවීමට අසමත් වූයේ ඇයි ද යන්න මෙයින් පැහැදිලි වෙයි. 

එහෙත් මෙයින් පක්ෂ නායකත්වයට කිසිම සමාවක් අත් නොවේ. එය සුලුධනේශ්වර අරාජකත්වයට බියගුලු ලෙස යටත්ව සුක්කානම හෝ රුවල් හෝ නොමැතිව ඔහේ ඒ සමග පා වී ගිය හෙයිනි. වරදෙහි මූලික හේතූන් විමසා බැලුවොත්, ඒවා අප විසින් විප්ලවීය යයි හැදින්වෙන, එහෙත් ඒ හා සම්බන්ධ සියලු තියුණු දගර ගැසීම් හා (දිසානතියේ) හැරීම් යනාදිය සහිතව අප විසින් කල්තියා කිසිසේත් මැනවින් දැනගනු නොලැබෙන, මේ අපගේ යුගයේ ස්වාභාවයට සම්බන්ධිත වෙයි. 

මෙම දැනීමෙන් තොර ව එක් එක් සුවිශේෂ සංයුක්ත අවස්ථාව ග්‍රහනය කර ගැනීමට පුලුවන්කමක් නැත. අපගේ කාල පරිච්ඡේදය, පූර්ව – යුද්ධ කාල පරිච්ඡේදයෙන් වෙනස් වනු යේ, අර්බූදයෙන් පිරී පුපුරන සුලු කාලපරිච්ඡේදයක්, (හා) ක්‍රමානුකූලව, සාපේක්ෂ ක්‍රමවත් බවකින් ඓන්ද්‍රීයව වර්ධනය වන කාලපරිච්ඡේදයකින් වෙනස් වන අයුරිනි. පූර්ව – යුද්ධ කාලපරිච්ඡේදයෙහි යුරෝපය තුළ නිෂ්පාදන බලවේග වල වර්ධනය ද, පන්ති විෂමතාවයන්හි තියුණු වීම ද; හා එක් ද්‍රැවාන්තයක අධිරාජ්‍යවාදයේ වර්ධනය හා අනෙක් ද්‍රැවාන්තයෙහි සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනය ද අපට දැකිය හැකි විය.

 නිර්ධන පන්තිය විසින් බලය දිනා ගැනීම මෙම සන්තතියේ දුරස්ථ එහෙත් අනිවාර්ය කුළුගැන්වීම ලෙස චිත්‍රනය කෙරින. වඩාත් සංක්ෂිප්ත ව පැවසුවහොත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ අවස්ථාවාදීන්ට හා මධ්‍යමිකයන්ට(12) සමාජ විප්ලවය යන්න හරයෙන් තොර වගන්තියක් විය; යුරෝපීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ වාමාංශයට එය ක්‍රමිකව හා ක්‍රමවත් ව ඇති කර ගන්නා, අවශ්‍ය සූදානමකින් මුහුන දිය යුතු දුරස්ත එල්ලයක් විය. 

''යුද්ධය මෙම යුගය නිමාවකට ගෙනෙමින් එහි පරස්පර විරෝධයන් දැඩි ලෙස අනාවරණය කළේ ය.''

යුද්ධය මෙම යුගය නිමාවකට ගෙනෙමින් එහි පරස්පර විරෝධයන් දැඩි ලෙස අනාවරණය කළේ ය. යුද්ධයත් සමගම නව යුගයක් ඇරඹිනි. කෙනෙකුට තවදුරටත් නිෂ්පාදන බලවේග වල ක්‍රමික වර්ධනය, කාර්මික නිර්ධන පංතියේ අඛන්ඩ සංඛ්‍යාත්මක වර්ධනය, යනාදිය පිලිබද ව කථා කිරීමට නුපුලුවන. ආර්ථිකයෙහි එක්කෝ පරිහානියක් නැතහොත් පල් වීමක් පවතී, රක්ෂා විරහිත භාවය අසාධ්‍ය රෝගයක්ව තිබේ. 

යුරෝපීය රටවල ආර්ථික වක්‍රයේ වෙනස් වීම් හෝ දේශපාලන තත්ත්වයේ වෙනස් වීම් හෝ අප කොලයක සටහන් කළොත් අපට ලැබෙන්නේ කලින් කලට ඇති වන වෙනස්කම් සහිත ව ක්‍රමිකව ඉහල නගින වක්‍රයක් නොව, ඉහලට හා පහලට උමතු තියුණු නැමි සහිත උණ රෝගයෙන් පෙලෙන වක්‍රයකි. 

මූලික වශයෙන් නොවෙනස්ව පවතින ස්ථිතික ප්‍රාග්ධනයක රාමුව තුළ ආර්ථික වක්‍රයේ ක්ෂනික වෙනස් වීම් හට ගනී. ආර්ථික ආවෘත අන්තරයේ ග්‍රහනයට අසු වූ දේශපාලන වක්‍රය හිටිහැටියේ වෙනස් වෙයි. නිර්ධන පාන්තික පුලුල් කවයන් ද ඇතුලු ව සුලු ධනේශ්වර මහ ජනතාව වරෙක දකුණටත්, යලි වමටත් ගමනේ යෙදේ.

නිෂ්පාදන පන්තියක් හැටියට නිර්ධන පංතියත් එමගින් එහි විප්ලවවාදී පක්ෂයත් නොනැවතී ශක්තිමත් කරවන වර්ධනයේ ඓයින්ද්‍රීය ක්‍රියාදාමයන් පිලිබද ව අපට මෙහි දී තවදුරටත් කථා කිරීමට නුපුලුවන. බලපවත්වන කොන්දේසි යටතේ පක්ෂයත් පන්තියත් අතර අන්තර්-සම්බන්ධතා පෙරට වඩා අතිශයින් තියුනු ඉහල පහල යෑම් වලට භාජනය වේ. 

පක්ෂයේ උපායන්, ඒවායේ මූලධර්මාත්මක පදනම රැක ගනිමින්ම වඩාත් උපාමාරුමය හා නිර්මාණාත්මක ස්වාභාවයක්, කිසියම් ම ආකාරයක රටා වාදයකට වෙනස් වූ ස්වාභාවයක් අත්පත් කර ගනී – අත්පත් කර ගත යුතු ය. අප ඇතුල් වන්නේ විප්ලවීය උද්ගතයක් හා සම්බන්ධ කලාපයකට ද නො එසේ ම ඊට ප්‍රතිපක්ෂ ව තියුණු බෑවුමකට ද යන්න මත අන් සියල්ලට ම වඩා රදාපවතින තියුණු වූ ද නිර්භීත වූ ද හැරීම් මෙම උපායන් හි දී නොවැලැක්විය හැකි වෙයි. 

ජනතාව සදහා අරගලය:

අපගේ සමස්ත යුගයම සමන්විත වනුයේ ඉහල නැගීම් හා පහල බැසීම් ඉතා පැහැදිලි ව සටහන් කෙරුණු කොටස් වලින් යුත් වක්‍රයකිනි. මෙම ගැඹුරු, ඇතැම් විට හදිසි වෙනස් වීම් කල්වේලා ඇතිව අල්ලා ගත යුතු ය.

 පූර්ව – යුද්ධ කොන්දේසි තුළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ කාර්යභාරය හා වර්තමාන කොන්දේසි තුළ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ කාර්යභාරය අතර පවතින වෙනස එක්තරා පරිමාණයකට සමාන වනුයේ මිලිටරි හමුදා පුහුණු කොට සංවිධානය කරන අණදෙන මණ්ඩල සහ (යුද්ධ අතරතුර සත්තකින්ම දීර්ඝ නතර කිරීම් පවැතිය හැකි වුවත්) යුද්ධ කොන්දේසි යටතේ මෙම හමුදා මෙහෙයවීමට අණ දෙන කදවුරු නියමුවන් අතර පවතින වෙනසට ය.

සත්තකින් ම මූලික කර්තව්‍යය ලෙස පවතිනුයේ ජනතාව සදහා අරගලය යි. එහෙත් දැන් මෙම අරගලයෙහි කොන්දේසි වෙනස්ය. ස්වදේශීය හෝ ජාත්‍යන්තර තත්ත්වයෙහි ඕනෑම වෙනසක්, ඊළග පියවරෙහි දී ම, ජනතාව සදහා අරගලය, බලය සදහා ඍජු අරගලයක් බවට පරිවර්තනය කරනු ඇත. 

අද ඔබට මූලෝපාය දශක වලින් මිනිය නොහැකි ය. වසරකින් දෙකකින් හෝ තුනකින් රටක මුලු තත්ත්වය ම මූලික වශයෙන් වෙනස් වෙයි. ජර්මනිය සම්බන්ධයෙන් අපි මෙය වෙසෙසින් පැහැදිලිව දුටිමු. අවශ්‍ය පූර්ව කොන්දේසි නොමැති තත්ත්වයක (1921 මාර්තු), විප්ලවයක් කැදවීමට දැරූ ප්‍රයත්නයෙන් අනනතුරුව ජර්මානු පක්ෂය තුළ දකුණට බලවත් අපසරණය වීමක් (Brandlerism – බ්‍රැන්ඩ්ලර්වාදය), අපි දකිමු. 

මෙම අපසරණය, අනතුරුව, සමස්ත තත්වයෙහි ම තියුණු ලෙස වමට ඇති වූ හැරීම තුළ කුඩුපට්ටම් ව ගියේ ය. අවස්ථාවාදී අපසරණයෙහි තැනට අතිවාමාංශික අපසරණයක් පැමිණේ.  කෙසේ වෙතත් එහි නැගීම සමපාත වනුයේ විප්ලවයේ බැසීම හා සමගය; කොන්දේසි සහ පිලිවෙත් අතර පවතින මෙම පරස්පර විරෝධයෙන් විප්ලවවාදී ව්‍යාපාරය තවදුරටත් දුර්වල කරවන වැරදි වගාවන් වේ. 

ප්‍රතිඵලය වනුයේ දක්ෂිනාංශික හා අතිවාමාංශික කණ්ඩායම් අතර කිසියම් ආකාරයක ශ්‍රම විභජනයකි. ඒ අනුව දේශපාලනික නැම්මෙහි ඉහලට හෝ පහලට ඇති වන තියුණු නැම්මකදී ඉන් එක එකක් පරාජයට පත්ව ප්‍රතිපක්ෂ කණ්ඩායමට තැන ලබා දෙයි. එසේ ම දැනට භාවිතයේ පවතින විධික්‍රමය – එනම්  අවස්තාවෙහි ඇති වන සෑම වෙනස්වීමක් සමග ම නායකත්වය වෙනස් කිරීම; නායක කේඩරයට නැගීමත් බැසීමත්, පසුබෑමත් ගලා යෑමත් අන්තර්ගත කරගත් වඩා පුලුල් අත්දැකීමක් අත්පත් කර ගැනීමට අවස්ථාව ලබා නොදේ. 


''වේගවත් වෙනස් වීම්, හා ක්ෂණික හැරීම් යනාදියෙන් සමන්විත අපගේ යුගයේ ස්වාභාවය ගැන සමාන්‍යයීකරණයෙන් තොරව, සංශ්ලේෂණාත්මක වැටහීමකින් තොරව සැබෑ බොල්ෂෙවික් නායකත්වයක් පුහුණු කර ගත නොහැකි ය. ''

වේගවත් වෙනස් වීම්, හා ක්ෂණික හැරීම් යනාදියෙන් සමන්විත අපගේ යුගයේ ස්වාභාවය ගැන සමාන්‍යයීකරණයෙන් තොරව, සංශ්ලේෂණාත්මක වැටහීමකින් තොරව සැබෑ බොල්ෂෙවික් නායකත්වයක් පුහුණු කර ගත නොහැකි ය. යුගයේ ගැඹුරු විප්ලවීය ස්වාභාවය පවතිද්දී ම පක්ෂයත් එහි නායත්වයත් තමන් හමුවෙහි පවතින තත්වය විසින් ඉල්ලා සිටිනු ලැබෙන ඉහල මට්ටමට නැග ගැනීමට අසමත් ව ඇත්තේ එහෙයිනි. 

පෝලන්තයේ ෆිල්සුඩ්ස්කිගේ තන්ත්‍රය ස්ථාවරත්වය සදහා ෆැසිස්ට්වාදී අරගලයක් කරන තන්ත්‍රයක් වන අතර එහි අර්ථය වනුයේ පන්ති අරගලය අතිශයින් තියුණු වීමකි. ස්ථාවර වීම වනාහී බැහැරින් සමාජයට දායාද කෙරෙන කොන්දේසියක් නොව, ධනේශ්වර දේශපාලනයට පවතින ගැටලුවකි. මෙම ගැටලුව අර්ධ වශයෙන් විසදනු ලැබුනු වහාම යලි පුපුරා යයි. ස්ථාවරභාවය සදහා ෆැසිස්ට් අරගලයෙන් නිර්ධන පංතියේ ප්‍රතිවිරෝධය අවදි කෙරෙනු ඇත. 

ෆිල්සුඩ්ස්කිගේ කුමන්ත්‍රණය කෙරෙහි මහජනයා අතර මිත්‍යා භංග වීම පිළිබද පසුබිමෙහි අප පක්ෂයට වාසිදායක තත්වයක් නිර්මාණය කෙරෙනු ඇත. එහෙත්, සත්තකින්ම එසේ වනුයේ, නායකත්වය දේශපාලන වක්‍රයෙහි තාවකාලික නැගීමකට හෝ බැසීමකට හෝ ඒකපාර්ශ්වීයව අනුගත නොවී, වර්ධනයේ මූලික දිසානතිය සමස්ථයක් හැටියට ග්‍රහනය කර ගැනීමේ කොන්දේසිය මත ය. ස්ථාවර වීම සදහා වන ෆැසිස්ට් අරගලයට ප්‍රතිපක්ෂ ව අන් සියල්ලට වඩා පිහිටවිය යුතු වන්නේ කොමියුනිස්ට් පක්ෂයේ අභ්‍යන්තරික ස්ථාවර වීම යි.  එවිට ජයග්‍රහණය සහතික වනු ඇත.

ලියොන් ට්‍රොට්ස්කි – 1932 අගෝස්තු 04    

_________________________________________
 

සටහන්:

1. කොමින්ටර්නය (Comintern) – කොමින්ටර්නය යනුවෙන් සදහන් කරන්නේ තුන්වන ජාත්‍යන්තරය යි. එය කොමියුනිස්ට් ජාත්‍යන්තරය නමින් ද හැදින්වේ. ලෙනින්ගේ නායකත්වයෙන් තුන්වන ජාත්‍යන්තරය ගොඩ නගන ලද්දේ දෙවන ජාත්‍යන්තරයේ විප්ලවකාරී අතීතයේ උරුමක්කාරයා ලෙස යි. පළමු වන අධිරාජ්‍යවාදී යුද්ධ සමයේ, දෙවන ජාත්‍යන්තරයේ පිරිහීම පරිපූර්ණව ප්‍රකාශිත වූයේ, ප්‍රතිසංස්කරණවාදයට යටවී ජාතිකවාදී ස්ථාවරයන් ට පසුබසිමින්, සිය රටේ ධනේශ්වර රාජ්‍යයන්ට යුධය වෙනුවෙන් සහයෝගය දැක්වීමට ඉදිරිපත් වීමෙන් පසුව ය. ඒ අනුව තුන්වන ජාත්‍යන්තරය ගොඩ නැගීමේ අවශ්‍යතාවය 1915 -16 පමණ කාලයේ සිටි මතු වී පැවැති අතර 1919 දී තුන්වන ජාත්‍යන්තරය කැඳවීමට පියවර ගැනුනි. ලෙනින්ගේ කාලයේ දී තුන්වන ජාත්‍යන්තරයේ සම්මේලන වාර්ශිකව, එනම් පළමු වැනි සම්මේලනය 1919 දී, දෙවැන්න 1920 දී, තුන්වැන්න 1921 දී හා හතරවැන්න 1922 දී පවත්වන ලදී. මෙම පළමු සම්මේලන හතරේ ම සාකච්ඡාවන්ට මඟ පෙන්වූ ප්‍රවාදයන් සකසන ලද්දේ ට්‍රොට්ස්කි විසිනි. මෙම පළමු සම්මේලන හතර වාම විරුද්ධ පාර්ශවයේත්, හතරවන ජාත්‍යන්තරයේත් මුල් ගල වූවාක් සේම ප්‍රධාන ප්‍රතිශ්ඨාව ද වීය. කොමින්ටර්නයේ පස්වන සම්මේලනය 1924 දී පවත්වනු ලැබුවේ ස්ටාලින් බලයට ගෙනා අදුරු තන්ත්‍රයන් සෝවියට් රාජ්‍යයේ බලය තහවුරු කරගත්තා වූ තතු යටතේ ය. ඉන්පසු 1928 වන තෙක් හයවන සම්මේලනය නොකැඳවූ අතර, හත්වන සම්මේලනය කැදවන ලද්දේ 1935 දී ය. මේ සමුළුව “දියකර හැරීමේ සමුළුව” ලෙස ට්‍රොට්ස්කි විසින් හදුන්වන ලද අතර, 1943 දී ස්ටාලින් විසින් නිල වශයෙන් කොමින්ටර්නය විසුරුවා හරින ලද්දේ ය. ඒ ඔහුගේ අධිරාජ්‍යවාදී සහෘදයන් සමග ඇතිකර ගැනීමට නියමිත වූ මිත්‍ර ගිවිසුම් වලට දෙන සාධනීය ඉඟියක් ලෙසය. ස්ටාලින්වාදය යටතේ අනේක පාවාදීම්වලියක අවිය බවට පත්වූ මේ තුන්වන ජාත්‍යන්තරය, එකම වෙඩි උන්ඩයක් වත් පත්තු නොකර හිට්ලර්ට බලයට ඒමට මාවත විවර කර දීමෙන් තුන්වන ජාත්‍යන්තරය මරණ මංචකයට එළැඹි තතු යටතේ හතරවන ජාත්‍යන්තරය කැඳවීමට ට්‍රොට්ස්කි ප්‍රමුඛ ජාත්‍යන්තර වාම විරුද්ධ පාර්ශවය පියවර ගත්තේ ය.

2. ජෝසෙෆ් ෆිල්සුඩ්ස්කි (Józef Piłsudski – 1867-1935) – ලිතුවේනියාවේ දී උපත ලැබී ය. තුන්වන ඇලෙක්සැන්ඩර් ඝාතනය සදහා තැත් කළේ යැයි චෝදනා ලැබ තම ශිෂ්‍ය කාලයේ දී ම සයිබීරියාවට පිටුවහල් කරනු ලැබීමට ලක් විය. 1892 දී ආපසු පැමිණි ෆිල්සුඩ්ස්කි සුළුධනේශ්වර විප්ලවවාදී පක්ෂයක් වූ පෝලන්ත සමාජවාදී පක්ෂයට (PPS) අත්තිවාරම් දැම්මේය. 1917, පළමු ලෝක යුද්ධ සමයේ දී හිර බාරයට පත් හෙතෙමේ 1918 දී ජර්මානු විප්ලවවාදීන් විසින් නිදහස් කරන ලදී. වොර්සෝවට යලි පැමිණි ඔහු පළමු ලෝක යුද්ධයෙන් පසු මිත්‍ර පක්ෂ විසින් නිදහස් රාජ්‍යයක් බවට පත් කිරීමෙන් අලුතින් නිර්මාණය වූ පෝලන්ත ජනරජයේ ප්‍රධානියා බවට පත් විය. 1920 මාර්තුවේ දී ෆිල්සුඩ්ස්කි යුක්රේනියානු සෝවියට් පාලනයට විරුද්ධව තම හමුදා මෙහෙය වීමේ අවදානම් පියවරක් ගත් අතර, එම ජූනියේ දී රතු හමුදා විසින් මෙම හමුදා මැදහත්වීම පොඩිපට්ටම් කර දැම්මේ ය. ඔහු 1923 දී විශ්‍රාම ගත මුත්, 1926 මැයි මාසයේ දී රාජ්‍ය කුමන්ත්‍රණයක් මෙහෙයවා නැවත බලයට පැමිණියේ ය. එතැන් සිට සිය මරණය දක්වා හෙතෙමේ පෝලන්තයේ ආඥාදායකයා වූයේ ය.

3. ක්වෝමින්ටෑනය (Kuomintang – KMT – in English Chinese National Party – CNP) 1911 දී ඇති වූ චීන විප්ලව, ධනපති පංතියේ බලය පෙන්නුම් කළ අතර එහි පසුබිමේ පැවැතියේ රට පුරා පැතිර ගිය ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ය. සුන් යත් සෙන් (සුං යී ෂ්යැන්) ප්‍රධාන කොට ඇති වූ මේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් මත ගොඩ නැගුණු විප්ලවය එවකට චීනයේ පැවැති අඩ විජිත වැඩවසම් සමාජය පාලනය කළ ජිං රජ පෙලපත පෙරලනු ලැබ 1912 ජනවාරියේ දී චීන සමූහාණ්ඩුව පිහිටුවී ය. එහි තාවකාලික සභාපති වූයේ සුන් යත් සෙන් ය. ඔහු දැඩි ලෙස රුසියානු නරොඩ්නික් වාදයේ (ජනතා වාදයේ) මතවාදයන් සමග සබදතා පැවැත්වූවෙකි. ඔහුගේ නිදහසේ මතවාදය මූලධර්ම තුනක් මත පදනම් වී තිබුනි. එනම් ජාතිකවාදය, ජනතාවගේ බලය හා ජනතාවගේ යහ පවැත්මයි. (Nationalism, The Power of the People and the Well Being of the People) වර්ධනය වෙමින් පැවැති කර්මාන්තයන්, හා වාණිජ්‍ය විසින් ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ සටන්පාඨ වූ සමානාත්මතාවය, සහෝදරත්වය, හා නිදහස පිලිබද අදහස් ද ශක්තිමත් වෙමින් පැවැතියේ ය.නමුත් චීන ධනපති පංතියේ බෙලහීනතාවය නිසා එක් පසකින් අධිරාජ්‍යවාදයේ පීඩනයට මුහුණ දීමට මෙන්ම අනෙක් පැත්තෙන් රදළ යුධ දෙටුවන්ගේ බලය බිදීමටද හැකි නොවී ය. ප්‍රංශ විප්ලවයේ දී මේ වැඩ කොටස ඉටුකළ තුන්වන ප්‍රජාවක් චීනයේ සිටියේ නැත. (මෙය ලොව පුරාම  යටත් විජිත විප්ලවයේ එක් සදාකාලීක අභාග්‍යයකි.) මේ නිසා 1911 විප්ලවයේ බලාපොරොත්තු පෙරට ගෙන යෑමට ධනපති පාලනය සමත් වූයේ නැත‍. මේ අතර පළමු ලෝක යුද්ධය චීනයේ කර්මාන්ත ක්ෂේත්‍රය තව තවත් වර්ධනය කළ අතර මහා වැඩවර්ජන මැදි කරගත් 1919 මැයි 04 වැනිදා ජනතා නැගිටීම මගින් නිදහස් පංති බලයක් ලෙස කම්කරු පංති ව්‍යාපාරය දේශපාලන සටන් බිමට අවතීර්ණ විය. මේ ව්‍යාපාරයේ පිටුබලය ලැබ චීන කොමියුනිස්ට් පක්ෂය සංවිධානය විය. මේ මුලු ක්‍රියාකාරීත්වයට රුසියානු විප්ලවයේ බලපෑම දපසුබිම් විය. එයට සාපේක්ෂව ක්වෝමින්ටෑනය සුන් යත් සෙන් ගේ නායකත්වයෙන් පාලක ජනතාවාදී ධනපති පක්ෂයක් ලෙස වර්ධනය වූයේ ය.  KMT ය තම ආරම්භකයා වූ සුන් යත් සෙන් ව ‘ජාතියේ පියා’ (Father of the Nation) විරුදාවලියෙන් ගරු කෙරින. 1923 දී KMT ආණ්ඩුව බටහිර බලයන්ගේ පිලිගැනීම නොතකා සොවියට් දේශයේ ආධාරෝපකාර වෙත යොමු විය. කොමින්ටර්නයේ නියෝජිතයෙකු 1923 දී චීනයට ලගා විය. ඔහු KMT ය ප්‍රජාතන්ත්‍රවාදය හා ධනපති සංවර්ධනය ඉදිරියට ගෙන යා හැකි ආකාරයේ ධනපති පංතියේ ප්‍රගතිශීලී ව්‍යාපාරයක් ලෙස යෝජනා කළ අතර එහි වැඩපිලිවෙල ශක්තිමත් කිරීම චීන කොමියුනිස්ට්වාදියාගේ තත්කාලීන වගකීම ලෙස පෙන්වා දෙන ලදී. නිර්ධන පංති ආඥාදායකත්වය සදහා වූ සටන තියෙන්නේ ඉන් පසුව ය. (ස්ටාලින්වාදී අවදි දෙකේ විප්ලව න්‍යාය) ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂය හා එහි සාමාජිකයන් KMT ය යටතේ ඒ සමග ඒකාබද්ධ වීමට යොමු කරන ලදී. මාඕ සේතුං පවා KMT යට එකතු විය. එහි ප්‍රතිඵල ලැබීමට වැඩි කලක් ගියේ නැත. මේ මහා ප්‍රජාතන්ත්‍රීය ජනතාවාදී බලවේගය 1925-27 චීන කම්කරු පංතියේ රල වේගය ඉදිරියේ එයට කඩා පැන්නේ මකර විලාශයෙනි. 1925 මාර්තු මාසයේ දී ‘ජාතියේ පියා’ සුන් යත් සෙන් මිය ගිය අතර ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ යේ චියැං කායි-ෂෙක් (Chiang Kai-shek) ය. (සුන් යත් සෙන් ගේ බෑනා වූ මොහු KMT යේ හමුදා වල අණදෙන්නා විය. කැන්ටන් මිලිටරි ඇකඩමියේ අධ්‍යක්ෂකයි. කොටස් වෙළදපලේ ධනවත් ව්‍යාපාරිකයෙකි.) විප්ලවකාරී ලෙස නැගී සිට නගර ගණනාවක බලය, විශේෂයෙන් කැන්ටන් හා ෂැංහයි යන ප්‍රධාන කාර්මික නගර වල බලය තමන්ගේ අතට ගෙන සිටි කම්කරු පංති මිලීෂියා වලට, Green Gang වැනි පාතාල සංවිධාන ද එක් කරගෙන චියැං කායි-ෂෙක් – KMT නායකයා පහර දුන්නේ ය. එම සමූලඝාතන වල දී කැන්ටන් නගරයේ පමණක් 5000 ක් කම්කරු නායකයන් ඝාතනයට ලක් විය. රට පුරා දස දහස් ගණනින් කොමියුනිස්ට්වරුන් හා වාමාංශික හිතවතුන් මේ ජාතිකවාදී පක්ෂය මගින් ඝාතනය කළේ ය. චීන කොමියුනිස්ට් පක්ෂයට 25,000 ක් වූ තමන්ගේ සාමාජිකයන් අතරින් 15,000 කට වැඩි පිරිසක් මේ ඝාතන මගින් අහිමි විය. මෙසේ ප්‍රජාතන්ත්‍රවාදයේ සේයාවන් පවා වලපල්ලට යැවූ ක්වෝමින්ටෑන් පාලක කල්ලිය එතැන් සිට 1949 චීන විප්ලවය මගින් තායිවානයට පලවා හරිනු ලබන තෙක් ම චීනයේ ආඥාදායක පාලකයන් ව සිටියේ ය. 

4. කුලැක්වරුන් (Kulaks) – රුසියානු අධිරාජ්‍ය වකවානුවේ කුලැක් යන පදය යොදා ගනු ලැබුවේ හෙක්ටෙයාර් 3.2 ක් (අක්කර 8 කට වැඩි) ඉඩම් හිමිකමක් ඇති ගොවියන් සම්බන්ධයෙනි. ඔවුන් 1906 -1914 කාලයේ ඉඩම් ප්‍රතිසංස්කරණ මගින් වැඩි වාසි ලබා සමෘධියට පත් වූ අයයි. 1926 දී පමණ සෝවියට් පාරිභාෂික වචන මාලාව අනුව රුසියානු ගොවි ජනයා පළල් ලෙස කාණ්ඩ තුනකට වර්ගීකරණය කර පෙන්වා ඇත.  බෙඩ්නියැක් (Bednyak – දුප්පත් ගොවීන්), සෙරඩ්නියැක්  (Serednyak -මධ්‍යම ආදායම් ලබන ගොවීන්) හා කුලැක් (Kulak – ඉහල ආදායම් ලබන විශාල ගොවිපලවල් හිමි ගොවීන්). ඒ අතර ඉඩම් අගලකටවත් හිමිකම් නොකියන ඉඩම් සකසන හෝ අස්වනු නෙලන කාලයට කුලියට වැඩ කරන කෘෂිකාර්මික කම්කරුවන් බැට්‍රැක් (Batrac) නමින් හැදින්විනි.

5. වේරා කොස්ට්‍රසේවා (Wera Kostrzewa) – පෝලන්ත කොමියුනිස්ට් පක්ෂය ගොඩ නැගීම සදහා පෝලන්ත-ලිතුවේනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (SDKPiL) එක්වන විට දී ඇය පෝලන්ත වාම සමාජවාදී පක්ෂයේ (Left PPS) සාමාජිකාවකි.

6. ඇඩොල්ෆ් වර්ස්කි (Adolf Warski) – වසර 25 කට වැඩි කාලයක් පුරා රෝසා ලක්සම්බර්ග් සමග ඉතා කිටිටුවෙන් දේශපාලන සම්බන්ධතා පැවැත් වීය. පෝලන්ත – ලිතුවේනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (SDKPiL) ගොඩනැගීමේ දී පෙරමුණ ගත්තේ ය. එය කලකදී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය (RSDLP) හා අනුබද්ධව සිටියේ ය. ඒ වකවානුවේ වර්ස්කි RSDLP යේ මධ්‍යමකාරක සභාවද නියෝජනය කළේ ය. SDKPiL ය 1918 දී පෝලන්ත කොමියුනිස්ට් පක්ෂය ගොඩ නැගීමට උපකාර කළ අතර ඔහු එහි ප්‍රමුඛ නායකයෙක් බවට පත් විය.

7. දිමිත්‍රි මනුල්ස්කි – (Dmitry Manuilsky, or Dmytro Zakharovych Manuilsky) වැදගත් බොල්ෂෙවික් වරයෙක් ව සිටියේ ය. 1926 සිට කොමියුනිස්ට් ජාත්‍යන්තරය 1943 මැයි මාසයේ දී විසුරුවා හරින තෙක් කොමින්ටර්නයේ ලේකම්වරයා ලෙස කයුතු කළේ ය. ශාන්ත පීටර්ස්බර්ග් විශ්ව විද්‍යාලයෙන් 1903 දී පිටවීමෙන් පසු 1904 දී බොල්ෂේවික් පක්ෂයට බැදුනේ ය. 1905 විප්ලව සමයේ දී ඔහුට පක්ෂය විසින් ක්‍රොන්ස්ටාඩ් නාවික කොට්ඨාශය පවරන ලද අතර එම වසරේ ජූලි නාවික කැරැල්ලේ කොටස් කරුවකු විය. අත්අඩංගුවට ගනු ලැබී ඔහු වසර දෙකක් සිර ගතව සිටීමෙන් පසුව පිටුවාහල් කරන ලදී. පසුව පැරිසියට පලා ගිය ඔහු එහි දී ඇලෙක්සැන්ඩර් බොග්ඩනොව් නායකත්වය දුන් අතිවාම කණ්ඩායමට බැදී ලෙනින්ගේ නායකත්වයට අභියෝග කළේය. 1917 දී පමණ රුසියාවට යලි පැමිනීමෙන් පසු යලිත් බොල්ෂෙවික් පක්ෂය සමග සබදතා වගා කරගත් අතර ට්‍රොට්ස්කිගේ මෙන්රායොන්ට්සි කණ්ඩායමට බැදී එම අගෝස්තුවේ දී බොල්ෂෙවික් පක්ෂයට ඒකාබද්ධ විය. 

8. PPS (පෝලන්ත සමාජවාදී පක්ෂය Polish Socialist Party) – 1892 වර්ෂයේ දී ෆිල්සුඩ්ස්කි විසින් පිහිටුවන ලැබූ ප්‍රතිසංස්කරණවාදී ජාතිකවාදී සංවිධානයකි. මෙහි සටන්කාමී කොට්ඨාශය වූ වාම PPS ය ඉන් බිදීගොස් පසුව SDKPiL ය සමග අන්තර්ග්‍රහණය වන තෙක් ස්වාධීන පක්ෂයක් ලෙස කටයුතු කළේ ය. PPS ය ෆිල්සුඩ්ස්කිගේ නායකත්වයනේ යටතේ දක්ෂිනාංශික ගමණක් ඇරඹු අතර පළමුවන ලෝක යුද්ධයෙන් පසු සෝවියට් විරෝධී කලහකාරී දේශපාලනයකට යොමු විය. ඒ කෙසේ වෙතත් ඔහුගේ 1926 රාජ්‍ය කුමන්ත්‍රණයට PPS ය නාමික වශයෙන් විරුද්ධ වුවත් ‍එම තන්ත්‍රයට එරෙහිව කිසිම ක්‍රියාකාරී සටනක් දියත් කළේ නැත.

9. ජැකොබින්වරු (Jacobins) – ජැකොබින් සමාජයේ සාමාජිකයෝ. ප්‍රංශ විප්ලවයේ ජනතා ප්‍රවාහය අතර ක්‍රියාත්මක වූ වඩාත්ම සටන්කාමී දේශපාලන ප්‍රවනතාවයයි (පක්ෂය යි). ගිරොන්ඩිවරුන්ගේ පාලනය ඉවත්කර තර්මිඩෝරයේ ජයග්‍රහනය දක්වා ප්‍රංශයේ පාලනය ගෙන ගියේය. “ව්‍යවස්ථා මිතුරු සමාජයේ” (Society of the Friends of the Constitution) සාමාජිකයන් හදුන්වනු ලැබූ ප්‍රසිද්ධ නාමය වූ යේ ‘ජැකොබින්වරු’ යන්නයි. ජැකොබින්වරුන්ගේ වාම කණ්ඩායම (the Mountain) රොබෙස්ෆියර් හා මරාත්ගේ (Robespierre & Marat) නායකත්වයෙන් යුතු විය. දක්ෂිනාංශික ජැකොබින්වරුන්ගේ (The Girondists) නායකයා වූයේ බ්‍රිසොට් (Brissot) ය. මෙහි මාධ්‍යමික ජැකොබින්වරුන්ට (the Plain) ඩැන්ටන් (Danton) නායකත්වය දුන්නේ ය.  වෙනත් ඕනෑම විප්ලවයක දී මෙන්ම ප්‍රංශ විප්ලවයත් යලි පැරණි සමාජ සම්බන්ධතාවන් සමග වෙලී යද්දී, ඉන් මතුවන ප්‍රතිවිප්ලවය පරාජය කිරීම සදහා පූර්ව රාජ්‍යයේ වැඩවසම්වාදී මිනිස් කුනුකන්දල් ඉවත් කරන ලද්දේ ජැකොබින්වරුන්ගේ, විශේෂයෙන් වාම ජැකොබින් වරුන්ගේ අනුකම්පා විරහිත පිලිවෙත් මගිනි. එම කටයුත්ත ඇවෑමෙන් ඔවුන්ව බලයෙන් පහ කරන ලද අතර ස්ථාවරත්වය පැතූ ජනතාව නැපෝලියන්ට මාවත හෙලි කළේ ය. 

10. ප්ලීබියානු ක්‍රමය – (Plebeian Means) ප්ලීබියන්වරු නැත්නම් ‘ප්ලෙබ්ස්’ යන්වෙනු පුරාණ රෝමයේ දී හදුන්වනු ලැබුවේ ප්‍රධාන කොට ‘නිදහස් රෝමානු පුරවැසියන්’ සමූහයයි. වෙනත් වචන වලින් කියනවා නම් පොදු සාමාන්‍ය ජනයායි. රෝමයේ පුරවැසියන් පැහැදිලි ලෙස ප්ලීබියන් හා පැට්‍රීෂියන්  යනුවෙන් පැලැන්තීන් දෙකකට බෙදා තිබුණි. පැට්‍රීෂියානුවන් ධනවත් ඉහල පැලැන්තියේ උදවිය විය. අනෙක් සැම සලකනු ලැබුවේ ප්ලීබියන්වරු ලෙසයි. පැරණි රෝමයේ පාලක පැලැන්තිය වූයේ පැට්‍රීෂියන් වරුය. මේ වෙනස කවදා කෙසේ ඇරඹිනිදැයි පැහැදිලි නැතත් සමහර ඉතිහාසඥයන් කියන්නේ මේ දෙවර්ගයම නොමැඩියානුවන් ඝනයට වැටුනත්, ප්ලීබියන්වරු පසුකාලීනව ඉතාලියේ අවට ප්‍රදේශවලින් රෝමයට සංක්‍රමනය වූවන් බවයි. ප්ලීබියන්වරු කවුරුන්ද යන්නට වඩා ට්‍රොට්ස්කි විසින් මෙතැනදී අවධාරණය කර ඇති “ප්ලීබියානු ක්‍රමය” (Plebeian Means) යනු කුමක්ද යන්න සොයා බැලිය යුතුය. එහි දී මේ ක්‍රමය ධනේශ්වරය නැගෙන යුගයේ දී ජැකොබින්වාදය රදල බලය සමග ගනුදෙනු කිරීමේ ක්‍රමයන් සමග ඇති සාම්‍යයන් සැලකිල්ලට ගනු ලැබුනේ වී මුත්, ධනේශ්වරයේ අර්බූධකාරී යුගයකදී මතුවන දුෂ්කර ගැටළු විසදීමේ ක්‍රමයක් ලෙස ප්ලීබියන් ක්‍රම වලට කැමැත්තක් නොදක්වන බව පෙනේ. මන්ද යත් එපමණට ඒ ක්‍රම ප්‍රජාතන්ත්‍රවාදී වන හෙයිනි. එ් නිසා මේ “ප්ලීබියන් ක්‍රමය” යන්න තේරුම් ගත යුතුය. ප්ලීබියන්වරු රෝම සමාජයේ ජනගහනයෙන් 95% ක් විය. නමුත් ඔවුන්ට පාලනයේ කිසිම තැනක් නොවීය. ඉඩමක් කඩමක් හිමි නොවීය. රජයේ කිසිම නිලධාරී පත්වීමක් නොලද හ. ඒ අතරේ පැට්‍රීෂියානු කුලීනයන්ගේ පාලනයේ “ආඥාපත්‍රය – Order”යට ප්ලීබියන්වරු (පොදු ජනයා) සැම අතින්ම යටත්ව බැදී සිටිය යුතු විය. මේ තත්ත්වය නොඉවසූ ප්ලීබියන්වරු වසර 200 කට වැඩි කලක් (ක්‍රි:පූ:494 සිට ක්‍රි:පූ:287 දක්වා) ගලා ගිය දේශපාලන අරගලයක නිරත වූහ. ඔවුන් ඉල්ලා සිටියේ දේශපාලන සමානාත්මතාවය යි. මේ දේශපාලන සමානාත්මතාවය සදහා සටන (Conflict of the Order) මගින් ක්‍රි:පූ: 366 දී ඡන්දයෙන් පත්වන ප්ලීබියානු කොන්සල්වරු පත් කෙරුණද ඔවුන්ද ‘Order’ එකට යටත් විය යුතු විය. මේ තතු යටතේ ප්ලීබියන්වරු තමන්ගේ සිවිල් නොහැකියාවන් අහෝසිකර ගැනීම සදහා වෙනම “සමජයක්” ලෙස සංවිධානය වීම ඇරඹූ අතර, අවස්තා ගණනාවක දී පැට්‍රීෂියානු රාජ්‍ය පාලනයෙන් ඉවත්ව සිටීමට ක්‍රියා කළහ. එය රෝම පාලනයෙන් “වෙන්වීම” (secession) දක්වා ඉදිරියට ගෙන යෑමට තීරණය කළ ප්ලීබියන්වරු වැඩවර්ජන මෙන්ම නගරයෙන් ඉවත් වී ඉඩම් අත්කර ගැනීම සදහා කදුකරයට යෑම පවා ආරම්භ කළහ. පැට්‍රීෂියානු අන දෙන්නන් යටතේ සතුරන්ට විරුද්ධව යුධ වල සටන් කිරීම ප්‍රතික්ෂේප කළ ප්ලීබියන් සොල්දාදුවෝ ඒ සදහා තමන්ගේම නිලධාරීන් පත් කරන ලෙස දන්වා සිටියහ. ඒ අනුව තමන්ගේම නිලධාරීන් පත් කරගැනීමට අවස්ථාව, රජයේ උසස් නිලධාරී පදවි (Tribunes) පත් කිරීමේ දී ඡන්ද දීමේ බලය හා එසේ පත් වීමට අවස්ථාව, මුළු ජනතාවටම බලපාන අයුරින් නීති සැකසීමට ප්ලීබියන් කවුන්සිල්වලට බලය ලැබීම (The law enacted by the Plebeians’ assembly). ඉඩම් හිමිකර ගැනීමේ අයිතිය, ලබා දීමට රෝම පාලකයන්ට සිදුවිය. ප්ලීබියානුවන්ට මුළු ජනතාවටම බලපාන සාධනීය දේශපාලන බලපෑමක් කිරීමට අවස්ථාව ලැබුනි. එමගින් ආර්ථික බලයත්, ඒ හා බැදුනු දේශපාලන බලයත් ඔස්සේ සාමාන්‍ය ජනතාවගේ දේශපාලන අයිතීන් දියුණු කර ගැනිනි. රෝමය ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවූවා සේ පෙනී ගියේය යි ඉතිහාසඥයෝ මේ තත්ත්වය විස්තර කර තිබේ.  ඒ අනුව ඍජු ලෙස ඡන්දයෙන් ව්‍යවස්ථා සැකසීම – වෙනස් කිරීම – කොට්ඨාශ වලට නියෝජිතයන් පත් කිරීම යනාදිය ජනතා ඡන්දයෙන් තීරණය කිරීමේ 19 වන ශතවර්ශයේ දී ධනේශ්වර ලෝකයේ පැතිර යන කල්හි එය – Plebiscitum (ලතින්) – Plebiscite (ප්‍රංශ) “Direct Vote of the whole electorate” අරුත ගත්තේ ය. මෙතැන දී ට්‍රොට්ස්කි කියන්නේ එවැනි ප්ලීබියානු ක්‍රමයන් මගින් තම අර්බූදයේ බැරෑරුම් ගැටලු විසදීමට ජනතාවට අවස්ථාව දීම අද ධනපති පාලකයන් විශ්වාස නොකරන බවයි.

11. මැක්සිමිලියන් වැලෙකි (Maximilian Walecki) – 1985 දී PPS යට බැදුණු අතර, පසුව ඉන් බිදී ගිය වාම PPS යේ නායකයි බවට පත් විය. අනතුරුව 1918 දී අලුතින් බිහි කෙරුණු පෝලන්ත කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකු බවට පත් වූ හෙතෙමේ එහි පුවත්පතේ කතුවරයාද, කොමියුන්ස්ට් පක්ෂයේ කොමින්ටර්න නියෝජිතයා ද විය.

12. මාධ්‍යමිකවාදය (Centrism) – විප්ලවය හා ප්‍රතිසංස්කරණවාදය අතර දෝලනය වන අදහස්. එසේ දෝලනය වන්නා – මාධ්‍යමිකයා.


(උපුටා ගැනීම : http://haraya.today/)

(පෙළ අවධානය අපෙන් – සංස්කාරක)

subscribeYT

නවතම පුවත්

ඇට මැස්සා